November 04, 2022

සමර!

ලියද්දී රිදුම් දුන්නත් සමර විජේසිංහ ගැන සටහනක් ලියන්න ඕන කියලා හදිසියේ හිතුණා.

මම කවි වලට ආදරය කරන, කාලයක් නොකඩවා කවි ලීව කෙනෙක්. කවි පොත් සිය ගණනක්, විවිධ කවි කිවිඳියන්ගේ කවි දහස් ගණනක් කියවලා තිබුණත් අදටත් මට නම් සමර විජේසිංහ කවියා ඉන්නේ ඒ හැමට ඉහළින්. ඉතාම අප්‍රකට ජීවිතයක් ගත කරලා කවි පොත් කිහිපයක්, කෙටිකතා පොත් දෙක තුනක් ලියලා සමර අකාලයේම මියගිහින් දැන් අවුරුදු හතක් තරම්.

සමරගේ නිර්මාණ බොහොමත්ම තරුණ වුණත් ඔහු ජීවිතයේ සන්ධ්‍යා සමය ගෙවමින් හිටි කෙනෙක්. ඒත් ප්‍රවීණයන්ගේ බොහෝ විට දකින්නට ඇති මානය කිසි දිනක සමර ළඟ තිබුණේ නැහැ. මමත්, තව කවියට හිතැති, කවි ලියන කිහිප දෙනෙකුත් එකතු වුණු කණ්ඩායමක සමර විජේසිංහ කවියා නිත්‍ය සාමාජිකයෙක් වෙලා හිටිය කාලයක් තිබුණා. මේ හරහා අපි බොහොම හොඳ මිතුරන් වුණා. අපේ නිර්මාණ වල ගුණ දොස් කියන්න, අපි එක්ක තරඟෙට 'කවි පැදුරු' ලියන්න ඔහු එකතු වුණේ බොහොම නිහතමානීව, කුඩා දරුවෙක්ගේ සතුටින්. කවියකට යොදන වචනයකට සමාන පදයක් අහගන්න, වචනෙක තේරුමකට විවාද කරන්න අපට හිටිය මිළ කළ නොහැකි මඟ පෙන්වන්නෙක්, සමර.

සමරගේ කවි අතිශයින් සරලයි. ඒ වගේම සමහර වෙලාවට කිණිසි පාරවල් වලට සමානයි. ඒ කවි වල ඉවත දාන්න කිසිම දෙයක් නැහැ. නිර්මාණයක් සරලව, එක එල්ලේ දැනෙන්න ලියන විදිහ අපිත් සමරගෙන් ඉගෙන ගත්තා කීවොත් හරි.

සමර අසනීප තත්ත්වයක් නිසා හදිසියේම යන්නට ගියේ 2015දී. තාමත් සමර ඇත්තටම යන්නම ගිහින්ද කියලා හිතෙන දවස් නැතුවා නෙමෙයි. හැබෑ ජීවිතයේ කිසි දවසක මුණ නොගැහුණු සමර වගේ කෙනෙකුට ඒ තරම්ම හිඩැසක් ඉතුරු කරන්න පුළුවන්. ඒ වගේම සමර ඇරෙන්න ඒ හිඩැස පුරවන්න වෙන කෙනෙකුත් නැහැ. අදටත් මම ඇඳ ළඟ තියාගෙන නැවත නැවත කියවන, ජීවිතයේ වැඩිම වාර ගණනක් කියවූ පොත සමර විජේසිංහ ගේ 'එක් කවිය සියවරක්' කවි පොත. කියවන හැම වාරයකදීම අලුතින් හිතන්න දේවල් ඒ කවි අතරින් උපදිනවා.

අවාසනාවකට සමරගේ පොත් ආයෙත් මුද්‍රණය නොවන බව ආරංචියි. ඒ නිසා දැනට වෙළඳ පොලේ තියෙන සීමිත පිටපත් ප්‍රමාණයෙන් පස්සේ සමර ගේ නිර්මාණ හෙමින් හෙමින් මැකිලාම යයි. සමහරවිට ඉතාමත්ම සරල පැවැත්මක් තිබුණු ඔහු ප්‍රාර්ථනා කළේ එහෙම වියැකීමක් වෙන්නත් ඇති!
මේ සමරගේ කවි අතරින් කීපයක්


දිලිසුණ පියවර කීපය
අප එවා ඇත
වරක් පමණක්
මේ පොළව මත
කෙටි දුරක් ඇවිද යාමට
සතුටු වෙමි
ඒ කෙටි දුරින්
බොහෝ දුර මා පැමිණි පසු
අප එකට
දිලිසෙන පියවර කීපයක්
ගමන් කළ බැවින්
සිහින් මීදුමට
අතුරුදන් වන්න පෙර ඔබ


මගේ ජීවිතය
එම දිලිසෙන පියවර කීපය ය

~~~~~~~~~~
අතහරින විට
ඔසවා හැකිතරම් ඉහළට
හෙලිය යුතු වෙයි පහළට
කැබලිවනු පිණිස
කුඩාවට
ලොකු සතුට එවිට


ඇය කළේ ඒ විදිහට

~~~~~~~~~~~

දිය කඳුර
දැන් ගැඹුර
වළලුකර පොවන තරමට
යන්තමට පා දොවා ගන්නට...
මෑතක් වන තුරුම
ඉණ ළඟට
නහා පීනා නිවා සැනසුව...
එ කල
කරවටක් ගැඹුරට
ගිලුන කිමිදුන
කීප වර
ගිලී මිය යන්න තරම් සිත් වුණ
කෙතරම් ඉක්මනට
සිඳුනේ ද සාගරය.

~~~~~~~~~~

දැවෙයි ඇතුළත
සිහි වෙන හැමවිටම
දැවෙයි ඇතුළත
සිහිනොවෙනු ඇති යැයි
සිතෙන හැම විටම
මෙයයි
සිදු විය හැකි හොඳම
මේ නොවෙයි
සිදු විය යුතු හොඳම

~~~~~~~~~~~~

පුපුරා නොයමි පිටතට
අසල රැඳි අයට
අනතුරක් වන ලෙසට
කඩා වැටෙනවා මිසක ඇතුළට
දැවී නිමවී
අඟුරු කැටයක් වීමට
මකා දා සියල් ඉතිහාස මතක
ආපසු කිසිවෙකුට
කියවිය නොහැකි විලසට

~~~~~~~~~~~~

බැඳෙන විට
හරියට බැඳී නැති
බිඳෙන විට
හරියට බිඳී නැති

~~~~~~

ඔබ හා මා
මුණගැසීම නො වීම

මා නොතරදාමයෙ කුදා ය
නුඹ ස්වර්ණතිලකා ය
මා කැවුම් මුහුණැති කුස ය
නුඹ ක්ලියෝපත්‍රා ය
මා උද්දාල මහලු බමුණා ය
නුඹ පබාවතී රන්රුව ය
මුණ නොගැසීම
එහෙයින් ය

~~~~~~~~~~
ගමනේ මැදක් හරියේදී ය

බිඳෙනසුලුය
බිඳී විසිරෙනසුලුය
සැමවිටම
යලි එකතු කරගත යුතුය
පෑස්සිය නොහැකි වුව
එකට ගොනුකර
රැගෙන යා යුතුය
මෙතෙක් කල්
යහපත් සියලු මිනිසුන්
යහපත් සියලු ගැහැනුන්
කළා මෙනි
~~~~~~~~~

අවට පරිලෝකනය කරත
ඇස් නතර වෙන රූ කීපයක්
මංගල සාදයේ සාරි ගොඩ මැද

රූමත් ගැහැණියක්
ලැම ඉග උකුල
යහපත් පරිමාණයෙන් යුතු
දෙවරක් බැලිය යුතු

පසුම්බිය තුලින් ආ උපැස්
පසුම්බිය තුලට නැවතත්
ඒ බිරිඳ
ගෙදර දී නො පෙනෙන

සිත නුඹ නොපණත් ය
අයිතිකරු පවා රවටන






(සේයාරුව ayithiya.lk)

2 comments:

  1. මම දවස් කීපයක්ම අහන්න හිටියා මලීගෙ පෝස්ට්ස්වල කලු බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන කවිය හරියට දැනෙනවා නේද කියලා. බලන්නකො ඉතින්...!

    ඇත්තටම මේ කවි එකකට එකක් දෙවෙනි නෑ. අන්තිම කවියෙන් කියන දේ... "මංගල සාදයේ සාරි ගොඩට" සම්බන්ද කරලා... "ඒ බිරිඳ ගෙදර දී නො පෙනෙන". පුදුම දක්ශ කවි ලිවීමක් ඒක නම්.

    ReplyDelete
    Replies
    1. සමර ගේ කවි රස වින්ද එක ගැන සතුටුයි Lotus. Blog sidebar එකේ තියෙන කවිය සමරගේ කවි අතරින් වැඩියෙන්ම quote වුන, share වුන කවිය මගේ හිතේ. පොතෙත් පලවෙනි කවිය, මමත් කැමතිම එක.

      සමරගේ unpublished කවි එකතුවක් සැකසෙමින් තියෙනවා. ඉවර වුණාම ඔයාට එවන්නම්. මේවා සලකුණක්වත් නැතිව මැකිලා යන එක ගැන දුක නිසායි මෙහෙම හරි සටහන් කරන්න හිතුණේ.

      Delete