December 13, 2018

පොත් කියවන චැලේන්ජ්


අවුරුද්දකට පොත් අඩුම ගණනේ 52ක් වත් කියවන්න පොඩි අභියෝගයක් මම ටික කලකට ඉස්සර බාර ගත්තා. මේ අභියෝගය ඇත්තටම ගුරුවරියක් වුණු මගේ මිතුරියකට ඇගේ ගෝලයෙක් විහිලුවට වගේ කළ අභියෝගයක්. අන්තිමට මේකට පැත්තක ඉඳලා මමත් සම්බන්ධ වුණා. ගිය අවුරුද්දේ නම් මට ඒ ඉලක්කයට යන්න බැරිවුණා. ගිය අවුරුද්දට මම කියවලා තිබුණේ පොත් 41යි. ඒ ගැන ලියපු බ්ලොග් සටහනයි මේ. මේ අවුරුද්දේ නම් මම  52 ඉලක්කය ඉක්මවා ගියා. මේ සැරේ ගණන 57ක්! මේ අවුරුද්ද ගෙවෙන්න තව සති දෙකක් විතර තිබුණත් ලංකාවට යන ගමනකුත් යෙදිලා කලබලකාරී වෙලා තියෙන නිසා තව නම් එක පොතක් වත් එකතුකරන්න බැරිවෙයි වගේ. ඒත් මේ ගණන අනුව මම මාසෙකට පොත් පහකට වඩා පොඩ්ඩක් අඩුවෙන්  කියවලා තියනවා කියන එක හිතාගන්නත් බැහැ එක අතකට. ඒවා මේ විදිහට ලියලා තියාගත්තේ නැත්නම් සමහරවිට මටත් විශ්වාස කරන්න බැරි වෙයි. මේ ලැයිස්තුවේ කෙටිකතා පොත් කීපයක්ම තියෙන නිසා මේ ඉලක්කය ලේසියෙන් පහු කරන්න ලැබුණා කියලා මට හිතෙනවා.

රස්සාවත්, ගෙදර වැඩත් අතරතුර මට කියවන්න වෙලාව ලැබෙන්නේ කොටස් වශයෙන්. මඟ තොටදී එක එක දේවල් වලට කල් මරණ අතරේ, කෑම පැයේදී එහෙම වගේ තමයි මම පොත් කියවන්නේ. ඉතින් ඒකට කෙටිකතා තමයි හොඳටම ගැලපෙන්නේ. එහෙමයි කියලා රසවත් නවකතා පොතක් ලැබුණොත් නිදිමරාගෙන හරි මම නොකියවා ඉන්නෙත් නැහැ. ඒ නිසා මේ ලැයිස්තුවේ නවකතා ත් ඒ තරමටම තියෙනවා. පුස්තකාලයක රස්සාව කරන එකත්, ගෙදර ඉඳන් පයින් යන දුරක අලුත්ම සිංහල පොත් තොගයක් තියන පුස්තකාලයක් තියන එකත් මේ තරම් පොත් කියවන්න ලොකුම හේතුවක් වුණා. මේ අවුරුද්දේ මුල ලංකාවට නොගිය නිසා අලුතෙන් පොත් මිළදී ගන්න නම් වුණේ නැහැ. ඒත් ගේ ළඟ තියන council පුස්තකාලයේ සිංහල පොත් එකතුවට ලංකාවේ සම්මාන වලට නිර්දේශිත, සම්මාන ලැබුව සහ අලුත්ම පොත් නිරන්තරයෙන් මිළදී ගන්න නිසා ඒ ගැන ලොකු අඩුවක් දැනුණේ නැහැ. මට නම් කොයිතරම් කල් පිටරටක හිටියත් දවස තිස්සෙම වැඩියම අත ගැටෙන්නේ ඉංග්‍රීසි පොත් වුණත්, තාමත් වැඩි පෙරේතකම තියෙන්නේ සිංහල  පොත් වලට බව මේ ලැයිස්තුව හොඳම සාක්ෂියක්. 

මේ පොත් අතරින් මාව වඩාත්ම කම්පනය කළේ අරුණ ප්‍රේමරත්නගේ 'තරු විසුල රැය', Margaret Atwoodගේ 'The Handmaid's tale' පොත් දෙක. ඒ කියන්නේ කියෙව්වාට පස්සේ ටික දවසක් නිදි නැතිව කල්පනා කරන වර්ගයේ ඒවා! අනෙත් ඒවාත් අඩු වැඩි වශයෙන් මම රස වින්දා. පොතක් හිතට අල්ලන්නේ නැත්නම් හිත්පිත් නැතිව කියවීම අත ඇරලා දාන නරක පුරුද්දක් මට තියනවා. ඒක සෑහෙන්න දුරට අඩු කරගන්න උත්සාහ කළත් තාම නැත්තටම නැති වෙලා නැහැ. දවසම පොත් එක්ක ගත කරන මට, කියවන්න ඕන තරම් options තියන නිසා කියවන්න තියෙන සීමිත වෙලාව රස නැති පොතකට වෙන්කරන්න හිත් දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට පුස්තකාලවලින් එක සැරේ පොත් දහයක් පහලවක් උස්සගෙන ආවත් අන්තිමට එයින් ඉවරවෙනකම් කියවන්නේ පොත් තුනහතරක් වෙන්න පුළුවන්. ඒ නිසා මටම වංචා කරගන්නේ නැතිව මේ ලැයිස්තුවට දැම්මේ මම සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කළ පොත් විතරයි. මේ පොත් තෝරාගන්න මට වැඩිපුර උදවු වුණේ ලංකාවේ සාහිත්‍ය සම්මාන නිර්දේශිත ලැයිස්තු, ෆේස්බුක් 'පොත් කියවන අය' ගෘප් එක සහ 9th Annual Good Reads Awards ලැයිස්තුව. Agatha Christie, Anne Tyler දෙන්නා මගේ ප්‍රියතම ලේඛිකාවෝ දෙන්නෙක්. ඒ දෙන්නාගේ පොත් මම බොහොම කලකට ඉස්සර කියවලා තිබුණත්, ආයෙත් රස විඳින්නයි මේ සැරේත් කියෙව්වේ. 

මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ ප්‍රබන්ධ එකතුවේ පොත් හයදාහක් විතර තියනවා. ඒ නිසා සිසුවියන්ට පොත් ගන්න පුළුවන් සීමාවක් පනවලා නැහැ. දෙසැම්බර් මැදදී ලැබෙන ග්‍රීෂ්ම නිවාඩුව සති හයක් තරම් දිග නිසා ළමයි නිවාඩුවට කළින් පුස්තකාලෙන් පොත් ගන්නේ පිස්සුවෙන් වගේ. අන්තිම පාසැල් වාරයේ අන්තිම සතිය 'all-you-can-carry week' හැටියට අපි නම් කරලා තියෙන්නේ මේකට අනුග්‍රහයක් දෙන්නයි. මේ සතියේ ළමයි පුස්තකාලෙන් කොයිතරම් පොත් අරගෙන යනවද කියලා කියනවානම් අපි ඒ අයට පොත් දාගෙන යන්න රෙදි මළු පවා දෙනවා. ඒවාත් මදි වෙලා සමහර ළමයි පුස්තකාලෙට එන්නේ රෝද තියෙන පුංචි සූට්කෙස් අරගෙන! ලාබාල වයසේ ඉඳන් මේ වගේ පොත් කියවන මේ ළමයි දැක්කාම මට නම් දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් මේ ඇබ්බැහිය ජීවිතය පුරාවටම ඒගොල්ලන්ගේ ළඟ තියේවි.

කොට්ටෙට තියන්න පුළුවන් තරම් මහත පොත් දහයක් දොළහක් පුස්තකාලෙන් අරගෙන බැරි මරගාතේ උස්සගෙන යන පුංචි කළු කෙල්ලෙක්  ගිය සතියේ මගේ ඇහැ ගැටුණා. ඒක දකිද්දී අර සින්දුවක තියන විදිහට ඒ ' මා දැයි නිකමට මට සිතුණා!'

මේ මගේ 2018 කියවපු පොත් ලැයිස්තුව. 2019 දී මේ ඉලක්කය පරද්දන්නයි මගේ උත්සාහය!  

  1. පාද යාත්‍රා - එරික් ඉලයප්ආරච්චි
  2. මිනිස් වටය- එරික් ඉලයප්ආරච්චි (කෙටිකතා)
  3. Kitchen House- Kathleen Grissom
  4. නේත්‍රාගේ කතාව- චන්ද්‍රසිරි දොඩංගොඩ 
  5. Exit West- Mohsin Hamid
  6. Dirt Music- Tim Winton
  7. The Mermaid Chair- Sue Monk Kidd
  8. රත්තරං දත - මලික් තුසිත ගුණරත්න (කෙටිකතා)
  9. Still me- Jojo Moyes
  10. Halloween Party- Agatha Christie
  11. දිමියා- අනුරසිරි හෙට්ටිගේ  (කෙටිකතා)
  12. The Heart Goes Last- Margaret Atwood
  13. The Handmaid's tale- Margaret Atwood
  14. Force of Nature- Jane Harper
  15. අළු පැහැති ආරංචි- ලියනගේ අමරකීර්ති  (කෙටිකතා)
  16. රස කතා- ජයකොඩි සෙනෙවිරත්න  (කෙටිකතා)
  17. ස්වයංජාත- සමරවීර විජයසිංහ 
  18. Elizabeth is Missing - Emma Healey
  19. ගිහින් එන්න කානිවල්- සුමුදු නිරාගී සෙනෙවිරත්න  (කෙටිකතා)
  20. නිකිණි කළුවර -දීප්ති මංගලා රාජපක්ෂ 
  21. තැප්පා සේම ගිණි-  සමරවීර විජයසිංහ  
  22. Little fires everywhere- Celeste Ng
  23. කර්මක්ෂ- කාංචනා ප්‍රියකාන්ත  (කෙටිකතා)
  24.  ආලන්දර- සුනේත්‍රා රාජකරුණානායක (කෙටිකතා)
  25. Clock Dance- Anne Tyler
  26. ජයන්!- සුනේත්‍රා රාජකරුණානායක 
  27. තරු විසුළ රැයක්- අරුණ ප්‍රේමරත්න 
  28. Every Note Played- Lisa Genova
  29. තුංමං හන්දිය- මහගම සේකර 
  30. අම්මයි තාත්තයි වහල උඩ-වෙනුර සරත් කුමාර  (කෙටිකතා)
  31. ආත්මා- චන්ද්‍රසිරි දොඩංගොඩ 
  32. Bookshop for the broken-hearted- Robert Hillman
  33. කාලිදාස කල් ඉකුත් වී නැත- සමරසිංහ ගුණසේකර  (කෙටිකතා)
  34. කළු කුහරය- රසික සුරවීරආරච්චි  (කෙටිකතා)
  35. ගාලු කොටුවේ සිංහයා- කපිල කුමාර කාලිංග  (කෙටිකතා)
  36. මේ කතාව- සුරේකා සමරසේන
  37. දෙමංසල- පී.ඩී අබේපාල
  38.  විල් නෙතක මල් මතක- නඳුන් යසිත දසනායක (කවි)
  39. අච්චාරු සහ තවත් කතා- විරාජිනී තෙන්නකෝන්  (කෙටිකතා)
  40. The Librarian- Sally Vickers
  41. සැණෙලි වියුම්- අනිල් හේරත්  (කෙටිකතා)
  42. උත්තමාචාර- රෝහිත මුණසිංහ  (කෙටිකතා)
  43. Ladder of Years- Anne Tyler
  44. නොනිමි වියමන- එච්. බී. ගුණරත්න (කෙටිකතා)
  45. අවලමා සහ ඇහැටුව- පී. බී ජයසේකර
  46. දෛව- කීර්ති වැලිසරගේ 
  47. පුරුෂ නොවන කල- පූර්ණිමා රාමනායක
  48. චක්‍ර- ජයතිලක කම්මැල්වීර  
  49. Dumb Witness- Agatha Christie
  50. The Nowhere Child- Christian White
  51. හැටේ වත්තේ මග්දලේනා- සෞම්‍ය සඳරුවන් ලියනගේ (කවි)
  52. කූඩු කිරිල්ලී සහ තවත් කතා -සංස්කරණය ස්වර්ණකාන්ති රාජපක්ෂ (කෙටිකතා)
  53. Scrublands- Chris Hammer
  54. ඈත නෑයෝ- සන්ධ්‍යා මධුරසිංහ (කෙටිකතා)
  55. Dinner at the Homesick Resturant- Anne Tyler
  56. The Children Act- Ian McEwan
  57. මකුළු දැල් බැඳුණු උඩුකය සිත්තම- ජස්ටින් පියරත්න (කෙටිකතා) 

17 comments:

  1. Well done.
    Btw, are you referring to Mt Waverley library.

    Lotus

    ReplyDelete
  2. හරිම සතුටුයි දුව ඔබ ගැන. මාත් කියවීමට හුගාක් කැමති කෙනෙක්. ඔබ ලංකාවට එනවා නම් මා දරුවන්ට ලියු පොතක පිටපත් කිහිපයක් ලබා දෙන්න පුළුවන්. කැමති නම් හමු විය හැකි විදියක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලනී ඇන්ටි, ලංකාවට ආවම මම ඇන්ටිට කතා කරන්නම්

      Delete
  3. පොත් කියවීමේ බලාපොරොත්තු ඉලක්කය ඉක්මවීමට ලැබීම ලොකුම ජයග්‍රහණයක්.
    2019 වසරේදී එය දෙගුණයක් කර ගැනීමට වාසනාව උදාවේවා කියා පතනවා. යන්තම් කියවීමට හැකියාව ලැබුණු කුඩා කාලයේ සිට ඔබ පොත් කියවීමට ආසා කරන බව මා දැක තිබෙනවා.
    දැනට වසර විස්සකට පමණ ඉහතදීත්, මා ළඟ තිබුණු 'Readers Digest' වසර 40 ක පමණ පොත් එකතුවත් සම්පූර්ණයෙන්ම වාගේ කියවා ඇති කෙනක් තමා මලී දුව ! - තාත්තා

    ReplyDelete
    Replies
    1. තාත්තාගේ readers digest වැඩිපුරම පාවිච්චි කළේ මම මං හිතන්නේ. දුසිම ගානේ අවුරුදු වලට මිටි බැඳලා නේ ඒවා තිබුණේ. මම ඉස්සර මිටිය මිටිය කියවන්නේ! හැබැයි ඒ අවුරුදු තිහකට ඉස්සර, විස්සට වඩා වැඩියි! ඒ කියවන ඇබ්බැහිය තාම ඉතින් එහෙමමයි :)

      Delete
  4. මිසී ලයිබ්‍රරියකද නැත්තං අච්චු කන්තෝරුවකද වැඩ කොරන්නේ? බි පෙ සි
    චැලේන්ජ් කිව්වම ඉතිං හැට්ටර්ට නං පයිට් චැලේන්ජ් තමයි. ඉස්කෝලේ කාලෙ ඔව්වට ගිය නිසා රීඩින් අංශෙට නං බෝම කම්මැලියි. පහු කාලෙ ටෙක්ස්ට් බුක් එකක උනත් ෂෝට් ඇන්ඩ් ස්වීට් ඕන දේම විතරයි. අන්න එකට මගේ කෙල්ලෝ දෙන්නා. පිස්සු ඩබල් වෙනවා උං දෙන්නගේ පොත් කියවිල්ලට. කොල්ලා නං මහේම අච්චුවේ. සත 10ක් දෙන්නං කිව්වා කියවන එක පිටුවකට. (ඇමරිකන් සත හොඳේ). ඌ හොඳ එකා මගේ සල්ලිටික ඉතුරු කොරල දුන්න.
    මේ ඒක නෙවේ මිසී, දැන් 41, 57 උනානං ලබන අවුරුද්දේ මිනිමම් ටාගට් එක 73 යි. 65ක් වත් දාමු නේ. පිට් නේ. ඔන්න ඩීල් එක හරි.
    ජයවේවා!
    take it easy.
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් ගේ කමෙන්ට් එක දැකලා මමත් බි පෙ සි! :D

      මදැයි ඉතින් දූලා දෙන්නා හරි පොත් ගුල්ලියෝ උනා නේද? ලංකාවේදී අපිට කියවන්න උනන්දු කරන පරිසරයක් ඉස්කෝලවල තිබ්බේ නැහැ කියලයි මට හිතෙන්නේ. මම ගිය ඉස්කෝලෙත් පුස්තකාලේ පොත් තිබුණේ අල්මාරි වල දාලා යතුරු දාලා. අහුවුණු අහුවුණු දේ කියවලා තමයි මේ ඇබ්බැහිය අමාරුවෙන් මේන්ටේන් කරගත්තේ!

      ලේසි නැහැ නේද ලබන අවුරුද්දට චැලේන්ජ් එක? කොහොම හරි ට්‍රයි එකක් දාමු! ලබන අවුරුද්දේ අන්තිමටත් දාන්නම්කො මේ වගේ පොස්ට් එකක්!

      Delete
  5. Dear Helmali...

    Did you study at Horana Taxila Central College? I'm Tharangani. I think you are my calssmate in Grade 6. Can't u remember me. Our Social Syudies Teacher Ms. Shanas called me as "Loku Wetara". Nice to see u via this after 30 years. Congratulations! Dear...

    Tharangani

    ReplyDelete
    Replies
    1. Dear Tharangani! yes I remember you very well, also your friend Gayani from Wethara. so nice to hear from you. I am in SL these days. Launching my book today (18th) at 3 at the Mahaweli Centre. Do come if you get a chance. would love to see you!

      Delete
  6. I also read a lot but I never have challenged myself. But after reading this I thought to challenge myself for next year. Just like you I don't read the books I don't actually feel. And I have to start reading Agatha Christy after reading your thoughts about them. I am a big fan of Sherlock Holms so did not read any other detective stories.. All the best!!!

    ReplyDelete
    Replies
    1. Thank you for dropping by, Hansanee!
      I am glad I motiveted you to the challenge and to read Agatha Christie's books. I have not kept a list of the titles I read this year, need to start at least from next year. Please post on your blog about your favourites. (also add a followers option on your blog so that we can follow and receive updates when you post)
      All the best to you too!

      Delete
    2. Thank you and I added a followers option to my blog.

      Delete