December 21, 2017

තාත්තා ලියූ පොත

මට මතක ඇති කාලයක සිට තාත්තා ගතකළේ ඉතා කාර්ය බහුල දිවියකි. රාජකාරිය අකුරටම සිදු කිරීමට තිබුණු කැපවීම නිසා තාත්තා ගෙදර සිටි කාලය අඩු විය. එහෙත් ගෙදර ගත කළ සීමිත කාලය තුලදී ඔහු අපට යමක් කියා දීමට අමතක කළේ නැත. මිදුලේ පැළයක, ගසක විස්තරයක්, කෘමියෙක්ගේ, කුරුල්ලෙකුගේ තොරතුරක්, වෙසක් කූඩුවක් පිළිවෙලට බඳින හැටි, නොලිහෙන ගැටයක් ගැට ගසන හැටි එකල ඉතා ඉවසිල්ලෙන් තාත්තා අපට කියා දුන්නේ ය. 

ජීවිතයේ හත් වන දශකයේදී තාත්තා පොතක් පළ කර ඇත. 'පරිසරය නිවැරදිව දකිමු' නම් එය පාසැල් විද්‍යා විෂය නිර්දේශයට පරිබාහිර කියවීම් පොතකි. මෙය ලියන ලද්දේ වසර දෙකහමාරක් වැනි කාලයක් ඇතුලත ය. තාත්තා ට සිංහල අකුරු පරිගණකයෙන් ලියන්නට පුංචි මඟ පෙන්වීමක් කළ නිසා මටත් ඒ පොත පළකිරීමේ ආඩම්බරයෙන් ඉතා කුඩා කොටසකට හිමිකම් කිව හැක. එකල මා බොහෝ දේ ඉගෙනගත්තේ තාත්තා ගෙනි. වසර ගණනක් ගත වී තාත්තා ට යමක් කියාදෙන දිනයක් එළඹේ යැයි මා කිසිවිටකත් සිතා සිටියේ නැත. එහෙත් තාත්තා දෙයක් කියා දුන් සැණින් මතකයේ රැඳෙන, යළි යළිත් අභ්‍යාසයෙන් එය ප්‍රගුණ කරන, නව අත්හදාබැලීම් ආදියට නොපැකිලෙන සිසුවෙක් නිසා ඒ කාර්යය මට ඉතා පහසු විය. ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී පදිංචිය සඳහා රටකින් රටකට සංක්‍රමණය වූවත් ඒ තරම් දැවැන්ත වෙනසකින් වුව මනසින් නොවැටී, අලුතින්ම උගත් පරිගණක ක්‍රම යොදාගෙන මෙවැනි පලදායී කටයුත්තක නිරත වන්නට හැකි අය විරල බව මම දනිමි. දත්ත, වගු, රූපසටහන් ආදියෙන් පරිපූර්ණ තාත්තාගේ පොත, ඒ සඳහා වැය වූ කාලය පිළිබඳව ඉඟියක් සපයයි. පොත ලිවීමෙන් නොනැවතී ඔහු අධ්‍යාපන රසකතා නමින් රසවත් මෙන්ම හරවත් බ්ලොගයක් ද පවත්වාගෙන යයි. මෙතෙක් කල්  කාල වේලාව මඳ කමින් නොලීවා මිස ඔහුට ලේඛන කලාවේ දස්කම උපතින් තිබුණු බව එහි ලිපි කියවද්දී පැහැදිලි වෙයි. 

අලුත් දෙයක් අත්හදා බැලීමට, පලදායී දෙයක් ලොවට දායාද  කිරීමට අප ප්‍රමාද වැඩි යැයි කිසි විටෙකත් සිතිය යුතු නැති බව තාත්තා ලියූ පොත සාක්ෂි දරයි. එබැවින් තාත්තා අපට තවමත් බොහෝ දේ උගන්වමින් සිටියි. 



12 comments:

  1. බොහෝ වෙලාවට මමත් දකිනවා තමන්ගේ කාලයේ විශේෂ හැකියා දැක්වූ අය, වයසට ගිය විට ළමයි සහ ළමයින්ගේ ළමයි සම්බන්ධ ප්‍රශ්න වල පැටලී සතුටක් නැතුව ජීවත් වෙනවා. ඒක ඉතිං වරද මෙන්න මේක යැයි කියන්න බැරි සංකීර්ණ තත්වයක්. හැබැයි මට බොහෝ විට හිතෙනවා, කලින් මිනිසුන් සමග ක්‍රියාශීලීව උනන්දුවෙන් වැඩ කල බොහෝ අය මේ සැඳෑසමය ගත කරනවා ඇත්තේ අපහසුවකින් කියලා. ඒ සුළු පෙළඹවීමකින් ඔවුන් නැවතත් යම් කිසි මට්ටමට ක්‍රියාශීලී කල හැකි බව මම දැක ඇති නිසා. මම හිතන්නේ මලී කරලා තියෙන්නේ ඒක. ඔහුගේ බ්ලොගයේ රසිකයෙක් විදිහට මා හිතනව මේ පොතේ අපි නොදත්, දැනගෙන හිටි නමුත් අමතක කරුණු බොහොමයක් ඇති කියා. ඒ වගේම විෂයේම නොඇලී ඊට එහා ගිය යමක් ඉගෙනීමේ ආසාව පෙළඹවීම ඇතිකරන ආකාරයේ පොතක් කියා සිතනවා. ඒ වගේම පොත පිළිබඳ මීට වඩා කාරණා ඇතුලත් පෝස්ට් එකක් ඔහුගේ බ්ලොගයේ පලවේ යැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර, තාත්තාගේ විවේක කාලය මේ පොත ලියන්න යොදා ගත් එකෙන් පලදායී දෙයක් සිදුවුණා විතරක් නෙමෙයි තාත්තා ඒකෙන් ලොකු තෘප්තියක් ලැබුවා. ඒ වගේම තාත්තාගේ බ්ලොග් එක නිසා ලියන කියවන සෑහෙන පිරිසක් අඳුනගන්න ලැබුණා කියලා තාත්තාට හරි සතුටුයි.
      පොත ගැන පෝස්ට් එකක් තාත්තාගේ බ්ලොග් එකේ තියෙනවා
      http://dayawee2.blogspot.com.au/2017/12/blog-post_20.html

      Delete
  2. මේ පොත ගැන තාත්තා ලියු බ්ලොග් සටහන දැක්කා. කමෙන්ටුවක්ද ලීවා. ඔබ ඔහුගේ දියණිය බව නම් දැනගත්තේ අදයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප, තාත්තාට බ්ලොග් එක හදන්න මම උදවු කළා විතරයි. බොහොම ඉක්මණින් තාත්තාම ඒක වැඩි දියුණු කරගත්තා තනියම! :)

      Delete
  3. ඔබ අධ්‍යාපන රස කථා ලියන දයාවී මහතාගේ දියණිය බව දැන ගැනීම සතුටක්. එය මගේ ප්‍රියතම බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්, තාත්තා මම වගේ නෙමෙයි- නිතර ලියනවා! :)

      Delete
  4. මලී නෝනට ස්තුතියි ඒ 'රස කතා' අපිට කියවන්න ලියන්න ඔබේ පියාට උදව්කිරිම සම්භන්දව..

    මේ බ්ලොග් එක වෙනම රස විඳින්න ඕනි එකක්.. ඔන්න මගේ ප්‍රියතම බ්ලොග්ලිස්ට් එකටත් එකතු කර ගත්ත.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාණ මිත්‍ර මේ පැත්තේ ආව එකට!

      Delete
  5. මගේ පොත ගැන ඔබගේ පාඨකයින්ද දැනුවත් කිරීම ගැන ස්තුතියි. ඇප දෙදෙනාගේම Blog posts කියවන පොදු අය සිටින බව දැනගන්නට ලැබීම ගැනත් සතුටුයි. මෙසේ සම්බන්ධය වැඩි වන විට තව තව ලියන්නට හිතෙනවා.

    ReplyDelete