මේක අමුතුම කෞතුකාගාරයක් ගැන විස්තරයක්. සාමාන්‍යයෙන් කෞතුකාගාර වල තියෙන්නේ මිළ කරන්න බැරි කෞතුක වස්තු නේ. මෙතැන තියෙන්නෙත් එහෙම අමිල දේවල් තමයි, හැබැයි ඒ, ඒ භාණ්ඩ අයිතිවෙලා තිබුණු අයට මිසක් වෙන කාටවත් නම් නෙමෙයි.
මේ Museum of Broken Relationships හෙවත් බිඳුණු සබඳතා පිළිබඳ කෞතුකාගාරය. මේක ක්‍රොඒෂියාවේ සැග්‍රෙබ් (Zagreb) නගරයේ තියෙන්නේ. ලෝකය පුරාම එක එක විදිහේ බිඳුණු ප්‍රේම සම්බන්ධතා හෝ මානුෂීය බැඳීම් ගැන සිහිවටන එකතුවක් තමයි මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. හැම භාණ්ඩයක් එක්කම ඒක පරිත්‍යාග කළ කෙනා නිර්නාමිකව ලීව කෙටි සටහනක ඒ සම්බන්ධතාවය පැවතුණු කාලය, තැන වගේම ඒ සිහිවටනය ට අදාළ කතාවත් තියනවා.
වෙන්වීමකින් පස්සේ ඇතිවන වේදනාව පිට කරන්නත් (catharsis) තමන්ගේ මතකයන් නිර්මාණාත්මකව සංරක්ෂණය කරන්නත් මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නයි මේක සකසලා තියෙන්නේ. මේ කෞතුකාගාරයේ සිහිවටන වලට අදාළ විස්තර අපට වෙබ් අඩවියෙන් කියවන්න පුලුවන්. ඒ සමහර විස්තර දරාගන්න බැරි තරම් දුක්ඛිතයි. සමහර ඒවා ටිකක් දරුණුයි. (තමන්ව හැර ගිය partner ගේ බඩු භාණ්ඩ විනාශ කරන්න පාවිච්චි කළ පොරවකුත් තියනවා) සමහර ඒවා දකිද්දී අපට සිනාවක් උපදිනවා. ඒත් ඒ හැම කතාවකම පිටිපස්සේ තියෙන්නේ මානුෂීය බැඳීම්වල සියුම් පැති. ඒත් සමහර වෙලාවට දෙන්නෙකුට වෙන් වෙනවා ඇරෙන්න වෙන විකල්ප නොතිබෙන්න පුලුවන්. මේ වගේ අවස්ථාවල ඒ බැඳීමකට අදාළ සිහිවටනයක් මෙහෙම තැනකට යැවීමෙන් කෙනෙකුට closure එකක් ලැබෙනවා ඇති.
2006 වසරේදී ක්‍රොඒෂියානු කලාකරුවන් දෙපළක් වන ඔලින්කා විස්ටිකා (Olinka Vištica) සහ ඩ්රාසන් ගෘබිසික් (Dražen Grubišić) දෙන්නා තමන්ගේම සම්බන්ධතාවය බිඳී ගියාට පස්සේ ඉතිරි වුණු සිහිවටන වලින් මේ කෞතුකාගාරය ආරම්භ කළ බව සඳහන්. තමන්ගේ සිහිවටන වලට අමතරව මිතුරන්ගෙන් ලැබුණු භාණ්ඩ එකතු කරලා මේක වැඩි දියුණු කරලා. 2011දී යුරෝපයේ වඩාත්ම නව්‍ය කෞතුකාගාරයට හිමි සම්මානය (Kenneth Hudson Award) ත් මීට ලැබිලා තියෙනවා. මේක එක්තරා විදිහක සංචාරක කෞතුකාගාරයක් නිසා රටවල් 35 ක ටෝකියෝ, සැන් ෆ්රැන්සිස්කෝ, බර්ලින්, පැරිස්, ලන්ඩන් සහ ෂැංහයි ඇතුළු නගර 68 ක සංචාරය කරලාත් තියෙනවා, ඉදිරියේදීත් කරන්න නියමිතයි. (ඊළඟ එක ජනවාරි- අප්‍රේල්, Munster, Germany). සබඳතා බිඳී යාම් වලට තවත් සමාජීය, සංස්කෘතික කෝණ එකතු කරන්නත් මේ සිහිවටන එකතුව වැඩි කරගන්නත් මේ සංචාර උපකාරී වුණා ලු. 2024 නොවැම්බර් මාසයේදී, මේ කෞතුකාගාරය තායිලන්තයේ චියැං මායි (Chiang Mai) වල දෙවෙනි ස්ථිර ශාඛාව විවෘත කළා. මේකේ වෙබ් අඩවියේ URL එකේ නම තියෙන්නේ https://brokenships.com කියලා. සමහරවිට ඒක නම් හිතලා කළ දෙයක් නොවෙන්න ඇති, ඒත් මට ඒකත් විශේෂ දෙයක් හැටියට පෙනුණා. people with broken relationships are like broken ships වගේ දෙයක්
මම මේ සටහන් ලීවේ මේ කෞතුකාගාරය බලලා නෙමෙයි. මගේ මිතුරියක් වන පවිත්‍රා අභයවර්ධන මේ කෞතුකාගාරය ඇසුරු කරගෙන කෙටිකතාවක් ලියලා තිබුණා. ඒ විස්තර ඔස්සේ හොයාගෙන ගිහින් දැනුණු fascination එක නිසා මේ අමුතු කෞතුකාගාරයේ විස්තර බෙදාගන්න හිතුණා. ළඟදී යුරෝපේ පැත්තේ ගිහින් ආව නිසා ආයෙත් මේක බලන්න ක්‍රොඒශියාවට නම් යැවෙන එකක් නැහැ, ඒත් පුලුවන් වුණොත් කවදාහරි අපට කිට්ටුවෙන් තියෙන තායිලන්තේ ශාඛාව වත් බලන්න යන්න ආසයි. මට තියෙන ප්රශ්නය තමයි මෙහෙම සිදුවීමකදී (ඒක සුන්දර සබඳතාවයක් නම්- පොරොවෙන් කපන වර්ගයේ නෙමෙයි) මට ඉතුරුවෙලා තියෙන එකම සිහිවටනය කෞතුකාගාරයකට දීලා දාන්න තරම් මම නිර්ලෝභී වෙයිද කියන එකයි.
ඉතින් මේ කෞතුකාගාරයට යමක් යවන්න ලැබුණොත් යවනවද?
Photos from visitzagreb.hr
.jpg)


No comments:
Post a Comment