April 04, 2024

අනූව දශකයේ Fanclub වැඩසටහන

අනූව දශකයේ ITN එකේ විකාශය වුණු Fanclub ෆෑන්ස්ලාටයි මේ සටහන.

වාහනේ යද්දී අහන්න සින්දු playlists හදද්දී ඇවිස්සුණු නොස්ටැල්ජියාවක් මේ. අන්තර්ජාල පහසුකම් ලැබෙන්න කලින් යුගයේ teenagersලා වෙලා හිටිය අපිට ඒ කාලේ ඉංග්‍රීසි සින්දුවක් අහන්න ලැබුණේ රේඩියෝ එකේ City FM වගේ නාලිකාවකින් විතරයි. ඉතින් බටහිර ලෝකයේ අලුතින්ම ජනප්‍රිය වුණු ඉංග්‍රීසි සින්දු ටී වී එකේ බලන්න පහසුකම සලසන්න පුරෝගාමී වෙලා ITN එකේ Fanclub කියලා වැඩසටහනක් පටන් ගත්තා. මට මතක හැටියට මේක විකාශය වුණේ අඟහරුවාදා රෑ හතට. මේකට teen වයසේ ළමයිට බොහොම හිතට සමීප අලුත්ම සින්දු ඇතුළත් වුණ නිසා ඒක ඉබේම බ්‍රෑන්ඩ් එකක් වෙලා ජනප්‍රිය වුණා. මගේ මතකය හරි නම් මේක කෙරුණේ chart show එකක් විදිහට. ඒ නිසා හැම සතියෙම එකම සින්දු කීපයකුත් අලුත් සින්දු කීපයකුත් අපට අහන්න දකින්න ලැබුණා. මේ නිසාම එහෙම නිරන්තරයෙන් අහපු දැකපු සින්දු අපිට තදින්ම මතක හිටියා.

ITN එකේ Fanclub වැඩසටහන ගැන කියද්දී අපේ යුගේ අයට නම් ඒ දවස්වල වැඩසටහන ඉදිරිපත් කළ කුමාර් ද සිල්වා ගැන අමතක කරන්න බැහැ. teen වයසේ හිටිය අපිට වඩා අවුරුදු දහයක් දොළහක් වැඩිමල් වයසක හිටිය කුමාර් ඒ කාලේ බොහොම කඩවසම් තරුණ නිවේදකයෙක්. ඒ පෙනුම වගේම ඔහු ඒ වැඩසටහන මෙහෙයවූ සරල සැහැල්ලු විදිහ Fanclub රටේ තරුණ පරපුර අතරේ ජනප්‍රිය වෙන්න ඍජුවම බලපෑ බව කියන්න ඕන. ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළ වැඩසටහන් රටේ සීමිත පිරිසක් විතරක් නරඹපු යුගයක මේ වැඩසටහන රට පුරාම බොහොම ප්‍රසිද්ධ වුණා. කුමාර් ද සිල්වා 1989 ඉඳන් අවුරුදු දහතුනක්ම Fanclub නිවේදකයා හැටියට කටයුතු කරලා කියලා ඔහු ගැන ලියවුණු සටහනක තිබුණා. ඒ වගේ වැඩසටහනක් අඛණ්ඩව, සාර්ථකව අවුරුදු දහතුනක් කළා කියන්නේ ලොකු හපන්කමක්!

Fanclub එකේ අපි ආදරේ කළ සින්දු විතරක් නෙමෙයි ඒවායේ visuals පවා තාම පැහැදිලිව මතකයි. Hazard- Richard Marx, Everything I do- Bryan Adams, Don't Forget my Number- Milli Vanilli, Sealed with a Kiss- Jason Donovan, The Best- Tina Turner, Just Another Day- John Secada මේ එයින් කීපයක් විතරයි. ඊට පස්සේ ඕනෑතරම් ඉංග්‍රීසි සින්දු අහලා/ඇහිලා තිබුණත් මේ Fanclub සින්දු තරමටම ඒවායින් වැඩිහරියක් හිත් වැදුණේ නැත්තේ ඒ වැඩසටහනේ මැජික් එකක් නිසාද මන්දා.

ඉතින් ඒ ලස්සන හීනමය යුගය මතක් කරමින් ඒ සින්දු ටික එකතු කරලා playlist එකක් හදාගෙන අහන්න විතරයි දැන් පුළුවන්. මේ වගේ ඉංග්‍රීසි සින්දු වැඩසටහනකට විකාශ කාලයෙන් වැදගත්ම කොටසක් වෙන් කළ එක ITN නාලිකාව ඒ කාලේ හැටියට ගත්ත තරමක රැඩිකල්, ඒත් සාර්ථක තීරණයක්. ඒ වගේම ඒ වැඩසටහනට පණ දීලා, බොහොම දුර රටවල සින්දු අපට සමීප කරලා දුන්න, අපේ යුගයේ ප්‍රබල media icon එකක් වුණු කුමාර් ද සිල්වාත් Fanclub හරහා ඒ කාලේ අපේ ලෝකය විචිත්‍රවත් කළ බව දැන් හිතෙනවා.

~හෙල්මලී~

(අපට මතක විදිහේ Fanclub වැඩසටහනේ පින්තූරයක් හොයාගන්න බැරිවුණා. මේ පින්තූරය ITN නාලිකාවේ සංවත්සරයක් වෙනුවෙන් කුමාර් ද සිල්වා එක්ක කළ වැඩසටහනකින්)



11 comments:

  1. තව අසාවෙන් බැලුව එකක් තමා කුමාර් කරපු Bonsoir එක අනික් එක නොයිලින් හොන්ටර් කරපු ලෝකල් ගායක ගායිකාවන් ගේ ඉංග්‍රීසි සිංදු වැඩසටහන. මට නම මතකයට එන්නේ නෑ.එදා කොච්චර හොද වැඩසටහන් ගියාද දැන් යන්නේ ජරා දේශපාලන දේශපාලුවන්ගේ කුණු කතා අහන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ කාලේ ළමයින්ට බලන්න සැහෙන්න වැඩසටහන් තිබුණා නේද අසංක මේ ප්‍රධාන නාලිකා දෙකේ? දේශපාලන කතා නම් තිබුණද කියලා මතකවත් නැහැ.

      Delete
  2. අම්මෝ මේ සිංදු සදා අමරණි ය මතක, පස්සේ මේ සිංදු වල ඕඩියෝ ෆෝන් එකට ඩවුන් ලෝඩ් කරගත්තා , කම්පියුටරේ තවමත් විසුවල් එක්ක සින්දු කිහිපයක් තියෙනවා..
    අයි ටීවී එකේ උදේට ගිය රයිස් ඇ න් ෂයින් වැඩසටහන හා එහි නිවෙදිකවත් අමතක නොවෙන මතක.....

    ReplyDelete
    Replies
    1. ලලිත්, මට මතක මේකයි bonsoir එකයි විතරයි. නොයලින් හොන්ටර් කරපු වැඩසටහනක් ගැන කට්ටිය කියලා තිබුණා. ඒක ද?

      Delete
  3. ඒ හොයා ගන්න අමාරු වුනේ, නම කොමන් එකක් නිසා වෙන්ටෑ? මෙන්න:
    කුමාර් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. https://fragmenteyes.blogspot.com/2015/07/touching-heart-and-eye.html

      Delete
    2. බස්සා - ලලිත් හොයන්නේ නිවේදිකාවක් මගේ හිතේ. නොයලීන් ට අමතරව ඒ කාලේ හිටිය ඉංග්‍රීසි නිවේදිකාවෝ නම් මටත් මතක නැහැ. නිවේදකයෝ නම් අරුන් ඩයස් හිටියා.

      Delete
  4. කට්ටියම Fanclub ෆෑන්ස්ලා වගේ නේද. මට ඒ කාලෙ Jason Donovan ගැන පිස්සු හැදිලා හිටියෙ. මම එයාගෙ තවත් ආස සිංදුවක් තමයි Too many broken hearts. මම ආසම කොටසක් තමයි "You give me one good reason to leave me, I"ll give you ten good reasons to stay, You are the only one I believe in".

    මම ඒ දවස්වල program එක බලන ගමන් සිංදු ලියාගන්න ගිහින් හිර වුනාම අන්තිමට තාත්තත් එක්ක එකතු වෙලා කොහොම හරි වචන ටික හදාගන්නවා. මුලින්ම අපි ඒ සින්දුවල මියුසික් හා visualsවලට ආසාවෙන් ඇහුවත්, වචන දිහා බලනකොට තමයි තේරුනේ ඒ සමහර සිංදු කොයි තරම් meaningfulද කියලා. ඔව් කුමාර්ගෙ ස්වරූපය වගේම ඔහුගෙ සරල ඉදිරිපත් කිරීමත් අපිව ඇදගන්න හේතු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Lotus මාත් ජේසන් ගේ ලොකු ෆෑන් කෙනෙක් තමයි! මං හිතන්නේ අපියි මුළු ටීන් ඒජ් කෙල්ලෝ පරපුරමයි :D ඒ කාලේ ඉංග්‍රීසි සින්දු නිතර තැන තැන අහන්න ලැබෙන්නේ නැහැනේ. මට මතකයි අපේ ඉස්කෝලේ කානිවල් එකක් වෙලාවේ sealed with a kiss ස්පීකර් වලින් වාදනය වෙලා කෙල්ලෝ කෑගැහුවේ හරියට ජේසන් කානිවල් එකට ඇවිත් වගේ!
      ඒ සිංදුවල තේරුම් ඒ කාලේ ලොකුවට ඔලුවට ගියේ නැහැ කියන එක නම් ඇත්ත. Hazard සින්දුවේ එහෙම තියෙන්නේ හරිම heartbreaking තේරුමක් කියලා තේරෙන්නේ දැන් අහද්දී. ඊට අමතරව Dont forget my number එකේ තේරුම දැන් කාලෙට අදාළම නැහැ. කවුද අප්පා නොම්මර දීලා ඒක මතක තියාගන්න කියන්නේ දැන් යුගේ!

      Delete
  5. හෙල්මලී ගේ සටහන මතක දිගේ සෑහෙන දුරක් ගෙනගියා කිව්වොත් හරි . අන්තර්ජාලය නොතිබුණු විශ්වීය බවින් දුර ජීවිතයක් තිබුණු ඒ කාලයේ කළු සුදු රූපවාහිනියේ පටන් (Fanclub, Bonsoir, MusicalShowcase) අපට නුපුරුදු බොහෝ දේ අප දැක්කෙ ඒ වැඩසටහන් හරහා. දැන් කාලයක ඉදන් දුරු රටක ඉන්නා හින්ද ඒ සමහර දේවල් දැන් සාමාන්‍යකරණය වුනත් ඒ කාලයේ ඒවා අපට තිබුණු සම්පත්. ඔවුන් ඒ වැඩසටහන් හරහා සමහර වචන ඉදිරිපත් කල විලාශය පවා විලාසිතාවක් වගේ. ලස්සන සටහනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අනුරුද්ධ ඒ වැඩසටහන් වලින් පිටරටවල සින්දු/විස්තර දැකලා අපි fascinate වුණා කිව්වොත් හරි. සමහරවිට දැන් වගේ කාලෙක ඔය Fanclub, Bonsoir වගේ වැඩසටහන් සාර්ථක වෙන එකකුත් නැහැ.
      මේ සටහන ලිව්වාට පස්සේ තමයි මටත් තේරුණේ අපේ වගේ වයසේ කොයිතරම් කට්ටියක් Fanclub ෆෑන්ස් වෙලා ඉඳලාද කියලා. වැඩිහරියක් කට්ටිය කුමාර්ගේ ෆෑන්ස් ලා තමයි. ප්‍රතිචාර, පණිවිඩ සෑහෙන්න! :)

      Delete