September 03, 2025

අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු




ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තනා, පුළුස්සා, විවිධ පැහැ තවරන ලද අශ්වයකුගේ පිළිමයකි. මේ අශ්වයා ඉතා ගාම්භීර ලෙස හිස හරවා, තම ඉදිරි ගාත් ඔසවා සිටි අතර උගේ වලිගය අලංකාර ලෙස විසිරී තිබිණි. අශ්වයාට පසුපසින් තිබුණේ රණශූරයකුගේ පිළිරුවකි. ඔහු දෑකැති වැනි උඩු රැවුලක්, පිටතට නෙරූ දෑස් සහ තියුණු නාසයකින් හෙබි විය. මේ පිළිම නෙළූ අය සටන්කරුගේ විශාල දෑසින් ශක්තියත්, ගෙලේ වූ මැණික් මාලයෙන් ඔහුගේ ධනවත් බවත් පෙන්වීමට උත්සාහ කර තිබිණි. මේ වෙද්දී හිරු එළියට පිළිස්සී, වැස්සට සේදී පැහැය වියැකී තිබුණත් අතීතයේදී මේ මාලය කොළ, රතු මැණික් හා දියමන්ති එබ්බවූ ලෙසින් දිස් විය. දැන් දැන් අශ්වයා පුල්ලි සහිත බවක් පෙනුණද අතීතයේදී ඌ ඇපිල්ලූ රෙද්දක් සේ සුදු පැහැයෙන් බැබලුණු අතර උගේ පිට මත- රතු කළු කොටු සහිත බ්‍රොකේඩ් රෙද්දක් පින්තාරු කළ බවක් පෙනුණි. සටන්කරුගේ අතෙහි වූ කඩුව විචිත්‍ර වර්ණ වලින් අලංකාර කර, ඔහුගේ ඉන බැඳි රෙදි පටිය ඊට හාත්පසින් වෙනස් වර්ණයෙන් පාට ගන්වා තිබිණි. 

මේ අවට ප්‍රදේශයේ තැන තැන තිබුණු මෙවැනි අනෙත් පිළිම රැස විලසින්ම මෙයත්, හැම දෙනාටම නොපෙනී, අමතකව ගිය එකක් විය. ගඳපාන සහ පතොක් පඳුරු වැවී වල් බිහිවී තිබුණු මේ පිළිම, ගමේ රස්තියාදුකරුවෝ පවා නොසලකා හැරියෝහ. මේ දිනයේ පිළිමයට සමීපයේ වූ පතොක් පඳුරක හෙවනක මහලු මිනිසෙකු නිදි කිරමින් සිටියේය. ඔහුගේ එළුවෝ දෙදෙනා අසල උලා කමින් පසුවූහ. කොළ පැහැති බසය ඈත කන්ද බැස එදෙසට පැමිණෙන තුරු මිනිසා බලා සිටියේ ඔහුට එතැනින් ඉවත්ව නිවස බලා යන්නට ලැබෙන සංඥාව එය වූ බැවිනි. එහෙත් ඒ වෙනුවට එහි පැමිණියේ මෝටර් රථයකි. එහි රියදුරු පිළිමය දුටු සැණින් වැරෙන් තිරිංග තද කර, රථය නවත්වා, බිමට පැන, ඒ වෙත ගියේය. 

“නියමයි!” ඔහු පිළිමය වටා ඇවිදිමින් කෑ ගැසුවේය.

ඔහුගේ මුහුණ අව්වට පිළිස්සී රත් පැහැ ව තිබිණි. ඔහු හැඳ සිටියේ කාකි පැහැති කොට කලිසමක් සහ කමිසයකි. අසල උන් මහලු මිනිසා දැක ඔහු ආචාරශීලීව ඉංග්‍රීසි බසින් “ඔබට කොහොමද?” කීවේය. 

මහලු මිනිසා පිළිතුරු දුන්නේ ඔහුගේ එකම සන්නිවේදන මාර්ගය වූ පිරිසිදු දෙමළ බසිනි. 

“මගේ නම මුනි. අර ඉන්න එළුවෝ දෙන්නා තනිකරම මගේ. මුළු ගමක්ම ඕකට අනම් මනම් කියන්න පුළුවන් හැබැයි මුන් දෙන්නාට වෙන කිසි කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බැහැ.”

රතු මුහුණින් යුත් ආගන්තුකයා ගල් කුළු අසල උලා කමින් සිටි එළුවන් දෙස මොහොතක් බලා, සිගරට්ටුවක් පිටතට ගෙන, “ඔබ දුම් බොනවාද?” විමසුවේය. 

“මම නම් ඔය විස්තරය ඇහුවෙත් ඊයේ තමයි.” මුනි කලබලයෙන් කීවේය. ඔහු සිතුවේ මේ කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලදරුවෙකු බවත්, ළඟදී ඒ ප්‍රදේශයේ වූ මිනී මැරුමක් ගැන ඔහු තමන්ගෙන් තොරතුරු විමසන බවත් ය. 

“මම ආවේ නිව් යෝක් ඉඳන්, අහලා තියෙනවාද? අමෙරිකා?” 

නිව් යෝක් කෙසේ වෙතත් අමෙරිකා යන වදන තමන් උච්චාරණය කරන ලෙසට, එනම් ‘ඇහ්-මෙ-රික්යා’ ලෙසට කියනු ලැබුවේ නම් මහලු මිනිසා එය තේරුම් ගන්නට ඉඩ තිබිණි. නමුත් මේ අවස්ථාවේදී නම් ඔහුට කිසිවක් නොතේරුණි. 

“මේ දවස්වල නරක මිනිස්සු හැම තැනම. ඔය සිනමා බලලා තමයි මිනිස්සු නරක් වෙන්නේ, වැරදි  දේවල් කරන්න ඉගෙන ගන්නේ ඒවායින්. ඇත්තටම දැන් කාලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ඔහු යටහත් පහත් ව කීවේය. 

“ඔබ දන්නවා ඇති මේ අශ්ව පිළිරුව තනන්නට ඇත්තේ කොයි කාලේද කියලා” අමුත්තා කෘතඥ ව සිනාසෙමින් ඇසුවේය. 

මේ සාමකාමී වාතාවරණයට ගැලපෙන පරිද්දෙන් මහලු මිනිසා ද හිනැහුණි. හිනැහෙමින් ම ඔහු මෙසේ බැගෑපත් විය.

“අනේ මහත්තයා මෙතැනින් යන්න. මම කිසි දෙයක් දන්නේ නැහැ. වැරදි වැඩ කරන කෙනෙක් හම්බවුණොත් මහත්තයා වෙනුවෙන් අල්ලලා තියාගන්න බවට මම පොරොන්දු වෙනවා. හැබැයි අපේ ගමේ නම් කවුරුත් එහෙම නැහැ, සමහරවිට එහා ගමේ වෙන්න ඇති.” 

“මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හෙමින් කතාකරන්නම්,” රතු මුහුණැති මිනිසා කීවේය. “මම මේ රටට ආවේ සති තුනකට කළින්. මේ වෙද්දී මම ඔබේ අලංකාර රට පුරා හැතැප්ම පන්දාහක් විතර ඇවිදලා තියෙනවා.”

මෙය අසා මහලු මිනිසා යටි උගුරෙන් ශබ්ද කිහිපයක් නැගුවේය. මින් දිරිමත් වූ අමුත්තා තමන් එරටට පැමිණි කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කළේ හැම වචනයක්ම සෙමින්, පැහැදිලි ව උච්චාරණය කරමිනි. ඔහු ඒ රටට කෙතරම් කැමති ද යන වග, ඔහු තම උපන් රටේ කළ රාජකාරි, ඉන්දියාවේ සංචාරය කිරීමට ඔහු වසර ගණනක් තිස්සේ සැලසුම් කළ හැටි, අනාගත බලාපොරොත්තු - මේ හැම දෙයක්ම ඔහු පැහැදිලි කළේ වරින් වර කතාව නවත්වමින්, මිතුරු සිනහවක් පාමින් ය. මහලු මිනිසා මීට පිළිතුරු ලෙස සිනාසුණත් කිසිවක් කීවේ නැත. අන්තිමේදී අමුත්තා මෙසේ කීවේය. 

“ඔබගේ වයස කීයද? ඔබට හරි ලස්සන දත් දෙපෙළක් තියෙනවනේ, ඒ ඇත්ත ඒවාද? ඔබේ රහස කුමක්ද?” 

මහලු මිනිසා නළල රැළි ගන්වා දුක්මුසුව මෙසේ පිළිතුරු දුන්නේය. 

“සමහර වෙලාවට අපෙත් හරක් අතුරුදන් වෙනවා, එතකොට අපි ගිහින් නැකත්කාරයෙක් හම්බවෙනවා. එයා කපුරු දැල්ලක් දිහා බලලා අපිට කියනවා නැතිවුණු සත්තු හොයන්න කොයි අතට ද යන්න ඕන කියලා… මම දැන් ගෙදර යන්න ඕන,” මෙසේ කියමින් ඔහු යන්නට හැරුණේය. 

අනෙකා ඔහුගේ උරෙන් අල්ලා නවත්වා ඉතා උනන්දුවෙන් මෙසේ ඇසුවේය. 

“මේ හරියේ කවුරු හරි- කවුරුම හරි ඉන්නවද මම මේ කියන දේ පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්?” ඔහු මේ උණුසුම් හවස් වරුවේ පාලුවට ගොස් තිබුණු මාවතේ ඒ මේ අත බලන්නට විය. හදිසියේ හැමූ සුළඟක් දුහුවිල්ලත්, මාවත අයිනේ වූ වියළි පත්‍රත් අවුස්සා, විනිවිද පෙනෙන කුලුනක් සේ ඒවා මොහොතකට රඳවා, කඳු පාර වෙත තල්ලු කළේය. 

“මේ පිළිමය ඔබේද? මට ඒක විකුණනවාද?”

අමුත්තා මේ අසන්නේ අශ්ව පිළිමය ගැන බව මහලු මිනිසා ට වැටහිණි. ඔහු මඳක් කල්පනා කර මෙසේ කීවේය. “මගේ සීයා මේ අශ්වයාත්, සටන්කාරයාත් ගැන මට විස්තර කියද්දී මම මේං මේ තරම් විතර පැංචෙක්. මම හිතන්නේ සීයාට එයාගේ සීයා ඒක කියද්දීත් එයා ඒ තරම් විතර ඇති.. ඒ සීයාගේ සීයාත්…” පිළිමයේ පැරණි බව ගැන විස්තර කියන්නට ගොස් අතීතාවර්ජනය නමැති ගොහොරුවේ ඔහු තව තවත් ගිලෙන්නට වූ අතර අන්තිමේදී ඔහු මෙසේ කියමින් අමාරුවෙන් ඉන් ගොඩට පැමිණියේ ය. 

“මගේ සීයාගේ සීයාගේ මාමා මේ ගැන හරියටම දන්නවා, හැබැයි මට එයාව මතක නැහැ.” 

“මට මේ පිළිමය කොහොමහරි ගන්න ඕන.” අමුත්තා කීවේය. “ඔබ මට වැඩි මිළක් නොකියාවි කියලා මම හිතනවා” 

“මේ අශ්වයා,” මහලු මිනිසා තවදුරටත් විස්තර කරන්නට විය. “කලියුගය අවසානේ දහවෙනි අවතාරය හැටියට පෙනී ඉන්න නියමිතයි.”

අමුත්තා එයට හිස සලා එකඟ විය. ඔහු ‘අවතාර’ යන වචනය දැන සිටියේය. 

“මේ කලියුගය අවසානයේදී මේ ලෝකයත්, අනෙත් හැම ලෝකයක්මත් විනාස වෙනවා. එතකොට තමයි කල්කි කියන අශ්වයාගේ වේසයෙන් ගැලවුම්කාරයා එන්නේ. උන්නාන්සේ හොඳ මිනිස්සුන්ට උදවු කරලා නරක මිනිස්සුන්ව මහා ගං වතුරකින් යටවෙන්න අරිනවා. එදාට මේ පිළිමයේ අශ්වයාට පණ එනවා. ඒ නිසා තමයි අපේ ගම මුළු ලෝකෙන්ම උතුම් ම ගම වෙන්නේ.” 

“මම සාධාරණ ගාණක් ගෙවන්න ලෑස්තියි-” අමුත්තා කියන්නට ගත් නමුත් මේ වෙද්දී මහලු මිනිසා විවිධ අවතාර හෙවත් දේව මූර්ති කතන්දරවල මායාවට වශී වී සිටි බැවින් ඒ ප්‍රකාශයට බාධා විය.

“විෂ්ණු දෙවියෝ තමයි දෙවියන් අතරින් උසස්ම- එහෙම තමයි අපේ කෝවිලේ පණ්ඩිත් ගුරු නිතරම කියන්නේ. මීට කලින් මේ ලෝකේ නපුරු මිනිස්සු බලවත් වුණු නව වතාවකදී විෂ්ණු දෙවියෝ පෙනී ඉඳලා තියෙනවා.”

“මම ලොකු පෝසතෙක් නම් නෙමෙයි..”

“පළවෙනි අවතාරය මාලුවෙක් ගේ වෙස් අරන් ආවේ,” මහලු මිනිසා කීවේය. ඉනික්බිති ඔහු විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය වේශය ගැනත් ඔහු විසින් ශුද්ධ ලියවිලි මූදුබත් වීමෙන් බේරාගත් අයුරුත් පැහැදිලි කළේය. මේ පළමු අවස්ථාව විස්තර කළ පසු විෂ්ණු දෙවියන්ගේ ඊළඟ මූර්ති- එනම් ඉබ්බෙකු, වල් ඌරෙකු ආදිය ගැන විස්තර කීම නොවැළක්විය හැකි විය. 

“මේක ප්‍රවාහනය තමයි මගේ ලොකුම ගැටලුව වෙන්නේ, හැබයි මම ඒ ගැන පස්සේ වද වෙන්නම්. මට කියන්න, ඔබ මේ අශ්වයා වෙනුවෙන් විතරක් රුපියක් සීයක් භාරගන්න කැමතිද? ඇත්තම කියනවා නම් මම මේ උඩුරැවුල්කාර සොල්දාදුවාටත් කැමතියි, හැබැයි මේ වතාවේ එයාව ගෙනියන්න ඉඩ නැහැ, ඒකට ලබන අවුරුද්දේ එන්න වෙනවා.” 

“විෂ්ණු දෙවියෝ තමයි හැම වතාවෙම විපත් වලින් මිනිස් සංහතිය බේරා ගන්නේ. එක වතාවක් උන් වහන්සේ රාමා හැටියට ඉපදුනා. ලෝකෙම හොල්ලපු, ඔලු දහයක් තියෙන රාවණා ව විනාශ කරන්න පුළුවන් වුණේ එයාට විතරයි. මේ මහත්තයා රාමායනය ගැන දන්නවාද?”

“මගේ ස්ටේෂන් වැගන් එක තියෙනවානේ. මට ඔබ මට පොඩි උදව්වක් දුන්නොත් මට පුළුවන් සීට් එක පහත් කරලා අශ්වයා ව දාගන්න.”

“මහත්තයා මහා භාරතය දන්නවාද? ක්‍රිෂ්ණා තමයි විෂ්ණු ගේ අට වෙනි අවතාරය. ඒ වතාවේ විෂ්ණු, සහෝදරයෝ පස් දෙනෙකුට තමන්ගේ රාජධානිය බේරාගන්න උදවු කළා. ක්‍රිෂ්ණා පුංචි බබෙක් කාලේ නයි පෙන දාහක් තියෙන විශාල නාගයෙක් ගේ ඇඟ උඩ නටලා, ඌව පාගලා මරලා දැම්මා ලු.”

මේ වෙද්දී දෙදෙනා, අනෙකා පවසන දේ නොතේරීම නිසා උපරිම ලෙස එකිනෙකාව ව්‍යාකුල කරවා තිබිණි. මහලු මිනිසා කතාබහක අන්‍යොන්‍ය බව සමබර කිරීම සඳහා තමන්ගේ වාරයේදී නොකඩවා යම් යම් දේ කියවමින් සිටියේය. අමුත්තාගේ සිත දිනාගැනීමේ අදහසින් ඔහු මෙසේ කීවේය. 

“මේ උතුම් මහත්තයාට දෙවියෝ දරු මුණුබුරෝ රාශියක් තෑගි කරලා ඇති කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මම වගේ වයසක මනුස්සයෙක් ළඟ ඉඳන් මෙහෙම කතාකරන්න මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඕන නිසා. වෙනදාට නම් මේ පාරේ යන කෙනෙක් දුම්කොළ කෑල්ලක් ඉල්ලන්න මාත් එක්ක කතා කළොත් මිසක් මට කතාකරන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට ළමයි කීයක් ඉන්නවාද?”

“මහන්සි නොවී කිසි දෙයක් ලබාගන්න බැහැ” අමුත්තා තමන්ට කියා ගත්තේය. 

“එහෙනම් ඔබ මේකට රුපියල් සීයක් භාරගන්න කැමතිද?” ඔහු මහලු මිනිසාගෙන් විමසූ අතර මීට පිළිතුරු ලෙස තවත් ප්‍රශ්න රැසක් ලැබිණි. 

“මහත්තයා ට දූලා කීයද, පුත්තු කීයද? එයාලා කොහේද ඉන්නේ? දූලා බැඳලා ද? ඒ රටෙත් ගැලපෙන බෑණාලා හොයාගන්න අමාරුද?”

අමුත්තා තම සාක්කුවට අත දමා පසුම්බිය පිටතට ගෙන ඉන් රුපියල් සියයේ නෝට්ටුවක් එළියට ගත්තේය. මෙය දැක තම කතාබහ යම්කිසි මුල්‍යමය පරිච්ඡේදයකට පිළිපන් බව මහලු මිනිසාට වැටහිණි. ඔහු ඒ දෙස පරීක්ෂාවෙන් බලන්නට විය. රුපියල් පහේ, දහයේ නෝට්ටු වල පැහැයන් ඔහු හොඳින් දැන සිටියේ ඒවා අනුන් අත දැක තිබුණු බැවිනි. මේ නෝට්ටුව නම් ඔහු ජීවිතයේ කිසි දිනක දැක නොතිබුණේ ඔහුගේ ඉපයුම තඹ සහ නිකල් කාසි වලට සීමා වූ බැවිනි. මේ අමුත්තා නෝට්ටුවක් දිග හැර පෙන්වන්නේ කුමකටද? සමහරවිට ඔහුට මේ නෝට්ටුව මාරු කරගැනීමට උවමනා වී තිබෙනවා විය හැක. විශාල අගයකින් යුත් මුදල් නෝට්ටුවක් ගෙන හැර පා කිසිවෙකු තමන් වෙතින් මාරු සල්ලි ඉල්ලීම ගැන ඔහුට සිනා පහල විය. 

“මාරු සල්ලි උවමනා නම් ගම්මුලාදෑනියාගෙන් ඉල්ලන්න වෙයි මහත්තයා. උන්දැ තමයි ගමේ උන්ට ණය දෙන්නේ. රුපියල් ලක්ෂයක් වුණත් රන් කාසි වලින් දෙයි ඉල්ලුවොත්. උන්දැගේ හිතේ කවුරුත් දන්නේ නැහැ කියලා, ඒත් උන්දැගේ පූජා කාමරේ බිම හෑරුවොත් වළලලා තියෙන වස්තු සම්භාරය දැක්කාම කලන්තේ හැදේවි. ඔය මිනිහා වැරහැලි ඇඳන් ඉන්නේ මිනිස්සුන්ව මුලා කරන්න.”

“මේ මදි නම් මට ගාන වැඩි කරන්න පුළුවන්.” අමුත්තා කීවේය. 

“මහත්තයාටම තමයි ගම්මුලාදෑනියා එක්ක කතාකරන්න වෙන්නේ, උන්දැට මාව පේන්න බැහැ. කවුරුහරි මිනිහාගේ වට්ටක්කා වැලක් ගෙඩි පිටින්ම හොරකම් කරලා. උන්දැගේ හිතේ ඒක කළේ මායි මගේ එළුවෝ දෙන්නායි කියලා. ඔන්න ඕක හින්දා තමයි මම ඔය ගොවිපොළවල් පැත්තට වත් මගේ එළුවෝ යවන්නේ නැත්තේ,” මහලු මිනිසා එසේ කීවේ ගල් කුළු අතරේ ඇති කුඩා ළදළු පවා කන්නට උත්සාහ කරමින් සිටි තම එළුවන් දෙස බලමිනි. 

අමුත්තා ද ඒ දෙස බැලූ අතර මහලු මිනිසාගේ සුරතලුන් වෙත ආදරය පෑම මේ අවස්ථාවට ගැලපෙන කාර්යයක් බව සිතුවේය. ඔහු උන් වෙත ගොස් සෙමෙන් උන්ගේ සිරුරු පිරිමැද්දේ ය. 

මහලු මිනිසාට සිදුවෙමින් තිබුණු දේ වැටහුණේ එවිටයි. ඔහු ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් සැබෑ වෙමින් තිබිණි. මේ රතු මුහුණෙන් යුත් ආගන්තුකයා ඔහුගේ එළුවන් මිළට ගැනීමට ඉල්ලමිනි. ඔහු මේ එළුවන් උස් මහත් කළේ කෙදිනක හෝ උන් ව විකුණා මෙතැනම කඩයක් විවෘත කරන අරමුණ ඇතිවය. පොල් අතු සෙවිල්ලූ වහලක් යට ගෝනියක් අතුරා බදින ලද කජු, විවිධ පැහැයෙන් යුත් රසකැවිලි සහ මාවත ඔස්සේ පැමිණෙන මගීන්ගේ පවස නිවීමට කුරුම්බා විකිණීමට ඔහු සිහින මැව්වේය. මේ සඳහා ඔහුට රුපියල් විස්සක ප්‍රාග්ධනයක් අවශ්‍ය වූ අතර මඳක් පෙරැත්ත කිරීමෙන් අගන්තුකයාගෙන් ඒ මුදල ලබාගත හැකි බවට ඔහු කල්පනා කළේය. මේ සතුන් දෙදෙනා සත්ත්ව ප්‍රදර්ශනයක සම්මාන ලැබීමට තරම් සුවිශේෂී නොවුණත් ඉඳ හිට උන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඔහු වියදම් කර තිබුණු නිසා උන් හොඳ පෙනුමකින් යුතු විය. 

“මේ සල්ලි ඔක්කොම ඔබට, කැමති නම් ඔබේ සගයෙක් එක්ක බෙදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ,” මෙසේ කියමින් ආගන්තුකයා මහලු මිනිසාගේ අත රුපියල් එකසිය විස්සක් තැබුවේය. 

මහල්ලා මෝටර් රථය වෙත අත දිගුකර ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය. 

“ඔව් ඔව්, හරියට හරි” අනෙකා පිළිතුරු දුන්නේය. 

“හැබැයි මේක එළුවෝ දෙන්නා කාර් එකක යන පළවෙනි වතාව. එහෙනම් මම මෙතැනින් ගියාට පස්සේ උන් දෙන්නාව වාහනේට දාගන්න. නැත්නම් උන් කවදාවත් මහත්තයාගේ පස්සෙන් නම් එන එකක් නැහැ. මම පරලෝකෙට ගියත් උන් දෙන්නා මගේ පස්සේ තමයි!”  තමන්ගේම විහිලුවට සිනාසුණු ඔහු ඉනික්බිති දෑත් එක් කර අමුත්තාට ආචාර කර අනෙත් පස හැරී පඳුරක් අතරින් රිංගා නොපෙනී ගියේය. 

නිදහසේ උලාකමින් සිටි එළුවන් දෙස බැලූ අමුත්තා අශ්ව පිළිමයේ පාදම වෙත ගියේය. බැස යන හිරුගේ එළියෙන් පිළිමයේ අව පැහැ ගැන්වුණු වර්ණයන් අමුතු අලංකාරයකින් දිස් විය. 

“වයසක මනුස්සයා උදව්වට කවුරු හරි අඬගහගෙන එන්න යන්න ඇත්තේ” මෙසේ සිතූ ඔහු ඔවුන් එනතුරු බලා සිටීමට හරි බරි ගැසී හිඳ ගත්තේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


Translation of the short story ‘A Horse and Two Goats’ by R. K Narayan

Picture generated by AI

2 comments:

  1. https://bassigenawathana.blogspot.com/2025/09/how-time-flies-when-youre-stuck-in.html?sc=1756878096586#c2753742413477222284

    ReplyDelete
  2. communication errors නිසා වුන සිද්ධි අනන්තයි. සමහර දේවල් දැනුත් මතක් කරලා හිනාවෙන්න පුළුවන්. pra jay ගෙ link එකටත් ගියා. බස්සා ට ලියන්න අමතක වෙලා. ඉතින් බස්සි ලියපු එකම ලොකු දෙයක්.

    ReplyDelete