November 15, 2025

The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam




අගෝස්තු අග භාගයේදී
පාසලේ යුවතියන් තිදෙනෙකුට
හදිසියේම අං තට්ටු මතුවිය
මේ රූපක භාවිතයක් නොවේ
ඒවා සැබවින්ම
අස්ථියෙන් සැදුණු ඒවා විය

මුලින්ම නළලත
කැළලක් වැනි මොට්ටුවක් මතු විය
ඉනික්බිති නිහඬ ව, සෙමෙන්
ඒවායේ අතු බෙදුනේ
තම මානය තීරණය කරන
ගස් විලසිනි
සැප්තැම්බර් වෙද්දී
ඔවුන් ඒවා පැලැන්දේ
නොඉල්ලා ලැබුණු ඔටුණු විලසිනි

දොරටු වලින් ඇතුල්වෙද්දී
ඔවුන් පහත් වන අයුරු
අං පැටලී ඔවුන්ගේ ස්වෙටර්
ඉරී යන අයුරු
නොදැක්කා සේ අපි සිටියෙමු
ගුරුවරු මේ ගැන රැස්වීම් පැවැත්වූහ
පාසලේ හෙදිය
ඒවායේ සේයාරූ ගත්තේ 
ලේඛනගත කිරීම් සඳහායි
ඉන් එක් යුවතියක් දැන් පාසැල් නොපැමිණේ

තවත් එකියක්
පාන් කපන පිහියකින්
තම අං තට්ටුව කපා දමන්නට තැත් කළා ය
ගණිත පාඩම අතරමැද දී
ඇයට පිටවී යන්නට වූයේ
ඇගේ හිසකේ මැදින්  
තවත් අනතුරු ඇඟවීමක් ලෙසින්
ලේ ගලන්නට වූ බැවිණි

අනෙත් යුවතිය
තම අංතට්ටුවට
රිසි සේ වැඩෙන්නට ඉඩ හැරියා ය
සීත කාලයේදී එහි අතු අතර
විදුලි බුබුළු වැල් පැටලුවා ය
අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට
ඊට සිනාසුණාය

මේ සංසිද්ධිය ඇරඹුණු අයුරු ගැන වත්
එහි වේදනාවක් ඇති නැති බව ගැනවත්
කිසිවෙකු කතා කරන්නේ නැත
නමුත් වෙලාව බලන තරම් නිරතුරුවම
වැසිකිලි වලදී
අප නළලතට ඇඟිලි තුඩු තබා
තියුණු යම් දෙයක්
මතුවෙමින්දැයි
සොයමු


The Girls Who Grow Antlers
by Ellanya Sivasubramaniam
අනුවර්තනය - හෙල්මලී ගුණතිලක 

පහළොස් හැවිරිදි Ellanya Sivasubramaniam ගේ The Girls Who Grow Antlers කවිය, ලොව පුරා වයස 11-17 අතර නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වෙන Foyle Young Poets තරඟයේ 2025 වසරේ විශිෂ්ඨ ම කවි 15 අතරට තේරී ඇත. මේවා තේරී තිබුණේ රටවල් 135කින් යොමු වූ කවි 28344 අතරිනි. Ellanya එංගලන්තයේ රීඩින් නගරයේ වෙසෙන්නියකි. 

Image- Gemini

November 08, 2025

ලොක්කාට ජය වේවා!


කල්කටාවේ බොහෝ වෙළඳ සමාගම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන විවිධ ඖෂධීය පැලෑටි ලබා ගැනුණේ ඈත ගම්මානවල ගැමියන්ගෙනි. අත්පිට මුදලට කෙරුණු මේ ගනුදෙනු වැදගත්කමෙන් අඩු ලෙස සැලකුණු නිසා පොත්පත් වල මේ සැපයුම්කරුවන්ගේ නම් මිස ලිපිනයන් සඳහන් නොවූ තරම් විය. මේ කාර්යය භාරව සිටියේ ආයතනවල කනිෂ්ඨ ලිපිකරුවන් වූ අතර මේ ගනුදෙනුකරුවන් කිසි දිනක අංශ ප්‍රධාන ප්‍රධාන ලිපිකරු තබා වෙනාත් ජ්‍යෙෂ්ඨ ලිපිකරුවකුවත් දුටුවේ නැත. 

හරිපාද ප්‍රථම වතාවට තමන්ගේ ගනුදෙනු ක්‍රියාවලියේ අතරමැදියා වන නාගු ව මඟ හැර තමන්ගේ ඖෂධීය පැලෑටි තොගය නගරයේ කාර්යාලයට ගෙන යාමට තීරණය කළේ ය. ඔහුගේ ගම්මානයේ මෙවැනි පැලෑටි බහුල ව තිබුණු අතර ඒවා මෙසේ විකිණීමට ඔහුට මුලින්ම ඔත්තුව දුන්නේත් නාගු ම විය. මේ සඳහා ගැලපෙන්නේ කුමන පැළෑටිදැයි  තෝරා ගැනීමට ගම්මානයේ වෙදහාමිනේ වූ ශාන්ති ඔහුට ගුරු හරුකම් ලබා දුන්නාය. නමුත් හැම රාත්තල් සියයකටම රුපියල් දෙකක ලොරි කුලියක් ද නාගු ට ගෙවන්නට සිදු වූ බැවින් හරිපාද ට මින් වැඩි ලාභයක් ලැබුණේ නැත. මේ නිසා මේ වසරේ ඔහු තම පැලෑටි තොගය නාගු ට නොදී එකතු කරන්නට විය. නාගු මේ ගැන කීප වරක්ම විමසුවේය. 

“තමුසේ කරන වැඩෙන් ඔය බෙහෙත් බඩු ටික කුණු වෙනවා. ඔය කපොක් මුල්, සුදු පාර්පතී පැල එහෙම මාස හයකට වඩා තියාගන්න බැහැ, නරක් වෙනවා. ඉන්පස්සේ මිළ දෙගුණයකින් අඩු කරලා විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. මට දෙනවා, මං ඔය තොගයම කල්කටාවේ ගබඩාව ට යවන්නම්.”

නමුත් හරිපාද, නාගු සිතූ තරම් මෝඩයෙකු නොවීය. 

“නාගු මේ බෙහෙත් බඩු එකතු කරන්න මහන්සි වෙන්නේ වත් නැති එකේ ඌ ට මොකටද වැඩි ලාබය දෙන්නේ?” ඔහු තමාටම කියා ගත්තේය.

ඖෂධීය පැලෑටි මිළදී ගන්නේ හින්දුස්ථාන් සමාගම බව නගරයට එළැඹුණු විට හරිපාදට ආරංචි විය. ඔහු කෙලින්ම එහි කාර්යාලය වෙත ගිය නමුත් එහි දුටු දසුනින් මඳක් පසු බෑවේය. බැලූ බැලූ අත සේවකයන්, දොරටුපාලකයින්, විදුලි සෝපාන, නිරතුරුව හඬ දෙන දුරකථන සහ මහා දවාලේත් දැල්වුණු විදුලි බුබුළු පෙනුණි. මේ බරපතල රාජකාරිය නාගුට ම පැවරුවා නම් යැයි ඔහුට සිතෙන්නට විය. අන්තිමේදී ඔහු මඟ අසාගෙන නියමිත අංශය වෙත පැමිණුනි.

ඖෂධීය පැලෑටි මිළදී ගැනීම භාර ව සිටියේ තරුණ ලිපිකරුවෙකි. ඔහු භාණ්ඩ තොගය පරීක්ෂා කර ලබා දුන් මිළ පෙර ඔහු රාත්තල් සියයට ලැබූ මිළට වඩා අන්නා අටකටත් වඩා වැඩි බව හරිපාද ට වැටහිණි. පැළෑටි තොගයේ බර කිරුමට තරමක වෙලාවක් ගත විය. 

“ඔහේ ට කාසි ද ඕන නැත්නම් චෙක් එකක් ද?” ලිපිකරුවා විමසීය. “කාසි ඕන නම් හෙට එන්න වෙනවා. මම අවශ්‍ය වැඩ ටික කරලා තියන්නම්. මේ රිසිට් එක අරගෙන ගිහින් හෙට ප්‍රධාන ලිපිකාර මහත්තයාගෙන් අත්සනක් දාගෙන අර කවුන්ටරේට අරන් ගිහින් සල්ලි ගන්න.”

පසු දා පඩි දිනය වූ බැවින් මුදල් ලබාදෙන කවුන්ටරයේ මහා සෙනඟක් විය. සීල් තබන ලද ලියුම් කවර මත සේවකයන්ගේ නම් යතුරු ලියන කර තිබිණි. 

“නම? රාම් ශාරන් පාල්? මෙන්න කවරේ” මෙසේ කියමින් ලිපිකරුවා ලියුම් කවර බෙදා හැරියේය. ක්‍රම ක්‍රමයෙන් ලියුම් කවර මිටිය අඩු විය. ඇතැම්හු නික්ම යාමට පෙර තම කවරයේ වූ මුදල ගණන් කළහ. 

H. P. B මුලකුරු සඳහන් ලියුම් කවරයක් හරිපාද ගේ අතට ලැබිණි. ඔහුට නම් එය විවර කර මුදල් ගණන් කිරීමට ලැජ්ජා සිතිණි. මෙවැනි විශාල ආයතනයකට ගණන් වරදින්නට ඇති ඉඩ කුමක්ද? වැඩියත්ම ඔවුන් තම නම පවා කවරයේ සටහන් කරන්නට තරම් මහන්සි වූ විට!

නමුත් හරිපාද සීල්දා දුම්රිය පළ වෙත පැමිණි විට තම කවරය විවර කර මුදල් ගණන් කළ යුතු බව ඔහුට සිතෙන්නට විය. එසේ බැලු විට ඔහුගේ පුදුමය කෙතරම් වී ද යත්, සිය දෙපා පණ නැති වී ඔහුට අසුන් ගැනීමට සිදුවිය. රුපියල් හතළිහක් වෙනුවට එහි රුපියල් එක්දාස් එකසීයක් විය! වහා වටපිට බැලූ ඔහු හැකි ඉක්මනින් මුදල් නෝට්ටු තම සාක්කුවට ඔබාගෙන දිවගොස් නවතා තිබුණු දුම්රියකට ගොඩවිය.

රුපියල් එක්දාස් එකසීයක මුදල ඉතා සරල ගැමියෙකු වූ හරිපාද ට විශාල මුදලක් විය. මේ නම් දෙවියන්ගේ තෑග්ගක් බව ඔහු කල්පනා කළේ ය. තම ජීවිතයේ ඉතිරි කාලයම ඖෂධ පැලෑටි විකිණුවත් ඔහුට මේ මුදල එකතු කර ගනු නොහැකි වනු ඇත. සැබවින්ම ඒ, වාසනාව ඔහු ව සොයා ආ දිනයකි! ඔහුට මේ පුවත තම බිරිඳට පවසන තෙක් ඉවසුමක් නොමැති විය. දුම්රියේ ගමන ඉතා සෙමින් සිදුවන බවක් ඔහුට දැනුණි

ආයතනයේ සේවකයන් වැඩි කල් නොගොස් මේ අත්වැරැද්ද සොයා ගනු ඇති බව හරිපාද කල්පනා කළේ ය. නමුත් ඔවුන්ට තමන් ව සොයාගනු නොහැකි වන්නේ ඔහුගේ ලිපිනය ආදී විස්තර ඔවුන් සතුව නොවූ බැවිණි. කෙසේ වෙතත් මේ මුදල් නෝට්ටු තම සන්තකයෙන් ඉවත් කරගත යුතු බව ඔහු සිතුවේය. 

හරිපාද ගේ බිරිඳ, ආශාලතා මේ නෝට්ටු මිටිය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් වටහාගනු නොහැකි වූ ලෙසිණි. 

“මේ වගේ වැරදි නොවෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් දාලා නැද්ද ඔය කොම්පැනි වල?” අවසානයේදී ඈ විමසුවා ය. 

“ලොකු කන්තෝරු වල තමයි මේ වගේ දේවල් ලේසියෙන් වෙන්නේ,” ඇගේ සැමියා පැහැදිලි කළේ ය. “නීති රීති වැඩි වෙද්දී ඒවායින් රිංගන්න පුළුවන් හිඩැස් වැඩි වෙනවා. ඔය කොටසේම සේවකයෝ පනහක් සීයක් වැඩ කරනවා, ඉතින් චෙක් කඩදාසි ම වුණත්  සෑහෙන්න තියෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.” 

“ඒත් මේ නෝට්ටු වල අංකයක් තියෙනවා නේද?” ආශාලතා නැවතත් ඇසුවාය. “මේ නෝට්ටු හොයලා දෙන්න කියලා පොලිසිය නිවේදනයක් කළොත් මොකද කරන්නේ? මම නම බය ඒකටයි.” 

“බය වෙන්න එපා. මම හිතන්නේ නැහැ රුපියල් සීයේ නෝට්ටු වල අංක ඔය තරම් ලොකු කොම්පැනියකින් ලියලා තියාගනී කියලා. කොහොමටත් මම හෙට සිරාජ්ගුන්ජු මාමා හම්බවෙන්න ගිහින් ඒ ටික මාරු කරගන්න ඉන්නේ. හොඳම වැඩේ කියන්නේ මේ කොම්පැනියේ මගේ තැපැල් විස්තර නැහැනේ, ඒ නිසා මාව අල්ලන්න බැහැ!”

මේ පැහැදිලි කිරීමෙන් හරිපාද ගේ බිරිඳ සෑහීමට පත් වූ බව පෙනුණි. 

“එහෙනම් ඔය නෝට්ටු ටික මාරු කරගන්න කොහොම හරි. අපි ඊළඟ පෝය දවසට සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තියමු, උන්වහන්සේ අපි ගැන බලලා සන්තෝසෙන් ඇත්තේ.” 

හරිපාද ට මුදල් නෝට්ටු මාරු කරගැනීමට දුෂ්කර වූයේ නැත. කපටි සිතින් යුතුව, මේ මුදල් ලැබුණු ක්‍රමයක් තම මාමා ට හෙළි නොකර, ව්‍යාපාරයක් ඇරඹීමට තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමක් විකිණූ බව පමණක් ඔහු කීවේය. එමෙන්ම සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තැබීමට ද ඔහුට අමතක විය. මාසයක් ගත වූ තැනත් මේ සම්බන්ධයෙන් කිසිම කැළඹුමක් ඇති නොවූවත් හරිපාද නම් පසු වූයේ මහත් චකිතයෙනි. තමන් මේ මුදල තබා ගැනීම වැරදි ද? ඒ වෙද්දී ඒ කන්තෝරුවේ සේවකයන් මේ අත්වැරැද්ද ගැන සොයාගෙන ඇති බව නිසැක විය. මෙහි සම්පූර්ණ වගකීම තමන්ට මුදල් දුන් කනිෂ්ඨ ලිපිකරුවාට පැවරී තිබෙනු හැකි බවත් බොහෝ විට ඔහුට රැකියාව අහිමි වන්නට ඉඩ ඇති බවත් ඔහුට සිතුණි. 

කාලය ගෙවෙද්දී මේ සිදුවීම ගැන හරිපාද ගේ සිත් තැවුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. මුලදී, පොලීසිය හෝ එකී සමාගම පැමිණ මේ මුදල තමන්ගෙන් උදුරා ගනී යන බියෙන් පසුවෙද්දී එය තමා සතුව තබාගැනීම වරදක් හෝ පාපයක් ලෙස ඔහුට හැඟුණේ නැත. නමුත් කල් ගත වෙද්දී ඒ බිය පහව ගිය අතර වෙනත් කැළඹුමක් ඔහුගේ සිතේ අරක් ගත්තේය. ඒ, සොරකම් කරන ලද මුදලකට තමන් අයිතිවාසිකම් කීමයි.

මෙලෙස සය මසක් ගත විය. මේ මුදල ආපසු ගොස් භාර දීම ගැන ඔහු නොයෙක් වර කල්පනා කළේය. නමුත් ඒ රුපියල් එක්දාස් එකසීයෙන් ඔහුට ආරම්භ කළ හැකි අපූරු සිල්ලර බඩු වෙළඳ සැල ගැන ඊළඟ මොහොතේ ඔහුට සිහි විය. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක මේ වරම ලබා දුන්නේ දෙවියන් විය හැකි ද? එසේ නම් මේ මුදල තමා සතුව තබා ගැනීම සුදුසු විය.

මුදල ආපසු භාර දීමට වැඩිම විරෝධයක් මතු වූයේ හරිපාද ගේ බිරිඳගෙනි. තම සැමියා ඒ ගැන කල්පනා කරන බව දැනුණු වහාම ඈ මහා කලබලයක් ඇති කළා ය. දිළිඳු දෙමව්පියන්ගේ දරුවෙකු ව ඉපිද, දිළිඳු මිනිසෙකු සමඟ විවාහ වී සිටි ඇයට ඒ රුපියල් එක්දාස් එකසීය මහා මෙරක් සේ විය. 

“උඹට තේරෙන්නේ නැද්ද? අපි මේ සල්ලි ලබා ගත්තේ රැවටීමකින්. ඒ බව තේරුණු දවසේ ඉඳන් මට නින්ද යන්නේ නැහැ. මට මේක උහුලාගෙන ඉන්න බැහැ. ඒ රුපියල් එක්දාස් එකසීයෙන් අපි හැමදාම ජීවත් වෙන්නයැ. ඔන්නොහෙ ඒක ආපිට දීලා දාමු” ඔහු ඇයව එකඟ කරවා ගැනීමට කරුණු දැක්වූයේ ය. 

“මොකක්ද මෙතැන රැවටිල්ල?” ඈ පිළිතුරු දුන්නා ය. “ලක්ෂ්මි දේවතාව අපේ ගෙදරට ඇතුල් වෙද්දී අපි ඈ ව පිටමං කරන්න ඕන ද? අපි කාවවත් රැවැට්ටුවේ නැහැනේ. මේක එයාලගේ වරදක්, අපේ නෙමෙයි. අනික ඔය වගේ ලොකු කොම්පැනියකට රුපියල් එක්දාස් එකසීය මොකක්ද? ඒ වගේද අපිට? අපිට ඒක ජීවිත කාලෙටම ඇති. ඔහේ බෙහෙත් පැලෑටි හොයන්න තිස්සෙම අකුල් අස්සේ රිංගලා, බලනවා හැටි! මේ සල්ලි වලින් කඩයක් ඇරලා සැනසිල්ලේ ඉන්න පුළුවන්.”

තම බිරිඳ ගේ මේ අදහස් හරිපාද ට මහත් කන්කරච්චලයක් විය. තමන් ඇයට වෙළඳ සැලක් ආරම්භ කිරීමේ අදහස ගැන කීවේ ඇයිදැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ඇගේ මුහුණේ පීඩිත බව දකිද්දී, ඇගේ ඉල්ලීමේ දුක්ඛිත බව ඇසෙද්දී ඒ මුදල තමා සතුව තබාගත යුතු යැයි ඔහුට නැවත සිතෙන්නට විය. ‘මේ අවාසනාවන්ත ගෑනිට මට කවදාවත් සතුටක් දෙන්න බැරි වුණා, ඒ නිසා මේ කඩේ ඇරලා වත් අපේ ප්‍රශ්න විසඳාගන්න ඕන’ ඔහු සිතුවේය. ‘ආශාලතා තාම තරුණයි, ඒත් ඈ ජීවිතේ කිසිම සතුටක් විඳලා නැහැ. එයා වෙනුවෙන් මම මේ පාපය කරනවා’

දිවා කාලයට මෙසේ සිතුණත් රාත්‍රියේ මුළු ගම්මානයම නිහඬ බවේ ගිලී ගොස්, ආශාලතා තමා අසල තද නින්දේ පසුවෙද්දී හරිපාද ගේ සිතිවිලි වෙනස් විය. තමන් කර ඇත්තේ සොරෙකු වීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය හේතු කාරණා සොයා ගැනීම පමණක් බව ඔහුට ඒ අවස්ථාවලදී සිතුණි. ගැහැනුන් නම් වන අමුතු ජීවින් කොටස කල්පනා කරන්නේ මුදල්, රන් අභරණ සහ ගෘහස්ථ කටයුතු ගැන පමණක් බව ඔහු සිතුවේය. කෙසේ හෝ ඒ මුදල ආපසු භාර දුන්නොත් තමන්ගේ ආත්ම වංචාව අවසන් වනු ඇත. 

කල් ගතවෙද්දී තමන්ට තම බිරිඳ නුරුස්සන බව හරිපාද ට වැටහිණි. තම ආදරණීය ආශාලතා! ඈ දැකීමෙන් ඔහුට කිසි සතුටක් දැනුණේ නැත. මෙවැනි තත්ත්වයකට ඔහු පත් වූයේ කෙසේද?

ඔවුන්ගේ වසු පැටවා මිය ගියේ මේ කාලයේදී ය. 

හරිපාද ට ඒ ගැන පුදුමයක් දැනුණේ නැත. මෙවැනි ගැහැනියක් වෙසෙන ගෙදරක එවැනි දේ බලාපොරොත්තු විය යුතු බවත්, ඇගේ පාප ඇසුර නිසා ඔහුට සිදුවන්නේ අගතියක් පමණක් බවත් ඔහුගේ මතය විය.

බිරිඳ ගැන දැනුණු මේ අප්‍රසාදය හරිපාද ගේ එදිනෙදා හැසිරීම ක්‍රම ක්‍රමයෙන් වෙනස් කළේය. ඔහු නිරන්තරයෙන් ඇයට දොස් පවරන්නට විය, කුඩා දේටත් ඇගේ ඇඟට කඩා පැන්නේය. අශාලතා ට මේ හැසිරීම තේරුම් ගන්නට නොහැකි විය. සැමියාගේ මේ වෙනස් වීමට හේතු විය හැක්කේ කුමක්ද? හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්ම තමන් මහන්සි වූවත් ඒ ගැන කරුණාවන්ත වදනක් පවසනු වෙනුවට ඔහු කුඩා දේටත් ඇයට බැණ වදින්නේ ඇයි? 

පසුගිය මාසයක කාලයක් තුළදී හරිපාද තමන්ට අනිසි ව ලැබුණු මුදලෙන් රුපියල් තිහක් හෝ හතළිහක් වියදම් කර තිබිණි. 

“මේ මනුස්සයා ගිනි මද්දහනේ බෙහෙත් පැලෑටි හොය හොයා කැලෑ වල රිංගන නිසාද මන්දා අසනීප පාටයි, මම එයා ගැන මීට වැඩිය හොඳින් බලන්න ඕන” යැයි සිතූ ආශාලතා ඔහුගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් දිනපතා ලූචි බදින්නටත්, වෙනත් රස මසවුළු සකසන්නත් විය. 

දිනක් හරිපාද රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ආශාලතා ඔහුට උණුසුම් කිරි බඳුනක් ගෙනත් දුන්නාය. හදිසියේම ලූචියක් හපද්දී දිව හැපී ඔහු වේදනාවෙන් කෑගැසීය. ඒ ගැන බිරිඳගේ විමසුම් වලට පිළිතුරක් නොදී වේදනාවෙන් ඇඹරී ගිය මුහුණින් යුතුව ඔහු මුනිවතින් පසුවිය. 

“මොකද වුණේ?” ඈ නැවතත් කලබලයෙන් විමසුවාය. 

“උඹ නිසා තමයි මේ හැම දෙයක්ම. මේ ගෙදර එළිපත්තට උඹේ හෙවණැල්ල වැටුණු දවසේ ඉඳන් විපත්මයි වෙන්නේ. අර වහු පැටියා මැරුණෙත් ඒකයි.. තව ..”මෙසේ කෑ ගැසූ හරිපාද, ලූචි විසිරී යන සේ වැරෙන් පිඟාන තල්ලු කර, හුන් තැනින් නැගිට, නිවසින් පිටව ගියේය. කිරි බඳුනත් අතැතිව ආශාලතා ගල් ගැසී ඒ දෙස බලාගත්වනම සිටියාය.

එදින හරිපාද නැවත නිවසට එද්දී බොහෝ රෑ බෝවී තිබිණි. තම බිරිඳ නිසොල්මන් ව බරාඳයේ සිටිනු ඔහු දුර සිටම දුටුවේය. ඒ වෙද්දී ඔහුගේ දිවේ වේදනාව සමනය වී තිබුණු අතර තමන් අතින් කියවුණු රළු වදන් ගැන ඔහුට පසුතැවීමක් දැනෙමින් තිබිණි. ඔහු ඈ වෙත ගොස් සෙමෙන් මේසේ කීවේය.

“කෝ, නැගිටින්න, ඔයා කේන්තියෙන්ද ඉන්නේ? කෑම කෑවා ද?” 

ආශාලතාගේ දෑසෙන් කඳුළු බේරුණු අතර ඈ තව දුරටත් නිහඬව සිටියාය. ඔහු මුදු ලෙස ඇගේ අත ස්පර්ශ කළේ ය. ඉනික්බිති ඈ සාරියේ කෙළවරකින් දෑස පිසදා අන්තිමේදී මෙසේ කීවාය.

“ඔතැනින් වාඩිවෙන්න, මට දෙයක් කියන්න තියෙනවා.” 

“මොකක්ද?”

“අර සල්ලි ආපිට ගිහින් දෙන්න. වියදම් වුණු ගාණක් මගේ වළලු දෙක උකස් කරලා හරි, විකුණලා හරි පියවාගමු. ඔය සල්ලි මේ ගෙදරට ආව දවසේ ඉඳන් අපේ ගෙදර සාමය පිටමං උනා. ඕක අපි ළඟ තියෙනකම් අපිට සැනසිල්ලක් නැහැ, හෙටම යන්න.” 

මුදල ගණන් කර බලද්දී ඉන් රුපියල් සියයක් වියදම් වී ඇති බව හරිපාද ට වැටහිණි. පසුදින බිරිඳ ගේ වළලු ද ගෙන කල්කටාවට ගිය ඔහු ඉන් කිහිපයක් විකුණාගැනීමට සමත් විය. හින්දුස්ථාන් ආයතනයට එළැඹි විට ඔහු කනිෂ්ඨ ලිපිකරු වෙත යනවා වෙනුවට කෙළින්ම ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට ගියේ කනිෂ්ඨ සේවකයා අතින් කළින් සිදු වූ අතපසු වීම නිසා ය. කාර්යාලයේ වෙන කිසිවෙකු නොවීය.

“මොකද?” නිලදරුවා විමසීය.

හරිපාද සම්පූර්ණ විස්තරයම පැවසුවේය. ප්‍රධාන ලිපිකරුට තම සවන අදහා ගන්නට නොහැකි විය. මේ මුදලේ අඩුව කාර්යාලය තුළ මහත් කලබගෑනියක් ඇති කර තිබිණි. මුල් වතාවේ හරිපාද එහි පැමිණ දෙදිනකට පසු ඒ වැරැද්ද සොයා ගැනුණු අතර ඔහුගේ විස්තර සොයන්නට ඔවුන් කෙතරම් වෙහෙස වූවත් ඉන් පලක් වූයේ නැත. අන්තිමේදී අදාළ කනිෂ්ඨ ලිපිකරුවාගේ මාස් පඩියෙන් රුපියල් තිහක් බැගින් කපන්නටත් ඔහුට වාර්ෂික දීමනාව ද අහිමි කරන්නටත් නියම විය. 

දැන්, ඊට මාස ගණනාවකට පසු මුදල් ගෙන අතුරුදන් වූ තැනැත්තා නැවතත් මුදල් රැගෙන පැමිණ ඇත! අවුරුදු පනස් දෙකක් වූ තම ජීවිත කාලය තුළදී ප්‍රධාන ලිපිකරු මීට පෙර මෙවැන්නක් දැක තිබුණේ නැත. 

“තමුසේ මුළු ගාණම ගෙනාවද? දැන් ඔක්කොම දෙනවාද? කළින් ආවේ නැත්තේ මොකද?” ඔහු ප්‍රශ්න කළේය. 

“එදා මෙතැනින් යද්දී එහෙම වැඩියෙන් සල්ලි ලැබුණු බව මම දැනගෙන හිටියේ නැහැ සර්, පස්සේ දැනගත්තාම මගේ තණ්හාව මාව අන්ධ කළා. අපි දුප්පත් මිනිස්සුනේ සර්” 

මුදල් ගණන් කර භාරගත් පසු හරිපාද එසැණින් යන්නට ගියේය. නමුත් ඒ වෙද්දී මේ අරුම පුදුම ආරංචිය කන්තෝරුව වටා පැතිරී තිබිණි. විස්තර දැනගැනීමට සෙසු සේවකයෝ ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට රොක් වූහ. 

“තමුසෙලා දන්නේ නැහැ හරියටම සිද්ද වුණ දේ” ලොක්කා සිනාසෙමින් පැවසීය. “මම මේ කොම්පැනිය වෙනුවෙන් කොයිතරම් මහන්සි වුණත් කවදාත් මට ප්‍රසිද්ධියක් ලැබිලා නැහැනේ. අර මිනිහා හිතන්න ඇති මාස කීපයක් ගත වුණු නිසා කාටවත් ඌව මතක නැතිව ඇති කියලා. ආයෙත් මොනවහරි විකුණන්න එන්න ඇත්තේ. මම දැක්ක ගමන් ඇහුවා ‘තමුසෙගෙ නම මොකද්ද, තමුසෙට නේද කළින් වතාවක වැඩිපුර මුදල් ලැබුණේ කියලා.’ මම ඕකාගේ අත්සනින් ඇඳිරුවේ. ඌ බයට සුදුමැලි වුණා. මම කිව්වා සල්ලි නොදුන්නොත් පොලිසියට කියනවා කියලා. ඌ බිස්නස් කාරයෙක්ද කොහෙද, උගේ ළඟ ඒ වෙලාවේ සල්ලි තිබුණා. කොහොමහරි ඌ සල්ලි දීලා ඉක්මණින් පැනලා දිව්වා!”

“ලොක්කාට ජය වේවා!” රැස්‌ ව සිටි සේවක පිරිස ප්‍රීති ඝෝෂා කළහ. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Bravo to the Boss’ by Bibhuti Bhushan Banerji

Picture- Gemini

November 04, 2025

බෙන්ජමින් ට



නොදන්නා තැනක සිට මා වෙත පැමිණි බෙන්ජමින් ට

ඉතින් මා කුමක් කරම් ද?
මා කොස්සක් අතට ගත් විට
ඌ කාමරයෙන් පිටවෙයි

උදුන දැල්වීමට දර සකසද්දී
ඌ ගෙවත්තට පලා යයි

ඉනික්බිති, ඌ නැවත පැමිණි විට
අපි වරුවක් තිස්සේ වැළඳගනිමු

තැති ගැන්ම නිසා උත්සන්න වුණු
බෙන්ජමින් ගේ හද ගැහෙන වේගය
කෙමෙන් අඩුවනු මට දැනේ

මම උගේ උරහිස් පිරිමැද
දෙපා සිඹිමි
දිගු කන් සුරතල් කරමි

බෙනී- මම කියමි
බය වෙන්න එපා.
මමත් දන්නවා …
අලුත් ජීවිතය පසුපස්සෙන්
පරණ ජීවිතය හොල්මන් කරන හැටි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem "Benjamin, Who Came From  Who Knows Where" By Mary Oliver


Digital art

October 24, 2025

කුරුළු කතා


සමහර වෙලාවට පොඩ්ඩක් උවමනාවෙන් බැලුවාම වටපිටාවේ හරි අපූරු දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට වසන්ත කාලේනේ. මේ දවස්වල අපේ ගේ වටේට කුරුළු කූඩු කීපයක්ම හදලා බව මම දැක්කේ අහම්බෙන්. මේවා ගෙදරටම සම්බන්ධ කරලා හදපු ඇනෙක්ස් වර්ගයේ ඒවා මිසක් ගස් වැල් වල හදපු ඒවා නෙමෙයි. ඒ වගේම මේවායේ ඉන්නේ එක කුරුළු ජාතියකුත් නෙමෙයි, විවිධ ජාතීන් කීපයක්. ඒ spotted dove, blackbird, mud lark කියන කුරුළු වර්ග බව ටිකක් පරීක්ෂාවෙන් බලද්දී මට පෙනුණා. මේ කූඩු වලින් දෙකක්ම අපිට අත දිග ඇරලා අල්ලන්න තරම් කිට්ටුයි, ඒ අතරින් blackbirds ලා නම් බොහොම එඩිතරව එයාලගේ ගේ හදලා තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා දොරකඩම!  හැබැයි Mud lark කූඩුව තියෙන්නේ ගෙදර වහලෙයි වැහි පීල්ලයි අතරේ. ඒ කූඩුව පේන්නේ නැහැ, එයාලා එතැනට යනවා එනවා විතරයි පේන්නේ. කොහොමහරි මෙයාලා හරියට කතා වෙලා වගේ කලින් කවදාවත් නොවුණු විදිහට, එක සැරේ අපේ ගෙදර පදිංචි වෙලා.

කොච්චර වුණත් එයාලා අපේ ගෙදර නවාතැන් ගත්ත අමුත්තො නිසා මම මේ පවුල් කීපය ගැන හොයලා බලන වැඩේ බාර ගත්තා. එයාලාගේ කූඩු පැත්තේ වැඩිය ගැවසෙන්නේ නැතිව, bird bath එකේ නිතරම පිරිසිදු වතුර පුරවලා තියමින් මම මේ ටිකේ එයාලට සහයෝගය දෙනවා. එහෙම කල්පනාවෙන් ඉන්දැද්දී තමයි දවසක් වැහි පීල්ල අස්සේ කූඩු හදපු mud lark ජෝඩුවගේ බිත්තරයක් එයින් එළියට වැටිලා කියලා මම දැක්කේ. උඩ ඉඳන් වැටෙද්දී මගේ මල් පෝච්චියක් උඩට වැටුණු නිසා ඒක නොබිඳී බේරිලා. ඒක ලස්සන නිල් පාට පොඩි බිත්තරයක්. වහලෙට නගින්න බැරි නිසා බිත්තරය ආයෙත් කූඩුවෙන් තියන්නත් බැරිව, ඒකට මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට තමයි මම ඊළඟට මූන දුන්නේ. අන්තිමේදී ටිකක් කල්පනා කරලා  spotted dove ජෝඩුව අහල පහල නැති වෙලාවක් බලලා මම බිත්තරය එයාලගේ කූඩුව ඇතුලෙන් තිබ්බා. පුතා නම් මේ වැඩේට එකහෙලාම විරුද්ධ වුණා. එයා කීවේ මම කළේ unethical වැඩක්, dovesලා ඒ බිත්තරේ වෙනස් බව දැනිලා කූඩුවෙන් බිමට දායි කියලා. ඒත් ජීවත් වෙන්න වාසනාව තියෙනවා නම් වෙන කුරුළු පවුලක හරි ඒ mud lark කුරුළු පැටියා ලොකු වෙයි කියලා තමයි මම හිතුවේ. තාම නම් බිත්තරේ බිම දාලා නැහැ, spotted dove කිරිල්ලී මේ වෙද්දීත් ඔක්කොම බිත්තර ටික රකිමින් ඉන්නවා! තව ඉස්සරහට පියාඹන්න පුරුදු වෙන්න ගිහින් කූඩු වලින් වැටෙන කුරුළු පැටව් ගැන බලාගන්නත් මට රාජකාරි තියෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මගේ කාර්යාලයේ මිතුරියක් එක්ක මම හිනාවෙමින් කිව්වා මේ දවස්වල මට තියෙන අලුත් රාජකාරිය ගැන. ඈ නම් ඒක මට වැඩිය බැරෑරුම්ව අරගෙන ඊට වෙනස් අර්ථකථනයක් දුන්නා. "Birds nesting around your house represent new beginnings and the cycle of life. The universe is giving you a message!" ඈ කිව්වේ එහෙමයි. එහෙම හිතුවොත් එක අතකට ඒකත් හරි. අපේ පුතාත් එයාගේ ඉස්කෝලේ කාලේ ඉවර කරමින්, පියාඹන්න ලෑස්තිවෙන කාලයක් මේ ගෙවෙන්නේ. අපිත් ඉස්සර ඒ වගේම කූඩුවලින් පිටවෙන්න බලන් ඉන්න කාලයක් ගෙව්වා. අද ඊයේ වගේ දැනුණත් ඒ කාලේ පහුවෙලා දශකම කීපයක් ගෙවිලා. එහෙම බැලුවොත් ඇත්තටම මේ new beginnings, growth, cycle of life ගැන පුංචි පාඩමක් තමයි. අපිට එක සැරේ කුරුළු ගුරුවරු තුන්දෙනෙක්ම කියලා දෙන පාඩමක්! 


පින්තූරේ ඉන්නෙ අනුන්ගෙ බිත්තරයකුත් රකින dove කිරිල්ලිත්, දොරකඩම පදිංචි blackbird මහත්මියත්.


October 20, 2025

"මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා"



“ඔයා නම් ඉතින් හැම දේම හොඳට ප්ලෑන් කරනවනේ, වැඩේ හොඳට යයි” සමුද්‍රා ළඟටම ඇවිත් කියද්දී තනුජා හිටියේ කේටරින් සර්විස් එකේ කට්ටියට මේස ටික පෙන්නමින්. තනුජාලාගේ ගෙදර එදා රෑට තියෙන පාටියට ඒ වෙද්දී හැමදේම සූදානම් වෙමින් තිබුණා. වත්තේ තැන තැන මේස පුටු තියලා, ගහ කොළ බල්බ් වැල් වලින් එළිය කරලා අමුතුම ලස්සනක් පෙනුණා.

“අනේ සමුද්‍රා, ඔයාලා ආවාද? කොච්චර දෙයක්ද කළින්ම ආව එක? යං වාඩිවෙන්න” තනුජා සමුද්‍රාව වැළඳගන්න ගමන් කිව්වා. සමුද්‍රා ගේ සැමියා ජානක, තනුජාගේ සැමියා සමන්ගේ විශ්ව විද්‍යාල කාලයේ මිත්‍රයෙක්. ඒ යාළුකම නිසා එයාලා කාලෙක ඉඳන් ආශ්‍රය කරනවා. නිතරම නැතත්, උත්සවයක්, මරණයක් වුණාම යනවා එනවා. තමන්ගේ අලුත් ගෙදරට ගෙවදින පිරිතෙන් පස්සේ සතියේ, දෙන්නාගේම යාලු මිත්‍රයින්ට රෑ කෑමට ආරාධනා කරන්න තනුජාත් සමනුත් තීරණය කරලා තිබුණා. අන්තිමේදී ඒක අමුත්තෝ තිහක් හතළිහක් එන්න නියමිත සාදයක් බවට හැරුණා. 

“ඔයාගේ නෑයෝ එහෙමත් ඔක්කොම ඇවිල්ලා ද?” සමුද්‍රා සාලේ පැත්තට යන ගමන් දොර රෙදි එහා මෙහා කරමින්, කාමරවලට එබෙමින් ඇහුවා. ජානක බොහොම හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක් වුණත් මොකක්දෝ හේතුවකට මේතරම් කාලෙකට තනුජාගේ හිතේ සමුද්‍රා ගැන නම් පැහැදීමක් ඇති වෙලා තිබුණේම නැහැ. සමුද්‍රා ගේ සුහද කතාබහට යටින් මොකක්දෝ පිරිමැහෙන්නේ නැති අවුලක් එයාට හැමදාම දැනුණා. ඒත් සමන් ගේ යාළුවො ආශ්‍රය කරද්දී ඒ යාලුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් මිදෙන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා තනුජා ඒ කවුරු එක්කත් හැමදාම සිනාමුසුව හිටියා.  

“මගේ නෑයෝ ඔක්කොම ආවේ ගිය සතියේ තිබුණු පිරිතටයි දානේටයිනේ සමුද්‍රා. දුර නිසා එයාලා ඊට පස්සේ ආපහු ගියා. අද එන්නේ අපේ යාළුවො ටික තමයි. තව සමන්ගේ අයියලායි, නංගිලායි ඉන්නවා, එයාලා මේ ළඟ නේ ඉන්නේ” තනුජා පැහැදිලි කළා. ඒත් ප්‍රශ්නේ ඇහුවාට ඒකට උත්තරේ අහගන්න සිහියක් සමුද්‍රා ට නොතිබුණේ අලුත් ගෙදර දොර ජනෙල්, මේස පුටු සිසාරා එයාගේ ඇස් දුවමින් තිබුණු නිසා. ඒ බැල්මේ මොකද්දෝ ඉරිසියාවක් තැවරිලා තියෙනවාද කියලාත් තනුජා ට හිතුණා. 

ඒ වෙලාවේ එතැනට ආවේ සමන් ගේ අයියාගේ දුව මනීෂා. එයාගේ අතේ මල් පොකුරක් තිබුණා. 

“පුංචි, මම මල් වාස් ටික කුස්සියේ තියාගෙන හදන්නම්. නැත්නම් අපේ දෝණි එක්ක බැහැ, ඔක්කොම අදීවී.” මනීෂා කිව්වේ සමුද්‍රා එක්කත් හිනාවෙන ගමන්.  

සමුද්‍රා ගේ බැල්ම එසැණින් යොමු වුණේ මනීෂාගේ දිහාවට. එයා මනීෂා දිහා උඩ ඉඳන් පහළටත්, මනීෂාගේ ඇඟේ දැවටෙන එයාගේ චූටි දුව දිහාත් හොඳින් බැලුවා. 

“මේ තනුජාගේ මල් කුමාරි නේද? ඒ කාලේ බෝලේ වගේ පෙරළි පෙරළි හිටියේ… දැන් දුවෙකුත් ඉන්නවද?” සමුද්‍රා හරි ලෙන්ගතුකමින් වගේ ඇහුවේ පොඩි කෙල්ලගේ ඔලුව අතගාන ගමන්. 

“ඔව්, ඔව් මනීෂා තමයි අපේ මල් කුමාරිට හිටියේ, ඔයාට මතකයි නේද? හරි පුතේ ඔයා මල් වාස් ටික හදන්නකෝ. එහෙනම් සමුද්‍රා ඔයාත් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, මම අර කේටරින් කට්ටිය කෑම අරින එක බලලා ඔයාට බොන්න දේකුත් අරගෙන එන්නම්” තනුජා නැගිට්ටේ කුස්සිය පැත්තට ආපිට යන්නයි. 

“පොඩ්ඩක් ඉන්න, ඔයාගෙන් බඩුවක් අහන්නත් තියෙනවා.” සමුද්‍රා මනිෂාට යන්න ඇරලා තනුජාගේ අතින් ඇදලා ආයෙත් වාඩි කරවා ගත්තා. “අරයා ගැන” එයා ඇස් දෙකෙන් පෙන්නුවේ පිටුපාලා යමින් හිටිය මනීෂා ව.

“අපේ මනීෂා ගැන? ඇයි සමුද්‍රා?” තනුජා නැවතුණා.

තනුජාලා කසාද බඳිද්දී මනීෂාට අවුරුදු හතක් අටක් විතර. ඒ හුරුබුහුටි, කටකාර කෙලි පැටික්කිට තනුජා මුල් හමු වීමෙන්ම ආදරේ වුණා. එයාලගේ මඟුල් ගෙදර මල් කුමාරි වුණු දවසේ මනමාල ජෝඩුව පිටත්වෙලා යන වෙලාවේ එයාලා එක්ක යන්න ඕන කියලා මනීෂා හොඳටෝම ඇඬුව හැටි තනුජාට හොඳට මතකයි. ඒ කාලේ ‘තනු පුංචි’ කියමින් තමන්ගේ පස්සෙන් වැටිලා තොරතෝංචියක් නැතිව කියවමින් හිටි කෙල්ල දැන් කසාද බැඳලා අම්මා කෙනෙක් වෙලා නේද කියන එක සමහර වෙලාවට තනුජාට අදහා ගන්නත් බැහැ. මනීෂා ගැන තනුජාට හැමදාම දැනුණේ තමන්ගේ දරුවන්ට තරම්ම ගැඹුරු බැඳීමක්.

සමුද්‍රා මනීෂා ගැන කියන්න හදන්නේ සතුටු කාරණයක් නෙමෙයි කියලා තනුජාට හිතුණේ සමුද්‍රා ඇස් කරකවන හැටි දැකලා. “මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා ඔන්න තනු, ඔයාගෙන්ම අහන්න ඕන කතාවක් මේක. ඔය මනීෂා බඳිනකොට ඔය දුව හම්බවෙන්න හිටියා නේද?” සමුද්‍රා හඬ බාල කරලා අහද්දී එයාගේ ඇස් දෙකෙන් බේරුණේ රස කෑමක් ලැබුණු කෙනෙකුගේ පෙරේතකමක්.

සමුද්‍රා කීව දේ තමන්ට හරියට ඇහුණා ද කියලා තනුජාට එකපාරට හිතාගන්න බැරිවුණා. මනීෂා බැඳලා දැන් අවුරුදු පහක් හයක් ඇති, එයාගේ දුවටත් දැන් අවුරුදු තුනක් විතර. තනුජාට මුලින් හිතුණේ සමුද්‍රා මේ මනීෂා ව වෙන කවුරුහරි එක්ක පටලවාගෙන කියලායි. 

“ඔයාට වැරදිලාද කොහෙද සමුද්‍රා, අපේ මනීෂා බැඳලා දැන් කොච්චර කල්ද! වෙන මනීෂෙක් වෙන්නැති” එයා හිනාවෙලා කිව්වා.

“නෑ නෑ.. ඔය මනීෂා ගැනම තමයි අනේ මං අහන්නේ, මම ළඟදී එයාලගේ මඟුල් ෆොටෝ දැක්කා, එතකොට තමයි මට නෝටිස් වුණේ”

සමුද්‍රා ජයග්‍රාහී ලීලාවෙන් කීවේ තනුජාගේ අතකුත් අල්ලාගෙන.

තනුජාට ඒ වෙද්දීත් මේ කතාවේ අග මුල තේරුණේ නැහැ. මීට අවුරුදු පහ හයකට කළින් තිබුණු මනීෂාගේ මඟුල් ගෙදර විස්තර එයා මතක් කරගන්න උත්සාහ කළා. පිරිපුන් ඇඟක් තිබුණු මනීෂා එදා ඔසරියට හරි හැඩට හිටියා. ඒ මඟුල් ගෙදර පින්තුර මේ තරම් කාලයක් ගිහින් සමුද්‍රා දැක්කේ කොහොමද? අනික මොකක්ද මේ බබෙක් හම්බවෙන්න හිටිය කතාව?

“ඔයා මේ කියන්න හදන දේ මට තේරෙන්නේ නැහැ, වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්නකෝ” තනුජා තරමක නොරිස්සුමකින් කිව්වා. සමුද්‍රා මේ ලෑස්ති වෙන්නේ කොහෙන් හරි හොයාගත්තු කුණු ගොඩක් අවුස්සන්න බව එයාට පැහැදිලි වුණා. 

“ඕකේ මොකක්ද අනේ තේරුම්ගන්න අමාරු? අපේ නෑදෑ දුවෙක් මනීෂා ගේ යාලුවෙක්ලු. මමත් ළඟදී දැනගත්තේ. එයාගේ පරණ පින්තුර වගයක් බලද්දී තමයි මම දැක්කේ මනීෂා ගේ මගුල් දවසේ ගත්තු පින්තූර ටිකක්. ඒ පින්තූර වල ඔයාලයි, සමන්ගේ අයියලායි හිටිය නිසායි මම අඳුනාගත්තේ, නැත්නම් අපිට ඔය කෙල්ලන්ව මතක නැහැනේ අනේ. ඔසරිය ඇන්දාට බඩ මේං මෙහෙම නේද? මට නම් අම්මෝ කියලා හිතුණා. අද පාටියට ආවාම ඕක කොහොමහරි ඔයාගෙන් අහන්න ඕන කියලා මම මතක තියාගත්තා! ඒක අහද්දී මේ බඩ්ඩත් මෙතැනම ඉඳී කියලා කවුද හිතුවේ” සමුද්‍රා කැකිරි පැලුවේ හරි විනෝදජනක දෙයක් කීව විදිහට.

තනුජාට දැනුණේ තමන්ගේ ඉස් මුදුණින් ගින්දර පිටවෙනවා වගේ. එයාට සමුද්‍රා ට කම්මුලට ගහන්න තරම් කේන්තියක් ආවා. මනීෂා කසාද බැඳලා මාස පහක් හයක් ගත වුණාට පස්සේ දවසක එයා හිතේ අමාරුවෙන් තමන්ව හොයාගෙන ආව හැටි තනුජාට මතක් වුණා. ඒ, ඒ වෙද්දී එයාලා හිතුව විදිහට දරුවෙක් පිළිසිඳ නොගත්ත ගැටලුව. ඉස්සර ඉඳන්ම තමන්ගේ අම්මාටත් වඩා තනුජා පුංචි එක්ක හිතේ තියෙන දේවල් බෙදාගන්න මනීෂා පුරුදු වෙලා හිටිය නිසා මේ ප්‍රශ්නයත් එයා මුලින්ම කීවේ තනුජා ට. එයාලාට තව වයස තියෙන නිසාත්, තාම වැඩි කාලයක් ගත වෙලා නැති නිසාත් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති බව කියලා තනුජා එයාගේ හිත හදන්න උත්සාහ කළත් මනීෂා හිටියේ හිතේ අමාරුවෙන්. ඒ නිසා අන්තිමේදී තනුජා පවුලේ අය එක්කත් කතා කරලා මනීෂාත් ඇගේ සැමියාවත් එයාලා දන්නා වෛද්‍යවරයෙකුට යොමු කළා. මූලික පරීක්ෂණ කීපයකින් පස්සේ මනීෂා ට යම් ප්‍රමාණයක් බර අඩු කරගන්න උපදෙස් දුන්නු ඒ වෛද්‍යවරයා ඖෂධ මාත්‍රාවකුත් නියම කළා. මනීෂා ඒ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දේ පවුලේ හැම කෙනෙක්ම පුදුම කරමින්. ඒ කාලේ එයා රස්සාවට යන ගමන්ම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා කොහොම හරි බරත් අඩු කරගත්තා. අන්තිමේදී කසාද බැඳලා අවුරුදු එකහමාරක් විතර යද්දී මනීෂා ස්වාභාවිකවම ගැබ් ගත්තා. සමන්ගේ පවුල් වල තුන්වෙනි පරම්පරාවේ පළවෙනි දරුවා එන්න නියමිත බව දැන ගත්තාම හැමෝම සතුටින් පිනා ගිය හැටි තනුජාට අද වගේ මතකයි. එහෙව් කෙල්ලට සමුද්‍රා මේ කරන අපහාසය මොකක්ද? අනෙත් අතට ඒවා හොයන්න සමුද්‍රා කවුද?

හොඳ හුස්මක් අරගත්ත තනුජා වටපිට බලලා පහත් හඬින් මෙහෙම කිව්වා. 

“සමුද්‍රා ඔයා අද මොන කුණු ගොඩක් ඔලුවේ පුරවාගෙන ආවාද කියලා මම දන්නේ නැහැ, හැබැයි නිකරුණේ මිනිස්සුන්ට පද හදන්න එපා. ඔය කෙල්ලට බැඳලා ටික කලක් යනකම් ළමයි නැතිව ඉන්දැද්දී ඒකි ව දොස්තර ලා ළඟට එක්කගෙන ගියේ මමයි. ඒ නිසා මම දන්නවා ඒවායේ දින වකවානු හරියටම. එහෙම උනත්, නැතත් ඔයා කවුද ඕවා අවුස්සන්න? අනික දැන් අවුරුදු පහක් හයක් පරණ කතාවක් ගැන? ඔයාට අනිත් මිනිස්සු සන්තෝසෙන්, ප්‍රශ්න නැතිව ඉන්නවා දකින්න හරි අමාරු බව මට කළින් ඉඳන් තේරිලා තියෙනවා. ඔයාගේ ඔය කුණු ගොඩවල් වෙන කාටහරි කියන්න, මෙහෙ නම් ඕවාට ඉඩ නැහැ!”

එහෙම කියලා තනුජා නැගිටලා යන්න ගියේ ආපහු හැරිලාවත් බලන්නේ නැතිව. ඒ නිසා ඒ කෙළින් උත්තරෙන් සමුද්‍රාගේ මූන කළු වෙලා ගිය බව එයා දැක්කේ නැහැ. සමන් ට වුවමනා නම් දිගටම ජානක එක්ක යාළුකම් තියාගන්න පුළුවන් බවත්, සමුද්‍රා නම් ආයෙත් එහෙ නාවට කමක් නැති බවත් සමන්ට කියන්න තනුජා ඒ එක්කම හිතා ගත්තා. 

මේ කිසි දෙයක් නොදන්නා මනීෂා, තනුජා ව හොයාගෙන ගිහින් මල් පුරවපු මල් බඳුන  එයාගේ අතේ තියන හැටි සමුද්‍රා බලාගෙන හිටියේ ඇද වුණු මූණෙන්. 


photo- Gemini


October 13, 2025

මුණගැසීම

අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු
අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි

හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට
ඔබ අත දිගු කර එය පෙන්වීය

ඒ බොහෝ කලකට පෙරදීයි
දැන් ඒ හාවාත්,
ඒ දසුන පෙන්වූ මිනිසාත්,
ජීවතුන් අතර නොමැත

ප්‍රේමවන්තය,
කොතැනකද ඒ හැමදේම?
අතක සෙලවීම, ගල් කැටවල සර සරය
ඒවා සැඟවුණේ කොහි ද?

මා විමසන්නේ ශෝකයෙන් නොව,
විමතියෙනි

Translation of the poem Encounter, by Czeslaw Milosz
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

පෝලන්ත සහ ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් ඇති Czeslaw Milosz ලිතුවේනියාවේ උපන්නෙකි. විසිවන සියවසේ විශිෂ්ඨ ම කවියන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු, 1980 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තේය

Digital art



October 03, 2025

පෙලගේයා


පෙලගේයා අකුරු නොදත් කාන්තාවක් විය. ඇයට තමන්ගේ නම වත් ලිවීමට නොහැකි විය.

අනෙත් අතට පෙලගේයා ගේ සැමියා සෝවියට් ආණ්ඩුවේ වැදගත් නිලයක් හෙබවූවෙකි. ඔහු ද අතීතයේදී පිටිසර ගැමියෙකු ව සිටි නමුත්, වසර පහක් තිස්සේ නගරයේ වාසය කිරීම නිසා ඔහු තම නම ලිවීමට පමණක් නොව, ඊටත් වඩා බොහෝ දේ උගෙන තිබිණි. තම බිරිඳ සාක්ෂර බවින් තොර වීම ඔහුට මහත් ලැජ්ජාවක් විය.

“පෙලගේයුෂ්කා, ඔයා අඩුම තරමේ ඔයාගේ නම වත් ලියන්න ඉගෙන ගන්න,” ඔහු පෙලගේයා ට නිතර කීවේය. “බලන්න මගේ වාසගම කොයිතරම් සරල එකක් ද කියලා. කුච්-කින්, ඒත් ඔයාට ඒක ලියන්න වත් බැහැ. මේක හරි ලැජ්ජාවක්.”

පෙලගේයා මේ චෝදනා ගණන් ගත්තේ නැත. “දැන් මම ඕවා ඉගෙන ගන්න මහන්සි වෙලා පලක් නැහැ ඉවාන් නිකොලවිච්,” ඈ මීට පිළිතුරු දුන්නාය. “දැන් මට වයසයි. මගේ ඇඟිලිත් දරදඬු යි. මේ කාලේදී අකුරු ඉගෙනගෙන වැඩක් තියෙනවද? ඔය අලුත් පුරෝගාමී කට්ටියට කියන්න අකුරු ඉගෙනගන්න කියලා. මම මෙහෙමම වයසට යන්නම්.”

පෙලගේයා ගේ සැමියා බෙහෙවින් කාර්යබහුල කෙනෙකු වූ අතර ඔහුට තම බිරිඳ වෙනුවෙන් නාස්ති කිරීමට වැඩිපුර කාලය තිබුණේ නැත. ‘අයියෝ පෙලගේයා!’ යැයි කීමට මෙන් ඔහු හිස සැලූ මුත් මීට පිළිතුරු දෙන්නට ඔහු තැත් දැරුවේ නැත. 

නමුත් දිනක් ඉවාන් නිකොලවිච් විශේෂ කුඩා පොතක් නිවසට ගෙන ආවේය. 

“මෙන්න පෝල්‍යා,” ඔහු කීවේය. “මේ තමයි අලුත්ම ක්‍රමයට සකස් කළ මූලික කියවීම් පොත. මම ඔයාට මේකෙන් අකුරු උගන්නන්න හදන්නේ.” 

පෙලගේයා මීට පිළිතුරු දුන්නේ මඳ සිනහවකිනි. ඉනික්බිති ඈ එය අතට ගෙන, අනෙත් පැත්ත හරවා කණ්නාඩි මේසයේ ලාච්චුවකට දැමුවේ “ඕක ඔන්නොහෙ මෙතැන තිබුණාවේ, අඩු ගානේ අපේ මුණුබුරෝ වත් මේක පාවිච්චි කරාවිනේ” කියන්නට මෙනි. 

දිනක් පෙලගේයා ඉවාන් නිකොලවිච් ගේ කබායක් අණ්ඩ දැමීමට සැරසුණේ එහි අතක් ඉරී තිබුණු බැවිනි. මේසයට වාඩි වී, ඉඳිකටුව සූදානම් කර, කබාය අතට ගනිද්දී එහි සාක්කුවක යම් දෙයක් සර සර හඬ නඟනු ඈට දැනුණි. 

එහි ඇත්තේ මුදල් නෝට්ටුවක්දැයි සිතමින් ඈ එය පිරික්සා බැලුවාය.

නමුත් එහි තිබුණේ ලිපියකි. ඉතාමත් පිළිවෙල, කුඩා අත් අකුරින් ලියන ලද පිරිසිදු ලියුම් කවරයක එය බහා තිබුණු අතර ඉන් විලවුන් සුවඳක් ද නික්මිණි. 

පෙලගේයාට තිගැස්මක් දැනුණි. ඉවාන් නිකොලවිච් තමාව රවටනවා විය හැකිද? ඔහු උගත් කාන්තාවන් සමඟ පෙම් හසුන් හුවමාරු කරගනිමින් තම අකුරු බැරි බිරිඳ ව අවඥාවට ලක් කරමින් ද? ඈ ලියුම් කවරයෙන් ලිපිය පිටතට ගත්තාය. නමුත් අකුරු නොදත් බැවින් ඈ ට එහි වූ කිසිවක් කියවා ගනු නොහැකි විය. ජීවිතයේ පළමු වතාවට තමන්ට අකුරු බැරි වීම පිළිබඳව පෙලගේයා ට පසුතැවීමක් දැනුණි. 

‘මේක වෙන කෙනෙකුගේ ලියුමක් බව ඇත්ත, ඒත් මේකේ තියෙන දේ මම දැනගන්න ඕන. සමහර විට මේකෙන් මගේ මුළු ජීවිතයම වෙනස් වේවි, මේ ලියලා තියෙන දේවල් නිසා මට ආයෙමත් ගමට ගිහිල්ලා ගොවිපලක වැඩ කරන්න වේවි.’ ඈ කල්පනා කළා ය. 

මෑතක සිට ඉවාන් නිකොලවිච් වෙනස් වී ඇති බවක් කල්පනා වී පෙලගේයා හඬන්නට විය. ළඟදී සිට ඔහු තම උඩු රැවුල අලංකාරව පවත්වා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් දක්වන බවත් නිතර තම දෑත සෝදන බවත් ඇයට සිහි විය. ලියුම දෙස බලාගත්වනම ඈ පහර කෑ ඊරියකු සේ වැළපුනා ය. ඇයට කියවාගන්නට නොහැකි මේ ලිපිය වෙනත් අයෙකු ලවා කියවා ගැනීමත් මහත් ලැජ්ජාවට කාරණාවක් බව ඇයට සිතිණි.. 

පෙලගේයා මේ ලිපිය කණ්නාඩි මේසයේ ලාච්චුවක සඟවා කබාය අණ්ඩ දමා අවසන් කළා ය. ඉනික්බිති ඈ ඉවාන් නිකොලවිච් නිවසට පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහු පැමිණි විටත් සිදු වූ කිසි දෙයක් ගැන ඉඟි නොකරන්නට ඈ වග බලා ගත්තාය. ඒ වෙනුවට ඈ බොහෝ සන්සුන් ව, සාමකාමී කටහඬින් ඔහුට කීවේ තමන්ට කියවීමට නොහැකිව කල් ගෙවා ඇති වී ඇති බවත්, යම් ඉගෙනුමක් ගැන ඇගේ විරෝධයක් නොමැති බවත් ය. 

මෙය අසා ඉවාන් නිකොලවිච් ප්‍රීතියෙන් පිනා ගියේය. “නියමයි!” ඔහු කීවේය. “මම ම ඔයාට උගන්වන්නම්” 

“හරි එහෙනම් පටන් ගමු,” ඈ පිළිතුරු දුන්නාය.

ඈ මෙසේ කීවේ ඉවාන් නිකොලවිච් ගේ මනාව කපන ලද කුඩා උඩු රැවුල දෙස බලාගත්වනම ය. 

දෙමාසයක් තිස්සේ පෙලගේයා දිනපතා කියවීමට උගත්තා ය. අකුරු ලිවීමටත්, ශබ්ද එකතු කර වචන කීමටත්, වාක්‍ය මතක තබාගැනීමටත් ඈ ඉවසිලිවත් ව උගත්තාය. එමෙන්ම හැම සන්ධ්‍යාවක ම ඈ ලිපිය ලාච්චුවෙන් පිටතට ගෙන එහි රහස් පණිවිඩය ලෙහා ගැනීමට තැත් කළාය.

නමුත් එය පහසු කාර්යයක් වූයේ නැත. 

මේ කලාව ප්‍රගුණ කිරීමට පෙලගේයා ට තෙමසක් ම ගත විය. 

දිනක් ඉවාන් නිකොලවිච් රැකියාව සඳහා පිටත් වූ පසු පෙලගේයා ලිපිය ලාච්චුවෙන් පිටතට ගෙන කියවන්නට වූවා ය.  එහි කුඩා අත් අකුරු ඇයට කියවීමට අපහසු වූවත් ඒ වෙද්දීත් ඉන් හැමූ ලා විලවුන් සුවඳ කෙසේ හෝ කියවන්නට ඈ ව උනන්දු කළේ ය. 

ඒ ලිපිය ආමන්ත්‍රණය කර තිබුණේ ඉවාන් නිකොලවිච්ටයි. 

හිතවත් කුච්කින් සහෝදරයා වෙත 

මා පොරොන්දු වූ පරිදි මේ සමඟ මූලික කියවීම් පොත එවනවා. එය පාවිච්චි කර ඔබගේ බිරිඳට දෙතුන් මසකින් කියවීමේ හැකියාව ලබාගනු හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔබ කෙසේ හෝ ඈ ඒ සඳහා පොළඹවා ගන්නා බවට මට පොරොන්දු වෙන්න. ලියන්නට කියවන්නට බැරි පිටිසර ගැහැනියක් වීම කොයිතරම් පිළිකුල් සහගත දෙයක් දැයි ඇයට පැහැදිලි කරන්න. 

විප්ලවයේ සංවත්සරය සැමරීමට අප හැකි සෑම ආකාරයෙන්ම රට තුළ නිරක්ෂර බව අහෝසි කිරීමට අපේක්ෂා කරන නමුත් කුමක් හෝ හේතුවකට අපට අපගේ සමීපම අය අමතක වන බවක් දක්නට ඇත.

කෙසේ හෝ මේ කාර්යය කරන්න, ඉවාන් නිකොලවිච්.

සමාජවාදී ආචාරය සමඟ 

මරියා බ්ලොකීනා 

පෙලගේයා මේ ලිපිය දෙවරක් කියවූවා ය. ඉනික්බිති ශෝකයෙන් යුතුව තම දෙතොල් තද කර ගත් ඈ, යම් ආකාරයක රහස් අපහාසයක් ලැබූ බවක් දැනී, හඬා වැටෙන්නට විය. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story Pelageya by Mikhail Zoshchenko

AI generated photo  

September 16, 2025

Puzzle (2018)

මම Puzzle බලන්න හේතුව ඒකෙ Irrfan Khan ඉන්න බව දැක්ක නිසා විතරමයි. Lunch Box චිත්‍රපටියේ  විශිෂ්ඨ රඟපෑම නිසා මම එයාගේ තදබල රසිකාවියක්. මේකේ තේමාව එක්තරා විදිහකට Lunch Box චිත්‍රපටියට සමානයි කියන්නත් පුළුවන්. ඒ වගේම චරිතවල පසුබිම් එහෙම ගත්තාම සම්පූර්ණයෙන් ම වෙනස් කියන්නත් පුළුවන්. Puzzle චිත්‍රපටිය 2018දී ඇමෙරිකාවේදී නිෂ්පාදනය වුණු එකක්. මේ 2020 දී සිදුවුණු Irrfan Khanගේ අභාවයට කළින් ඔහු රඟපෑ අන්තිම ඉංග්‍රීසි චිත්‍රපටිය.

මේ කතාව එක්තරා ගැහැනියකගේ self discovery ගමනක් ගැන කියලා කියන්න පුළුවන්. සමහරවෙලාවට ඇස් ඇරගෙනම අන්ධ ව ජීවිතය ගතකරන අපි හරියටම පෙනීම ලබන්නේ අහඹු ලෙස මුණගැහෙන පිටස්තරයෙක් නිසා. නැතිනම් අනපේක්ෂිත සිදුවීමක් නිසා. මේ කතාවේ ඇග්නස් ත් එහෙම වෙනසකට මුහුණ දෙනවා. එයින් එයාගේ ආත්මය විතරක් නෙමෙයි ජීවිතයේ ගමන් මඟ ම වෙනස් වෙනවා. Jigsaw puzzle එකක වගේම කොටස් අවුල් වෙලා සී සී කඩ ගිය ජීවිතයක් සමහර වෙලාවට Jigsaw puzzle එකක් වගේම එකලස් කරලා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒත් Lunch Box චිත්‍රපටියේදී වගේම අපි බලාපොරොත්තුවෙන අවසානය නෙමෙයි අප‍ට Puzzle චිත්රපටියෙදීත් ලැබෙන්නේ. සමහර ගමන් යන්න ලැබෙන්නේ තනියම. යා යුත්තේත් තනියම. ඒ බවත් මේ කතාව හෙමින් සැරේ අපට මතක් කරලා දෙනවා. 

මේ චිත්‍රපටියේ සියුම් ව්‍යංගාර්ථ බොහොමයි. ඒවගේම ඒ රූප රාමු වල කාව්‍යමය සුන්දරත්වය ඉහළයි. ප්‍රධාන චරිත රඟපාන  Kelly Macdonald, Irrfan Khan දෙදෙනාගේ රඟපෑම් නිරායාසව ගලාගෙන යනවා. වෙහෙසකර බවක් නොදැනී බලන්න පුළුවන් වගේම, බැලුවාට පස්සේ හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටියක් තමයි Puzzle. 

"Life is messy. It doesn't make any goddamn sense. Sorry to break the news to you. Life's just random. Everything's random. My success, you here now. There's nothing we can do to control anything. But when you complete a puzzle, when you finish it, you know that you have made all the right choices. No matter how many wrong pieces you tried to fit into a wrong place, but at the very end, everything makes one perfect picture. What other pursuits can give you that kind of perfection?" - Robert 
Puzzle (2018)
Directed by: Marc Turtletaub
Written by: Oren Moverman, Polly Mann
Starring: Kelly Macdonald, Irrfan Khan




September 12, 2025

ලක්මිහිර සමඟ ගුරු දා පිළිසඳර

ලක්මිහිර සමඟ ගුරු දා පිළිසඳර. 

ස්තූතියි ජගත් එදිරිසිංහ සොයුරාට සහ නිශ්පාදන කණ්ඩායමට!

September 09, 2025

The Paradox of Life




මනුසත් බව ගැන පුදුම සහගත කාරණා කිහිපයකි. ළමා වියේදී අප වැඩිහිටි වන්නට ඇඟිලි ගනිමු. නමුත් වැඩිහිටි වියේදී අප තැවෙන්නේ ළමා කාලයට යන්නට ඇත්නම් යැයි සිතමිනි. අපගේ සෞඛ්‍යය පරදුවට තබා අපි මුදල් සෙවීමට වෙහෙසෙමු. ඉනික්බිති අසනීප වූ පසු ඒ මුදල් වැය කර සුවපත් වන්නට තැත් දරමු. වර්තමානය අමතක කර අනාගතය ගැන වද වීම අපගේ සිරිතයි. අන්තිමේදී ඉන් අපට වර්තමානයත් අනාගතයත් දෙකම අහිමි වේ. නොමැරෙන්නන් ලෙස ජීවත් වන අප අන්තිමේදී ජීවත් නොවූවන් ලෙස මැරී යයි.

The Paradox of Life - by Samyak Kamble

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Digital art

September 05, 2025

කල්පනා කිරීම

මා ඇඳෙන් බැස ගොස්
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය

“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”

පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය

‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’

එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver


Digital art




September 03, 2025

අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු




ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තනා, පුළුස්සා, විවිධ පැහැ තවරන ලද අශ්වයකුගේ පිළිමයකි. මේ අශ්වයා ඉතා ගාම්භීර ලෙස හිස හරවා, තම ඉදිරි ගාත් ඔසවා සිටි අතර උගේ වලිගය අලංකාර ලෙස විසිරී තිබිණි. අශ්වයාට පසුපසින් තිබුණේ රණශූරයකුගේ පිළිරුවකි. ඔහු දෑකැති වැනි උඩු රැවුලක්, පිටතට නෙරූ දෑස් සහ තියුණු නාසයකින් හෙබි විය. මේ පිළිම නෙළූ අය සටන්කරුගේ විශාල දෑසින් ශක්තියත්, ගෙලේ වූ මැණික් මාලයෙන් ඔහුගේ ධනවත් බවත් පෙන්වීමට උත්සාහ කර තිබිණි. මේ වෙද්දී හිරු එළියට පිළිස්සී, වැස්සට සේදී පැහැය වියැකී තිබුණත් අතීතයේදී මේ මාලය කොළ, රතු මැණික් හා දියමන්ති එබ්බවූ ලෙසින් දිස් විය. දැන් දැන් අශ්වයා පුල්ලි සහිත බවක් පෙනුණද අතීතයේදී ඌ ඇපිල්ලූ රෙද්දක් සේ සුදු පැහැයෙන් බැබලුණු අතර උගේ පිට මත- රතු කළු කොටු සහිත බ්‍රොකේඩ් රෙද්දක් පින්තාරු කළ බවක් පෙනුණි. සටන්කරුගේ අතෙහි වූ කඩුව විචිත්‍ර වර්ණ වලින් අලංකාර කර, ඔහුගේ ඉන බැඳි රෙදි පටිය ඊට හාත්පසින් වෙනස් වර්ණයෙන් පාට ගන්වා තිබිණි. 

මේ අවට ප්‍රදේශයේ තැන තැන තිබුණු මෙවැනි අනෙත් පිළිම රැස විලසින්ම මෙයත්, හැම දෙනාටම නොපෙනී, අමතකව ගිය එකක් විය. ගඳපාන සහ පතොක් පඳුරු වැවී වල් බිහිවී තිබුණු මේ පිළිම, ගමේ රස්තියාදුකරුවෝ පවා නොසලකා හැරියෝහ. මේ දිනයේ පිළිමයට සමීපයේ වූ පතොක් පඳුරක හෙවනක මහලු මිනිසෙකු නිදි කිරමින් සිටියේය. ඔහුගේ එළුවෝ දෙදෙනා අසල උලා කමින් පසුවූහ. කොළ පැහැති බසය ඈත කන්ද බැස එදෙසට පැමිණෙන තුරු මිනිසා බලා සිටියේ ඔහුට එතැනින් ඉවත්ව නිවස බලා යන්නට ලැබෙන සංඥාව එය වූ බැවිනි. එහෙත් ඒ වෙනුවට එහි පැමිණියේ මෝටර් රථයකි. එහි රියදුරු පිළිමය දුටු සැණින් වැරෙන් තිරිංග තද කර, රථය නවත්වා, බිමට පැන, ඒ වෙත ගියේය. 

“නියමයි!” ඔහු පිළිමය වටා ඇවිදිමින් කෑ ගැසුවේය.

ඔහුගේ මුහුණ අව්වට පිළිස්සී රත් පැහැ ව තිබිණි. ඔහු හැඳ සිටියේ කාකි පැහැති කොට කලිසමක් සහ කමිසයකි. අසල උන් මහලු මිනිසා දැක ඔහු ආචාරශීලීව ඉංග්‍රීසි බසින් “ඔබට කොහොමද?” කීවේය. 

මහලු මිනිසා පිළිතුරු දුන්නේ ඔහුගේ එකම සන්නිවේදන මාර්ගය වූ පිරිසිදු දෙමළ බසිනි. 

“මගේ නම මුනි. අර ඉන්න එළුවෝ දෙන්නා තනිකරම මගේ. මුළු ගමක්ම ඕකට අනම් මනම් කියන්න පුළුවන් හැබැයි මුන් දෙන්නාට වෙන කිසි කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බැහැ.”

රතු මුහුණින් යුත් ආගන්තුකයා ගල් කුළු අසල උලා කමින් සිටි එළුවන් දෙස මොහොතක් බලා, සිගරට්ටුවක් පිටතට ගෙන, “ඔබ දුම් බොනවාද?” විමසුවේය. 

“මම නම් ඔය විස්තරය ඇහුවෙත් ඊයේ තමයි.” මුනි කලබලයෙන් කීවේය. ඔහු සිතුවේ මේ කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලදරුවෙකු බවත්, ළඟදී ඒ ප්‍රදේශයේ වූ මිනී මැරුමක් ගැන ඔහු තමන්ගෙන් තොරතුරු විමසන බවත් ය. 

“මම ආවේ නිව් යෝක් ඉඳන්, අහලා තියෙනවාද? අමෙරිකා?” 

නිව් යෝක් කෙසේ වෙතත් අමෙරිකා යන වදන තමන් උච්චාරණය කරන ලෙසට, එනම් ‘ඇහ්-මෙ-රික්යා’ ලෙසට කියනු ලැබුවේ නම් මහලු මිනිසා එය තේරුම් ගන්නට ඉඩ තිබිණි. නමුත් මේ අවස්ථාවේදී නම් ඔහුට කිසිවක් නොතේරුණි. 

“මේ දවස්වල නරක මිනිස්සු හැම තැනම. ඔය සිනමා බලලා තමයි මිනිස්සු නරක් වෙන්නේ, වැරදි  දේවල් කරන්න ඉගෙන ගන්නේ ඒවායින්. ඇත්තටම දැන් කාලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ඔහු යටහත් පහත් ව කීවේය. 

“ඔබ දන්නවා ඇති මේ අශ්ව පිළිරුව තනන්නට ඇත්තේ කොයි කාලේද කියලා” අමුත්තා කෘතඥ ව සිනාසෙමින් ඇසුවේය. 

මේ සාමකාමී වාතාවරණයට ගැලපෙන පරිද්දෙන් මහලු මිනිසා ද හිනැහුණි. හිනැහෙමින් ම ඔහු මෙසේ බැගෑපත් විය.

“අනේ මහත්තයා මෙතැනින් යන්න. මම කිසි දෙයක් දන්නේ නැහැ. වැරදි වැඩ කරන කෙනෙක් හම්බවුණොත් මහත්තයා වෙනුවෙන් අල්ලලා තියාගන්න බවට මම පොරොන්දු වෙනවා. හැබැයි අපේ ගමේ නම් කවුරුත් එහෙම නැහැ, සමහරවිට එහා ගමේ වෙන්න ඇති.” 

“මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හෙමින් කතාකරන්නම්,” රතු මුහුණැති මිනිසා කීවේය. “මම මේ රටට ආවේ සති තුනකට කළින්. මේ වෙද්දී මම ඔබේ අලංකාර රට පුරා හැතැප්ම පන්දාහක් විතර ඇවිදලා තියෙනවා.”

මෙය අසා මහලු මිනිසා යටි උගුරෙන් ශබ්ද කිහිපයක් නැගුවේය. මින් දිරිමත් වූ අමුත්තා තමන් එරටට පැමිණි කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කළේ හැම වචනයක්ම සෙමින්, පැහැදිලි ව උච්චාරණය කරමිනි. ඔහු ඒ රටට කෙතරම් කැමති ද යන වග, ඔහු තම උපන් රටේ කළ රාජකාරි, ඉන්දියාවේ සංචාරය කිරීමට ඔහු වසර ගණනක් තිස්සේ සැලසුම් කළ හැටි, අනාගත බලාපොරොත්තු - මේ හැම දෙයක්ම ඔහු පැහැදිලි කළේ වරින් වර කතාව නවත්වමින්, මිතුරු සිනහවක් පාමින් ය. මහලු මිනිසා මීට පිළිතුරු ලෙස සිනාසුණත් කිසිවක් කීවේ නැත. අන්තිමේදී අමුත්තා මෙසේ කීවේය. 

“ඔබගේ වයස කීයද? ඔබට හරි ලස්සන දත් දෙපෙළක් තියෙනවනේ, ඒ ඇත්ත ඒවාද? ඔබේ රහස කුමක්ද?” 

මහලු මිනිසා නළල රැළි ගන්වා දුක්මුසුව මෙසේ පිළිතුරු දුන්නේය. 

“සමහර වෙලාවට අපෙත් හරක් අතුරුදන් වෙනවා, එතකොට අපි ගිහින් නැකත්කාරයෙක් හම්බවෙනවා. එයා කපුරු දැල්ලක් දිහා බලලා අපිට කියනවා නැතිවුණු සත්තු හොයන්න කොයි අතට ද යන්න ඕන කියලා… මම දැන් ගෙදර යන්න ඕන,” මෙසේ කියමින් ඔහු යන්නට හැරුණේය. 

අනෙකා ඔහුගේ උරෙන් අල්ලා නවත්වා ඉතා උනන්දුවෙන් මෙසේ ඇසුවේය. 

“මේ හරියේ කවුරු හරි- කවුරුම හරි ඉන්නවද මම මේ කියන දේ පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්?” ඔහු මේ උණුසුම් හවස් වරුවේ පාලුවට ගොස් තිබුණු මාවතේ ඒ මේ අත බලන්නට විය. හදිසියේ හැමූ සුළඟක් දුහුවිල්ලත්, මාවත අයිනේ වූ වියළි පත්‍රත් අවුස්සා, විනිවිද පෙනෙන කුලුනක් සේ ඒවා මොහොතකට රඳවා, කඳු පාර වෙත තල්ලු කළේය. 

“මේ පිළිමය ඔබේද? මට ඒක විකුණනවාද?”

අමුත්තා මේ අසන්නේ අශ්ව පිළිමය ගැන බව මහලු මිනිසා ට වැටහිණි. ඔහු මඳක් කල්පනා කර මෙසේ කීවේය. “මගේ සීයා මේ අශ්වයාත්, සටන්කාරයාත් ගැන මට විස්තර කියද්දී මම මේං මේ තරම් විතර පැංචෙක්. මම හිතන්නේ සීයාට එයාගේ සීයා ඒක කියද්දීත් එයා ඒ තරම් විතර ඇති.. ඒ සීයාගේ සීයාත්…” පිළිමයේ පැරණි බව ගැන විස්තර කියන්නට ගොස් අතීතාවර්ජනය නමැති ගොහොරුවේ ඔහු තව තවත් ගිලෙන්නට වූ අතර අන්තිමේදී ඔහු මෙසේ කියමින් අමාරුවෙන් ඉන් ගොඩට පැමිණියේ ය. 

“මගේ සීයාගේ සීයාගේ මාමා මේ ගැන හරියටම දන්නවා, හැබැයි මට එයාව මතක නැහැ.” 

“මට මේ පිළිමය කොහොමහරි ගන්න ඕන.” අමුත්තා කීවේය. “ඔබ මට වැඩි මිළක් නොකියාවි කියලා මම හිතනවා” 

“මේ අශ්වයා,” මහලු මිනිසා තවදුරටත් විස්තර කරන්නට විය. “කලියුගය අවසානේ දහවෙනි අවතාරය හැටියට පෙනී ඉන්න නියමිතයි.”

අමුත්තා එයට හිස සලා එකඟ විය. ඔහු ‘අවතාර’ යන වචනය දැන සිටියේය. 

“මේ කලියුගය අවසානයේදී මේ ලෝකයත්, අනෙත් හැම ලෝකයක්මත් විනාස වෙනවා. එතකොට තමයි කල්කි කියන අශ්වයාගේ වේසයෙන් ගැලවුම්කාරයා එන්නේ. උන්නාන්සේ හොඳ මිනිස්සුන්ට උදවු කරලා නරක මිනිස්සුන්ව මහා ගං වතුරකින් යටවෙන්න අරිනවා. එදාට මේ පිළිමයේ අශ්වයාට පණ එනවා. ඒ නිසා තමයි අපේ ගම මුළු ලෝකෙන්ම උතුම් ම ගම වෙන්නේ.” 

“මම සාධාරණ ගාණක් ගෙවන්න ලෑස්තියි-” අමුත්තා කියන්නට ගත් නමුත් මේ වෙද්දී මහලු මිනිසා විවිධ අවතාර හෙවත් දේව මූර්ති කතන්දරවල මායාවට වශී වී සිටි බැවින් ඒ ප්‍රකාශයට බාධා විය.

“විෂ්ණු දෙවියෝ තමයි දෙවියන් අතරින් උසස්ම- එහෙම තමයි අපේ කෝවිලේ පණ්ඩිත් ගුරු නිතරම කියන්නේ. මීට කලින් මේ ලෝකේ නපුරු මිනිස්සු බලවත් වුණු නව වතාවකදී විෂ්ණු දෙවියෝ පෙනී ඉඳලා තියෙනවා.”

“මම ලොකු පෝසතෙක් නම් නෙමෙයි..”

“පළවෙනි අවතාරය මාලුවෙක් ගේ වෙස් අරන් ආවේ,” මහලු මිනිසා කීවේය. ඉනික්බිති ඔහු විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය වේශය ගැනත් ඔහු විසින් ශුද්ධ ලියවිලි මූදුබත් වීමෙන් බේරාගත් අයුරුත් පැහැදිලි කළේය. මේ පළමු අවස්ථාව විස්තර කළ පසු විෂ්ණු දෙවියන්ගේ ඊළඟ මූර්ති- එනම් ඉබ්බෙකු, වල් ඌරෙකු ආදිය ගැන විස්තර කීම නොවැළක්විය හැකි විය. 

“මේක ප්‍රවාහනය තමයි මගේ ලොකුම ගැටලුව වෙන්නේ, හැබයි මම ඒ ගැන පස්සේ වද වෙන්නම්. මට කියන්න, ඔබ මේ අශ්වයා වෙනුවෙන් විතරක් රුපියක් සීයක් භාරගන්න කැමතිද? ඇත්තම කියනවා නම් මම මේ උඩුරැවුල්කාර සොල්දාදුවාටත් කැමතියි, හැබැයි මේ වතාවේ එයාව ගෙනියන්න ඉඩ නැහැ, ඒකට ලබන අවුරුද්දේ එන්න වෙනවා.” 

“විෂ්ණු දෙවියෝ තමයි හැම වතාවෙම විපත් වලින් මිනිස් සංහතිය බේරා ගන්නේ. එක වතාවක් උන් වහන්සේ රාමා හැටියට ඉපදුනා. ලෝකෙම හොල්ලපු, ඔලු දහයක් තියෙන රාවණා ව විනාශ කරන්න පුළුවන් වුණේ එයාට විතරයි. මේ මහත්තයා රාමායනය ගැන දන්නවාද?”

“මගේ ස්ටේෂන් වැගන් එක තියෙනවානේ. මට ඔබ මට පොඩි උදව්වක් දුන්නොත් මට පුළුවන් සීට් එක පහත් කරලා අශ්වයා ව දාගන්න.”

“මහත්තයා මහා භාරතය දන්නවාද? ක්‍රිෂ්ණා තමයි විෂ්ණු ගේ අට වෙනි අවතාරය. ඒ වතාවේ විෂ්ණු, සහෝදරයෝ පස් දෙනෙකුට තමන්ගේ රාජධානිය බේරාගන්න උදවු කළා. ක්‍රිෂ්ණා පුංචි බබෙක් කාලේ නයි පෙන දාහක් තියෙන විශාල නාගයෙක් ගේ ඇඟ උඩ නටලා, ඌව පාගලා මරලා දැම්මා ලු.”

මේ වෙද්දී දෙදෙනා, අනෙකා පවසන දේ නොතේරීම නිසා උපරිම ලෙස එකිනෙකාව ව්‍යාකුල කරවා තිබිණි. මහලු මිනිසා කතාබහක අන්‍යොන්‍ය බව සමබර කිරීම සඳහා තමන්ගේ වාරයේදී නොකඩවා යම් යම් දේ කියවමින් සිටියේය. අමුත්තාගේ සිත දිනාගැනීමේ අදහසින් ඔහු මෙසේ කීවේය. 

“මේ උතුම් මහත්තයාට දෙවියෝ දරු මුණුබුරෝ රාශියක් තෑගි කරලා ඇති කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මම වගේ වයසක මනුස්සයෙක් ළඟ ඉඳන් මෙහෙම කතාකරන්න මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඕන නිසා. වෙනදාට නම් මේ පාරේ යන කෙනෙක් දුම්කොළ කෑල්ලක් ඉල්ලන්න මාත් එක්ක කතා කළොත් මිසක් මට කතාකරන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට ළමයි කීයක් ඉන්නවාද?”

“මහන්සි නොවී කිසි දෙයක් ලබාගන්න බැහැ” අමුත්තා තමන්ට කියා ගත්තේය. 

“එහෙනම් ඔබ මේකට රුපියල් සීයක් භාරගන්න කැමතිද?” ඔහු මහලු මිනිසාගෙන් විමසූ අතර මීට පිළිතුරු ලෙස තවත් ප්‍රශ්න රැසක් ලැබිණි. 

“මහත්තයා ට දූලා කීයද, පුත්තු කීයද? එයාලා කොහේද ඉන්නේ? දූලා බැඳලා ද? ඒ රටෙත් ගැලපෙන බෑණාලා හොයාගන්න අමාරුද?”

අමුත්තා තම සාක්කුවට අත දමා පසුම්බිය පිටතට ගෙන ඉන් රුපියල් සියයේ නෝට්ටුවක් එළියට ගත්තේය. මෙය දැක තම කතාබහ යම්කිසි මුල්‍යමය පරිච්ඡේදයකට පිළිපන් බව මහලු මිනිසාට වැටහිණි. ඔහු ඒ දෙස පරීක්ෂාවෙන් බලන්නට විය. රුපියල් පහේ, දහයේ නෝට්ටු වල පැහැයන් ඔහු හොඳින් දැන සිටියේ ඒවා අනුන් අත දැක තිබුණු බැවිනි. මේ නෝට්ටුව නම් ඔහු ජීවිතයේ කිසි දිනක දැක නොතිබුණේ ඔහුගේ ඉපයුම තඹ සහ නිකල් කාසි වලට සීමා වූ බැවිනි. මේ අමුත්තා නෝට්ටුවක් දිග හැර පෙන්වන්නේ කුමකටද? සමහරවිට ඔහුට මේ නෝට්ටුව මාරු කරගැනීමට උවමනා වී තිබෙනවා විය හැක. විශාල අගයකින් යුත් මුදල් නෝට්ටුවක් ගෙන හැර පා කිසිවෙකු තමන් වෙතින් මාරු සල්ලි ඉල්ලීම ගැන ඔහුට සිනා පහල විය. 

“මාරු සල්ලි උවමනා නම් ගම්මුලාදෑනියාගෙන් ඉල්ලන්න වෙයි මහත්තයා. උන්දැ තමයි ගමේ උන්ට ණය දෙන්නේ. රුපියල් ලක්ෂයක් වුණත් රන් කාසි වලින් දෙයි ඉල්ලුවොත්. උන්දැගේ හිතේ කවුරුත් දන්නේ නැහැ කියලා, ඒත් උන්දැගේ පූජා කාමරේ බිම හෑරුවොත් වළලලා තියෙන වස්තු සම්භාරය දැක්කාම කලන්තේ හැදේවි. ඔය මිනිහා වැරහැලි ඇඳන් ඉන්නේ මිනිස්සුන්ව මුලා කරන්න.”

“මේ මදි නම් මට ගාන වැඩි කරන්න පුළුවන්.” අමුත්තා කීවේය. 

“මහත්තයාටම තමයි ගම්මුලාදෑනියා එක්ක කතාකරන්න වෙන්නේ, උන්දැට මාව පේන්න බැහැ. කවුරුහරි මිනිහාගේ වට්ටක්කා වැලක් ගෙඩි පිටින්ම හොරකම් කරලා. උන්දැගේ හිතේ ඒක කළේ මායි මගේ එළුවෝ දෙන්නායි කියලා. ඔන්න ඕක හින්දා තමයි මම ඔය ගොවිපොළවල් පැත්තට වත් මගේ එළුවෝ යවන්නේ නැත්තේ,” මහලු මිනිසා එසේ කීවේ ගල් කුළු අතරේ ඇති කුඩා ළදළු පවා කන්නට උත්සාහ කරමින් සිටි තම එළුවන් දෙස බලමිනි. 

අමුත්තා ද ඒ දෙස බැලූ අතර මහලු මිනිසාගේ සුරතලුන් වෙත ආදරය පෑම මේ අවස්ථාවට ගැලපෙන කාර්යයක් බව සිතුවේය. ඔහු උන් වෙත ගොස් සෙමෙන් උන්ගේ සිරුරු පිරිමැද්දේ ය. 

මහලු මිනිසාට සිදුවෙමින් තිබුණු දේ වැටහුණේ එවිටයි. ඔහු ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් සැබෑ වෙමින් තිබිණි. මේ රතු මුහුණෙන් යුත් ආගන්තුකයා ඔහුගේ එළුවන් මිළට ගැනීමට ඉල්ලමිනි. ඔහු මේ එළුවන් උස් මහත් කළේ කෙදිනක හෝ උන් ව විකුණා මෙතැනම කඩයක් විවෘත කරන අරමුණ ඇතිවය. පොල් අතු සෙවිල්ලූ වහලක් යට ගෝනියක් අතුරා බදින ලද කජු, විවිධ පැහැයෙන් යුත් රසකැවිලි සහ මාවත ඔස්සේ පැමිණෙන මගීන්ගේ පවස නිවීමට කුරුම්බා විකිණීමට ඔහු සිහින මැව්වේය. මේ සඳහා ඔහුට රුපියල් විස්සක ප්‍රාග්ධනයක් අවශ්‍ය වූ අතර මඳක් පෙරැත්ත කිරීමෙන් අගන්තුකයාගෙන් ඒ මුදල ලබාගත හැකි බවට ඔහු කල්පනා කළේය. මේ සතුන් දෙදෙනා සත්ත්ව ප්‍රදර්ශනයක සම්මාන ලැබීමට තරම් සුවිශේෂී නොවුණත් ඉඳ හිට උන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඔහු වියදම් කර තිබුණු නිසා උන් හොඳ පෙනුමකින් යුතු විය. 

“මේ සල්ලි ඔක්කොම ඔබට, කැමති නම් ඔබේ සගයෙක් එක්ක බෙදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ,” මෙසේ කියමින් ආගන්තුකයා මහලු මිනිසාගේ අත රුපියල් එකසිය විස්සක් තැබුවේය. 

මහල්ලා මෝටර් රථය වෙත අත දිගුකර ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය. 

“ඔව් ඔව්, හරියට හරි” අනෙකා පිළිතුරු දුන්නේය. 

“හැබැයි මේක එළුවෝ දෙන්නා කාර් එකක යන පළවෙනි වතාව. එහෙනම් මම මෙතැනින් ගියාට පස්සේ උන් දෙන්නාව වාහනේට දාගන්න. නැත්නම් උන් කවදාවත් මහත්තයාගේ පස්සෙන් නම් එන එකක් නැහැ. මම පරලෝකෙට ගියත් උන් දෙන්නා මගේ පස්සේ තමයි!”  තමන්ගේම විහිලුවට සිනාසුණු ඔහු ඉනික්බිති දෑත් එක් කර අමුත්තාට ආචාර කර අනෙත් පස හැරී පඳුරක් අතරින් රිංගා නොපෙනී ගියේය. 

නිදහසේ උලාකමින් සිටි එළුවන් දෙස බැලූ අමුත්තා අශ්ව පිළිමයේ පාදම වෙත ගියේය. බැස යන හිරුගේ එළියෙන් පිළිමයේ අව පැහැ ගැන්වුණු වර්ණයන් අමුතු අලංකාරයකින් දිස් විය. 

“වයසක මනුස්සයා උදව්වට කවුරු හරි අඬගහගෙන එන්න යන්න ඇත්තේ” මෙසේ සිතූ ඔහු ඔවුන් එනතුරු බලා සිටීමට හරි බරි ගැසී හිඳ ගත්තේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


Translation of the short story ‘A Horse and Two Goats’ by R. K Narayan

Picture generated by AI

August 27, 2025

මිතුරුකම්



බැලූ බැල්මට එයාව පෙනුණේ ඉස්කෝලේ ඇරිලා එන තවත් පිරිමි ළමයෙක් වගෙයි.

පොත් මිටියක්ම උස්සාගෙන හිටිය එයාගේ ඇස් කණ්නාඩි දෙක නහයෙන් පහතට ලෙස්සමින් තිබුණා..

ඒක සිකුරාදා දවසක්. අනෙත් හැම කෙනෙකුටම කළින් ලෑස්ති කරගත්ත ක්‍රීඩා තරඟ, සාද, යාලුවෝ මුණගැහෙන්න යන ගමන් බිමන් වගේ එක එක වැඩ තිබුණා- ඒත් මෙයා නම් යමින් හිටියේ තනියම. 

තව පොඩ්ඩෙන් මම එයා දිහා නොබලාම යනවා.

ඒත් ඒ මොහොතේම කොලු රංචුවක් අපි ව පහුකරගෙන දුවගෙන ගියා. එහෙම යද්දී එයාලා අර පිරිමි ළමයාගේ ඇඟේ හැප්පුණා. එයා බිමට ඇදගෙන වැටුණා, එයාගේ අතේ තිබුණු පොත් මිටිය සී සී කඩ විසිරුණා. කොල්ලෝ ටික නම් හිනාවෙමින් දිව්වේ නවතින්නේවත් නැතිව. මේක දැකලා මගේ හිත ඇතුළේ මොකක්දෝ වුණා. 

මම එයාට නැගිටින්න උදවු කළා, කණ්නාඩි දෙක අහුලලා දුන්නා. “අරුන් මහා පිස්සෝ ටිකක්” මම එයාට කිව්වා. 

එයා මාත් එක්ක හිනාවුණා, ඒක නිකම් හිනාවක් නෙමෙයි, කෘතඥ හිනාවක්, මතක හිටින වර්ගයේ හිනාවක්. 

අපි දෙන්නා කතාවට වැටුණා. බලද්දී එයාගේ ගෙදර මගේ ගෙවල් කිට්ටුවමයි තිබුණේ. එයා විනෝදයට බර, බුද්ධිමත් කෙනෙක් බවත්, ෆුට්බෝල් ගහන්න බොහොම කැමති බවත් කතාවේදී තේරුණා. ඒ සති අන්තයේදී අපි ආයෙත් මුණගැහුණා. ඒවගේම ඊළඟ සති අන්තයේත්, ඊටපස්සේ එකේත්… ටික කලක් යද්දී අපි හොඳම යාලුවෝ වුණා.

කාලය ගත වුණා. අපි පාසලෙන් පිටවෙන දවස ආවා. එදා පැවැත්වුණු උත්සවයේදී එයා අපි අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හැටියට සභාව ඇමතුවා. ආත්ම විශ්වාසයෙන් කෙරුණු ඒ කතාව ඉතා සාර්ථක එකක්, හැම දෙනාම ඊට බොහොම  කැමති වුණා. 

ඒ කතාවේ අන්තිමේදී එයා කීව මේ කොටස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“අවුරුදු කීපෙකට කළින් මම මගේ ජීවිතය නැතිකරගන්න තීරණය කළා. එහෙම හිතලා සිකුරාදා දවසක ඉස්කෝලේ මගේ ලොකර් එකේ තිබුණු ඔක්කොම බඩු ටික අස් කරලා ගෙදර ගෙනියන්න ගත්තා. එහෙම නොකළා නම්  ඒ වැඩේ මගේ අම්මාට කරන්න වෙන නිසායි ඒක කළේ. මං ගැන කවුරුවත් හිතන්නේ නැහැ කියලායි මම එදා හිතාගෙන හිටියේ. ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා. එයා මගේ පොත් ටික බිමට වැටුණු වෙලාවේ අහුලලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නොදැනුවත්වම මගේ ජීවිතයත් බේරලා දුන්නා.”

මේක අහලා සභාව ම නිහඬ වුණා. මාව ගල් ගැහුණා. ඒ වෙනකම්ම මම ඒ බව දැනගෙන හිටියේ වත් නැහැ. 

සමහර වෙලාවට අපි කරන පුංචි දෙයක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් කරුණාවන්ත වෙන්න. අවදියෙන් ඉන්න.

උදවු උවමනා කෙනෙක් ඔබ ළඟම ඉන්නවා වෙන්න පුළුවන් 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of a note from Old Photo Club


Digital art

August 20, 2025

ප්‍රේමය ගැන කියන දේ




“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී 
මම නම් ඉතා ප්‍රවේසම් වෙමි,
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”

මෙසේ කියන්නන් නොව

තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්

ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver

Digital art

August 11, 2025

අත්හැර යෑම්


























ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේ
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

එහි ආරුක්කු වල නැමි
ආදර බැල්මෙන් පිරිමදින්නට
එහි දොරටු අසල
ලාලසාවෙන් තාවර වන්නට

ආපසු නොහැරී
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න

මට රිසි වෙලාවක
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න

බසයකට, දුම්රියකට, ගුවන් යානයකට
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න

එමෙන්ම ඒ තරමටම ලේසියෙන්
ඒවායින් නික්මෙන්නටත් හරින්න

ඒ අතරතුර
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක

බරපතල අනතුරකින් මිදුණ සේ
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න

ඉන් වසර ගණනාවකට පසු
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න

ඔබ මුණගැසුණු විලසටම
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of the poem Departures by Marianne David

~ Departures ~

let me leave you
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing

let me leave you
like that,
effortlessly –

step out into the light
or the night
at my convenience

let me enter lives
like one enters
a train, coach, plane,
exit just as easily –

sometimes there is
some stumbling,
but one recovers

let me not leave
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain

let me leave you
as I found you,
unthinkingly
serendipitously

By Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.


පසු සටහන
මට Marianneගේ කවි මුණගැහුණේ අහම්බෙන්. ඒවායේ හෘදයංගම ගතියට වගේම raw, දැනෙනසුලු ගතියට මම කැමතියි. මේ කවිය මීට අවුරුදු කීපයකට කලින් දිනමිණ පුවත්පතේ පළ වුණු වෙලාවෙත් මම share කළා. ඒත් මේ වගේ කවි තවත් රසිකයන් අතරට යන්න ඕන නිසා මුල් කවියත් එක්කම ආයෙත් share කරන්න හිතුවා.


Digital art

August 06, 2025

ආලෝකය

 



ඔබ වටා තද අන්ධකාරයක් දිස් වේ නම්- නැවත බලන්න, ආලෝකයේ ප්‍රභවය ඔබ විය හැක. 

-Rumi

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital art



පසු සටහන 
මම Rumi ගේ බලවත් රසිකයෙක් බව කලින් පෝස්ට් එකක කිව්වානේ. වචන කීපයකින් බොහොම ගැඹුරු දෙයක් කියන්න පුළුවන් නම් ඒ Rumi ම තමයි. දෙයක් භාෂා කීපයකට හැරෙද්දී සුමට බව අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම අඩු වෙලාත් මෙහෙම නම් පර්සියන් භාෂාවෙන්ම තියෙද්දී ඒවා කොයිතරම් ලස්සන ඇතිද කියලා හිතෙනවා. Quotes වලට මගේ නොනිමෙන ආසාවට මුල Rumi වගේ අයගේ මේ ගීතවත් අදහස් තමයි.


August 02, 2025

මාතෘ



ආමේනියානු සරණාගතයන් මාසෙයි නගරයට පැමිණ මසක් ගතවෙද්දී නගරයේ පිටත සීමාවේ වූ ඔවුන්ගේ කඳවුර කුඩා ගම්මානයක සිරි ගෙන තිබිණි. ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් තැන තැන ලැගුම් සොයාගත් බවක් දිස් විය. වඩාත්ම පොහොසත් අය සතුව කූඩාරම් තිබුණු අතර, තවත් සමහරෙකු ගරා වැටුණු මඩු වල විසූහ. නමුත් බහුතර සරණාගතයන් සෙවන ලැබුවේ කෝටු හතරක් මත රඳවන ලද පැරණි බුමුතුරුණකිනි. මෙවැනි තාවකාලික නිවහනක වෙසෙද්දී වට තිර ඇද ගැනීමට රෙදි කඩක් සොයාගත හැකි වූවෝ අනුන්ගේ දෑස් මඟ හැර ගැනීමට වාසනාවන්ත වූහ. එවැනි අවස්ථාවල ඔවුන්ට තමන්ගේම නිවසේ වෙසෙනවාට කිට්ටු හැඟීමක් දැනුණි. මෙහි පිරිමින් කුමක් හෝ රැකියාවක් සොයාගත් අතර මේ නිසා දරුවන් ට කුසගින්නෙන් පීඩා විඳීමට සිදු වූයේ නැත.

මේ හැම දෙනා අතරින් කිසිවක් කිරීමට නොහැකි ව ඉතුරු වූයේ මිකාලි පමණි. ඔහු තම අසල්වැසියන් ඉඳහිට දුන් පාන් කැබලි ආහාරයට ගත් නමුත් ඒ පිණට කෑමත් ණය බරක් සේ ඔහුව පීඩාවට පත් කළේය. දා හතර වියැති නීරෝගී උස මහත කොලුවෙකු වූ ඔහුට රැකියාවක් සොයා ගැනීමට එකම බාධාව වූයේ තම පිටේ බැඳ තැන තැන රැගෙන ගිය අලුත උපන් බිළිඳා ය. මේ බිළිඳා ගේ උපත සිදුවුයේ මිකාලිගේ මවගේ මරණයත් සමඟයි. එතැන් සිට බිළිඳා දිවා රැයේ නොකඩවා කුසගින්නේ බෙරිහන් දුන්නේය. රෑ තිස්සේ ඇසුණු හැඬුම් නිසා තම නිදි බිඳුණු බැවින් ගැටවරයාගේම සහෝදර රටවැසියන් ඔහුව කඳවුරෙන් එළවා දැමූ පසු ඔහුට රැකියාවක් දෙන්නට කිසිවෙකු සිටියේ නැත. මේ වෙද්දී මිකාලි පවා මේ හැඬුම් ශබ්දයෙන් තෝන්තු වී සිටි අතර, ඔහුගේ මනස සිතුවිල්ලෙන් හිස් ව තිබිණි. නින්ද අහිමි වීම සහ මහන්සිය නිසා ඔහු තැන තැන ඇවිද්දේ අතරමං වූ ආත්මයක් පරිද්දෙනි. යන යන තැන මේ බෙරිහන් දෙන පොට්ටනිය ඔසවාගෙන යමින් සිටි කොලුවා කල්පනා කළේ බිළිඳා නොගැලපෙන මොහොතක මේ ලෝකයට ආවේ ඔවුන් දෙදෙනාගේම අවාසනාවට බවයි. ඇසෙන මානයේ සිටි හැම කෙනෙකුම මේ කරච්චලයට කන් දුන්නේ නොරිස්සුමෙනි. ඔවුන්ට තම තමන්ගේ ගැටළු ඇති තරම් තිබුණු අතර බිළිඳා ඉක්මණින් මිය යනු ඇතැයි ඔවුහු අනුකම්පාවෙන් නමුත් ප්‍රාර්ථනා කළහ.

නමුත් ඒ මරණය සිදු වූයේ නැත. බිළිඳා කෙසේ හෝ ජීවත් වීමට වලි කෑ අතර තව තවත් උස් හඬින් තම සාගින්න ගැන ලොවට කියා පෑවේය. මේ හඬ නිසා ඔලුව අවුල් වූ කාන්තාවෝ තම දෙකන් වල ඇබ ගසා ගත්හ. මිකාලි බේබද්දෙකු සේ තැන තැන ඇවිමින් පසු විය. කිරි මිළට ගෙන දීමට ඔහු සතුව සතයක් වත් නොවූ අතර කඳවුරේ කිසිම කාන්තාවක් බිළිඳාව පෝෂණය කිරීමට හැකි තත්ත්වයක සිටියේ නැත. මේ සිදුවීම් ඕනෑම කෙනකු පිස්සු වට්ටන්නට සමත් ඒවා විය.

දිනක් මේ සියල්ල තවදුරටත් ඉවසනු නොහැකි තැන, මිකාලි ඇනටෝලියානුවන් වෙසෙන පෙදෙසට ඇවිද ගියේ ය. මොවුන් ද තුර්කි සමූල ඝාතකයන්ගෙන් බේරීමට පලා ආ අය විය. ඒ අය අතර බිළිඳා ට අනුකම්පාව පෑමට ඉඩ ඇති කිරි දෙන මවක් සිටිය හැකි බවට මිකාලිට ඔත්තුවක් ලැබී තිබිණි. එබැවින් ඔහු එහි ගියේ හද පිරි බලාපොරොත්තු ඇතිවයි. මිකාලිට ඒ කඳවුරත් තමන්ගේ කඳවුරත් අතර වැඩි වෙනසක් පෙනුණේ නැති අතර එතැනත් දුක්ඛිත බව දසත දිස් විය. තැන තැන වයෝවෘද්ධ ගැහැණුන් ලෑලි තට්ටු මත ඇන තබාගෙන සිටිනු පෙනුණි. නිරුවත් දෙපයින් යුතු කුඩා දරුවෝ දිය කඩිති වල අපිරිසිදු ජලයේ සෙල්ලම් කරමින් සිටියහ. මිකාලි කඳවුර හරහා ඇවිද යද්දී මහලු ගැහැනු කිහිප දෙනෙක් ඔහු එහි ආ හේතුව විමසුවෝය. ඒවාට පිළිතුරු දෙන්නට නොනැවතුණු ඔහු තම ගමන බාල කළේ මරියා මව්තුමියගේ පිළිමයක් රැඳුණු කූඩාරමේ දොරකඩයි. බිළිඳු හැඬුම් හඬක් එහි ඇතුළතින් රැව් නැඟිණි.

“මේ එළියේ වැඩ ඉන්න මරිය මව්තුමියගේ නාමයෙන් මේ අසරණ, අනාථ දරුවාට කිරි ටිකක් දෙන්න පුලුවන්ද? මම දුප්පත් ආමෙනියානුවෙක්” ඔහු ග්‍රීක බසින් කීය.

ඔහුගේ ඉල්ලීම අසා කූඩාරම තුළින් තලෙළු සමෙන් යුත් සුන්දර කාන්තාවක් මතු විය. අඩවන් දෑසින් යුතුව ඉතා උද්යෝගයෙන් කිරි උරන ළදරුවකු ඈ ළයට තුරුළු කරගෙන සිටියාය.

“කෝ බලන්න ඔය දරුවා, කොල්ලෙක් ද කෙල්ලෙක්ද?

මිකාලි ගේ හදවත ප්‍රීතියෙන් ගැහෙන්නට විය. මේ වෙද්දී අසල්වැසියන් කිහිප දෙනෙක් මෙතැනට රොක් වී සිටි අතර ඔවුහු මිකාලි ට තම සොහොයුරා පිටේ රඳවාගෙන උන් ගෝනිය බිමට බෑමට උපකාර කළහ. බිළිඳා එතූ රෙදි වැසුම් මෑත් කරද්දී හැම කෙනෙකුම එහි එබුණේ කුතුහලයෙනි.

ගැහැනුන් කණ්ඩායම එක් වරම මහා හඬින් කෑ ගැසූහ. බිළිඳා වෙතින් මනුෂ්‍ය ලක්ෂණ වලට වඩා දිස් වුයේ අමනුෂ්‍ය ලක්ෂණ යි. ඔහුගේ හිස විශාල ව පෙනුණේ සිරුර අසාමාන්‍ය ලෙස කෘශව තිබුණු බැවිණි. මෙතුවක් කල් ඔහු තම මහපටඇඟිල්ල උරමින් සිට තිබුණත් ඒ වෙද්දී එය ඉදිමී, ඔහුගේ කුඩා මුවට ඇතුළු කිරීමට නොහැකි තරමට විශාල වී තිබිණි. මේ හැම නිසා බිළිඳාගේ පෙනුම බියකරු දසුනක් වූ අතර මිකාලි පවා බියෙන් පසු බෑවේය.

“දේව මෑණියන් ට ඔප්පු වෙච්චාවේ!” එක් වයසක ගැහැනියක් කෑ ගැසුවා ය. “මේ නම් පිසාචයෙක්, ඇත්තම පිසාචයෙක්.. මට නම් කිරි තිබුණත් මූට දෙන්න හිත හයිය නැති වේවි.”

“මේ තමයි යක්ෂයා,” ගැහැනියක් කුරුසයේ ලකුණ අඳිමින් කීවාය. “හැබෑ තුර්කි පුතෙක්!”

“මේ යක්ෂයාම තමයි!” තවත් මහලු ගැහැනියක් කෑ ගසන්නට විය. “පලයන් යන්න මෙතැනින් කරුමක්කාරයා, ආයෙත් මේ පළාතේ ආවොත් බලාගෙනයි! උඹලා නිසා අවාසනාව අපේ පස්සෙනුත් එනවා!” ඈ මිකාලි වෙතට හැරී දොස් පැවරුවා ය.

රැස් ව සිටි සියලු දෙනා එක්ව තර්ජනය කරමින්, බැණ වදිමින් මිකාලි ව එතැනින් එළවා දැමූහ. දෑසේ කඳුළු පුරවාගෙන, කුසගින්නෙන් හඬන බිළිඳා කරපින්නාගෙන ඔහු එතැනින් නික්මුණේය.

ඉතින් තවත් කළ හැකි දෙයක් නොවූ අතර දරුවා හාමත් ව මිය යන්නට නියමිත ව තිබිණි. මිකාලි ට මහත් තනිකමක් සහ අසරණ බවක් දැනෙන්නට විය. කඳවුරේ මිනිසුන් කියූ පරිදි තමා මේ ඔසවාගෙන යන්නේ යක්ෂයා යැයි සිතද්දී ඔහුගේ සිරුර කිළිපොලා ගියේය. මඩුවක හෙවනකට ගිය ඔහු එතැන බිම හිඳ ගත්තේය. හාත්පස බෙහෙවින් උණුසුම් විය. ඔහු වටා දෑස මානයේ දිස් වූයේ කැලි කසලින් පිරුණු මුඩු බිමකි. මධ්‍යහ්නය හඟවමින් කොතැනක හෝ ඝණ්ඨාවක් හැඬවිණි. පෙර දිනයේ පටන් තමන් කිසිවක් ආහාරයට නොගත් බව ඒ හඬ ඔහුට සිහිපත් කළේය. ඉතින් ඔහුට මාවත් ඔස්සේ යමින්, අවන්හල් වල එළිමහන් මේස අවට හොරගල් අහුලමින්, පිඟන්වල ඉතුරු වූ පාන් වාටි සොරකම් කරමින්, නොඑසේ නම් දඩාවතේ යන බල්ලන් පවා ඉතුරු කර ගිය කෑම සොයමින්, කුණු බක්කි පෙරළමින් කුසගින්න නිවාගන්නට සිදු වනු ඇත. මිකාලිට හදිසියේම ඉදිරියේදී ගෙවෙන්නට නියමිත ජීවිතයේ මහත් කාලකණ්නි සහ බියකරු බවක් දැනුණු බැවින් ඔහු තම මුහුණ දෑතේ හොවාගෙන වැළපෙන්නට විය.

ටික වෙලාවකට පසු ඔහු හිස ඔසවා බලද්දී තමන් ඉදිරියේ, තමා දෙස බලාගත්වනම මිනිසෙකු සිටිනු දුටුවේය. ඒ, කඳවුර වෙත කඩදාසියෙන් තැනූ විවිධ විසිතුරු භාණ්ඩ විකිණීමට පැමිණෙන චීන මිනිසා බව ඔහු හැඳින්නේය. කිසිවකු මේ මිනිසා විකිණූ භාණ්ඩ මිළදී නොගත් අතර ඔහුගේ සමේ පාටටත් කුඩා දෑසටත් ඔවුහු ඔච්චම් කළහ. කඳවුරේ කුඩා දරුවන් ඔහු පසුපස පැන්නුවේ “චීනා.. චීනා.. ගඳම ගඳයි..” යැයි තාලයට කියමිනි.

චීන මිනිසා තමන් දෙස මෘදු බැල්මක් හෙලා කතාකරන්නට මෙන් දෙතොල් සොලවන බව මිකාලි දුටුවේය. අන්තිමේදී ඔහු කුලෑටිව මෙසේ කීය. “අඬන්න එපා කොල්ලෝ.., මාත් එක්ක එන්න.”

මිකාලි ඊට පිළිතුරැ දුන්නේ හිස සලා ප්‍රතික්ෂේප කිරීමෙනි. ඔහුට අවශ්‍ය වූයේ එතැනින් පලා යන්නටයි. චීන මිනිසුන්ගේ කෘර ක්‍රියා ගැන කතන්දර ඔහු ඇති තරම් අසා තිබිණි. ඔවුන් යුදෙව්වන් පරිද්දෙන්ම, ක්‍රිස්තියානු දරුවන් සොරාගෙන ඔවුන්ව මරා ලේ බොන බවට ආරංචියක් සරණාගත කඳවුරේ පැතිරී තිබිණි.

නමුත් ඒ මිනිසා එතැනින් ඉවත් වූයේ නැත. අන්තිමේදී මිකාලි ඔහු පසුපස ගියේ වෙන කළ හැකි දෙයක් ඔහුට කල්පනා නොවුණු බැවිණි. තමන්ට මීට වැඩියෙන් සිදුවිය හැකි විපත කුමක්ද? මෙසේ ඇවිද යන අතරේදී දුර්වල ව උන් මිකාලි බිළිඳා සමඟම ඇද වැටෙන්නටත් ගිය නමුත් චීන මිනිසා වහා පැමිණ ඔහුගෙන් බිළිඳාව ගෙන කරුණාවෙන් තුරුළු කරගත්තේය.

හිස් ඉඩම් කිහිපයක්ම තරණය කළ පසු ඔවුහු කුඩා වීදියකට එළැඹුනහ. මෙය ඔස්සේ ගිය විට කුඩා ගෙවත්තකින් වටවූ ලීයෙන් තැනු නිවසක් දිස් විය. නිවස ඉදිරිපස නතර වූ මිනිසා දෙවරක් අත්පුඩි ගැසුවේය. නිවස තුළින් අඩි ශබ්දයක් ඇසුණු අතර දොර විවර කළේ ඉතා කුඩා සිරුරකින් යුතු කාන්තාවකි. පිරිමි දෙදෙනා දුටු විට ඇගේ මුහුණ විලියෙන් රතු වූවත් ඈ සතුටු සිනාවක් පා, මඳක් නැමී ආචාර කළාය. මිකාලි දොරකඩ තාවර වෙමින් නැවතී සිටිනු දුටු චීන මිනිසා “බය වෙන්න එපා, ඇතුළට එන්න, මේ මගේ බිරිඳ” යැයි කීවේය.

මිකාලි නිවස තුළට ගිය විට එය තරමක් විශාල කාමරයක් බව නිරීක්ෂණය කළේය. එය මැදින් කඩදාසි පැලැල්ලකින් දෙකොටසකට බෙදා තිබිණි. ඉතාම පිරිසිදුව, පිළිවෙලට තිබුණු ඒ කාමරයෙන් දුගී බවේ ලකුණු ද දිස් විය. කාමරයේ කෙළවරක වේවැල් තොටිල්ලක් තිබිණි.

“මේ මගේ දරුවා” කාන්තාව පැවසුවේ ඔවුන් වෙත සිනා මුසුව හිස ඇළ කරමිනි. “එයා තාම පුංචියි, හැබැයි හරි ලස්සනයි. එන්න බලන්න”

මිකාලි තොටිල්ල වෙත ගොස් නිහඬව ම ඒ දසුන විඳින්නට විය. අලුත උපන් පුෂ්ටිමත් ළදරුවෙකු නිස්කාංසුවේ එහි නිදමින් පසුවිය. රන් පැහැති බ්‍රොකේඩ් රෙදි කඩකින් ඔහුව ආවරණය කර තිබුණෙන් ඔහුව පෙනුණේ කුඩා රජෙකු විලසිනි.

සැමියා බිරිඳට හඬ ගසා පිදුරු වලින් වියන ලද පැදුරක් මත වාඩිවන ලෙසට ඇයට සන් කළේය. ඉනික්බිති ඔහු වදනකුදු නොදොඩා හාමත් වූ ළදරුවා ව ඇයගේ උකුලෙන් තැබුවේ ඇය ඉදිරියේ නැමී ආචාර කරමිනි. පුදුමයෙන් දරුවා වෙත නැඹුරු වූ කාන්තාව ඔහුව ආවරණය කර තිබුණු රෙදි කඩ ඉවත් කළාය. ඇට සැකිල්ලක් මෙන් දිස් වූ ඔහු දුටු විට ඇයගෙන් නික්මුණේ අනුකම්පාවෙන් පිරි හඬකි. ඈ දරුවා තම හදට තුරුළු කරගත්තේ තන පුඩුව ඔහු වෙත පාමිනි. ඉනික්බිති මඳක් ලජ්ජාවෙන් මෙන් ඈ තම පිරුණු පියයුරත්, එහි එල්ලී පෙරේතකමින් කිරි උරන ළදරුවාත් ආවරණය වන පරිදි තම ගවොම සකසා ගත්තාය.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Translation of the short story ‘Maternity’ by Lilika Narkos


Image generated by AI

July 30, 2025

පර්සි සහ පොත්

මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි

‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’

‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’

‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’

Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital art




July 16, 2025

ආදරණීය මරියා



"මරියා...මරියා, ඇස් ඇරලා බලන්න මේ කවුද ඇවිත් ඉන්නේ කියලා"

ලූකාගේ පහත් හඬ කාමරයේ නිහඬ බව බින්දා. ජනේලයේ ඝන තිර රෙදි අතර පුංචි ඉඩෙන් ගලාගෙන ආව ඉර එළිය තීරුව ඒ කාමරය එළිය කරන්න සමත් වුණේ නැහැ. ඇස් දෙක වහගෙන හිටිය මරියාගේ සුදුමැලි මුහුණ කාමරයේ ලා අඳුර අතරින් පෙනුණේ බැහැගෙන යන හඳක් වගේ.

"මරියා, මම දන්නවා ඔයාට ඇහෙන බව. එක සැරයක් ඇස් ඇරලා බලන්නකෝ"

ලූකා ආයෙමත් ඇහෙන නෑහෙන හඬින් කිව්වා. ඇඳ හරහාට වැටිලා තිබුණු ලූකාගේ හෙවනැල්ලට තව හෙවනැල්ලක් එකතු වුණේ කාමරයේ දොරකඩ උන්නු අමුත්තා තව එක පියවරක් කාමරය ඇතුළට ආ නිසායි.

ලූකා ආපිට හැරිලා අමුත්තා දිහා බැලුවා. "මරියා ඇස් වහගෙන හිටියාට අපි කියන දේවල් ඇහෙනවා ලොරෙන්සෝ, මම ඒ බව සහතිකෙන්ම දන්නවා" ලූකා බැගෑබර කටහඬකින් කීවා. ලොරෙන්සෝ ඇඳ ළඟට කිට්ටු වුණේ පය පැකිලෙන ගමනකින්.

ලූකා ආයෙමත් මරියාගේ පැත්තට හැරුණා.
“ඔයා හිතන්නෙවත් නැති කෙනෙක් මේ ඔයාව බලන්න ඇවිත් ඉන්නවා මරියා. ඒ නිසා අද ඔයාට ඇස් අරින්නම වෙනවා! ඉතින් ඔය දෙන්නා කතාකරන්නකෝ. මම දවල් සුප් එකට ඕන එළවලු ගන්න කඩමණ්ඩියට ගිහින් එන්නම්. මම ඉක්මණින් එනවා!"

එහෙම කියලා ලූකා යන්න හැරුණා. කාමරේ දොර ළඟටත් ගිහින් ආපිට ආව එයා, ලොරෙන්සෝ ගේ උරහිසට අතක් තියාගෙන මොහොතක් ඉඳලා යන්න ගියා.

කාමරේ ඉතිරි වුණේ ලොරෙන්සෝත්, මරියාත්, කාමරය පුරාවට බරට දැනෙන නිහඬ බවත් විතරයි. ලොරෙන්සෝ හෙමින් වටපිට බැලුවා. කාමරයේ මඳ අඳුරට එයාගේ දෑස් හුරුවෙමින් තිබුණේ. මරියා සන්සුන් නිදි ඉරියව්වකින් ඇඳේ වැතිරිලා උන්නා. එයාගේ මූණ තිබුණේ අඳුරේ. සුදු පාට ඇඳ ඇතිරිලිත්, ඝන නිල් පොරෝනාවත් පිළිවෙලට, පිරිසිදුවට පෙනුණා. ලොරෙන්සෝගේ දෑස කාමරය පුරාවට දුවන්න වුණා. කාමරයේ එක කෙළවරක පරණ සනීප පුටුවක් තිබුණා. එතැනම කනප්පුවක් උඩ තිබුණු පොත් කීපයත්, බාගෙට නිම කළ ගෙත්තමත්, කන්නාඩි කුට්ටමත් බොහොම දවසක් තිස්සේ එහෙමම තිබුණු ලකුණු පෙනුණා. මරියාගේ ඇඳ ළඟ ම අකුලන ඇඳක් නවලා තිබුණා. ඇඳ ළඟ කනප්පුව උඩ නම් තිබුණේ බෙහෙත් බෝතල්, උණ කටු, උණු වතුර බෝතල් වගේ දේවල්. කාමරයේ බිත්තිවල රාමු කළ සේයාරූ කීපයක්ම තියෙන බව ලොරෙන්සෝට පෙනුණා. ඉන් එකක් මඟුල් පින්තූරයක්. මීට අවුරුදු විස්සකට කළින් හිටිය තරුණ මරියා ව ආයෙත් ඒ පින්තුරයෙන් දැකගන්න බලවත් ආසාවක් පපුව මැදට දැනුණත් ලොරෙන්සෝ ඒ ආසාව ආයාසයෙන් මැඩ ගත්තා. ළදරුවෙක් ගේ පින්තූර කීපයකුත්, ගැටවර කොල්ලෙක් එක්ක දෙමව්පියන් ගත්ත පින්තූරයකුත්, හමුදා නිල ඇඳුමෙන් සැරසුණු තරුණයෙක් ගේ පින්තූරයකුත් කාමරයේ අඳුර අතරින් ලොරෙන්සෝ යන්තමින් අඳුනා ගත්තා.

ජනේලය ළඟට ගිය ලොරෙන්සෝ, තිර රෙදි මෑත් කරලා උදෑසන ඉර එළියට කාමරේට නිදහසේ ගලාගෙන එන්න ඉඩ දුන්නා. ජනේලයෙන් එළියේ හේසල් ගස් ගොමුව, ළඟ එන සිසිරයට ලෑස්ති වෙලා තමන්ගේ කහ පාට පත්‍ර එකින් එක අත් හරිමින් හිටියා. අහසේ තිබුණේ හේමන්තයට නොගැලපෙන දීප්තිමත් නිලක්. ඒ නිල් පසුතලයේ තනි ලාක් කුරුල්ලෙක් කරණම් ගැහුවේ ජීවිතේ කිසි බරක් නැති තාලෙට. ලොරෙන්සෝ ආපිට හැරිලා කාමරයට අලුතින් ඉහිරුණු ඉර එළියේ උදව්වෙන් ඇඳේ වැතිරිලා ඉන්න මරියා දිහා බැලුවා. කොයිතරම් නම් කාලයක් ගෙවිලා ගිහින් ද! ඒත් ඒ කාලය මරියාට වැඩියත්ම අකාරුණික වෙලා නැති බවක් ලොරෙන්සෝ ට හිතුණේ මරියාගේ දැන් හැඩ රුව තමන්ගේ හිතේ ගොඩ ගැහිලා තිබුණු එයාගේ අතීත සේයා එක්ක සසඳමින්. ජනේලයෙන් වැටුණු ඉර එළිය තීරුවක් මරියාගේ මූන හරහා වැටිලා එයාගේ තුනී දුඹුරු කොණ්ඩය රන් පාටින් පාට කළා. මේ කොණ්ඩයේ කැරළි පිරිලා තිබුණු කාලයක, ඒ කොන්ඩ කැරැල්ලක් මරියාගේ මූන හරහා වැටුණු මතකයක් ලොරෙන්සෝ ගේ හිත ඇතුළේ අකුණු ගැහුවා.

ලොරෙන්සෝ ඇඳ ළඟ තිබුණු පුටුවේ වාඩිවුණා. තවමත් දෑස් පියාගෙන උන්නු මරියා සැහැල්ලුවෙන් හුස්ම ගනිමින් උන්නු නිසා එයා නින්දක පසු නොවෙන බවක් ලොරෙන්සෝ ට හිතුණා. හිතට දහිරිය අරගෙන ලොරෙන්සෝ ඇඳ ඇතිරිල්ල උඩ නිසොල්මන්ව තිබුණු මරියාගේ අතක් අල්ලා ගත්තා. අසනීපයෙන් පහුවෙන මරියාගේ අත සීතලව ඇති කියලා තමන් හිතාගෙන උන්නු නිසාදෝ ඒ අතේ නොහිතුව තරමේ උණුසුමක්, මෘදු බවක් දැනිලා එයා පුදුම වුණා. ඒ උණුසුමත් එක්ක එක සැණින් එයා අතීතයට ඉගිලිලා ගියා.

ඒ ගිම්හාන කාලය බොහොම උණුසුම් එකක්. ලොරෙන්සෝ, සැන්ටා මාසේලි කඳු පන්තිය පාමුල තිබුණු තමන්ගේ ගම්මානයෙන් පිටවුණේ ඒ අවුරුද්දේ. එයාගේ තාත්තාට නම් වුවමනා වුණේ පවුලේ වැඩිමලා වුණු ලොරෙන්සෝ තමන්ගේ ගොවිතැන් වලට එකතුවෙනවා දකින්න. ඒත් ලොරෙන්සෝ ට තිබුණේ කරදිය උමතුවක්. එයාගේ හීනේ වුණේ කඳු වළල්ලෙන් එහාට ගිහින් සේලරුවෙක් වෙලා නැව් නැඟලා ලෝකේ වටේ යන්න. අන්තිමේදී දවසක් තාත්තා එක්ක වුණු ලොකු රණ්ඩුවකින් පස්සේ ලොරෙන්සෝ ගෙදරින් පිට වුණේ පැදුරටත් නොකියා. මුහුදුකරේට යන්න හිතාගෙන පාරේ යමින් තිබුණු ලොරියක ඉඩක් ඉල්ලගත්ත ලොරෙන්සෝ මඟදී තද නින්දකට වැටුණා. පැය කීපයකට පස්සේ ඇහැරෙද්දි ලොරිය තමන්ගේ ගමනාන්තය වුණු මුහුදට කිට්ටුවට වත් ඇවිත් නැති බව දැකලා එයා කලබලයෙන් ලොරියෙන් බැස්සා. තමන් ඒ විදිහට අහම්බෙන් පියාවේ ගඟේ නිම්නයක තිබුණු මිදි වත්තක් ළඟ නතර වෙලා තිබුණේ දෛවයේ සරදමක් නිසාද හාස්කමක් නිසාද කියලා ලොරෙන්සෝට තාම හිතාගන්න බැහැ. තමන්ගේ බඩු පොට්ටනියත් කිහිල්ලේ ගන්නාගෙන ලොරියෙන් බැහැලා වටපිට බලද්දී ලොරෙන්සෝ මුලින්ම දැක්කේ මරියා ව.

මරියා එක අතකින් මොනවොදෝ එළවළුවක් පුරවපු කූඩයකුත්, සූරියකාන්ත මල් මිටියකුත් අරගෙන මිදිවැල් අතරේ අඩිපාරක් දිගේ එමින් හිටියා. එයාගේ අනිත් අතේ තිබුණු කඹයේ කෙලවර ගැටගහලා උන්නේ බූරුවෙක්! එදා උදේ ලා ඉර එළිය වැටිලා මරියාගේ කැරළි දුඹුරු කොන්ඩේ රත්තරන් පාටින් දිලිසුණේ අද දිලිසුණු විදිහටමයි.

මරියා ඇස් පියාගෙනම හීන් කෙඳිරියක් නැඟුවා. ඒ හඬින් ලොරෙන්සෝ අතීතයෙන් වර්තමානයට කඩාගෙන වැටුණා. ‘කතා නොකළාට මරියාට හැමදෙයක්ම ඇහෙනවා’ කියලා ලූකා පුන පුනා කී දේ එයාට මතක් වුණා. එයා නිසොල්මන් ව තියෙන මරියාගේ අත තම දෑතින්ම තද කරගෙන කතාකරන්න පටන් ගත්තා. නිහඬ කෙනෙක් එක්ක කතා කරන්න මුලදී අමාරු වුණත් ටික වෙලාවක් ගිහින් ලොරෙන්සෝ ගේ වචන ගලාගෙන ආවේ නිරායාසයෙන්. සමහර තැන්වලදී එයාගේ හඬ බිඳුණා තමයි. ඒ වගේම මරියා ඇස් ඇරලා බැලුවා නම් ඒ කතාව අතරේදී එයා කවදාවත් නොදැක්ක ලොරෙන්සෝ ගේ කඳුළු බලන්නත් තිබුණා. ඒක මුලක්, මැදක්, අගක් නැති කතාවක්. මරියාටත් ලොරෙන්සෝටත් විතරක් තේරෙන කතාවක්.

“ඔයාව කවදාවත් ආයෙත් දකින්න ලැබේවි කියලා මම හිතුවේ නැහැ මරියා- දකින්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව නම් හැමදාම හිත යට තිබුණා- බොරු කියන්නේ මොකටද? ඒත් ඒක කවදාවත් ඉටු නොවෙන ප්‍රාර්ථනා ගොඩටයි මම දාලා තිබුණේ. ඇත්තටම නම් අතීතයක්, අනාගතයක් නැති මිනිහෙක් විදිහටයි මම දැන් ජීවත්වෙන්න උත්සාහ කරන්නේ. එහෙම ඉන්දැද්දී රිදෙනවා අඩුයි කියලා මට තේරිලා තියෙනවා. මගේ ජීවිතයේ අතීතයෙන් සෑහෙන්න පිටු ඉරලා දාන්න මට පුළුවන් වුණා මරියා. අම්මා තාත්තා ගැන, මල්ලිලා ගැන, ගමේ ගෙවුණු ළමා කාලේ ගැන- ඒවා දැන් මට අමතකම ගානයි. ඒත් ඔයා ඉන්න පිටු ටික නම් මට මොනවා කරලාවත් ඉරලා දාන්න බැරිවුණා මරියා. පුදුමේ කියන්නේ ඒ කාලෙන් පුංචිම දේවල් පවා මට තාම මතක එක! මට මතක තියෙන සමහර දේවල් ඇහුවොත් ඔයාට නම් හිනාත් යයි.”

“ඔයාට මතකද මරියා අපි පියාවේ ගඟේ ට්‍රවුට් මාළු අල්ලන්න ගිය දවස? අර ජුලියානෝ පොඩි කොල්ලා වතුරට වැටිලා තෙතබත් වුණු හැටි? ඇත්තටම එදා අපි අල්ලපු මාලුවෙකුත් නැහැ නේද? මතකද ජුලියානෝ ට හීතලක් හැදෙයි කියලා බය වෙලා අපි කෑම තියන්න ගෙනාව පික්නික් බ්ලැන්කට්ටුව කොල්ලාගේ ඔලුවේ ඉඳන් ඔතපු හැටි! ඔයාට මතකද ගඟ අද්දර ෆිග් ගස්වල ගෙඩි ඉදිලා තිබුණු හැටි? ෆිග් කඩන්න කියලා ජුලියානෝ ව ගහකට නග්ගලා ගහ පාමුල ඉඳන් මම ඔයාව සිපගත්ත හැටි? අදටත් මට ෆිග් ගෙඩියක් දැක්කාම ඔයාව මතක් වෙනවා මරියා, මේ බොරුවක් එහෙම නම් නෙමෙයි..”

“මරියා ඔයාට මතකද අපි විටෝරියෝ වෙනේටෝ ගිය දවස? මට මතක හැටියට අපි ගියේ ඔයාගේ තාත්තාගේ පරණ ෆෝඩ් ට්‍රක් එකේ. තාත්තා බැංකුවටයි, පෝර ගන්නයි, පැල ගන්නයි ගිය අතරේ අපි දෙන්නා නගරය පුරාම රස්තියාදු ගහපු හැටි මතකද? ඒ නගරේ හැමතැනම ජෙරනියම් මල් පෝච්චි තිබුණා ඔයාට මතකද මරියා? ලිවෙන්සියා ගඟ අයිනේ බැම්ම දිගේ ඇවිදිමින් අපි ඒ මල් පෝච්චි ගණන් කළා. එදා තමයි ඔයා මට කිව්වේ රිදී දම්වැලක දාපු පුංචි රිදී කුරුසයක් බෙල්ලේ දාන්න ඔයාට ආසාවක් තියෙනවා කියලා. අම්මා නැතිව තාත්තා එක්ක හැදුන නිසා ඔයාගේ ඒ වගේ පුංචි පුංචි ආසාවල් තාත්තාට තේරුණේ නැහැ. ඒ වගේ දේවල් වලට තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න ඔයාට හිත දුන්නෙත් නැහැ. ඇත්තමයි මරියා එදා මගේ අතේ සල්ලි තිබුණා නම් මම ඒ නගරේ රිදී බඩු විකුණන කඩේකින් ඔයාට එයින් දම්වැලක් අරන් දෙනවා. ඒත් මමත් ඔයාලගේ ගොවිපොළේ වැඩකළේ පඩියකට නෙමෙයිනේ. කෑමත් නවාතැනුත් විතරක් වෙනුවෙන් වෙන කෙනෙක් නම් ඒ රස්සාව කරන්නේ නැහැ මරියා, ඇත්තටම මමත් හිටියේ ඔයා නිසා”

එක දිගට කතා කළ ලොරෙන්සෝ එයාගේ කම්මුල ඇඳ උඩ මරියාගේ අත උඩින් තිබ්බා. මරියා ට සමහරවිට ඒ කම්මුල්වල කඳුළු පාරවල් වල තෙත දැනෙන්න ඇති. ලොරෙන්සෝ ඉතුරු ටික කීවේ ඒ ඉරියව්වෙන් ඉඳගෙන.

“මම අදටත් ඕන තැනක් දිව්රනවා මරියා මම ඔයාගේ තාත්තාගේ රිදී කාසි පසුම්බිය ගත්තේ නැහැ කියලා. ඒ වෙලාවේ එහෙම හොරකමක් කරලා ඔයාව නැතිකරගන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි. ඒත් ඔයාගේ තාත්තා එදා හැසිරුණේ පිස්සෙක් වගේ. ඇත්තටම මම ඒ සල්ලි හොරෙන් ගත්තා නම් ඒ ටික අරගෙන පැනලා නොගිහින් මගේ ඇඳුම් කෑලි දෙක තුන අතරේ හංගයි ද? මේ ඔක්කොම අපි දෙන්නාව වෙන් කරන්න ඔයාගේ තාත්තාගේ උපායක් කියලා මට තේරුණා මරියා. ඇත්තමයි මට ඒ වෙලාවේ නම් ළඟ තිබුණු සවලක් අරගෙන එයාට ගහලා මරන්න තරම් තරහක් තිබුණා. ඒත් මම එහෙම නොකර ඔයාලගේ ගෙදරින් පිටවෙලා ගියේ ඔයාට තිබුණු ආදරේ නිසායි. ඔයා සමහරවිට මම කියන දේ විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ වෙලාවේ හිතුවක්කාරකමට, ඔයාගේ තාත්තාට පාඩමක් උගන්නන්න ඔයාව මාත් එක්ක අරගෙන ගියා නම් ඔයාටත් අපා දුක් විඳින්න වෙනවා. ඒ කාලෙත් ඒ බව තේරෙන්න තරම් මම මෝරලා හිටියේ. ඊටපස්සේ සෑහෙන්න කාලයක් යනකම් මම ජීවත් වුණේ තැනින තැනට යමින්, මරියා. ලැබෙන කුලියක් මලියක් කරගෙන මම එක එක තැන්වල ජීවත් වුණා. ඒත් මට කවදාවත් ඔයාව අමතක වුණේ නැහැ කියලා කිව්වොත් ඔයා හිතයි මම බොරු කියනවා කියලා. ඒත් ඒක තමයි ඇත්ත. අන්තිමේදී මම හීන දැකපු විදිහට සේලරුවෙක් වුණා මරියා. ලෝකේ වටේම නොවුණත් මූදු තුන හතරක ඇවිද්දා. ඒ කරදිය හීනෙත් ඈතින් ඉඳන් බලන තරම් ලස්සන නැති බව මට තේරුණේ මූද මැදදී. ඉන්පස්සේ මම හිත හදාගෙන ඒ රස්සාව අත ඇරියා. ඒ කාලේ ඔයාව හොයාගෙන එන්නත් හිතුණාට ඔයා ඒ වෙද්දී බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා ඇති කියලා හිතිලා මම ඒ හීනේ අත් ඇරියා. තමන් ආදරේ කරන හැම දෙයක්ම අයිති වෙන්නේ නැති බවත්, අයිති නොවුණත්, දකින්න නොලැබුණත් සමහරු ගැන දැනෙන ආදරේ වෙනස් නොවෙන බවත් ඒ වෙද්දී මම තේරුම් අරගෙන හිටියේ. මගේ ළඟ ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තිබුණා මරියා. ඉතින් අන්තිමට මම ජෙසොලෝ නගරේ බෝට්ටු ආම්පන්න විකුණන කඩයක් පොඩියට පටන් ගත්තා. කරදියේ නොගියාට කරදිය සුවඳ එක්ක දවස ගතකරන්න මට ඒකෙන් ඉඩ ලැබුණා.”

ලොරෙන්සෝ සුසුමක් හෙලලා ඔලුව උස්සලා මරියා දිහා බැලුවා. තාමත් ඈ උන්නේ නිසොල්මන්ව. සන්සුන් හුස්මට ළය උස් පහත් නොවුණා නම් ඈ සදාකාලික නින්දට වැටිලා කියලා කෙනෙකුට හිතෙන්නත් ඉඩ තිබුණා.

“ලූකා මාව හොයාගත්තේ කොහොමද කියලා මම ඇහුවේ නැහැ මරියා. අඩුම ගානේ ඔයා එයාට මං ගැන මොනවද කියලා තිබුණේ කියලාවත් අහන්න මට හිත් දුන්නේ නැහැ. හදිසියේම එක දවසක, උදේ මම කඩේ අරිද්දි ඒ දොරකඩ බලාගෙන හිටිය කෙනෙක් ‘මරියා ට අසනීපයි, පොඩ්ඩක් ඇවිත් එයා එක්ක කතාකරන්න” කීවාම ඒ මගේ මරියාම ද කියලාවත් මම ඇහුවේ නැහැ. ලූකා ගේ ඇස් වල පිරිලා තිබුණු වේදනාවත්, ආදරයත් නිසා ඒ ඔයාම බව මම දැනගත්තා. ඔයාලගේ ලිපිනය ලීව පුංචි කොළ කෑල්ලක් මගේ අතේ තියලා එදා ලූකා ආපිට හැරිලා ගියා. ඇත්තම කියනවා නම් ඔයාව ආයෙත් දකින්න හිත හදාගන්න මට දවස් කීපයක් ගියා මරියා. ඒක හරි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නිසා මට සමාවෙන්න. ඒත් මෙතරම් කාලයක් තනිකමට හුරුවුණු මට ආයෙත් ඔයාව දැකලා ලේ ගලන තුවාල හදාගන්න බැහැ කියලා මට හිතුණා. එහෙම දේකින් ආයෙත් ගොඩ එන්න තරම් දැන් මගේ හිත හයිය නැහැ කියලාත් මට හිතුණා. ඒත් ඔයා අසනීපයෙන් බව ලූකා කීව දේ තිස්සෙම මගේ හිතේ උඩට මතුවුණා. සැමියෙක් ඒ වගේ ගමනක් එන්න ලොකු හේතුවක් තියෙන බව මට අන්තිමේදී ඒත්තු ගියා. ඉතින් මම ඔයාව බලන්න ආවා මරියා, අන්තිමේදී මම ආවා! ඔයා ඉක්මණින් සනීප වෙන්න ඕන, එහෙම සනීප වෙලා ඉස්සර වගේ ආයෙත් හිනාවෙලා ඉන්න ඕන. ඔයාට ලස්සන ජීවිතයක් හිමිවෙලා තියෙනවා මරියා, ඔයා තව කාලයක් ඒක විඳින්න ඕන. බොහොම ආදරබර සැමියෙක්, දරුවෙක් ඉන්න, ලස්සන ජීවිතයක් තියෙන ඔයාට සමහරවිට මම මේ කියන්න යන කතාවෙන් නම් වැඩක් නැති වෙයි. ඒත් මම හැමදාම ඔයාට ආදරේ කළ බවත්, ඔයාව ආයෙත් කවදාවත් නොදැක්කත්, ඉස්සරහටත් හැමදාම ඔයාට ආදරේ කරන බවත් මතක තියාගන්න.”

---------------------------------

ලූකා ආයෙත් ගෙදර ආවේ දෙහෝරාවක් විතර ගත වුණාම. එළවලු ගන්න ඒ තරම් වෙලාව ගත නොවුණත් ඒ කාලයෙන් වැඩි හරියක් එයා ගත කළේ උද්‍යානයේ ගහක් යට බංකුවක. මොකක්දෝ නමක් නැති දුකක් එයාගේ හිතේ පිරිලා තිබුණත් ඒ එක්කම තමන් හරි දේ කළ බවට සැනසිල්ලකුත් එයාට දැනුණා.

ගෙදරට ඇතුළු වෙද්දී ලූකා ව පිළිගත්තෙ නිහඬ බව විතරයි. බඩු මල්ල දොරකඩ බිමින් තියලා ලූකා මරියාගේ ඇඳ ළඟට පියමැන්නා. ඒ වෙද්දී අමුත්තා යන්න ගිහින්. මරියාගේ අතේ ගුලිවෙලා රිදී දම්වැලකුත් කුරුසයකුත් තිබුණා, තාම තදින් වැහිලා තිබුණු එයාගේ දෑස් යටින් ගලාගෙන ගිහින් කොපුල් හරහා ඇඳුණු කඳුළු ඉරි දෙකක් තිබුණා.

-හෙල්මලී ගුණතිලක


2024 ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරඟයේ අවසන් වටයට තේරී ‘වෙද නෝනා සහ තවත් කතා’ කෙටි කතා එකතුවට ඇතුළත් වූ කෙටිකතාවකි.

වෙද නෝනා සහ තවත් කතා (2024)
සංස්කරණය - ජගත් ජේ. එදිරිසිංහ
ප්‍රකාශය - සරසවි ප්‍රකාශකයෝ

Digital art