November 29, 2020

කුරුළු ගීතය


Translation of the short story Birdsong by Jahnavi Barua
"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිනිවිත්තෙක්* ඇගේ හිසට හරියටම ඉහළින්, බොහොම ඉවසීමෙන් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට වගේ. ඇය ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වුනා. සීත සෘතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා පෙනුණේ දීප්තිමත්ව.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණා. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියා.

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණයි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියා. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමින්. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියට රාමුවට හසු කරගන්නට තැත් කළා.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනුණා.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවා. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත්තා. කුරුල්ලා ශබ්දයක් නොනඟා ම ඉගිල ගියා.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" ඔහුගේ කටහඬ කේන්තියෙන් රළු වී ගොසින්.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී ගිහින්. නිවාඩුවක් ලැබී තිබුණත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීම. ඒත් එලෙසින්ම ඔහු නිසා ඇයට කුරුල්ලන් නරඹන්නට අවස්ථාවත් අහිමිව ගොස් තිබුණා. මේ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවුණා. මීට පෙරත් විවිධ අවස්ථාවල-ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් සහ කණස්සල්ලෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි වුණා.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් පඩිපෙළ තරණය කළා. ඔහු අවලාද කියමින්, හති අරිමින් ඇය පසුපසින් සෙමෙන් ආවා.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදක්. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබුණා. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ පුංචි බෝලයක් වැනි මහත පෙනුම දැක ඇයට සිනා නැඟුනා. මේ ගමන ආ එක ගැන ඇයට හදිසියේම සතුටක් දැනුණා. මේ සති අන්තයේ ඇවිත් යන්න යෝජනාව ඇගේ අම්මාගෙන්.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයක්. මුලදී ඇයටත් ඒ බය දැනුණා. තාත්තෙක් නැතිව දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමින්.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැහැ. ඒත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බය අඩුයි. කාලයක් තිස්සේ යන යන තැන ඈ හා ආව නිසා දැන් එය ඈ ට පුරුදුයි, ඉන් තර්ජනයක් දැනුණේ නැහැ.

ඇය තව තවත් කැලය තුළට ගමන් කළා. දිවා කාලයේ පවා මෙහි ඇත්තේ අඳුරක්. අඩිපාර පටුයි, ගල් බොරළු සහිතයි, ඒ නිසා ඈ ප්‍රවේසම් විය යුතුයි. මෙහි ඇත්තේ රැවටිලිකාර නිහඬබවක්. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැහැ.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින්. ඇයට හදිසියේ කෝපයක් දැනුණා.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවා. නරක නැහැ, නමුත් ඒ කියන්නේ හොඳ බව නෙමෙයි.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවා. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බව. ඒත් කුරිරු බවට විවිධ හැඩතල තිබුණු බව ඇය දැනගෙන සිටියා. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන හැටි ඇය සිහි කළා.

පුතාට තාත්තා කෙනෙක් වුවමනා බව ඇය දැන සිටියා. දික්කසාදය ඇත්තටම විසඳුමක් නෙමෙයි. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණයි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දුන්නා. ඈ එදෙස බැලුවේ සතුටින්. ඌ ගසක අතු අතර අඩක් මුවා වී සිටියා. ඒ එක්කම ඈ රත් පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවා. මිනිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම ඇවිදින්. මේ වතාවේ ඔහු ඇහුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළා.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවා. රත් මිනිවිත්තා ඉවසිල්ලේ බලා සිටියේ ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින්. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් දුටුවා. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවුණා. ඒ මිනිවිත් කිරිල්ලියක්! කුරුල්ලා කිරිල්ලය වෙත නැඹුරු වෙද්දී ඈ තවත් තුරුළු වනු පෙනුණා.

නොසිතු විදිහට ඇයට මහා අසරණ බවක් දැනුණා. ඇගේ පපුව හිරවුණා. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණා. මේ තමන්ගේ සැමියා, දරුවාගේ පියා.

"හරි එහෙනම්" ඈ කීවා. "දික්කසාද වෙමු."


Out of Print Magazine, Issue 3 March 2011

Illustration by Shirin Watwani

5 comments:

  1. කවුරුත් කමෙන්ට්ස් දාල නැත්තෙ මොකෝ මෙච්චර හොඳ පරිවර්තනයකට.

    කුරුල්ලයි කිරිල්ලි දැක්කට පස්සෙ 'දික්කසාද වෙමු' කියලා කිව්ව එක එකපාර්‍රටම හිතාගන්න බැරි වුනා. මන් දන්න ලන්කාවෙ lady කෙනෙක් ඉන්නව මැරි කරපු දවසෙ ඉඳලාම සහ ඊටත් ඉස්සර යාලු වෙලා හිටිය කාලෙත් experience කරලා තියෙන්නෙ හස්බන්ඩ්ගෙ violence විතරමයි. නමුත් කවදාවත් දික්කසාදය කියන වචනය ගැනවත් හිතලා නැහැ. නිදහස කියන එකත් individual choice එකක්නෙ. 'ලස්සන පවුල' කියන impression එක පිටට පෙන්නගෙන ඉන්න එකත් ලොකු achievement එකක්නෙ සමහරුන්ට.

    ReplyDelete
    Replies
    1. Lotus, දැන් කට්ටිය කියවලා යනවා මිසක් කමෙන්ට් කරන්න කම්මැලියි! තැන්ක්යූ (ඔයා වත්) කමෙන්ට් කළාට :)

      ඔව්, මේ කතාවේ අන්තිම පොඩි twist එකක් තියෙන්නේ. ඒ realisation එකට මම කැමතියි. සමහර අය අසතුටින් ඉන්න relationships වලින් අයින් නොවෙන්නේ දරුවෝ නිසා. financial, cultural හේතුත් තියෙනවා. ගොඩක් වෙලාවට වෙනසකට ඇති බය නිසා. මේ විදිහේ තීරණයක් ගන්න ලොකු හයියක් ඕන.

      Delete
    2. පහු වෙලා හරි කමෙන්ට් කරපු එක ගැන මට සතුටුයි එහෙනම්.

      ඔව්, මලී කියපු දේ හරි. අපි හැමෝගෙම ලොකුම භය තියෙන්නෙ 'වෙනස්වීම' ගැන තමයි. ඒ ඇරුනාම හුඟක් සම්බන්ධතා karmic relationships නිසා, අනිත් කෙනාගෙ (සහ අපේ) වැරදි ගැන කරුනාවෙන් හා ඉවසීමෙන් බැලිමත් අපේම දියුනුවට අත්යවශ්යයි, මන් හිතන්නෙ. හැබැයි ඉවසීම සහ frustrated waiting අතර තියෙන්නෙත් ඉතාම් සියුම් වෙනසක් නිසා ඒක තේරුම් ගෙන තීරනයක් ගන්න ලොකු හය්යක් සහ බුද්ධියක් අවශ්යයි, අනිවාර්යෙන්ම.

      Delete
    3. Lotus- It is all about more acceptance and less expectations ne? :)

      Delete
  2. I agree with all these comments. But my idea is that Sri Lankan culture should be more flexible to accept divorce because nobody does it out of pleasure. Love the story Malee..

    ReplyDelete