April 09, 2024

දුම්රිය ගමන

දුම්රියපළේ පළමු පන්තියේ විවේකාගාරයේ කැඩපතින් ශ්‍රීමත් මෝහන් ලාල් තම පිළිඹිබුව දෙස බැලුවේය. ඒ කැඩපත ඉන්දියාවේ නිපදවන ලද්දක් බව බැලූ බැල්මට පෙනුණි. එහි පසුපස රතු පැහැති ඔක්සයිඩ තැනින් තැන මැකී ගොස් තිබුණු අතර විනිවිද පෙනෙන වීදුරු ඉරි කිහිපයක් එහි මතුපිට දක්නට විය. ශ්‍රීමත් මෝහන් කැඩපත දෙස බැලුවේ අනුකම්පාවත් මහන්තත්වයත් මුසු බැල්මකිනි.

“උඹත් මේ රටේ අනිත් දේවල් වගේ තමයි, අසාර්ථකයි, කිලුටුයි, උදාසීනයි,” ඔහු මිමිණුවේය.

කැඩපත ශ්‍රීමත් මෝහන් වෙත මඳහසක් පෑවේය.

“ඔබතුමා නම් නියමයි,” එය කීවේය. “ඔබ සාර්ථක පාටයි, ඒ වගේම කඩවසම්. ඔය පිළිවෙලට කැපුව උඩු රැවුල, එංගලන්තයේ සාවිල් රෝ පැත්තෙන් ගත්තු ඔය ඇඳුම් කට්ටලය, කබායේ බොත්තමේ රැඳුණු කානේෂන් මල, ඔබෙන් හමන විලවුන්, ටැල්කම් පවුඩර්, සබන් සුවඳ.. මේ හැම දෙයක්ම! ඔව් මහත්මයා ඔබ නම් බොහොම වැදගත් පාටයි.”

ශ්‍රීමත් මෝහන් පපුව පුම්බා, තමා පැළඳ සිටි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ බැලිඅල් විද්‍යාලයේ ටයි පටිය සිය දහස් වන වතාවටත් සකස් කරගෙන කැඩපතට ආචාර කළේ ය.

ඉනික්බිති ඔහු තම අත් ඔරලෝසුව දෙස බැලුවේය. තව තරමක වෙලාවක් ඉතිරිව තිබිණි.

“කොයි හායි!”

සුදු නිල ඇඳුමෙන් සැරසුණු සේවකයෙක් විවේකාගාරයේ දැල් දොරින් මතු විය.

“එක පොඩි වීදුරුවක් ගේනවා” ශ්‍රීමත් මෝහන් අණ කළේ ඒ පානය ද අතින් ගෙන ගැඹුරු කල්පනාවක නිමග්න වීම සඳහා වේවැල් පුටුවක අසුන් ගනිමිනි. විවේකාගාරයෙන් පිටත බිත්තිය අද්දර ශ්‍රීමත් මෝහන් ලාල්ගේ ගමන් මලු ගොඩගසා තිබිණි. ඒ අතර වූ කුඩා අළු පැහැති යකඩ ට්‍රන්ක පෙට්ටියක් මත මෝහන් ලාල් ආර්යාව වන ලක්ෂ්මි වාඩි වී සිටියාය.ඈ බුලත් විටක් සපමින්, පුවත්පතකින් පවන් ගසාගනිමින් සිටියාය. වයස හතලිස් ගණන් වල මැද හරියේ සිටි ඈ තරබාරු මිටි තැනැත්තියක් විය. ඈ පැළඳ සිටියේ රතු බෝඩරයක් සහිත කිලිටි සුදු සාරියකි. ඇගේ නාසය මත දියමන්ති නාස් මුදුවක් දිලිසුණු අතර දෑතේ රන් වළලු කිහිපයක් විය. ශ්‍රීමත් මෝහන් සේවකයාට විවේකාගාරය තුළට හඬගසන තෙක් ඈ ඔහු සමඟ සාමීචියේ යෙදෙමින් සිට තිබිණි. ඔහු ගිය විගස ඈ ඒ අසලින් ගමන් කරමින් සිටි කුළීකරුවෙකුව නවත්වා ගත්තාය.

“ගැහැණු අයගේ කෝච්චි පෙට්ටිය කොයි හරියේද නවත්තන්නේ?”

“ප්ලැට්ෆෝම් එකේ කෙළවරේ.”

කුළීකරු තම තලප්පාව පැතලි කර කොට්ටයක් සේ සකසා, ඇගේ යකඩ ට්‍රන්ක පෙට්ටිය ඔසවා හිස මත තබාගෙන දුම්රිය වේදිකාව ඔස්සේ ඇවිද ගියේ ය. ලාල් ආර්යාවද තම පිත්තල කෑම බඳුන අතින් ගෙන ඔහු පසුපස හෙමින් ඇවිද ගියා ය. අතරමඟදී බුලත් වෙළෙන්දෙකු ළඟ නැවතුණු ඈ තම රිදී බුලත් අසුරණය පිරවීමට බුලත් මිළදී ගෙන නැවතත් කුළීකරු පසුපස ඇදුනා ය. කුළීකරු විසින් තම ට්‍රන්ක පෙට්ටිය බිම තැබූ විට ඈ නැවතත් ඒ මත හිඳගෙන ඔහු සමඟ සාමීචියේ යෙදෙන්නට විය.

“මේ පැත්තට යන කෝච්චිවල සෙනඟ ද?”

“මේ දවස්වල කොයි පැත්තට යන කොච්චිවලත් සෙනඟ තමයි. ඒත් කාන්තා මැදිරියේ ඉඩ තියෙයි.”

“එහෙනම් ඉක්මණින් කාලා ඉවරකරගෙන ඉන්න ඕන. එතකොට ඒ කරදරෙත් ඉවරයි.”

මේසේ කියා ලාල් ආර්යාව පිත්තල බඳුන විවර කර එහි ඔබා තිබුණු චපාති කිහිපයකුත් අඹ අච්චාරුවකුත් පිටතට ගත්තා ය. ඈ ආහාර ගන්නා තුරු කුළීකරු ඈ ඉදිරිපස බිම ඇන තබාගෙන ඇඟිල්ලකින් පොළොවේ ඉරි අඳිමින් සිටියේය.

“සහෝදරී තනියමද මේ ගමන යන්නේ?”

“නැහැ අයියා, මගේ මහත්තයා එක්ක. එයා කෝච්චිය එනකම් අර විවේක කාමරේ ඉන්නේ. එයා පළවෙනි පන්තියේනේ යන්නේ. මහත්තයා ලොකු තනතුරක් දරන බැරිස්ටර් කෙනෙක්. ඒ නිසා එයාට කෝච්චිවලදී එක එක නිලධාරීන්, ඉංග්‍රීසි මහත්තුරු මුණගැහෙනවා. මම ඉතින් ගමේ ගෑනියෙක්නේ. මට ඉංග්‍රීසිත් බැහැ ඔය ලොකු ලොකු පැලන්තිවල ගති පුරුදුත් බැහැ. ඒ නිසා මම තුන්වෙනි පන්තියේ ගෑනු කෝච්චි පෙට්ටියේ යනවා.”

ලක්ෂ්මි ඉතා සතුටින් සාමීචියේ යෙදෙමින් සිටියාය. ඉඳහිට ඕපාදූපයක් කතා කිරීමට කැමැත්තක් දැක්වූ ඇයට නිවසේදී කතාකරන්නට කෙනෙක් සිටියේ නැත. ඇගේ ස්වාමිපුරුෂයාට ඇය වෙනුවෙන් වෙන්කරන්නට කාලය නොවිණි. ඈ නිවසේ ඉහළ මාලයේ විසූ අතර ඔහු විසුවේ පහත මාලයෙහි ය. මළ පොතේ අකුරු බැරි ඇගේ දුගී ඥාතීන් තම බංගලාව වටා කැරකෙනු ඔහු නොරිස්සූ නිසා ඔවුන් කිසිවෙක් එහි පැමිණියේ නැත. ඉඳහිට රැයකදී ඔහු ඈ වෙත පැමිණ විනාඩි කිහිපයක් ගත කළේය. ඔහු ඉංග්‍රීසියට හුරු හින්දි බසින් ඈට විවිධ අණ පනවද්දී ඈ විරෝධයක් නොපා ඒවාට කීකරු වූවාය. ඉහළ මාලය වෙත ඔහුගේ රාත්‍රී ගමන් වලින් මෙතෙක් නම් ප්‍රතිපලයක් ලැබී තිබුණේ නැත.

සංඥා එළි දැල්වී සීනුව නාද වූයේ දුම්රිය පැමිණෙන බව අඟවමිනි. ලාල් ආර්යාව ඉක්මණින් ආහාර ගැනීම නිම කර, අඹ අච්චාරුවේ තිබුණු අඹ ඇටය ලෙවකමින්ම ඈ නැගී සිටියාය. ඉනික්බිති මහා හඬින් රාමතෙල් හළ ඈ දිය කරාමය වෙත ගොස් තම මුවත් දෑතත් සෝදා ගත්තා ය. තම සාරි පොටින් දිය පිසදාගත් පසු ඇය නැවත තම ට්‍රන්ක පෙට්ටිය වෙත ගියේ දිගටම රාමතෙල් හරිමින්, කුස පිරවූ කෑම වේල ගැන දෙවියන්ට පින් දෙමින් ය.

දුම්රිය දුම් දමමින් පැමිණියේය. දුම්රියේ කෙළවර, ගාඩ්වරයාගේ දුම්රිය මැදිරියට ආසන්නයේම වූ කාන්තා මැදිරියේ වැඩි සෙනඟක් නොමැති බව ලක්ෂ්මි දුටුවාය. ඉතිරි මැදිරිවල නම් සෙනඟ පිරී තිබිණි. තම තරබාරු සිරුර දුම්රියේ දොරකඩින් ඇතුළට ගෙන කවුළුවක් අසල අසුන්ගත් ඈ තම සාරියේ ගැට ගසා තිබූ ඇනා දෙකක කාසියක් දී කුළීකරු ව පිටත් කර හැරියාය. ඉනික්බිති ඇය තම බුලත් අසුරණය විවර කර බුලත් කොළ දෙකක්, පුවක්, හුණු සහ කරදමුංගු කලවම් කර බුලත් විටක් ඒදා ගත්තා ය. මේ විට මුවෙහි ලූ විට ඇගේ දෙකොපුල් පිම්බී පෙනුණි. ඉන් අනතුරුව ඇය තම අත්ල මත නිකට රුවාගෙන දුම්රිය වේදිකාවේ කලබල වෙත අලසව බලා සිටියාය.

දුම්රියේ ආගමනය ශ්‍රීමත් මෝහන් ලාල්ගේ සන්සුන් බව බිඳීමට සමත් වූයේ නැත. ඔහු තම ස්කොච් පානය තොලගාමින් තම ගමන් මලු පළමු පන්තියේ මැදිරියට දැමූ විට තමන්ට දැනුම් දෙන ලෙස සේවකයාට දැනුම් දුන්නේය. කඩිමුඩිය, කලබලය, අනවශ්‍ය උද්යෝගය ආදී දේ හැදියාවක් නොමැති බවේ ලක්ෂණ බව ඔහු විශ්වාස කළේය. තමන් උසස් හැදියාවක් ඇති අයෙකු වූ නිසා හැම දේම පිළිවෙලට තිබීම ඔහුට රිසි විය. පිටරට ගෙවූ පස් වසරින් පසු ශ්‍රීමත් මෝහන් ඉහළ සමාජ පන්තිවල අයගේ පැවතුම් සහ චර්යාවන් පුරුදු පුහුණු කර තිබිණි. ඔහු හින්දියෙන් කතා කළේ කලාතුරකිනි. එසේ කතා කළත් ඒ අත්‍යවශ්‍ය වචන පමණක් වූ අතර ඒවාද උච්චාරණය කළේ ඉංග්‍රීසි ඌරුවටය. ශ්‍රීමත් මෝහන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඔප වැටුණු තමන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන ආඩම්බර විය. ඔහු ඉංග්‍රීසියෙන් කතාබහ ප්‍රිය කළ අතර ඕනෑම ප්‍රබුද්ධ ඉංග්‍රීසි ජාතිකයෙකු මෙන් ඔහුට පොත පත ගැන, දේශපාලනය ගැන, මිනිසුන් ගැන වැනි ඕනෑම මාතෘකාවක් ගැන කතා කළ හැකි විය. තමන් ඉංග්‍රීසි ජාතිකයෙක් මෙන් ඒ බස හසුරන බව ඉංග්‍රීසින් ම කියනු ඔහුට නිතර ඇසී තිබිණි.

දුම්රිය මැදිරියේ තමන්ට ගමන් කරන්නට සිදුවන්නේ තනිව දැයි ශ්‍රීමත් මෝහන් කල්පනා කළේ ය. එය යුධ හමුදා කඳවුරක් සහිත පෙදෙසක් බැවින් ඇතැම්විට හමුදා නිලධාරීන් දුම්රියෙන් ගමන් කරන්නට ඉඩ ඇත. එවැන්නන් සමඟ ඇතිවිය හැකි සිත්ගන්නාසුළු කතාබහ සිහිවී ඔහුගේ සිත උණුසුම් බවින් පිරුණි. වෙනත් බොහෝ ඉන්දියානුවන් මෙන් ඉංග්‍රීසි ජාතිකයන් සමඟ කතාකිරීමට ඔහු කිසිවිටෙක උනන්දුවක් පෙන්වූයේ නැත. එමෙන්ම ඔහු අනෙත් ඉන්දියානුවන් මෙන් මහා හඬින් කතාකරන, තම මතයේම එල්බගත් කලහකාරී අයෙකු නොවීය. ඔහු හැඟීම් විරහිත ලෙස තමන්ගේ වැඩක් බලාගෙන සිටීම පුරුදු කර තිබුණි. දුම්රිය මැදිරිය තුළ කවුළුව අසල තමන් සිටින කෙළවරේ සිට ටයිම්ස් පුවත්පත පිටතට ගෙන කියවීම ඔහුගේ පුරුද්ද විය. ඔහු සඟරාවේ නම පෙනෙන පරිදි නවා එහි හරස්පද ප්‍රහෙලිකාව විසඳයි. සාමාන්‍යයෙන් ටයිම්ස් සඟරාව නොවැරදීම ඉංග්‍රීසි ජාතිකයන්ගේ අවධානය ඇද ගැනීමට සමත් විය. ඔහු තම කාර්යය අවසන් බව හඟවා සඟරාව පසෙකින් තැබූ විට කවුරුන් හෝ ඒකාන්තයෙන්ම එය කියවන්නට ඉල්ලනු ඇත. සාමාන්‍යයෙන් මෙලෙස සංචාරය කරද්දී ඔහු නොවරදවා පළඳින බැලිඅල් ටයි පටිය නම් බොහෝ විට යම් කෙනෙකු හඳුනා ගැනීමට ඉඩ ඇත. මේ මඟින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, එහි කථිකාචාර්යවරු, එහි බෝට්ටු තරඟ, රගර් තරඟ ආදී දේ ගැන විශාල වපසරියක කතාබහ ඇතිවීමට ඉඩ තිබේ. ටයිම්ස් සඟරාවත්, ටයි පටියත් අසාර්ථක වුවහොත් ශ්‍රීමත් මෝහන් ‘කොයි හායි’ කියා අඬ ගසා සේවකයාව ගෙන්වාගෙන තම ස්කොච් පානය පිටතට ගනී. ඉංග්‍රීසි ජාතිකයන් ව නම්මා ගැනීමට විස්කි නම් කිසි විටෙකවත් අසාර්ථක වූයේ නැත. ඉනික්බිති ශ්‍රීමත් මොහාන්ගේ එංගලන්තයේ දුම්වැටි පිරුණු අලංකාර රත්‍රන් දුම්වැටි ඇසුරුම කල එළි බසී.

‘ඉන්දියාවේදී එංගලන්තයේ සිගරට්? මේවා ගෙන්වා ගත්තේ කොහොමද? හැබෑටම එකක් ගත්තාට කමක් නැද්ද?’

කිසිම ගැටළුවක් නැහැ, පාවිච්චි කරන්න යැයි කියවෙන ශ්‍රීමත් මෝහන් ගේ සන්සුන් මඳහස එවිට ඔවුන්ට දකින්නට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මේ ඉංග්‍රීසි ජාතිකයින් ඔස්සේ තමන් ප්‍රිය කරන ආදරණීය එංගලන්තය සිහි කැඳවා ගැනීම කළ හැකිද? එංගලන්තයේදී පස් වසරක් තිස්සේ හුරු පුරුදු වූ අළු පැහැති ගමන් මලු සහ කබායන්, කාන්තාවන් සමඟ යුගල කණ්ඩායම් සැදී කළ ක්‍රීඩා, අවන්හල් වල ගත් රාත්‍රී ආහාර, පිකැඩිලි හි වෛශ්‍යාවන් ආදිය ඔහුට සිහි විය. ඒ පස් වසරක කලබල සුන්දර ජීවිතය! එය හතලිස් පස් වසරක් තිස්සේ ඉන්දියාවේ කිළුටු, ග්‍රාම්‍ය ඉන්දියානුවන් සමඟ, දියණුවට ඇති මඟ ගැන කියවෙන අධම කතා අසමින් ගෙවුණු කාලයටත්, ළූනු ගඳ සහ දහදිය ගඳ හමන තරබාරු ලක්ෂ්මි සමඟ කෙටි ලිංගික කටයුතු සඳහා උඩුමහල ට යනෙන රාත්‍රීන් වලින් යුතු කාලයටත් වඩා බෙහෙවින් වටිනාකමින් වැඩි විය.

ශ්‍රීමත් මොහාන්ගේ මේ සිතිවිලි ප්‍රවාහය බිඳ වැටුණේ සාහිබ්ගේ ගමන් මලු දුම්රියේ එන්ජිමට යාබද පළමු පන්තියේ මැදිරියට පැටවූ බව සේවකයා දැනුම් දුන් විටයි. ඔහු මවාගත් කල්පනාකාරී ගමනකින් තම මැදිරිය වෙත ඇවිද ගියේය. එහෙත් මැදිරිය හිස් ව පැවතුණු බව දැක ඔහුට පුදුමයක් සහ කනස්සල්ලක් දැනුණි. සුසුමක් හෙලූ ඔහු මැදිරියේ කෙළවරක අසුන් ගත්තේ මින් පෙර කීප වතාවක් කියවා තිබුණු ටයිම්ස් සඟරාව දිග හැර ගනිමිනි.

ශ්‍රීමත් මෝහන් කවුළුවෙන් පිටත දුම්රිය වේදිකාව වෙත නෙත් යොමු කළ විට ඉඩ ඇති දුම්රිය මැදිරියක් සොයමින්, හැම මැදිරියකටම එබිකම් කරමින් වේදිකාව ඔස්සේ පැමිණෙන ඉංග්‍රීසි සොල්දාදුවන් දෙදෙනෙක් දැක ඔහුගේ මුහුණ සතුටින් ආලෝකවත් විය. පිටේ එල්ලාගත් ගමන් මලු වලින් යුතු ඔවුන් ගමන් කළේ තරමක් වැනෙමිනි. ඔවුන් ගමන් කළ යුත්තේ දෙවෙනි පන්තියේ මැදිරිවල වූවත් ඔවුන් ව තම පළමු පන්තියේ මැදිරියට පිළිගැනීමට ශ්‍රීමත් මෝහන් තීරණය කළේය. ඔහුට ඒ ගැන ගාඩ්වරයාට කතා කළ හැක.

ඉදිරියේම වූ දුම්රිය මැදිරිය වෙත පැමිණි එක් සොල්දාදුවෙක් එහි කවුළුවෙන් එබිකම් කළේය. හිස් ව තිබුණු අසුන ඔහුගේ ඇස ගැටිණි.

“ඒයි බිල්!” ඔහු කෑ ගැසුවේය. “මෙතැන එකක් තියෙනවා.”

ඔහුගේ සගයා ඒ වෙත පැමිණ මැදිරිය තුළට එබී බලා ශ්‍රීමත් මෝහන් දෙස බැලුවේය.

“ඔය කල්ලා ව එළවලා දාපන්,” ඔහු පහත් හඬින් තම මිතුරාට කීවේය.

මැදිරියේ දොර විවර කළ ඔවුහු අඩක් සිනාමුසුව-අඩක් විරෝධය පාන ලීලාවෙන් සිටි ශ්‍රීමත් මෝහන් වෙත හැරුණෝය.

“මේ මැදිරිය වෙන් කරලා තියෙන්නේ!” බිල් කෑ ගැසුවේය.

“රිසර්ව්ඩ්. ආමි- ෆවුජ්” ජිම් කෑ ගැසුවේ තම කාකි කමිසය පෙන්වමිනි. “ එක් ඩුම් ජාඕ - ගෙට් අවුට්!”

“මේ අහන්න, මේ අහන්න, සත්තකින්ම,” ශ්‍රීමත් මෝහන් තම ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි උච්චාරණයෙන් විරෝධය පාන්නට විය. මෙය අසා සොල්දාදුවෝ මඳක් නැවතුනහ. මේ මිනිසා කී දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට හැඟිණි. නමුත් බීමත්ව සිටි ඔවුන්ට තමන්ට ඇසෙන දේ ගැන විශ්වාසයක් තිබුණේ නැත. දුම්රිය එන්ජිම දෙසින් විසිල් හඬක් ඇසුණු අතර ගාඩ්වරයා තම කොළ පැහැති කොඩිය වනනු පෙනුණි.

සොල්දාදුවෝ ශ්‍රීමත් මෝහන් ගේ ගමන් මල්ල ගෙන එය දුම්රිය වේදිකාවට වීසි කළහ. ඉනික්බිති ඔහුගේ තර්මස් ෆ්ලාස්කුවත්, බ්‍රීෆ්කේසයත්, නිදි මැදිරියේ පාවිච්චියට ගෙන ආ පොරෝනාත්, ටයිම්ස් සඟරාවත් මීට එක් විය. ශ්‍රීමත් මෝහන් කේන්තියෙන් පුපුරමින් සිටියේය.

“මේ මොන විකාරයක්ද, මොන අපරාධයක්ද!” ඔහු කෑ ගසද්දී ඔහුගේ කටහඬ කේන්තිය නිසා බැරෑඬි වී තිබිණි. “මම උඹලාව අත් අඩංගුවට ගන්න කියනවා- ගාඩ්, ගාඩ්!”

බිල් සහ ජිම් මෙය අසා යළි වරක් මඳක් නැවතුනහ. ඔවුන්ට ඒ ඇසුන දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට දැනුණ ද එහි ඇසුණු රජුගේ ඉංග්‍රීසි වල තානය වටහා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

“කට වහගනින්!” ජිම්, ශ්‍රීමත් මෝහන් ට වැරෙන් අතුල් පහරක් එල්ල කළේ ය.

එන්ජිම දෙසින් යළිත් කෙටි විසිල් හඬක් ඇසුණු අතර දුම්රිය සෙමෙන් ගමනාරම්භ කළේ ය. සොල්දාදුවෝ ශ්‍රීමත් මොහාන්ගේ බාහුවලින් අල්ලා ඔහුව දුම්රියෙන් පිටතට තල්ලු කළහ. ඇද වැටෙද්දී පසුපසට විසි වූ ඔහු තම පොරෝනාවේ පටලැවී ගමන් මල්ල මතට පතිත විය.

ශ්‍රීමත් මෝහන් ගේ දෙපා පොළොවට ඇලවී ඇති බවක් ඔහුට දැනුණි. ඔහුගේ මුව ගොලුවී තිබිණි. තමා පසුකර වේගයෙන් ඇදෙන දුම්රියේ ආලෝකවත් කවුළු දෙස ඔහු බලා සිටියේය. දුම්රියේ අග කොටසේ රතු එළියක් දැල්වී තිබිණි. ගාඩ්වරයා විවර දොරටුවක් අසල කොඩි අතැතිව සිටගෙන සිටියේය.

තුන්වන පන්තියේ කාන්තා මැදිරියේ උන් තරබාරු, පැහැපත් ලක්ශ්මිගේ දියමන්ති නාස් මුදුව දුම්රියපළේ විදුලි එළි වැදී දිලිසෙමින් තිබිණි. ඇගේ මුවේ බුලත් කෙළ පිරී තිබුණු අතර ඈ කවුළුවෙන් එපිටට කෙළ ගසන්නට බලාසිටියේ දුම්රියපළ පසුවන තුරුයි. වේදිකාවේ ආලෝකවත් කොටස පසුකර දුම්රිය වේගයෙන් ඇදී යද්දී ලාල් ආර්යාව හෙලූ රතු පැහැති බුලත් කෙළ පිඬ ඊතලයක් ලෙසින් කවුළුවෙන් පිටතට ඇදී යනු පෙනුණි .


Translation of the short story ‘Karma’ by Kushwant Singh (1989)


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Picture generated by Canva AI

සිසිල සඟරාව- අප්‍රේල් 2024 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

10 comments:

  1. හරිම අපූරු පරිවර්තනයක්.කතාව මුල ඉදලම උපහාසයෙන් හා උත්ප්‍රාසයෙන් පිරිල.විටින් විට අහන්කාර කමත් මෝඩ කමත් අතර දෝලනය වන ශීමත් මෝහාන් තමන්ගෙම සහෝදර වැසියො දිහා තමන්ගෙම බිරිද දෙසත් පිලිකුලෙන් බලන හැටි කියවන්නගෙ කේන්තිය අවුස්සන තරම්.එතෙක් එයා ඉගෙනගෙන නැති කලු සුදු භේදය ගැන තමන්ගෙ රටේදිම ඉගෙනගන්නට ලැබීමත් සමග එයාගෙ ආඩම්බරය සුනු විසුනු වෙලා යනකොට යම් සතුටක් දැනුනත් ඔහු මුහුනපාන කනගාටුදායක සිදු වීමේ දරුනු කම නිසා ලොකු අනුකම්පාවක් ජනිත වෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්. කුශ්වන්ත් සින්ග් ගේ කෙටිකතා හරි රසවත්. මටත් මේකේ මුල් කතාව කියවද්දී ආසා හිතුණා. මෝහන් ගේ එංගලන්ත ජීවිතයේ සමහර තැන් පරිවර්තනය කරන්න ටිකක් මහන්සි වෙන්න වුණත් අන්තිම ප්‍රතිපලයට හානි වුණේ නැහැ වගේ. කියවන්නාත් කතාවට ඇදලා ගැනීම තමයි ඒ ලේඛකයාගේ දක්ෂකම.

      Delete
  2. මේ ඉන්දියන් පරිවර්ථන නම් නියමයි. 👌🙏💐😊
    ගමරාළගෙ කමෙන්ට් එකකත් මේ සමාන අත්දැකීම් විස්තර කරල තිබුනා.
    https://kolambagamaya.blogspot.com/2024/04/blog-post.html?showComment=1712645526969#c8909025502138001171

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා. ඇත්තටම නම් ඉන්දියන් කතා පරිවර්තනය මහන්සි අඩුයි. වස්තු බීජ අපට හුරු නිසා තමයි මගේ හිතේ වැඩියෙන්ම රස දැනෙන්නේ. නැත්නම් හිතන්නකෝ බුලත් කෙළ පාරක් ගැන නොදන්නා කෙනෙකුට මේක අපිට වගේ රස විඳින්න බැහැනේ :D

      ඉන්දියානු ජාතිකයෝ මෙහෙත් ඔනෑතරම්. හැබැයි ඔසියෝ නම් අපි ඉන්දියන් කියලා වරද්දා ගන්නේ නැතිම තරම්. ඒ තරමට ලංකාවේ අය ඉන්න නිසා දැන් ඔසියොත් දැනුවත් වෙලා මගේ හිතේ. ශ්‍රී ලන්කන් ටැමිල් නෙමෙයි නේද, සිංහල නේද කියලා අහන්න තරම් දියුණු අය මට හම්බවෙලා තියෙනවා. පන්ජාබ් කට්ටිය එහෙම ටිකක් arrogant ගතියක් තියෙනවා. අනිත් අයට බාධා උනත් කෝච්චිවල එහෙම මහා සද්දෙට කෝල්ස් ගන්න, වීඩියෝ බලන ගති එහෙම. ඊට අමතරව සමහර රස්සා වල ඉන්දියන් මාෆියා තියෙනවා. පිට කෙනෙකුට ඒවාට ඇතුල් වෙන්නම බැරි. මේවාට අමතරව නම් ලොකු හානියක් නැහැ. live and let live සීන් එකක් තියෙන්නේ

      Delete
  3. මේක නම් classic.

    "ඉහළ මාලය වෙත ඔහුගේ රාත්‍රී ගමන් වලින් මෙතෙක් නම් ප්‍රතිපලයක් ලැබී තිබුණේ නැත". හපොයි!

    "ඔවුන්ට ඒ ඇසුන දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට දැනුණ ද එහි ඇසුණු රජුගේ ඉංග්‍රීසි වල තානය වටහා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ." 'රජුගෙ ඉංග්‍රීසි' වැටහෙන්නෙ නැති ඉංග්‍රීසින් not so uncommon කියලා එංගලන්තයේ අවුරුදු පහක් ජීවත් වුණු ශ්‍රීමත් මෝහන්ට අවබෝධ වෙලා නෑ වගේ.

    "වේදිකාවේ ආලෝකවත් කොටස පසුකර දුම්රිය වේගයෙන් ඇදී යද්දී ලාල් ආර්යාව හෙලූ රතු පැහැති බුලත් කෙළ පිඬ ඊතලයක් ලෙසින් කවුළුවෙන් පිටතට ඇදී යනු පෙනුණි" හරියටම ගැලපෙන, උපරිම ලස්සණ සංකේතාත්මක අවසානයක්.

    ReplyDelete
    Replies
    1. thank you Lotus! මාත් බොහොම ආසාවෙන් කළ පරිවර්තනයක්.
      මෝහන් ලාල් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්දියාවේ ඉඳලා එංගලන්තේ ගියාට පස්සේ උතුර දකුණ මාරුවීමක් වෙලා වගේ නේද? තමන්ගේ මුල අමතක කරලා සුද්දෙක් වගේ වෙන්න හදන්නේ ඒකනේ. ඒකත් රජ ඉංග්‍රීසි ලෙවල් එකෙන්ම වෙන්න ගිය එකයි වැරදුණේ. කොයිතරම් උත්සාහ කළත් තමන්ට එහෙම වෙනස් ස්වරූපයක් මවාගන්න බැරි බවත් පිට පෙනුමෙන් මනින තැන්වලදී literally එළියට වීසි වෙන බවත් තමයි මේකේ ලේඛකයා කියන්න උත්සාහ කරන්න ඇත්තේ.

      Delete
  4. කොහේ හෝ කියවල තිබුන මතකයි
    ඒත් ආයෙත් ආයෙත් කියවන්න තරම් අපූරුයි
    මෝහන් ලාල්ගේ උඩඟු කම ඇරෙන්න වෙන ලොකු නරකක් නැහැ වගේ පෙනුන නිසා(compared with common Indian males) වුන දේ ගැන පොඩි අනුකම්පාවකුත් ඇතිවෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමුදු.
      මේක රස කතා කියලා සඟරාවක ඉස්සර පළ වුණු බවක් කෙනෙක් කියලා තිබ්බා. ඒකද දන්නේ නැහැ ඔයාට මතක.
      ඔව් මෝහන් ලාල් එංගලන්තේ ගිහින් ඇවිත් ටිකක් 'ඇඳගෙන' ඉන්නේ. හැබැයි ලක්ෂ්මි ගේ බඩු මුට්ටු ඔක්කොම වටිනා දේවල් බව විස්තර වලින් පේන නිසා එහෙම අඩු පාඩුවක් කරලාත් නැති පාටයිනේ නේද? මුල් කතාවේ නම 'Karma' ඒක නම් ගැලපෙන්නේ නැහැ කියලා මට හිතුණා මෙතන විපාකයක් පළ දීපු ගතියක් නැති නිසා. ඒකයි වෙන නමක් දැම්මේ.

      Delete
  5. අපූරු පරිවර්තනයක්. අන්තිම වෙනකම් ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ, රසවත් බව නිසාම මේ කතුවරයාගේ කෙටිකතා තව පරිවර්තනය කරන්න මම හිතාගෙන ඉන්නවා.

      Delete