December 16, 2017

2017දී චැලේන්ජ් දිනන්න පොත් කියවීම!

'ඉසබෙලා අහනවා ජෝන් ග්‍රීන් ගේ අලුත් පොත නැද්ද කියලා.. ඉක්මනටම ඒක ගන්න ඕන.. ගිය සතියේත් ළමයෙක් ඇහුවා..'

'අර අලුතින් ගත්ත ක්‍රිස්ටිනා ලොරේන් ගේ පොත ළමයින්ට දෙන්න කලින් මම කියවලා ගැලපෙනවාද බලන්න ඕන, දැන්ම එළියට දාන්න එපා'

පුස්තකාලයක රාජකාරි කරන නිසා මට නිතරම අහන්න ලැබෙන්නේ, සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පොත් ගැන මේ වගේ කතාබහට. පොතක් හොඳද, නැද්ද... සමහර වයස් මට්ටම් වලට ගැලපෙනවා ද නැද්ද.. වගේ දේවල් පුස්තකාලයේ අපි නිතර කතාවෙනවා. මේ වගේ තීරණ ගන්න ඉතින් ඒ පොත් කියවන්නම වෙනවා. ඒ නිසා පොත් කියවන එක මගෙත් රාජකාරියේ කොටසක් කියන්නත් පුළුවන්. ඒත් මම නම් හැමතිස්සෙම නැඹුරු වුණේ කියවිය යුතු පොත් වෙනුවට මම කැමති පොත් කියවන්න. ඒනිසා සමහර වෙලාවට සමහරු ඉහළින්ම වර්ණනා කරන පොතක් වුණත් මට කියවද්දී අප්‍රසන්න වුණොත් මම අත ඇරලා දානවා. සමහර වෙලාවට පුස්තකාලවල අපි පාවිච්චි කරන '50 page rule' එක, ඒකියන්නේ අත් අරින්න කලින් පිටු පනහක් වත් කියවලා පොතට පොඩි චාන්ස් එකක් දීලා බලන්න කියන රීතිය වත් මම පිළිපදින්නේ නැහැ. කියවන්න ඕන තරම් පොත් තියෙද්දී අමාරුවෙන් දුක් විඳගෙන හොඳ නැති පොතක් කියවන්නේ මොකටද කියලා වෙන්න ඇති මගේ ඒ නොඉවසිල්ල මුලින්ම ඇති වුණේ. ඒ නරක පුරුද්ද නිසා සමහර හොඳ පොත් මට මඟ ඇරෙනවා කියලා මගේ 'කියවන යාලුවෝ' පෙන්නලා දුන්නට පස්සේ මම දැන් නම් ටිකක් නම්‍යශීලී විදිහට පොත් කියවනවා.

මේ පූර්විකාව ලිව්වේ පොත් ලැයිස්තුවක් ගැන කියන්නයි. ගිය අවුරුද්දේ අන්තිම මගේ රාජකාරී මිතුරියක් මට කිව්වා ඈ තමන්ටම දුන්නු චැලේන්ජ් එකක් ගැන. 2017 අවුරුද්ද ඇතුලත පොත් 52ක් කියවන්නයි ඒ අභියෝගය. ඒ කියන්නේ සතියකට එක පොතක සාමාන්‍ය අගයක්. ඒ අභියෝගය අහලා මටත් ඒක අත්හදා බලන්න ආසා හිතුණා. මමත් සෑහෙන්න පොත් කියවන කෙනෙක් වුණත් මම කවදාවත් කියවපු පොත් වල ලැයිස්තු තියාගෙන ඉඳලා නැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් අවුරුද්දකට පොත් කීයක් කියවනවාද කියලාවත් මට මිම්මක් තිබුණේ නැහැ. අවුරුද්දට පොත් 52ක් නම් කියවන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා. ඒත් එක්කම 52ක් බැරි නම් කීයක්ද පුළුවන් කියලා හොයාගන්නත් පොඩි ආසාවක් ඇතිවුණා. ඉතින් 2017 අවුරුද්දට මම සෙල්ලමට වගේ අහක යන අනුන්ගේ අභියෝගයක් මගේ කරගත්තා.

2017 ලබද්දී මම හිටියේ ලංකාවේ. ඒකෙ වාසිය වුණේ අභියෝගය පටන්ගන්න ලංකාවෙන් අලුතින්ම ගත්ත සිංහල පොත් තොගයක් තිබුණු එක. ලංකාවෙන් ගත්ත සමහර පොත් ලංකාවෙන් පිටවෙන්න කලින්ම මට කියවලා ඉවර කරන්න පුළුවන් වුණා. කොහොමහරි 2017 අවුරුද්දේ මේ වෙද්දී මම පොත් 41ක් කියවලා. දැන් දෙසැම්බර් නිවාඩු කාලේ නිසා ඉතුරු සති දෙකට තව පොත් දෙකක් විතර ඉවරකරන්න බැරි වෙන එකකුත් නැහැ. 52ක් ම නොවුණත් මෙතරම් පොත් ගාණක් මට අවුරුද්දකට කියවන්න ලැබෙන බව, පුලුවන් බව මම මේ වෙනකම් දැනගෙන හිටියේ නැහැ. අභියෝගය නිසායි, කියවපු පොත් වල ලැයිස්තුවක් ලියාගත්තු නිසායි ඒ බව දැනගත්තේ.  ලංකාවෙන් ගෙනා පොත් වලට අමතරව මේ ලැයිස්තුවේ ඉතුරු පොත් ඔක්කොම, මම රාජකාරි කරන පුස්තකාලය ඇතුළු පුස්තකාල කීපයකින්ම ගත්ත ඒවා. පොත් තෝරාගන්න උදවු වුණේ යාලුවන්ගේ යෝජනා, සම්මාන නිර්දේශ සහ Goodreads choice awards වගේ විස්තර.

මගේ මේ පොත් 41 ලැයිස්තුව ගැන මට සුවිශේෂී ආඩම්බරකම් කීපයක්ම දැනෙනවා. පලවෙනි එක තමයි මේවා ඔක්කොම කියෙව්වේ ඒ වෙනුවෙන් නිශ්චිතවම වෙන් කළ වෙලාවක් තිබිලා නෙමෙයි. සිංහලෙන්ම කියනවා නම් 'දුවමින්'! දවස් පහම රාජකාරියට යන ගමන්. ඒත් ඒ ගමන යන්නේ එන්නේත් පොතක් කියවමින් යන්න නිදහස තියෙන බස් එකක, කෝච්චියක නෙමෙයි. මීට අමතරව ගෙදරක අම්මා කෙනෙකුට පොතක් පතක් කියවන්න වෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර තියෙන රාජකාරි ටික කරලා ඉවර වුණාම බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මමත් වැටෙන්නේ ඒ ගොඩට. කාල වේලාව මදි වුණත් මම සෑහෙන වේගයකින් පොත් කියවීම මේ ලැයිස්තුව දිග වෙන්න උදවු වුන බව නම් මම දන්නවා. දෙවෙනි ආඩම්බරය තමයි මම මගේ පහසුවට හදා ගත්ත මේ ලැයිස්තුව තව කීප දෙනෙකුට උදවු කරන්න යොදාගන්න පුළුවන් වුණු එක. ලංකාවට යන මගේ මිතුරියන් කීප දෙනෙකුටම ලංකාවෙන් ගේන්න ඕන පොත් ගැන අහද්දී මට ලැයිස්තුව බලලා උපදෙසක් දෙන්න පුළුවන් වුණා. මීට අමතරව මෙල්බන් නගරයේ මට කිට්ටුම නගර සභා පුස්තකාලයේ රැකියාව කරන මගේ සිංහල මිතුරියක් පුස්තකාලයට අලුතින් සිංහල පොත් මිලදීගන්න මගෙන් පොත් යෝජනා ලැයිස්තුවක් ඉල්ලද්දී බොහොම ඉක්මණින් මේ ලැයිස්තුවෙන් පොත් ටිකක් කියන්න මට පුළුවන් වුණා. 'කියවන්න හොඳ පොතක් කියන්නකෝ!' වගේ ඉල්ලීම් වලටත් මේ වගේ ලැයිස්තුවක් සෑහෙන්න ප්‍රයෝජන වෙන්නේ කියෙව්වාට පස්සේ පොත් වල නම් අමතක වෙන මම වගේ අයටයි.

මේ හැමදේටම වැඩිය මම වඩාත්ම ආඩම්බර වෙන කාරණාව තමයි මට මුලින්ම මේ අභියෝගය ගැන කීව මිතුරියට මේ අවුරුද්දට කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ පොත් 23ක් විතරයි! ඉතින් අන්තිමට ඇගේ අභියෝගය මම භාරගෙන ඈවත් පරද්දන්න මට පුළුවන් වුණේ නොහිතුව විදිහකටයි. ඒ ගැන මගේ උජාරුව අහලා ඈ හිනාවුණේ හොඳ දේකට පෙළඹවීම නිසා හරි නම් මම ඈට තෑග්ගක් දෙන්න ඕන බව කියලා.

මේ තමයි මගේ 2017 කියවපු පොත් ලැයිස්තුව. 2018 වෙනුවෙන් මෙහෙම අභියෝගයක් තමන්ටම කරගන්න කවුද ලෑස්ති? සතියකට එක පොතක් කියවන්න ඉලක්ක කළොත් අඩුම ගානේ මාසෙකට එක පොතක් හරි කියවන්න ඉඩ තියෙන බව මට නම් විස්වාසයි!
  1. දූල්වල අලංකාරය- සුමුදු නිරාගී සෙනෙවිරත්න  
  2. සැප්තැම්බරයේ දිගු දවසක්- කපිල කුමාර කාලිංග
  3. සුළි මැද පිපි තඹර -ඉන්දික ගුණවර්ධන 
  4. Life and times of Michael K- Coetzee 
  5. A street cat named Bob- James Bowen
  6. සර්පයාගේ දියණිය- උපේක්ෂා නුවන්ශ්‍රීනි 
  7. මේ රහස් කවුළුවෙන්  එබෙන්න-කෞශල්‍ය කුමාරසිංහ 
  8. Disgrace-Coetzee 
  9. Vinegar girl- Anne Tyler 
  10. Thinner- Stephen King 
  11. අවසර කල රහස් තැන - කේ ජී ප්‍රේමරත්න 
  12. සුජාත දරුවෝ - ඒ එච් ගමගේ 
  13. What Lies Between Us- Nayomi Munaweera 
  14. Behind closed doors- B A Paris
  15. The Grownup- Gillian Flynn
  16. The Flower boy- Karen roberts
  17. My name is Lucy Barton- Elizabeth Strout
  18. The Breakdown-  B A Paris
  19. බෑග්ඩෑඩ්- එරික් ඉලයප්ආරච්චි 
  20. ස්වර්ණ වර්ණ-ජයකොඩි සෙනෙවිරත්න 
  21. සූරිය කුසුම-චූලාභය ශාන්ත කුමාර 
  22. න ගච්ඡති - පද්මිණී සෙනෙවිරත්න
  23. Milk & Honey- Rupi Kaur
  24. සුධාරි- ජයකොඩි සෙනෙවිරත්න 
  25.  ප්‍රංශ පෙම්වතා- ශමෙල් ජයකොඩි 
  26. ගරුඬ මුහුර්තය - කීර්ති වැලිසරගේ 
  27. වණ්ණදාසි - කත්‍යානා අමරසිංහ
  28. එකොළහ - ජයතිලක කම්මැල්ලවීර
  29. Butterfly Garden- Dot Hutchison
  30. It- Stephen King
  31. The Dry- Anne Harper 
  32. We were liars- E. Lockhart
  33. හඳ පළුව තනි තරුව" - නිශ්ශංක විජේමාන්න 
  34. සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නේ
  35. සිය සිය පත් සිය - සුමිත්‍රා රාහුබද්ද 
  36. භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩංගොඩ 
  37. Turtles all the way down- John Green 
  38. හින්නිකිත්තරා- රෝහිත මුණසිංහ
  39. The Journey of Love- Alex Miller
  40. වැළපෙන විලෝ- රෝහිත මුණසිංහ 
  41. Eleanor Oliphant is Perfectly Fine- Gail Honeyman 



10 comments:

  1. Wonderful!!! I also had a habit of keeping a record of books I read. Current record holder is 1996. I accept your challenge because it will be good for me. Thank you very much for reminder!!!

    ReplyDelete
    Replies
    1. thanks Loku malli, glad that you have taken up the challenge. Hoping to see a post about your progress! :)

      Delete
  2. මමත් ඉස්සරනම් ඔය රේට් එකට වැටෙන්න වගේ පොත් කියවූවා. නොවරදවාම කියවපු එකක් තමයි Readers' Digest. ඒ උනත් 'හතලිස් ඇඳිරිය' හැදුනට පස්සේ ටිකක් අඩු උනා. ඊටත් පස්සේ ඇස් වල විවිධ බාධක නිසා කියවිම බොහෝ සිමා කරන්නට සිදු උනා. නොකියවාම බැරි දේවල් අත් කාචයක් පාවිච්චි කරගෙනත් කියවූවා. මෑතදී එක ඇසක cataract surgery එක කලාට පස්සේ දැන් බොහෝ දුරට ප්‍රකෘති තත්ත්වයට ඇවිත්. දැන් නැවත කියවනවා. ඒත් ඉස්සර තරම් බැහැ
    ---තාත්තා-----

    ReplyDelete
    Replies
    1. තාත්තා- මගේ යාලුවෙක් ලඟදි කිව්වා මේ වගේ කතාවක්. එයාගේ අම්මා හෙදියක්. පොත් කියවන්න ආසාව තිබුණත් වෙලාවක් නැති කම නිසා විශ්‍රාම ගියාම කියවන්න කියලා පොත් රාක්ක ගණන් එකතු කළා ලු. ඒත් විශ්‍රාම ගිහින් සති ගණනක් ඇතුළත වෙනත් අසනීපයක් උත්සන්න වෙලා ඒකෙ අතුරු අබාධයක් හැටියට ඇස් පෙනීම එකපාරට හොඳටම දුර්වල වෙලා. දැන් ඒ අම්මාට පුළුවන් කාලේ පොත් නොකියවීම ගැන පසුතැවීමක් විතරක් ඉතිරි වෙලා. අපි අතින් කොයිතරම් දේවල්- කියවීම වගේ සරල දේවල් පවා- taken for granted ද කියලා හිතෙන්නේ මේ වගේ දේවල් ඇහුවාමයි.

      Delete
  3. ඇය් හත් දෙයියනේ අපිව මෙහෙම අඩු කුලේට දාන්නේ

    ReplyDelete
  4. Goodreads එකේ තියෙනවා නේද ඔය තමන්ටම අභියෝග කරගන්න challenge එකක්. මමත් මේ අවුරුද්දටනම් මටම දාගත්තු පොත් ගණන ඉක්මවා ගියා. හැබැයි ඔන්න ඒ කීයක්ද කියලානම් අහන්න එපා, බොහොම පොඩි ගණනක්. ලබන අවුරුද්දට දැන් ඊට වඩා වැඩි ඉලක්කමක් දාන්න හිතං ඉන්නවා. :)

    අක්කාගේ මේ පොත් ලැයිස්තුවනම් ඉස්තරම්. පොඩි ඉල්ලීමක් තියෙනවා කැමතිනම් කරන්න. අපේ ලංකාවේ පොත් කියවන අය ගොඩාක් එකතුවෙලා ඉන්න සමූහයක් තමයි FaceBook එකේ 'පොත් කියවන අය' group එක. දැන්නම් ඒ group එකේ හොඳ විචාර පළවෙනවා බොහොම අඩුයි. මේ දෙස් විදෙස් පොත් ගැන අක්කාට පොඩි වෙලාවක් අරගෙන එතන සටහනක් යොදන්න පුළුවන්නම් ඇත්තටම පොත් ගැන උනන්දු වෙන අයට ගොඩාක් වටිනවා.

    ආ තව එකක්, ඔයාගේ රස්සාව ගැන ඉරිසියයි මට. :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නඟා, මම සිංහල + English දෙජාතියම කියවන නිසා Goodreads වල update කරන එක අල්ලලා දැම්මා. නැත්නම් ඒක කියවපු පොත් ලැයිස්තුවක් තියාගන්න හොඳ ක්‍රමයක් තමයි.

      පොත් කියවන group එකේ මම ඉන්නවා. :) මෙතැන තියෙන සමහර පොත් තෝරාගත්තේ ඒකෙ සටහන් බලලා තමයි. ඒත් ඉතින් මට බොහොම අමාරුයි පොදු forums වලට ලියන්න. මොකක්ද මන්දා ආපස්සට අදින ගතියක් තියෙනවා. ඒ නිසා දැනට ඒකේ සටහන් කියවනවා විතරයි. සෑහෙන්න හිත හයිය කර ගත්තොත් ලියන්නම් හොඳේ. එකම එක සැරයක් මම ඒකෙ පොස්ට් කළා. what Lies Between Us කියවලා සෑහෙන්න කම්පනය වෙලයි ඒක ලිව්වේ. ආයෙත් ට්‍රයි එකක් දාලා බලමුකෝ

      රස්සාව ගැන ඉරිසියා අයගේ සංගමයක් දාන තරමට සෙනඟ මම අඳුරන කට්ටිය අතරේ දැන් ඉන්නවා! ඇත්තටම ඒක නම් මගේ dream job එක :D

      Delete
  5. I too envy you, big time !

    Of 2017 publications, include Dan Brown's Origin. The start and the middle are superb, the end is rather limp though - a common ailment in quite a few thrillers !

    පුස්තකාල විතරක් නෙමෙයි බටහිර රටවල පොත් කඩවලත් staff choices සහ පොත් ගැන පොඩි රිවීව් ලියලා කොල කෑලි අලවලා තියනවනෙ රාක්කවල . ඔස්ට්‍රේලියාවෙත් එහෙමද?

    ගුඩ් රීඩ්ස් රිවිව් හතරක් පහක් මාත් දැම්මා. දැන් පොත් කියෙව්වට රිවිව් කෙරෙන්නේ නෑ. ආයිත් කරන්න හිතුනා මේක කියෙව්වාම. ස්තුතියි

    ReplyDelete
  6. thanks for the suggestion Pra Jay- I havent read Dan Brown's books. should give it a try

    There are book reviews displayed in bookshops here too. I like to read them when choosing books. We tried it at the secondary school library I work at. Both students and staff contributed by writing a few lines about the books they read on a little review format that we gave them when they borrowed out the book. Then we displayed the review with the book on the shelves, once returned. This was quite successful and helped other users in choosing books.

    I too personally like reading books that other readers have liked and recommended. Life is too short to spend on waiting for boring books to improve!

    ReplyDelete