Translation of the short story ‘My Father’s Hands’ by Calvin Worthington
ඔහුගේ රළු දෑත් ඉතාමත් ශක්තිවන්ත විය. පලතුරු ගසක් මුදු ලෙස කප්පාදු කිරීමට මෙන්ම දඩබ්බර කොටළුවෙක් මෙල්ල කර බැඳ දැමීමටත් ඔහුට එක සමාන හැකියාවක් තිබිණි. ලෑල්ලක් මත කොටුවක් ලකුණු කර එය ඉක්මණින්, සාර්ථකව ඉරා ගැනීම ඔහුට පහසු කරුණක් විය. ඔහු ප්‍රතිවාදියෙකුගේ දැඩි හනු ඇටයකට පහර දී තම දෑත් මිටි තුවාල කරගත් අවස්ථා ගැනද ආරංචි තිබිණි. එහෙත් මට නම් හොඳින්ම මතක තිබුණේ තාත්තා මට නිල් උකුස්සෙකුගේ දිලිසෙන පියාසැරිය පෙන්වීම සඳහා, නො එසේ නම් ගුලක නිදන හාවෙකු පෙන්වීම සඳහා නැඹුරු වී මගේ උර මත ඔහුගේ දෑත තැබූ විට මගේ කමිසය හරහා දැනුණු ඒවායේ සුවිශේෂී උණුසුමයි. ඒ දෑත තාත්තාට මහත් සේවයක් ඉටු කර දුන්නත් ඒවා එකම එක කාර්යයකට අසමත් විය: ඔහු කිසි දාක අකුරු උගෙන තිබුණේ නැත.
මගේ තාත්තා ලියන්නට කියවන්නට දැන සිටියේ නැත. අපේ රටේ සාක්ෂරබව අහිමි ජනගහනය සීග්‍රයෙන් අඩුවී ඇති වර්තමානයේ, මට එවැනි අය ගැන දුකක් දැනේ නම් ඒ තම දෑතින් අකුරු ලියන්නට නොහැකිව දුක් විඳි තාත්තා ගැන පමණි. අතීතයේ එක්තරා කාලයකදී ඔහු පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වී තිබුණත්, එකල වැරදි පිළිතුරකට ගුරුවරුන්ගේ පිළියම වී තිබී ඇත්තේ අත්ලට එල්ල කළ අඩි කෝදු පහර දහයකි. කුමක් හෝ හේතුවකට මේ හය හැවිරිදි දරුවාගේ මනස තුළ අකුරු, හැඩ තල, ශබ්ද ආදිය නියමිත රටාවට පිහිටා නැත. ඇතැම්විට ඔහු ඩිස්ලෙක්සියාව වැනි ඉගෙනුම් ආබාධයෙන් පෙලුනා විය හැක. මාස කීපයකට පසු ඔහුගේ පියා ඔහුව පාසලින් ඉවත් කරගෙන ගොවිපොළේ වැඩට යොදවා තිබිණි.
මීට වසර ගණනාවකට පසු හතරේ පන්තිය දක්වා උගත් ඔහුගේ බිරිඳ ඔහුට කියවීමට උගන්වන්න උත්සාහ කර තිබේ. තවත් කාලයකට පසු මම ඔහුගේ විශාල අත මගේ කුඩා දෑතින් හසුරුවමින් ඔහුගේ නමේ අකුරු ලියවන්නට අපහසුවෙන් උත්සාහ කළෙමි. එකල ඔහු මේ කරදරය මඳක් ඉවසා සිටි නමුත් ඒ හැම අවස්ථාවකම ටික වෙලාවකින් නොසන්සුන් විය. එවිට අතැඟිලි නවමින් දිගහරිමින්, අත්ල තෙරපමින් හිඳින ඔහු, දැන් ඇතැයි ප්‍රකාශ කර, නිවසින් පිටවී, දිගු වෙලාවක් තනිවම ඇවිදීමට යන්නේය.
එක දිනක් කිසිවෙකු නොදකී යැයි සිතූ මොහොතක ඔහු තම පුත්‍රයාගේ දෙවෙනි ශ්‍රේණියේ කියවීම් පොත ගෙන, වසන් වී එය කියවීමට උත්සාහ කළ මුත් නොබෝ වෙලාවකින් එහි වදන් ඔහුට දුෂ්කර වැඩි විය. මේ වෙලාවේ ඔහු ඒ පොතේ පිටු තම නළලට තෙරපා හැඬුවේ ‘දෙවියනේ, දෙවියනේ, දරුවෙක්ගේ පොතක්වත් කියවන්න බැරිද මට?” කියමිනි. ඉන්පසු කිසිදිනක පෑනක් කඩදාසියක් ඉදිරියේ ඔහුව අසුන් ගැන්වීමට කිසිම පෙරැත්තයකට නොහැකි විය.
ගොවිපොළේත්, මාර්ග ඉදිකිරීම් කණ්ඩායම් සමඟත් පසු කලෙක කර්මාන්ත ශාලාවල රැකියා වලදීත් තාත්තාගේ දෑත ඔහුට මනා සේ සේවය කළේය. ඔහු තියුණු මනසකින් යුතු වූ අතර ඔහුගේ වැඩ කිරීමේ උනන්දුව කිසිවෙකුට සම කළ නොහැකි විය. දෙවෙනි ලෝක යුද්ධයේදී පයිප්ප වෑද්දුම් කරුවෙකු සේ සේවය කළ ඔහු, විශාල යුධ නැව් වල සංකීර්ණ වෑද්දුම් කටයුතු සිදු කළේය. ඔහුගේ උනන්දුවත් දක්ෂකමත් නිසා ඔහුට ඔහුගේ අංශයේ ප්‍රධානියෙකු වීමට අවස්ථාව ලැබුණත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍රය ඔහුගේ අතට ලැබුණු විට ඒ සියල්ල අහෝසි විය. ඒ ප්‍රශ්න පත්‍රයේ අකුරු ඔස්සේ තම අතැඟිලි දුවවමින් නැවක අභ්‍යන්තරයේ දිවෙන සංකීර්ණ පයිප්ප රටාවන් ගැන ඔහු කල්පනා කළේය. මේ පයිප්පවල හැම නැම්මක්ම වංගුවක්ම කටපාඩමින් දැන සිටියත් ඔහුට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නට කියවන්නට හැකියාවක් තිබුණේ නැත.
නැව් අංගනය වසා දැමුණු පසු ඔහු කපු නිෂ්පාදන කම්හලක සේවයට ගියේය. මෙහි ඔහු රාත්‍රී වැඩ මුරයක සේවය කර තම නින්ද වෙනුවෙන් වෙන් කළ යුතු හෝරාවන් දිවා කාලයේ ගොවිපොළේ නඩත්තුව සඳහා කැප කළේය. කපු කම්හලත් වසා දැමුණු පසු ඔහු සෑම උදෑසනකම රැකියාවක් සොයා පිටත් විය. ඒ සෑම දිනකම ආපිට පැමිණි පසු ඔහු රෑ කෑම සකසමින් සිටි අම්මාට කීවේ “එයාලාගේ විභාග කරන්න බැරි අයව එයාලා ගන්න කැමති නැහැ”යනුවෙනි.
කාගේ හෝ ඉදිරිපිටදී තමන්ගේ නම ලිවීම වෙනුවට x සලකුණක් යෙදීම ඔහුට හැමවිටම දුෂ්කර වූ නමුත් වඩාත්ම දුෂ්කර මොහොත එළඹුණේ තම සදාදර ගොවිපොළේ ඔප්පුවේ මේ සලකුණ යොදා එය වෙනකෙකුට අයිති වනු බලා සිටි දවසේ යි. ඒ කාර්යය අවසන් වූ පසු ඔහු බොහෝ වෙලාවක් ගතවනතුරු නොපෙනෙන දෑසින් කඳු නිම්නය දෙස බලාගත්වනම කවුළුව ඉදිරිපස සිටගෙන සිටියේ අතෙහි වූ පෑන සෙමෙන් කරකවමිනි. ඒ හවස්වරුවේ ගොවිපොළේ මඩුවක සැඟවුණු මම බොහෝ වෙලාවක් යන තුරු වැළපුනෙමි.
ටික කලකින් ඔහුට තවත් කපු කර්මාන්තශාලාවක රැකියාවක් ලැබුණු අතර අපි එහි සේවක නිවාසයක පදිංචියට ගියෙමු. මේ ප්‍රදේශයේ එක්වැනිම වූ මෙවැනි නිවාස සිය ගණනක් විය. තාත්තා නගරබද ජීවිතයට කිසි දිනක හැඩ ගැසුණේ නැත. මේ කාලයේදී ඔහුගේ දෑසේ නිල අව පැහැ ගැන්වුණු අතර කොපුල් තරමක් වැහැරී පෙනුණි. එනමුත් ඔහුගේ දෑත පෙර සේම ශක්තිමත් විය, මා උකුලට ගෙන ඔහුට ඇසෙන්නට බයිබලය කියවන්නැයි ඔහු ඉල්ලද්දී මට ඒ දෑතේ උණුසුම පෙර සේම දැනුණි. මගේ කියවීමේ හැකියාව ගැන මහත්සේ ආඩම්බර වූ ඔහු, මා සංකීර්ණ වාක්‍ය උච්චාරණයට උත්සාහ ගනිමින් කියවද්දී පැය ගණන් ඊට සවන් දුන්නේය.
වරක් ගුවන්විදුලි වැඩසටහනකදී පූජකවරයෙක් ‘තම පවුලේ අයට අවශ්‍ය දේ සපයා දීමට නොහැකි මිනිසා සොරෙකුටත් මිත්‍යාදෘෂ්ටිකයෙකුටත් අන්ත වන අතර ඔහුට ස්වර්ගයේ දොරටු නොඇරෙනු ඇත’ යැයි දේශනා කරනු ඔහුට ඇසී තිබිණි. බයිබලයෙන් මේ වැකිය ඔහුට ඇසෙන්නට කියන්නැයි ඔහු මගෙන් නිරතුරුව ඉල්ලා සිටියත් මට කිසිදිනක එය සොයාගනු නොහැකි විය. ඇතැම් දිනවලදී ඔහු කෑම මේසය අසල අසුන්ගෙන බයිබලයේ පිටු පෙරළමින් ගත කළේ කිසියම් හාස්කමකින් ඔහුට නිවැරදි පිටුව සොයාගැනීමට හැකිවනු ඇතැයි සිතූ ලෙසිනි. එවැනි දිනවල ඔහු ඒ පොත දෙස බලාගත්වනම කාලය ගත කළ අතර ඔහුගේ දෑතින් අකුරු ලියනු නොහැකි නිසා දෙවියන් විසින් ඔහුව ස්වර්ගයට භාර නොගනු ඇත්දැයි ඔහු කල්පනා කරමින් පසුවන බව මම දැන සිටියෙමි.
වරක් එක සති අන්තයක අම්මා තම සොයුරිය බලන්නට ගියාය. මා මගේ අලුත්ම සෙල්ලම් කරත්තය තනමින් සිටි අතරේදී තාත්තා රෑ කෑමට යමක් ගෙන ඒමට කඩයට ගියේය. කෑමෙන් පසු අතුරුපසට මා පුදුම වන සුළු දෙයක් ඇතැයි කියූ ඔහු කුස්සියට ගොස් ටින් බඳුනක් විවර කරන හඬ මට ඇසිනි. ඉනික්බිති තද නිහැඬියාවක් පැතිරුණි. කුස්සියේ දොරකඩට ගිය මා දුටුවේ විවර ටින් එකද අතැතිව ඔහු එහි සිටගෙන සිටින අයුරුයි. “පින්තූරේ පෙනුණේ පෙයාර්ස් වගේමයි” ඔහු සෙමෙන් කීවේය. ඉනික්බිති ඔහු පසුපස දොරකඩ පඩිය මත වාඩිවිය. තම පුතු ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත්ව ඇති බව මම දැනගත්තෙමි. ටින් බඳුනේ ලේබලයේ ‘සුදු අල’ යැයි සඳහන්ව තිබුණත් එහි පින්තූරයේ සැබවින්ම පෙනුණේ ඒවා පෙයාර්ස් ලෙසිනි.
එදා ඔහු වෙත ගොස් ළඟින් හිඳ ගත් මම, අහසේ තරු රටා මට පෙන්වාදෙනු හැකිදැයි ඔහුගෙන් ඇසුවෙමි. ‘බිග් ඩිපර්’ ඇතුළු අනෙත් තරු රටා සියල්ල තිබෙන තැන් ඔහු දැන සිටි අතර ඒවායේ මැවුම ආදී දේ ගැන එදා අපි නොයෙක් විස්තර කතා කළෙමු. එදා ඔහුව අපහසුතාවයට පත් කළ ඒ ටින් බඳුන බොහෝ කාලයක් ගතවන තුරු ඔහු තම ලී මඩුවේ තට්ටුවක් මත තබාගෙන සිටියේය. ඒ අකුරු අතපත ගෑමෙන් ඔහුට ඒවා කියවීමේ හැකියාව ලැබේවි වැනි හැඟීමෙන් ඔහු එය අතට ගෙන ඒ මේ අත හරවමින් සිටිනු මා කීප වරක් දැක ඇත.
මීට වසර ගණනාවකට පසු, අම්මා අන්ත්‍රා වූ විට තාත්තාට මා සමඟ පදිංචියට ඒමට පෙරැත්ත කිරීමට මම උත්සාහ කළෙමි. එහෙත් නගරය කෙළවරේ සතුන් කිහිප දෙනෙකු හදාගනිමින්, ගෙවත්තකින් වටවූ කුඩා නිවසක විසු ඔහු එය අතහැර ඒමට මනාප වූයේ නැත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙමින් තිබුණු අතර ඒ වෙද්දී කීප වරක් දරුණු නොවන වර්ගයේ හෘදයාබාධ නිසා ඔහු රෝහල්ගතව තිබිණි. වයස්ගත වෛද්‍ය ග්‍රීන් ඔහුව සතිපතා පරීක්ෂා කර බෙහෙත් නියම කළේය. හෘදයාබාධයක මුල් ලකුණු දැනෙද්දී දිව යට තබාගත යුතු නයිට්‍රෝග්ලයිසරින් පෙත්තක්ද වෛද්‍යවරයා ඔහුට නියම කර තිබිණි.
තාත්තා ගැන මා සතුව ඇති අවසන් සුන්දර මතකය නම් කඳු බෑවුමක තණ පිටියක නැම්මක් ඔස්සේ ඔහු මගේ දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටි මොහොතයි. ඒ මොහොතේත් - දැන් වයස්ගත වීම නිසා රැළි වැටුණු- ඔහුගේ විශාල උණුසුම් දෑත දරුවන්ගේ උර මත රැඳී තිබිණි. ඔහු නැවතී වසර ගණනාවකට පෙර මා ඔහු සමඟ පිහිනීමට සහ මාළු බෑමට ආ පොකුණ දරුවන්ට පෙන්වනු මා දුටුවේය. එදින රාත්‍රියේ මා මගේ පවුලේ සාමජියකින් සමඟ අලුත් රැකියාවක් සහ අලුත් නිවහනක් වෙනුවෙන් විදේශගත විය. ඉන් සති තුනකට පසු තාත්තා හෘදයාබාධයකින් අන්ත්‍රා විය.
තාත්තාගේ අවසන් කටයුතු වෙනුවෙන් මම තනිවම ආපසු පැමිණියෙමි. වෛද්‍ය ග්‍රීන් මා වෙත පැමිණ සිය ශෝකය පළ කළේය. තමන් තාත්තාට අලුතෙන් නයිට්‍රෝග්ලයිසරින් බෙහෙත් වට්ටෝරුවක් නියම කළ බවත් ඔහු එය ඔසු සලින් ලබාගෙන තිබුණු නමුත් අවසන් මොහොතේදී මේ පෙති තාත්තා ළඟ නොතිබීම ගැන තමන් තරමක් වද වන බවත් ඔහු කීවේය. තාත්තා හෘදයාබාධයේ ලකුණු පහල වෙද්දීම මින් පෙත්තක් ගත්තේ නම් උදවු ලැබෙන තුරු ඔහුගේ ජීවිතය බේරෙන්නට තිබුණු බව ඔහුගේ අදහස විය.
පල්ලියේ අවමංගල්‍ය පූජාවට පැයකට පමණ පෙර තාත්තාගේ ගෙවත්තේ මම සක්මන් කරමින් සිටියෙමි. අසල්වැසියෙකු විසින් මෙහි කෙළවරක ඔහු වැටී සිටිද්දී ඔහුව සොයාගෙන තිබිණි. උතුම් මිනිසෙක් තම ජීවිතය අවසන් කළ තැන නතර වූ මම ශෝකයෙන් නැඹුරු වී පොළොව මත අතැඟිලි දුවවන්නට වුනෙමි. මගේ දෑතට අඩක් පසට යටවුණු ගඩොල් කැටයක් අසුවුණේ එවිටයි. වැඩිදුර නොසිතා මා එය ඉවතට විසි කරන්නට තැත් කරද්දී ඊට යටවී තිබුණු කුඩා ප්ලාස්ටික් බෝතලය මගේ නෙත ගැටුණි. ඇඹරී, ඇදවී - එහෙත් නොබිඳී තිබුණු මේ බෝතලය ගඩොල් කැටයෙන් වැරෙන් පහර දීම නිසා මෘදු පසේ අඩක් ගිලී තිබිණි.
නයිට්‍රෝග්ලයිසරින් පෙති සහිත කුඩා කුප්පිය මගේ අත්ලේ තබාගෙන සිටිද්දී පෙර දිනක එහි මූඩිය විවර කිරීමට තාත්තා කලබලයෙන් උත්සාහ කරන අයුරුත්, එය අසමත් වූ තැන ගඩොලකින් පහර දී එය විවර කරන්නට තැත් දරන අයුරුත් වේදනාත්මක දසුනක් මට මැවී පෙනුණි. තාත්තාගේ විශාල උණුසුම් දෑත මරණය සමඟ සටනේදී පැරදුණු හේතුව මට වැටහී ගියේය. බෙහෙත් සහිත කුඩා කුප්පියේ ලේබලයේ මෙසේ සඳහන් වී තිබිණි. “කුඩා දරුවන්ට විවර කිරීමට නොහැකි ලෙස සැකසූ මූඩියකි. විවර කිරීම සඳහා පහතට තෙරපා කරකවන්න.” පසුව ඔසුසලෙන් විමසූ විට වැඩි ආරක්ෂාවක් සඳහා මේ අලුත් වර්ගයේ බෙහෙත් කුප්පි පාවිච්චියට ගත්තේ මෑතක බව ඔවුහු තහවුරු කළහ.
මා කරන්නේ එතරම් තාර්කික ක්‍රියාවක් නොවන බව දැන දැනම මම නගරයට ගොස් හම් බැම්මෙන් බඳින ලද කුඩා ශබ්ද කෝෂයක් සහ රන් ආලේපිත පෑන් කට්ටලයක් මිලට ගත්තෙමි. තාත්තාට සමු දෙද්දී, යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වූවත් කිසි දාක අකුරු ලියන්නට නොහකි වුණු, කාලයක් උණුසුම්ව තිබුණු තාත්තාගේ විශාල දෑත මැද මම ඒවා රැඳෙව්වෙමි.
From the book ‘Elephants are Dainty Birds’ (1978) Jacaranda Press
මේකට කොමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි. ඒක නැහැනේ නෝනා
ReplyDeleteතාත්තගෙ වේදනාව පුතාගෙ කෝණයෙන් කියන නිසා කතාව තවත් සංවේදී. කොහොම වුනත් තාත්තා පසුතැවිලි වුනු කාරණාවට ("ඔහුගේ දෑතින් අකුරු ලියනු නොහැකි නිසා දෙවියන් විසින් ඔහුව ස්වර්ගයට භාර නොගනු ඇත්දැයි") පුතා අවසාන මොහොතෙදි හොයාගත්ත විසඳුම හොඳයි.
ReplyDeleteහැබැයි මට හිතුනු දෙයක් තමයි අකුරු කියවන්න බැරි වුනත් මේ තාත්තා වගේ ස්මාර්ට් කෙනෙකුට ("ඔහු තියුණු මනසකින් යුතු වූ අතර", "මේ පයිප්පවල හැම නැම්මක්ම වංගුවක්ම කටපාඩමින් දැන සිටියත්") බෝතලේ අරින හැටි figure out කරගන්න එක එච්චරම ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා.
(නමුත් මට එහෙම හිතුනා කියලා කතාවෙ සංවේදි බවේ අඩුවක් වෙන්නෙ නෑ).
Lotus- You are back! :)
Deleteඔව් මම නොහිතුව තරමට මේක මගේ page එකේ කියෙව්ව කට්ටිය සංවේදී වෙලා තිබුණා. එයාලගේ කතා මීට හොඳටම වෙනස් වුනත් පොදුවේ තාත්තලාගේ ආදරය ගැන මේ කතාවෙන් සිහි කැඳවීමක් වුන බව මට තේරුණා.
//බෝතලේ අරින හැටි figure out කරගන්න එක// සමහරවිට බෝතලයක් අරින්න සාමාන්‍යයෙන් තියෙන්නේ එක ක්‍රමයයි නේ. ඒ වෙලාවේ heart attack එකත් එක්ක ඒකට වෙන ක්‍රමයක් මතක් නොවුනා වෙන්නැති. අකුරු බැරිකමේ unfortunate බව උලුප්පන්න යොදාගත් කොටසක් නේද?
මගේ යාලුවෙක් ඇහුවා කොහෙන්ද අප්පා මේ කතා හොයාගන්නේ කියලා. අපේ පුස්තකාලෙන් අයින් කරන්න වෙන් කරලා තිබුණු පොත් ගොඩක දශක හතරකට වඩා පරණ පාසල් වැඩ පොතක මේක තිබුණේ.
🥺🥺🥺🥺
ReplyDelete