October 09, 2023

තහනම් කළ පොත් සතිය (Banned Books Week) 2023

ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය තහනම් කළ පොත් සතිය (Banned Books Week) හැටියට ලොව පුරා සමරනවා. ඉතිහාසය පුරාම විවිධ හේතු වලට විවිධ වර්ගයේ පොත් පත් බලධාරීන් විසින් තහනම් කරලා තියෙන අතර අදටත් මේ වගේ වාරණ ගැන අහන්න ලැබෙනවා. මේ ගැන කතාකරන සතියක් නම් කිරීමේ අදහස කියවීමේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන ජනතාව දැනුවත් කරන්නයි.  Banned Books සමරන සතිය පුරාවටම ලොව පුරා පුස්තකාල වල මේ ගැන තොරතුරු ප්‍රදර්ශනය කරනවා.

පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ සමහර පොත්පත් එක්තරා කාලයක, එක්තරා රටක/ ප්‍රාන්තයක තහනම් වුණු බව අහන්න ලැබෙන එක සමහරවෙලාවට පුදුමයට කාරණාවක්. පහතින් තියෙන්නේ ඉන් අතලොස්සක් විතරයි.


To Kill a Mockingbird- Harper Lee

මේ පොතෙන් වර්ගවාදය ඇවිස්සෙන බවත් එය කියවීමෙන් පාසල්වල නීග්‍රෝ සම්භවයක් ඇති සිසුන් අපහසුතාවයට පත්විය හැකි බවත් ඉස්මතු කරමින් ඇමෙරිකාවේ කැලිෆෝනියා සිට මිසිසිපි දක්වා පාසල් කලාපවල මෙය මුලින්ම තහනම් කළේ 1966දී.


Of Mice and Men- John Steinback (1937

මේ පොත තහනම් කෙරුණේ වර්ගවාදය ඇවිස්සීම, පරුෂ වචන භාවිතය සහ කතාවේදී ස්ත්‍රීන් කෙරෙහි දක්වන රළු බව නිසායි. 1936දී පොත ප්‍රකාශයට පත් කළ වකවානුවේ පටන් මේ දක්වා 54 වතාවක් මෙය තහනම් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණත් අදටත් බොහෝ පාසල්වල මෙය නිර්දේශිත පොතක් හැටියට නම් කර තිබෙනවා. 


Harry Potter Series- J K Rowlings (1997-2007)

ලොව පුරාම පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්  හැරී පොටර් කතා මාලාවත් ඇතැම් රටවල/පාසල්වල තහනම් කෙරුණේ එහි අඩංගු මන්තර සහ මායා බලයන් ආගමට පටහැනි බව හේතු හැටියට දක්වමින්. මේ කතා මාලාවේ පළමු පොත නිකුත් වූ අලුතම මේ තහනම ප්‍රකාශයට පත් කෙරුණත් කතුවරිය ඉන් අධෛර්යමත් නොවී ඉතිරි පොත් ද ලියා අවසන් කර බෙහෙවින්ම ජනප්‍රිය වුණා. 


Charlotte's Web- E. B White (1952)

1952 දී මුල්වරට ප්‍රකාශයට පත් වූ මේ පොත කුඩා දැරියකගේ මිතුරු සතුන් ගැන ලියවුණු ළමා කතාවක්. මේ පොත ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ පාසල් පුස්තකාලයක  තහනම් කිරීමට හේතු වුණේ එහි එන සතුන් කතා කිරීම දෙවියන් වහන්සේ විසින් කළ මැවීම් වලට පටහැනි නිසායි.  මේ හේතුව මතම කුඩා දරුවන්ගේ අතර අදටත් බෙහෙවින්ම ජනප්‍රිය A A Milne ගේ Winne the Pooh (1926) කතා මාලාව ද අතීතයේදී තහනම් කර තිබෙනවා 


Thirteen Reasons Why- Jay Asher (2007)

මේ පොත මෑත යුගයේදී යොවුන් පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වුනු අතර එය Netflix රුපවාහිනී කතා මාලාවක් බවටද හැරවුණා. මේ පොත තහනම් කිරීමට යෝජනා කෙරුණේ එහි දිවි හානි කර ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ආදී තේමා ඇති නිසයි. මේ පොත 2010- 2019 කාලයේදී ඇමෙරිකාවේ වැඩියෙන්ම තහනම් කෙරුණු පොත් අතරින් එකක්.

වාරණයකින් තොරව කියවීමට, තොරතුරු ලබාගැනීමට නිදහස තිබීම කොයිතරම් වටිනා දෙයක්ද යන්න සිහි කරගැනීමට වාර්ෂිකව පැවැත්වෙන තහනම් පොත් සැමරීමේ සතිය අපට වැදගත්. 

https://bannedbooksweek.org/about/

Photos- Banned Books Week Display at a school library in Melbourne









16 comments:

  1. ඔය ඔහොම පොත් සතියක් ගැන ඇහැව්වමයි. 🙏👌

    ReplyDelete
    Replies
    1. බස්සා මේ කිට්ටුවම වහලා ඉඳලා නොවැ, පෝස්ට් එක දැම්ම ගමන්ම ආවේ! :D

      ඔව් ඇත්තටම මේ තහනම් පොත් ලැයිස්තුව බොහොම දිගයි. සමහර ඒවා නම් තහනම් කළ හේතු බොහොම විකාරයි. අපි දැන් කොයිතරම් දේවල් taken for granted ද කියලා හිතෙනවා මේවා දැක්කාම

      Delete
    2. DGM බස්සා - දොරකඩ ගහේ මූකලං බස්සා, කිට්ටුවමද කියලත් අහනවා?😁

      Delete
    3. හැබෑව නේන්නම්! :D
      සෝ ඉට් ඊස් එනි දොරකඩ?

      Delete
    4. ගේ ඉස්සරහා ගහක් තිබ්බොත්, කොයි දොරකඩ වුනත් කාරි නෑ.😁

      Delete
  2. ඇත්ත තමයි...ඇහැව්වමයි
    To Kill a Mocking Bird නම් තහනම් කල බව අහල තිබුන
    තව පොත් ගොඩක් ඇත්තටම
    ඒත් සතියක් ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කුමුදු, අපි නොහිතපු තරම් ළමයි මේ ගැන උනන්දුයි. එයාලා අපෙන් මේ පොත් ගැන සෑහෙන්න විස්තර අහන්න පටන් ගත්තා. ඒ නිසා මේ ඩිස්ප්ලේ එක ඒ සතිය පහු වෙලාත් තව ටිකක් කල් තියන්න අපි තීරණය කළා.

      Delete
  3. https://en.wikipedia.org/wiki/Censorship_of_the_Bible#:~:text=In%201901%20a%20series%20of,the%20employment%20of%20demoticist%20teachers.

    ReplyDelete
  4. ලංකාවෙ තහනම් කරපු පොත් ප්‍රදර්ශනය කරන්න තරම් කොන්දක් හරි ආකල්පයක් හරි තියෙන සංවිධායකයො ඉන්නව ද කියලා සැකයි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වෙන දේවල් වල හැටියට එහෙම ප්‍රදර්ශනය කරපු කෙනා අනිවාර්යයෙන් රිමාන්ඩ් කරයි!

      Delete
  5. FB එකේ දැක්ක . අන්තිම පොත ගැන දනන් හිටියේ නැහැ

    ReplyDelete
    Replies
    1. අජිත් - තහනම් කළ පොත් දිග ලිස්ට් එකක් තියෙනවා. මෑත කාලේදී වැඩිපුර තහනම් වෙලා තියෙන්නේ සමරිසි බව, සිය දිවි නසා ගැනීම් වගේ දේවල් තියෙන පොත්. ඉස්සර කාලේ පීටර් රැබිට් ගේ කතා පවා තහනම් වෙලා තියෙනවා ඒ කතාවල හාවෝ ටික middle class වැඩියි කියලා! කාලෙන් කාලෙට මිනිස්සු හදාගන්නා කොටු සීමා මාරයි නේද?

      Delete
  6. නොදන්නා කරුණු ගොඩක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් දුමින්ද, මේ සටහන ලියද්දි කරුණු හොයද්දි තමයි මමත් සමහර පොත් තහනම් වෙලා තිබුණු බව දැනගත්තේ.

      Delete
  7. Perks of being wallflower movie එක හදන්න based උන පොතත් තහනම් කරල තියෙනව නෙහ්....

    movie එක නම් මාරයී...
    kind of self expression for me🥺

    ReplyDelete