January 07, 2025

ගිනිකූරු විකිණූ දැරිය

වසරේ අවසාන දිනය වූ එදින, හිම වැටෙන, බෙහෙවින් සීතල දිනයක් විය. රාත්‍රිය එළඹෙමින් තිබිණි. මේ වෙලාවේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටි දුගී දැරිය හිස් වැස්මක් වත් පාවහන් වත් රහිතව සිටින බවක් පෙනුණි. ඇය නිවසින් නික්මෙද්දී අගේ දෙපයේ සෙරෙප්පු යුගලක් තිබුණු බව සත්‍යය වූවත් ඒවායින් ඇති පල කුමක්ද? ඒ ඇගේ මව පාවිච්චි කළ සෙරෙප්පු නිසා ඒවා ඇගේ දෙපයට විශාල විය. වේගයෙන් ගමන් කළ අශ්ව රිය දෙකක ගැටීමෙන් බේරීමට ඈ දිව යද්දී ඒවා ඇගේ දෙපයින් ගිලිහී ගොස් තිබිණි.

ඉන් එක් සෙරෙප්පුවක් සොයාගන්නටවත් නොමැති වූ අතර අනෙක හිඟන කොලුවෙකු විසින් ඩැහැගෙන යන ලදී. තමන්ට දරුවෙකු ඇති කලක ඒ සෙරෙප්පුව තොටිල්ලක් ලෙස පාවිච්චි කිරීම ඔහුගේ අදහස විය. අන්තිමේදී කුඩා දැරිය ඇගේ නිරුවත් කුඩා දෙපයින්ම ගමන් කළ අතර ඒ දෙපය සීතලෙන් නිල්- රතු වී තිබිණි. ඈ පරණ ඒප්‍රනයක සාක්කුවේ ගිනිකූරු මිටි කීපයක් බහාගෙන සිටි අතර තව එක් මිටියක් ඇගේ අතේ විය. ඒ දවස පුරාවටම කිසි කෙනෙකු ඇගෙන් එක් ගිනිකූරු මිටියක් වත් මිළට ගෙන තිබුණේ නැත. ඇයට කිසිවෙකු වත් සතයක් හෝ දී තිබුණේ නැත.

කුසගින්නෙන් සහ සීතලෙන් පීඩිතව වෙව්ලමින් ඈ හෙමි හෙමින් ඉදිරියට ගියා ය. ඇගෙන් දිස් වූයේ ශෝකයේ ප්‍රතිමූර්තියකි.

ඇගේ ගෙල දෙපස වූ අලංකාර, රන්වන්, කැරළි කෙස් ඇදහැලෙන හිම කැටි වලින් වැසෙන්නට වූවත් ඇයට ඒ ගැන වගක් තිබුණේ නැත. වටපිට ගොඩනැගිලි වල කවුළු අතරින් ඉටිපන්දම් එළි දිලිසෙමින් දිස් විය. රෝස්ට් කළ පාත්ත මස් සුවඳ දසත විහිදිණි. එය නව වසර උදාවට පෙර දවස බව ඇයට සිහි විය.

නිවෙස් දෙකක් අතර මුල්ලක බිම හිඳගත් ඈ සීතලෙන් මුවා වීමට උත්සාහ කළාය. තම කුඩා දෙපය තමන්ගේ සිරුර වෙතට ලං කරගත් නමුත් ඈට වැඩි වැඩියෙන් සීතල දැනෙන්නට විය. ඒ දවසේ කිසිම වෙළඳාමක් නොකර, කිසි ආදායමක් උපයා නොතිබුණු බැවින් ඈ ආපිට තම නිවසට යාමට සිතුවේ නැත. එසේ ගියහොත් නිසැක ව ම ඇගේ පියා ඇයට පහර දෙන බව ඈ දැන සිටියාය. අනෙත් අතට තම නිවසද මෙතරම්ම සීතල විය. එහි හිසට ඉහළින් පියසක් තිබුණද, එහි විශාල හිඩැස් පිදුරු සහ රෙදි කැබලි ආදියෙන් වසා තිබුණද ඒ අතරින් සුළඟ උරුවම් බාමින් හමා ගියේය.

මේ වෙද්දී ඇගේ කුඩා දෑත සීතලට සම්පූර්ණයෙන් මෙන් හිරි වැටී තිබිණි. අහෝ! එක ගිනිකූරක් කොයිතරම් සහනයක් ගෙනෙනු ඇතිද! ගිනිකූරු මිටියෙන් එකම එක ගිනිකූරක් පිටතට ගෙන එය බිත්තියේ ගාවා දල්වා තම ඇඟිලි ඉන් උණුසුම් කරන්නට ඇත්නම්! මෙසේ සිතූ ඈ ඉන් එකක් පිටතට ගත්තාය. “රිෂ්!” එය ඇවිලුණු හැටි, ගිනිගත් හැටි! ඉන් නික්මුණේ ඉටිපන්දමක වැනි ආලෝකයකි. ඈ අත්ලෙන් ඒ එළිය මුවා කරද්දී ඈට දැනුණේ එය අපූරු දිලිසුමක් බවයි. පිත්තල පාද සහ කැටයම් සහිත විශාල වානේ උදුනක් ඉදිරිපස තමන් වාඩිවී සිටින බවක් ඇයට දැනුණි. ඒ ගින්න දැවුණේ මහත් උද්යෝගයෙනි, ඉන් ලැබුණු උණුහුම සතුට ගෙන එන්නක් විය. කුඩා දැරිය උණුසුම ලැබීමට තම දෙපා ද දිගු කළා ය- නමුත් හදිසියේම ඒ කුඩා ගිනි දැල්ල නිවී ගිය අතර ඒ සමඟම උදුන ද අතුරුදන් විය. ඇගේ අතේ ඉතිරිව තිබුනේ දැවුණු ගිනිකූර පමණි.

ඈ දෙවෙනි ගිනි කූරත් දැල්වූවාය. එය දැවෙද්දී විහිදුණු දීප්තිමත් ආලෝකය අසල බිත්තිය මතට වැටී එය වේල් පටක් සේ දුහුල් වූයේ ඇයට ඒ නිවසේ ඇතුළත පෙනෙන ලෙසයි. කෑම මේසය මත හිම මෙන් සුදෝ සුදු මේස රෙද්දක් අතුරා තිබුණු අතර ඒ මත වටිනා පිඟන් කට්ටලයක් දක්නට විය. එක් පලංගානක ඇපල් සහ වියළි ප්ලම් පුරවා රොස්ට් කළ පාත්තයෙකු දුම් දමමින් තිබිණි. නමුත් වඩාත්ම පුදුම සහගත කාරණාව නම් ඒ පාත්තයා හදිසියේම මේසයෙන් බිමට පැනීමයි. ඌ පපුවේ ඇනුණු හැන්දකුත් ගෑරුප්පුවකුත් සහිතව ඒ මේ අත වැනෙමින් කුඩා දැරිය අසලටම එද්දී - හදිසියේම දෙවෙනි ගිනිකූරත් නිවුණි. ඉනික්බිති එතැන ඉතිරි වූයේ ගනකම්, තෙත, සීතල බිත්තිය පමණි. ඈ තවත් ගිනිකූරක් අතට ගත්තාය. දැන් ඇය සිටියේ විසිතුරු ලෙස සරසන ලද නත්තල් ගසක් යටයි. එය ඇය පෙර වේලාවක ධනවත් වෙළෙන්දාගේ නිවසේ වීදුරු දොරවල් තුළින් දුටු නත්තල් ගසටත් වඩා විශාල විය.

නත්තල් ගසේ කොළ පැහැති අතු ඉති අතරින් විදුලි බුබුළු දහස් ගණනක් දැල්වෙමින් තිබිණි. ඒ අතර ඈ සාප්පු කවුළු වල දැක ඇති අන්දමේ විසිතුරු ලෙස පාට දිලුණු සිතුවම් වූ අතර ඒවා ඈ දෙස බලා සිටිනවා මෙන් පෙනුණි. ඒ විසිතුරු අල්ලන්නට දැරිය අත දිගු කළ සැණින් ඒ ගිනිකූරත් නිවී ගියේ ය. නත්තල් ගසේ විදුලි එළි ටිකෙන් ටික ඉහලට එසවෙනු ඈ දුටුවාය. නොබෝ වේලාවකින් ඒවා දෙව්ලොව තරු ලෙසින් පෙනෙන්නට වී හදිසියේම ඉන් එකක් පොළොවට කඩා වැටී එහි දිගු ගින්දර සලකුණක් ඉතිරි කළේය.

“කවුරු හරි මැරිලා!” දැරිය කීවාය. ඇයට ආදරය කළ එකම පුද්ගලයා වන ඇයගේ මියගිය අත්තම්මා ඈ ට කියා තිබුණේ තරුවක් කඩා වැටුණු විට කිසිවකුගේ ආත්මයක් පොළොවෙන් නික්මී දෙවියන් වෙත යන බවයි.

ඇය තවත් ගිනිකූරක් දැල්වූවා ය. යළිත් වතාවක් ආලෝකය පැතිරෙද්දී ඒ මැද සිටියේ ඇගේ අත්තම්මා යි. දිදුලමින්, බැබලෙමින් සිටි ඇයගේ මුහුණේ තිබුණේ ආදරබර පෙනුමකි.

“අත්තම්මා!” දැරිය කෑ ගැසුවාය. “අනේ මාව ඔයා එක්ක එක්කගෙන යන්න. ගිනිකූරු නිවෙද්දී හැම දේම අතුරුදන් වෙනවා, උණුසුම් උදුන, රසම රස රෝස්ට් කළ මස්, ලස්සන නත්තල් ගහ, මේ හැම දෙයක්ම!” මෙසේ කියා ඈ ගිනිකූරු මිටියක්ම බිත්තියේ අතුල්ලා දැල්වූවාය. ඈට වුවමනා වූයේ ඇගේ අත්තම්මා ව තමන් සමීපයේ තබා ගැනීමටයි. ගිනිකූරු දැල්වෙද්දී විසිරුණු ආලෝකය මධ්‍යහ්නටත් වඩා දීප්තිමත් විය. ඇයට අත්තම්මා මෙතරම් අලංකාරව, මේතර උස් ව කවදාවත් පෙනී නැත. අත්තම්මා කුඩා දැරියගේ අතින් අල්ලාගත් පසු දෙදෙනාම දිලිසෙන ආලෝකය වෙතට සතුටින් පියාඹා ගියෝය. ඔවුන් ගිය පෙදෙසේ සීතලවත්, කුසගින්න වත්, සිත් තැවුල් වත් තිබුණේ නැත. ඔවුන් සිටියේ දෙවියන් සමඟයි.

පසු දිනට එළිවන සීතල හෝරාවේදී වීදිය අයිනේ නිවසක බිත්තියට වාරු වී දැරිය හිඳ සිටියා ය. ඇගේ දෙකොපුල් රෝස පැහැයෙන් දිලිසුණු අතර මුවේ මඳ

සිනාවක් විය. ගෙවී ගිය වසරේ අවසන් රාත්‍රියේ ඈ අධික සීතල නිසා මියැදී සිටියාය. දරදඬු ව සිටි ඇයගේ අතේ තිබුණු ගිනිකූරු මිටි අතුරින් එකක් පමණක් පිලිස්සී අවසන් ව තිබිණි. “ඇයට උණුහුම් වෙන්න වුවමනා වෙන්න ඇති,” එය දුටු මිනිස්සු කීහ. ඈ දුටු විසිතුරු සුන්දර දේ ගැන කිසිවෙකු හීනෙන් වත් අනුමාන කළේ නැත. නව වසර උදා වෙද්දී කුඩා දැරිය තම අත්තම්මා සමඟ පිවිසුණු ඒ උත්කර්ෂවත් පෙදෙස ගැන කිසිවෙකුට ඉඟියක් වත් ලැබී තිබුණේ නැත.

Translation of the short story ‘The Little Match-Seller’ by Hans Christian Anderson

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


සිසිල සඟරාව - ජනවාරි 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Photo generated by Canva AI




4 comments:

  1. මේ කතාව කියවල තියෙන වාර ගාන අපමණයි. කෙටි කතාවක් විදිහට බාසා දෙකෙන්මත්, කාටුන් එකක් විදිහටත් බලල තියනවා. ඒත් කොච්චර කියෙව්වත් එපා නොවන කතාවක්.

    මගේ කාර් කට්ටෙ එක රෝදෙක හෙමීට හුලං බහින ලෙඩක් තියනවා. ඝණ සැරේට වින්ඩ්-චිල් එක තියෙන උදේක, රෝදෙට හුලං ගහන ඝර්ම කලාපීය බස්සෙක්, ඇට කටු හීතල වෙන මෙටල් කප් එකක අත වැදුනාම, නොදැනුවත්වම කියවෙන නරක වචනයක්. ටි.....කාක් විතර,ගිනිකූරු විකිණූ දැරියගෙ හැඟිම අත්විඳලා තියනවා.🤔

    ReplyDelete
    Replies
    1. මේක කියවපු හැමෝම මේක කලින් කියවපු බව , ටීවී එකේ බලපු බව කියලා තිබුණා, බලාගෙන ගියාම මං විතරයි ඒක කලින් කියවලා/ දැකලා නැත්තේ :D

      //ඝණ සැරේට වින්ඩ්-චිල් එක තියෙන උදේක// ඕකනේ බස්සෝ අපි හිම වැටෙන්නේ නැති පැත්තකට සංක්‍රමණය උනේ! මෙහෙ ලාමක වින්ටර් පවා දරන්න බැරි මම එහෙනම් වින්ඩ් චිල් වෙලාම මැරිලා.

      Delete
    2. ඔහෙට කියන්න නෝනෙ, මම ඩුබායි වලදි මුන ගැහිච්ච ජර්මන් කාරයෙක් " බොට පයිත්තියන්ද?" කියල ඇහැව්වා, මේ හිම කතරට එනකොට. ඒත් පුදුමෙ කියන්නෙ, දැන් මගෙ කැමතිම ඉර්තුව තමයි වින්ටර් එක. මම ඉන්න පෞරාණික එපාර්ට්මන්ට් එකේ තියෙන්නෙ හීට් කන්ට්‍රෝල් නැති හොට් වෝටර් රේඩියේටර්. ඒත් මූකලං බස්සො ඒවට සැලෙන්නෙ නෑ. ජ්නේලෙ අරින ප්‍රමාණය ගානට සීරු-මාරු කලාම අගේට හීට් එකයි, ෆ්‍රෙෂ් එයාර් එකයි දෙකම කන්ට්‍රෝල් වෙනවා.

      යාන්තමට හීතල ඉන්න හදාගෙන, ඝණකම බූල් පොරෝනෙ අස්සට රිංගුවාම, ආයෙ මොනවද සැප කනේ. එලියෙ සීතලේ ගල් වෙලා ඉඳල ඇවිත් බොන උණු කෝපි එකක උනත් තියෙන්නෙ අමුතුම ආතල් එකක්.

      Delete
  2. බස්සා නම් හැම අතින්ම comfort zone එක හදාගෙන වගේ. කතාව අහල නැහැ කලින්.
    ඛේදජනක වුනාට කියවන අපේ හිතේ බරක් ඉතුරු නොකරන්ට ඇන්ඩර්සන් ලොක්ක වග බලාගෙන තියෙනවා.

    ReplyDelete