December 31, 2020

තාවකාලික සිද්ධියක්

 Translation of the short story 'A Temporary Matter' by Jhumpa Lahiri 



හැමදාම රාත්‍රී අටේ සිට පැයක කාලයක් විදුලිය විසන්ධි වීමට නියමිත බව කියවුණු නිවේදනයේ නම් සඳහන්ව තිබුණේ එය තාවකාලික සිද්ධියක් බව. පහුගිය දවසක ඇතිවුණ හිම කුණාටුව නිසා විදුලි කම්බියක් කඩා වැටුණු නිසා එය අලුත්වැඩියා කරන්නට විදුලි කාර්මිකයන් යහපත් කාලගුණයක් තිබුණු මේ දවස් තෝරාගෙන තිබුණා. මේ විදුලි විසන්ධිය බලපාන්නට නියමිතව තිබුණේ කඩ පේළියටත් ට්‍රොලි කාර් නැවතුමටත් කිට්ටු, ගස්වලින් සෙවන වුණු නිහඬ මාවතක තිබුණු ගෙවල් පෙළකට පමණයි. ශෝභා සහ ශුකුමාර් මේ නිවසේ පදිංචි වී තුන් වසරක් ඉකුත් වී තිබුණා. 

“හොඳ වෙලාවට අපිට මෙහෙම දැනුම් දුන්නේ” ශෝභා නිවේදනය හඬ නඟා කියවූ පසු කීවේ ශුකුමාර් ට වඩා තමන්ටම ඇසෙන්නට මෙන්. ෆයිල් කවර පිරී තිබුණු ඇගේ හම් මල්ලේ පටිය උරහිසින් පැන්නූ ඇය එය සාලයේ බිමට අතහැර මුළුතැන්ගෙයට ඇතුල්වුණා. ඇය අළු පැහැති සැහැල්ලු කලිසමක් හැඳ සුදු ක්‍රීඩා පාවහන් පැළඳ සිටි අතර ඊට පිටින් තද නිල් පෑ පොප්ලින් වැහි කබායක් හැඳ සිටියා. වයස තිස්තුනේදී ඇගෙන් දිස් වූයේ කවදාවත් මෙසේ නම් නොවේමැයි කියා ඈ අතීතයේදී සපථ කළ පෙනුමක්. 

ඈ පැමිණ තිබුණේ ව්‍යායාම මධ්‍යස්ථානයේ සිට. ඇගේ තද රත් පැහැ තොල් ආලේපනය මේ වෙද්දී ඉතිරිව තිබුණේ දෙතොලේ කෙළවර වල පමණයි. ඇස් වටා ගෑ අඳුන් දැලි පැල්ලමක් ලෙස දෑස යට දිස් වුණා. ඉස්සර, සාදයක හෝ අවන්හලක ගත කළ රාත්‍රියකින් පසුව ඈ මුහුණ සෝදා හරින්නට බෙහෙවින් කම්මැලිව, නමුත් ඔහුගේ දෑත වෙත කඩා වැටෙන්නට බොහෝ උනන්දු වූ දිනවලට පසුව එළඹුණු උදෑසනවල ඈ මෙලෙසම දිස් වූ බව ශුකුමාර්ට සිතුණා. ඈ ලියුම් මිටියක් මේසය මතට අතහැරියේ ඔහු දෙස බැල්මක්වත් නොහෙලාමයි. ඈ තවම හිටියේ අනෙත් අතෙහි වූ නිවේදනය කියවමින්. "මේවා දවල්වරුවට අලුත්වැඩියා කරන්න එපායැ"

"ඒ කියන්නේ මම ගෙදර ඉන්න වෙලාවටද?" ශුකුමාර් ඇසුවා. ඔහු බැටළු මස් ව්‍යංජනය වීදුරු මූඩියකින් වැසුවේ හුමාලය ඉතා ස්වල්ප ලෙස පිටතට එන ලෙස. ජනවාරියේ පටන් ඔහු ගෙදර සිට වැඩකරමින් සිටියේ ඉන්දියාවේ කෘෂිකාර්මික විප්ලවය ගැන ඔහුගේ උපාධි නිබන්ධනයේ අන්තිම පරිච්ජේද සම්පූර්ණ කරන්නට උත්සාහ කරමින්. "කවද්ද දැන් ඕක පටන්ගන්නේ?"

"මේකේ කියලා තියෙන්නේ මාර්තු දහනමය කියලා. අදද දහනමය?" ශෝබා ශීතකරණය අසල බිත්තියේ සවිකර තිබුණු දැන්වීම් රඳවන පුවරුව වෙත ගියා. එහි විලියම් මොරිස් ගේ පසුතල මෝස්‌තර සහිත දින දසුනක් හැර වෙන කිසිවක් තිබුණේ නැහැ. ඈ එය පළමු වතාවට දුටු කෙනෙක් ලෙසට එහි ඉහළ තිබුණු පසුබිම් රටාව දෙස සුපරීක්ෂාකාරීව බලා හිඳ ඉනික්බිති දින සටහන් ව තිබුණු කොටස වෙත දෑස යොමු කළා. ඔවුන් ඉකුත් වසරේ නත්තල සැමරුවේ නැතත් මේ දින දසුන ඔවුන්ට නත්තල් ත්‍යාගයක් ලෙස මිතුරෙක් තැපෑලෙන් එවා තිබුණා.

"එහෙනම් අද" ශෝභා හඬගා කීවා. "ඔයාට සිකුරාදාට දන්ත වෛද්‍යවරයා හම්බවෙන්නත් තියෙනවා ඔන්න"

ඔහු දිවෙන් තම දත් දෙපෙළ පිරිමැද්දා: ඔහුට එදින උදෑසන දත් මදින්නට අමතකව තිබුණා. ඔහු එදා දවසමත්, ඊට පෙර දිනයේත් නිවසින් බැහැරට ගොස් තිබුණේ නැහැ. ශෝභා නිවසින් පිටත කාලය ගත කළ තරමට, ඈ අලුත් ව්‍යාපෘති භාරගනිමින් රැකියා ස්ථානයේ ප්‍රමාද වන තරමටම ඔහුට වඩ වඩාත් නිවසේ රැඳෙන්නට වුවමනා වුණා. ලියුම් ගන්නවත්, ට්‍රොලි රථ නැවතුම අසල කඩ පෙළින් පලතුරු හෝ වයින් මිලදී ගන්නවත් ඔහු නිවසින් පිටතට ගියේ නැහැ.

මීට මාස හයකට පෙර ශුකුමාර් බැල්ටිමෝර්හි ශාස්ත්‍රීය සමුළුවකට සහභාගී වෙමින් සිටිද්දී ශෝභාට විලිරුදා ඇති වූයේ නියමිත දිනට සති තුනකට කළින්. ඔහුට ඒ සමුළුවට සහභාගී වෙන්නට වුවමනාවක් තිබුණේ නැහැ, ඒත් ඇය ඔහුට යන්නැයි බල කර සිටියා. ලබන වසරේදී ඔහු රැකියා වෙළඳපොළට එළඹෙන්නට නියමිතව සිටි නිසා අලුතින් විවිධ පුද්ගලයින් හඳුනාගැනීම වැදගත් බව ඇය කියා සිටියා. ඔහු නවාතැන් ගන්නා හෝටලයේ දුරකථන අංකයත් ඔහුගේ කාර්ය සටහනත්, ගුවන්යානාවල අංකත් සියල්ල ඈ ළඟ ඇති බවත් හදිසියක් වූවොත් ඈ ව රෝහලට කැඳවාගෙන යන්නට ඇගේ මිතුරිය ජිලියන් සූදානම් බවත් ඈ කීවා. ගුවන්තොටුපල වෙත යන කුලී රිය එදා ඔවුන්ගේ නිවස අසලින් නික්මෙද්දී ශෝභා ඔහුට සමුදෙන්නට අතවනමින් සිටියේ එක් අතක් ඇගේ නෙරා ආ කුස මත රඳවාගෙන, හරියට එය ඇගේ සිරුරේ ස්වභාවික කොටසක් ලෙසට.

ඒ මොහොත, ඔහු අවසන් වතාවට ශෝභා ගැබ්බරව දුටු මොහොත ගැන නැවතත් සිහි කරන හැම විටකදීම, ඔහුට වැඩියෙන්ම සිහියට නැඟෙන්නේ ඔහු ගමන් කළ කුලී රිය. එය රත් පැහැති ස්ටේෂන් වැගන් වර්ගයේ රථයක් වූ අතර එහි බඳේ නිල් පාටින් අකුරු සටහන් කර තිබුණා. ඔවුන්ගේ මෝටර් රථය හා සසඳද්දී එය විශාල ගුහාවක් සේ දැනුණා. තමන්ගේ ජීන්ස් කලිසම් වල සාක්කුවලටත් පහසුවෙන් රුවන්නට නොහැකි තරමේ විශාල දෑත් තිබුණු අඩි හයක් උස ශුකුමාර්ට පවා මේ කුලී රථයේ පසුපස අසුනේදී දැනුණේ තමන් අඟුටුමිට්ටෙක් බවක්. රථය බීකන් පාර ඔස්සේ වේගයෙන් ඇදී යද්දී ඔහුටත් ශෝභාටත් අනාගතයේදී තම දරුවන් සංගීත පන්ති වෙත, දන්ත වෛද්‍යවරු වෙත රැගෙන යන්නට ස්ටේෂන් වැගන් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි ඔහු සිතින් මවාගත්තා. ඔහු ඒ රථයේ සුක්කානම තරයේ අල්ලා සිටිද්දී ශෝභා පසුපස අසුන වෙත හැරී ළමුන්ට බීම පැකට්ටු දෙන අයුරු ඔහු මවාගත්තා. ඔවුන් දෙමව්පියන් වීමේ මෙවැනි මනෝචිත්‍ර ශුකුමාර්ගේ සිත අවුල් කළ කාලයක්ද අතීතයේ තිබුණා, විශේෂයෙන්ම වයස තිස් පහක් වූ පසුත් ඔහු තවමත් ශිෂ්‍යයෙක්ව සිටි නිසා. ඒත් ඒ ශරත් සමයේ උදෑසන, ගස්වල අතුපතර ලෝකඩ පැහැති පත්‍රයෙන් බරව පැවති මොහොතේ, ඔහු පළමු වතාවට ඒ සිතිවිල්ල සතුටින් පිළිගත්තා. 

එකකට එකක් සමාන සමුළු සැසි කාමර අතරින් හෝටල් කාර්යමණ්ඩලයේ කෙනෙක් ඔහුව සොයාගෙන ඔහුට ඝන හතරැස් කඩදාසියක් දුන්නා. එහි ලියා තිබුණේ දුරකථන අංකයක් පමණක් වූවත් ඒ රෝහලේ අංකය බව ශුකුමාර් දැනගත්තා. ඔහු ආපසු බොස්ටන් වෙත එද්දී සියල්ල අවසන්ව තිබුණා. බිලිඳා ඉපදී තිබුණේ මියගොසින්මයි. ශෝභා ඇඳක වැතිර නින්දේ පසුවුණේ රෝහලේ ඉතා කුඩා පෞද්ගලික කාමරයක. මේ කාමරය කෙතරම් කුඩා ද යත් ඇගේ ඇඳ අසල සිටගන්නත් ඉඩකඩ තිබුණේ යන්තමින්. ඉන් පෙරදී දෙමව්පියන් වීමට බලාපොරොත්තුව සිටි අයව රෝහල වටා රැගෙන ගිය සංචාරයට ගොඩනැඟිල්ලේ මේ කොටස අයත් වූයේ නැහැ. ශෝභාගේ වැදෑමහ හදිසියේ දුර්වල වී තිබුණු නිසා ඈව ශල්‍යකර්මයකට ලක් කර තිබුණත් ඒ වෙද්දී ප්‍රමාද වැඩියි. ඇතැම් විට මෙවැනි දේ සිදුවන බව වෛද්‍යවරයා පැහැදිලි කළා. තමන් වෘත්තීමය වශයෙන් පමණක් හඳුනන අය සමඟ සිනාසිය හැකි කරුණාවන්තම ආකාරයට ඔහු ඔවුන් සමඟ සිනාසුණා. ශෝභා සති කිහිපයකින් නැවතත් සුවපත් වන බවත් අනාගතයේදී ඇයට දරුවන් නොලැබෙන බවට කිසිම සාක්ෂියක් නැති බවත් ඔහු කීවා. 

මේ දිනවල ශුකුමාර් අවදි වෙද්දී ශෝභා යන්නට ගොසින්. ඔහු දෑස විවර කරන විට ඇගේ කොට්ටය මත ඇගේ කළු කෙස් කිහිපයක් දකින ඔහුට නගරයේ කෙළවරක ඇගේ කාර්යාලයේ, මේ වෙද්දී තුන්වන කෝපි කෝප්පයත් තොලගාමින් සිටින ඈව මැවී පෙනුණා. ඇගේ රැකියාව සටහන් පොත්වල වැරදි සොයා ඒවා එක්තරා කේතයකට අනුව පාට කිහිපයක පාට පැන්සල් යොදාගෙන ලකුණු කිරීම. ඔහුගේ උපාධි නිබන්ධනයත් සම්පූර්ණ කළ පසු එලෙසම ලකුණු කර දෙන්න ඈ පොරොන්දු වී තිබුණා. ඔහුගේ කටයුතුවල ඇති අතට හසු කරගනු නොහැකි ලක්ෂණය හා සසඳද්දී ඇගේ කාර්යයන්හි නියත බව ගැන ඔහුට ඊර්ෂ්‍යාවක් දැනුණා. කුතුහලයක් රහිතව කරුණු මතක තබාගැනීමේ හැකියාවක් තිබුණු ඔහු විශේෂ දක්ෂතා නොතිබුණු සාමාන්‍ය සිසුවෙක්. පසුගිය සැප්තැම්බර් මාසය වෙනතුරුම ඔහු විශේෂ කැපවීමක් නොවී ම අනලස් ව නිබන්ධනයේ පරිච්ජේද සාරාංශ කරමින් කහ පැහැති රූල් කඩදාසිවල තර්ක සටහන් කරමින් කාලය ගත කළා. එහෙත් දැන් උදෑසනට ඔහු අලසබවක් දැනෙන තුරුම ඔවුන්ගේ ඇඳේ වැතිර සිටින්නත් ශෝභා නිරතුරුව විවර කර තබා ගිය අල්මාරියේ ඔහුගේ පැත්තේ දොර පලුවෙන් පෙනෙන ට්වීඩ් කබායන් සහ කොඩ්රෝයි කලිසම් දෙස බලා මේ සෙමෙස්ටරයේ තමන්ගේ පන්තිවලට ඉගැන්වීමට යාමට අඳින්නට ඉන් එකක් තෝරාගත යුතු නැති අයුරු ගැන සිතමින් කාලය ගෙවන්නත් පුරුදු ව සිටියා. බිළිඳා මිය ගිය පසු ඔහුගේ ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වන්නට ප්‍රමාද වැඩි වුණා. ඔහුගේ උපදේශකවරයා සියල්ල සැලසුම් කර තිබුණේ වසන්ත සෙමෙස්ටරය ඔහුට නිදහසේ ගත කරන්නට හැකි වන විදිහට. ශුකුමාර් මේ ගෙවමින් සිටියේ ඔහුගේ උපාධි පාඨමාලාවේ හය වෙනි වසරයි. "මේ කාලයත් ගිම්හාන කාලයත් ඔබට තල්ලුවක් ගන්න ප්‍රමාණවත් වේවි." උපදේශකවරයා පවසා තිබුණා. "සැප්තැම්බර් මාසය වෙද්දී හැම දේම අවසාන කරන්නට ඔබට හැකි වේවි."

එහෙත් කිසිම දේකින් ශුකුමාර් ට නම් තල්ලුවක් දැනුණේ නැහැ. ඒ වෙනුවට ඔහු නිදන කාමර තුනක් ඇති මේ නිවසේ, තමනුත් ශෝභාත් හැකි සෑම විටකම එකිනෙකාට වෙනස් තට්ටුවක කාලය ගත කරමින් කොයිතරම් සාර්ථක ලෙස එකිනෙකාව මඟහරිමින් සිටින්නේදැයි සිතමින් පසුවුණා. සතිඅන්තය එළඹෙන තුරු තමන් දැන් මඟ බලා නොසිටින බව ඔහුට සිහිවුණා. සති අන්තයේදී ඈ ඇගේ පාට පැන්සල් සහ ෆයිල් කවර රැගෙන සෝපාවේ පැය ගණන් ගත කරන අයුරුත්, තමන්ගේම නිවසේ සංගීත තැටියක් වාදනය කිරීම නොහික්මුණු බවක් යැයි සිතා ඔහු එසේ නොකරන අයුරුත් ගැන ඔහු සිතුවා. කලාතුරකින් දිනයක නින්දට පෙර එකිනෙකාගේ සිරුරු වෙත දෑත් දිගුකළ විටෙක ඇය ඔහුගේ දෑස දෙස බලා සිනාසුණු දිනයක්, ඔහුගේ නම කෙඳිරූ දිනයක් මතක ඇති කාලයක නොතිබුණු බව ඔහු සිතුවා.

මේ සියල්ලම කාලයත් එක්ක මඟහැරී යනු ඇති බවත් ඔහුත් ශෝභාත් කෙසේ හෝ මෙයින් මිදෙනු ඇති බවත් ඔහු මුලදී සිතුවා. ඈට තවම තිස්තුනයි. ඈ ශක්තිමත්, ඈ නැවත දෙපයින් නැගී සිටගෙන. එහෙත් ඉන් ඔහුට සැනසිල්ලක් දැනුණේ නැහැ. බොහෝ දිනවල ශුකුමාර් අමාරුවෙන් ඇඳෙන් නැගිට පහළ මාලයේ කෝපි පෝච්චියේ ශෝභා තමන්ට ඉතිරිකර තබා ගිය කෝපි ස්වල්පයත්, කුස්සියේ කවුන්ටරය මත ඇති ඇගේ හිස් කෝප්පයත් වෙතට ආවේ දිවා අහාර වෙලාව කිට්ටු වෙද්දී. 

ශුකුමාර් දෑතට ගත් ළූනු පොතු කුණු බාල්දියට හැලුවා, එහි උඩින්ම තිබුණේ බැටළු මස් කුට්ටියෙන් ඔහු ඉවත් කළ තෙල් තට්ටුවේ තීරු. ඔහු කරාමය ඇර මස් කැපූ ලෑල්ලත් පිහියත් පොඟන්න තබා ඇඟිලි තුඩු වල දෙහි බෑයක් ඇතිල්ලුවේ එහි සුදුළූනු ගඳ නැතිවෙන්නයි. මේ උපක්‍රමය ඔහු ඉගෙනගෙන තිබුණේ ශෝභාගෙන්. වෙලාව හතයි තිහයි. කවුළුවෙන් පෙනුණු අහස දිස් වූයේ මෘදු අඳුරු තණතිල්ලක් ලෙසින්. තාම මඟ දෙපස අසමමිතික හිම ගොඩවල් ගොඩගැසී තිබුණත් හිස්වැසුම් සහ අත්වැසුම් රහිතව ඇවිදින්න යන්නට තරම් පරිසරය උණුසුම් ව පැවතුණා. පසුගිය හිම කුණාටුවේදී අඩි තුනක් පමණ හිමපතනයක් සිදුව තිබුණු අතර ඒ සතියම පාරේ මිනිසුන් ගමන් කළේ හිම නිසා තැනුණු පටු කාණුවල, එක පෙළටයි. සතියක්ම ශුකුමාර්ට නිවසින් පිටතට නොයන්න මෙය කදිම හේතුවක් වුණා. එහෙත් දැන් ඒ හිම කාණු පළල් වෙමින් තිබුණු අතර පදික වේදිකාවේ ගරාදි අතරින් වතුර සීරුවෙන් බැස යමින් තිබුණා.

"අට වෙද්දී මස් කරිය ලෑස්ති නැතිවෙයි." ශුකුමාර් කීවා. "අපිට කළුවරේ තමයි කෑම කන්න වෙන්නේ"

"ඉට්පන්දම් පත්තු කරන්න පුළුවන්" ශෝභා යෝජනා කළා. ඈ අගේ බෙල්ල මුලට තදින් බැඳ තිබූ කොණ්ඩය ලෙහා දමා සපත්තු දෙකේ ලේස් නොලිහාම දෙපයින් ඉවත් කළා. "ලයිට් යන්න කළින් මම නාගන්නම්" පඩිපෙළ වෙත යමින් ඈ කීවා. "ඉක්මණින් එන්නම්"

ශුකුමාර් ඇගේ මල්ලත් සපත්තු දෙකත් ශීතකරණයේ අනෙත් පසින් තැබුවා. ඈ ඉස්සර මීට වෙනස්. ඒ කාලයේ ඈ ඇගේ කබාය එල්ලා තැබුවා, පාවහන් නියමිත තැනින් තැබුවා, බිල්පත් ලැබූ සැණින් ගෙවා දැම්මා. එහෙත් දැන් ඈ නිවස සැලකුවේ ඈ නවාතැන් ගත් හෝටලයක් ලෙසින්. සාලයේ ඇති කහ පාට සැප පුටුව එහි නිල් සහ දම් තුර්කි පලසට නොගැලපෙන බව ඇයට තවදුරටත් හිසරදයක් වුණේ නැහැ. ඈ තිර රෙදි සකසන්න සැලසුම් කර ගෙනා ලේස් රෙදි පිරුණු සුදු පැහැති මල්ලක් තවමත් නිවස පසුපස ආවරණය කරන ලද බරාඳයේ වේවැල් පුටුවක් මත තිබුණා.

ශෝභා නාන අතරතුරේදී ශුකුමාර් පහළ මාලයේ නාන කාමරය වෙත ගොස් කරාමයේ බේසම යට තිබුණු පෙට්ටියකින් අලුත් දත් බුරුසුවක් සොයාගත්තා. එහි බාල, දරදඬු කෙඳි ඔහුගේ විදුරුමස් රිද්දූ අතර ඔහු බේසමට කෙල ගසද්දී එහි ලේ තිබුණා. මෙහි යකඩ කූඩයක මෙවැනි අලුත් දත් බුරුසු කිහිපයක්ම තිබුණා. වරක් ඒවා මිළ අඩුකර තිබියදී ශෝභා මිලදීගෙන තිබුණේ හදිසියේ අමුත්තෙක් අන්තිම මොහොතේදී ඔවුන්ගේ නිවසේ රාත්‍රිය ගතකරන්නට තීරණය කළහොත් ඔවුන්ගේ පාවිච්චියට ගනු හැකි වේය යන අදහසින්.

මේ ඇගේ ආවේනික ලක්ෂණ. ඈ ඕනෑම හොඳ හෝ නරක පුදුම සහගත තත්ත්වයකට නිරතුරුවම සුදානම්ව සිටින වර්ගයේ කෙනෙක්. ඈ කැමති සායක් හෝ අත්බෑගයක් කඩයක දුටුවහොත් ඈ ඉන් දෙකක් මිළදී ගත්තා. ඈට රැකියාවෙන් ලැබුණු ප්‍රසාද දීමනා තමන්ගේ නමින් ඇති වෙනම බැංකු ගිණුමක තැන්පත් කළා. මේ කිසිවකින් ඔහු කරදරයට පත්වුණේ නැහැ. ඔහුගේ පියා මිය ගිය පසු අම්මා මහත් සේ සිත් තැවුලට පත්ව ඔහු හැදී වැඩුණු නිවස අත්හැර කල්කටාවට පදිංචියට ගියේ සියල්ල බේරුම් කිරීමට ශුකුමාර් ට ඉතිරි කරමින්. ශෝභා මීට වෙනස් වීම ගැන ඔහුගේ කැමැත්තක් තිබුණා. ඈ දුර දිග සිතූ තරම ඔහුව මහත්සේ පුදුම කළා. ඔවුන් පිසූ ඉතාලි හා ඉන්දියානු කෑම වර්ග අනුව ඈ බඩු මිළදී ගනිද්දී ගෙනා වැඩිපුර ඔලිව් සහ ඉරිඟු තෙල් බෝතල් වලින් ඔවුන්ගේ ගබඩා කාමරය පුරවා තිබුණා. හැම වර්ණයකම, හැඩයකම පාස්ටා වර්ගවල පෙට්ටි, බාස්මතී සහල් ගෝනි, හේමාකට් පෙදෙසේ මුස්ලිම් වෙළඳුන්ගෙන් මිළදීගෙන කොටස් වලට කපා ප්ලාස්ටික් මලු වල අසුරා තිබුණු බැටළු සහ එළු මස් ගාත් ආදී හැම දෙයක්ම එහි තිබුණා. සති දෙකකට වරක් සෙනසුරාදා දිනවල මේ පොළේ කඩ බක්කි වංකගිරියේ එහා මෙහා ගොස් කලක් ගතවෙද්දී ශුකුමාර්ට ඒවා කටපාඩම් වුණා. ඇය පසුපසින් කැන්වස් මලු රැගෙන යමින් සිටි ඔහු, ඈ සෙනඟ අතරේ තෙරපෙමින්, ඉදිරියට යමින්, තව තවත් ආහාර ද්‍රව්‍ය මිළදී ගන්නා අයුරු දෙස බලා සිටියේ අදහාගනු නොහැකි ලෙසින්. එහි සිටි දැලි රැවුලවත් මතු නොවූ එහෙත් ඒ වෙද්දීත් දත් අහිමිව සිටි වෙළඳ කොලුවන් සමඟ උදෑසන හිරු රැස් මැද ඈ බහින්බස් වුණා. ඔවුන් ආටිචෝක්, ප්ලම්, ඉඟුරු, විවිධ අල වර්ග දුඹුරු කඩදාසි මලු වල දමා, තරාදිවලින් කිරා, ඉන් එකින් එක ශෝභා වෙත වීසිකළා. ඈ ගැබිණි සමයේදීවත් ඒ වෙළඳපොළේදී තෙරපීම ගණනකට ගත්තේ නැහැ. මනා උසකින්, පළල් උරහිසින් යුතු වූ ඈට තිබුණේ පුළුල් උකුලක්. ඇගේ නාරි වෛද්‍යවරයා කීවේ එය දරුවන් වදන්නට මනා සේ ගැලපුණු බව. ආපසු එන ගමනේදී, ඔවුන්ගේ මෝටර් රථය චාල්ස් ගඟේ නැමි ඔස්සේ ගමන් කරද්දී ඔවුන් නිරතුරුවම තමන් මිලදී ගත් ආහාර කන්දරාව පිළිබඳව විස්මය පළ කළා. 

එහෙත් මේ කෑම වර්ග කිසිදිනෙකවත් නාස්ති වූයේ නැහැ. නිවසට මිතුරන් ගොඩවැදුණු විට ශෝභා හදිසියේ සූදානම් කළ කෑම වේල්වල තිබුණේ දවසින් භාගයක් ඒ වෙනුවෙන් වෙහෙසවූ ලක්ෂණයක්. ඈ ඒ සඳහා යෝදාගත්තේ ඈ ම අධිශීතකරණගත කරන ලද, නොඑසේ නම් කල් තබා ගන්නට බෝතල් කරන ලද රෝස්මරී කලවම් කරන ලද මාළුමිරිස්, ඉරිදා දිනවලදී තක්කාලි සහ පෘන් පලතුරු තම්බා හදාගත් චට්නි වර්ග වැනි දේවල්. ඈ ලේබල් කළ බෝතල් නිමක් නැති මුද්‍රා තැබූ පිරමිඩ් ලෙසින් කුස්සියේ රාක්ක පිරී තිබුණා. ඔවුන්ගේ මුණුපුරන්ට පවා රස බැලීමට ඇතිවන තරමට එහි බෝතල් තිබුණු බවට ඔවුන් එකඟ වුණා. එහෙත් මේ වෙද්දී ඒ සියල්ලම ඔවුන් ආහාරයට ගෙන අවසන්ව තිබුණා. දිනපතාම ශුකුමාර් හාල් හුන්ඩු මනිමින්, අසුරා තිබුණු මස් හිමාහරණය කරමින් ඔවුන් දෙදෙනාට ආහාර පිසූ නිසා ගබඩා කර තිබුණු ආහාර සීරුවෙන් අවසන් වුණා. හැම හවස් වරුවකම ඔහු ඇගේ කෑම වට්ටෝරු පොත් පීරමින්, කොත්තමල්ලි කුඩු තේ හැඳි එකක් වෙනුවට දෙකක් දමන්නට, කහ පරිප්පු වෙනුවට රතු පරිප්පු පාවිච්චි කරන්නට ඈ පැන්සලෙන් ලියා ඇති සටහන් පිළිපැද්දා. ඒ හැම කෑම වට්ටෝරුවකම දිනය සටහන් වී තිබුණේ ඔවුන් එය මුලින්ම ආහාරයට ගත්තේ කවදාද යන්න අනුවයි. අප්‍රේල් 2, ෆෙනල් සමඟ කොලිෆ්ලවර්. ජනවාරි 14, ආමන්ඩ් සහ වියළි මිදි සමඟ කුකුල් මස්. ඔහුට ඒ අහාර වේල් ගැන මතකයක් තිබුණේ නැතත් සෝදුපත් බලන්නියක් වූ ඇගේ පැහැදිලි අකුරෙන් ඒ දින සටහන් කර තිබුණා. දැන්, ශුකුමාර් ඉවීමට ප්‍රිය කළා. තමන් පලදායී බවට ඔහුට දැන්වූ එකම දේ එයයි. ඔහු නොසිටියා නම් ශෝභා සීරියල් බඳුනකින් රාත්‍රී අහාරය පිරිමසාගන්නා බව ඔහු දැන සිටියා.

අද, විදුලි එළිය නොමැතිව ඔවුන් දෙදෙනාට එක්ව ආහාර ගන්නට සිදුවෙනවා. මාස ගණනක් තිස්සේ ඔවුන් ආහාර බෙදාගත්තේ ලිප මත තිබුණු බඳුන්වලින්මයි. ඔහුගේ පිඟාන කන්තෝරු කාමරයට ගෙන ගිය ඔහු එය සීතල වන්නට ඉඩ හැර එක වරම කටෙහි රුවාගත්තා. ඇය තම පිඟාන විසිත්ත කාමරයට ගෙන ගොස් රූපවාහිනියේ විවිධ තරඟ නරඹමින්, නොඑසේනම් පාට පැන්සල් එකතුව අතැතිව ලියකියවිලිවල සෝදුපත් බලමින් ආහාර ගත්තා.

පුරුද්දක් හැටියට රාත්‍රියේ කිනම් හෝ අවස්තාවක ඈ ඔහුව බලන්නට ආවා. ඈ එන හඬ ඇසුණු විට ඔහු ඔහුගේ නවකතාව පසෙකින් තබා වාක්‍ය යතුරුලියන කරන්නට පටන්ගත්තා. ඈ ඔහුගේ උරහිස් මත දෑත තබා ඔහු හා සමඟම පරිගණක තිරයේ නිල් එළිය වෙත එබී බැලුවා. "ඕනෑවට වඩා මහන්සි වෙන්න එපා." විනාඩියකට දෙකකට පසු කියා ඈ නිදන්නට ගියා. ඒ, දවසට ඈ ඔහු සොයාගෙන එන එකම මොහොත වූවත් මෑත කාලයේ සිට ඔහුට ඒ මොහොත ගැන අකමැත්තක් දැනෙන්නට වුණා. ඇය එසේ කරන්නේ තමන්ටම බලකරගත් නිසා බව ඔහු දැන සිටියා. ඈ එසේ ආ විට ඒ කාමරයේ බිත්ති දෙස බැලුවා. ට්‍රම්පට් පිඹිමින් බෙර ගසමින් ගමන් කරන හාවන් සහ තාරාවන්ගේ රූප පෙළකින් පසුගිය ගිම්හාන සෘතුවේදී ඔවුන් දෙදෙනා මේ කාමරයේ බිත්ති සැරසුවා. අගෝස්තු මාසය අවසන් වෙද්දී ජනේලය අසල චෙරි ලීයෙන් සෑදූ තොටිල්ලක්ද, දරුවාගේ නැපී මාරු කිරීම සඳහා කොළ පැහැති අල්ලුවලින් යුත් මේසයක්ද, කොටු වැටුණු කොට්ට සහිත පැද්දෙන පුටුවක්ද කාමරයේ තිබුණා. ශෝභා ව රෝහලින් නැවතත් නිවසට කැඳවාගෙන ඒමට පෙර ශුකුමාර් මේ ලීබඩු සියල්ල ගලවා ඉවත් කළා. බිත්තියේ තිබුණු තාරාවන්ගේ සහ හාවන්ගේ රූප ඔහු සූරා දැම්මේ පැතලි හැන්දකින්. කුමක්දෝ හේතුවකට ඇයට තරම් ඔහුට ඒ කාමරයේදී පීඩාවක් දැනුණේ නැහැ. ජනවාරියේදී ඔහු පුස්තකාලයේ මේසයක වැඩ කිරීම නවත්වා වුවමනාවෙන්ම මෙතැන තම මේසය සකස් කරගත්තේ එක් අතකට මේ කාමරය ඔහුට සැනසීමක් ගෙන ආ නිසාත් අනෙත් අතට එය ශෝභා මඟහරින නිසාත්.

ශුකුමාර් නැවතත් මුළුතැන්ගෙට ගොස් ලාච්චු අරින්නට වුණා. එහි වූ කතුරු, බිත්තර ගසන උපකරණ, ඈ ඉස්සර ඉවුම් පිහුම් කරද්දී සුදුළූනු, එනසාල්, කරාබු නැටි තලන්නට පාවිච්චි කළ පුංචි වංගෙඩියත් මෝල්ගහත් වැනි විවිධ දේ අතර ඉටිපන්දමක් සොයාගන්නට ඔහු වෙහෙසුණා. ඔහුට බැටරි රහිත විදුලි පන්දමක්ද, අඩක් හිස් උපන්දින ඉටිපන්දම් පෙට්ටියක්ද හම්බවුණා. පසුගිය මැයි මාසයේදී ශෝභා ඔහුව පුදුම කරවමින් උපන්දින සාදයක් සූදානම් කර තිබුණා. එදා ආ අමුත්තන් එකසිය විස්සෙන් ඔවුන්ගේ නිවස පිරී තිබුණා. ඒ මිතුරන්ව සහ මිතුරන්ගේ මිතුරන්ව මේ වෙද්දී ඔවුන් පිළිවෙලකට මඟහරිමින් සිටියා. එදා නාන බේසම අයිස් පුරවා විනෝ වර්ඩේ බෝතල් එහි රොක් කර තිබුණා. ඒ වෙද්දී පස් මස් ගැබිනියක් වූ ශෝභා මාටිනි වීදුරුවක ජින්ජර් බියර් බොමින් සිටියා. ඈ කස්ටර්ඩ් සහ සීනි කෙඳි වලින් සැරසූ වැනිලා ක්‍රීම් කේක් එකක් සුදානම් කර තිබුණා. මුළු රැය පුරාම, සාදයේ අමුත්තන් අතර ඈ ඇවිද්දේ ශුකුමාර්ගේ දිගු අතැඟිලි අතරේ තම ඇඟිලි පටලාගෙන.

සැප්තැම්බර් මාසයෙන් පසු ඔවුන්ගේ එකම අමුත්තා වූයේ ශෝභාගේ අම්මා පමණයි. ශෝභා රෝහලින් පිටවූ පසු අම්මා ඇරිසෝනාහි සිට පැමිණ දෙමසක් ඔවුන් හා නවාතැන්ගෙන සිටියා. හැම රාත්‍රියකම ඈ රෑ කෑම පිසුවා, වෙළඳසැල වෙත ඈ ම රථය පදවාගෙන ගියා, ඔවුන්ගේ ඇඳුම් සෝදා අරන් තැබුවා. ඈ ආගමට ලැදි කාන්තාවක් නිසා ඇගේ කාමරයේ ඇඳ අසල තිබූ කුඩා මේසය මත කුඩා පූජාසනයක් සකසා, එහි දම් පැහැති මුහුණක් සහිත දෙව්දුවකගේ රාමු කළ පින්තූරයක්ද, දාස්පෙතියා මල් පීරිසියක්ද තබා අනාගතයේදී යහපත් මුණුබුරන් ලැබෙන්නට යාඥා කළා. ඈ ශුකුමාර්ට ආචාරශීලී වූවත් මිතුරු වූයේ නැහැ. වෙළඳසැලක කළ රැකියාව නිසා ලද පුරුද්දෙන් ඈ ඔහුගේ ස්වෙටර් කමිස ඉතා පිළිවෙලට නැමුවා. ඔහුගේ ශීත කබායට බොත්තමක් අලුතෙන් ඇල්ලූ ඇය ඔහුට කහ සහ දුඹුරු පැහැති මෆ්ලරයක් ගොතා එය ඔහුට පිළිගැන්වූයේ කිසිම විශේෂයක් රහිතව, හරියට ඔහු අතින් නොදැනීම එය බිම වැටී තිබියදී අහුලා දෙන්නාක් මෙන්. ඈ ඔහු සමඟ ශෝභා ගැන කතා කළේ නැහැ. වරක් ඔහු බිළිඳාගේ මරණය ගැන සඳහන් කළ විට, තම වූල් ගෙතුමෙන් හිස එසවූ ඇය, "ඒත් ඔබ එතැන හිටියෙවත් නැහැනේ," කීවා.

නිවසේ පිළිවෙලක් ඇති ඉටිපන්දම් නැතිවීම, මෙවැනි සාමාන්‍ය හදිසි තත්ත්වයකට ශෝභා සූදානම් නොමැති වීම ගැන ඔහුට පුදුම හිතුණා. උපන්දින ඉටිපන්දම් රඳවන්නට දෙයක් සොයමින් වටපිට බැලූ ඔහුගේ ඇස ගැටුණේ කුස්සියේ කරාමය ළඟ ජනෙල් පඩිය මත තිබුණු අයිවි පැලය සහිත පෝච්චිය. එය තිබුණේ කරාමයෙන් අඟල් කිහිපයක් එහායින් වූවත් එහි පස කෙතරම් වියළිව තිබුණේද යත් එහි ඉටිපන්දම් රඳවන්නට පෙර ඊට වතුර ස්වල්පයක් දමන්නට ඔහුට සිදුවුණා. ඔහු මේසය මත තිබුණු ලියුම්, නොකියවූ පුස්තකාල පොත් පසෙකට කළා.

ඔවුන් මේ මේසයේ හිඳ ගත් මුල් ආහාර වේල් ඔහුට සිහි වුණා. ඒ කාලයේදී විවාහ වී සිටීම ගැන, අන්තිමේදී කෙසේ හෝ එක වහලක් යටට වෙන්නට ලැබීම ගැන ප්‍රීතියෙන් ඉපිලෙමින් සිටි ඔවුන් දෙදෙනා බොළඳ ලෙස එකිනෙකා ස්පර්ශ කරමින්, කෑමට වඩා ප්‍රේමාලිංගනයට උනන්දුවෙන් සිටියා. ලක්නව්හි වෙසෙන මාමා කෙනෙක්ගෙන් මංගල්‍යයට තෑගී වශයෙන් ලැබුණු එම්බ්‍රොයිඩර් කරන ලද මේස රෙද්දක් මේසය මත එලූ ඔහු සාමාන්‍යයෙන් අමුත්තන්ට වෙන් කර තිබුණු පිඟන් සහ වයින් වීදුරු එහි තැබුවා. ඉන්පසු රේඩියෝව ක්‍රියාත්මක කර ජෑස් සංගීතයක් වැයෙන්නට ඉඩ හැරියා.

"මේ මොකද මේ?" ශෝභා යළි පහත මාලයට ආ විට ඇසුවා. ඇගේ හිසකෙස් ඝන සුදු තුවායක ඔතා තිබුණා. ඈ තුවාය ඉවත් කර එය පුටුවක් උඩ වනා තෙත් කළු කොණ්ඩය පිට මැදට වැටෙන්නට ඉඩ හැරියා. ඈ අතකින් කොණ්ඩයේ අවුල් හරිමින් ලිප වෙත ඇවිද ගියේ වෙන කල්පනාවකින්. ඈ හැඳ සිටියේ පිරිසිදු බුරුල් කලිසමක්, පරණ ටී ෂර්ටයක් සහ ෆ්ලැනල් ලෝගුවක්. ඇගේ බඩවත නැවතත් පැතලි වී තිබුණා, උකුලේ පළල හා බලද්දී ඇගේ ඉණ පටු ව පෙනුණු අතර ලෝගුවේ පටිය බුරුල් ලෙස ගැට ගසා තිබුණා.

ඒ වෙද්දී වෙලාව රාත්‍රී අටට කිට්ටුයි. ශුකුමාර් බත් දීසිය මේසය උඩින් තබා පෙරදා පිසූ පරිප්පු ව්‍යංජනය රත්වීමට මයික්‍රෝවේව් උදුනට දැමුවා.

"ඔයා රෝගන් ජෝශ් හදලා" පප්රිකා නිසා තද රත් පැහැ වූ මස් ව්‍යංජනය දෙස බඳුනේ වීදුරු මූඩිය හරහා බලමින් ඈ කීවා.

ශුකුමාර් අත නොපිලිස්සෙන ලෙස ඇඟිලි දෙකකින් මස් කැබැල්ලක් අල්ලා එහි මස් ගැලවේ දැයි බලන්නට හැන්දකින් ඇන "මේක හරි" කීවා.

මයික්‍රෝවේව් උදුනේ බීප් හඬ නගේද්දීම විදුලිය විසන්ධි වූ අතර සංගීතය ද නැවතුණා.

"හරියටම වෙලාවට" ශෝභා කීවා.

"මට හම්බවුණේ උපන්දින ඉටිපන්දම් විතරයි" කී ඔහු අයිවී පෝච්චියේ ඉටිපන්දම පත්තු කර ඉතුරු ටිකත්, ගිනිපෙට්ටියත් ඔහුගේ පිඟාන අසලින් තැබුවා.

"එකට කමක් නැහැ" ඈ වයින් වීදුරුවේ බඳ ඔස්සේ ඇඟිල්ලක් දුවවමින් කීවා. "හරිම ලස්සනයි"

ඈ පුටුවේ මඳක් ඉදිරියට බර වී, පුටුවේ දෙපා රඳවනයේ විලුඹ තබා දකුණු වැලමිට මේසය මත තබාගෙන වාඩි වී සිටි අයුරු අඳුරේ පවා ඔහු දැන සිටියා. ඉටිපන්දම් සොයද්දී ඔහුට වයින් බෝතලයක් හමුවී තිබුණේ හිස්යැයි ඔහු සිතා සිටි ඇසුරුමක තිබියදී. ඔහු බෝතලය දෙදන අතර රඳවා එය විවර කළා. වයින් ඉහිරේවි යැයි බියෙන් ඔහු බෝතලය කිට්ටුවට වීදුරු ගෙන ඒවා පිරවූවා. ඔවුන් දෙදෙනා ගෑරුප්පු වලින් බත කලවම් කරමින් බෙදාගත්තා, අඳුරේ ඇස් පුංචි කර බලමින් මස් හොද්ද රස ගන්වන්නට දමා තිබුණු බේ පත්‍ර සහ කරාබුනැටි ඉවත් කළා. විනාඩි කිහිපයකට සැරයක් ශුකුමාර් තව උපන්දින ඉටිපන්දම් කිහිපයක් දල්වා මල් පෝච්චියේ පසෙහි රැඳෙව්වා.

"හරියට නිකම් ඉන්දියාවේදී වගේ." ඔහු සකසාගත් ඉටිපන්දම් රඳවනයට සාත්තු කරන දෙස බලාගෙනම ඈ කීවා. "එහෙ සමහරවෙලාවට පැය ගණනකට කරන්ට් යනවා. එක සැරයක් මම ගිය ඉඳුල් කට ගෑමේ උත්සවයක් සම්පූර්ණයෙන්ම පැවැත්වුණේ අඳුරේ. ඒ බබා ඇඬුවා, ඇඬුවා, එයාට හරි රස්නේ වෙන්න ඇති."

ඔවුන් දෙදෙනාගේ බිළිඳා කවදාවත් නොහැඬු බව ශුකුමාර් කල්පනා කළා. ශෝභා ආරාධිත අමුත්තන් ලැයිස්තුව සකසා තිබුණත්, ඇගේ සොයුරන් තිදෙනාගෙන් කා හට- පුතෙකුට නම් සය මසින්, දියණියකට නම් හත් මසින් -පළමු ඝන ආහාරය කවන්නට ආරාධනය කරන්නේදැයි තීරණය කර තිබුණත් ඔවුන්ගේ බිළිඳාට කවදාවත් ඉඳුල් කට ගෑමේ උත්සවයක් ලැබෙන්නේ නැහැ.

"ඔයාට රස්නේද?" ඔහු ඇගෙන් ඇසුවා. ඔහු ඉටිපන්දම සහිත අයිවී පෝච්චිය ලියුම් මිටි සහ පොත් පත් සහිත මේසයේ කොණට තල්ලු කළ පසු ඔවුන් දෙදෙනාට එකිනෙකාව පෙනීම තවත් දුෂ්කර වුණා. ඉහළ මාලයට ගොස් තම පරිගණකය ඉදිරිපස වාඩි වී සිටින්නට නොහැකිවීම ගැන ඔහුට හදිසියේම නොරිස්සුමක් දැනුණා.

"නෑ, මේක හරිම රසයි,"ඈ පිඟානට ගෑරුප්පුවෙන් තට්ටු කරමින් කීවා. "ඇත්තටම රසයි"

ඔහු ඇගේ වීදුරුවට නැවතත් වයින් පිරෙව්වා. ඈ ඔහුට ස්තූති කළා.

ඉස්සර ඔවුන් මෙහෙම නැහැ. දැන් දැන් ඇයගේ පිඟාන වෙතින් නොඑසේ නම් ඈ සෝදුපත් බලන ලිපිගොනු වලින් ඇගේ දෑස මුදවා ඔහු දෙස බලවන්නට, ඇයගේ උනන්දුව දනවන දෙයක් කියන්නට ඔහු බලවත් පරිශ්‍රමයක් දැරුවා. අන්තිමේදී ඔහු ඈව විනෝද කරන්නට ගත් උත්සාහය අත්හැරියා. නිහඬබව ගණන් නොගෙන ඉන්න ඔහු ඉගෙනගත්තා. 

"මට මතකයි ඉස්සර ආච්චිගේ ගෙදරදී කරන්ට් නැති උනාම අපි මොනවාහරි කියන්න ඕන," ශෝභා කියාගෙන ගියා. ඔහුට ඇගේ මුහුණ පෙනුණේ යන්තමින්, ඒත් ඇගේ කටහඬ අනුව දුර ඇති දෙයක් වෙත දෙස දෑස් යොමු කරන්නට උත්සාහ ගන්නාක් මෙන් ඈ දෑස් හීනි කර ඇති බව ඔහු දැනගෙන සිටියා. ඒක ඇගේ පුරුද්දක්.

"මොන වගේ දෙයක්ද?"

"අනේ මන්දා. පොඩි කවියක්. විහිලු කතාවක්. ලෝකය ගැන මොකක් හරි වැදගත් කරුණක්. මොකක් හරි හේතුවකට මගේ නෑයො හැමතිස්සෙම මට කීවා මගේ ඇමෙරිකාවේ යාලුවන්ගේ නම් කියන්න කියලා. මේ තොරතුරු ගැන ඒ අය එතරම් උනන්දු වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. අන්තිම වතාවේදී මගේ නැන්දා මුණගැහුණු වෙලාවේ ටක්සන්වල ප්‍රාථමික ඉස්කෝලේදී මාත් එක්ක එකට ඉගෙනගත්ත ගෑනු ළමයි හතර දෙනෙක් ගැන විස්තර ඇහුවා. මට ඒ අයව දැන් මතක තියෙන්නෙත් යන්තමින්."

ශුකුමාර් ශෝභා තරම් ඉන්දියාවේ කාලය ගත කර තිබුණේ නැහැ. නිව් හැම්ශයර්හි පදිංචි වූ ඔහුගේ දෙමව්පියන් ඉන්දියාවට ගියේ ඔහු නැතිව. ඔහු ළදරු කාලයේදී ඉන්දියාවට ගිය වතාවක අතීසාරය වැළඳී තිබුණා. ඉක්මනින් කලබලවන සුළු පුද්ගලයෙක් වූ ඔහුගේ පියා එය නැවත සිදුවේයැයි බියෙන් ඔහුව ඒ ගමන් වලට එකතු කර නොගෙන ඒ වෙනුවට කොන්කොර්ඩ් හි වෙසෙන නැන්දා කෙනෙක් වෙත ඔහුව නවතා ගියා. ගැටවර වයසේදී ගිම්හාන කාලවල කල්කටාවට යනවා වෙනුවට රුවල් නැව් පුහුණු කඳවුරුවලට සහභාගී වීමට හෝ අයිස් ක්‍රීම් වෙළඳ සැලක වැඩකිරීමට ඔහු ප්‍රිය කළා. ඔහුට ඒ රට ගැන උනන්දුවක් දැනෙන්නට වූයේ පියාගේ මරණයෙන් පසුව, ඔහු උසස් අධ්‍යාපනයේ අවසාන වසරේ ඉගෙනුම ලබද්දී. ඔහු ඉන්දියානු ඉතිහාසය පිළිබඳව පාඨ ග්‍රන්ථ අනෙත් විෂයන් ලෙසටම හැදෑරුවා. ඉන්දියාවේ ළමා කාලය පිළිබඳ තමන්ගේම කතාවක් ඇත්නම් යයි ඔහුට දැන් සිතුණා.

"අපිත් ඒක කරමු." ඈ හදිසියේ කීවා.

"මොකක්ද?"

"කළුවරේ එකිනෙකාට මොනවා හරි කියමු."

"කොයිවගේ දේවල්ද? මම විහිලු කතා දන්නේ නැහැ."

"නෑ, විහිලු එපා." ඇය මොහොතක් කල්පනා කළා. "කවදාවත් අනෙත් කෙනාට නොකීව දෙයක් කීවොත් කොහොමද?"

"ඉස්සර ඉස්කෝලේ ලොකු පන්තිවලදී මම ඕක කරලා තියෙනවා," ශුකුමාර් කීවා. "හැබැයි බීලා ඉන්දැද්දී"

"ඔයා ඔය මතක් කරන්නේ එක්කෝ ඇත්ත කියන්න නැත්නම් අනිත් අය අභියෝග කරන දේ කරන්න ඕන සෙල්ලමනේ. මේක වෙනස්. හරි, මම පටන් ගන්නම්." ඈ වයින් උගුරක් තොලගෑවා.

"ඔයා තට්ටු ගෙදර ඉන්න කාලේ මම පලවෙනි සැරේට ඒ ගෙදර තනිවුණ වෙලාවේ මම ඔයා දුරකථන අංක ලියලා තිබුණු පොත පෙරළලා බැලුවා ඔයා මගේ අංකේ ඒකෙ ලියලාද කියලා. මං හිතන්නේ ඒ වෙද්දී අපි අඳුනාගෙන සති දෙකක් විතර ඇති."

"මම ඒ වෙලාවේ කොහෙද හිටියේ?"

"ඔයා එහා කාමරේ කෝල් එකකට උත්තර දෙන්න ගියා. ඒ කතා කළේ ඔයාගේ අම්මා නිසා මම හිතුවා ඔය හුඟ වෙලාවක් එතැන ඉඳීවි කියලා. මට වුවමනා වුණේ ඔයා මගේ අංකෙ පත්තර පිටුවල දාර වල ලියන එක නවත්වලා ඊට වැඩිය උසස්වීමක් දීලාද කියලා දැනගන්න."

"ඉතින් මම දීලා තිබුණද?"

"නෑ. ඒත් මම ඔයා ගැන බලාපොරොත්තු අත ඇරියේ නැහැ. දැන් ඔයාගේ වාරය."

ඔහුට කිසිවක් සිතාගන්නට නොහැකිවුණත් ශෝභා ඔහු යමක් පවසන තුරු බලා සිටියා. මාස ගණනකින් මේ තරම් අධිෂ්ඨානශීලී බවක් ඇගෙන් දිස් වී නැහැ. සිව් වසරකට පෙර කේම්බ්‍රිජ්හි දේශනා ශාලාවකදී බෙන්ගාලි කවියන් කණ්ඩායමක් විසින් සංවිධානය කළ කවි කියවීමකදී ඔවුන් ප්‍රථම වතාවට මුණගැසුණු දිනය වෙත ඔහුගේ සිතිවිලි දිව ගියා. හකුලනු හැකි ලී පුටු දෙකක ඔවුන් එකිනෙකාට යාබදව අසුන්ගෙන සිටියා. වැඩිවෙලාවක් ගතවන්නට කළින් ශුකුමාර්ට කම්මැලිකමක් දැනෙන්නට වුණා. ඒ සාහිත්‍යමය ව්‍යවහාරය ඔහුට නොවැටහුණු අතර ඇතැම් වැකි අසා සුසුම්ලමින් හිස් වනමින් උන් සභාවේ සෙසු පිරිස හා එක්වන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ උකුලේ නවා තිබුණු පුවත්පත වෙත හොරැහින් බැලූ ඔහු, එහි සටහන් ව තිබුණු ලෝකය වටා විවිධ නගරවල උෂ්ණත්ව ඕනෑකමින් කියවන්නට වුණා. ඊයේ සිංගප්පූරුවේ අංශක අනූ එකයි, ස්ටොක්හෝම් හි අංශක පනස් එකයි. ඔහු වම් පසට හිස හරවා බලද්දී දුටුවේ ඔහුගේ පසෙකින් අසුන්ගෙන සිටි කාන්තාව ලිපිගොනුවක් පසුපස කඩෙන් මිලදී ගත යුතු බඩු ලැයිස්තුවක් ලියමින් සිටි බව. ඇය රූමත් බව දැක ඔහු පුදුමයට පත්වුණා.

"හරි" ඔහු මතක්කරමින් කීවා. "අපි දෙන්නා පලවෙනි වතාවට අර පෘතුගාල අවන්හලට කන්න ගිය දවසේ මට වේටර්ට ටිප් එකක් දෙන්න අමතක වුණා. මම පස්සෙන්දා ආයෙත් ගිහින් එයාගේ නම හොයාගෙන එයාට දෙන්න කියලා එයාගේ මැනේජර්ට සල්ලි දීලා ආවා."

"ඔයා වේටර් කෙනෙකුට ටිප් එකක් දෙන්නම ආයෙත් වතාවක් සොමර්විල් වලට ගියා?

"මම ටැක්සියක ගියේ."

"ඔයාට වේටර් ට ටිප් එකක් දෙන්න අමතක වුණේ ඇයි?"

මේ වෙද්දී උපන්දින ඉටිපන්දම් නිවී ගොසින් තිබුණත් ඔහු අඳුරේ පවා ඇගේ මුහුණ පැහැදිලිව මවා ගත්තා. මඳක් හැඩයට පිහිටි විශාල දෙනෙත, මිදිවල පැහැයෙන් යුත් පිරුණු දෙතොල, දෑවුරුදු වියේදී කෑම කැවීමට ඉන්දවූ උස් පුටුවෙන් ඇද වැටුණු නිසා නිකටේ කොමාවක් සේ දිස් වූ කැළැල. ඉස්සර ඔහුගේ හුස්ම හිර කළ ඇගේ රූමත් බව දිනෙන් දින මැකෙන බව ශුකුමාර් නිරීක්ෂණය කළා. අතීතයේදී අනවශ්‍ය බවක් හැඟුණු රූපලාවන්‍ය ආලේපන දැන් අවශ්‍ය බවක් දැනුණේ පෙනුම වැඩි දියුණු කරන්නම නොව එය නිර්වචනය කරන්නට මෙනි.

"එදා ඒ කෑම වේලේ අග හරිය වෙද්දී මම ඔයාව කසාද බඳීවී කියලා මට අමුතුම හැඟීමක් ඇතිවුණා." ඔහු පළමු වරට තමන්ටත් ඇයටත් තම සිතැඟි නිරාවරණය කළා. "මං හිතන්නේ ඒකේන් මගේ හිත අවුල් වුණා."

ඊළඟ දවසේ රාත්‍රියේ ශෝභා වෙනදාට වැඩියෙන් කලින් ගෙදර ආවා. කලින් දවසේ ඉතුරුවුණු බැටළු මස් ව්‍යංජනය ශුකුමාර් රත් කළ නිසා ඔවුන්ට රාත්‍රී හත වෙද්දී ආහාර ගන්නට හැකි වුණා. එදා දහවලේ ඔහු දියවීගෙන යන හිම අතරින් හන්දියේ කඩයට ගොසින් උස ඉටිපන්දම් සහ විදුලි පන්දමට බැටරි ගෙනැවිත් තිබුණා. මුළුතැන්ගෙහි කවුන්ටරය උඩ නෙලුම් මල් හැඩති පිත්තල රඳවනවල ඉටිපන්දම් රඳවා සියල්ල සූදානම් කර තිබුණත් ඔවුන් අහාර ගත්තේ මේසයට ඉහලින් එල්ලා ඇති තඹ පැහැති විදුලි පහන් ආවරණයේ දිස්නය යට සිට. ඔවුන් ආහාර ගෙන අවසන් වූ පසු ශෝභා තමන්ගේ හිස් පිඟාන මතින් ඇගේ පිඟාන තබාගෙන කරාමය වෙත රැගෙන යනු දැක ඔහු පුදුමයට පත්වුණා. ඈ විසිත්ත කාමරයට වැදී තම ලිපිගොනු කන්ද පසුපස සැඟවෙනු ඇතැයි ඔහු උපකල්පනය කර තිබුණා.

"පිඟන් හේදිල්ල ගැන වදවෙන්න එපා." ඔහු කීවේ ඇගේ දෑතින් ඒවා ගන්නා ගමන්.

"ඒ ගැන නොහිතන එක මෝඩකමක් වගේ" ඈ කීවේ ඒ මතට සබන් දියර බිඳක් හලමින්. "දැන් රෑ අටටත් ලඟයි."

ශුකුමාර්ගේ හද ගැස්ම වැඩිවුණා. මුළු දවසම ශුකුමාර් බලා සිටියේ විදුලිය විසන්ධිවන තුරු. පෙරදා රාත්‍රියේ ශෝභා තමන්ගේ දුරකථන අංක පොත හොරෙන් බැලූ හැටි ගැන කී දේ ගැන ඔහු නැවතත් සිතුවා. ඒ කාලයේ එඩිතර එහෙත් බයාදු බවකින්, බලාපොරොත්තු සහගත බවකින් ඈ උන් ආකාරය ඔහුට සිහි වුණා. ඔවුන් කරාමයේ බේසම අසලින් ලං ලංව සිටගෙන සිටිද්දී කවුළුවේ රාමුවෙන් ඔවුන්ගේ පිළිබිඹු මනා සේ පෙළගැසී තිබුණා. ඔවුන් පළමු වරට කන්නාඩියක් ඉදිරියෙන් සිටගත් දා දැනුණු අයුරින් ඔහුට ලැජ්ජාවක් දැනුණා. මෑතකදී ඔවුන් එක්ව ඡායාරූපයක් ගත දිනයක් ඔහුට මතක්වූයේ නැහැ. ඔවුන් සාදවලට යාම නවත්වා තිබුණා, ඔවුන් එක්ව කොතැනකවත් ගියේ නැහැ. ඔහුගේ කැමරාවේ තිබුණු සේයාපටයේ තවමත් තිබුණේ ශෝභා ගැබිණි කාලේ ගෙවත්තේදී ගත් ඇගේ සේයා රූ.

භාජන සේදීමෙන් අනතුරුව ඔවුන් මුළුතැන්ගෙහි කවුන්ටරයට බර ව එකම අතපිස්නාවේ දෙකෙළවරින් අත් පිසදැමුවා. රාත්‍රී අටට නිවස අඳුරු වුණා. ශුකුමාර් ඉටිපන්දම් දැල්වූයේ ඒවායේ නොසැලෙන දිගු දැල්ල ගැන පුදුමයට පත්වෙමින්.

"අපි එළියෙන් වාඩිවෙමු," ශෝභා කීවා. "මං හිතන්නේ තාම එළියේ රස්නෙයි"

ඔවුන් දෙදෙනාම ඉටිපන්දම බැගින් ගෙන පඩි පෙළෙහි හිඳගත්තා. තවමත් මිදුලේ තැන තැන හිම තියෙද්දී එළියේ වාඩිවී සිටීම නුහුරැ බවක් දැනුණා. එහෙත් වාතයේ නැවුම් බව නිසා නොඉවසිලිවත් වූ වටපිට හැම කෙනෙක්ම තම නිවෙස් වලින් පිට ව ඇති බවක් පෙනුණා. අවටින් දොරවල් ඇරෙන වැසෙන හඬක් ඇසුණු අතර විදුලි පන්දම් අතින් ගත් අසල්වැසියන් පුංචි පෙරහරක් ඔවුන්ගේ නිවාස පසුකරමින් ගියා.

"අපි පොත් කඩේට යනවා පොත් තෝරන්න." සුදු පැහැති හිසකෙස් ඇති පිරිමි කෙනෙක් හඬගා කීවා. බල්ලෙකුගේ රැහැන අල්ලාගෙන සිටි ඔහු, ඇවිදිමින් සිටියේ කබායක් හැඳ සිටි කෙට්ටු කාන්තාවක් වූ ඔහුගේ බිරිඳ සමඟයි. ඒ බ්‍රැඩ්ෆර්ඩ් යුවළ. පසුගිය සැප්තැම්බරයේ ඔවුන් ශෝකය පළ කරන කාඩ්පතක් ශෝභාගේත් ශුකුමාර්ගේත් ලියුම්පෙට්ටියට දමා තිබුණා. "එහේ විදුලිය තියෙනවාලු."

"ඒක හොඳයි," ශුකුමාර් කීවා. "නැත්නම් ඔයගොල්ලන්ට පොත් තෝරන්න වෙන්නේ කළුවරේ තමයි."

අසල්වැසි කාන්තාව සිනාසී තම සැමියාගේ අතෙහි තම අත පටලවාගත්තා. "එනවාද අපිත් එක්ක?"

"කමක් නැහැ, ස්තූතියි" ශෝභා සහ ශුකුමාර් එකවරම හඬගා කීවා. තමන්ගේ කටහඬ ඇගේ හඬට ගැලපුණු අයුරු ගැන ශුකුමාර්ට පුදුම සිතුණා. 

එදින අඳුරේදී ශෝභා තමන්ට කුමක් කියනු ඇතිදැයි ඔහු කල්පනා කළා. එසේ කිව හැකි නරකම දේවල් මේ වෙද්දීත් ඔහුට සිතී අවසන්. ඇයට අනියම් සම්බන්ධයක් ඇති බව. ඔහු වයස තිස්පහක් වෙද්දීත් ශිෂ්‍යයෙක් වීම නිසා ඇයට ඔහු ගැන ගෞරවයක් නැති බව, ඇගේ අම්මා සිතන අයුරින්ම ඇයත් ඔහු එදා බැල්ටිමොර් හි සිටීම ගැන ඈ ඔහුට දොස් කියන බව. එහෙත් මේ කිසිවක් සත්‍ය නොවන බව ඔහු දැන සිටියා. ඇයත් ඔහුත් දෙදෙනාම වෙනතකට බැඳී තිබුණේ නැහැ. ඈ ඔහු ගැන විශ්වාසය තැබුවා. ඔහුට බැල්ටිමොර් යන ලෙසට බල කළේ ඇයයි. ඔවුන් එකිනෙකා ගැන දැන නොසිටියේ මොනවාද? ඈ නිදද්දී අතැඟිලි තරව ගුලිකරගන්නා බවත් නපුරු හීන දකිද්දී ඈ ගැස්සෙන බවත් ඔහු දැන සිටියා. ඈ කැන්ටලුප් වෙනුවට කොළ පැහැති හනී ඩිව් කැකිරි ආහාරයට ගන්නට ප්‍රිය බව ඔහු දැන සිටියා. ඔවුන් රෝහලේ සිට ආපිට පැමිණි පසු ඈ නිවස තුළ ඒ මේ අත යමින් විවිධ දේ අතට ගනිමින් ඒවා ඉදිරි දොරින් ඇතුල් වන තැන ගොඩගැසූ බව ඔහු දැන සිටියා. රාක්කවලින් පොත්පත්, ජනෙල් පඩිවලින් මල් පෝච්චි, බිත්තිවලින් සිතුවම්, මේස මතින් සේයා රූ උදුන අසල එල්ලා ඇති සාස්පාන් ආදී දේවල් මීට ඇතුළත් වුණා. ශුකුමාර් ඈ වෙතින් ඉවත්වී ඈ පිළිවෙලට කාමරයෙන් කාමරයට යන අයුරු බලාගෙන සිටියා. අන්තිමේදී ඈට ඇති වූ පසු ඈ තමන් ගොඩ ගැසූ භාණ්ඩ එකතුව දෙස බලාසිටියේ කොයිතරම් අප්‍රිය බවකින්ද යත් ඈ ඊට කෙල ගසනු ඇතැයි ශුකුමාර් ට සිතුණා. ඉනික්බිති ඈ හඬන්නට පටන්ගත්තා.

පඩිපෙළ මත වාඩිවී සිටි ඔහුට සීතලක් දැනෙන්නට වුනා. දැන් ඇගේ වාරය නිසා ඈට මුලින් කතා කරන්නට දිය යුතු යැයි ඔහුට සිතුණා.

"ඔයාගේ අම්මා අපිව බලන්න ආව දවසක." ඈ අන්තිමේදී කීවා. "මට වැඩ වැඩි නිසා පරක්කු වෙනවා කීවත් මම එදා ජිලියන් එක්ක එලියට ගිහින් මාටිනි බීවා."

ඔහු ඇගේ මුහුණේ පැති පෙනුම දෙස බලා සිටියා, සිහින් නාසය, මඳක් පිරිමි බවක් දිස්වූ ඇගේ හනුව. ඔහුට ඒ රාත්‍රිය හොඳින් මතකයි. නොකඩවා දේශන දෙකක උගන්වා මහන්සි වී සිටි ඔහු අම්මා හා ගැලපෙන දේ කතාකරන්නට ශෝභා සිටියා නම් යැයි ප්‍රාර්ථනා කරමින් සිටියේ ඔහු කී හැම දේම වැරදුණු නිසා යි. ඒ වෙද්දී තාත්තා මියගොස් දොළොස් වසරක් ගෙවී තිබුණු අතර අම්මා පැමිණ සිටියේ ඔවුන් දෙදෙනා සමඟ සති දෙකක් ගත කර තාත්තා ගැන මතකය අලුත් කරගන්නයි. ඒ දින කිහිපයේ හැම රාත්‍රියකම අම්මා තාත්තා කැමති කෑමක් පිසූ නමුත් එය ආහාරයට ගන්නට නොහැකි තරමට ඇය දුකින් පසුවුණා. ඈ කඳුළු පිරුණු දෑසින් සිටිද්දී ශෝභා ඇගේ අත පිරිමැද්දා. “හරි දුක හිතෙනවා” ශෝභා ඒ ගැන කීවේ එහෙමයි. එහෙත් දැන් ඔහුට ශෝභා සහ ජිලියන් සාමාන්‍යයෙන් චිත්‍රපටියක් නැරඹීමෙන් පසු යන වෙල්වට් සෝපා ඇති බීම හලෙහි එදින ඔවුන් දෙදෙනා රැඳී සිටි අයුරු, ශෝභා තම වීදුරුවට වැඩිපුර ඔලිව් ගෙඩියක් ලබාගන්නා අයුරු, ඈ ජිලියන්ගෙන් දුම්වැටියක් ඉල්ලන අයුරු මැවී පෙනුණා. ඇය නෝක්කාඩු කියන අයුරුත් සැමියාගේ නෑයන්ගේ ආගමනය ගැන ජිලියන් ශෝකය පළ කරන අයුරුත් ඔහු මවා ගත්තා. ශෝභා ව රෝහල වෙත රැගෙන ගියේ ජිලියන්. 

“දැන් ඔයාගේ වාරේ.” ඇය කීවේ ඔහුගේ සිතිවිලි නවත්වමින්. 

ඔවුන්ගේ මාවත කෙළවර විදුලි කාර්මිකයන් ඔවුන්ගේ විදුම් යන්ත්‍රවල හඬ පරයමින් කෑගසන හඬ ශුකුමාර්ට ඇසුණා. පාරේ පෙළට ඇති අනෙත් නිවෙස්වල අඳුරු මුහුණත් දෙස ඔහු බැලුවා. එක නිවසක පමණක් කවුළු හරහා ඉටිපන්දම් එළි විහිදුණා. පරිසරයේ උණුසුම් බවක් තිබුනත් එහි දුම්කවුළුවෙන් දුම් රොටු නැඟුණා. 

“මම මගේ පෙරදිග ශිෂ්ටාචාරය විභාගයේදී කොපි කළා.” ඔහු කීවා. “ඒ මගේ අන්තිම සෙමෙස්ටරයේ අන්තිම විභාග ටික. ඒ වෙද්දී තාත්තා නැතිවෙලා මාස කීපයයි. මගේ එහා පැත්තේ හිටිය කොල්ලාගේ නිල් පාට පොත මට පෙනුණා. ඌ ඇමෙරිකන් කාරයෙක්, පිස්සෙක්. ඌ උර්දු, සංස්කෘත පවා දැනගෙන හිටියා. මට මතක නැහැ අපිට ලියන්න තිබුණේ ගසල් එකකට උදාහරණයක්ද කියලා. මම ඒකාගේ උත්තරේ බලා ගෙන ලිව්වා.”

මේ සිද්ධිය වෙලා අවුරුදු පහළවක් තරම් ඇති. ඒ ගැන ඈට කී නිසා ඔහුට සහනයක් දැනුණා. 

ඈ ඔහු වෙත හැරී ඔහුගේ මුව දෙස නොබලා ඔහුගේ පාවහන් දෙස බැලුවා. ඔහු සෙරෙප්පු වෙනුවට පාවිච්චි කළේ පසුපස කොටස තැලී ගොස් තිබුණු පරණ මොකැසින් ජෝඩුවක්. ඔහු කී දෙයින් ඈ අවුලට පත්වූවාදැයි ඔහු කල්පනා කළා. ඈ ඔහුගේ අතක් ගෙන එය තෙරපුවා. “එහෙම කළේ ඇයි කියලා ඔයා මට කියන්න වුවමනා වුණේ නැහැ,” ඔහුට සමීප වෙමින් ඈ කීවා.

රාත්‍රී නමයට යළි විදුලිය ලැබෙන තෙක් ඔවුන් එලෙස වාඩි වී සිටියා. පාරේ අනෙත් පස නිවෙසක කවුරුන් හෝ බරාඳයේ සිට අත්පොළසන් දෙන හඬත්, රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක වන හඬත් ඇසුණා. බ්‍රැඩ්ෆර්ඩ් යුවල අයිස්ක්‍රීම් කමින්, ඔවුන්ට අත් වනමින් නැවත නිවස ඉදිරිපසින් ගියා. ශෝභාත් ශුකුමාර්ත් ඔවුන්ට ආපිට ආචාර කළා. ඉනික්බිති ඔවුන් නැගී සිට, දෑත පටලාගෙනම නිවස තුළට ගියා. 

සාකච්ඡාවකින් තොරවම මේ කාලය පාපෝච්ඡාරණ හුවමාරු කරගැනීම සඳහා වෙන් වූ කාලයක් බවට පත්වී තිබුණා. ඔවුන් තමන්වම හෝ එකිනෙකාව රිදවූ කුඩා සිද්ධි වෙනුවෙන් ඒ කාලය වෙන්වුණා. ඊළඟ දිනයේදී ඈට කුමක් කියන්නේදැයි ශුකුමාර් පැය ගණනක් කල්පනා කළා. ඇය මිළදී ගත් මෝස්‌තර සඟරාවක කාන්තාවකගේ රුවක් තිබුණු පිටුවක් ඉරාගෙන සතියක් තිස්සේ තමන්ගේ පොත් අතරේ රඳවාගෙන ඔහු එහෙ මෙහෙ ගෙන ගිය බව ඇයට කියනවාද නොඑසේ නම් ඔවුන්ගේ තුන්වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ඈ තෑගි දුන් ස්වෙටරය නැතිවුනැයි ඔහු කීවේ බොරු බවත් ඔහු ෆිලේන් සාප්පුවට ගොස් එය හුවමාරු කරගෙන මහා දවල් තැබෑරුමකට ගොස් බිව් බව කියනවාදැයි යන සිතිවිල්ලෙන් ඔහු පීඩා වින්දා. ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවන් ශෝභා කොටස් දහයකින් යුත් භෝජන සංග්‍රහයක් ලෑස්ති කර තිබුණා. මේනිසා තෙවෙනි සංවත්සරයට ලැබුණු ස්වෙටරය ඔහුට ඇති කළේ සියල්ල එපා කරවූ හැඟීමක්. “මගේ බිරිඳ අපේ විවාහ සංවත්සරයට මට ස්වෙටරයක් දුන්නා.” බ්‍රැන්ඩි මතෙන් බර වූ හිසින් ඔහු තැබෑරුම් හිමියාට අවලාද කීවා. “ඉතින් ඊට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ?” තැබෑරුම් හිමියා පිළිතුරු දුන්නා. “ඔයගොල්ලෝ බැඳලානේ.”

සඟරාවෙන් කාන්තා රූපය ඉරාගත්තේ ඇයිදැයි ඔහු දැනගෙන සිටියේත් නැහැ. ඈ ශෝභා තරම් ලස්සන නැහැ. සීක්වින් ඇල්ලූ සුදු ගවුමක් හැඳ සිටි ඇයට තිබුණේ බුම්මාගත් මුහුණක් සහ කෙට්ටු පිරිමි පෙනුමැති කකුල්. නිරාවරණයව තිබුණු ඇගේ දෑත ඇය ඔසවාගෙන සිටියේ තමන්ගේම දෙකනට පහරක් ගසාගන්නා විලසින්. එය ස්ටෝකින්ග්ස් වෙනුවෙන් වූ වෙළඳ දැන්වීමක්. ඒ දිනවල ගැබිනියක් වූ ශෝභාගේ කුස හදිසියේම මෙන් විශාල ව දිස් වුණු නිසා ශුකුමාර්ට ඇයව ස්පර්ශ කරන්නවත් සිත් දුන්නේ නැහැ. ඔහු මුල්වරට ඒ රූපය දුටුවේ ඇඳේ ඇගේ පසෙකින් වැතිර හිඳ ඈ සඟරාව කියවන දෙස බලා හිඳිද්දී. ඒ සඟරාව ප්‍රතිචක්‍රීකරණය කරන්නට නියමිත කඩදාසි ගොඩෙහි තිබෙනු දුටු විට ඔහු ඒ කාන්තාවගේ රූපය නැවතත් සොයාගෙන හැකිතරම් ප්‍රවේසමෙන් එය ඉරාගත්තා. සතියක් තරම් කාලයක් ගෙවෙන තුරු ඔහු දවසට වතාවක් ඒ දෙස යන්තම් බලන්නට තමන්ට අවසර දුන්නා. ඔහුට ඒ ගැහැණිය ගැන අධික ආශාවක් ඇතිවුණ නමුත් ඒ අශාවම විනාඩියකට දෙකකට පසු පිළිකුලක් බවට හැරුණා. ඒ ඔහු අතින් සිදුවූ වරදේ බැඳීමකට කිට්ටු එකම ක්‍රියාවයි. 

ඔහු තුන්වන රාත්‍රියේදී ස්වෙටරය ගැනත් හතරවෙනි රාත්‍රියේදී රූපය ගැනත් කීවා. ඔහු කතා කරද්දී ඊට විරුද්ධව හෝ දෝෂාරෝපණයක් ලෙස ඈ කිසිදෙයක් කීවේ නැහැ. සවන්දෙන අතරතුරේදී පෙර සේම ඈ ඔහුගේ සුරත ගෙන එය සෙමෙන් තෙරපුවා. වරක් ඔවුන් සහභාගී වූ දේශනයකින් පසු ඔහු, ඔහුගේ අධ්‍යයනාංශ ප්‍රධානියා හා කතාබස් කරද්දී ඔහුගේ නිකටේ ඉඳුල් පැල්ලමක් තිබුණු බව දැක දැකම ඈ ඒ බව ඔහුට නොකී බව ඈ කීවා. ඈ කිසියම් හේතුවකට ඔහු සමඟ නොරිස්සුමෙන් සිටි නිසා ඉඳුල් පැල්ලම තිබියදීම, තම නිකටට ඇඟිල්ලක් තබා ඔහුට ඒගැන සංඥාවක් නොදී ඊළඟ සෙමෙස්ටරයට ශිෂ්‍යත්වයක් ලබාගැනීම පිළිබඳව ඔහුට දිගින් දිගටම කතාකරන්නට ඈ ඉඩ හැරියා. යූටා හි සාහිත්‍ය සඟරාවක පළවූ ඔහුගේ ප්‍රසිද්ධියේ පළවූ එකම කවිය ගැන කිසිදිනක ඇගේ කැමැත්තක් නොතිබුණු බව හතරවෙනි රාත්‍රියේදී ඈ කීවා. ඔහු එය ලියා තිබුණේ ශෝභා මුණගැසීමෙන් පසුවයි. නමුත් ඒ කවිය භාවාත්මක බවක් ඇයට දැනුණු බව ඇය පසුව එකතු කළා. 

නිවස අඳුරු වූ පසු අමුතු දෙයක් සිදුවුණා. ඔවුන් දෙදෙනාට නැවතත් එකිනෙකා හා කතාකරන්නට හැකිවුණා. තෙවෙනි රාත්‍රියේදී රෑ කෑමෙන් පසු ඔවුන් දෙදෙනා සෝපාවේ එකට හිඳගෙන සිටි අතර අඳුර එළඹුණු පසු ඔහු නුහුරු ලෙස ඇගේ නළලත් මුහුණත් සිපගත්තා. අඳුර පැතිරී තිබුණත් ඔහු දෑස් වසාගත් අතර ඇයද එලෙසම කළ බව ඔහු දැන සිටියා. හතරවෙනි රාත්‍රියේදී ඔවුන් පඩිපෙළ කෙලවර වන තැනට සෝදිසියෙන් අඩිය තබමින් ප්‍රවේසමෙන් ඉහළ මාලයේ නිදන කාමරයට ගොස් මෙතෙක් අමතකව ගොස් තිබුණු හදිසියකින් ප්‍රේමාලිංගනයේ යෙදුනා. ඈ නිහඬව වැළපෙමින්, ඔහුගේ නම කොඳුරා කියමින් අඳුරේම ඔහුගේ ඇහිබැම ඇඟිල්ලකින් පිරිමැද්දා. ප්‍රේමාලිංගනය අතරතුරදීම ඊළඟ දවසේ ඇයට කුමක් කියන්නදැයි, ඇය ඊට කුමක් කියනු ඇත්දැයි සිතද්දී ඒ සිතිවිල්ල ඔහු තුළ උද්යෝගයක් ඇති කළා. “මාව තදින් වැළඳගන්න” ඔහු කීවා. “මාව ඔයාගේ තුරුලේ තියාගන්න,” පහත මාලයේ විදුලි එළිය ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ට නින්ද ගොස් තිබුණා. 

පස්වෙනි දින උදෑසන විදුලි සමාගමෙන් ලැබුණු තවත් දැන්වීමක් ලියුම් පෙට්ටියේ තිබී ශුකුමාර් ට ලැබුණා. අලුත්වැඩියා කටයුතු සැලසුම් කළාට වඩා ඉක්මණින් අවසන් වූ බව එහි සඳහන්ව තිබුණා. ඔහුට කලකිරීමක් දැනුණා. ඔහු ශෝභා වෙනුවෙන් ඉස්සන් ව්‍යංජනයක් පිසීමට සැලසුම් කරගෙන සිටියත් වෙළඳ සැල වෙත එළඹුණු පසු ඔහුට ඉවීමේ අදහස ගැන උනන්දුවක් දැනුණේ නැහැ. විදුලිය විසන්ධි නොවෙන බව දැන සිටි විට කළින් දැනුණු හැඟීම දැනුණේ නැහැ. වෙළඳ සැලේ විකුණන්නට තිබුණේ අළු පැහැති, සිහින් ඉස්සන්. පොල් කිරි අඩංගු ටින්වල දූවිලි බැඳී තිබුණු අතර එහි සඳහන් ව තිබුණේ නොවටිනා මිළක්. එහෙත් ඔහු ඒවාත්, මීමැසි ඉටි වලින් තැනූ ඉටිපන්දමක් සහ වයින් බෝතල් දෙකක් මිළදී ගත්තා. 

ඈ රාත්‍රී හතහමාර වෙද්දී නිවසට ආවා. “අපේ සෙල්ලම ඉවරයි වගේ” ඈ දැන්වීම කියවනු දුටු විට ශුකුමාර් කීවා. 

ඈ ඔහු දෙස බැලුවා. “ඒත් ඔයා කැමති නම් ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්.” ඒ රාත්‍රියේ ඇය ව්‍යායාම මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණේ නැහැ. ඇගේ වැහි කබාය යටින් ඈ රැකියාවට අඳින ඇඳුමක් හැඳ සිටියා. මෑත වෙලාවක ඇගේ මුහුණේ වත්සුණු නැවතත් ආලේප කර තිබුණු බව පෙනුණා. 

ඈ ඇඳුම් මාරු කිරීමට ඉහළ මාලයට ගිය අතරේ ඔහු වයින් වීදුරුවක් වත්කර ගෙන ඇය ප්‍රිය කළ බව ඔහු දැන සිටි තෙලොනියස් මන්ක්ගේ සංගීත තැටියක් වාදනය කළා. 

ඇය පහල මාලයට පැමිණි පසු ඔවුන් එක්ව ආහාර ගත්තා. ඈ ඔහුට ස්තූති කළේවත් ඔහුගේ දස්කම් අගය කළේවත් නැහැ. මීමැසි ඉටි ඉටිපන්දමේ එළියෙන් ඔවුන් නිහඬවම ආහාර ගත්තා. ඔවුන් දුෂ්කර කාලයක් පසුකර පැමිණ තිබුණා. ඉස්සන් ව්‍යංජනය අවසන් කළ ඔවුන් දෙදෙනා පළමු වයින් බෝතලයත් හිස් කර දෙවැන්න ආරම්භ කළා. ඉටිපන්දම දැල්වී අවසාන වන්නට ආසන්න වන තුරුම ඔවුන් එලෙස එකට වාඩිවී සිටියා. ඇය පුටුව මත තම ඉරියව්ව වෙනස් කරද්දී ඔහු සිතුවේ ඇය යමක් කියන්නට යන බවයි. එහෙත් ඒ වෙනුවට ඇය කටින් පිඹ ඉටිපන්දම නිවා, නැගිට ගොස් විදුලි ලාම්පුව ක්‍රියාත්මක කර නැවත පැමිණ හිඳගත්තා.

“අපි ලයිට් නිවාගෙන ඉන්න නේද කතාවුණේ?” ශුකුමාර් ඇසුවා. ඈ පිඟාන පසෙකින් තබා මේසය මත තිබූ තම දෑත බැඳගත්තා. “මම මේක කියද්දී මට ඔයාගේ මූන දකින්න ඕන,” ඈ කීවේ මෘදු ලෙසින්.

ඔහුගේ හදවත ගැහෙන්නට වුණා. ඈ ගැබ්ගෙන බව ඔහුට කියූ දවසේත් ඔහු රූපවාහිනියේ නරඹමින් උන් පැසිපන්දු සෙල්ලම ක්‍රියා විරහිත කරමින් ඈ පාවිච්චි කළේ මේ මෘදු ක්‍රමයමයි. එදා ඔහු සූදානම්ව සිටියේ නැහැ. එහෙත් අද ඔහු සූදානමින්. 

එහෙත් ඇය නැවත ගැබ් ගැනීමක් ඔහුට වුවමනා වුණේ නැහැ. සතුටින් ඉන්න බවක් මවාපාන්නට ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ. 

“මම එපාට්මන්ට් එකක් සොයමින් හිටියේ, මට එකක් හම්බවුණා” ඔහුගේ වම් උරහිස පසුපස තැනක් වෙත පරීක්ෂාකාරීව නෙත් යොමුකරමින් ඈ කීවා. කාගෙවත් වරදක් නැහැ, ඈ තවදුරටත් කීවා. ඔවුන් ඇතිතරම් කරදර පසුකර ඇවිත්. ඇයට ටික කලක් තනිවම ගත කරන්නට වුවමනායි. අත්තිකාරම වෙනුවෙන් ඇයට ඉතිරිකරගත් මුදලක් තිබෙනවා. ඒ නිවස තිබෙන්නේ බීකන් හිල් ප්‍රදේශයේ නිසා ඇයට පයින් වැඩට යන්නට පුළුවන්. එදින රාත්‍රියේ නිවසට පැමිණෙන්නට කලින් ඈ බදු ඔප්පුව අත්සන් කර තිබුණා.

ඈ ඔහු දෙස නොබැලුවත් ඔහු දෑස් විදහා ඈ දෙස බලාගත්වනම සිටියා. ඈ මේ වාක්‍ය කටපාඩම් කර තිබුණු බව පැහැදිලියි. ඇය කුලී නිවසක් සොයමින්, ඒවායේ කරාම වල ජල පීඩනය මනිමින්, උණු වතුරත්, නිවස උණුසුම් කිරීමත් කුලියට අයත්දැයි නිවෙස් කුලියට දෙන්නන්ගෙන් අසමින් පසුගිය කාලය ගත කර තිබුණා. පසුගිය සන්ධ්‍යාවන් ඈ ගත කළේ ඔහු රහිත ජීවිතයකට සූදානම් වෙමින් බව සිතද්දී ශුකුමාර් ට පිළිකුලක් දැනුණා. ඔහුට සැනසීමක් මෙන්ම පිළිකුලක් එකවර දැනුණා. ඇය පෙර සන්ධ්‍යාවන් හතරේදී ඔහුට කියන්නට උත්සාහ කළේ මෙයයි. ඇගේ ක්‍රීඩාවේ අරමුණ මෙයයි.

දැන් කතා කිරීමේ වාරය ඔහුගේයි. ඔහු ඇයට කිසි දිනෙක නොකියන බවට තමන්ට දිව්රා ගත්, සය මසක් තිස්සේ තම මනසින් පවා සඟවා ගන්නට මහත් උත්සාහයක් දැරූ දෙයක් තිබුණා. ස්කෑන් පරීක්ෂණයට පෙර දරුවාගේ ගැහැණු පිරිමි බව ගැන ඔවුන්ට නොකියන ලෙස ඈ වෛද්‍යවරයාගෙන් ඉල්ලා තිබුණු අතර ශුකුමාර්ද ඊට එකඟ වුණා. ඇයට වුවමනා වූයේ එය පුදුමයක් වන්නට. 

ඉන්පසුවත්, සිදු වූ දේ ගැන ඔවුන් කතාබහ කළ සීමිත අවස්ථාවන් වලදීත්, අඩුම තරමේ දරුවාගේ ගැහැණු හෝ පිරිමි බව දැනගැනීමෙන් ඔවුන් මිදුණු බව ඈ කීවා. කිසිදා එළි නොවන රහසකට මුවාවී සිටින්නට අවස්ථාව ලැබුණු නිසා ඒ තීරණය ගැන ඇයට ආඩම්බරයක් දැනුණු ගාණයි. එය ඔහුටත් රහසක් බව ඈ උපකල්පනය කළ බව ඔහු දැන සිටියා. ඔහු බැල්ටිමෝර් සිට එද්දී සියල්ල සිදුවී අවසාන බවත් ඔහු එද්දී ඇය රෝහල් ඇඳක වැතිර සිටි බවත් ඇය සිතා සිටියා. නමුත් එදා සිදුවූයේ වෙනත් දෙයක්. ඔවුන්ගේ බිළිඳාව දකින්නත්, ඔහුව ආදාහනය කරන්නට පෙර ඔහුව දෑතේ තබාගෙන සිටින්නත් කල් වේලා ඇතිව ඔහු එදා පැමිණ තිබුණා. මුලදී ඔහු දරුවා දෑතට ගැනීමේ යෝජනාව අසා පසුබැස්සත්, ඉන් ශෝකය දරාගැනීමට උදවු වනු ඇතැයි වෛද්‍යවරයා කීවා. ශෝභා සිටියේ නින්දක. බිළිඳා පිරිසිදු කර තිබුණු අතර ඔහුගේ ඉදිමුණු ඇසිපිය ලෝකය වෙතින් තරයේ වැසී තිබුණා. 

“අපේ දරුවා පුතෙක්,” ඔහු කීවා. “එයාගේ හම දුඹුරු පාටට වඩා රතට හුරු පාටක් තිබුණේ. එයාට කළු පාට කොණ්ඩේ තිබුණා. රාත්තල් පහකට කිට්ටු බරක්. ඔයා නිදා ගනිද්දී තියෙන විදිහට එයාගෙත් ඇඟිලි තදට වකුටු වෙලා තිබුණේ.”

ශෝභා ඔහු දෙස බැලුවේ ශෝකයෙන් ඇද වී ගිය මුහුණෙන්. ඔහු විශ්ව විද්‍යාලයේ විභාගයකදී කොපි කර තිබුණා, සඟරාවකින් ගැහැණියකගේ රූපයක් ඉරාගත්තා. ස්වෙටරයක් ආපසු වෙළඳසැලකට දී ඒවෙනුවට මහා දවාලක බීමත් වුණා. මේ ඔහු ඈට කී දේවල්. ඈ තුළ පමණක් ජීවිතය හඳුනාගෙන සිටි ඔවුන්ගේ පුතුව රෝහලක නන්නාඳුනන කොටසක අඳුරු කාමරයකදී ඔහු පපුවට තුරුළු කරගෙන හිඳ තිබුණා. හෙදියක් විත් දොරට තට්ටු කර ඉවතට ගෙන යන තුරු ඔහු පුතුව දෑතේ තබාගෙන සිටියා. ඒ වෙද්දී ඔහු ශෝභාට ආදරය කළ නිසාත්, ජීවිතයේ පුදුමයක් ලෙස ඇය භාරගැනීමට සිටි එකම දේ එය නිසාත් මේ ගැන කිසි දිනෙක ඈට නොකියන්නට ඔහු තමන්ටම පොරොන්දු වී තිබුණා. 

ශුකුමාර් නැගිට ඔහුගේ පිඟාන මතින් ඇයගේ පිඟාන තැබුවා. ඔහු ඒවා කුස්සියට ගෙන ගොස්, සෝදන්නට කරාමය අරිනු වෙනුවට කවුළුවෙන් පිටතට නෙත් යොමු කළා. පිටත සන්ධ්‍යාව තවමත් උණුසුම්ව තිබුණු අතර බ්‍රැඩ්ෆර්ඩ් යුවල අතින් අත පටලාගෙන ඇවිදිමින් සිටියා. ඔහු ඒ යුවළ දෙස බලා සිටිද්දී නිවස හදිසියේ කළුවර වූ අතර ඔහු එකවර පසුපස හැරී බැලුවා. ශෝභා විදුලි එලිය නිවා දමා තිබුණා. ඇය යළිත් මේසය වෙත පැමිණ හිඳගත් අතර සුළු මොහොතකින් ශුකුමාර් ඇයට එකතු වුණා. 

ඔවුන් දැන් දන්නා දේ ගැන දෙදෙනාම එක්ව වැළපෙන්නට වුණා. 


From the book 'Interpreter of Maladies' (2000) by Jhumpa Lahiri

Photo by Aaron Doucett on Unsplash


December 30, 2020

සාමාන්‍ය දේවල්වල ඇති ඉවසීම

Translation of the poem 'The Patience of Ordinary Things' by Pat Schneider.
https://epaper.dinamina.lk/
දිනමිණ- වසත් සුළඟ 30/12/2020, 14 පිටුව




 


December 17, 2020

කිංකිණි

ඉරත් ගිනිගෙන අහසක
වැසිත් නැත නෙත් මානෙක
ලෝකයම නැවතී ඇත
සුසුම්ලන මද්දහනක
එහෙත් මල් බර වදුලක
විසිර යන මල් පෙති මැද
වසන්තය සැඟවී ඇත
පුංචි කිංකිණි ගීයක!   


Digital painting using oil brush




November 29, 2020

කුරුළු ගීතය


Translation of the short story Birdsong by Jahnavi Barua
"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිනිවිත්තෙක්* ඇගේ හිසට හරියටම ඉහළින්, බොහොම ඉවසීමෙන් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට වගේ. ඇය ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වුනා. සීත සෘතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා පෙනුණේ දීප්තිමත්ව.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණා. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියා.

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණයි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියා. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමින්. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියට රාමුවට හසු කරගන්නට තැත් කළා.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනුණා.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවා. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත්තා. කුරුල්ලා ශබ්දයක් නොනඟා ම ඉගිල ගියා.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" ඔහුගේ කටහඬ කේන්තියෙන් රළු වී ගොසින්.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී ගිහින්. නිවාඩුවක් ලැබී තිබුණත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීම. ඒත් එලෙසින්ම ඔහු නිසා ඇයට කුරුල්ලන් නරඹන්නට අවස්ථාවත් අහිමිව ගොස් තිබුණා. මේ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවුණා. මීට පෙරත් විවිධ අවස්ථාවල-ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් සහ කණස්සල්ලෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි වුණා.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් පඩිපෙළ තරණය කළා. ඔහු අවලාද කියමින්, හති අරිමින් ඇය පසුපසින් සෙමෙන් ආවා.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදක්. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබුණා. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ පුංචි බෝලයක් වැනි මහත පෙනුම දැක ඇයට සිනා නැඟුනා. මේ ගමන ආ එක ගැන ඇයට හදිසියේම සතුටක් දැනුණා. මේ සති අන්තයේ ඇවිත් යන්න යෝජනාව ඇගේ අම්මාගෙන්.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයක්. මුලදී ඇයටත් ඒ බය දැනුණා. තාත්තෙක් නැතිව දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමින්.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැහැ. ඒත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බය අඩුයි. කාලයක් තිස්සේ යන යන තැන ඈ හා ආව නිසා දැන් එය ඈ ට පුරුදුයි, ඉන් තර්ජනයක් දැනුණේ නැහැ.

ඇය තව තවත් කැලය තුළට ගමන් කළා. දිවා කාලයේ පවා මෙහි ඇත්තේ අඳුරක්. අඩිපාර පටුයි, ගල් බොරළු සහිතයි, ඒ නිසා ඈ ප්‍රවේසම් විය යුතුයි. මෙහි ඇත්තේ රැවටිලිකාර නිහඬබවක්. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැහැ.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින්. ඇයට හදිසියේ කෝපයක් දැනුණා.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවා. නරක නැහැ, නමුත් ඒ කියන්නේ හොඳ බව නෙමෙයි.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවා. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බව. ඒත් කුරිරු බවට විවිධ හැඩතල තිබුණු බව ඇය දැනගෙන සිටියා. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන හැටි ඇය සිහි කළා.

පුතාට තාත්තා කෙනෙක් වුවමනා බව ඇය දැන සිටියා. දික්කසාදය ඇත්තටම විසඳුමක් නෙමෙයි. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණයි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දුන්නා. ඈ එදෙස බැලුවේ සතුටින්. ඌ ගසක අතු අතර අඩක් මුවා වී සිටියා. ඒ එක්කම ඈ රත් පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවා. මිනිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම ඇවිදින්. මේ වතාවේ ඔහු ඇහුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළා.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවා. රත් මිනිවිත්තා ඉවසිල්ලේ බලා සිටියේ ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින්. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් දුටුවා. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවුණා. ඒ මිනිවිත් කිරිල්ලියක්! කුරුල්ලා කිරිල්ලය වෙත නැඹුරු වෙද්දී ඈ තවත් තුරුළු වනු පෙනුණා.

නොසිතු විදිහට ඇයට මහා අසරණ බවක් දැනුණා. ඇගේ පපුව හිරවුණා. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණා. මේ තමන්ගේ සැමියා, දරුවාගේ පියා.

"හරි එහෙනම්" ඈ කීවා. "දික්කසාද වෙමු."


Out of Print Magazine, Issue 3 March 2011

Illustration by Shirin Watwani

November 25, 2020

Agatha Christie ගේ පොත් කියවීම

මම මුලින්ම Agatha Christieගේ පොතක් කියවද්දී මට අවුරුදු නමයක් විතර ඇති. ඒ පොත් වල තියෙන මිනී මැරුම් කතන්දර ඒ වයසට නොගැලපෙනවා කියලා ඒ කාලේ කවුරුවත් මාව වැලක්වුවේ නැත්තේ හොඳ වෙලාවට! මම මුලින්ම Agatha Christieගේ පොතක් තෝරාගත්තේ ඇයි කියලා නම් මට මතක නැහැ, ඒත් ඒ පොත්වලට මම ඒ වයසේදීත් පුදුම විදිහට ඇබ්බැහි වුණා කියලා නම් හොඳට මතකයි. ඒ කාලේ අපි හිටියේ සේෂෙල්ස් වල. මගේ වාසනාවකට එහෙදි පුස්තකාලෙන් මම Agatha Christieගේ පොත් එක සැරේට හතර පහ අරන් යද්දීත් කවුරුවත් ඒ ගැන විමසිලිමත් උනේ නැහැ.

Agatha Christieගේ පොත් වල තියෙන්නේ පිටු 300 විතර. ඒත් ඒවායේ බොහොම සියුම්, ඒ වගේම හිත ඇදගන්න විදිහට මිනීමැරුම් වලදී ඒ අපරාධකාරයාව හොයාගන්න හැටි ලියවිලා තියෙනවා. කතාවට අත්‍යවශ්‍ය විස්තර මිසක් අදාළ නැති පරිසර වර්ණනා වගේ දේවල් ඒ පොත්වල නැහැ. Agatha Christieගේ ශෛල්‍යය තමයි කතාවේ තේමාවට අදාලව චරිත හතක් අටක් මුලදී අඳුන්නලා දෙන එක. ඉන්පස්සේ අන්තිම වෙනකම්ම කවුද මෙතැන අපරාධකාරයා කියලා කියවන්නාටත් නොතේරෙන්න අරගෙන ගිහින් අන්තිමේදී පුදුම කරවන එක. එහෙම පුදුමයක් දැනෙන්නේ අදාළ මිනීමැරුම විසඳන්න වුවමනා හැම ඉඟියක්ම මුල ඉඳන්ම අපට දීලා තිබුණු නිසා. පෙන්නලා තිබුණා- අපට පෙනුණේ නැහැ! 

වයසින් වැඩෙද්දීත් මගේ Agatha Christie පොත් ඇබ්බැහිය නම් අඩුවුණේම නැහැ. කාලයක් ගතවෙද්දී එහෙන් මෙහෙන් හොයාගෙන මම කොහොමහරි ඒ රහස් පරීක්ෂක පොත් හැත්තෑ ගණනම කියෙව්වා. ටික කලක් යද්දී ඒ පොත්වල මැද හරිය කියවද්දී මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න තරම් මම Agatha Christie expert කෙනෙකුත් වුනා! "මේවා කියවලා මේකි අපිව කොයිවෙලේ මරලා දායිද දන්නේ නැහැ!" කියලා යාලුවෝ විහිලු කරන තරමට මගේ ඒ ඇබ්බැහිය ප්‍රසිද්ධත් වුණා. ඒ හැම පොතක්ම එකිනෙකට වෙනස්, හරිම නැවුම්. එක සැරයක් කියවපු පොතක් ලේසියෙන් ආයෙත් නොකියවන මම Agatha Christieගේ පොත් නම් තුන් හතර සැරේ කියවලා තියෙනවා. 

ඒත් මේ විස්තරේ මගේ Agatha Christie ඇබ්බැහිය ගැන විතරක්ම නෙමෙයි. 1890දී ඉපදුනු Agatha Christie මියගිහිනුත් දැන් අවුරුදු 44ක් වෙලා. ඒ නිසා ඇගේ පොත් හැම එකක්ම වගේ ලියවිලා තියෙන්නේ 1920-1950 වගේ කාලේදී කියන්න පුළුවන්. ඒවායේ තියෙන්නේ ඒ යුගයට අයිති පසුබිම් විස්තර. ඒ කියන්නේ ග්‍රැමෆෝන් වලින් සින්දු අහන, සාලයේ තියෙන දුරකථනයට පණිවිඩ ලැබෙන, ලියුම් මඟින් වැදගත් විස්තර දැනුම් දෙන කාලේ දේවල්. ඒත් එහෙම මේවායේ පසුබිම යල් පැනලා කියලා මේ පොත් වල ප්‍රසිද්ධිය අඩුවෙලා තියෙනවද? කොහොමවත්ම නැහැ! මම මේ බව හරියටම දන්නේ මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන High School library එකේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් අතරට Agatha Christieගේ පොත් ඇතුළත් නිසා. අවුරුදු 13-18 වගේ වයසේ ළමයි තමන් ආසා දෙයක් නම් මිසක් හොයා හොයා කියවන්නේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Agatha Christieගේ පොත් hold කරලා ලැබෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න, මම ඉස්සර කළා වගේ එයින් පොත්ම හතර පහ එක සැරේ උස්සගෙන යන සිසුවියන් මම දවස ගානේ දකිනවා. මේ පොත් කොයිතරම් ජනප්‍රියද කියනවානම් පුස්තකාලයේ අපි නිතරම replace කරන, වැඩියෙන්ම පාවිච්චි කරන පොත් ලිස්ට් එකේ ඉහළින්ම මේ පොත් පෙළත් තියෙනවා. ඒ සමානව තියෙන්නේ Harry Potter, Divergent, Hunger Games වගේ පොත් කියන එකෙන්ම මේවායේ ජනප්‍රියතාවය හිතාගන්න පුළුවන්.

"Did you know that these were originally written about a hundred years ago?" තමන් අරගෙන ගිය Agatha Christieගේ පොත් පුස්තකාලයට ආපසු දෙන ගමන් ඒවා රස වින්ද හැටි ගැන විස්තර කරන සිසුවියන්ගෙන් මම ඉඳහිට අහනවා.
ඒකට උත්තර හැටියට මට නිතරම ලැබෙන්නේ බොහොම පුදුමවුණු මුණූ ටිකක්. ඒගොල්ලන්ට ඒක හිතාගන්නත් බැහැ.

අවුරුදු සීයක් ගතවුණත් මේ කතන්දර පරණ වෙන්නේ නැත්තේ ඒවායේ විස්තර කෙරෙන මිනිස් හැසිරීම් සදාකාලික නිසා කියලා මට හිතෙනවා. ශතවර්ෂයක් ගියත් රසවිඳින්න පුළුවන් විදිහට පොත් ලිවීමේ හැකියාව! Agatha Christie මගේ ප්‍රියතම කතුවරිය විතරක් නෙමෙයි බොහොම ගෞරව කරන වීරවරිය වෙන්නේත් ඒ දක්ෂකම නිසායි. 

පින්තූරය- මම රැකියාව කරන පුස්තකාලයේ Agatha Christie පොත් එකතුවෙන් කොටසක්





November 21, 2020

රුදු රොන් සුනු - කීර්ති වැලිසරගේ

රුදු රොන් සුනු
කීර්ති වැලිසරගේ
සරසවි ප්‍රකාශකයෝ (2019)

කීර්ති වැලිසරගේ නම් කතුවරයාගේ ලිවීමේ ශෛල්‍යයට මා ආකර්ෂණය වූවේ ඔහු ලියූ දෛව නවකතාව කියවීමෙන් පසු ය. 2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනූ ඔහුගේ ගරුඩ මුහුර්තය මගේ ප්‍රියතම පොතකි. මේ නිසා 2019 වසරේ ප්‍රකාශයට පත්වූ කීර්ති වැලිසරගේ ගේ රුදු රොන් සුනු පොත කියවන්නට ලැබෙන තුරු මා බලා සිටියේ ඇඟිලි ගනිමිනි. 

රුදු රොන් සුනු නවකතාව හිමිවීම්, අහිමිවීම් සහ ඒ හා බැඳුණු හැල හැප්පිලි ඔස්සේ තරුණයකුගේ ජීවිතය ගලා යන අයුරු ගැන අපූරුවට ලියවී ඇත. එක් මොහොතකින් ජීවිතය උඩු යටිකුරු වී ඇතිවන බිඳ වැටීම් මෙන්ම එසේ වැටුණු පසු යළි අළු මතින් නැගිටීම මේ පොතේ විස්තර කෙරෙන්නේ ඒ කලකිරීමත්, වේදනාවත්, පාළුව සහ කාන්සිය මෙන්ම ධෛර්යයත් කියවන්නා තුලත් ගොඩනඟමිනි. 

බොහෝ දුෂ්කර කාලවලදී අප අත්නොහැර ළඟ ඉන්නේත්, නොවැටී සිටින්නට වාරු වන්නේත් නන්නාඳුනන්නෙක් විය හැක. එමෙන්ම අත්‍යවශ්‍යම වෙලාවක පිටුපා යන්නේත් අත්වැල් සිඳලන්නේත් සමීපතමයෙක් විය හැක. රුදු රොන් සුනු මේ ගැන අපට හට සිතන්නට යමක් ඉතිරි කරයි. 




November 20, 2020

නිදි නැති රැය පුරා- සේනක බටගොඩ

පහුගිය ටිකේ වැඩිපුර ගෙදර ඉන්න ලැබුණු එකෙන් වාසි කීපෙකුත් වුණා. වැඩිපුර පොත් කියවන්න, චිත්‍රපටි බලන්න වගේම සින්දු අහන්නත් ලැබුණා. සමහර සින්දු තියෙනවා විස්තර විමර්ශන වැඩක් නැති. ඒවා නිස්කලංක වෙලාවකට ඇස් දෙක පියාගෙන අහන්න වුවමනා ඒවා.

මේ සේනක බටගොඩ කීව ඒ වගේ සින්දු අහුරකින් එකක් විතරයි.
සේනක බටගොඩ.
මීට වැඩිය ඉහළ තැනක ඉන්න ඕන ගායකයෙක්.
සෙරීනා ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.
අපරාදේ ඉතින්.
 
 

November 12, 2020

"What do you practice?"

මුහුනුපොතේ මගේ යාලුවෙක් share කරලා තිබුණු video එකක් මේ. මේ පුතා කවුද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඒ නිසා credit එකක් දෙන්න විදිහක් නැහැ.

මේක බොහොම ගැඹුරු, ඒ වගේම සරල අදහසක්.

ටිකක් නැවතිලා හිතලා බලන්න. 

"What do you practice?" 



October 30, 2020

කුඩයක් රැගත් මිනිසා

Translation of ‘The Umbrella Man’ by Roald Dahl





මගේ වයස දොළහයි, අම්මාට තිස් හතරයි- ඒත් මම අම්මා තරමටම උසයි! ඊයේ හවස අම්මාටත් මටත් අපූරු වැඩක් වුණා. අපි දෙන්නා ඊයේ ලන්ඩන් ගියේ දත් දොස්තර මුණගැහෙන්නයි. ඒ රාජකාරිය ඉවරවෙලා අපි දෙන්නා අවන්හලකට ගියා. එතැනදී මම අයිස් ක්‍රීම් එකක් කද්දී අම්මා කෝපි කෝප්පයක් බිව්වා. අපි එතැනින් පිටවෙද්දී හැන්දෑවේ හයට විතර ඇති. 

අපි අවන්හලෙන් එළියට එද්දීම වැස්සක් වැටෙන්න වුණා. අපි ඇඳගෙන හිටියේ සාමාන්‍ය කබා සහ තොප්පි නිසාත්, වැස්ස තදින්ම වැටුණු නිසාත් 'අපිට ටැක්සියක් ගන්න වේවි" කියලා අම්මා කීවා. 

“අපි ඇතුලට ගිහින් තව ටික වෙලාවක් ඉමු" මම එහෙම යෝජනා කළේ මට තව අයිස්ක්‍රීම් එකක් කන්න ආසාවක් තිබුණු නිසායි. 

"මේ වැස්ස නවතින්නේ නැහැ," අම්මා කීවා. "අපි ගෙදර යන්න ඕන"

ඉතින් අපි දෙන්නා පදික වේදිකාවේ හිටගෙන ටැක්සියක් නවත්තාගන්න බලමින් හිටියා. ටැක්සි කීපයක්ම අපිව පහුකරගෙන ගියත් ඒ හැම එකකම මගීන් උන්නු බව පෙනුණා. 

"අපිට රියදුරෙක් එක්ක කාර් එකක් තිබුණා නම්!" අම්මා කීවා. 

ඒ වෙලාවේම අපි ළඟට මිටි වයසක මනුස්සයෙක් ආවා. ඔහුට වයස අවරුදු හැත්තෑවක් විතර පෙනුණා. 

"මට සමාවෙන්න… කරුණාකරලා මට සමාවෙන්න…" ඔහු තොප්පිය ඔසවමින් ආචාරශීලීව අම්මාට කීවා. ඔහුට සුදු උඩ රැවුලකුත්, බූසි දෙබැමකුත් රැළි වැටුණු රෝස පැහැති මුහුණකුත් තිබුණා. ඔහු හිසට බොහොම ඉහළින් කුඩයක් අල්ලාගෙන හිටියා. 

"ඇයි?" අම්මා ඔහුව ගණන් නොගෙනම ඇහුවා. 

"මට ඔබගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න පුළුවන් ද කියලා මම මේ කල්පනා කළේ." ඔහු කීවා. "බොහොම පුංචි උදව්වක්."

අම්මා ඔහු දිහා සැකයෙන් බලනවා මට පෙනුණා. මගේ අම්මා නිතරම සැකයෙන් පිරුණු කාන්තාවක්. ඈට වැඩියෙන්ම සැකයක් දැනුණේ අවස්ථා දෙකකදී- නාඳුනන මිනිස්සු ළඟදී සහ තම්බපු බිත්තර ලඟදි. තම්බපු බිත්තර කටු අරිද්දී ඈ ඒවායේ මුදුන ඉවත් කර හැන්දක් දමා පරීක්ෂා කරන්නේ ඇතුලේ මීයෙක් ඇතිදැයි වගේ සැකයෙන්. "පිරිමියෙක් ප්‍රිය මනාප වැඩි වන තරමට ඔහු ගැන වැඩි වැඩියෙන් සැක කළ යුතුයි." ඒ නාඳුනන පිරිමි ගැන ඈට තිබුණු නොවෙනස් රීතිය. මේ වයසක මනුස්සයාත් බොහොම ප්‍රියමනාප බවක් පෙනුණා. ඔහු බොහොම ආචාරශීලීව කතාකළා. ඔහු හොඳ මහත්මයෙක් විදිහට මැනවින් හැඳ පැළඳගෙන හිටියා. ඔහු මහත්මයෙක් බව මම දැනගත්තේ ඔහුගේ සපත්තු ජෝඩුවෙන්. "හොඳ මහත්මයෙක් මනින්න පුළුවන් එයා දාන සපත්තු දෙකෙන්." ඒ තවත් අම්මාගේ ප්‍රියතම කියමනක්. මේ මනුස්සයා ලස්සන දුඹුරු සපත්තු ජෝඩුවක් දාගෙන හිටියා

"ඇත්තම කියනවා නම්.." කුඩා මහලු මිනිසා කීවා. "මම පොඩි කරදරයකට වැටිලා. මට උදව්වක් ඕන වෙලා ඉන්නේ. වැඩිය නෙමෙයි, බොහොම ටිකයි. මැඩම් දන්නවනේ මං වගේ වයසක උදවියගේ සිහි කල්පනාව දුර්වලයි කියලා…."

අම්මා නිකට ඔසවා ඔහු දිහා රවා බැලුවා. අම්මාගේ මේ රවා බැලීම බොහොම භයංකරයි. හුඟ දෙනෙක් ඒ බැල්ම ළඟ අසරණ වෙනවා. අම්මාගේ රවා බැලිල්ලක් ලැබී මගේ විදුහල්පතිනිය පවා මෝඩ විදිහට ගොත ගහමින් කතා කළ හැටි මා දැක තිබෙනවා. ඒත් කුඩයක් අතැතිව පදික වේදිකාවේ උන් කුඩා මහලු මිනිසා නම් ඉන් බිඳක්වත් සැලුණේ නැහැ. 

"මාව විශ්වාස කරන්න මැඩම්, පාරේ යන කාන්තාවන් නවත්තලා මගේ කරදර කියන එක මගේ පුරුද්දක් නෙමෙයි" ඔහු මඳ සිනාවකින් ඈට කීවා. 

"එහෙම නොවෙනවා නම් හොඳයි." අම්මා කීවා. 

මේ වෙද්දී අම්මාගේ දරදඬු හැසිරීම ගැන මම ලැජ්ජාවට පත්වෙමින් සිටියා. 

අම්මාට 'අනේ අම්මේ, මේ හොඳටම වයසක මනුස්සයෙක්! බොහොම ප්‍රිය මනාප ආචාරශීලී කෙනෙක්! එයා මොනවා හරි කරදරයක වැටිලා, ඒ නිසා එයාට බනින්න එපා' කියන්න වුවමනාව තිබුනත් මම නිහඬව හිටියා. 

කුඩා මහලු මිනිසා තමන්ගේ කුඩය එක අතකින් අනෙත් අතට මාරු කළා. "මට මීට කළින් කවදාවත් ඒක අමතක වෙලා නැහැ." ඔහු කීවා. 

"මොකක්ද කලින් අමතක වෙලා නැත්තේ?" අම්මා ඔහුගෙන් සැරෙන් ඇහුවා. 

"මගේ පසුම්බිය." ඔහු කීවා. "මගේ අනෙත් කබායේ ඒක අමතක වෙන්න ඇති. ඒක මහා මෝඩ වැඩක් නේද?"

"ඔහේ ඔය මගෙන් ඉල්ලන්නේ සල්ලි ද?" අම්මා ඇහුවා.

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ.. නැහැ නැහැ!" ඔහු කෑ ගැසුවා. "එහෙම දෙයක් මම හීනෙන්වත් හිතුවේ නැහැ!"

"එහෙනම් මොනවාද ඉල්ලන්නේ?" අම්මා ඇහුවා. "ඉක්මණින් කියන්න. අපිව මෙතැන හොඳටම තෙමෙනවා."

"ඔව් මම දන්නවා." ඔහු කීවා. "ඒකයි මම මේ කුඩය ඔබට තියාගන්නම දෙන්න හදන්නේ. ඒත්.. ඒත්.."

"ඒත් කිව්වේ?" අම්මා ඇහුවා. 

"මට මේ වෙනුවෙන් එක පවුමක් දෙනවා නම් මට ඒ මුදල ගෙදර යන්න ටැක්සියට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්."

අම්මා ඒ වෙද්දීත් පසුවුණේ සැකයෙන් . "සල්ලි නොතිබුණා නම් කොහොමද මෙහේට ආවේ?" ඈ ඇහුවා. 

"මම ආවේ පයින්," ඔහු කීවා. "හැමදාම මම සෑහෙන්න දුරක් ඇවිදින්න ගිහින් ආයෙත් ගෙදර යන්න ටැක්සියක් ගන්නවා. මම දවස ගානේ කරන වැඩක් මේ"

"ඉතින් අද ඇයි පයින් ආපිට නොයන්නේ?" අම්මා ඇහුවා.

"අනේ එහෙම යන්න තිබුණා නම් කොයිතරම් දෙයක්ද?" ඔහු කීවා. "මමත් කැමතියි එහෙම යන්න තිබුණා නම්. ඒත් මගේ මේ වයසක කකුල් දෙකෙන් අද නම් ඒ වැඩේ කරන්න බැහැ. දැනටමත් මම ඇවිදලා තියෙන දුර හොඳටම වැඩියි."

අම්මා ඇගේ යටිතොල හපමින් කල්පනා කළා. ඇගේ දරදඬු බව මඳක් ගිලිහෙමින් තිබුණා. මේ වැස්සෙන් මුවා වෙන්නට කුඩයක් ලැබීමේ අදහස ඇයගේ සිත වෙනස් වෙන්න බලපෑ බවක් පෙනුණා. 

"මේක බොහොම ලස්සන කුඩයක්" කුඩා මහලු මිනිසා කීවා. 

"ඔව් මම දැක්කා." අම්මා කීවා. 

"ඒක සේද කුඩයක්" ඔහු කීවා. 

"ඔව් මට පේනවා."

"ඉතින් මේක ගන්නකො මැඩම්," ඔහු කීවා. "මම මේකට පවුම් විස්සකට වඩා වියදම් කළා, සත්තයි. ඒත් මට ගෙදර ගිහින් විවේකයක් ගන්න ක්‍රමයක් නැත්නම් ඒ වියදම් වලින් වැඩක් නැහැනේ."

අම්මාගේ අත ඇගේ පසුම්බිය වෙත යනවා මට පෙනුණා. මා ඈ දෙස බලා උන් බව ඈ දුටුවා. මේ වෙද්දී මා ඈ වෙත රවමින් උන් අතර මගේ බැල්මෙන් කියවුණු දේ ඈ හොඳාකාරවම දැනගෙන සිටියා. 'මේ අහන්න අම්මා,' මා ඈට නිහඬවම කියමින් සිටියා. 'මේ හෙම්බත්වුණු වයසක මනුස්සයාව මේ විදිහට රවට්ටන්න එපා. ඒක මහා කැත වැඩක්.' අම්මා මඳක් නිසොල්මන්ව මා දිහා බලලා කුඩා මහලු මිනිසාට මෙසේ කීවා.

"මම හිතන්නේ නැහැ මම පවුම් විස්සක් වටිනා කුඩයක් ඔබගෙන් අරගන්න එක වටිනා වැඩක් කියලා. මම ඔබට නිකම් ටැක්සි කුලිය විතරක් දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා."

"නැහැ, නැහැ නැහැ!" ඔහු කෑ ගැසුවා. "මම හීනෙකින්වත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ! ඒ ගැන හිතන්නවත් එපා! එහෙම කොහොමද නිකම් සල්ලි ගන්නේ? කරුණාකරලා මේ කුඩය ගන්න මැඩම්, අරගෙන වැස්සෙන් බේරෙන්න."

අම්මා මා දිහා හොරැහින් බැලුවේ ජයග්‍රාහී ලීලාවෙන්. 'ඒකනේ මම කීවේ..' ඈ නිහඬව කියමින් සිටියා. 'ඔයා වැරදියි, එයාට ඕන මට කුඩේ දෙන්න'

ඈ ඇගේ පසුම්බියෙන් පවුමේ නෝට්ටුවක් අරගෙන ඔහු වෙත දිගු කළා. ඔහු එය අරගෙන කුඩය ඈ වෙත පෑවා. ඉන්පස්සේ මුදල් නෝට්ටුව සාක්කුවේ ලාගෙන, තොප්පිය ඔසවා, සිරුර නවා ආචාර කර "බොහොම ස්තූතියි මැඩම්, බොහොම ස්තූතියි" කියා යන්නට ගියා.

"කුඩය යටට ඇවිත් නොතෙමී ඉන්න දුව." අම්මා කීවා. "අපි හරි වාසනාවන්තයි. මට මීට කළින් කවදාවත් සේද කුඩයක් තිබිලා නැහැ. ඒවා ගන්න මට සල්ලි තිබුණේ නැහැ."

"අම්මා ඇයි ඒ මනුස්සයාට මුලදී මහා නපුරු විදිහට කතා කළේ?" මම ඇහුවා.

"මට සහතික වෙන්න වුවමනා වෙලා තිබුණා එයා හොරෙක් නෙමෙයි කියලා" ඈ කීවා. "අන්තිමේදී එයා හොඳ මහත්මයෙක් කියලා මට තේරුණා. එයාට උපකාර කරන්න ලැබුණු එක ගැන මට සතුටුයි."

"හරි අම්මා." මම කීවා

"ඇත්තටම හොඳ මහත්මයෙක්. සල්ලිත් ඇති, නැත්නම් සේද කුඩයක් තියෙන්න බැහැනේ. එයාට මොකක් හරි පට්ටමකුත් තිබුණා කියලා දැනගන්න ලැබුණා නම් මම පුදුම වෙන්නේ නැහැ. මට හිතෙනවා එයාට නිකම් සර් හෙන්රි ගොල්ඩ්ස්වර්දි වගේ නමක් ඇති කියලා."

"ඔව් අම්මා."

"ඔයාටත් මේක හොඳ පාඩමක්." ඇය තවදුරටත් කීවා. "කවදාවත් හදිසි වෙන්න එපා. කෙනෙක්ව තේරුම් ගනිද්දී වෙලාව අරගන්න. එතකොට වැරදීම් වෙන්නේ නැහැ."

"අන්න එයා යනවා," මම කීවා. " අර බලන්න"

"කෝ?"

"අර, අර... අන්න එයා පාර පනිනවා. දෙවියනේ! බලන්නකෝ අම්මා එයාගේ හදිසිය"

කුඩා මහලු මිනිසා බොහොම ශූර ව වාහන අතරින් රිංගමින් පාර පනින හැටි අපි බලා සිටියා. පාරේ අනෙත් පැත්තට ගිය පසු ඔහු වමට හැරී වේගයෙන් ගමන් කරන්නට ගත්තා.

"එයාට කීව තරම් මහන්සි පාටක් නැහැ නේද අම්මා?"

අම්මා පිළිතුරු දුන්නේ නැහැ.

"එයා ටැක්සියක් හොයන පාටක් පේන්නත් නැහැ නේද?" මා කීවා. පාරෙන් අනෙත් පස ඇවිදිමින් උන් මිනිසා දෙස අම්මා නිහඬව බලා සිටියා. අපිට ඔහුව පැහැදිලිව පෙනුණා. ඔහු ලොකු කලබලයකින්, මිනිසුන් මඟහරින්නට ඒ අතට මේ අතට පනිමින්, පෙළපාලියක යන සොල්දාදුවෙක් මෙන් දෑත් පද්දමින් පදික වේදිකාව දිගේ ඇවිද ගියා.

"එයා මොකක් හරි කරන්න හදන්නේ" අම්මා කීවේ හැඟීම් විරහිත මුහුණින්.

"මොන වගේ දෙයක් ද?

"මම දන්නේ නැහැ" අම්මා කේන්තියෙන් කීවා. "ඒත් මම ඒක හොයාගන්නවා. එන්නකෝ." ඉන්පස්සේ ඈ මගේ අතින් අල්ලාගෙන පාර පැන්නා. අපි වමට හැරී ඇවිදින්න ගත්තා.

"ඔයාට එයාව පේනවද?" අම්මා ඇහුවා

"ඔව්, අර යන්නේ. අන්න ඊළඟ පාරෙන් දකුණට හැරෙනවා"

අපිත් ඒ පාරෙන් දකුණට හැරුණා. කුඩා මිනිසා ඇවිදිමින් සිටියේ අපට අඩි විස්සක් තරම් ඉදිරියෙන්. ඔහු හාවෙක් තරම් වේගයෙන් එහේ මෙහේ පනිමින් ඇවිද්ද නිසා අපටත් ඉතා වේගයෙන් ඇවිදින්නට සිදුවුණා. ඒ වෙද්දී බොහොම තදින් වහිමින් තිබුණා. තොප්පියෙන් බේරුණු වැසි දිය ඔහුගේ උරහිස් මතට බේරෙනු පෙනුණා. අපි නම් ලස්සන ලොකු සේද කුඩය යටින් නොතෙමී ගමන් කළා.

"මේ මිනිහා කොහේ යනවද මන්දා!" අම්මා කීවා.

" එයා හැරිලා අපිව දැක්කොත් මොකද කරන්නේ?" මම අම්මාගෙන් ඇසුවා.

"එයා අපිව දැක්කත් මට නම් කමක් නැහැ," අම්මා කීවා. "එයා අපිට බොරු කීවා. ඇවිදගන්න බැහැ මහන්සියි කීව මනුස්සයා මේ දුවන වේගයට අපිට පස්සෙන් යන්නත් අමාරුයි! මහා බොරු කාරයෙක්! හොරෙක්!"

"ඒ කියන්නේ එයා පට්ටමක් තියෙන වැදගත් මහත්මයෙක් නෙමෙයිද?" මම ඇහුවා.

"කෑ ගහන්නේ නැතිව යමු ළමයෝ!" ඈ කීවා.

ඊළඟ හන්දියේදී කුඩා මිනිසා නැවතත් දකුණට හැරුණා. ඉන්පස්සේ වමට හැරුණා. ආයෙත් දකුණට හැරුණා.

"මේ තරම් දුර ඇවිත් දැන් නම් මම අතඅරින්නේ නැහැ" අම්මා කීවා.

"අන්න එයා තුරුදහන් වුණා! කොහෙද ගියේ?" මම කෑගැසුවා.

"අර දොරෙන් ඇතුළු වුණා!" අම්මා කීවා. "මම දැක්කා! අර ගේ ඇතුලට ගියා! දෙවියනේ ඒක තැබෑරුමක්!"

ඒක ඇත්තටම තැබෑරුමක්. ඒකෙ ඉදිරිපස ලොකු රතු අකුරින් THE RED LION කියූ පුවරුවක් තිබුණා.

"අම්මා ඒක ඇතුලට යන්නේ නැහැ නේද?"

"නෑ," ඈ කීවා. " අපි එළියේ ඉඳන් බලමු."

ඒ තැබෑරුමේ ඉදිරිපස ලොකු වීදුරු ජනේලයක් තිබුණා. වීදුරුවේ තරමක් හුමාලය බැඳී තිබුණත් ලං වුණු විට ඉන් පැහැදිලිව ඇතලත පෙනුණා. අපි දෙන්නා තැබෑරුමේ ජනේලයට කිට්ටු වී බැලුවා. මම හිටියේ අම්මාගේ අත තදින් අල්ලාගෙන. කුඩයට වැහි බින්දු වැටෙන හඬ සද්දෙට ඇහුණා. 

"අන්න එයා ඉන්නවා," මම කීවා. "අර අතන"

තැබෑරුම ඇතුලත සෙනඟින් සහ සිගරට් දුමින් පිරී තිබුණු අතර කුඩා මහලු මිනිසා ඒ මැද හිටගෙන සිටියා. මේ වෙද්දී තොප්පියත් කබායත් ගලවා තිබුණු ඔහු සෙනඟ අතරින් තෙරපෙමින් ප්‍රධාන කවුන්ටරය වෙතට ළඟාවෙමින් සිටියා. ඊට සමීප වූ විට දෑතම කවුන්ටරය මත තැබූ ඔහු තැබෑරුම්කරු ට යමක් කීවා. ඔහු යමක් ඇනවුම් කරද්දී ඔහුගේ දෙතොල් සෙලවෙන අයුරු මට පෙනුණා. තැබෑරුම්කරු මඳ වේලාවකට පසු ලා දුඹුරු පැහැ පානයක් කටටම පිරවූ වීදුරුවක් රැගෙන ආවා. මහලු මිනිසා පවුමේ නෝට්ටුව කවුන්ටරය උඩින් තැබුවා. 

"ඒ මගේ සල්ලි!" අම්මා කේන්තියෙන් මිමිණුවා. "කොහොමද මේ මිනිහාගේ තරම?" 

"මොනවාද ඒ වීදුරුවේ තියෙන්නේ?" මම ඇහුවා. 

"විස්කි," අම්මා කීවා. "අමුවෙන්ම විස්කි."

තැබෑරුම්කරු ඔහුට ඉතුරු මුදල් දුන්නේ නැහැ. 

"එතැන විස්කි වඩි තුනක් වෙන්න ඕන," අම්මා කීවා. 

"වඩි තුනක් කියන්නේ?" මම ඇසුවා.

"සාමන්‍යය ප්‍රමාණයට වඩා තුන් ගුණයක්." ඈ පිළිතුරු දුන්නා. 

කුඩා මිනිසා වීදුරුව දෙතොලට ලං කරගෙන එහි තිබූ පානය එක හුස්මට බිව්වා. "ඒක සෑහෙන්න වියදම් ගිය බීමක්," මම කීවා. 

"මේක හරි විකාරයක්නේ!" අම්මා කීවා. "හිතන්නකෝ, පවුමක් වියදම් කරලා බීමක් අරගෙන එක හුස්මට බොනවා!"

"එයාට ඒකට පවුමකට වැඩිය වියදම් වුණානේ." මම කීවා. "ඇයි අර පවුම් විස්සේ සේද කුඩය?" 

"ඔව් ඒකත් ඇත්ත," අම්මා කීවා. "පිස්සෙක් වෙන්නැති"

මේ වෙද්දී කුඩා මිනිසා හිස් වීදුරුවත් අතැතිව කවුන්ටරය අසල සිටගෙන සිටියා. ඔහුගේ මුහුණ පුරා සතුටක දිලිසුමක් පැතිරෙමින් තිබුණු අතර ඔහු මඳ සිනාවකින් සිටියා. අන්තිම විස්කි බින්දුවත් රස බලමින් ඔහු තොල්පට ලෙවකෑවා. 

ටික වෙලාවකින් සෙමෙන් එතැනින් ඉවත් වූ ඔහු, සෙනඟ අතරින් තෙරපෙමින් ඔහුගේ කබායත් තොප්පියත් එල්ලා තිබුණු තැනට කිට්ටු වුණා. ඉන්පස්සේ ඔහු තොප්පියත් කබායත් ඇඟ ලා ගත්තා. ඊළඟට බොහොම සැහැල්ලුවෙන් කබා රඳවනයේ එල්ලා තිබුණු තෙත කුඩ වලින් එකක් අතට ගත් ඔහු එතැනින් යන්නට ගියා. 

"දැක්කද ඒ කළ වැඩේ?" අම්මා කෑ ගැසුවා. "දැක්කද ඒකා කළ නොසන්ඩාල වැඩේ?"

"ෂ්...ෂ්!" මම රහසින් කීවා. "ඔන්න ඒ මිනිහා එළියට එනවා!"

අපි ඔහුට අපිව නොපෙනෙන්න කුඩය පහත් කරගෙන ඊට යටින් එබී බැලුවා. එහෙත් ඔහු අපව පසු කරද්දී මොහොතකට වත් අපි දිහා බැලුවේ නැහැ. අලුත් කුඩය ඉහලාගත් ඔහු ආ පැත්තටම වේගයෙන් ඇවිදින්නට වුණා. 

"ඒකයි එහෙනම් ඒකාගේ සෙල්ලම!" අම්මා කීවා. 

"මරු!" මම කීවා "සුපිරි!" 

අපි නැවතත් ඔහුව අපට මුණගැහුණු ප්‍රධාන වීදිය දක්වා ඔහු පසුපසින් ගියා. එහිදී ඔහු කිසිම මහන්සියකින් තොරව ඔහුගේ අලුත් කුඩයත් පවුමේ නෝට්ටුවකට හුවමාරු කරගන්නා හැටි අපි දුර සිට බලා සිටියා. මේවර ඔහුට අසුවුණේ තොප්පියක්වත් කබායක් වත් නොතිබුණු හීන්දෑරි උස මිනිසෙක්. ඒ ගනුදෙනුව හමාර වූ වහාම කුඩා මහලු මිනිසා වීදිය දිගේ ගොස් සෙනඟ අතරේ අතුරුදහන් වුණා. මෙවර ඔහු ගියේ කළින් ගිය පැත්තට විරුද්ධ පැත්තට. 

"පේනවද ඒ මිනිහා කොයිතරම් කපටි ද කියලා!" අම්මා කීවා. "එයා කිසිම වෙලාවක එක තැබෑරුමට දෙසැරයක් යන්නේ නැහැ!"

"එයාට රෑ එළිවෙනකම්ම මේ වැඩේ කරන්න පුළුවන් නේ," මම කීවා.

"ඔව්," අම්මා කීවා. "අනිවාර්යයෙන්ම. වැහි දවස් ලැබෙන්න කියලා එයා පිස්සුවෙන් වගේ දෙවියන්ට යදිනවා ඇති!"


From the Collection of Short Stories ‘Tales of the Unexpected’ by Roald Dahl (1973)

Copyright free picture from Needpix




October 28, 2020

Some days...


 "Missing someone is like hearing a name sung quietly from somewhere behind you. 

Even after you know no one is there, you keep looking back"

-from the poem “Slow Dance” by Tim Seibles



මීමැසි පෙට්ටිය

 Translation of the poem 'The Bee Box' by Lowell Parker


දිනමිණ, වසත් සුළඟ 28.10. 2020
විදෙස් කවිය
15 පිටුව
https://epaper.dinamina.lk/Home/FullPage


 


October 21, 2020

මේ නදිය

Translation of a poem by Lucille Clifton

'Poem in Praise of Menstruation'

දිනමිණ, වසත් සුළඟ 21.10. 2020
විදෙස් කවිය
13 පිටුව




October 15, 2020

පොරොන්දුව

Translation of the poem 'The Promise'- Jane Hirshfield

දිනමිණ, වසත් සුළඟ 14.10. 2020
විදෙස් කවිය
https://epaper.dinamina.lk/Home/ArticleView
23 පිටුව

 


 


October 07, 2020

සුද්දී

මුලින්ම කියන්න ඕන සුද්දීට මගේ කිසිම අයිතිවාසිකමක් නැති බව. 

වෙන රටක ඉන්න මගේ යාලුවෙක් එක්ක කෙරෙන මෙසෙන්ජර් කෝල් වලට නිතරම ඒ පැත්තේ ඉඳන් එබිකම් කරන, ඒ කෝල් එන වෙලාවටම 'මට එළියට යන්න ඕන, දොර අරින්නකෝ... මට ඇතුළට එන්න ඕන... ආයිත් දොර අරින්නකෝ, ඔය කතා කළා ඇති, මාව අතගාන්නකෝ... ඔය කෑම කනවද? මට ටිකක් දෙන්නකෝ' වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන මේ ලලනාව මට අඳුනාගන්න වුණේ බලෙන්ම කීවොත් තමයි හරියටම හරි. ඒත් ඉතින් අර තරම් දුරක ඉඳන් බිම ඇතිල්ලිලා කාරිය ආදරේ පෙන්නද්දී සුද්දී ගැන කේන්ති අරගන්නේ කොහොමද? 

මේ චිත්‍රෙ අඳින්න ගත්තේ සුද්දී ව අඳින අදහසකින් නෙමෙයි. ඒත් සුද්දී එයාගේ සුපුරුදු බලහත්කාරකමෙන් ඇවිල්ලා චිත්‍රය මැද්දේ මටත් පිටිපස්ස හරවලා වාඩිවුණා. හැබැයි එයා මම මේ කියන හැම දෙයක්ම අහගෙන ඉන්නේ.. පේන්නේ නැද්ද එක කනක් මේ පැත්තේ! 

සුදු පාටට හුරු සුද්දී ව මම මේ චිත්‍රයට ටිකක් වැඩිපුර පාට කළේ "Colour her in Amma... give her a texture Amma!" කියමින් මාව උනන්දු කළ මගේ පොඩි චිත්‍ර විචාරකගේ බල කිරීමට. stylus එකකින් චිත්‍ර අඳින්න මට පුරුදු කළේ එයා නිසා ඒ ඉල්ලීම් අහක දාන්නත් බැහැනේ. 

ඉතින් සුද්දී, මේක ඔයාට... මාව මතක් වෙන්න!  


digital painting with stylus





October 01, 2020

ඉතින් නැගිටින්නකෝ!

 


ඔන්න දවල් වෙනකම් නිදාගන්න හිතාගෙන ඉන්න දවසක උදේම එක පාරට කණ ළඟින්ම බුරන සද්දයක් නිසා ඇහැරෙනවා. ඇඳේ අනෙත් පැත්තට හැරිලා බලද්දී මෙන්න එතැනම ඇස් දෙකක්! එකසිය ගාණට වැනෙන වලිගයක්! 

"ඉතින් නැගිටින්නකෝ!"

මේ චිත්‍රය ඇන්දේ ජීවිත කාලයක් තිස්සෙම වලිග වනමින් පස්සෙන් ආව, එක එක කාලවල අපි එක්ක හිටිය බලු සුරතලුන් ගැන සොඳුරු මතක අතරේ ගැවසෙමින්.

~ අපේ ගෙදර කෙල්ලෝ තුන්දෙනා පරෙස්සම් කරන එක තමන්ගේ ප්‍රධාන රාජකාරිය කරගත්ත, ඒ කාලේ අපිව බස් වලට ඇරලවන්න ගිහින් වැඩි හොඳට ඒ බස් වලටත් නැග්ග බල්ලෙක්.. 

~'නාවන්න ඕන', 'බාල්දිය', 'දම්වැල ගේන්න' වගේ වචන කටින් පිටවෙන්නත් කළින් අඩි පහක් හයක් උස තාප්පයෙන් පැනලා එක මොහොතින් අතුරුදහන් වුණ, ආයෙත් රෑ වෙනකම් missing වුණ බල්ලෙක්... 

~ vet දොස්තර මහත්තයා බෙහෙත් විදින්න කිට්ටු වෙද්දී දොස්තර මහත්තයාව මතක් වෙන්න තියාගන්න කියලා කමිසේ සාක්කුව ඉරාගත්ත බල්ලෙක්... 

~ තමන් ඇර වෙන කිසිම සතෙක් වත්තේ මායිමට එන්න තහනම් බව තදින් විශ්වාස කළ- පූසෝ, තලගොයි, ඌරු මීයෝ, ලේන්නු එක මොහොතින්, එක හිතින් දඩයම් කළ බල්ලෙක්...

~ එකම පවුලේ උනත් පාටිනුත් ගතිගුණ වලිනුත් අහසට පොළොව වගේ වුණු එකිනෙකා ඇතුවත් බැරි නැතුවත් බැරි වුණු බලු අක්කා- නඟාලා දෙන්නෙක්...

~ ගෙදර කාමර ඇතුලට බල්ලන්ට එන්න තහනම් කියලා දාලා තිබුණු නීතිය, තමන් බඩගාගෙන ආවොත් අහෝසි බව හිතාගෙන හිටිය බල්ලෙක්...

~ බයිසිකල් වල යන කොල්ලෝ සහ රෝද හතරට වැඩි වාහන ගේ ඉස්සරහින් යෑම පේන්න බැරි බල්ලෙක්..

~ වතුර/ලයිට් මීටර් කියවන අයට, ලියුම් කාරයන්ට දාපු පාට් නිසා ඒ අය විසින් අපේ ගෙදර blacklist කරලා අන්තිමේදී Inquiry පවා තියන්න හේතු වුණු බල්ලෙක්.

~ ගෙදර කෙනෙක් ගමනක් යද්දී තමන්ට නොකියා ගියොත් ගෙදර ඇඳ, පුටු, මේස යට පවා ඒ නැති කෙනාව හෙව්ව බල්ලෙක්...

තව මතක සටහන් නම් අනන්තයි... මේ බලු සුරතල්ලු ඔක්කොම යන්නම යන්න ගිහින් දැන් හුඟ කල්. ඒත් මේ මොහොතේත් හිත ඇතුලේ මේ වගේ හිනා වෙමින් වල්ග වනමින් ඉන්නවා!

-digital painting with oil brush