“මේක කාල නාගයා ට.” ගංගා රාම් පීරිසියකට කිරි වත්කරමින් කීවේය. “හැම රෑ ම මම බිත්තියේ මුල්ලේ තියෙන මේ කුහරය ළඟින් කිරි පීරිසියක් තියනවා. උදේ වෙද්දී කිරි ටික අතුරුදන්.”
“ඕක බොනවා ඇත්තේ බළලා.”ළමෝ කීහ.
“බළලා!” ගංගා රාම් කේන්තියෙන් කෑ ගැසීය. “ඔය කුහරේ ළඟට මොනම බළලෙක් වත් යන්නේ නැහැ. කාල නාගයා තමයි ඕකේ ජීවත් වෙන්නේ. මම ඌට කිරි දෙන තාක් ඌ මේ ගෙදර කිසි කෙනෙක්ව දෂ්ඨ කරන්නේ නැහැ. බේබිලාට හිතේ හැටියට වත්තේ සපත්තු නැතිව සෙල්ලම් කරන්න පුළුවන්.”
ගංගා රාම් ගෙන් උපදෙස් ගන්නට අපගේ සූදානමක් තිබුණේ නැත.
“තමුසේ මහා මොඩ බ්‍රාහ්මින් කාරයෙක්,” මම කීවෙමි. “තමුසේ දන්නේ නැතිද නයි කිරි බොන්නේ නැති බව? බිව්වත් දවස ගානේ කිරි පීරිසියක් බොන්නේ නැති බව? අපේ සර් කීවා සර්පයෝ කෑම කන්නේ දවස් කීපයකට සැරයක් කියලා. දවසක් අපි දැක්කා ගෙම්බෙක් ව ගිලපු ගැරඬියෙක් ව. ඒ ගොදුර දවස් ගානක් යනකම් ගුලියක් වගේ උගේ උගුරේ හිරවෙලා තිබුණා. ඒක දියවෙන්න සෑහෙන දවසක් ගතවුණා. අපේ ඉස්කෝලේ ලැබ් එකේ ස්ප්‍රීතු වල දාලා සර්පයෝ දුසිම් ගණන් තියෙනවා. ගිය මාසේ අපේ සර් නයි නටවන කෙනෙක්ගෙන් නයෙක් සල්ලිවලට අරන් තිබ්බා, ඌට දෙපැත්තටම දුවන්න පුළුවන්! උගේ වලිගෙත් ඔලුවකුයි ඇස් දෙකකුයි තියෙනවා. ඌ ව දාන්න හිස් බෝතලයක් නොතිබුණු නිසා පොළඟෙක් හිටිය බෝතලයකට දැම්මේ. බෝතලේ ඇතුළේ නිකම් කුණාටුවක් වගේ වුණා එකපාරට. දිරාපත්වෙමින් තිබුණු පොළඟා ව නයා තත්පරෙන් කීතු කීතු කළා.”
ගංගා රාම් භක්තිය නිසා උපන් ත්‍රාසයෙන් තම දෑස් වසාගත්තේය.
“මේ කියන දේවල් වලට බේබිලාට කවදාහරි පටිසන් දෙනවා..ඔව්, ඔව් පටිසන් දෙනවා…”
ගංගා රාම් සමඟ තර්ක කිරීමේ පලක් නොවිණි. හැම යහපත් හින්දු බැතිමතෙකු මෙන්ම ඔහු ද බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන බල ත්‍රිත්වය, එනම් මැවීම, සුරැකීම සහ විනාශ කිරීම යන බලයන් ගැන විශ්වාස කළේය. මේවා අතරින් ඔහු වඩාත්ම භක්තිමත් වූයේ විෂ්ණු ගැන වූ අතර හැම උදෑසනක ම ඔහු සඳුන් ආලේපනයෙන් V ලකුණක් තම නළලතේ සටහන් කළේය. බ්‍රහ්මින් කුලයට අයත් වූවත් ඔහු සාක්ෂරතාවයෙන් තොර වූ අතර මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටියේය. ඔහුට අනුව නම් සෑම ජීවියෙකුම - සර්පයන්, ගෝනුස්සන් සහ පත්තෑයන් පවා - පුජනීය විය. මෙවැනි සතෙකු ඇස ගැටුණු විට ඔහු උන් ව ඉක්මණින් වසන් කළේ අප උන්ව මරණු ඇතැයි බියෙනි. අප බැඩ්මින්ටන් පිති වලින් පහර දුන් දෙබරුන් ව ඔහු බේරාගෙන උන්ගේ කැඩුණු තටු පිරියම් කරමින් සාත්තු කළේ ය. ඇතැම් අවස්ථාවලදී මේ දෙබරුන් ඔහුට දෂ්ඨ කළ නමුත් එයින් ඔහුගේ භක්තිමත් බව වෙනස් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. යම් සතෙකුගේ විෂ සහිත බව වැඩි නම් ගංගා රාම් ඌට දැක්වූ භක්තිය වැඩි විය. සර්පයන් ගැන ඔහු දැක්වූ උනන්දුව මීට උදාහරණ වූ අතර ඒ අතරිනුත් කාල නාග නම් සර්පයාට ඔහු තදින් බැඳී සිටියේය.
“අපිට උඹේ කාල නගයාව අහු වුණොත් අපි ඌව මරලා දානවා.”
“මම ඒකට ඉඩ තියන්නේ නැහැ. ඌ බිත්තර සීයක් දාලා තියෙන්නේ. ඌව මැරුවොත් බිත්තර සීයෙන් නයි පැටවු සීයක් එළියට ඇවිත් මේ ගේ පුරාම යයි. එතකොට බේබිලා මොකද කරන්නේ?”
“එතකොට අපි උන්ව පණ පිටින් අල්ලලා බොම්බායට යවනවා. එහෙ උන්ගේ විෂ දොවලා ගන්නවලු නයි විස නසන බෙහෙත් හදන්න. පණ ඇති නයෙකුට රුපියල් දෙකක්ම ගෙවනවා ලු. එතැනම රුපියක් දෙසීයක්නේ!”
“බේබිලා ඔය කියන දොස්තරලාට කිරි බුරුළු ඇති, මොකද නයින්ගේ විෂ දොවන්න කිරි බුරුළු තියෙනවා මම දැකලා නැහැ. ඒත් මූට නම් කිට්ටු කරන්න හිතන්න වත් එපා. මේ කාල නාගයාට වියත් තුනක් විතර මහා විසාල පෙනයක් තියෙනවා,” ඔහු පෙනයක් සේ දෑත හිස මතින් අල්ලා දෙපැත්තට වැනෙන්නට විය. “ඌ තණ බිස්සේ අව්ව තපිනවා බලන්න වටිනවා”
“ඒකෙන්ම පේනවා උඹ කීව බොරු වල තරම. එහෙම පෙනයක් තියෙනවා නම් ඌ පිරිමි සතෙක්. එහෙනම් ඌ අර බිත්තර සීය දැම්මා වෙන්න බැහැ. ඒවා දාන්න ඇත්තේ උඹම තමයි”
කොලු රැළ මහා හඬින් සිනාසෙන්නට වූහ.
“ඒවා ගංගා රාම් බිත්තර, ළඟදීම අපිට ගංගා රාම් පැටවු ලැබෙනවා!”
මෙයින් ගංගා රාම් ගේ සිත බලවත් සේ රිදිණි. සාමාන්‍යයෙන් නිවසක මෙහෙකරුවෙකු ට මෙවැනි අපහාස ලැබීම සාමාන්‍ය දෙයක් වූවත් නිවසේ දරුවන් අතින් මෙසේ ලැජ්ජාවට පත් වීම ඔහුට පවා ඉසිලිය නොහැකි විය .ඔවුහු නිරතුරුවම ඔවුන්ගේ අලුත් මනස්ගාත අදහස් කියමින් ඔහු ව පාච්චල් කළහ. එපමණක් නොව ඔවුන් කිසි විටක වත් දේව වාක්‍ය පොත කියවූයේ නැත. අවිහිංසාව ගැන මහත්මා ගාන්ධි කී දේවල් පවා ඔවුහු පිළිපැද්දේ නැත. ඔවුන්ගේ උනන්දුව තිබුණේ කුරුල්ලන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ හැකි තුවක්කු ගැනත් සර්පයන් ගිල්වා මරා දැමිය හැකි ස්ප්‍රීතු ගැනත් පමණි. තමන් අදහන පිළිවෙලට හැම ජීවියෙකුම උතුම් බව ගංගා රාම් දිගටම විශ්වාස කළේය. නොකඩවා සර්පයන් ආරක්ෂා කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේ උන් දෙවියන් මැවූ සතුන් අතරින් විසකුරුම වර්ගය වූ බැවිනි. උන් ව නොමරා උන්ට ආදරය කළ හැකි නම් ඒ තර්කය ඔප්පු වන බව ඔහු නිතරම පැවසුවේය..
ගංගා රාම්ට ඔප්පු කිරීමට අවශ්‍ය වූ තර්කය පැහැදිලි වූයේ නැතත් නයා වෙසෙන ගුල අසල කිරි පීරිසියක් තැබීමෙන් සහ උදෑසනදී එය අතුරුදන් බව දැකීමෙන් ඔහුගේ යම් තර්කයක් නම් ඔප්පු විය.
දිනක් අපි කාල නාගයා ව දුටුවෙමු. පෙරදා රාත්‍රියේ දරුණු ලෙස මෝසම් වැසි ඇද හැලී තිබිණි. ගිම්හානයේ කුරිරු උණුසුම නිසා වේලී කර වී තිබුණු මහා පොළොව ජීවයෙන් උතුරමින් පසු විය. කුඩා දිය කඩිති වල ගෙම්බන් කෑ ගසමින් සිටි අතර මඩ වූ පොළොවෙන් ගැඩවිලුන්, පත්තෑයන් සහ කුරුමිණියන් සිය ගණනක් මතු විය. තැන තැන තණකොළ මතු වී, කෙසෙල් පත් කොළ පැහැයෙන් බැබලෙමින් තිබිණි.
කාල නාගයා ගේ ගුල වැහි වතුරෙන් පිරී තිබුණු බැවින් ඌ තණ බිස්සේ වැතිරී සිටියේය. උගේ කළු පැහැති පෙනය අව්වට දිලිසුණි. අඩි හයක් තරම් දිග වූ ඒ නාගයා මගේ අතක් තරම් වට ප්‍රමාණයෙන් යුතුව තරබාරු ව පෙනුණි.
“අන්න නයෙක්, ඌ ව අල්ලමු!”
එදින පොලොව ලිස්සනසුලු වූ බැවින්ද, කානු සහ අනෙත් විවර වැසි දියෙන් වැසී ගොස් තිබුණු බැවින් ද, ගංගා රාම් නිවසේ නොසිටි බැවින් ද කාල නාගයාට බේරීමට ක්‍රමයක් තිබුණේ නැත.
දිග බට කෝටු රැගෙන අප ඌ ව වට කළේ ඌ ට අපගේ ඉව දැනෙන්නටත් පෙර ය. ඌ අප ව දුටු විට උගේ දෑස ගිනි රතු පැහැයක් ගත් අතර ඌ සතර අතට පිඹිමින් එසැණින් කෙසෙල් ගාලට ඇදී යන්නට විය. නමුත් පොළොවේ වූ මඩ ගතිය නිසා අඩි පහකට වඩා ඇදී යාමට පෙර පිට හරහා කෝටුපහරක් වැදී ඌ අඩපණ විය. ඉනික්බිති පහර පිට පහර වැදුණු බැවින් බරපතල ලෙස තුවාල ලැබූ ඌ අන්තිමේදී දිස් වූයේ මඩ සහ ලේ වැකුණු කළු- සුදු ජල්ලියක් ලෙසිණි. එහෙත් උගේ හිසට හානි සිදුව තිබුණේ නැත.
“පෙනයට ගහන්න එපා,” එක කොලුවෙක් කෑ ගැසුවේය. “අපි මූව ඉස්කෝලෙට අරගෙන යමු”
බට කෝටු වලින්ම ඔසවා අඩපණ ව සිටි නාගයා ව විස්කෝතු ටින් බඳුනකට දමා ගන්නට අපි සමත් වූයෙමු. ඉනික්බිති එය ලණුවකින් ගැට ගසා ඇඳ යට සඟවා තැබුවෙමු.
ඒ රාත්‍රියේ ගංගා රාම් නාගයාට කිරි පීරිසිය තබන තෙක් මම හොර ගල් ඇහිලුවෙමි.
“අද කාල නාගයාට කිරි තියන්නේ නැද්ද?”
“මම තියන්නම්, බේබි නිදාගන්නකො” ඔහු නොරිස්සුමෙන් කීවේය.
ඊට වඩා ඒ ගැන කතා කිරීමට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත.
“ඌ ට ආයෙත් නම් කිරි ඕන වෙන්නේ නැහැ”
මෙය අසා ගංගා රාම් මොහොතක් නිසොල්මන් විය.
“නෑ මම මේ කිව්වේ වැස්ස නිසා ඕන තරම් ගෙම්බෝ ඉන්නවනේ. උඹේ කිරි වලට වඩා ගෙම්බෝ රස ඇති. අනික උඹ කවදාවත් කිරි වලට සීනි දාන්නෙත් නැහැනේ”
ඊට පසු දින ගංගා රාම් කිරි සහිත පීරිසිය නැවත ගෙන ආවේය. ඔහු බුම්මාගෙන සිටි අතර ඔහුගේ මුහුණෙන් සැකයක් දිස් විය.
“මම උඹට කිව්වා සර්පයෝ කිරි වලට වැඩිය ගෙම්බෝ කන්න කැමතියි කියලා”
අප පාසල් යාමට සූදානම් වෙද්දී ගංගා රාම් අප අවටම ගැවසෙමින් පසුවිය. පාසල් බස් රථය පැමිණි විට නාගයා සහිත ටින් එකද අතින් ගෙන දනි පනි ගා අප එයට නැඟ ගත්තෙමු. බස් රථය පිටත් වෙද්දීම අප ටින් බඳුන ඔසවා ගංගා රාම් ට පෙන්වා මෙසේ කීවෙමු.
“උඹේ කාල නාගයා මේ ටින් එකේ හොඳ පරෙස්සමට ඉන්නවා. අපි ඌව ස්ප්‍රීතු වල දාන්න ඉන්නේ”
බස් රථය ඈතට ඇදී යද්දී ගංගා රාම් තම සවනට වැකුණු දේ අදහා ගනු නොහැකිව, විවර මුවින් යුතුව දෑස් අයාගෙන බලා සිටිනු පෙනුණි.
එදින පාසලේදී මහත් උද්යෝගයක් ඇති විය. සහෝදරයන් වන අප සිව් දෙනා අපගේ මුරණ්ඩු බව නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි අයයි. මේ සිද්ධියෙන් ඒ බව තවත් තහවුරු වී තිබිණි.
“විසාල නයෙක්”
“අඩි හයක් දිගයි!”
නයා සහිත විස්කෝතු ටින් බඳුන විද්‍යා ගුරුවරයාට ඉදිරිපත් කරන ලදී. අපට අවශ්‍ය වූයේ ඔහු අපගේ දඩයම අගය කරනු ඇසීමයි. නමුත් මේ ගැන ගණන් නොගත් බවක් පෙන්වූ ඔහු අපට විසඳන්නට විද්‍යා ගැටළු කිහිපයක් ලබා දුන්නේය. මෙසේ ටික වෙලාවක් ගතවූ පසු ඔහු තම ඩැහි අඬු අතට ගත්තේ තාලයක් මුමුණමිනි. තවත් විෂ සර්පයෙකු ස්ප්‍රීතු වල බහා තිබුණු වීදුරු බෝතලයක් ද ලං කරගත් ඔහු විස්කෝතු ටින් බඳුන ගැට ගසා තිබුණු ලණුව ලෙහන්නට විය.
ලණුව තරමක් බුරුල් වූ සැණින් එහි පියන වීසි වී ගියේ ගුරුතුමාගේ නහය යන්තමින් මඟ හරිමිනි. ටින් බඳුනෙන් නැගී සිටියේ රතු අඟුරු මෙන් දිලිසෙන දෑස් සහිත කාල නාගයා ය. කිසිදු හානියක්වී නොතිබුණු උගේ පෙනය විහිදී තිබිණි. එක්වරම වේගයෙන් පිඹින්නට වූ නාගයා ගුරුතුමාගේ මුහුණට පහර දෙන්නට පැන්නේය. පුටුවද පෙරළාගෙන බිය වී පස්සට පැන බිමට ඇද වැටුණු ගුරුතුමා බියෙන් ගල් වී නයා දෙස දෑස් අයා බලා සිටියේය. පන්තියේ ළමෝ තම ඩෙස්කු මතට නැඟී වියරුවෙන් කෑ ගැසූහ.
කාල නාගයා ලේ රත් පැහැති දෑසින් හාත්පස බැලුවේය. උගේ බෙදුණු දිව වරින් වර මුවින් මතුවනු පෙනුණි. නොකඩවා වේගයෙන් පිඹිමින් උන් ඌ එක්වරම නිදහස සොයා යන්නට තීරණය කළේය. මේසය මත වූ ටින් බඳුනෙන් මිදී බිමට වැටුණු ඌ තම බිඳුනු සිරුර අද්දවමින් වේදනාවෙන් මිරිකෙමින් බිම දිගේ ඇදී යන්නට විය. ඔහු එළිපත්තට එළඹුණු විට නැවත පෙනය විහිදුවේ එහි තවත් අනතුරක් දක්නට තිබුණු බැවිනි.
පන්ති කාමරයෙන් පිටත පීරිසියක් සහ කිරි ජෝගුවක් අතැතිව ගංගා රාම් සිටගෙන සිටියේය. කාල නාගයා තමන් වෙතට ඇදී එනු දුටු සැණින් ඔහු බිම දණ ගසා පීරිසියට කිරි වත් කර එය දොරකඩින් තැබුවේය. ඉනික්බිති දෑත එක් කර නළල බිම ඔබා ඔහු වැඳ වැටුණේ නාගයාගෙන් සමාව ඉල්ලන ලීලාවෙනි. එහෙත් මහත් සේ කැළඹී, අධික කෝපයෙන් සිටි නාගයා පිඹිමින් ගංගා රාම් ගේ හිසට පැන කිහිප වරක් දෂ්ඨ කළේ ය. ඉන්පසු ඌ ඉතාමත් අපහසුවෙන් ඇදී ගොස් කාණුවට රිංගා අතුරුදන් විය.
තම මුහුණ දෑතින් වසාගෙන ගංගා රාම් බිමට ඇද වැටිණි. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියේය. නයි විෂ ඔහුව සැනෙකින් අන්ධ කර තිබුණු අතර විනාඩි කිහිපයක් යද්දී ඔහු සුදුමැලි වී කටින් සෙම දමන්නට විය. ඔහුගේ නළලේ මතු වී තිබූ ලේ බිඳු ගුරුතුමා තම ලේන්සුවෙන් පිස දැමුවේය. ගංගා රාම්ගේ නළලේ සඳුන් ආලේපනයෙන් ඇඳ තිබුණු V අකුරට යටින් කාල නාගයා දෂ්ඨ කළ තැන පැහැදිලි ව පෙනුණි.
Translation of the story ‘Mark of Vishnu’ bu Kushwant Singh
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව - මාර්තු 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)
Photo generated by Canva AI
No comments:
Post a Comment