January 28, 2023

After Life- (TV Series)

 මේ comedy-drama series එකක් ගැන ඔත්තුවක්. series බලන්න අකමැති මමත් එක දිගට බැලුව නිසා series ෆෑන්ලා කැමැත්තෙන් බලයි කියලා මට හිතෙනවා.

බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුන After Life කියන කතා මාලාව ගෙතිලා තියෙන්නේ මෑතක තම බිරිඳ වන ලීසාව අහිමි වුණු ටෝනි නමැති පුවත්පත් වාර්තාකරුවා වටේ. බිරිඳ නැතිව ජීවත් වීම ඔහුට ඉතාම දුෂ්කර කාරණාවක් බව දැනෙනවා. ඔහු මේ ශෝකය දරාගන්නේ 'සමාජයට වාතයක් වෙමින්'. ඒත් ඔහුගේ සමීපතමයන්, ඔහුට ආදරය කරන අය ඔහුව ඉවසමින් දරාගන්නවා. ටෝනි තමන්ගේ ශෝකය කළමනාකරණය කරගන්නට ඉගෙන ගන්නා චාරිකාව තමයි මේකේ ප්‍රධානම නිමිත්ත. 

ඒත් ශෝකය ගැන පදනම් වුණත් මේ කතා මාලාවේ හාස්‍යයත් නොඅඩුව තියෙනවා. වැඩියත්ම ටෝනි වටේ ඉන්න අය සමාජයේ එක එක වර්ගයේ extreme චරිත නිසා. ඔහු රැකියාව කරන පත්තර කන්තොරුවත් සුවිශේෂී තැනක්. ඔවුන්ගේ ප්‍රදේශයේ විශේෂ සිදුවීම් ගැන වාර්තා කරන එක ටෝනි ගේ රැකියාවේ කොටසක්. ඔහුට මේ ගමන් වලදී මුණගැහෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ 'විශේෂ' සිදුවීම් ගැන අඬන්න බැරි නිසා හිනාවෙන්න වෙනවා සමහර වෙලාවට. හැම කෙනෙක්ම ඇතුළේ ලෝකයට නොපෙන්වන සැඟවුණු චරිතයක් තියෙන බව මේ නිර්මාණයෙන් අපට මතක් කරලා දෙනවා. සමහර විට මනෝ විශ්ලේෂකයාට වඩා සාර්ථකව ඒ රාජකාරිය අහම්බෙන් සොහොන් පිට්ටනියකදී මුණගැහුණු කෙනෙක් ඉටු කරලා දෙන්න පුළුවන්. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු කෙනෙක් කෙනෙක්ට ඉතා හොඳ මිතුරෙක් වෙන්න පුළුවන්. හැමෝම එක්ක රණ්ඩු ඇතිකරගන්න ටෝනි ඇතුලෙත් දයාබර සැමියෙක් ඉඳලා තියෙන්න පුළුවන්. 

ශෝකයේ පතුලේ ගැලිලා, ඉන් මිදෙන්න බැරිව ඉන්න ටෝනි ට ලෝකය ගැනම කේන්තියි. 'හැමෝම එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා!' ඔහු එක තැනකදී කියනවා. ඒත් ඔහුත් ශෝකයට ඇබ්බැහි වුණු බව ඔහුටම තේරෙන්නේ නැහැ. මේ කතා මාලාවේ අන්තිම හරියේදී එක සංවේදී අවස්ථාවක මිය යන්න කලින් ලීසා ටෝනි වෙනුවෙන් කවියක් පටිගත කරලා තියනවා. ඒ Mary Elizabeth Fryeගේ Do not stand at my grave and weep කියන කවිය. මගේත් ප්‍රියතම කවියක් වන මේක මේ අවස්ථාවට බෙහෙවින්ම ගැලපෙනවා. මේ කතා මාලාවේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන Ricky Gervais ම ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑම සුවිශේෂී සිද්ධියක්. බොහොම විචිත්‍රවත් චරිත සමූහයක් එකතු කරගෙන නිර්මාණය කරලා තියෙන මේ කතා මාලාව කම්මැලි නැතිව නරඹන්න පුළුවන්, බලද්දී කඳුළු වගේම සිනා නොඅඩුව ගෙන එන බවට සහතික වෙන්නත් පුළුවන්. 

After Life- (TV Series) 
No. of series 3 
No. of episodes 18

 

8 comments:

  1. කොහොමද නෝනා මේක බලන්නේ? මොන චැනල් එකේද යන්නේ?

    ReplyDelete
  2. වචන ගිලින, තික් බ්‍රිටිෂ් ඇක්සන්ට් එක පොඩි අවුලක් වුනත්, පේන විදිහට හොඳයි වගේ. ස්තූතියි
    https://www.youtube.com/watch?v=sivmld0X8eE
    මේ කියන අලියා ලංකාවෙ එකෙක් ;)

    ReplyDelete
    Replies
    1. British අය කතා කරද්දී innit කියලා අහන විදිහ මරු! ඒ වගේම මේ series එක බලද්දී මම නෝටිස් කරපු දෙයක් තමයි එයාලා නිතරම All right? All right! කියලා කියාගන්න එක. නිකම් කොහොමද? හොඳයි වගේ. :)

      මේ අලි කතාව නියමයි. Ricky comedian කෙනෙක් හැටියට සාර්ථක ඔහේ හිතට එන ඒවා කියලා දාන නිසා කියලා මට හිතෙන්නේ

      Delete