May 28, 2019

SBS රේඩියෝවේ සහස් පියවර පොත ගැන කතාබහ

ඕස්ට්‍රේලියාවේ SBS රේඩියෝව ලෝකයේ වැඩිම භාෂාමය විවිධත්වයක් සපයන රේඩියෝ ජාලයයි. එය භාෂා 70ක වැඩසටහන් අසන්නන් මිලියන තුනක් වෙත ගෙන යනවා. ඉතින් මේ මහා විශාල මාධ්‍ය ජාලයේ මටත් මගේ සහස් පියවර පොතටත් පුංචි ඉඩක් අද වෙන් වුණා. SBS සිංහල රේඩියෝ කණ්ඩායම මසකට වරක් පවත්වන සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනට සහභාගි වන්නට මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තේ බොහොමත්ම සතුටින්. මා වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කළ SBS රේඩියෝ ජාලයේ වැඩසටහන් නිෂ්පාදිකා දිල්රුක්ෂි විජේසූරියටත් කතාබහට එක් වූ ප්‍රවීණ ලේඛක ජගත් ජේ. එදිරිසිංහ ටත් මගේ ස්තූතිය පිදෙනවා. 




May 21, 2019

දින නැති දිනපොතෙන් තවත් රේඩියෝ කෙටිකතා දෙකක්


මගේ 'පොසම් හදිසියක්' සහ 'ඉබ්බි' කෙටිකතා දෙක රේඩියෝ කෙටිකතා ලෙස පහත සබැඳියෙන් අහන්නට පුළුවන්. මීට වෙහෙසුන කැනඩාවේ 'සවන' රේඩියෝ කණ්ඩායමට මගේ ස්තූතිය!


May 05, 2019

රතු මල් පොකුර

සරත් කාලය පිරී ඇත්තේ වැස්සෙන් හා සුළඟිනි. එය ගස් වැල් පවා මල් පුබුදනු වෙනුවට පත් එකින් එක අත හරිමින් ශෝක වන කාලයකි. එහෙත් මේ, ඒ මල් හිඟ අඳුරු සෘතුවේ මා අතට ලැබුණු රතු මල් පොකුරක කතාවයි.

මා රැකියාවේ නියුතු ව සිටින්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික බාලිකා පාසලක ය. එහි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියන් සැලකිය යුතු පිරිසක් ඇතත් කාර්ය මණ්ඩලයේ නම් ඇත්තේ මා පමණි. මේ වසරේ මෙම පාසැලේ කණිෂ්ඨ අංශයේත් ජ්‍යෙෂ්ඨ අංශයේත් ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකික වීම තවත් විශේෂත්වයකි. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ඛේදවාචකය ගැන කතාකරන්නට, ඉන් දිවි අහිමි වූවන් හා තුවාල ලැබුවන් සිහි කරන්නට වැඩසටහනක් පසුගිය සතියේ පාසැලෙන් සංවිධානය කෙරිණි. මෙහි මුල්තැන ගෙන කටයුතු කළේ පාසැලේ ක්‍රිස්තියානි සංගමය වූවත් එය එක් ආගමකට සීමා වූවක් නොවිණි. ඊට සහභාගී වීමට යද්දී මා බලාපොරොත්තු වූයේ ශ්‍රී ලාංකික දැරියන් කිහිප දෙනෙක් පමණක් එහි සිටිනු ඇති බවයි. එහෙත් මා පුදුමයට පත් වූයේ ජාති හෝ ආගම් භේදයක් නොමැතිව එහි උන් දැරියන් පිරිස දැකීමෙනි. ඔවුහු වෙහෙස වී ලංකාවේ ජාතික කොඩියක් ද, සිතියමක් ද සොයාගෙන තිබුණු අතර මාද නොදැන සිටි, ලංකාවටම වෙන් වූ ජාතික ගීතිකාව (hymn for Sri Lanka) ද වාදනය කරමින් සිටියහ. මල් හිඟ මේ සරත් කාලයේ ඔවුන් කෙසේ හෝ පාසලේ ඇති ගම් ගසකින් රත් පැහැ මල් පොකුරක් සොයාගෙන එය ලංකාවේ ජාතික කොඩිය ඉදිරිපස තබා තිබිණි. වැඩසටහන අතරතුරේදී මේ දැරියන් ශ්‍රී ලංකාව ගැන ඔවුන් දන්නා පුංචි දේවල් බෙදා ගත්හ. ඇතැම් ශ්‍රී ලංකික දැරියන් ගේ පවුල් වල අය විපතට පත් අය අතර විය. මේ කතා බහ අතරේ කඳුළු ද හුවමාරු වූ නමුත් එතැන පිරී ඉතිරිණු සෙනෙහස ඒ දුක දරා ගන්නට උදවු විය.

වැඩසටහන අවසානයේ මා පිටව එන්නට සැරසෙද්දී එක් දැරියක් දිව විත් ජාතික කොඩිය අසල තබා තිබුණු මල් පොකුර මා අතේ තැබුවා ය. සමහරවිට ඒ, එතැන සිටි, ඔවුන් හඳුනන වැඩිහිටියන් අතරින් එකම ශ්‍රී ලාංකිකයා මා නිසා වන්නට ඇත. මා එය නිහඬවම පිළිගෙන ඇගේ හිස අතගා යන්නට යද්දී ඈ එකම එක වැකියක් කීවා ය. එය තවමත් මසිත දෝංකාර දෙමින් පවතී.

" It was so unnecessary!.. why Sri Lanka?.. why at all??"





May 01, 2019

නිහඬ බව

The Silence | Michael Faudet

නිහඬ බව
ඇතැම් දින තිබිණි
බිම වැටෙන අල්පෙනිති හඬ
දුර ඈත බඹර ගුම් නද
සබන් පෙණ බිඳී යන හඬ
පවා මට ඇසෙන

එහෙත් කෙලෙසක හෝ
නෑසිණි මට
කන් බිහිරි කරවන
මා හද බිඳෙන හඬ

ඇසුණේ නිහඬ බව පමණි
ඔබ යන්න ගිය විට


Link to original poem - michaelfaudet 


Photo- Autumn colours in Kalorama, Dandenong Ranges- VIC