October 11, 2018

මතක හිටින්න අමුතු අකුරු

"පාඩම් කළාට කිසිම දෙයක් ඔලුවේ නැහැ!"

මෙහෙම මැසිවිලි කොයිතරම් නම් අහන්න ලැබෙනවාද? ජීවිතේ එක කාලයක් තියෙනවා විභාග අපේ පස්සෙන්ම එන. ඒ කාලෙට මතකයේ තියාගන්න තියෙන දහසකුත් දේවල් ලේසියෙන් හිතේ රඳවාගන්න මන්තරයක් ඇත්නම් කියලා හිතෙන තරම්. මන්තරයක්ම නොවුණත් මේ ගැටලුව විසඳාගන්න පුංචි උපක්‍රමයක් හොයාගන්න ඕස්ට්‍රේලියාවේ RMIT විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වෙලා තියෙනවා.



මේ සොයාගැනීම අලුත් ෆොන්ට් එකක්, එහෙම නැත්නම් අකුරු රටාවක්. ඒකෙ නම Sans Forgetica.  (Sans කියන්නේ ප්‍රංශ භාෂාවෙන් Without කියන තේරුම) මේකෙන් සිද්ධ වෙන්නේ හරිම අපූරු දෙයක්. සාමාන්‍යයෙන් අපි දෙයක් කියවාගෙන යද්දී ඇස් ඉබේම වගේ අකුරු උඩින් දුවලා යන නිසා ඒ කියවූ දේ ඉබේ මතක තබාගනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව අපේ මනස 'සුමට කියවීමක්' කරන නිසා. හදිසියෙවත් අපි කියවන දේ කියවන්න දුෂ්කර නම්, අකුරු අපැහැදිලි නම් එතැනත් මතක තබාගනීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ කියවීම් ක්‍රියාවලිය මනසට දුෂ්කර වැඩි නිසා. මේ නිසා පරීක්ෂකයන් මේ අවස්ථා දෙකේ අතරමැද අවස්තාවක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ප්‍රශස්ථ දුෂ්කරතා මට්ටමක් (desirable difficulty). ඒ තමයි sans forgetica font එක. මෙතැනදී වෙන්නේ අකුරු හඳුනාගැනීමට පුංචි බාධකයක් එකතු කරලා ඒවා කියවගෙන යන්න මනසට ටිකක් අමාරු කරන එක. කියවීම ලේසියෙන් සුමටව ම ගලාගෙන යන්න නොදී ටිකක් ඒ ගැන හිතලා මනසට ග්‍රහණය කරන්න ඉඩ අරින එක. අකුරු නිර්මාණයට කාවද්දපු මේ බාධක අකුරෙන් අකුරටත් වෙනස්. ඒ නිසා කියවද්දී මනසට රටාවකට හුරුවෙන්න තියෙන අවස්තාව නැතිවෙනවා. මනසට දැනෙන මේ පුංචි මහන්සිය නිසා ලියා තියෙන දේ මතකයේ රැඳීමත් දැනුමට එකතු වීමත් වැඩිපුර සිද්ධ වෙන බව පර්යේෂණ මඟින් ඔප්පු වෙලා තියෙනවා.


මේ සොයාගැනීමට සම්බන්ධ වෙලා තියෙන්නේ අකුරු නිර්මාණ විශේෂඥයෙක් වන Stephen Benham සහ මනෝ විද්‍යාඥයන් වන , Dr Jo Peryman සහ Dr. Janneke Blijlevens. 


මේ පර්යේෂණ මෙහෙයවලා තින්නේ RMIT විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික චර්යා අධ්‍යයන ඒකකය (Behavioural Business Lab). ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන් 400ක් තරම් කණ්ඩායමක් මේ අකුරු රටාව පරීක්ෂා කරන්න සහභාගි වෙලා තියෙනවා. දෙයාකාරක දැනුම සම්භාරයක් එකතු කරලා මේ වගේ අධ්‍යයනයක් කරන්න ලැබුණු එක ගැන මේ කණ්ඩායම් බොහොම උද්දාමයෙන් ඉන්නේ. නිර්මාණ න්‍යායන් හා මනෝ විද්‍යාත්මක න්‍යායන් ඒකට එකතු කරලා අකුරු රටාවක් නිමවපු පළවෙනි වතාව හැටියට ඔවුන් මෙය හඳුන්වනවා. Sans Forgetica නිර්මාණය කළ පර්යේෂකයන් තුන්දෙනා මේ සොයාගැනීම තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්ත කරන්නයි බලාපොරොත්තුව. සමහරවිට තව ටික කාලයක් යද්දී පාඩම් පොත් වල මේ වගේ අකුරු රටා අනිවාර්ය වේවි. පාඩම් අමතක වෙන එක කළාතුරකින් සිද්ධවෙන දෙයක් වේවි.

මේ ෆොන්ට් එක නොමිලේ බාගත කරන්න පුළුවන් මෙතැනින් 




3 comments:

  1. Replies
    1. මේ ජාතියේ සිංහල ෆොන්ට් එකකුත් හදන්නයි තියෙන්නේ! හරි වටිනවා. ස්තූතියි මේ තොරතුරට අක්කා!

      Delete
  2. Thanks for the information Malee...:)

    ReplyDelete