November 29, 2023

මිතුරු

 

ඔබේ සැබෑම මිතුරන් ඔබේ අඳුරුම මොහොතවල් වලදී ඔබ ළඟින් සිටින අයයි. ඒ ඔවුන් අඳුරු හෙවනැලි ඇති තැන්වල ඔබ හා අත්වැල් බැඳ සිටීමට නොබිය බැවිනි. එමෙන්ම ඔවුන් ඔබගේ සොඳුරුම මොහොතවල් වලදී ද ඔබ ළඟින් සිටිනු ඇත. ඒ ඔබට බබලන්නට ඉඩ දීමට ඔවුන් නොබිය බැවිනි. 

Translation of a quote by Nicole Yatsonky

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

November 26, 2023

ගිනි කිරිල්ලිය

Translation of the Russian folk tale - ‘The Firebird’


බොහොම දුර අතීතෙක, ඈත රාජධානියක ගිනි කිරිල්ලියක් වාසය කළා. මේ කිරිල්ලියගේ වයස කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ, හැබැයි මේ රාජධානියේ වැසියන්ගේ මිත්තණියන්ගේ මිත්තණියනුත් ඈ ගැන කතන්දර අහලා තිබුණා. ගිනි කිරිල්ලියව ඇස් දෙකෙන් දකින ඕනෑම කෙනෙකුට ලොකු වාසනාවක් අත් වෙන බව හැමදෙනාම දැනගෙන හිටියා. කිරිල්ලියගේ පෙඳයෙන් පිහාටුවක් ගලවාගන්න පුළුවන් වෙන කෙනාට ඊටත් වඩා වාසනාවක් ලැබෙන බව තමයි විශ්වාසය තිබුණේ. ඒත් මේ ගිනි කිරිල්ලිය නිතරම හැංගිලා හිටිය නිසා කිසි කෙනෙකුට මේ වාසනාව ලැබුනේම නැති තරම්. ඒත් කවුරුවත් උත්සාහය නම් අත ඇරියේ නැහැ.

ඉවාන් කුමාරයත් මේ වගේ උත්සාහවන්තයෙක්. එයා තරුණයි, කඩවසම්- ඒත් එයාට කවදාවත් හැබෑම ආදරය හමුවෙලා තිබුණේ නැහැ.

"මට ගිනි කිරිල්ලියගේ පිහාටුවක් ලබාගන්න තිබුණා නම් මගේ ජීවිතයම වෙනස් වේවි," එහෙමයි එයා හිතුවේ.

රාජධානිය හරහා යන සංචාරකයන්ගෙන් ගිනි කිරිල්ලිය හොයාගන්න පුළුවන් තැනක් ගැන ඉවාන් කුමාරයා නිතරම ඇහුවා. ඒත් කිසි කෙනෙක් ඒ ගැන හරි තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදී දර විකුණන වයසක කාන්තාවක් රජ වාසලට ආවා.

ඉවාන් කුමාරයා සුපුරුදු විදිහට තමන්ගේ ප්‍රශ්නය මේ කාන්තාවගෙන් ඇහුවා. පලවෙනි වතාවට එයාට ඊට පිළිතුරක් ලැබුණා.

"අමරණීය කෝෂි කියන මායාකාරයාගේ උයනේ හැදෙන රත්තරන් ඇපල් කන්න ඔය ගිනි කිරිල්ලිය කැමතියි" වයසක කාන්තාව මෙහෙම කියද්දී කුමාරයාගේ ඇස් දෙක දිලිසුණා.

"එහෙනම් මම එතැනට යනවා!" ඔහු ප්‍රීතියෙන් කෑ ගැහුවා. "කොහෙද ආච්චියෙ මේ උයන තියෙන්නේ?"

වයසක කාන්තාව ඔලුව වැනුවා.

"කුමාරයාණෙනි, එහේ නම් යන්න එපා," ඈ කීවා. “කෝෂි හරිම නපුරෙක්, අනික එයාව මරන්නත් බැහැ. එයාගේ මන්තර හරි බලගතුයි.එයාගේ උයනට ඇතුල්වෙන අය ව එයා සදාකාලයටම ගල් ප්‍රතිමා බවට හරවනවා."

ඉවාන් කුමාරයා තමන්ගේ කඩුවට අත තිබ්බා.

"මම බය නැහැ! මම ඉවාන් සාර්විච්, මම මායාකාරයාගේ උයනේ ගිනි කිරිල්ලිය හොයාගන්නවා. ආච්චියෙ මට කියන්න එතනට යන පාර, මම ඔබට සදා ණයගැතියි."

වයසක කාන්තාව සුසුමක් හෙලුවා.

"උතුරු කඳු පන්තියෙන් නැගෙනහිර පැත්තට හැතැප්ම පහක් යන්න, ඉන්පස්සේ බටහිර ගංගාවෙන් දකුණු පැත්තට හැතැප්ම තුනක් යද්දි අඳුරු වනාන්තරය මැද්දේ උයන හමුවේවි."

"බොහොම ස්තූතියි ආච්චියේ, මට කවදාවත් ඔබව අමතක වෙන්නේ නැහැ," ඉවාන් කුමාරයා ආචාර කරමින් කීවා.

වයසක කාන්තාව ආයෙමත් සුසුමක් හෙලුවා.

"කුමාරයාව ගල් ප්‍රතිමාවක් බවට හැරවුනොත් නම් මාව අමතක වේවි" ඈ කීවා.

ඉවාන් කුමාරයා පහුවෙනිදාම පිටත් වුණා. කාන්තාවගේ උපදෙස් පිළිපදිමින් ඔහු බටහිරටත් දකුණටත් ගමන් කරලා තුන් දවසකින් උස් තාප්පයකින් වට වුණු මාලිගාවකට ළඟා වුණා.

තමන්ගේ අශ්වයා ව ගහක අත්තක ගැටගැහුව කුමාරයා උස ගහකට නැගලා මාලිගාවේ තාප්පයෙන් ඇතුළ බලන්න උත්සාහ කළා. මෙහෙම බලද්දී පෙනුණු දෙයින් ඔහුගේ හදවත මොහොතකට නතර වුණා.

මාලිගාවේ උයනේ ප්‍රතිමා අතරින්, අලංකාර මලින් බර මල් පඳුරු අතරින් ඉතාම සුන්දර කුමාරිකාවන් දහතුන් දෙනෙක් ඇවිදිමින් හිටියා. මේ හැම කෙනෙකුටම තමන්ටම ආවේනික ලස්සනක් තිබුණා. මෙයින් කුමාරිකාවන් දොළොස් දෙනෙක් එකට ඇවිදිමින් හිටියත් දහතුන් වැන්නිය හිටියේ තනියම. ඈ තාප්පයට කිට්ටු වෙද්දීම ඉහළ බලලා ඉවාන් ව දැක්කා.

ඒ ඇස් දෙක මුණගැහුණු ගමන් ඉවාන් ඈ ට හාද්දක් පා කරලා යැව්වා. ඒ මොහොතේ ඔහු ඒ කුමාරිකාව එක්ක ආදරයෙන් බැඳුණා. කුමාරයා ඈ වෙත අත දිගු කළත් ඈ තමන්ගේ ඇඟිල්ලක් දෙතොලට තෙරපලා ඔහුට අනතුරු ඇඟේව්වා. ඒ එක්කම භයානක මායාකරු කෝෂි වේගයෙන් මාලිගාවෙන් පිටතට ආවේ ගොරවමින්, වටපිට ඉවකරමින්.

"මට අමුත්තෙක් ගේ ගඳක් දැනෙනවා!" මායාකාරය බැරැන්ඩි හඬකින් කීවා. "ඇතුලට යන්න ලස්සන කෙල්ලනේ, ඇතුලට යන්න!" එහෙම කියමින් ඔහු කුමාරිකාවන්ව මාලිගාව ඇතුලට පිටත් කරේ සැකයෙන් වටපිට බලමින්.

මායාකරුට නොපෙනෙන්න ගහේ කඳට මුවාවුණු ඉවාන් ටික වෙලාවකින් ආයෙමත් වටපිට බැලුවා. ඒ වෙද්දී උයන පාලුවට ගිහින් තිබුණා. පෙනෙන්නට තිබුණේ ප්‍රතිමා කීපයකුත් උයන කෙලවරේ රත්තරන් ඇපල් ගෙඩි පිරුණු ගහකුත් විතරයි.

"රත්තරන් ඇපල්!" ඉවාන් ගේ ඇස් දෙක දිලිසුණා. "මට ගිනි කිරිල්ලිය අල්ලාගන්න පුළුවන් උනොත් මම එයාගෙන් පිහාටුවක් ඉල්ලා ගන්නවා. එතකොට මම ආදරය ලබන්න වාසනාවන්ත වේවි, සමහරවිට අර දහතුන්වෙනි කුමාරිකාවගේ අත ගන්න ලැබේවි."

රත්තරන් ඇපල් ඇති ගහට ළං වෙන ක්‍රමයක් හොයාගන්න හිතාගෙන ඉවාන් තමන් හිටිය ගහේ මුදුනටම නැග්ගා. ඒත් උයන වටා තිබුණු තාප්පයේ කොයි තැනක වත් ගේට්ටුවක්නම් දකින්න ලැබුණේ නැහැ. ඒත් තව ටිකක් විපරමින් බලද්දී උයන අතට නැමුණු ඕක් අත්තක් ඉවාන් ට පෙනුණා. එතැනින් නම් ඇතුළට පනින්න පුළුවන් වේවි!

පමා නොවී ඕක් අත්තේ උදව්වෙන් උයනට පැනගත්ත කුමාරයා වටපිට බලද්දී ප්‍රතිමාවන් පේළියක්ම දැක්කා. කිට්ටුවෙලා බලද්දී ඒ ප්‍රතිමාවන් හැටියට පෙනුණේ උයනට අනවසරයෙන් ආව තමන් වගේ වෙනත් තරුණයන් බව කුමාරයාට තේරුණාම ඔහු බයෙන් කිළිපොලා ගියා. ඒ ප්‍රතිමා වල මූණු වල තිබුණේ භ්‍රාන්ත වුණු පෙනුමක්. කුමාරයා ඉක්මන් ගමනින් රත්තරන් ඇපල් ගහ පැත්තට ගියා.

"මේ හැම කෙනෙක්ම ආදරය හොයාගෙන ආව අය ද? මේ නපුරු මායාකාරයා එයාලාව ප්‍රතිමා කරලද? අර කුමාරියන්ව හිරකරගෙන තියාගෙන ඉන්නේ ඇයි?" මෙහෙම යද්දී කුමාරයා කල්පනා කළා.

ඉවාන් කුමාරයා රත්තරන් ඇපල් ගහට කිට්ටුවෙද්දී ගහේ මුදුනෙන් තටු ගහන හඬක් යන්තමින් ඇහුණා- ඒ එක්කම බොහොම අලංකාර කිරිල්ලියක් ගහේ අනෙත් පැත්තේ අත්තක වැහුවා. ඒ කිරිල්ලියගේ පිහාටු දිලිසුණේ ගින්දර පාටින්. ඇගේ පෙඳය රතු පාටත් කහ පාටත් රත්තරන් පාටත් එකතුවුණු පාටකින් බැබලුණා. කිරිල්ලිය තමන්ගේ ඔලුව ඇල කරගෙන රත්තරන් ඇපල් තෝරන හැටි ඉවාන් බලාගෙන හිටියේ හුස්මත් අල්ලාගෙන.

"ගිනි කිරිල්ලිය!" ඉවාන් තමන්ටම මුමුණා ගත්තා. ඉන්පස්සේ ඔහු කිරිල්ලියට කිට්ටු වෙන්න පියවරක්, දෙකක්, තුනක් තියලා උඩ පැනලා ඇගේ පෙඳය අල්ලා ගත්තා.


"මාව අත අරින්න, මාව අත අරින්න!" කෑ ගසමින්, දඟලමින් කිරිල්ලිය ඉවාන් කුමාරයාගේ මූණට තමන්ගේ අත්තටු ගැහුවා. ඒත් කුමාරයා තදින්ම අල්ලාගෙන හිටියා. අන්තිමේදී දඟලලා හෙම්බත් වුණු ගිනි කිරිල්ලිය නිසොල්මන් වුණා

"ඔබ කවුද? ඔබට මොනවාද වුවමනා?" ඈ ඇහුවා.

"මම ඉවාන් කුමාරයා," ඔහු කීවා. "මට වාසනාවත් ආදරයත් ලබාගන්න ඔබේ පෙඳයෙන් පිහාටුවක් වුවමනායි."

ගිනි කිරිල්ලිය ඔලුව හරවලා කුමාරයා දිහා බැලුවා.

"ආදරය?" ඈ ඇහුවා. "ඔබ ආදර හොයනවාද?"

කුමාරයා සුසුමක් හෙලුවා.

"ඔව්" ඔහු කීවා.

"ඔබට වුවමනා දේ මම දුන්නොත් ඔබ මට යන්න දෙනවාද?"

"මම පොරොන්දු වෙනවා" එහෙම කීව ඉවාන් කුමාරයා කිරිල්ලියගෙන් ඉවත් වෙලා දෑත පසුපසට කරගත්තා.

තරමක නිහැඬියාවකින් පස්සේ කිරිල්ලිය කුමාරයාට ආචාර කළා.

"ඔබෙන් බේරෙන්න මම ඉගිලිලා නොයයි කියලා විශ්වාස කිරීම ගැන ස්තූතියි. මෙන්න ඔබට පිහාටුවක්. කවදාහරි මාව වුවමනා වුණොත් කතාකරන්න."

එහෙම කීව කිරිල්ලිය තමන්ගේ දිලිසෙන පියාපත් විහිදලා ගහේ මුදුනට පියඹලා ගියා. ඉන්පස්සේ පහත උන්නු කුමාරයාට මෙහෙම කීවා.

"ආදරය හොයන ඔබේ ගමන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා"

එහෙම කියලා ඈ අතුරුදන් වුණා.

ඉවාන් කුමාරයාට ලොකු සතුටක් දැනුණා. එයා පිහාටුව තමන්ගේ තොප්පියේ රඳවාගෙන රත්තරන් ඇපල් ගහේ කඳට හේත්තු වුණා. ඉර බැහැලා සිකුරු තරුව දිලිසෙන්න ගනිද්දී එයා මාලිගාව දිහා බලාගෙන දහතුන්වෙනි කුමාරිකාව ගැන කල්පනා කරමින් උන්නේ. ඒ මොහොතේම මාලිගාවේ දොර ඇරිලා කුමාරිකාවෝ දහතුන්දෙනා පිටතට ආවා. කළින් වතාවේ වගේම මේ සැරේත් කුමාරිකාවෝ දොළොස් දෙනෙක් රහස් කියමින්, හිනාවෙමින් හිටියාට දහතුන්වෙනි කුමාරිකාව හිටියේ තනියම. ඈ කෙලින්ම තාප්පය ළඟට ගිහින් ඉන් එපිට කුමාරයා ඉන්නවාද කියලා බලමින් හිටියා.

"කුමරිය, මම මෙහේ!" ඉවාන් රහසින් කීවා. ඒක ඇහිලා කුමාරිකාව ඉක්මණින් එතනට දුවලා ආවා. "ඔබ කවුද?" ඈ ඇහුවා. "මෙහේ ආවේ ඇයි? මේ මාලිගාව නපුරු මායාකාරයෙකුට අයිති බව දන්නේ නැද්ද? එයාට ඔයාව අහු වුණොත් ගල් ප්‍රතිමාවක් කරයි."

ඒත් ඉවාන් කුමාරයාගේ සිතිවිලිවල උන්නේ ඈ විතරයි.

"මම ආදරය හොයාගෙනයි ආවේ කුමරිය, ඉතින් මට ඔබව මුණගැහුණා." ඔහු ඈ වෙත අතක් දිගු කරමින් කීවා.

කුමාරිකාව මාලිගාව පැත්තට හැරිලා බලලා බයෙන් වෙව්ලුවා.

"අනිත් මිතුරියනුත් මාත් මෙතැන හිරකාරියෝ. කෝෂි කියන මායාකාරයා ජීවත්වෙලා ඉන්නකම් අපට ගැලවීමක් නැහැ, ඒ වගේම තමයි එයා කවදාවත් මැරෙන්නෙත් නැහැ. දැනටමත් එයා නිසා තරුණ ජීවිත සෑහෙන්න නැතිවෙලා තියෙනවා. අනේ කුමාරයෝ, තාම ඔබට ඉඩ තියෙන නිසා මෙතැනින් පැන ගන්න."

ඒත් කුමාරයා ඊට එකඟ වුණේ නැහැ.. “ඔබ මෙතැන ඉන්න තාක් මමත් ඉන්නවා” ඔහු කීවා. කුමාරිකාව කොයිතරම් බැගෑපත් වුණත් ඔහු ඒ අදහස වෙනස් කර ගත්තේ නැහැ.

ඒ රාත්‍රිය ගෙවෙද්දී ඉවාන් කුමාරයා කුමාරිකාවට තව තවත් ආදරයෙන් බැඳුනා. ඇගේ නම කැටරිනා බවත්, දවල් කාලයට නම් ඒ කුමාරිකාවන්ට මාලිගාවෙන් පිටතට එන්න ඉඩක් නොලැබෙනම තරම් බවත් ඈ කීවා. රෑට මායාකාරයා නින්දට වැටුණත් මාලිගාවත්, උයනත් මුරකර රාක්ෂයෝ කණ්ඩායමක් එයාගේ ඇඳ වටේ ඉන්න බව ඈ කීවා. කවුරුන් හෝ උයනට ඇතුල් වුණත්, කුමාරිකාවක් ඉන් පිට වෙන්න උත්සාහ කළත්, මායාකාරයා ඉක්මණින් ම ඇහැරෙන බවට ඈ අනතුරු ඇඟෙව්වා.

“ඉතින් ඔබට මාව බේරාගන්න ක්‍රමයක් නැහැ” කැටරිනා දුකෙන් කීවා.

ඉවාන් ඇගේ අත අල්ලා ගත්තා. “මම ඒක බලාගන්නම්කෝ” ඔහු කීවා. “හෙට මම ඔබව බඳින්න මායාකාරයාගෙන් අවසර ඉල්ලනවා. එයා ඊට විරුද්ධ වුණොත් ඔහුට මේ කඩුවෙන් කොටනවා!”

“අනේ ඉවාන්, ඒත් එයාට හදවතක් නැහැ, ඒ නිසා එයාව මරන්න බැහැ!” කුමරිය කීවේ සුසුමක් හෙලමින්.

ඒ වෙලාවේ කුකුලන් හඬලන හඬක් ඈතින් ඇහුණා. ඒක අහලා කුමාරිකාව සුදුමැලි වුණා.

“ඉර නඟින වෙලාවට කෝෂි අවදි වෙනවා, මම ඉක්මනින්ම මාලිගාව ඇතුළට යන්න ඕන. මගේ පස්සෙන් එන්න එපා ආදර ඉවාන්, එහෙම ආවොත් ඔබට මරණය උරුම වෙන බවට නියතයි.”

එහෙම කියලා ඉවාන් ට හාදුවක් දුන්නු කුමරිය, “මම කියන නිසා ආපහු යන්න!” කියා මාලිගාවට දුවලා ගියා.

කැටරිනා ගේ අනතුරු ඇඟවීම ගණන් නොගත් ඉවාන් තමන්ගේ කඩුව අතට අරගෙන මාලිගාවේ දොරටුවට ගිහින් ඊට තඩි බාන්නට පටන් ගත්තා.

ටික වෙලාවකින් ඇස් දෙකේ ගිනියම් පෙනුමක් තිබුණු රාක්ෂයෙක් දොරටුවෙන් එබිලා බැලුවා.

“මොනවාද තමුසෙට ඕන?” රාක්ෂයා ඇහුවා.

“මම ඉවාන් කුමාරයා. මට කෝෂි නම් මායාකාරයාව මුණගැහෙන්න ඕන. මේ ලෝකේ තියෙන වැදගත්ම රාජකාරිය ගැන කතාකරගන්න තියෙනවා.”

“ආ තමුසෙටත් ගල් ප්‍රතිමාවක් වෙන්න වුවමනා වෙලා වගේ,” රාක්ෂයා සමච්චලයට හිනා වුණා. “ඉන්නවකෝ මම බලන්නම් කෝෂි ඇහරිලාද කියලා.”

ඉවාන් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. ටික වෙලාවකින් මාලිගාවේ දොරවල් ඇරුණා. ඉන් පිටතට ආවේ දත් විලිස්සන, ගොරවන රාක්ෂයෝ කණ්ඩායමක්. එයාලගේ කහ පාට දළත් උල් නියත් හොඳින් පෙනුණා. උන්ට පිටිපස්සෙන් කෝෂි එනවා පෙනුණා. කේන්තිය නිසා එයාගේ දෑස් දිලිසුණා, මූන අඳුරු වෙලා තිබුණා.

“මගේ දොරට තඩිබාන්න තරම් එඩිතර වුණු උඹ කවුද?” මායාකාරයා කේන්තියෙන් කෑ ගැහුවා.

කුමාරයා ඔහුට ආචාර කළා.

“මම ඉවාන් කුමාරයා. මම ආවේ කැටරිනා කුමාරියව විවාහ කරගන්න අවසර ඉල්ලන්නයි.”

මේක අහලා කෝෂි කේන්තියෙන් වෙව්ලන්න ගත්තා. “මේ ලැජ්ජා නැති කමට නම් සම්පූර්ණ දඬුවමම දෙන්න ඕන. මෝඩ කුමාරයා අන්තිම වතාවට ඉරත්, අහසත් දිහා බලාගනින්. තව සුළු මොහොතකින් උඹ ගල් වෙනවා!”

මෙහෙම කියලා මායාකරු දෑත ඉහළට එසෙව්වා. ඉවාන්ට විපර්යාසයක් වෙන තුරු කෝෂි ගේ දෙපා වටා උන්නු රාක්ෂයෝ කෙළ හලමින්, ගොරවමින් බලාගෙන හිටියා.

“තත්පරයක් ඉන්න!” කී ඉවාන් තමන්ගේ තොප්පියෙන් ගිනි කිරිල්ලියගේ පිහාටුව පිටතට ගත්තා. ඉන්පස්සේ ඔහු ඒක ඒ මේ අත වනමින් “ගිනි කිරිල්ලිය, මෙතැනට එන්න, මට ඔබේ උදවු අවශ්‍යයයි” කියලා හඬගාලා කීවා.

එක පාරටම රන් පැහැති තටු දිලිසුමක් පෙනුණා. ගිනි කිරිල්ලිය මොහොතින් ඉගිලිලා එතැනට ආවා. මායාකරුගේ හිස වටේට කැරකෙන්නට ගත්ත ඈ ගීයක් ගයන්නට වුණා. ඒ ගීය ඇහෙද්දී ඉවාන් ගේ දෙපා ‘නටන්න!’ යි බලකරමින් කිති කැවෙන්නට වුණා.

රාක්ෂයෝ කණ්ඩායමට නම් මේ ආරාධනාව පිළිනොගෙන ඉන්නට බැරිවුණා. උන් ඒ අතට මේ අතට වීසි වෙමින් රවුමට නටන්නට ගත්තා. කෝෂි ටත් තමන්ව පාලනය කරගන්නට බැරි බව පෙනුණේ ඔහුත් ඒ මේ අතට වැනෙමින් නටන්නට වුණු නිසා යි. මේ මායාකාරී සංගීතය නිසා අන්තිමේදී මායාකාරයාත් ඔහුගේ රක්ෂයෝ හැමකෙනෙක්මත් නටමින් හිටියා. ඉතාමත් වේගයෙන් නටන්නට ගත් මේ පිරිස දිහා ඉවාන් බලාගෙන හිටියේ හරිම පුදුමයෙන්. බොහොම වෙලාවක් වේගයෙන් නැටුවාට පස්සේ එයාලා හෙම්බත්ව බිම ඇදගෙන වැටිලා ගැඹුරු නින්දකට පත් වුණා.

ගිනි කිරිල්ලිය ඉවාන් ළඟින් නැවතුණා. ඔහු ඇයට ස්තූති කරන්නට සැරසෙද්දී ඈ ඔහුට බාධා කළා.

“ඉක්මණින් රන් ඇපල් ගහ ළඟට යන්න. එහි මුල් අතර ඔබට බිත්තරයක් දකින්න ලැබේවි. අමරණීය කෝෂි ගේ හෘද වස්තුව තියෙන්නේ ඒ බිත්තරය ඇතුළේ. ඒ බිත්තරය බින්දොත් කෝෂි මරණයට පත්වෙනවා. ඉක්මන් කරන්න, අන්න ඔහු නැගිටින්න හදන්නේ!”

ඉවාන් ඇපල් ගස වෙත දිව්වේ ඔහුගේ හදවත වේගයෙන් ගැහෙද්දි. ගහේ මුල් අතර දෑතින්ම හාරමින් ඔහු ගිනි කිරිල්ලිය කී බිත්තරය හෙව්වා. අන්තිමේදී මුල් අතර බොහොම ගැඹුරකින් ඔහුට එය හම්බවුණා.

වෙව්ලන දෑතින් බිත්තරය පිටතට ගත් ඉවාන් කුමාරයා, හැකි වෙර යොදා එය බිමට හෙලුවා. බිත්තරය කැබලි දහස් ගණනකට බිඳී යද්දී මාලිගාව දෙසින් වේදනාවෙන් කෑ ගහන හඬක් ඇසෙන්නට වුණා. කෝෂි මියගිහින් තිබුණු අතර ඔහුගේ නපුරු රාක්ෂයෝ දියවී යමින් සිටියා.

“ඉවාන්- මගේ ඉවාන්!” උයනට දුවගෙන ආව කැටරිනා කුමාරිය ඉවාන් කුමාරයා ව වැළඳ ගත්තා. ඈ එක්කම අනෙත් කුමාරිකාවන් දොළොස් දෙනාත් තමන්ගේ හිරගෙදරින් නිදහස් වීමේ සතුටින් ඉපිලෙමින් දිවගෙන ආවා.

තවත් මොහොතකින් උයනේ තිබුණු ප්‍රතිමාවන් වෙව්ලන්නට වුණා. ප්‍රතිමා දොළහක් තිබුණු තැන තරුණයන් දොළහක් පෙනුණා.

ඉවාන් කුමාරයාත්, කැටරිනා කුමාරියත් සදාකාලයම සතුටින් ජීවත් වෙන්න උයනෙන් පිට වී යද්දී ගිනි කිරිල්ලිය ඔවුන්ට ආශිර්වාද කරමින් අහසේ වටයක් ඉගිලුණා. හැම දේම යහපත් විදිහට විසඳුනු නිසා ඈ හිටියේ සතුටින්.

ඇයට තවත් එක රාජකාරියක් ඉතිරිවෙලා තිබුණා. රන් පැහැති අත්තටු සලමින් ගිනි කිරිල්ලිය රන් ඇපල් ගහට පියඹුවා. දැන් ඈ ට හිතේ හැටියට ඇපල් කන්න පුළුවන්!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

The story of the Firebird has been adapted to a ballet and orchestral concert work by the Russian composer Igor Stravinsky.



Picture- Digital Collage


November 23, 2023

කාලය

කාලයේ ප්‍රධානම සොඳුරු බව නම් එය කල් ඇතිව නාස්ති කිරීමට නොහැකි වීමයි.

ඊළඟ අවුරුද්ද, ඊළඟ දවස, ඊළඟ පැය පරිපූර්ණ ලෙස ඔබ වෙනුවෙන් සූදානම් ව බලා සිටින්නේ ඔබ කිසිදිනෙක එක මොහොතක්වත් නාස්ති නොකළ ලෙසිනි. ඔබ තෝරාගන්නේ නම් එළඹෙන හැම පැයකදී ම ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට අවස්ථාව ඇත. 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of a quote by Arnold Bennett

Digital painting 





November 19, 2023

අවසානය

ඉතින් මෙලෙසයි අවසානය
ඍතු වෙනසක් ලෙසින්
ඉතාමත්ම සෙමෙන්

පත්‍රවල පැහැ වෙනස් වී
බෙහෙවින්ම මෘදු ලෙස
පොළොවටත්, ගසටත් නොදැනෙන්න
එකින් එක ගිලිහෙන සේ

ඉතින් මෙලෙසයි අපගේ වෙන්වීම
වදන් රහිතව
බරපතල ඉඟි රහිතව

හිඩැසක් පමණි
තව තවත් විශාල වන
හිඩැසක් පමණි

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of the poem 'End' by Green Tea Diaries

Digital painting




November 13, 2023

'කන්දක් සේමා' චිත්‍රපටිය



පහුගිය සති අන්තයේදී මෙල්බර්න් නගරයට සේන්දු වුණු 'කන්දක් සේමා' චිත්‍රපටිය නරඹන්නට මට ඉඩ ලැබුණා. මේ කතාවට පාදක වුණු සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව බොහොම ඉස්සර කාලෙක මම කියවලා තිබුණාට මේ වෙද්දී මට ඒකෙ ප්‍රධාන තේමාව මිසක් විස්තර මතක තිබුණේ නැහැ.

කන්දක් සේමා චිත්‍රපටිය වැඩියත්ම රූපගත කරලා තියෙන්නේ ජපානයේ. ශ්‍රී ලාංකික නළු නිළියන් හැටියට නිරෝෂා පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, කෞශල්‍යා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, දසුන් පතිරණ වගේ ප්‍රවීණ නලු නිලි පිරිසක් මෙහි චරිතවලට පණ පොවනවා. මීට අමතරව ජුන් එටෝ, අයාකො කොබයාශි කියන බොහොම දක්ෂ ජපන් ජාතික නලු නිලි දායකත්යවකුත් තියෙනවා. මෙහි සම අධ්‍යක්ෂණය අසෝක අතාවුදහෙට්ටි සහ ටාඕ නශිමොතෝ. තිර පිටපතත් සුමිත්‍රා රාහුබද්ධගෙන්.

කන්දක් සේමා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නූපා. ඈ මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. පවුල ඇතුළෙත්, ආදර සම්බන්ධයකිනුත් ඇතිවෙන හැල හැප්පිලි නිසා ඈ ඒජන්සියක් හරහා කෙරෙන විවාහයකින් වයස්ගත ජපන් ජාතිකයෙක් විවාහ කරගෙන ජපානයට යනවා. මේ කතාවට පාදක වෙන්නේ නූපා ත් ඇගේ සැමියා මසයා සන් ගේත් ඇති නොගැලපීම. නාඳුනන රටක, ඒ භාෂාවේ වචනයක් වත් නොදැන, සැමියාගෙනුත් ආදරයක් නොලබා තනිවෙන නූපා ඒ තනිකමට පාලුවට මුහුණ දෙද්දී තවත් විවිධ කරදරවල පැටලෙනවා. නූපා ජීවිතය පුරාවට පරමාදර්ශී ආදරයක් හොයන්නේ ඇගේ ජීවිතයේ මුල ඉඳන්ම තිබුණු හිඩැස් නිසා වෙන්න පුළුවන්. ඒත් ඒ 'පෙම්බරා' ඇගේ මනෝ චිත්‍රයක් විතරයි. අප අවට හැම කෙනෙක්ම තුවාල සහිත, ජීවිතයේ වැරදි තීරණ ගන්න, බිඳුණු මිනිස්සු බව සියුම් විදිහට මේ කතාවෙන් පෙන්නලා දෙනවා.

'කන්දක් සේමා' චිත්‍රපටිය ජපානයේ රූගත කිරීම නිසා ඊට වැඩි සෞන්දර්යාත්මක අගයක් එකතු වෙලා තියෙනවා. ඒ රටේ සකුරා මල්, හිම කඳු ආදී දර්ශන සම්ප්‍රදායික ශ්‍රී ලංකික සිනමාවට නැවුම් රසයක් එකතු කරන්න සමත්. ඒ වගේම රටවල් දෙකක් හරහා සිනමා නිර්මාණයක් බිහි කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න එමට තියෙන්න ඇති. මේ නිසා මේ ව්‍යායාමය අගය කළ යුත්තක්. මීට අමතරව නරඹන්නාට කතාව තේරුම් ගැනීම සඳහා උප සිරැසි අවමයෙන් උවමනා වෙන විදිහට ජපන් භාෂාවේ දෙබස් එක්කම සිංහල දෙබස් යොදා තියෙන හැටිත් හොඳ උපක්‍රමයක්.

චිත්‍රපටිය ගැන කතා කරද්දී නූපා ගේ චරිතය රඟපාන නිරෝෂා පෙරේරා ගැන විශේෂ සඳහනක් නොකරම බැහැ. මේ නිරෝෂා දෙදාස් ගණන් වල මුලදී ලංකාවේ රූපවාහිනී නාලිකාවක මුඛරි ලෙස කතාකරමින් වැඩසටහන් ඉදිරිපත් කළ නිරෝෂා පෙරේරා ම බව මට නම් අඳුනාගන්න බැරි වුණා. නූපා ගේ චරිතයට විශිෂ්ඨ ව පණ දුන්නු නිරෝෂාට ලංකාවේ මීට කලින් මතක හිටින විදිහේ රංගන අවස්ථා නොලැබුණු එක ගැන මට පුදුම හිතුණා. මීට අමතරව චිත්‍රපටියේ සොරා සන් ගේ චරිතයට පණ පොවන අයාකො කොබයාශි ඉස්සර ජාතික රුපවාහිනියේ තිරගත වුණු ඔෂින් මාලා නාටකයේ පොඩි ඔෂින් බව චිත්‍රපටිය ගැන ලියවුණු සටහනක මම දැක්කා.

මේ චිත්‍රපටියේ එක තැනක ජපානයේ සිය දිවි නසාගැනීම් වලට ප්‍රසිද්ධ අඔකිගහරා වනාන්තරයට නූපා පිවිසෙන දර්ශනයක් තියෙනවා. හාත්පස හිම ඉහිරුණු ඒ පරිසරයට ප්‍රශ්න වලින් හෙම්බත් වුණු නූපා යන්නේ ආපිට එන්න නෙමෙයි. ඒත් වනාන්තරය මැද එක තැනක තියෙන දැන්වීම් පුවරුවක් ඇගේ ඇස ගැටෙනවා. "ඔබට ආදරය කරන අයව හඬවන්න එපා" ඒ පුවරුවේ තියෙන්නේ ඒ වගේ අදහසක්. ඇයට ඇගේ දියණියගේ හඬ සිහිනයෙන් වගේ ඇහෙනවා. ඉතින් ඈ ආපිට යනවා. මේ රූප රාමු පෙළ නරඹන්නා ව බෙහෙවින්ම කම්පනය කිරීමට සමත්.

'කන්දක් සේමා' චිත්‍රපටිය මෑත කාලයේදී මම නැරඹු සිංහල චිත්‍රපටි අතරින් ඉදිරියෙන් තියෙන බව කියන්න පුළුවන්. 

- හෙල්මලී 

November 12, 2023

කුරුළු ගීතය

"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිණිවිත්තෙක්* බොහොම ඉවසීමෙන් ඇගේ හිසට හරියටම ඉහළින් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට මෙනි. ඇය තමන්ගේ ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වෙමින් සිටියාය. සීත ඍතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා ව පෙනුණේ දීප්තිමත් ලෙසිනි.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණි. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියේය .

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක අතු අතර රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියාය. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමිනි. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියටම රාමුවට හසු කරගන්නට තැත් කළාය.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනෙන්නට විය.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවේය. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත් අතර අතුපතරේ සැඟවී සිටි කුරුල්ලා හඬක් නොනඟා ම ඉගිල ගියේය.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" කේන්තියෙන් රළු වූ කටහඬින් ඔහු කීවේය.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී තිබිණි. නිවාඩුවක් ගත කරමින් සිටියත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද වූයේ රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීමයි. එහෙත් ඇයටත් ඔහු නිසා බොහෝ විට කුරුල්ලන් නිරීක්ෂණය කරන්නට අවස්ථාවත් අහිමි වූ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවිය. මීට පෙරත් විවිධ අවස්ථාවල -ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී- ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි විය.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් එය තරණය කළාය. ඔහු ද අවලාද කියමින්, හති අරිමින් සෙමෙන් ඇය පසුපස පැමිණියේය.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදකි. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබිණි. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ කවාකාර තරබාරු පෙනුම දැක ඇයට සිනා නැඟුණි. මේ ගමන පැමිණීම ගැන ඇයට හදිසියේම සතුටක් දැනෙන්නට විය. මේ සති අන්තයේ මෙහි පැමිණ යන්නැයි යෝජනාව යොමු කෙරුණේ ඇගේ අම්මාගෙනි.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයකි. මුලදී ඇයටත් ඒ බය දැනුණු බව සත්‍යයයි. තාත්තෙක් නොමැති දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමිනි.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බිය අඩු වී තිබිණි. කාලයක් තිස්සේ ඈ යන යන තැන ඒ වදනත් ඈ හා පැමිණි බැවින් දැන් එය ඈ ට පුරුදු වී තිබුණු අතර ඉන් තර්ජනයක් දැනුණේ නැත.

ඇය තව තවත් වනය තුළට ගමන් කළාය. දිවා කාලයේ පවා මෙහි තිබුණේ අඳුරකි. අඩිපාර පටු නිසාත්, ගල් බොරළු සහිත නිසාත් ඈ ප්‍රවේසම් විය යුතු ව තිබිණි. වනයේ ඇත්තේ රැවටිලිකාර නිහඬබවකි. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැත.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින් සිටියේය. ඇයට හදිසියේ කෝපයක් දැනෙන්නට විය.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවාය. නරක නොවීමෙන් හොඳ බව අදහස් නොවේ.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවාය. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බවයි. එහෙත් කුරිරු බවට විවිධ හැඩතල ඇති බව ඇය දැනගෙන සිටියාය. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරනු ලබන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන අයුරු ඇය සිහි කළාය.

තම පුතුට පියෙක් වුවමනා බව ඇය දැන සිටියාය. දික්කසාදය සත්‍ය වශයෙන්ම විසඳුමක් නොවේ. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දෙනු ඇසිණි. ඈ සතුටින් එදෙස බැලුවාය. කොවුලා ගසක අතු අතර අඩක් මුවා වී සිටියේය. ඒ එක්කම ඈ රත් පැහැති පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවාය. මිණිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම පැමිණ තිබිණි. මේ වතාවේදී ඔහු නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළාය.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවාය. රත් මිණිවිත්තා ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින් ඉවසිල්ලේ බලා සිටිනු පෙනුණි. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් ඇගේ නෙත ගැටිණි. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවූවාය. ඒ මිණිවිත් කිරිල්ලියක්! කුරුල්ලා නැඹුරු වෙද්දී කිරිල්ලිය තවත් ඔහු වෙත් තුරුළු වනු පෙනුණි.

නොසිතූ ලෙස ඇයට මහත් අසරණ බවක් දැනෙන්නට විය. ඇගේ පපුව සිරවෙන බවක් දැනුණි. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණාය. මේ තමන්ගේ සැමියා ය, තම දරුවාගේ පියා ය.

"හරි එහෙනම්" ඈ කීවාය. "දික්කසාද වෙමු."

* Scarlet Minivet

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story Birdsong by Jahnavi Barua
Picture created by Canva AI

සිසිල මාසික ඊ- සඟරාව - නොවැම්බර් 2023 කලාපය

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)




November 05, 2023

ඉසබෙල් ආච්චිගේ හීනය

ඉසබෙල් ආච්චිව මට මුණගැහුණේ බොහොම අහම්බෙන්. අඩි හතරහමාරක් වගේ උස එයා ටිකක් කුදු වෙලා හිටියේ. බැලූ බැල්මට වයස නම් අවුරුදු එකසියපනහක් තරම් විතර පෙනුණා- ඇත්තටම නම් අනූ පහක් විතර ඇති. එයාගේ සුදුම සුදු බොකුටු කොන්ඩේ කොටට කපලා තිබුණා, ඇස් දෙක හිනාවෙන් දිලිසුණා.

ඔය වගේ අතරමඟ දි මුණගැහෙන අහඹු චරිත එක්ක කතාවක් දාගෙන ඉන්න මම කැමතියි. කතා අතරේ මම ඉන්දියාවෙන්ද කියලා ඉසබෙල් ආච්චි ඇහුවා. දැන් යුගේ නම් මෙහෙ කවුරුවත් කාගෙන්වත් ආව රට අහන්නේ නැහැ හිත රිදෙයි කියලා. ඒත් ඉසබෙල් ආච්චි ඊට කලින් යුගේ මගේ හිතේ! මම ලංකාවෙන් බව කිව්වාම  එයා ආවේ ඔස්ට්‍රියාවෙන් බව එයා කිව්වා. ඒ වෙද්දීත් එයාට තිබුණු තද accent එක කොහේ එකක්ද කියලා මම කල්පනා කරමින් හිටියේ. ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු බර ගානක් ගත වුනත් එයාගේ accent එක නැතිවුණේ නැති බව එයා කිව්වා.

I've lost everything else from Austria, but not my accent! එයා එහෙම කිව්වේ හිනාවෙමින් උනත් ඒක ටිකක් දුක කතාවක් බව මට තේරුණා.

ඔහොම සාමීචි කතා කර කර ඉන්දැද්දී ඉසබෙල් ආච්චි මගේ රස්සාව ඇහුවා. ඉන්පස්සේ එයා අවුරුදු හතළිස්පහක් නර්ස් කෙනෙක් හැටියට මේ රටේ වැඩ කළා කිව්වා.

"Then you must have been very busy" මම කිව්වා

"Yes, but I never loved nursing. My passion was always in embalming" ඉසබෙල් ආච්චි උත්තර දුන්නා.

මගේ සාමීචි mode එක එකපාරටම නැවතුණා. ඒ මොකක්ද ඒ පැෂන් එක?? මම හිතුවා එකත් එකටම මට ඉසබෙල් ආච්චි කීව දේ ඇහුනේ වැරදියට කියලා.

මම පොඩ්ඩක් අවුල් වුණා කියලා ඉසබෙල් ආච්චි දැක්කා.

"Do you know what embalming is?"එයා ඇහුවා.

"I do know about embalming, but I am not sure if we are talking about the same thing" මම සැකෙන් වගේ කිව්වා.

"dead people, dead people!"එයා බොහොම උනන්දුවෙන් කිව්වා. ඒක කියද්දී එයාගේ ඇස් තව ටිකක් දිලිසුණා.

මේ අපබ්‍රංසේ අහලා ඉබේ ඇරුණු මගේ කට වහගන්නත් මට අමතක වුණා.

තමන් මතක ඇති කාලෙක ඉඳන් embalming ගැන බොහොම උනන්දුවෙන් හිටිය බව ඉසබෙල් ආච්චි මට විස්තර කළා. එයා ඉස්සර හීන මැව්වේ රස්සාවක් හැටියට embalming කරන්නලු. ඒත් ඒ කාලේ ඒ රස්සාව ඉගෙන ගන්න නම් මාස හයක් embalmer කෙනෙක් යටතේ පඩි නැතිව වැඩ කරන්න නියමිත වෙලා තිබුණා ලු. ඒක මාස හයක් පඩි නොලබා ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා අකමැත්තෙන් උනත් ඉසබෙල් ආච්චි හෙදි වෘත්තිය තෝරාගත්ත බව මට කීවේ හිතේ අමාරුවෙන්. එතකොට නම් ඉගෙන ගන්න අතෙරේම පඩි ලබන හෙද රස්සාවක් කරන්න ඉඩ ලැබුණා ලු.

මේ විස්තරය අහගෙන හිටියාට පස්සෙත් මම හිටියේ shock වෙලා. embalming වගේ දෙයක් කරන්න හීන මවන, එහෙම රස්සාවක් තමන්ගේ dream job එක වුණු ගෑනු කෙනෙක් තියා පිරිමි කෙනෙක් ගැනවත් මම කවදාවත් අහලා තිබුණේ නැහැ. අනික දැන් කාලේ වගේ නෙමෙයි, ඉසබෙල් ආච්චිට ඒ හීනේ තිබිලා තියෙන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර!

මගේ පුදුමේ ගැන වගක් නැතිව ඉසබෙල් ආච්චි දිගටම විස්තර කියමින් හිටියා.

එයා නර්ස් කෙනෙක් හැටියට වැඩ කළේ වැඩිහිටි සාත්තු නිවාසයකලු. ඒවායේ ඉතින් නිතරම වයසක උදවිය මැරෙනවානේ. එහෙම මැරුනාම "අනේ මට මෙයාව embalm කරන්න තිබුණා නම්!" කියලා එයාට හැමතිස්සෙම හිතුනා කියලා ඉසබෙල් ආච්චි කිව්වේ කැකිරි පලමින්. ඒක අහලා මටත් හොඳටම හිනා.

තාම උනත් තමන්ගේ හීනේට යන්න පරක්කු නැහැ කියලා මම ඉසබෙල් ආච්චිට කිව්වේ විහිලුවට වගේ. 

"Well at this rate I could do my own embalm soon!" කියලා එයාත් ඒ හිනාවට එකතු වුණා.

ඉතින් මිනිස්සුන්ගේ හීන කියන ජාති ගැන අපට කවදාවත් පිටින් බලලා තක්සේරු කරන්න බැරි බව ඉසබෙල් ආච්චි නිසා මම අද මුල ඉඳන් ඉගෙන ගත්තා!


 ඉසබෙල් ආච්චිගේ පින්තූරේ අන්දවා ගත්තේ Canva AI tool එකෙන්.