August 27, 2025

මිතුරුකම්



බැලූ බැල්මට එයාව පෙනුණේ ඉස්කෝලේ ඇරිලා එන තවත් පිරිමි ළමයෙක් වගෙයි.

පොත් මිටියක්ම උස්සාගෙන හිටිය එයාගේ ඇස් කණ්නාඩි දෙක නහයෙන් පහතට ලෙස්සමින් තිබුණා..

ඒක සිකුරාදා දවසක්. අනෙත් හැම කෙනෙකුටම කළින් ලෑස්ති කරගත්ත ක්‍රීඩා තරඟ, සාද, යාලුවෝ මුණගැහෙන්න යන ගමන් බිමන් වගේ එක එක වැඩ තිබුණා- ඒත් මෙයා නම් යමින් හිටියේ තනියම. 

තව පොඩ්ඩෙන් මම එයා දිහා නොබලාම යනවා.

ඒත් ඒ මොහොතේම කොලු රංචුවක් අපි ව පහුකරගෙන දුවගෙන ගියා. එහෙම යද්දී එයාලා අර පිරිමි ළමයාගේ ඇඟේ හැප්පුණා. එයා බිමට ඇදගෙන වැටුණා, එයාගේ අතේ තිබුණු පොත් මිටිය සී සී කඩ විසිරුණා. කොල්ලෝ ටික නම් හිනාවෙමින් දිව්වේ නවතින්නේවත් නැතිව. මේක දැකලා මගේ හිත ඇතුළේ මොකක්දෝ වුණා. 

මම එයාට නැගිටින්න උදවු කළා, කණ්නාඩි දෙක අහුලලා දුන්නා. “අරුන් මහා පිස්සෝ ටිකක්” මම එයාට කිව්වා. 

එයා මාත් එක්ක හිනාවුණා, ඒක නිකම් හිනාවක් නෙමෙයි, කෘතඥ හිනාවක්, මතක හිටින වර්ගයේ හිනාවක්. 

අපි දෙන්නා කතාවට වැටුණා. බලද්දී එයාගේ ගෙදර මගේ ගෙවල් කිට්ටුවමයි තිබුණේ. එයා විනෝදයට බර, බුද්ධිමත් කෙනෙක් බවත්, ෆුට්බෝල් ගහන්න බොහොම කැමති බවත් කතාවේදී තේරුණා. ඒ සති අන්තයේදී අපි ආයෙත් මුණගැහුණා. ඒවගේම ඊළඟ සති අන්තයේත්, ඊටපස්සේ එකේත්… ටික කලක් යද්දී අපි හොඳම යාලුවෝ වුණා.

කාලය ගත වුණා. අපි පාසලෙන් පිටවෙන දවස ආවා. එදා පැවැත්වුණු උත්සවයේදී එයා අපි අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හැටියට සභාව ඇමතුවා. ආත්ම විශ්වාසයෙන් කෙරුණු ඒ කතාව ඉතා සාර්ථක එකක්, හැම දෙනාම ඊට බොහොම  කැමති වුණා. 

ඒ කතාවේ අන්තිමේදී එයා කීව මේ කොටස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“අවුරුදු කීපෙකට කළින් මම මගේ ජීවිතය නැතිකරගන්න තීරණය කළා. එහෙම හිතලා සිකුරාදා දවසක ඉස්කෝලේ මගේ ලොකර් එකේ තිබුණු ඔක්කොම බඩු ටික අස් කරලා ගෙදර ගෙනියන්න ගත්තා. එහෙම නොකළා නම්  ඒ වැඩේ මගේ අම්මාට කරන්න වෙන නිසායි ඒක කළේ. මං ගැන කවුරුවත් හිතන්නේ නැහැ කියලායි මම එදා හිතාගෙන හිටියේ. ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා. එයා මගේ පොත් ටික බිමට වැටුණු වෙලාවේ අහුලලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නොදැනුවත්වම මගේ ජීවිතයත් බේරලා දුන්නා.”

මේක අහලා සභාව ම නිහඬ වුණා. මාව ගල් ගැහුණා. ඒ වෙනකම්ම මම ඒ බව දැනගෙන හිටියේ වත් නැහැ. 

සමහර වෙලාවට අපි කරන පුංචි දෙයක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් කරුණාවන්ත වෙන්න. අවදියෙන් ඉන්න.

උදවු උවමනා කෙනෙක් ඔබ ළඟම ඉන්නවා වෙන්න පුළුවන් 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of a note from Old Photo Club


Digital art

August 20, 2025

ප්‍රේමය ගැන කියන දේ




“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී 
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”

මෙසේ කියන්නන් නොව

තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්

ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver

Digital art

August 11, 2025

අත්හැර යෑම්


























ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේ
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

එහි ආරුක්කු වල නැමි
ආදර බැල්මෙන් පිරිමදින්නට
එහි දොරටු අසල
ලාලසාවෙන් තාවර වන්නට

ආපසු නොහැරී
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

මට රිසි වෙලාවක
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න

බසයකට, දුම්රියකට, ගුවන් යානයකට
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න

එමෙන්ම ඒ තරමටම ලේසියෙන්
ඒවායින් නික්මෙන්නටත් හරින්න

ඒ අතරතුර
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක

බරපතල අනතුරකින් මිදුණ සේ
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න

ඉන් වසර ගණනාවකට පසු
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න

ඔබ මුණගැසුණු විලසටම
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of the poem Departures by Marianne David

~ Departures ~

let me leave you
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing

let me leave you
like that,
effortlessly –

step out into the light
or the night
at my convenience

let me enter lives
like one enters
a train, coach, plane,
exit just as easily –

sometimes there is
some stumbling,
but one recovers

let me not leave
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain

let me leave you
as I found you,
unthinkingly
serendipitously

By Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.


පසු සටහන
මට Marianneගේ කවි මුණගැහුණේ අහම්බෙන්. ඒවායේ හෘදයංගම ගතියට වගේම raw, දැනෙනසුලු ගතියට මම කැමතියි. මේ කවිය මීට අවුරුදු කීපයකට කලින් දිනමිණ පුවත්පතේ පළ වුණු වෙලාවෙත් මම share කළා. ඒත් මේ වගේ කවි තවත් රසිකයන් අතරට යන්න ඕන නිසා මුල් කවියත් එක්කම ආයෙත් share කරන්න හිතුවා.


Digital art

August 06, 2025

ආලෝකය

 



ඔබ වටා තද අන්ධකාරයක් දිස් වේ නම්- නැවත බලන්න, ආලෝකයේ ප්‍රභවය ඔබ විය හැක. 

-Rumi

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital art



පසු සටහන 
මම Rumi ගේ බලවත් රසිකයෙක් බව කලින් පෝස්ට් එකක කිව්වානේ. වචන කීපයකින් බොහොම ගැඹුරු දෙයක් කියන්න පුළුවන් නම් ඒ Rumi ම තමයි. දෙයක් භාෂා කීපයකට හැරෙද්දී සුමට බව අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම අඩු වෙලාත් මෙහෙම නම් පර්සියන් භාෂාවෙන්ම තියෙද්දී ඒවා කොයිතරම් ලස්සන ඇතිද කියලා හිතෙනවා. Quotes වලට මගේ නොනිමෙන ආසාවට මුල Rumi වගේ අයගේ මේ ගීතවත් අදහස් තමයි.