October 31, 2016

යන්නම් අක්කා


"මාසෙක සල්ලි කළින් දෙන්න ඕන, කෑම දෙන්නේ නැහැ, හීටර් ගහන්න බැහැ, ෆ්ලාස්ක් එකක් දුන්නොත් දවසට දෙසැරයක් උණු වතුර දෙන්න පුළුවන්." අලුත් බෝඩිමේ ඇන්ටි එක හුස්මට කට පාඩමින් කීවා ය. 


ඒ සරසවියේ පළමු වසරේ මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය දිලිනිත් නවාතැනක් සොයමින් අසරණ ව පසු වූයේ අපගේ පළමු බෝඩිමේ අයිතිකරුවන් තකහනියක්ම ගෙවල් දොරවල් කුලියට දී ඈතක පදිංචියට යාමට තීරණය කළ නිසාය. වසර මැද තියා වසර මුල වත් බෝඩිම් සෙවීම ලේසි නැත. කටින් කට ලැබුණු ඔත්තු අනුව අප මේ පැමිණ සිටියේ දොළොස්වන තැනටයි.  


"හරි හරි ඇන්ටි, අපි කැමතියි! අපිට කාමරේ බලන්න පුළුවන් ද?" ඇන්ටිගේ නීති මාලාව හරිහැටි කණට නොගෙන මා විමසුවේ මේ බෝඩිම වත් හරියන ලක්ෂණ පෙන්නුම් කිරීම පිළිබඳව ප්‍රීතියෙන් ඉපිලෙමිනි. අඳුරු කොරිඩෝවක කෙළවර, යුගල ඇඳක්, තනි ඇඳක් කුඩා මේසයක් සහ පුටුවක් ඉතා අමාරුවෙන් සිර කළ කාමරයක් අපට දක්නට ලැබිණි. එය කෙතරම් කුඩා ද යත් සෑම ගෘහ භාණ්ඩයක්ම අඩුම ගණනේ තවත් දෙකක වත් ගෑවෙන තරම් විය. නමුත් ඒ නිවසේ  සුරක්ෂිත බවත්, අප ගේ තදබල අවශ්‍යතාවයත් නිසා අපි ඊට කැමැත්ත දුන්නෙමු. 


"අනිත් ඇඳේ කවුද ඇන්ටි ඉන්නේ?" පසුදාම පදිංචි වන්නට පොරොන්දු වී යන්නටත් ගොස් ගේට්ටුව ළඟදි හදිසියේ සිහිවී දිල් බෝඩිමේ ඇන්ටි ගෙන් විමසුවා ය. 


"ආ.. ඒකෙ ඉන්නේ මිහිරි නේ.. ඔයගොල්ලෝ දන්නවත් ඇති.. අර ෆයිනල් ඉයර්.." ඈ පැවසුවාය.
සිසුන් දහ පහළොස් දාහක් උගෙනගන්නා සරසවියක 'ෆයිනල් ඉයර් මිහිරි'  තබා ඒ වෙද්දීත් අපේම බැචාලා බැචීලා පවා අප හරිහැටි නොහැඳිනූ බව ඇන්ටි නොදැන සිටින්නට ඇත!



පසුදාම අපි අපගේ ලට පට ගෙනැවිත් අලුත් නවාතැනේ පදිංචි වූයෙමු. ඇඳුම් මලු සහ පොත් පත් සහිත පෙට්ටි ඇඳ යට තබනවා හැරෙන්න වෙන විකල්පයක් නොවීය. එහෙත් තනි ඇඳත් ඒ අවටත් මනුස්ස වාසයක ලක්ෂණ නොවිය. 

"කවුද බං මේ ෆයිනල් ඉයර් මිහිරි? ඇඳුමක් කැඩුමක් අඳින්නේ නැති හොල්මනක් ද?" අස් පස් කිරීමෙන් අනතුරුව තනි ඇඳ යටට එබී බලා දිල් විමසුවේ විමතියෙනි. එහි වූයේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පමණි. 

"අපිට මොකෝ, හොල්මනක් වුනත් කමක් නැහැ රෑට ගොරවන්නේ නැත්නම් එච්චරයි මට නම්!" අපගේ අලුත්ම ෆ්ලාස්කුව සිය පළමු උණුවතුර චාරිකාව සඳහා සුදානම් කරමින් මම පැවසුවෙමි. 

"අනේ ඔව්, එහෙම වුනොත් මට උඹ හීනෙන් කියෝන එව්වා අහන් ඉන්න තමයි වෙන්නේ නැත්තේ!" දිල් සිනාසුනා ය. 



එදා මිහිරි බෝඩිමට සැපත් වෙද්දී රෑ බෝවී තිබුණි. උස මහත එකියක් වූ ඈට තනි ඇඳ තරම් වූවා නම් ඒ යන්තමිනි. අප දෙස යන්තම් බලා "ආ!" කී ඇය ආ පයින්ම යළිත් කාමරයෙන් පිටවී ගියා ය. ඈ නැවත පැමිණියේ කොත ගැසූ බත් පිඟානක් ද අතැතිව යි. ෆස්ට් ඉයර්-සිල්ලර-අපට නැතත් 'ෆයිනල් ඉයර් මිහිරි' ට බෝඩිමෙන් කෑම සැපයෙන බව අප දැනගත්තේ එවිට යි. කෑම කා අවසන් ව ඇඳ යට තිබුණු එක් පෙට්ටියකින් රෑ ඇඳුමක් ගෙන ඇඳගත් ඈ, එතෙක් ඇඳ සිටි ඇඳුම් අනිත් පෙට්ටියට දැමුවා ය. සුහද කතාබහකට මාත් දිල්ත් දැරූ සියලු උත්සාහයන් වචනයෙන් දෙකෙන් ව්‍යවර්ථ කළ ඈ එකම මේසය තනි සන්තකයට ගෙන පොත් පත් දිගහැරගෙන පාඩම් කරන්නට විය. 


"what the.....?" 
සාමාන්‍යයෙන් බොහොම නිවුණු ගති ඇති දිල් මගේ කණට කර කෙඳිරූ විට මා සිනහව නවත්වාගත්තේ ඉතා අපහසුවෙනි. එක්කෝ මිහිරි ට අප ගැන බෝඩිමේ ඇන්ටි කළින් කියා නැත. එක්කෝ අප පැමිණීමෙන් සිදු වූ ඇගේ නිදහස සීමා වීම පිළිබඳ ඈ අකමැති ය. ඈ හැසිරුනේ අප ඇගේ අවධානය යොමු කිරීම තරම් නොවටිනා පුද්ගලයන් ලෙසයි. නොරිස්සුමකට කිට්ටු ඇගේ නිහඬබව ළඟ අපගේ හුරුපුරුදු කචබචයත් ගොළු විය. එතැන් සිට ගතවූ සෑම දිනක්ම ඒ ආකාරයටම ගත විය. මිහිරි ගේ දේශණ පැවැත්වුණේ හවස් වරුවේ බැවින් ඇය උදය වරුවේ රැකියාවක නියැලුණා ය. ඈ ඒ සඳහා පිටත් වූයේ අප බෝඩිමෙන් නික්මුණු පසුවයි. එබැවින් මිහිරි සිටිනා උදය වරු ත් රාත්‍රියනුත් බෝඩිම් කාමරයෙහි වූයේ  මළගෙදරක නිශ්ශබ්දතාවයකි.

මිහිරිගේ හැසිරීම් හමුවේ මෙසේ මුනිවත රැකීම කෙසේ වෙතත් සිනා වළකා ගැනීම නම් ඉතා දුෂ්කර විය. උදෑසන රැකියාවට යෑමට ලක ලැහැස්ති වන ඇය, ඇඳ යටින් ඇගේ කිලිටි ඇඳුම් සහිත කාඩ්බෝඩ් පෙට්ටියෙන් ඇඳුම් දෙක තුනක් පිටතට ගනී. ඒවා එකින් එක නහයට ලං කර බලා එදාට අඳින්නට එක් ඇඳුමක් තෝරා ගනී. ඒ ඇඳුම් සබන් සහ වතුර දුටුවේ කලාතුරකිනි. පිරිසිදුකම ඇදහූ දිල් මේ ක්‍රියාවලිය දෙස මුලදී බලා සිටියේ ක්ලාන්තයෙන් මෙනි. මිහිරි සතුව තවත් අමුතු පුරුද්දක් විය. එනම් පාඩම් කරන අතරතුර ඇගේ දිගු වරලස එක් කර කඩදාසි අමුණන බුල්ඩෝග් ක්ලිප් ගැසීමයි. ඒවා ඇය රැකියාවටත් පැළඳගෙන යන බව දුටු පළමු දවසේ අපට හුස්ම ගැනීමට පවා අමතක විය!

රාත්‍රී හත අට වන්නට පෙර කතා කළ යුතු සියලුම දේ කතා කර නිම කිරීමට ත්, ඊටපසු සියලු සන්නිවේදන හස්ත මුද්‍රාවෙන් කිරීමටත්, පාඩම් කිරීමට මේසය නොලැබෙනා බැවින් සියලු පාඩම් කටයුතු, ලිවීම් කියවීම් ඇඳේ සිටම සිදු කිරීමටත් දිල් ත් මාත් බොහෝ ඉක්මණින් හුරු වූයෙමු. එය අපට එක්තරා ආකාරයක විනෝදයක් විය. එහෙත් මිහිරි අපව 'ගණන් නොගැනීම' දිල් ගේ නිරන්තර කෝපය ට හේතු විය. 

"එයා හිතන් ඉන්නේ එයා වික්ටෝරියා රැජින කියලා වෙන්නැති.. මාර උණක් නේ අප්පා තියෙන්නේ.. ඇඳුම් හෝදන්නෙත් නැතිව මෙතන!!" බෝඩිමේ සිට සරසවියට යන එන අතරතුර ඈ මිහිරි ට දෙස් දෙවොල් තබන්නීය. 

"වික්ටෝරියා මළා නේ බං, දැන් ඉන්නේ එලිසබෙත්!" මා පවසන්නේ ඈ ව අවුස්සන අටියෙනි. "මටත් හිතයි ඇඳ යට පෙට්ටියක් තියන් ඒකට ඇඳුම් දාන්න!"

"ඒ ඉතින් මාත් එක්ක එක ඇඳේ නිදාගන්න අන්තිම දවස!" දිල් තර්ජනය කරන්නේ එතෙකුදු පහ නොවූ කෝපයෙනි. 

දිල් ගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් පැවතුණු බව මට නො වැටහුණේ මා නම් මිහිරි ගේ හැසිරීම් නොසලකා හැර දමා තිබුණු නිසා ය. එහෙත් දිල් නම් මේ කෝන්තරය සිතින් අස් කරගෙන  තිබුණේ නැත. දිනක් අප උදෑසන සරසවි යෑමට යද්දී, මිහිරි සිටියේ යාබද නාන කාමරයේය. ඈ නෑමක් හෝ ඇඟ සේදීමක් කරමින් උන් බව එතුළින් ඇසුණු ශබ්දයෙන් පැහැදිලි විය. හදිසියේම නාන කාමරය අසල නතර වූ දිල්, එහි දොරට තඩි බාන්නට විය. 

"මේ මොකද බං? පිස්සුවක් හැදිලා ද උදේ පාන්දර?" මා ඈ ව ඇදගෙන යෑමට උත්සාහ දරමින් රහසින් කෙඳිරුවෙමි. මට පිළිතුරු නොදුන් දිල් නොනවත්වාම දොරට ගසන්නට විය. 

නාන කාමරය තුළ ජලය ඉහිරෙන හඬ නැවතිණි. මිහිරි ට මේ ගාලගෝට්ටිය ඇසී ඇත. 

"ඇයි ඇන්ටි.. කෝල් එකක් ද?" මිහිරි සිය මිහිරි හඬින් විමසුවාය. බෝඩිමේ දී ඈ කතා බස් කරන්නේ නිවැසියන් සමඟ පමණක් බැවින් ඈ මේ උපකල්පනයට එළඹෙන්නට ඇත.

"ඇන්ටි නෙමෙයි අක්කා, මම දිලිනි, අක්කගේ එහා ඇඳේ ඉන්නේ..." 

ඉන්පසුව එළඹුණේ මඳ නිහැඬියාවකි.

"ආ.. ඇයි?" එවර මිහිරි ඇසුවේ එතරම් මිහිරි නැති හඬකිනි. 

"අපි මේ අක්කාට යනවා කියලා කියන්නයි කතාකළේ. අපි කැම්පස් යන්න කියලා..උදේ ලෙක්චර් ඒකට.."

තවත් දිගු නිහැඬියාවක් පැතිරිණි. මේ මොන කෙහෙල්මලක් දැයි මිහිරි සිතමින් ඉන්නට ඇත. දිල් අසල සිටි මා සිනාව සිර කරගත්තේ ඉතා ආයාසයෙනි.

"හා.. එහෙනම් ගිහින් එන්නකෝ" ටික වෙලාවකට පසු නාන කාමරය තුළින් ඇසුණේ යන්තමින් මෙනි.

"එහෙනම් අක්කේ අපි යනවා, බුදු සරණයි!" දිල් නැවතත් හඬගා පැවසීය. 

එවර නම් ඈව එතනින් ඇදගෙන දිව යාමට මම සමත් වුණෙමි. 

නිවසේ ගේට්ටුවෙනුත් පිටතට දිවගෙන ගොස් ඇති තරම් සිනාසුණු පසු "මොකාද උඹට වැහුණේ හදිස්සියේ?" යැයි මා දිල් ගෙන් ඇසුවේ විමතියෙනි. දිල් සාමාන්‍යයෙන් නම් කිසිවෙකුගේ හිත නොරිද්දන, ප්‍රසිද්ධියේ අපහාස උපහාස නොකරන නෙනෙකි. 

"ඇයි ඉතින් මම නරක දෙයක් කළා යැ, එයාට යන්නම් කියලානේ කිව්වේ!" ඈ කිසිත් නොදත් තාලයට කීවත් ඇගේ මුවේ පැතිරුනේ ජයග්‍රාහි සිනහවකි.

"යන්නම් තමයි.. දැන් කොහොමද හවසට මූණ බලන්නේ?" 

"ආ.. බය වෙන්න එපා... අදත් හවසට එයා අපේ මූණ බලන්නේ නැහැ!" දිල් කීවේ බොහොම තිරසාරව ය.

"එහෙනම්?" 

"බලන්නකෝ මොකද වෙන්නේ කියලා පැහෙන්නේ නැතිව! දැන් යමු යමු.. අට පහු වෙයි අද නම් කන්ද නගිනකොට!" කියා දිල් ඒ කතාව අවසාන කළා ය.

දිල් කී පරිදිම එදින හවසත් මිහිරිගේ හැසිරීමේ කිසිම වෙනසක් වූයේ නැත. ඇය සුපුරුදු ලෙසටම අප කාමරයේ නැතැයි සලකා ඇගේ වැඩකටයුතු කළාය. දිල් ද කිසිවක් සිදු නොවූ මෙන් හැසිරුණා ය. මේ පිස්සියන් දෙදෙනාට වඩා පිස්සු තිබෙන්නේ මටදැයි සිතෙන තරමට සියලු දේ අති සාමාන්‍ය විය. එහෙත් ඊළඟ දිනයේදීත් පෙර ජවනිකාව ම රඟ දැක්විණි. එකම වෙනස වූයේ මෙවර මිහිරි නාන කාමරයේ දොරට තට්ටු කළ සැණින් ම "ඇයි?" යැයි උස හඬින් ඇසීම යි. ඒ තර්ජනාත්මක ස්වරයෙන් පසු නොබෑ දිල් පෙර සේම "අපි එහෙනම් ගිහින් එන්නම් අක්කේ.. බුදු සරණයි!" කියා ඇද පැද පැවසීය. බොහෝ ඉක්මණින් මෙය අපගේ දින චරියාවේ කොටසක් විය. මෙය වළක්වා ගැනීමට මිහිරි ට බොහෝ වුවමනාකම තිබෙන්නට ඇත. නානකාමරයට යන වෙලාව වෙනස් කිරීමෙන් එය බොහෝ පහසුවෙන්  සිදු කරන්නට ඇයට ඉඩ තිබිණි. එහෙත් එක්කෝ අප නිසා ඇගේ දින චරියාව වෙනස් කිරීමට ඇති අකමැත්ත හෝ එසේ කළහොත් දිල් ඊළඟට මොනවා කරාවිදැයි ඇති දෙගිඩියාව නිසා හෝ ඇය මෙය වළක්වන්නට කිසිවක් නොකළා ය. නානකාමරයේ දොරට තඩි බාන අවස්ථාවල පිළිතුරක් නොදී සිටීමට වුව ඈට හැකියාව තිබුණත් කුමන හෝ හේතුවකට ඈ එසේ කළේ ද නැත. එබැවින් කාමරයේදී එකදු වදනක් කතා නොකළ අප තිදෙනා නානකාමරයේ දොර හරහා දිනපතාම ඉතා සුහද ව එකිනෙකාට සමු දුන්නෙමු. මේ තත්ත්වය දිල් ට ඉමහත් සතුටට කාරණයක් විය. 'මිහිරි ට පාඩමක් ඉගැන්වූවා' යන අදහසින් ඈ උද්දාම වී සිටියා ය. මිහිරි අප ව ගණන් නොගෙන පෙන්වූ ගණන්කාරකමට මෙය ඉතා අවිහිංසාවාදී ප්‍රහාරයක් බව මටත් පිළිගන්නට සිදු විය. මේ ජයග්‍රහණයේ ප්‍රීතිය නිමිත්තෙන් අපි මිහිරි ව 'යන්නම් අක්කා' ලෙස නම් කර ඈ නැති තැන එලෙස ඈව ඇමතුවෙමු. 

'ඒයි අද යන්නම් අක්කා පරක්කුයි, ගෙදර ගිහින් ද දන්නේ නැහැ!'.." මේ... ඔය මේසේ තියාගෙන තේ හදන්න එපා.. යන්නම් අක්කා රෙදි හේදුවේ නැතිවට මේසේ පිහිනවා හොඳට!' ආදී වශයෙන් ඈ ගැන කතාකිරීම අපට සාමාන්‍ය දෙයක් විය. 

දිල් ඇරඹු මේ බොළඳ ක්‍රියාවලිය කිසි දෙයක පැහැදිලි වෙනසක්  කරන්නට සමත් නොවූවත්, එය නිසා කාමරය තුළ අපගේ වැදගත්කම අදෘශ්‍යමාන ආකාරයකට ඉහළ ගිය බවක් හැඟිණි. මුලදී මිහිරි ඇති වෙලාවලට ගොළුවන් මෙන් හැසිරුණු අප දෙදෙන, ක්‍රමක්‍රමයෙන් ඈ සිටිද්දීත් කතා බහ කරන්නට පටන් ගත්තෙමු. මෙය අපගේ සාමාන්‍ය කතාබහෙන් දහයෙන් පංගුවක් වුවත්, එයත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක් විය. 

අපගේ පළමු වසරාවසන විභාගත් මිහිරිගේ අවසන් වසරාවසාන විභාගත් යෙදුණේ එකම කාලයේදී ය. කාමරය තුළ කතාබහේ වෙනසක් සිදු නොවූව ද අපි තිදෙනාම නිරතුරුව මේ සඳහා සූදානම් වූයෙමු. මේ වෙද්දී මේසයක් නැතිව පාඩම් කිරීමට අප කෙතරම් හුරු වී ද යත් මිහිරි අහලක නොසිටියත් අප මේසය දෙස බැලුවේවත් නැත. විභාගය අවසන් වූ දිනයේම මිටින් හළ කුරුල්ලන් සේ දිල් ත් මාත් නිවෙස් බලා ඉගිලුණු අතර අපට නැවතත් සරසවියත්, බෝඩිම ත් මතක් වූයේ ඊළඟ අධ්‍යයන වර්ෂය ඇරඹෙන දිනට පෙර දින යි. කළින් කතා කරගත් පරිදි එදින බෝඩිමට පැමිණි අප දෙදෙනාට මින්පසු එහි 'මිහිරියෙක්' නැති බව සිහි වූයේ එකවර යි.

"අඩේ යන්නම් අක්කා ෆයිනල්ස් ලිව්වා නේ.. ඒ කියන්නේ මීටපස්සේ එයා මේකේ නෑ කියන එකද?" දිල් ඇසුවේ තවදුරටත් පහ නොවූ සැකයෙන් තනි ඇඳ යටට එබී බලමිනි. සුපුරුදු කාඩ්බෝඩ් පෙට්ටි දෙක එහි තිබුණේ නැති අතර ඇඳ රෙද්ද ද අතුරුදහන් වී තිබිණි.

"මට නම් ටිකක් පාලුයිත් වගේ එයා නැතිව!" මා කීවේ මා ගැනම පුදුමයෙනි.

"ඔව්නේ.. මේ මාස හයක් හතක් එක කාමරේ ඉඳලා.. කතා නොකළත්.. නැතිවුනහම නිකම්  හොරු ගෙනිච්චා වගේ නේ?" දිල් පැවසුවේ තැවුලෙනි. 

අපගේ ආවර්ජනය බිඳුණේ බෝඩිමේ ඇන්ටිගේ හඬිනි. 

"ආ ඔයගොල්ලෝ ආවා ද? කටහඬවල් ඇහිලා මම මේ බලන්න ආවේ..මොකෝ හිස් ඇඳ දිහා බලාගෙන? මිහිරි නැතිව පාලු ද?" 

"ඔව් ඔව් ඇන්ටි, ඒක තමයි අපිත් කතාවුණේ.." දිල් කීවේ මා දෙස හොරැහින් බලමිනි.

"අන්තිම දවසේ යන්න කළින් මිහිරි මට කිව්වා ඔය දෙන්නාට කියන්න කියලා 'යන්නම්... බුදු සරණයි' කියලා. එහෙමම කියන්න කිව්වා. මම ඉතින් හිතුවා ඔය තුන්දෙනාගේ මොකක් හරි විහිළුවක් කියලා.. ඔන්න මම පණිවිඩේ කිව්වා!" කියූ ඈ සිනාසෙමින් යන්නට ගියා ය.

එය අසා අපට සිනහව නවත්වා ගැනීමට බොහෝ වෙලා ගතවිය. අවසානයේදී යන්නම් අක්කා අපට 'යන්නම්' කියා යන්නට  ගොස් තිබිණි! 








October 28, 2016

අහඹු මල්


















අහඹු ලෙස වැසි වැටුණු පසු කතරක මල් පිපී ඇත- පුවතක්

තෙත සිඳී ගිය පොළොවක
හද දවන එක පැල්මක
පිපුණු දම් පැහැ මලකට
කතාවක් ඇත කීමට


නොනිමි දිගු ගිම්හානෙක
එකම එක වැහි රැල්ලට
පුබුදුවනු හැකි බව හද
සෙනෙහසක මුදු සිසිලස

බොහෝ දුක් විඳි මුල් රැස
උරාගෙන සතුටක තෙත
සිනාසෙන විට රහසින්
පිපෙන බව මල් කතරක!

pic- ytimg.com
Atacama desert, Chile



October 25, 2016

ඇතැම් දිනවල




































Sometimes I grow
so tired of speaking
my emotions to you.

I open my mouth
and dust spills out
instead of feelings.

Dust, and the yellow
wings of moths,
and brittle paper,

scrawled over
with riddles that
lack solutions.


―Gabriel Gadfly


දිනමිණ, වසත් සුළඟ- 25/10/2016 




October 20, 2016

Solitude



the setting sun slants
amber streaks on the panes
the world holds its breath
and the treetops are still

stillness is a cat
dozing on the window sill
stillness is a lark
free-floating in the breeze
minutes blend together
and the hours are one
when a heartbeat echoes
and silence is profound

a ripple in the pond
a cloud over the sun 
and magic scatters quickly 
as soon as it begun 

the cat saunters off
with a glance and a yawn 
and dusk wanders in
gathering its purple gown



孤独- kodoku | solitude

picture drawn with MS paint