May 31, 2024

මනමාලයා

 


ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයෙකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැලීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.

හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැලෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුනහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ල වලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.

“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”

“අද?”

“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”

“කවුද?”

“මගේ මාමා…”

“කවුද උඹේ මාමා?”

“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”

මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනෙකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.

ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”

“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”

“එයා කොයි වගේද?”

“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.

“එයාගේ හම මොන පාට ද?”

“සුදු ම සුදුයි.”

“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”

දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.

“එයා ලස්සන ද?”

“ඔව්, ඔව්, එයා ලස්සනයි.”

දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.

“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවාද?”

“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.

“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.”අසල සිටින කෙනෙක් මෙය පැහැදිලි කරති.

ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.

ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවෙකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිලුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනෙකුටම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.

මතක ඇති කාලයක පටන් තුන්වන වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.

වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයෙකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.

දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.

“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”

“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.

“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”

“ඔව්, ඔව්”

“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”

දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවනකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වේලී ගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැළඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.

හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.

“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”

“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.

ඊළඟ හවස් වරුවේ ත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු ව පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම් කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුලු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු ව දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.

දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.

“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.

බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.

ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශණ හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.

“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”

“මොකක්ද උඹ කියන්නේ?”

“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.

ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවෙකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි ව පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත් හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.

“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.

නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.

“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.

නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි ව වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුලින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.

“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු ව කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනෙකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහුව පරක් කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනෙකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියෙකු ලෙසිනි, ගම පුරා සැනෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.

වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනෙකු දාසි ව හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි.වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීන් පැමිණ දාසි ව යටත් කරගන්නා ලදී.

ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහුව මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහුව පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු ව කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුනොත් ඊට අවස්තාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිලිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිට තිබිණි.

Translation of the short story Dasi the Bridegroom by R. K Narayan

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව- ජුනි 2024 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Picture generated by Canva AI

May 29, 2024

පොත්, කවර සහ සටහන්

අභ්‍යාස පොත් සහ ඒ පොත්වල ලීව සටහන් ගැන ලියවුණු විස්තරයක් දැකලා ඇවිස්සුණු මතකයක් මේක. 

පුංචිම කාලේ නම් අපේ අභ්‍යාස පොත් වලට පිටකවර දැම්මෙත් අපේ නම් ලිව්වේත් තාත්තා. තාත්තාගේ ලස්සන රවුම් අකුරු වලින් අපේ පොත් හැඩ වුණා. ටිකක් ලොකු වෙද්දී මගේ පොත් වලට පිටකවරත් ඉටි කොළත් දාන එක මම ම කරන්න ගත්තේ ඒක මම හරිම කැමති වැඩක් නිසා. ඒ කාලේ පොත් වලට දැම්මේ බ්‍රවුන් පේපර්. මේවා එන්නේ රෝල්වල. ඉටි කොළත් එහෙමයි. පොත් වලට බ්‍රවුන් පේපර් කවරයක් දාලා කවරේ මැද්දේ ලස්සන පින්තූරයකුත් අලවනවා. ගොඩාක් ළමයි මෙහෙම ඇලෙව්වේ වෙසක් කාඩ්. වෙසක් එකට වෙසක් කාඩ් තොග ගණන් හුවමාරු වුන නිසා හැමෝටම ඒවා තිබුණා. ඒ කාලේ අපේ තාත්තා රැකියාව කළේ සේෂෙල්ස් වල. ඊට කලින් අවුරුදු කීපයක්ම අපිත් එහෙ ඉඳලා ඒ වෙද්දී අක්කලාත් අම්මාත් මාත් ලංකාවට ඇවිත් හිටියේ. ඒ වගේම අපි නිවාඩු කාලවලට නිතර එහෙ ගියා. ඒ නිසා මගේ ළඟ 'පිටරට දේවල්' තිබුණා. ඒ කාලේ Mr Men and Little Miss කියලා cartoon එකක් තිබුණා. ඒකෙ පාට පාට චරිත ඉන්න ලොකු පෝස්ටර් එකක් මට හම්බවෙන්න ඇත්තේ මේ ගමනකදී වෙන්න ඕන. ඉන් පස්සේ කාලයක්ම මගේ පොත් වල කවරේ අලවන පින්තූරය අනිවාර්යෙන් Mr Men නැත්නම් Little Miss කෙනෙක් වුණේ ඒ පෝස්ටරේ එයාලා සිය දෙනෙක් විතර හිටිය නිසා! මේ වයසට අනිත් ළමයි නොකරන දේවල් කරන්න පොඩි ආසාවක් තියෙනවනේ කොහොමත්.

තව කාලයක් ගත වෙද්දී පොත් වලට කවර, ඉටිකොළ දැම්මත් ඉස්සරහ කවරේ නම නොලියා ඇතුල්පිටේ නම ලියන්න අපි පටන් ගත්තා. එක තමයි ඒ කාලේ 'ලොකු ළමයි කරන විදිහ.' ඒ වගේම රුවන් වැකියක්, සින්දුවක කෑල්ලක් එහෙමත් ඒ පිටුවේ ලිව්වා. ඒ කාලෙම තීන්ත පෑනෙන් සටහන් ලියන්නත් ලස්සනට පිළිවෙලට මාතෘකා වෙන්කරලා ඡේද බෙදලා ලියන්නත් පටන් ගත්තා මතකයි. තීන්ත පෑනෙන් ලියද්දි වේගයෙන් ලියන්න අමාරු වුණත් එහෙමයි කියලා අපි ඒ ට්‍රෙන්ඩ් එක අත් ඇරියේ නැහැ. මට මතක හැටියට පරණ National Geographic වගේ සඟරා වල ලස්සනම ලස්සන භූමි දර්ශන වලින් මම මේ කාලේ පොත් වලට කවර දැම්මා. මේ සඟරා වල පිටු පාවිච්චි කරන්න නම් පිටු දෙකක් සඟරාවෙන් පරෙස්සමෙන් ඉරලා මැදින් අලවාගන්න ඕන. මූට්ටු නොපෙනෙන්න මෙහෙම අලවාගන්න එකත් එක්තරා කලාවක්!

තවත් කාලයක් ගතවෙලා උසස් පෙළ කාලේ එළඹුණා. මම වාණිජ විෂයන් කළ නිසා ගිණුම්කරණයට ලොකු CR පොතක් ගෙනියන එක අනිවාර්ය වුණා. මේ කාලේ තමයි අපේ පොත් වල කවර දැමීමේ peak එක කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙද්දී බස් වල ටියුෂන් එහෙම ගිය නිසා පොත් වලට කවර දැම්මේ පොතේ ආරක්ෂාවටත් වඩා අනිත් අයට පේන්නත් එක්ක! මේකට හොඳම උදාහරණය තමයි අර ලොකු CR පොත් වලට තනි සුදු පිටකවරයක් දාලා පිටිපස්සේ කවරේට ලස්සන කලාත්මක කළු සුදු පින්තුරයක් වගේ අලවන එක. මෙහෙම කළේ බස් වල පොත් අතේ අරගෙන යද්දී පිටට පේන්නේ පිටිපස්සේ කවරේ නිසා යි. අනේ ඉතින් අපි මේ තරම් මහන්සි වෙලා කවර දැම්ම පොත් දිහා කවුරුවත් බැලුවද දන්නෙත් නැහැ, අපි හිතුවේ බැලුවාම කියලා තමයි!

කැම්පස් යද්දිත් මම නම් සටහන් ලිව්වේ පොත් වලමයි. කොළ වල ලියන එක මට හරි ගියේම නැහැ. සම්පූර්ණ සටහනම එක ළඟ පෙරළලා බලන්න පුලුවන් විදිහට තියෙන්න ඕන එක මගේ පිස්සුවක් වුණා. පාට පාට පෑන් වලින් ඉරි ඇඳලා, ඊතල ගහලා වැඩ දාලා තමයි මම සටහන් ලිව්වේ. මීට අමතරව මට වේගයෙන් ලියන්න පුළුවන් නිසා මගේ සටහන් බොහෝ වෙලාවට සම්පූර්ණ මට්ටමේ තිබුණා. ඒ නිසා මගේ සටහන් පොත් වලට මගේ බැච් එකේ සගයන්ගෙන් හරි ඉල්ලුමක් තිබුණා. අපි එකතුවෙලා ජපුර කැම්පස් එක ඉස්සරහා ෆොටෝ කොපි කඩ කීපයකටම අඛණ්ඩ බිස්නස් දුන්නා!

ඉතින් මෙහෙම කිව්වට ආසාවට, සිහිවටනයක් හැටියට මේ එක සටහන් පොතක්වත් ළඟ නැහැ. ඉස්කෝලේ කාලේ සටහන් පොත් වලට නම් වෙච්ච දෙයක් මතක නැහැ. ඒ ලෙවල් කාලේ පොත් නම් නෝට්ස් හොයපු වෙන ළමයින්ට දුන්නා වගෙත් මතකයි. කැම්පස් එකේ සටහන් ටික නම් අවුට් වෙලා ගෙදර අරගෙන ගියාට මම මුලින්ම ගිය රස්සාවේදී අහම්බෙන් හම්බවුණ ජුනියර් බැච් එකේ මිතුරෙකුට ඒ ඔක්කොම අනෙත් පැත්තට ගිහින් දුන්නා. ඒ නිසා ඒවාත් නැහැ. කොහොමත් ඉතින් රටකින් රටකට සංක්‍රමණය වෙද්දී ඉස්සර ලීව පොත් වගේ සිහිවටන අරගෙන යන එක කෙරෙන්නේ නැහැනේ.

දැන් මම දකින්නේ පුතා සටහන් ලියන හැටි. එයාලාගේ සටහන් නම් පොත්වලත් ඩිජිටලිත් තියෙනවා. මම කියලාවත් නැතිව පුතා මම ඉස්සර කළ විදිහට පාට පාටින් මාතෘකා ලියලා, සාරාංශ වෙනම හයිලයිට් කරලා පිළිවෙලට රූපසටහන් ඇඳලා ලියන සටහන් දකිද්දී ඉබේම හිත අතීතෙට දුවනවා. ඉතින් සිහිවටන හැටියට මගේ සටහන් පොත් නැතත් කමක් නැහැ කියලා ඒවා දැක්කාම හිතෙනවා.

පින්තූරය - මගේ ළඟ පොත් නැහැ කියලා හිතුවට පොත් දෙකක් තිබුණා. මම කලින් විස්තර කළ විදිහට ලස්සනට කවර දාලා සටහන් ලීව ඒවා නෙමෙයි. එකක් මම බාලාංශේ වගේ කාලේ ගෙදරදී අකුරු පුරුදු වෙන්න අම්මා ලියෙව්ව පොතක් වෙන්න ඕන. මේක අම්මලා මහගෙදර අස්කරලා ඕස්ට්‍රේලියාවට එද්දී ගෙනාව බඩු අතරේ තිබුණේ. අනිත් එක අපි ශිෂ්‍ය නායිකා තනතුරු දැරුව අවුරුද්දේ දේවි බාලිකාවේ ශිෂ්‍ය නායිකා රැස්වීම් වල වාර්තා මම ලීව පොත. ඒ පොතටත් කවරයක් දාලා පින්තූරයක් එහෙම අලවලා! කොහොමින් කොහොමින් හරි මගේ සටහන් පොත් නැතත්, දශක කීපයක් පරණ මේ පොත් දෙක තාම මගේ ළඟ තියෙනවා. 
දෙවෙනි පින්තූරේ ලොකු අක්කාගේ. ඒ පොත්වල කවරේ තියෙන්නේ තාත්තාගේ අකුරු.

               





May 23, 2024

AI සින්දු - ඉතින් නාඬන්න

 කවුද හිතුවේ අපි ලියන කවි, සින්දු කරන්න පුළුවන් දවසක් ඒවි කියලා! මේ suno ai හාස්කම්!





May 20, 2024

පත්‍ර

ගිලිහුණු පත්‍රයක අත බලා
අනාවැකිකරු සාස්තරයක් කියයි

‘එන්න මා ඔබ සැම එක් රැස් කරන්නම්,
අප සැම එක්ව ගිනි ගොඩකින් දුමක් මවමු’ රේක්කය කියයි

මූට්ටු ගෙත්තමක් වැනි මේ වනයේ
සර සර හඬැති පත්‍ර පොරෝණය මත අපි වැතිර හිඳිමු

ගිලිහෙන පත්‍රයක නටුව
මාලිමාවක තියුණු කටුව සේ කැරකී
උතුර සොයයි

දරුවා දැක දෙමව්පියන් හැඳිනීම-
පොප්ලර් කහ පැහැතිය, ඩෝග්වුඩ් රත් පැහැතිය

‘පසුතැවිල්ලේ පැහැය කුමක්ද?’
විලෝ ගස විමසයි

අප ද කෙදිනක හෝ පොහොර වන්නට නියමිතයි
එන්න, මේ ෂෙරී පැහැති කාලගුණයෙන් මත් වන්න

‘මම දෙවියන්ගේ නාස් පුඩු කිතිකවමි’
ගිනි ගොඩින් නැගෙන දුම කියයි.

‘අනාගතයේදී
සුදු පැහැති, පත්‍ර හැඩති යමක්
වෙව්ලමින් ඇදහැලෙනු ඇත,
නමුත් ඉන් ඔබ්බෙහි ඇත්තේ හරිත පැහැයයි’
අනාවැකිකරු කියයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Leaves' by Linda Pastan

Photo- Autumn beauty of a Chinese Pistache tree in Burwood, Vic