May 17, 2022

වෙසක් කතා

වෙසක් පහු උනාට තාම වෙසක් සතියනේ, ඒ නිසා වෙසක් පෝස්ට් එකක් ලියන්න හිතුණා. disclaimer - ටිකක් නොස්ටැල්ජියාවට බරයි- හතළිහෙන් පස්සේ ආපස්ස බැලෙනවා වැඩියි කියලා කවුද කියලා තිබ්බා.

අපේ මහගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහ. පන්සලට හරියටම පාරෙන් එහා පැත්තේ. වෙසක් එකට පන්සලට සූ ගාලා සෙනඟ එන නිසා අපි ගෙදර ටිකක් ලස්සනට වෙසක් සැරසිලි කරන්න හැමදාම උනන්දු වුණා. එක පාටින් කූඩු පහක් හයක් හදලා, ලයිට් වැල් දාලා, බකට් පත්තු කරලා වැඩ ගොඩයි. ඉස්සරම අපේ ගෙදර වෙසක් කූඩු හැදුවේ තාත්තා. සීරුවට පිළිවෙලට ඒ වැඩේ කරන්න මම නම් ඉගෙන ගත්තේ තාත්තා ගේ වැඩ බලාගෙන ඉඳලා. සව් කොළ නාස්ති නොවෙන විදිහට කූඩුවේ මිමි ගන්න හැටි, හීනි රැළි කපන හැටි ඔක්කොම ඒ පාඩමට ඇතුළත්.

මේ හුරුව නිසා ඉස්කෝලේ වෙසක් කූඩු තරඟ වලදීත් පන්තියේ කූඩුව හදන්න මම මුල් තැන ගත්තා. බාලිකා ඉස්කෝල වල අතපයේ පාප්ප ගාගෙන ඕවා කරන්න කැමති අය හිටියේ අඩුවෙන්.

පස්සේ කාලෙක තාත්තා රටේ නොහිටිය, අක්කලාත් විභාග වලට පාඩම් කරන කාල වලදී ගෙදර වෙසක් සැරසිලි වැඩේ මම තනියම භාරගත්තා. ඒ වෙද්දී තාත්තාගේ ට්‍රේනින් එක නිසා මම වැඩේට ප්‍රවීණයෙක් වෙලා හිටියේ. කූඩු හදනවා කියන project එකට බට ගාල් වල රිංගලා බට කපන, සුද්ද කරන (අත් වල කෑලි කපාගන්න) වැඩ ඔක්කොම ඇතුළත්. කොහොමහරි අපේ ගෙදර හැමදාම ලස්සන වෙසක් සැරසිලි  සම්ප්‍රදාය මමත් කවදාවත් වෙනස් වෙන්න ඉඩ දුන්නේ නැහැ. පස්සේ කාලෙක අක්කලාත් මමත් කසාද බැඳලා මුලින් ගෙදරිනුත් පස්සේ රටෙනුත් පිටවුණත් ඒ සම්ප්‍රදාය එහෙමම පැවතුණේ ආයෙත් තාත්තා වෙසක් සැරසිලි රාජකාරිය පවරා ගත්ත නිසා. දැන් අපි ඔක්කොම ඕස්ට්‍රේලියාවේ. අපේ මහගෙදරත් දැන් එතැන නැහැ.

මහගෙදර වෙසක්- ඉස්සර තාත්තා ගත්ත පින්තූරයක් 

 

ඒත් අපි තවමත් මෙහෙත් කොහොම හරි වෙසක් සැරසිලි කරනවා. තාත්තා පොඩි අක්කාලාගේ ගෙදරත් මම අපේ ගෙදරත් හැම අවුරුද්දෙම වෙසක් කූඩු හදනවා. අපේ පුතා මගේ ළඟ දැවටෙමින් පොඩි පොඩි අත් උදවු දෙනවා. වෙසක් කාලෙට මෙහෙ වැස්ස හුළඟ වැඩි කාලයක් උනත්, සමහර දාට කූඩු එල්ලලා ඊළඟ දවසෙම තෙත බත් වෙලා කඩා වැටුණත් මම නොකඩවා ඒ වැඩේ කරනවා. ඒක මට පොඩි භාවනාවක් වගේම ළමා කාලයට එබෙන්න ලැබෙන කවුළුවක් වගේ දෙයක්.

මේ රටවල ඉතින් අපිට ඕන විදිහට අමුද්‍රව්‍ය නැතත් අපි කොහොම හරි improvise කරනවා. බට පඳුරු නැතත් පැල වලට ආධාරක හැටියට හිටවන්න බට කෝටු මිටි මල් පැල කඩවල විකුණන්න තියෙනවා. සව් කොළ නැතත් තෑගි ඔතන ටිෂු කොළ තියෙනවා. ඔට්ටපාළු නැතත් රබර් පටි තියෙනවා. බල්බ්, හෝල්ඩර් අටවන ලයිට් වැඩ අවදානම් උනත් LED ලයිට් තියෙනවා. උවමනාවක් තියෙනවානම් ක්‍රමයකුත් තියෙනවා කියන කියමන මේ නිසා ඇත්ත වෙනවා. දැන් දැන් නම් මෙහෙ ලංකාවේ කඩවල ප්ලාස්ටික් වෙසක් කූඩු සැකිලි විකුණන්න තියෙනවා. ඒත් මම තාම කැමති දිග ක්‍රමයට හදන්න. (පවට පිං දෙන්න බැහැ කියලා මගේ යාළුවො හිනාවෙනවා!)

මෙරට වෙසක්- අවුරුදු කීපෙක පින්තූර 


මම හිතාගෙන හිටියේ අපේ generation එකේ අය අඩු වැඩි හැටියට මේ වගේ ලංකාවේ වෙසක් අත්දැකීම් ඇතිව වැඩුණු අය කියලා. ඒ කියන්නේ මහන්සිවෙලා වෙසක් කූඩු හැදුව, තරඟෙට කූඩු හැදුව, කූඩු ගිනිගත්ත අත්දැකීම් තියෙන අය කියලා. ඒත් ඒක එහෙමම නැහැ කියලා ඊයේ පෙරේදා මට තේරුණා. ඒ වෙසක් කූඩු හදන එක ගැන කතා කරද්දී අපිට වඩා අවුරුදු දෙක තුනක් බාල සමහර කොල්ලෝත් පොඩි කාලේ ලංකාවේදී කූඩු හදපු නැති අය බව කියද්දී. මේ කොළඹ හතේ කට්ටිය නෙමෙයි, ගම් වල ළමයි. අපේ ගෙදර හිටියේ කෙල්ලෝ විතරක් වුණත් අපි හිටියේ නාගරික පරිසරයක වුණත් අපි නොකඩවා එක හිතින් ඒ සැරසිලි කළ එක ගැන, තාම කරන්න හිතෙන එක ගැන මට පුදුමයක් දැනුනා.

වෙසක් සැරසිලි වගේ දේවල් මිනිස්සු කරන්නේ ලොකු ආගමික නැඹුරුවක් නිසා නෙමෙයි. simply because it is fun. ඒ වගේම පොඩි කාලේ කළ ඒ සැරසිලි වලින් පස්සේ කාලෙක වැඩිහිටියෙක් හැටියට අතීතේ රවුමක් දාලා එන්න ඉඩ දෙන ලස්සන මතක ටිකකුත් ලැබුණා කියලා දැන් තමයි තේරෙන්නේ.

2022 වෙසක් 



23 comments:

  1. ඔයාගේ කතාවෙන් බාගයක්ම මගේ කතාව.
    තාත්තාගෙන් ඉගෙනගත්තු කූඩුව අවුරුදු හතලිස් ගානක් මමයි ඉස්සරහට ගෙනාවේ. මට දැන් 53 යි
    මගේ කොල්ලෝ දෙන්නා අත තියන්නේ නැහැ කුඩුවකට
    උන්ගේ තාත්තත් එලෙසමයි....බල්බ් නම් අටවයි
    වෙසක් එකත් මට විතරයි......
    බල්බ් වැල බලන්නවත් එකෙක්වත් එලියට බස්සගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි අනේ, ඔයා සැලෙන්න එපා. අපි හදමු කූඩු දිගටම! :D

      අපේ කොල්ලා මම දිව හපාගෙන කැටයම් කපනවා බලන් ඉඳලා මේ සැරේ කිව්වා "Ämma I don't think I will ever have the patience or religious motivation to make those, ever" කියලා. ඇත්තම කිව්වා කොච්චර උනත්. :D :D

      Delete
  2. AnonymousMay 17, 2022

    මේ අපේ පරම්පරාවේ කතාවයි. බට කපා ගෙන කුඩු හදපු අන්තිම පරම්පරාව අපි.

    ReplyDelete
  3. බෞද්ධ නොවන පවුලක වුනත් අපිත් ඒ කාලේ කූඩු හැදුවා, බකට්, බෞද්ධ කොඩි එල්ලුවා. ඔයවගේ රටවල ක්‍රිස්තියානි නොවන අයත් නත්තල් ගස් හදනවා මම දැක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන්, ඔව් ඒ වගේ දේවල් වලට ආගම බලපෑවේ නැහැ නේද? මාත් මේ මෑතක් වෙනකම් නත්තල් ගස් හැදුවා :)

      Delete
  4. කූඩු ටික වගේම ලස්සන පෝස්ට් එකක්.🙏👌

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ බස්සා!

      Delete
  5. AnonymousMay 18, 2022

    බට කපන, සුද්ද කරන (අත් වල කෑලි කපාගන්න) වැඩ...
    බට කේස් එකේ අත් කපාගත්තෙ නැති එකෙක් නං ඒ කියන්නේ කූඩු හදනවා බලාගෙන හිටි එකෙක්!

    මේ කතාව ටෲ ඉස්ටෝරියක් බව සහතික කරමි!

    ජයවේවා!
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අපි නං කැපුවෙ උන බට. එහෙම කපාගෙන, කිරිල්ල ගෙඩි කාලා, ඇටේ බටේට දාලා පන්නගෙන ගිහින් පුපට වෙඩි තිබ්බා, අපේ හාංදුරුනේ. ට්රූ ඉස්ටෝරි, ක්‍රොස් මෛ හාට්, හෝප් ටු ඩයි.

      Delete
    2. AnonymousMay 18, 2022

      බට තුවක්කුවෙං හරි හමං සොට් එකක් වැදුනොත් සොරිම තමයි. තාම සිදෙනව.
      හැබැයි අපි නං ඒකට ගත්තෙ උන බටේ නෙවෙයි හීනි බට ජාතිය. උන බටෙං හදන්නේ අවුරුද්දට දාන වෙඩි!

      ජයවේවා!

      Delete
    3. හැට්ටර්- අනිවා! ඔබ තුමා මේක ටෲ ඉස්ටෝරියක් බව සහතිකත කළා නම් එච්චරයි. :D
      එහෙම ලබපු තුවාල ඉතින් හංගන්නත් වෙනවා. මොකද ගෙදරින් බැනුම් අහගෙන නේ බට ගාල් වල රිංගන්න යන්නේ!

      ඇත්තම කියනවානම් වෙසක් කූඩු හැදුවාට උන බට වලින් කරන සරුංගල් හැදිලි, බට තුවක්කු, වෙඩි හැදිලි වගේ වික්‍රම නම් කරලා නැත. ඒවාට ඉතින් ගෙදර කොලු පරාණයක් වත් ඉන්න ඕන

      ඒක නෙමෙයි මොකද මේ බ්ලොගර් එකෙන් අපිට profile එකෙන් කමෙන්ට් කරන්න දෙන්නේ නැත්තේ? මට මතකයි කලිනුත් ඒ ගැන කතාවක් යනවා. මම අන්තිමේදී opera browser එකෙන් login උනාමයි ඉඩ ලැබුණේ

      Delete
  6. මුලින්ම දාල තියෙන තාත්තා ගත්ත ෆොටෝ එක හරිම ලස්සනයි සහ කලාත්මකයි.

    "ඒක මට පොඩි භාවනාවක් වගේම ළමා කාලයට එබෙන්න ලැබෙන කවුළුවක් වගේ දෙයක්"- That's great.

    පාප්ප ගැන කියලා තියෙනකොට මට එකපාර මතක් වුනේ මචං ෆිල්ම් එකේ මුල් හරියේ සීන් එකක පුතා අහනවා ගෙදර ගම් තියෙනවද වීසා ඇප්ලිකේෂන් එකේ මුද්දරේ අලවන්න කියලා. එතකොට තාත්තා කියනවා මම පාප්ප ටිකක් හදාගෙන එන්නම් කියලා. ඒ සීන් එකේදි ටිකක් දුක හිතෙනවා ඒකෙන් සංකේතවත් කරන්නෙ දුප්පත් කම කියලා හිතිලා. (මම ඉතිං side tracked, as usual).

    ReplyDelete
    Replies
    1. අපේ ගේ දොරකඩ අඹ ගහේ ඕකිඩ් වවලා තිබ්බා. ඒකෙ තිබ්බ වෙසක් මල් කියන ජාතිය තමයි ඒ පින්තුරෙ තියෙන්නේ. ඇත්ත නම මොකක්ද මන්දා වෙසක් කාලෙට නොවැරදී මල් පිපුණා.

      'මචං' මම කැමතිම ෆිල්ම් එකක්. ඒකෙ සෞම්‍ය ලියනගේ ඉංග්‍රීසියෙන් කියන්න ඕන තැනකට සිංහලෙන් කියන මරු දෙබසක් තියෙනවා :D

      පාප්ප කියන්නේ වෙනමම පෝස්ට් එකක් ලියන්න ඕන සබ්ජෙක්ට් එකක්. පාප්ප පදම, පාප්ප නරක් වෙන හැටි ආදී වශයෙන්. වෙසක් කුඩු වගේ ලොකු වැඩකට ගම් බෝතල් මදිවෙන නිසා වෙන්නැති පාප්ප පාවිච්චි කළේ. අනික ගම් බෝතල් කියන්නේ ඉස්කෝලේ වැඩවලට විතරක් පාවිච්චි කරන දෙයක් නේ ඒ කාලේ. ඇත්තම කියනවානම් මම හිතාගෙන හිටියේ වෙසක් කූඩු අලවන්න ඕන පාප්ප වලින්මයි කියලා. මෙහෙදිත් මුලදී පාප්ප හට්ටියක් එහෙම හදාගෙන නැටුවා! පස්සේ තමයි තේරුණේ elmer glue බෝතලයකින් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා :D

      side tracked හොඳයි- එතකොට මාතෘකා මැවෙනවා!

      Delete
    2. The best Sinhala film I have ever watched !

      Delete
  7. පාප්ප හැලියක් හදාගත්තෙ නැත්තන් වෙසක් නෙවෙයි වාගෙ ...පලවෙනි දවසේ ඒකෙ සුවඳ සහ දෙවෙනි දවසේ ගඳ.....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ- අනිත්‍ය පාප්ප හැලියෙන්ම අවබෝධ කරගන්න පුළුවන්! :D

      Delete
  8. මට දැන් දුකයි කූඩු හැදුවේ නැති එකට. කරලම නැහැ. සරුංගල් නම් ඇරියා. අපේ ගෙදර කූඩු හදනන් උත්සහ කලේ බිරිඳ විතරයි.

    ReplyDelete
    Replies
    1. අජිත්- තාම පරක්කු නැහැ, ඊළඟ වෙසක් එකට හදමු :)

      Delete
    2. බිරින්දන්ට නේන්නං වෙසක්

      Delete
  9. මම මලී දුව ගේ වෙසක් කුඩු කතාවයි පහලින් තිබුණු comments සියල්ලමයි කියෙව්වා. ඔය blog එක ලියපු දියණිය උපදින්නටත් කලින් අඩුම වශයෙන් තිස් වතාවක් වත් මම වෙසක් කූඩු තනිවම සකස් කර ආලෝකමත් කර තිබෙනවා. මුල් කාලවලදී නම් ආලෝකය ඉටිපන්දම් වලින්. මා විදේශ වල සිටිද්දීත් අවශ්‍ය ද්‍රව්‍ය කොහොම හරි සොයාගෙන වෙසක් සැරසිලි කර තිබෙනවා. මේ ආකාරයට මේ වනවිට වසර හැටක හැත්තෑවක පළපුරුද්දක් තිබෙනවා. ඔය පින්තුරයේ තිබෙන Wesak orchid පැලයේ මල් කිනිත්තක් සෑම වෙසක් එකකටම පිපී අපේ වෙසක් සැරසිලි තවත් වර්ණවත් කළා. දැන් මෙල්බර්න් වලට සංක්‍රමණය වෙලා උනත් වෙසක් සැරසිලි අමතක කළේ ලේ නම් නැහැ.

    ReplyDelete
  10. අපේ ගෙදරත් වෙසක් කාලෙට ඔහොමයි . හරියට හෙලවෙන්නෙ නැතිව කූඩුවක් හදාගන්න එක තරම් සතුටක් නෑ ඉතින් . තාත්ත ඉන්න කාලෙත් දැන් අම්මයි මමයිත් අනිවාරෙන් කොහොම හරි බට හොයාගෙන වෙසක් කූඩු හදනවාම තමයි.
    ඉස්කෝලෙ යන දවස් වල වෙසක් කියන්නෙ මාරම සතුටු කාලයක්. පන්ති වල තරගෙට වෙසක් කූඩු හැදුවට අන්තිමට ඒක තරගයක් නොවී පොදු වැඩක්ම වෙනව
    තරුණ අය වෙසක් කූඩු හදන්න උනන්දු නෑ කිව්වට එහෙම නැත්තෙ සුලුතරයක් විතරයි 😊😊😊

    ReplyDelete
  11. හරිම අපූරු සටහනක් ❤️

    ReplyDelete