November 09, 2026

බාලිකාවට ආ භූතයෝ

හොල්මන් ගැන භූතයෝ ගැන බයෙන් බයෙන් වුණත් අහන්න අපි ස්වභාවයෙන්ම කැමතිනේ. බස්සාගේ බ්ලොග් එකේ හොල්මන් කතාවට මම කමෙන්ට් එකක් දැම්මා දෙලොවක් අතර බාලිකාවේ අපිට නම් හොල්මන් nothing කියලා. විහිලුවට කීවාට ඒකට ඇත්තම නිධාන කතාවකුත් තියෙනවා. භූතයන්ට බය නැති බාලිකාවන්ගේ වික්‍රමයක් තමයි මේ.

දෙලොවක් අතරේ බාලිකාව නොදන්නා කෙනෙක් නැතිව ඇති මයේ හිතේ. කාසල් මාතෘ රෝහලටත් බොරැල්ල කනත්තටත් මැදිවෙලා තියෙන දේවි බාලිකාවට ඒ කාලේ ඉඳන් පට බැඳුණු නම තමයි දෙලොවක් අතර බාලිකා. ඉතින් ඒකෙ ඉගෙනගත්තු අපට උපතත් විපතත් එකම දවසේ දකින්න ලැබුණේ අර තැන් දෙකට යන එන අය ඉස්කෝලේ ඉස්සරහින් එහෙට මෙහෙට ගිය නිසා. පුංචිම පුංචි මිනී පෙට්ටියක් අරගෙන රෝහලේ ඉඳන් පයින්ම කනත්තට යන මව්පියෝ දැකලා හිත කඩා වැටුණු දවසුත් තිබුණා. ඒවා ඉතින් අතුරු කතා. 

කනත්තට එහා වත්තේ නිසා ඉස්කෝලේ ගොඩනැගිලි වල උඩ තට්ටුවලට කනත්තේ මළ ගෙවල් වගේම ආදාහනාගාරය හොඳටම පෙනුණා. මේවා දැකලා දැකලා ඇත්තටම අපට ඒ කාලේ මරණයත් බොහොම සාමාන්‍යකරණය වෙලා තිබුණේ. ඒ නිසා වෙන්නැති එක කාලෙකදී අපේ පන්තිවල ළමයි විනොදෙට භූතයෝ ගෙන්නන සෙල්ලම කරන්න ගත්තේ. 

මේක වුණේ උසස් පෙළ පන්තිවලදී. අපේ පන්තියට එහා පන්තියේ කෙල්ලෙකුට 'භූතයෝ ගෙන්නන්න පුළුවන්' කියන රාවය පන්ති අතරේ පැතිරුණේ විදුලි වේගයෙන්. ඒ දවස්වල ඕනෑම non-academic වැඩකට එක පයින් සූදානම් වෙලා හිටිය අපි දෙසැරයක් නොහිතා මේ වැඩේට සම්බන්ධ වුණා. ඒ කාලේ මේවාට කියන හරි නම් දැනගෙන නොහිටියාට එතැන වුණේ Ouija board කියන වැඩේ. පරණ බ්‍රිස්ටල් බෝඩ් එකක රවුමට ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටිකත්, 1-9 ඉලක්කම් ටිකත්, yes/ no වචන දෙකත් ලියන එකයි මූලික පියවර. ඉන්පස්සේ බෝතලයක් මූඩියක් අරගෙන අර ගෑනු ළමයා (අපි එයාට මධුකා කියමු) මොනවදෝ ඒකට මුමුණනවා. ඉන්පස්සේ ඒ මූඩිය අර කොලේ උඩින් තියලා ඊට අඟල් දෙක තුනක් උඩින් මධුකා ඇඟිල්ල අල්ලාගෙන ඉන්නවා. මිත්‍රවරුනි, ඇස් දෙකෙන් දැක්ක නිසායි විස්වාස කළේ, එහෙම තිබ්බාම ඒ මූඩිය අර කොලේ උඩින් හැටට හැටේ දිව්වා! හිස් පන්ති කාමරයක, ලී ඩෙස්කුවක, කෙල්ලෝ විස්සක් තිහක් වටවෙලා ඉන්දැද්දී ඔය මූඩිය යටින් කාන්දමකින් ඇද්දාය, කම්බි දාලා ඇද්දාය කියන දේවල් කොහොමවත් ම වුණේ නැහැ කියලා මට සහතික වෙලා කියන්න පුළුවන්. මොකද ඒ ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳන් අගටම මම බලාගෙන හිටිය නිසා.

ඉතින් ඔහොම 'එන්නේ' භූතයෙක් හෙවත් මළ ගිය ප්‍රාණකාරයෙක් කියලා තමයි කට්ටිය කිව්වේ. ආව ගමන් භූතයා අර කොලේ වටේ බොහොම වේගෙන් රවුමක් දෙකක් යනවා. ඉන්පස්සේ තියෙන්නේ අපිට ප්‍රශ්න අහන්න. ඒ අහන ප්‍රශ්න වලට අර අකුරු, ඉලක්කම් yes/ no හරහා අර මූඩිය පාවිච්චි කරලා භූතයා උත්තර දෙනවා. අකුරෙන් අකුර දෙන උත්තරේ කවුරු හරි කඩදාසියක ලියාගන්න ඕන ඒ කියන වාක්‍යය හදාගන්න. ඕකට ඉතින් වෙලාව යනවා. ඒ නිසා "නම මොකක්ද?""මොන අවුරුද්දේද මැරුණේ?" "කොහෙද ගම?" වගේ දේවල් තමයි අපි වැඩියත්ම ඇහුවේ. 


ජෙමිනි දුන්නු Ouija Board එක 

ඉතින් කාලයක් තිස්සේ අපි free period එකක් ලැබුණොත් භූතයෝ ගෙන්නන වැඩේ කළා. හැබැයි මධුකා ට විතරයි ඒ 'ගෙන්නන' දක්ෂකම තිබුණේ. ඒ නිසා එයා තමයි ඒ කාලේ අපේ වීරවරිය. මේ වැඩේ මාරම විනෝදයක් මිසක් කිසි වෙලාවක අපට බයක් තිබ්බේ නැති බව නම් මතකයි. මළ ගිය ප්‍රාණකාරයෝ අතරත්  hierarchy එකක් තියෙන බවත්, වැඩියෙන් බලයක් තියෙන අය අවස්ථාව ලැබුණු ගමන් මනුස්ස ලෝකේ එක්ක සන්නිවේදනය කරන්න පොරකන බවත් මධුකා ම තමයි විස්තර කළේ. අපි මධුකාගේ මේ දැනුමත්, එයාගේ හැකියාවත් ප්‍රශ්න නොකළේ එයා බොහොම seriously ඒක කළ නිසා. එයා ඒවා දැනගත්තේ කොහොමද කියලා අදටත් අභිරහසක්.

මේ ආව 'භූතයෝ' අතරේ එක්කෙනෙක් දිගට දිගට විස්තර කිව්වා මට තාම මතකයි. එයා මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මැරුණු බවත්, එයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් අපේ ඉස්කෝලේ බවත් තමයි එයා කිව්වේ. බලද්දී එයා ඒ කියලා තියෙන්නේ අසූ ගණන්වල ඉස්කෝලේ හිටිය කෙනෙක් ගැන. අසූ ගෙවිලා ඒ වෙද්දී අනූ වලත් මැදක් දුරට ඇවිත් කිව්වාට මෝටර්සයිකල් පෙම්වතා ට ඒක තේරුම් ගන්න අමාරු වුණා. එයාට කතාකරන්න ගෑනු ළමයා ගෙනත් දෙන්න කියලා තමයි නොකඩවාම ඉල්ලුවේ.

අපි වෙලාවක් අවේලාවක් නැතිව භූතයෝ ගේන සෙල්ලම කරලා, අන්තිමේ ඉතින් වෙන්න නියමිත විදිහටම  එයින් සෙෂන් එකක් මැද්දට ගුරුවරියක් අහම්බෙන් ඇවිත් අතටම අහු වෙලා, සෙට් එකම නඩු අහන්න ගෙනිහින්, දඬුවම් ලැබිලා, අපේ හෝම් මේඩ් Ouija board එක රාජසන්තක වෙලා යන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඒකෙන් මේ සෙල්ලමට තිත තියන්න වුණා. අදටත් ඉඳහිට ඒ විස්තර මතක් වෙලා "මොකක්ද හැබෑට ඒ වුණේ?" කියලා කල්පනා වෙන වෙලාවල් තියෙනවා. ඇස් දෙකට දැක්ක නිසා මිසක් වෙන කෙනෙක් කිව්වා නම් මමත් මේ කතාව විස්වාස නොකරන බව ඒ එක්කම කියන්නත් වෙනවා! 

45 comments:

  1. The ghost of a dead cat walks into a bar at 3:00 AM carrying its severed tail and asks the bartender to reattach it, only to be told: "Sorry, we aren't allowed to retail spirits past 2:00 AM."

    ReplyDelete
  2. 1. The first night Trump spends in the White House, he is visited by the ghost of George Washington. He asks him, "George, what can I do to best serve the United States?"
    The ghost of George Washington responds, "Never tell a lie."
    He says, "Oh, I don't think I can do that."
    The next night, he is visited by the ghost of Thomas Jefferson. He asks him, "Thomas, what can I do to best serve the United States?"
    The ghost of Thomas Jefferson responds, "Listen to the people."
    He says, "Oh, I don't think I can do that."
    On the third night, he is visited by the ghost of Abraham Lincoln. He asks him, "Abraham, what can I do to best serve the United States?"
    The ghost of Abraham Lincoln responds, "Go see a play."

    2. "Now about those ghosts. I'm sure they're here and I'm not half so alarmed at meeting up with any of them as I am at having to meet the live nuts I have to see every day."
    - Bess Truman

    ReplyDelete
  3. Everyone attending a funeral should be given an Ouija Board for the sequel - PJ

    ReplyDelete
    Replies
    1. Thanks for the 'ghost jokes' Pra :D
      //Everyone attending a funeral should be given an Ouija Board for the sequel// true, but also need to allocate someone with medium abilities to power the Ouija board!

      Delete
  4. //පුංචිම පුංචි මිනී පෙට්ටියක් අරගෙන රෝහලේ ඉඳන් පයින්ම කනත්තට යන මව්පියෝ....//

    සන්තානං මෑණියනේ! ආයෙ මොන කතාද, චොකලට්ලතා? ඒ ටික දැක්කාම හිත කඩං වැටුනා.😞😢

    ReplyDelete
    Replies
    1. බස්සා - සමහර දේවල් තියෙනවනේ burnt in your memory කියන වර්ගයේ, මොනවා කරලාවත් අමතක කරන්න බැරි. මේකත් එහෙම සිද්ධියක්

      ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලේ අවට සූ ගාලා ළමයි පිරිලා හිටිය වෙලාවක කාසල් එක පැත්තේ ඉඳන් තරුණ ජෝඩුවක් බොහොම හෙමින් පදික වේදිකාව දිගේ ඇවිදගෙන ආවා. එයාලට අවට හිටිය කිසි කෙනෙක් ගැන වගක් තිබුණේ නැහැ. තාත්තා අඩියක් හමාරක් දිග පුංචි සුදු පාට මිනී පෙට්ටියක් අත් දෙකෙන් අරන් ආවේ නිදාගෙන ඉන්න බබෙක් පරෙස්සමෙන් අරන් එනවා වගේ. අම්මා ඉස්පිරිතාලේදී අඳින බෙඩ් ජැකට් එකයි චීත්තෙයි ඇඳගෙන හිටියේ. එයා එක අතක් මිනී පෙට්ටියට තියාගෙන අනිත් අතින් පිරිමි කෙනාගේ වැලමිටෙන් අල්ලාගෙන අමාරුවෙන් ඇවිද්දේ. වටපිට කිසි කෙනෙක් දකින්නේ නැතිව හීනෙන් ඇවිදිනවා වගේ එයාලා කනත්ත පැත්තට ඇවිදගෙන ගියා. දශක කීපයක් ගත වුණත් ඒ සිද්ධිය දකිද්දී දැනුණු කම්පනය මට තාම දැනෙනවා :(

      Delete
    2. ලෝකෙ මෙච්චරම අසාධාරණ ඇයි? එහෙම දෙමව්පියන්ගෙ දරු සම්පත් නැති කරන්නෙ ඇයි? ස්පෑම්/එග් ඩෝනර් දෙමාපියොන්ට දරුවො දුසිම් ගණන්!😞😟

      Delete
  5. මම හිතුවේ දෙලොවක් අතර කිව්වේ නිකං, අවට පාසැල් වල කොල්ලො හොල්මං කරවපු කෙල්ලො හිටිය නිසා කියලයි.
    හැබැයි එහෙම කතාත් ඇති නේද? මට තේරෙනවා, මගෙත් සමහර නොකී, නොකියන කතාත් තියනවා?🤔
    මේක නං නියම වැඩක්. ආන්න බලන්නකො ඒකෙත් හැටි? මේ අපූරු හොල්මන් ගේන්න මගේ කතාව පිදේනියක් වෙච්ච හැටි?

    ReplyDelete
    Replies
    1. එහෙම කොල්ලො හොල්මං කරවපු කෙල්ලොත් එකෙක් දෙන්නෙක් ඒ ඉස්කෝලෙ හිටියා තමා. හැබැයි වැඩියම හිටියෙ මල හොල්මං.. :-P

      ඒ දවස්සල ඉස්කෝලෙ ඇරිලා එනකොට අපේ 120 ස්කූල් බස්සෙක බොරැල්ල හන්දියෙන් බේස්ලයින් පාරට දාන්නැතුන්, දේවි එක ගාව වටරවුමෙන් හරවලා, කනත්ත ගාවින් තමා දාන්නෙ, කොල්ලන්ගේ විශේෂ ඉල්ලීම පිට..

      Delete
    2. බස්සා, බුරා - අවට පාසල් වල කොල්ලෝ කොයිතරම් හොල්මන් වුණාද කියනවා නම් එක්කෙනෙක් ගෙදර නවතින්නත් ආවා, තාම ඉන්නවා :D

      බුරා- අපි ඉස්සර ස්කූල් වෑන් එනකම් ඉන්නේ කනත්තේ මිටි බැම්ම දිගට වාඩිවෙලා. ඒ නිසා ඔය කොයි ස්කූල් බස් එකත් යන්නේ කොයි වෙලාවටද, ෆුට් බෝඩ් වල යන්නේ කවුද කියලා එහෙම හොඳට හදාරලා හිටියේ!

      Delete
    3. හා ඔය ඉන්නෙ "දෙලොවක් අතරේ බාලිකාවෙන්" හොල්මන් වෙච්ච බූතයෙක්. 😋😂

      //ආව ගමන් භූතයා අර කොලේ වටේ බොහොම වේගෙන් රවුමක් දෙකක් යනවා//

      මේක තමයි ආතල්ම කෑල්ල, එහෙම සොමි බූතයෙක් නං , මුණගැහුනත් පාඩු නෑ.😋😂
      බූතයා: ආ හරි මලී, මධුකා, විසාකා, බිනරමලී, ඇනී, නිසන්සලා ඔක්කොම ඉන්නවා.

      Delete
    4. @බෂ්-
      නැතුව නැතුව.. අපේ යාලුවො සැට්ටෙක වජිර පාරෙ බාලිකාවො පස්සෙ කැරකෙද්දි මම කැරකුනේ ඔය බාලිකාවක් පස්සෙ තමා..

      @මලී-
      හුටා! අපේ ඉස්කෝලෙ එල කොල්ලෙක් ද දන්නෑ ගෙදර නවතින්ටම ආවෙ..
      කනත්තෙ මිටි බැම්ම උඩ වාඩිවෙලා හිටියානං අපේ ස්කූල් බස්සෙක හොඳට නෝට් වෙන්ටෝන.. අර ලස්සන කැතේ පැසිෆික් ඇඩ් එකක් බස් එක පුරාම ඇඳලා තිවුනු ලේලන්ඩ් එක.. මහ කාලෙකට එහා නෙවී අනේ.. ඔයා ඒලෙවල්ස් කරපු අනූ ගනංවල මැදම තමා..

      Delete
    5. බුරා- ගෙදර ඉන්නේ නම් කනත්තේ අනිත් වැටේ ඩී එස් මැතිතුමාගේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්, බුරාත් එහේද?
      //මම කැරකුනේ ඔය බාලිකාවක් පස්සෙ තමා// එහෙමනම් මම මෙයැයිවත් දන්නවා ඇති! :D

      බුරාට කියන්න අපි ඒ කාලේ එතනින් ගිය බස් වලට වෑන් වලට වෙනම නම් දාගෙන, ඒවායේ පැසෙන්ජර්ස් ලාට වෙනම නම් දාගෙන (මොකද උන්ගේ නම් හොයාගන්න සෝෂල් මීඩියා තිබ්බේ නැහැනේ) හිටියේ. අනිවාර්යයෙන් ඔය බස් එකත් අපේ රේඩාර් එකේ තියෙන්න ඇති. සැක් දැන් නම් මතක් වෙනකොටත් ලැජ්ජයි! :D

      Delete
    6. අහ් නෑ.. මම ඩී ඇස් මැතිතුමාගෙ ඉස්කෝලෙ නෙවී.. මරියකඩේ..

      // එහෙමනම් මම මෙයැයිවත් දන්නවා ඇති //
      වෙන්නත් ඇති අනේ.. හම්බෙලාත් ඇති සමහරවිට.. අපි ඔයැයිලගෙ ඉස්කෝලෙට කීපාරක් නං ඇවිත් ඇද්ද? කලා උළෙලවල්, එක්සිබිෂන්ස්.. ඔයා ඒලෙවල්ස් කලේ බයෝනං, ටියුෂන් ක්ලාස්වලදිත් හම්බෙලා ඇති..

      ඒ කාලෙ කරපු වැඩ මතක් කරන කොට නං ලැජ්ජයි තමා.. ඒ වුනාට ඒවා සොඳුරු මතක.. හා නැද්ද..

      Delete
    7. මරියකඩේ ඉස්කෝල එක්කත් අපේ කෙල්ලන්ගේ සැහෙන්න අධ්‍යාත්මික බැඳීමක් තිබ්බා ඒ කාලේ. :D
      මෙහෙම කිව්වාම හිතෙනවා අපි අනිවාර්යයෙන් ඔය යුගේදී මුණගැහිලා ඇති කියලා.
      දේවි එකේ හතලිස්වෙනි සංවත්සරේ එක්සිබිෂන් එක එහෙම සහෝදර පාසැල් වල සාදර සහභාගිත්වයෙන් කළා මතකයි.
      ඇත්තටම බොහොම සුන්දර කාලයක් නම් තමයි. :)

      Delete
  6. හ්ම්...අර "මූඩි" ලමයා, ඔය අපේ ගමරාළ කියන "මීඩියම්" එකක් වෙන්නත් ඇති නේද?
    "මළ ගිය ප්‍රාණකාරයෝ අතරත් hierarchy එකක් තියෙන බවත්...." චෑ, බලාගෙන ගියාම මැරිලත් නිදහසක් නැති පාටයි? මොනවා වුනත් බොරැල්ලෙ බූතයො සැට් එක ලකී බූතයො කියල තමා හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //මළ ගිය ප්‍රාණකාරයෝ අතරත් hierarchy එකක් තියෙන බවත්// ඒක එහෙම නම් මීඩියම් ලා හරියටම අදාළ කෙනාව ගෙන්නන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා නේද? සමහර විට ඒකට හරියට ට්‍රේන් වුණොත් ඉලක්කේ බලලා ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන් ඇති!
      "මූඩි" ලමයා දැන් ලොකු තනතුරක් දරන්නේ. මේ හැකියාවන් අභාවයට ගියාද දන්නේ නැහැ :D

      Delete
    2. මම භූතයෝ ගැන ලියල තියනවනේ ඇති තරම්. අවුජා බෝඩ් එක බොරුවක් කියල ගොඩක් අය කියල තියනව. ඒක කරන කෙනා හුඟක් දක්ෂ විධියට නොතේරෙන්න මූඩිය හෝ ඉත්තව ඇඟිල්ලෙන් ගෙනියනවා කියල. දෙවෙනි එක තමා එහෙම 'මාස්ටර්' කෙනක් ගෙන්නුවොත් එයා යන්නේ නැහැ කියා ඒ නිසා ආවුජා බෝඩ් කරන්න එපා කියලයි කියන්නේ. අවුජ බෝඩ් එකෙන් කත කරන කොට එන්නේ මාස්ටර් කෙනෙක්. එයා තමා ගිහින් ඒ ඒ ස්පිරිට් එක එක්ක කත කරලා විස්තර දෙන්නේ, . ඔය එඩ්ගාර් කේසි , සිල්වියා බ්‍රවුන් එහෙම ඒ වගේ අය . මම කාලයක් පිස්සුවෙන් වගේ හෙව්වා එයාල ගැන

      Delete
    3. මේ ඒ දවස් වල ලිව්ව්ව් අනාවැකියක්.හැබැයි 026 වගේ වුනේ 😃

      වසර 2008 දී මෙම අනාවැකියද කිහිප දෙනෙකුට යැව්වෙමි. ඒ වාර්තාවක් තබා ගැනීම සඳහාය. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් මගින් සමුලඝාතනයක් කරන බවකි. මෙය සිදුවනු ඇතැයි පෙන්නුම් කරන්නේ වසර හතරකට පසුව බවය. එනම් 2012 දීය. එසේ සිදුවූයේ නැත. අනාවැකිය කිවූ තැනැත්තා හෙළිදරව් වීමට අකැමැති හෙයින් මේලයේ සඳහන්ව ඇත්තේ මේ මගේ අනාවැකියක් ලෙසටය. මෙහිදී වසර හතර හැටියට සිතන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගූ වෙලේ පිළිතුර වුයේ 12 වැනි සංඛ්‍යාවක් පෙන්වන බැවින් 2012 වන බවට නිගමනය කළ බවයි. ඒ 2008 සිට වසර හතරකට පසුය. (මට දැන් සිතෙන්නේ 2008+12 - 2020 ද විය හැකි බවයි. ඊ නම් 2020 වනතුරු බලා සිටිය යුතුය.) //
      https://kolambagamaya.blogspot.com/2016/10/materialist-paranormal_26.html

      Delete
    4. @ අජිත්
      මේ ලිපිය 2016 ලියපු එකක්. හැබැයි ලොජික් එක අවුල් කියප හිතෙන් නැත්ද? The Confirming-Evidence Bias

      2020 දි සමුලඝාතනයක් වුනෙත් නෑ, ආයෙ වෙන පාටකුත් නෑ. නෙතන්‍යාහු ගියා.ට්‍රම්ප්, හෙග්සෙත් යමින් ඉන්නවා. බාගදා ජිනීවා වල නඩු දාවි.

      මම කියන්නෙ, මේ හැම දේම ෆේස්-වැලිව් එක ලෙස ගන්න කියලයි. මේ "අන්චාර්ඩඩ් වෝටර්" කැටගරිය, ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියන එක අනේ මන්දා? වාද කරන්න කැමතිත් නෑ, මම අජිත් තරම් දන්නෙත් නෑ.

      මේ කතා වලින් පොඩි ත්‍රිල් එකක් ගමු කියලයි මම කියන්නෙ.🙏

      Delete
    5. අජිත් - අපේ අවුජා බෝඩ් එකේ නම් එහෙම කිසිම ගැජමන්ට් එකක් තිබ්බේ නැති බවට සහතිකයි. මොකද බෙල් ගහලා ඊළඟ ගුරුවරයා එද්දී දඩි බිඩියේ ඕවා ඇකිලුවේ අපිමයි. එතකොට මූඩිය ට මොනවා හරි සෙට් කරලා තිබ්බා නම් අහුවෙනවනේ. කොහොමද ඒක උනේ කියලා අදටත් හිතාගන්න බැහැ

      Delete
    6. බසු තුමෝ මම ඕව විශ්වාස කරනවා කියල කියල නැහැ . මම ඔය පර්යේෂණ සෙට් එක ඉවර කලාට පස්සේ අස්ට්‍රොෆිසික්ස් නුත් ඉගෙන ගත්තනේ . වැඩේ ගැන හොයන්න.
      දැන් ඔය ගාසා තිරයේ සෑහෙන දුරට සමුලඝතනයක් නම් වෙලා තියෙන්නේ . හැබැයි න්‍යෂ්ටික වලියකට යන්න තැනින් ඉවර කර ගත්ත. ඔන්න ඔතන් තමා මම හිතන්නේ ඔය එන ඈයෝ 'මාස්ටර්' කියන්නේ අපේ වගේ සමාන්තර විශ්වයක කතාවක් කියල .

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මලී ඔතන දෙපැත්තක් තියනව . ඉතාම සුක්ෂම මැජික් කාරයෙකුට ඒක කරන්න පුළුවන් . ඩෙරෙන් බ්‍රව්න් , යුරි ගෙලර් , (මම ගෙලර් එක්ක ඊමේල් හුවමාරු කර ගත්ත ) , ඩේවිඩ් බ්ලෙන් , ඩයිනමෝ පොද්ද්දක් බලන්න එයාලගේ මැජික් . හරි ඊසිලී ඒවා කරනවා .
      දැන් අපේ මීඩියම් සෙට් එකට අනුව අවුජා බෝඩ් එකට එන මාස්ටර් දිගටම ඔයා එක්ක ඉන්නව . එයා හොඳනම් ඔයාගේ ජිවිතේ සාර්ථකයි . විභාග පාස් කරන්න , ලොටරි දිනන්න , වලි බේරන්න, ගෙවල් ගන්න උදව් කරනවා . මේක තමා අපි ලංකාවේ යක්කු බැඳල වැඩ ගන්නවා කියන්නේ . බටහිර කියන්න මාස්ටර් . අපි කියන්නේ යක්කු , ප්‍රේතයෝ , කුම්භාණ්ඩයෝ කියල . , හැබැයි වලි පොරක් නම් ඒකෙ අනිත් පැත්ත. විනාස කරලා දානවලු අවුජා එකෙන් ගෙන්නුවහම . ඒ නිසා මම ට්‍රයි කරන්න ගියේ නැහැ , . නීල්ස් බෝර් ගේ අශ්ව ලාඩම් තියරිය තමා පාවිච්චි කරන්නේ .

      Delete
    9. බසුතුමා දැන් ඔය මාස්ටර්ලා කියන්නේ ඒගොල්ලෝ මිඩියම් ලට කතා කරන්නේ නෑ. ඒ වෙනුවට පෙන්වන්නේ හුඟක් වෙලාවට පින්තූරයක් හිතට දාන්නේ. අනික ඒගොල්ලන්ට වෙලාව පිළිබඳව කාලය පිළිබඳ අදහසක් නැහැ. ඉරයි හඳයි පායන්නේ නෑ. ඉතින් මේ වසරවල් ගණන් කතා පවා හිතට එන දේවල්. උදාහරණයක් වශයෙන් මේ මගේ බ්ලොග් ලිපිය බලන්න ඔය ලවුලෙන් ඉන්නේ ටොරොන්ටෝ වලින් ඕනෙනම් ගිහින් කතා කරන්න පුළුවන්. හැබැයි දැන් වැඩිය කතා නැහැ. ඕවලින් ඈත් වෙලා ඉන්නේ . දැන් ඔය ඊලාම් යුද්ධ කතාවේදී මට වැරදුනේ කයන්න කියන්නේ කොළඹ කියා හිතුව නිසා කියල මම පස්සේ තේරුම් ගත්තේ . හරියටම මේ වගේ දේවල් එයා කිව්වේ කො හොමද. යාලුවෝ කිව්වේ ටොරොන්ටෝ වල දෙමල අයගෙන් අහගන්න් ඇති කියල. නමුත් දන්නා තරමින් දෙමල යාලුවෝ නැහැ ඒ මනුස්සය් තරහ වුනා ඔව් කියන්න ගිහින් මාත් එක්ක.

      Delete
    10. කැමති නම් අපි ඒ කාලේ කරපු විධිහට ට්‍රයි එකක් දෙමු මැරුණ කෙනෙක් හෝ මාස්ටර් කෙනෙක් . බසු තුමා ඇනෝ නිසා වෙන අය අරගෙන. මාලි හෙම කැමතිනම්. වෙලාවක් දාල අන්තර්ජාලය හරහා. මගේ යාලුවෝ දෙනෙන්කුටත් එන් කියන්න පුළුවනි. එකම දේ තමා එහෙම සෙට් වුනහම ඒ ගොල්ලෝ සමහර වෙලාවට යන්නේ නැතිව ඉන්නව කියන එක. ලවුලන් සම්පුර්ණයෙන්ම අත ඇරලා දැම්මේ සිය දිවි නසා ගත් අය ගෙන්වන් ගිහිල්ල කියලයි එයා කියන්නේ. යන්නෙම් නැහැලු. එයා කිවේ එහෙමයි. ෆන් එකටකරමු.

      Delete
    11. මේ ලිපියේ කොටසක් /මෙය කියැවුණේ 2008 වසරේ ජූනි මාසයේ පමණ දීය. සියදිවි නසාගත් දෙමළ බෝම්බකරුවකු සම්බන්ධවී තිබුණි. ඔහුගේ ඡායාව මට ප්‍රක්ෂේපණය කරන්නට ඇයට හැකිවුණි. ( ඒ කෙසේ දැයි කියන්නට මට නොහැකිය) ඔහු සමහ කුඩා දැරියක්ද සිටියාය. මැරුණු දරුවන් තමන්ගේ මියගිය අත්තා, අත්තම්මා හෝ වෙනත් මළගිය ඥාතියකු සමග පෙනී සිටින්නේ යැයි මීඩියම් වරු කියති.

      බෝම්බකරු පැහැදිලිවම කීවේ රජයේ හමුදා කොටි සංවිධානයේ සියල්ලෝම සමූලඝාතනය කරන බවයි. එසේම තණ පිට්ටනියක මළකඳන් හා රුධිරය පෙන්වන බව ඇය කීවාය. මා සිතුවේ මේ ගෝල්ෆේස් එක ගැන බවයි. එනිසා ගෝල්ෆේස් නමින් තණ පිට්ටනියක් තිබෙන බවත් මේ එය විය හැකි බවත් මේ මළ තැනැත්තා කියන්නේ බෝම්බයක් ගෝල්ෆේස් එකේ පිපිරවීම ගැන විය හැකි බවත්ය. එවැන්නක් ගැන මම දන්නේ නැත. ලවුලන් පැහැදිලිව කිවේ බොහෝ අය මිය යන බව හා ඔහුගේ යහළුවන් සියලු දෙන මැරෙන බවය.

      ඔහු අනාගතය ගැන කියන්නේ කෙසේදැයි මම විමසුවෙමි. ඔහුට කිසියම් මාස්ටර් කෙනෙකු උදව් කරන්නේද යන්න විමසුවෙමි. තමන්ට අනාගතය ගැන කියන්නට හැකි මන්ද යන්න, මළගිය තැනැත්තාට කීමට හැකියාවක් නොමැති බවත් තමන්ට පෙනෙන දෙය ඔහු දන්වන බවත් ලවුලන්ට දැනුනු හැඟීමයි.

      මම ඉන්පසු මේ විස්තර මගේ යහළුවන් අට දෙනෙකුට යැව්වෙමි. හතර දෙනෙකු මළ ගීයවුන් සමග කතා කිරීමට හැකි යයි විශ්වාස කරන අය වන අතර අනිකුත් අය විශ්වාස නොකරති. විශ්වාස නොකරන යහළුවන් දෙදෙනක් ගෙන් එක් අයෙකු ලියා එව්වේ එවන් අනාවැකි කීමට යුද්ධය (මේ 2008) යන ආකාරය අනුව කිව හැකි බවයි. රජය හමුදාවන් නිසි සේ නඩත්තු කරමින් ජනාධිපති සමග සහෝදරයා ක්‍රියා කරන බව සැවොම දන්නා කරුණක් බවත් ඔහු කිවේය. අනිත් යහළුවාගේ අදහස වුයේ අර මම ඉහත කී සැන්දෑ හමුවේ සඳහන් කළ දෙයමය. කැරලි දෙකක් මර්දනය කර ඇති රටේ හැටියට විශාල, හමුදාවකට මෙය කළ හැකි දෙයක් බවයි. එනිසා මේ අනාවැකිය ඕනෑම කෙනෙකුට කළ හැකි බව ඔහුද පැවසුවේය.

      තමන්ගේ රටේ අගනුවර ඉක්මනින් බිඳ වැටෙන බවද මළගිය බෝම්බකරු දැන්වීය. අගනුවර ලෙස ලවුලන් දන්නේ කෙසේද යන්න ලෙස ඇයට වැටහුනේ ඔහු ඔටාවා පෙන්නුම් කරන නිසා බවයි. මේ පින්තූර ඇගේ මනසේ ඇතිවෙන දේවල්ය. වැටෙන්නේ මොන අගනුවර දැයි මම ඇසුවෙමි. ලවුලන් කිවේ ඇයට කීමට අපහසු බවයි. අකුරු ලෙස කේ අකුර පමණක් ඇය කීවාය. ඔබේ අග නගරය කුමක්දැයි ඇය ඇසුවාය. ව්‍යවස්ථාදායක අගනුවර ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ හා වෙළඳ අගනුවර කොළඹ යැයි ඇයට පැහැදිලි කලෙමි. දෙකේම නම "ක" යන්නෙන් පටන් ගනී. මේ අගනුවරවල් බිඳ වැටීමට කෙසේවත් පිළිවන් කමක් නැති බව මම ලවුලන් ට පැවසුවෙමි.// https://kolambagamaya.blogspot.com/2016/10/materialist-paranormal_16.html

      Delete
    12. next bit //නමුත් පසුගිය දිනවල තාමලිනි ගේ "තියුණු අසිපතක සෙවන යට " කියවන විට ඇය මගේ රට යනුවෙන් සඳහන් කරන්නේ ඊළම් යනුවෙන් ඔවුන් හැඳින්වූ වන්නියේ කුඩා කොටස බවත් (යාපනය ලංකා රජය යටතේ ය) මගේ වැසියන් දෙමළ වැසියන් පමණක් බවත් මට පසක් විය. ලන්ඩනයේ සිටින සටන්කාමීන්ගේ හිතවාදීන් දෙමල ඊළාමය ලෙස හැඳින්වුයේ ලංකාවේ 1/3 වැනි විශාල කොටසක් වන අතර එය තවම තමන් සතු නැති බව වටහා ගෙන සිටියහ. තමලීනි මගේ රට කිවේ තමන් සටන් වැද සිටි ඒ කොටසට නම් බෝම්බකරු මගේ රට කීවේද එයටය. එනම් ඔහුට අනුව එහි අගනුවර කිලිනොච්චියයි. යාපනය නොවේ.
      ජෙයරාජ් කිලිනොච්චිය ස්ටලින්ග්‍රාඩ් වගේ වේ යයි කිව්වේ 2008 ඔක්තෝබරයේය. මා හිතන්නේ එය අල්ලා ගත්තේ 2009 ජනවාරි වල විය යුතුය. බෝම්බකරු කොටි සංවිධානයේ හා අනිකුත් යුද පණ්ඩිතයන්ගේ අදහසට එරෙහිව මෙවැනි දෙයක් කීවේද? එසේනම් ඒ කෙසේද?//

      Delete
    13. //කැමති නම් අපි ඒ කාලේ කරපු විධිහට ට්‍රයි එකක් දෙමු....සිය දිවි නසා ගත් අය...යන්නෙම් නැහැලු. ෆන් එකට කරමු//

      Let sleeping dogs lie. සුරුස්...........😋

      Delete
  7. කතාව රසයි. කුතුහලයයි ප්‍රශ්ණාර්තයයි දෙකම තියෙනවා. මධූකාගේ හැකියාව අවතක්සේරු කරන්න බැහැ, ඒ හැකියාව The ability to talk to ghosts or spirits is called mediumship.
    හොල්මන් කතා රැල්ලක් වුනොත් හොඳ කතා ටිකක් කියවන්න පුලුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. මම මේක ඇලෙව්වා බ්ලොග් වල, ලොවෙත් නැති වෙන්න. දැන් නමියත් බ්ලොග් තානාපති වැඩේ කරන්නෙ, නාකි බල්ලො කොළඹ යන්නැහේ. සනිදා දහයට පෝස්ට් දාන්නෙත් දෙන්නයි. බලමු. බාගදා නූල් බඳින්න බය කලොත් කික්-ස්ටාර්ට් වේවිද?🤔

      සිංහල-බූතයො බය කරන්න
      හොල්මං කතාවක් ලියන්න
      රැල්ලට ගහ ගෙනම යන්න
      දැක්ක අමුතු දේ කියන්න

      https://hotchocolatedays.blogspot.com/2026/11/blog-post.html

      Delete
    2. කොරල්, බස්සා
      තව හොල්මන් කතා නම් කීපයක්ම ලියන්න පුලුවන්. හැබැයි ඔක්කොම අහපු කතන්දර, ස්පෙෂලි ජපුරේ හොල්මන් ගැන! පර්සනලි නම් මට තාම හොල්මන් හම්බවෙලා නැහැ. මම හිතන්නේ කනත්ත ළඟ අවුරුදු හයක් හතක ගෙව්ව නිසා අපි අතරේ understanding එකක් තියෙනවා :D

      Delete
    3. හ්ම්, ඒක ඇත්ත බසු තුමා.
      ට්‍රයි එකක් දෙමු.

      අපිත් කැරකොප්පුව අසල්වැසියො මලි.
      තියෙන කතා ටික ලියමු.

      Delete
    4. ++++++++++++++👌🙏💐😁

      Delete
  8. ඇත්ත බොරු නං දන්නෙ නෑ. අවුරුදු දහයේදී විතර මමයි, අපේ ලොකු මල්ලී සුනිලුයි දෙන්නා කනප්පුවක් ඇවිද්දවලා හොරු අල්ලන වැඩකට දායක වුණා. ඒක තමයි මං ලබල තියෙන ලොකුම භූත හමුව. ඒ ගැන මං බ්ලොගයටත් ලිව්වා,
    යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! නමින්!
    https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. නිදි - කනප්පුව ඇවිදින්නෙත් අර බෝතල් මූඩිය ඇවිදපු ක්‍රමේටම වෙන්නැති නේද?
      හැබැයි කනප්පු පාවිච්චි කළේ තනිකර ඉන්වෙස්ටිගේෂන් වැඩවලට මයේ හිතේ

      Delete
    2. නදි: මේ ලින්කුවත් එකතු කරනවා මගේ පෝස්ටුවේ හොල්මන් කතා ලිස්ට් එකටම

      Delete
  9. https://hisahasa.blogspot.com/2011/08/blog-post_26.html
    මේකත් බලන්නකො

    ReplyDelete
    Replies
    1. සඳරු ගේ ඇත්තම කතාවක් නේ? අපරාදේ ඒ කොල්ලා දැන් ලියන්නේ නැහැනේ. ඉස්සර ආසාවෙන් කියෙව්වා

      Delete
  10. ඇත්තටම මට තවමත් හිතාගන්න බැරි මේක හොල්මන් කතා ශානරයේ ප්‍රබන්ධයක්ද, සැබෑ සිදුවීමක්ද, එහෙමත් නැත්නම් සත්‍යයත් ප්‍රබන්ධයත් මුසු කරලා ලියපු නිර්මාණයක්ද කියන එකයි. මොකද, එදිනෙදා ජීවිතයේත් මේ වගේ පැහැදිලි කරන්න අමාරු අත්දැකීම් ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. සමහර කතා විශ්වාස කරන්නත් අමාරුයි, ඒත් එකහෙළා ප්‍රතික්ෂේප කරන්නත් හිතෙන්නේ නැහැ.

    ඒ කොහොම වුණත්, ඔය දෙලොවක් අතර බාලිකාව ගැන මතක් කරලා දුන්නට ස්තූතියි! 😄 ඉස්සර ඉස්කෝලේ ඇරුණු ගමන් රොටරියේ ටියුෂන් ක්ලාස් යන්න 138 බස් එකේ යන්නේ නැතුව 176 බස් එකේ යන්න අපිත් උනන්දු වුණු කාලයක් තිබුණා. ඒ වෙලාවට 176 බස් එක බාලිකා යුනිෆෝම්වලින් පිරිලා! ඒකත් ඉතින් අපේ පාසල් කාලේ සුන්දර මතකයක්. 😄

    ReplyDelete
    Replies
    1. මයියා, ඕකනේ ඉතින්! 100% අත්දැකීමක් ලිව්වාම ප්‍රබන්ධයක් ද කියලාත් හිතනවානේ ඕගොල්ලෝ! :D
      මේක අර රවී ඉස්සර කියන්නා වගේ සැටිපිකේට් ට්රුත් හෙවත් සහතික ඇත්ත. ඕවා අමූලික බොරු කියලා හිතන් හිටිය මට කට උත්තර නැතිවුණා මේ සිද්ධියෙන් පස්සේ. පස්සේ තමයි ඕකේ ඇත්ත විස්තර Ouija board ගැන එහෙම දැනගත්තේ.

      ඉස්කෝලේ කාලේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වටිනවා වගේ හැමෝටම මතක් වෙන විස්තර බලද්දී. බාගවිට අපි ඒ කාලේ මුනගැහිලාත් ඇති! දෙලොවක් අතර බාලිකාවේ විනය පාලනය බොහොම තදින් කෙරුණා, ඒ නිසා අපි නම් හිටියේ සිල් ගත්තු ගානට :D :D

      Delete
    2. හෑ, "ආන්න..වැටුනා" ඇරුනම තව බාලිකා කතා තියනවා?😮
      ජපුරේ හොල්මන්, අහපු හොල්මන් කතා... ඔය මොනව වුනත් කමක් නෑ, ලියනව නං අපි එනවා කියවන්න. මම හිතන්නෙ මේවා අපෙත් වැරදි. මහන්සි වෙලා, තමන්ගෙ කාළය වැය කරලා ලියන අයට "උත්ප්‍රේරකයක්" වෙන්න අපිට බැරි වීම, සිංහල බ්ලොග් දිය වෙලා ගිය එකට එක හේතුවක් වෙන්නත් ඇහැකි.🤔😟

      Delete
    3. බස්සා - දෙයියනේ කතා ද නැත්තේ! හැබැයි ඉතින් කියවන අයගේ කම්මැලිකම වගේම ලියන අපේ කම්මැලි කමත් මේවා නොලියවෙන්න හේතු වෙනවා.
      බලමුකෝ කම්මැලිකම පැත්තක දාලා ලියන්න

      Delete
  11. ඔය බෝඩ් වැඩේ අපේ අක්කගේ දුවත් කරන්න ට්‍රයි කළා .. මට මතක නැහැ හරි ගියාද කියල .. එයාටත් හොල්මන් පිස්සුවක් තියෙනවා .. හෙහ් හෙහ්

    අපේ අක්කා ගියෙත් කනත්ත බාලිකාවට හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. එහෙම හැමෝටම භූතයෝ ගෙන්නන්න බැහැ මගේ හිතේ පැතුම්. නැත්නම් එළොවට වැඩිය මෙලොව ඉඳී භූතයෝ!
      පැතුම්ගේ අක්කා අපි දන්නා කෙනෙක්ද දන්නේ නැහැ :D

      Delete