Translation of ‘The Umbrella Man’ by Roald Dahl
මගේ වයස දොළහයි, අම්මාට තිස් හතරයි- ඒත් මම අම්මා තරමටම උසයි! ඊයේ හවස අම්මාටත් මටත් අපූරු වැඩක් වුණා. අපි දෙන්නා ඊයේ ලන්ඩන් ගියේ දත් දොස්තර මුණගැහෙන්නයි. ඒ රාජකාරිය ඉවරවෙලා අපි දෙන්නා අවන්හලකට ගියා. එතැනදී මම අයිස් ක්‍රීම් එකක් කද්දී අම්මා කෝපි කෝප්පයක් බිව්වා. අපි එතැනින් පිටවෙද්දී හැන්දෑවේ හයට විතර ඇති.
අපි අවන්හලෙන් එළියට එද්දීම වැස්සක් වැටෙන්න වුණා. අපි ඇඳගෙන හිටියේ සාමාන්‍ය කබා සහ තොප්පි නිසාත්, වැස්ස තදින්ම වැටුණු නිසාත් 'අපිට ටැක්සියක් ගන්න වේවි" කියලා අම්මා කීවා.
“අපි ඇතුලට ගිහින් තව ටික වෙලාවක් ඉමු" මම එහෙම යෝජනා කළේ මට තව අයිස්ක්‍රීම් එකක් කන්න ආසාවක් තිබුණු නිසායි.
"මේ වැස්ස නවතින්නේ නැහැ," අම්මා කීවා. "අපි ගෙදර යන්න ඕන"
ඉතින් අපි දෙන්නා පදික වේදිකාවේ හිටගෙන ටැක්සියක් නවත්තාගන්න බලමින් හිටියා. ටැක්සි කීපයක්ම අපිව පහුකරගෙන ගියත් ඒ හැම එකකම මගීන් උන්නු බව පෙනුණා.
"අපිට රියදුරෙක් එක්ක කාර් එකක් තිබුණා නම්!" අම්මා කීවා.
ඒ වෙලාවේම අපි ළඟට මිටි වයසක මනුස්සයෙක් ආවා. ඔහුට වයස අවරුදු හැත්තෑවක් විතර පෙනුණා.
"මට සමාවෙන්න… කරුණාකරලා මට සමාවෙන්න…" ඔහු තොප්පිය ඔසවමින් ආචාරශීලීව අම්මාට කීවා. ඔහුට සුදු උඩ රැවුලකුත්, බූසි දෙබැමකුත් රැළි වැටුණු රෝස පැහැති මුහුණකුත් තිබුණා. ඔහු හිසට බොහොම ඉහළින් කුඩයක් අල්ලාගෙන හිටියා.
"ඇයි?" අම්මා ඔහුව ගණන් නොගෙනම ඇහුවා.
"මට ඔබගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න පුළුවන් ද කියලා මම මේ කල්පනා කළේ." ඔහු කීවා. "බොහොම පුංචි උදව්වක්."
අම්මා ඔහු දිහා සැකයෙන් බලනවා මට පෙනුණා. මගේ අම්මා නිතරම සැකයෙන් පිරුණු කාන්තාවක්. ඈට වැඩියෙන්ම සැකයක් දැනුණේ අවස්ථා දෙකකදී- නාඳුනන මිනිස්සු ළඟදී සහ තම්බපු බිත්තර ලඟදි. තම්බපු බිත්තර කටු අරිද්දී ඈ ඒවායේ මුදුන ඉවත් කර හැන්දක් දමා පරීක්ෂා කරන්නේ ඇතුලේ මීයෙක් ඇතිදැයි වගේ සැකයෙන්. "පිරිමියෙක් ප්‍රිය මනාප වැඩි වන තරමට ඔහු ගැන වැඩි වැඩියෙන් සැක කළ යුතුයි." ඒ නාඳුනන පිරිමි ගැන ඈට තිබුණු නොවෙනස් රීතිය. මේ වයසක මනුස්සයාත් බොහොම ප්‍රියමනාප බවක් පෙනුණා. ඔහු බොහොම ආචාරශීලීව කතාකළා. ඔහු හොඳ මහත්මයෙක් විදිහට මැනවින් හැඳ පැළඳගෙන හිටියා. ඔහු මහත්මයෙක් බව මම දැනගත්තේ ඔහුගේ සපත්තු ජෝඩුවෙන්. "හොඳ මහත්මයෙක් මනින්න පුළුවන් එයා දාන සපත්තු දෙකෙන්." ඒ තවත් අම්මාගේ ප්‍රියතම කියමනක්. මේ මනුස්සයා ලස්සන දුඹුරු සපත්තු ජෝඩුවක් දාගෙන හිටියා
"ඇත්තම කියනවා නම්.." කුඩා මහලු මිනිසා කීවා. "මම පොඩි කරදරයකට වැටිලා. මට උදව්වක් ඕන වෙලා ඉන්නේ. වැඩිය නෙමෙයි, බොහොම ටිකයි. මැඩම් දන්නවනේ මං වගේ වයසක උදවියගේ සිහි කල්පනාව දුර්වලයි කියලා…."
අම්මා නිකට ඔසවා ඔහු දිහා රවා බැලුවා. අම්මාගේ මේ රවා බැලීම බොහොම භයංකරයි. හුඟ දෙනෙක් ඒ බැල්ම ළඟ අසරණ වෙනවා. අම්මාගේ රවා බැලිල්ලක් ලැබී මගේ විදුහල්පතිනිය පවා මෝඩ විදිහට ගොත ගහමින් කතා කළ හැටි මා දැක තිබෙනවා. ඒත් කුඩයක් අතැතිව පදික වේදිකාවේ උන් කුඩා මහලු මිනිසා නම් ඉන් බිඳක්වත් සැලුණේ නැහැ.
"මාව විශ්වාස කරන්න මැඩම්, පාරේ යන කාන්තාවන් නවත්තලා මගේ කරදර කියන එක මගේ පුරුද්දක් නෙමෙයි" ඔහු මඳ සිනාවකින් ඈට කීවා.
"එහෙම නොවෙනවා නම් හොඳයි." අම්මා කීවා.
මේ වෙද්දී අම්මාගේ දරදඬු හැසිරීම ගැන මම ලැජ්ජාවට පත්වෙමින් සිටියා.
අම්මාට 'අනේ අම්මේ, මේ හොඳටම වයසක මනුස්සයෙක්! බොහොම ප්‍රිය මනාප ආචාරශීලී කෙනෙක්! එයා මොනවා හරි කරදරයක වැටිලා, ඒ නිසා එයාට බනින්න එපා' කියන්න වුවමනාව තිබුනත් මම නිහඬව හිටියා.
කුඩා මහලු මිනිසා තමන්ගේ කුඩය එක අතකින් අනෙත් අතට මාරු කළා. "මට මීට කළින් කවදාවත් ඒක අමතක වෙලා නැහැ." ඔහු කීවා.
"මොකක්ද කලින් අමතක වෙලා නැත්තේ?" අම්මා ඔහුගෙන් සැරෙන් ඇහුවා.
"මගේ පසුම්බිය." ඔහු කීවා. "මගේ අනෙත් කබායේ ඒක අමතක වෙන්න ඇති. ඒක මහා මෝඩ වැඩක් නේද?"
"ඔහේ ඔය මගෙන් ඉල්ලන්නේ සල්ලි ද?" අම්මා ඇහුවා.
"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ.. නැහැ නැහැ!" ඔහු කෑ ගැසුවා. "එහෙම දෙයක් මම හීනෙන්වත් හිතුවේ නැහැ!"
"එහෙනම් මොනවාද ඉල්ලන්නේ?" අම්මා ඇහුවා. "ඉක්මණින් කියන්න. අපිව මෙතැන හොඳටම තෙමෙනවා."
"ඔව් මම දන්නවා." ඔහු කීවා. "ඒකයි මම මේ කුඩය ඔබට තියාගන්නම දෙන්න හදන්නේ. ඒත්.. ඒත්.."
"ඒත් කිව්වේ?" අම්මා ඇහුවා.
"මට මේ වෙනුවෙන් එක පවුමක් දෙනවා නම් මට ඒ මුදල ගෙදර යන්න ටැක්සියට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්."
අම්මා ඒ වෙද්දීත් පසුවුණේ සැකයෙන් . "සල්ලි නොතිබුණා නම් කොහොමද මෙහේට ආවේ?" ඈ ඇහුවා.
"මම ආවේ පයින්," ඔහු කීවා. "හැමදාම මම සෑහෙන්න දුරක් ඇවිදින්න ගිහින් ආයෙත් ගෙදර යන්න ටැක්සියක් ගන්නවා. මම දවස ගානේ කරන වැඩක් මේ"
"ඉතින් අද ඇයි පයින් ආපිට නොයන්නේ?" අම්මා ඇහුවා.
"අනේ එහෙම යන්න තිබුණා නම් කොයිතරම් දෙයක්ද?" ඔහු කීවා. "මමත් කැමතියි එහෙම යන්න තිබුණා නම්. ඒත් මගේ මේ වයසක කකුල් දෙකෙන් අද නම් ඒ වැඩේ කරන්න බැහැ. දැනටමත් මම ඇවිදලා තියෙන දුර හොඳටම වැඩියි."
අම්මා ඇගේ යටිතොල හපමින් කල්පනා කළා. ඇගේ දරදඬු බව මඳක් ගිලිහෙමින් තිබුණා. මේ වැස්සෙන් මුවා වෙන්නට කුඩයක් ලැබීමේ අදහස ඇයගේ සිත වෙනස් වෙන්න බලපෑ බවක් පෙනුණා.
"මේක බොහොම ලස්සන කුඩයක්" කුඩා මහලු මිනිසා කීවා.
"ඔව් මම දැක්කා." අම්මා කීවා.
"ඒක සේද කුඩයක්" ඔහු කීවා.
"ඔව් මට පේනවා."
"ඉතින් මේක ගන්නකො මැඩම්," ඔහු කීවා. "මම මේකට පවුම් විස්සකට වඩා වියදම් කළා, සත්තයි. ඒත් මට ගෙදර ගිහින් විවේකයක් ගන්න ක්‍රමයක් නැත්නම් ඒ වියදම් වලින් වැඩක් නැහැනේ."
අම්මාගේ අත ඇගේ පසුම්බිය වෙත යනවා මට පෙනුණා. මා ඈ දෙස බලා උන් බව ඈ දුටුවා. මේ වෙද්දී මා ඈ වෙත රවමින් උන් අතර මගේ බැල්මෙන් කියවුණු දේ ඈ හොඳාකාරවම දැනගෙන සිටියා. 'මේ අහන්න අම්මා,' මා ඈට නිහඬවම කියමින් සිටියා. 'මේ හෙම්බත්වුණු වයසක මනුස්සයාව මේ විදිහට රවට්ටන්න එපා. ඒක මහා කැත වැඩක්.' අම්මා මඳක් නිසොල්මන්ව මා දිහා බලලා කුඩා මහලු මිනිසාට මෙසේ කීවා.
"මම හිතන්නේ නැහැ මම පවුම් විස්සක් වටිනා කුඩයක් ඔබගෙන් අරගන්න එක වටිනා වැඩක් කියලා. මම ඔබට නිකම් ටැක්සි කුලිය විතරක් දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා."
"නැහැ, නැහැ නැහැ!" ඔහු කෑ ගැසුවා. "මම හීනෙකින්වත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ! ඒ ගැන හිතන්නවත් එපා! එහෙම කොහොමද නිකම් සල්ලි ගන්නේ? කරුණාකරලා මේ කුඩය ගන්න මැඩම්, අරගෙන වැස්සෙන් බේරෙන්න."
අම්මා මා දිහා හොරැහින් බැලුවේ ජයග්‍රාහී ලීලාවෙන්. 'ඒකනේ මම කීවේ..' ඈ නිහඬව කියමින් සිටියා. 'ඔයා වැරදියි, එයාට ඕන මට කුඩේ දෙන්න'
ඈ ඇගේ පසුම්බියෙන් පවුමේ නෝට්ටුවක් අරගෙන ඔහු වෙත දිගු කළා. ඔහු එය අරගෙන කුඩය ඈ වෙත පෑවා. ඉන්පස්සේ මුදල් නෝට්ටුව සාක්කුවේ ලාගෙන, තොප්පිය ඔසවා, සිරුර නවා ආචාර කර "බොහොම ස්තූතියි මැඩම්, බොහොම ස්තූතියි" කියා යන්නට ගියා.
"කුඩය යටට ඇවිත් නොතෙමී ඉන්න දුව." අම්මා කීවා. "අපි හරි වාසනාවන්තයි. මට මීට කළින් කවදාවත් සේද කුඩයක් තිබිලා නැහැ. ඒවා ගන්න මට සල්ලි තිබුණේ නැහැ."
"අම්මා ඇයි ඒ මනුස්සයාට මුලදී මහා නපුරු විදිහට කතා කළේ?" මම ඇහුවා.
"මට සහතික වෙන්න වුවමනා වෙලා තිබුණා එයා හොරෙක් නෙමෙයි කියලා" ඈ කීවා. "අන්තිමේදී එයා හොඳ මහත්මයෙක් කියලා මට තේරුණා. එයාට උපකාර කරන්න ලැබුණු එක ගැන මට සතුටුයි."
"හරි අම්මා." මම කීවා
"ඇත්තටම හොඳ මහත්මයෙක්. සල්ලිත් ඇති, නැත්නම් සේද කුඩයක් තියෙන්න බැහැනේ. එයාට මොකක් හරි පට්ටමකුත් තිබුණා කියලා දැනගන්න ලැබුණා නම් මම පුදුම වෙන්නේ නැහැ. මට හිතෙනවා එයාට නිකම් සර් හෙන්රි ගොල්ඩ්ස්වර්දි වගේ නමක් ඇති කියලා."
"ඔව් අම්මා."
"ඔයාටත් මේක හොඳ පාඩමක්." ඇය තවදුරටත් කීවා. "කවදාවත් හදිසි වෙන්න එපා. කෙනෙක්ව තේරුම් ගනිද්දී වෙලාව අරගන්න. එතකොට වැරදීම් වෙන්නේ නැහැ."
"අන්න එයා යනවා," මම කීවා. " අර බලන්න"
"කෝ?"
"අර, අර... අන්න එයා පාර පනිනවා. දෙවියනේ! බලන්නකෝ අම්මා එයාගේ හදිසිය"
කුඩා මහලු මිනිසා බොහොම ශූර ව වාහන අතරින් රිංගමින් පාර පනින හැටි අපි බලා සිටියා. පාරේ අනෙත් පැත්තට ගිය පසු ඔහු වමට හැරී වේගයෙන් ගමන් කරන්නට ගත්තා.
"එයාට කීව තරම් මහන්සි පාටක් නැහැ නේද අම්මා?"
අම්මා පිළිතුරු දුන්නේ නැහැ.
"එයා ටැක්සියක් හොයන පාටක් පේන්නත් නැහැ නේද?" මා කීවා. පාරෙන් අනෙත් පස ඇවිදිමින් උන් මිනිසා දෙස අම්මා නිහඬව බලා සිටියා. අපිට ඔහුව පැහැදිලිව පෙනුණා. ඔහු ලොකු කලබලයකින්, මිනිසුන් මඟහරින්නට ඒ අතට මේ අතට පනිමින්, පෙළපාලියක යන සොල්දාදුවෙක් මෙන් දෑත් පද්දමින් පදික වේදිකාව දිගේ ඇවිද ගියා.
"එයා මොකක් හරි කරන්න හදන්නේ" අම්මා කීවේ හැඟීම් විරහිත මුහුණින්.
"මොන වගේ දෙයක් ද?
"මම දන්නේ නැහැ" අම්මා කේන්තියෙන් කීවා. "ඒත් මම ඒක හොයාගන්නවා. එන්නකෝ." ඉන්පස්සේ ඈ මගේ අතින් අල්ලාගෙන පාර පැන්නා. අපි වමට හැරී ඇවිදින්න ගත්තා.
"ඔයාට එයාව පේනවද?" අම්මා ඇහුවා
"ඔව්, අර යන්නේ. අන්න ඊළඟ පාරෙන් දකුණට හැරෙනවා"
අපිත් ඒ පාරෙන් දකුණට හැරුණා. කුඩා මිනිසා ඇවිදිමින් සිටියේ අපට අඩි විස්සක් තරම් ඉදිරියෙන්. ඔහු හාවෙක් තරම් වේගයෙන් එහේ මෙහේ පනිමින් ඇවිද්ද නිසා අපටත් ඉතා වේගයෙන් ඇවිදින්නට සිදුවුණා. ඒ වෙද්දී බොහොම තදින් වහිමින් තිබුණා. තොප්පියෙන් බේරුණු වැසි දිය ඔහුගේ උරහිස් මතට බේරෙනු පෙනුණා. අපි නම් ලස්සන ලොකු සේද කුඩය යටින් නොතෙමී ගමන් කළා.
"මේ මිනිහා කොහේ යනවද මන්දා!" අම්මා කීවා.
" එයා හැරිලා අපිව දැක්කොත් මොකද කරන්නේ?" මම අම්මාගෙන් ඇසුවා.
"එයා අපිව දැක්කත් මට නම් කමක් නැහැ," අම්මා කීවා. "එයා අපිට බොරු කීවා. ඇවිදගන්න බැහැ මහන්සියි කීව මනුස්සයා මේ දුවන වේගයට අපිට පස්සෙන් යන්නත් අමාරුයි! මහා බොරු කාරයෙක්! හොරෙක්!"
"ඒ කියන්නේ එයා පට්ටමක් තියෙන වැදගත් මහත්මයෙක් නෙමෙයිද?" මම ඇහුවා.
"කෑ ගහන්නේ නැතිව යමු ළමයෝ!" ඈ කීවා.
ඊළඟ හන්දියේදී කුඩා මිනිසා නැවතත් දකුණට හැරුණා. ඉන්පස්සේ වමට හැරුණා. ආයෙත් දකුණට හැරුණා.
"මේ තරම් දුර ඇවිත් දැන් නම් මම අතඅරින්නේ නැහැ" අම්මා කීවා.
"අන්න එයා තුරුදහන් වුණා! කොහෙද ගියේ?" මම කෑගැසුවා.
"අර දොරෙන් ඇතුළු වුණා!" අම්මා කීවා. "මම දැක්කා! අර ගේ ඇතුලට ගියා! දෙවියනේ ඒක තැබෑරුමක්!"
ඒක ඇත්තටම තැබෑරුමක්. ඒකෙ ඉදිරිපස ලොකු රතු අකුරින් THE RED LION කියූ පුවරුවක් තිබුණා.
"අම්මා ඒක ඇතුලට යන්නේ නැහැ නේද?"
"නෑ," ඈ කීවා. " අපි එළියේ ඉඳන් බලමු."
ඒ තැබෑරුමේ ඉදිරිපස ලොකු වීදුරු ජනේලයක් තිබුණා. වීදුරුවේ තරමක් හුමාලය බැඳී තිබුණත් ලං වුණු විට ඉන් පැහැදිලිව ඇතලත පෙනුණා. අපි දෙන්නා තැබෑරුමේ ජනේලයට කිට්ටු වී බැලුවා. මම හිටියේ අම්මාගේ අත තදින් අල්ලාගෙන. කුඩයට වැහි බින්දු වැටෙන හඬ සද්දෙට ඇහුණා.
"අන්න එයා ඉන්නවා," මම කීවා. "අර අතන"
තැබෑරුම ඇතුලත සෙනඟින් සහ සිගරට් දුමින් පිරී තිබුණු අතර කුඩා මහලු මිනිසා ඒ මැද හිටගෙන සිටියා. මේ වෙද්දී තොප්පියත් කබායත් ගලවා තිබුණු ඔහු සෙනඟ අතරින් තෙරපෙමින් ප්‍රධාන කවුන්ටරය වෙතට ළඟාවෙමින් සිටියා. ඊට සමීප වූ විට දෑතම කවුන්ටරය මත තැබූ ඔහු තැබෑරුම්කරු ට යමක් කීවා. ඔහු යමක් ඇනවුම් කරද්දී ඔහුගේ දෙතොල් සෙලවෙන අයුරු මට පෙනුණා. තැබෑරුම්කරු මඳ වේලාවකට පසු ලා දුඹුරු පැහැ පානයක් කටටම පිරවූ වීදුරුවක් රැගෙන ආවා. මහලු මිනිසා පවුමේ නෝට්ටුව කවුන්ටරය උඩින් තැබුවා.
"ඒ මගේ සල්ලි!" අම්මා කේන්තියෙන් මිමිණුවා. "කොහොමද මේ මිනිහාගේ තරම?"
"මොනවාද ඒ වීදුරුවේ තියෙන්නේ?" මම ඇහුවා.
"විස්කි," අම්මා කීවා. "අමුවෙන්ම විස්කි."
තැබෑරුම්කරු ඔහුට ඉතුරු මුදල් දුන්නේ නැහැ.
"එතැන විස්කි වඩි තුනක් වෙන්න ඕන," අම්මා කීවා.
"වඩි තුනක් කියන්නේ?" මම ඇසුවා.
"සාමන්‍යය ප්‍රමාණයට වඩා තුන් ගුණයක්." ඈ පිළිතුරු දුන්නා.
කුඩා මිනිසා වීදුරුව දෙතොලට ලං කරගෙන එහි තිබූ පානය එක හුස්මට බිව්වා. "ඒක සෑහෙන්න වියදම් ගිය බීමක්," මම කීවා.
"මේක හරි විකාරයක්නේ!" අම්මා කීවා. "හිතන්නකෝ, පවුමක් වියදම් කරලා බීමක් අරගෙන එක හුස්මට බොනවා!"
"එයාට ඒකට පවුමකට වැඩිය වියදම් වුණානේ." මම කීවා. "ඇයි අර පවුම් විස්සේ සේද කුඩය?"
"ඔව් ඒකත් ඇත්ත," අම්මා කීවා. "පිස්සෙක් වෙන්නැති"
මේ වෙද්දී කුඩා මිනිසා හිස් වීදුරුවත් අතැතිව කවුන්ටරය අසල සිටගෙන සිටියා. ඔහුගේ මුහුණ පුරා සතුටක දිලිසුමක් පැතිරෙමින් තිබුණු අතර ඔහු මඳ සිනාවකින් සිටියා. අන්තිම විස්කි බින්දුවත් රස බලමින් ඔහු තොල්පට ලෙවකෑවා.
ටික වෙලාවකින් සෙමෙන් එතැනින් ඉවත් වූ ඔහු, සෙනඟ අතරින් තෙරපෙමින් ඔහුගේ කබායත් තොප්පියත් එල්ලා තිබුණු තැනට කිට්ටු වුණා. ඉන්පස්සේ ඔහු තොප්පියත් කබායත් ඇඟ ලා ගත්තා. ඊළඟට බොහොම සැහැල්ලුවෙන් කබා රඳවනයේ එල්ලා තිබුණු තෙත කුඩ වලින් එකක් අතට ගත් ඔහු එතැනින් යන්නට ගියා.
"දැක්කද ඒ කළ වැඩේ?" අම්මා කෑ ගැසුවා. "දැක්කද ඒකා කළ නොසන්ඩාල වැඩේ?"
"ෂ්...ෂ්!" මම රහසින් කීවා. "ඔන්න ඒ මිනිහා එළියට එනවා!"
අපි ඔහුට අපිව නොපෙනෙන්න කුඩය පහත් කරගෙන ඊට යටින් එබී බැලුවා. එහෙත් ඔහු අපව පසු කරද්දී මොහොතකට වත් අපි දිහා බැලුවේ නැහැ. අලුත් කුඩය ඉහලාගත් ඔහු ආ පැත්තටම වේගයෙන් ඇවිදින්නට වුණා.
"ඒකයි එහෙනම් ඒකාගේ සෙල්ලම!" අම්මා කීවා.
"මරු!" මම කීවා "සුපිරි!"
අපි නැවතත් ඔහුව අපට මුණගැහුණු ප්‍රධාන වීදිය දක්වා ඔහු පසුපසින් ගියා. එහිදී ඔහු කිසිම මහන්සියකින් තොරව ඔහුගේ අලුත් කුඩයත් පවුමේ නෝට්ටුවකට හුවමාරු කරගන්නා හැටි අපි දුර සිට බලා සිටියා. මේවර ඔහුට අසුවුණේ තොප්පියක්වත් කබායක් වත් නොතිබුණු හීන්දෑරි උස මිනිසෙක්. ඒ ගනුදෙනුව හමාර වූ වහාම කුඩා මහලු මිනිසා වීදිය දිගේ ගොස් සෙනඟ අතරේ අතුරුදහන් වුණා. මෙවර ඔහු ගියේ කළින් ගිය පැත්තට විරුද්ධ පැත්තට.
"පේනවද ඒ මිනිහා කොයිතරම් කපටි ද කියලා!" අම්මා කීවා. "එයා කිසිම වෙලාවක එක තැබෑරුමට දෙසැරයක් යන්නේ නැහැ!"
"එයාට රෑ එළිවෙනකම්ම මේ වැඩේ කරන්න පුළුවන් නේ," මම කීවා.
"ඔව්," අම්මා කීවා. "අනිවාර්යයෙන්ම. වැහි දවස් ලැබෙන්න කියලා එයා පිස්සුවෙන් වගේ දෙවියන්ට යදිනවා ඇති!"
From the Collection of Short Stories ‘Tales of the Unexpected’ by Roald Dahl (1973)
Copyright free picture from Needpix
අමුතුම ආකාරයක කතාවක්! සොරකමද? බීමට ඇබ්බැහි වීමද? එසේත් නැතිනම් අවශ්‍යතා ඉටුකරගැනීමේ පහසු ක්‍රමයක් අත්හදා බැලීමද?
ReplyDeleteSaki ගේ 'Dusk' කෙටිකතාවත් මීට සමානයි නමුත් මීට වඩා සංකීර්ණයි. 'සබන් කෑල්ල' නමින් කලකට පෙර නවයුගයේ කියෙව්වා මතකයි.
ReplyDeleteහෑ...!
ReplyDelete