July 06, 2024

කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති



කැළලිකාරයෝ (2023) - ලියනගේ අමරකීර්ති 
විදර්ශන ප්‍රකාශනයකි 


මේ ලොව හැම කෙනෙක්ම කැළලි සහිත වූවෝ වෙති. මෙයින් ඇතැම් කැළලි ඇසට පෙනෙන ඒවා වන අතර බොහෝ ඒවා එසේ පෙනෙන්නේ නැත. මෙසේ පෙනෙන නොපෙනෙන කැළලි රැසක් සහිත මිනිසුන්ගේ කතාවයි - කැළලිකාරයෝ.

මෙහි කතානායිකාව වන දීපිකා සම්ප්‍රදායට රාමු නොවූ ස්ත්‍රී චරිතකි. ඈ යෞවන වයසේ සිටම තමන්ගේ සිතැඟි මනා සේ හඳුනා, ඒවාට තම ජීවිතය හසුරුවන්නට ඉඩ දෙන්නී ය. පෙම්වතුන් වුව රැකියාව, ධනය, බලය ආදී සම්ප්‍රදායික මිනුම් දඬු වලින් මනින්නේ නැති නිසා ඇය ම ඇගේ ජීවන මඟ අනාවැකි ලැබ තිබුණු මාර්ගයෙන් වෙනස් කරගනී. පසු කාලීනව, කැළලිම සිතුවමට නඟන දරුවා ඉන් මුදවා පාඩම් වැඩ වෙත තල්ලු නොකිරීමටත්, දෛවය විසින් චක්‍රාකාර ගමනකින් පසු යළි සම්මුඛ කළ පැරණි පෙම්වතා වෙත යළි සමීප නොවීමට ත් ඇගේ මේ වෙනස් ගති හේතු වේ. එනිසාම දයාවංශ, සමින්ද, විහඟ සහ ආදිත්‍ය යන පිරිමි චරිත සමඟ ගැටෙමින් එහෙත් නොඇලෙමින් ඇය දිවි මඟ තරණය කරන්නී ය.

මෑත යුගයේ ලංකාවේ සිදුවුණු ජාතිවාදී සංසිද්ධි නිසා ද, ඊට පෙර යුගයේ යුද්ධය නිසා ද රටවැසියන් තුළ ඇතිවූ කැළලි මෙන්ම යෞවනයේ හැඟීම් හරියාකාරව තේරුම් නොගත් වැඩිහිටියන් ඒ තරුණ ජීවිත වල සදාකාලික ව ඉතිරි කළ කැළලි ද - කැළලිකාරයෝ නවකතාව අපට ගෙන හැර පායි.

කැළලිකාරයෝ නවකතාව එක හුස්මට කියවා අවසන් කිරීමට සිත් දෙන මායා බලය සහිත පොතකි.

//දෛවය කරන්නේ නොදන්නා වෙනත් ලෝකයකින් මිනිසුන් ගෙනත් අප හමුවේ තැබීම නොව, අප දන්නා කියන මිනිසුන්ම අලුත් ආකාරයකින් පෙනෙන දෘෂ්ටිකෝණ අප සඳහා විවර කිරීම. හදිසියේ වැටුණු එළියක් වන එවන් කෝණයකින් මනුෂ්‍යයෙක් දැක්කම අපිට ඔවුන් පෙනෙන්නේ ඇහැට විතරක්ම නෙමෙයි, හදවතට // 
-75 පිටුව

July 03, 2024

මා අත්තම්මාට අකුරු ඉගැන්වූ හැටි



මම දොළොස් වියැති තරම් වයසේදී උතුරු කර්නාටකයේ ගම්මානයක මගේ අත්තම්මා සහ සීයා විසූ නිවසේ ඇතැම් කාල වල නතර වී සිටියෙමි. ප්‍රවාහන පහසුකම් ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු ඒ කාලයේදී අපට උදෑසන පුවත්පත ලැබුණේ හවස් වරුවේ ය. සතිපතා පළ වූ සඟරාව පැමිණියේ දිනක් ප්‍රමාද වූ පසු යි. ගමට පුවත්පත්, සඟරා සහ තැපැල් ගෙන ආ බස් රථය පැමිණෙන තුරු එකල අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු.

මේ කාලයේදී ත්‍රිවේණි නමින් කන්නඩ බසින් ලියූ ඉතා දක්ෂ ප්‍රසිද්ධ ලේඛිකාවක් විය. ඇය ලියූ දේ කියවීමට පහසු වූවා මෙන්ම ඒවා හදවතට ඉතා ළඟ බවක් දැනුණි. ඇගේ රසවත් කතාවලට බොහෝ විට විෂය වූයේ සාමාන්‍ය මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ මානසික ගැටළු විය. ත්‍රිවේණි අඩු වයසින් මිය යෑම කන්නඩ සාහිත්‍යයට සිදු වූ බලවත් අඩුපාඩුවකි. හතලිස් වසරකට පසු පවා තවමත් රසිකයෝ ඇගේ නවකතා අගය කරති.

‘කාශි යාත්‍ර’ නම් ඇගේ නවකතාවක් එකල කර්මවීර නම් සතිපතා නිකුත් වූ කන්නඩ සඟරාවක කොටස් වශයෙන් පළ විය. කාශි නගරයට හෝ බරණැසට වන්දනා ගමනක් යන්නට බලවත් ආසාවෙන් සිටි වයස්ගත කාන්තාවක් ගැන මේ කතාව ගෙතී තිබිණි. කාශි වෙත ගොස් විශ්වේශ්වර දෙවියන් ට පුද පූජා පැවැත්වීම උසස්ම පුන්‍යකර්මයක් ලෙස බොහෝ හින්දුවරු විශ්වාස කළ හ. මේ කතාවේ වයස්ගත කාන්තාවත් මේ විශ්වාසයේ එල්බ සිටි අතර මේ ගමන යාමට සැලසුම් කරද්දී ඇතිවූ අභියෝග මෙහි විස්තර කෙරුණි.. මීට අමතරව මේ කතාවේ අනාථ දැරියක් ද විය. ඈ ආදරයෙන් බැඳී සිටියද ඇයට විවාහය සඳහා මුදල් තිබුණේ නැත. අන්තිමේදී වයස්ගත කාන්තාව තමන් කාශි වෙත යාමට එක්රැස් කරගත් මුදල තරුණියට දෙන්නීය. “විශ්වේශ්වර දෙවියන්ට වන්දනා කරනවාට වඩා මේ අනාථ කෙල්ලගේ සතුට මට වැදගත්” ඈ කියයි.

ක්රිෂ්ටක්කා නම් වූ මගේ අත්තම්මා කිසිදාක පාසැල් ගොස් නොතිබුණු නිසා ඈ කියවීමට දැන සිටියේ නැත. හැම බදාදා දිනකම සඟරාව පැමිණි විට මේ කතාවේ ඊළඟ කොටස ඈට ඇසෙන්නට කියවීමට මම පුරුදු වී සිටියෙමි. මේ වෙලාවට ඈ තමන්ගේ සියලුම වැඩ කටයුතු අමතක කර ඉතා උනන්දුවෙන් මට සවන් දුන්නාය. ඉනික්බිති ඈ මුළු කතාවම මතකයෙන් ආපිට කීවා ය. අත්තම්මා ද කිසිදිනක කාශි වෙත ගොස් නොතිබූ නිසා ඈ කතාවේ කතා නායිකාව සමඟ සිතින් බැඳී සිටියා ය. එබැවින් අන් කවරෙකුටත් වඩා කතාවේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඈ උනන්දු වූ අතර මවෙතින් එය ඇසීමට මඟ බලා සිටියා ය.

සෑම සතියකම ‘කාශි යාත්‍ර’ කතාවේ සිදු වූ දේ දැනගත් පසු ඈ කෝවිල් බිමේ දී තම මිතුරියන් සමඟ ඒ ගැන සාකච්ඡා කළා ය. කුඩා අප ඒ අවට තැන තැන දුවමින් හැංගි මුත්තමේ යෙදුණු එකල නම් මට ඒ කතාවේ ඒ තරම් අවධානය ලැබිය යුතු දෙයක් නොවැටහිණි.

වරක් මම විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට මගේ ඥාති සොයුරු සොයුරියන් සමඟ යාබද ගමකට ගියෙමි. ඒ කාලයේ මේවා සුවිශේෂී උත්සව විය. නිරතුරුව රස කෑම ත්, සෙල්ලම් කිරීමට ඉඩ කඩත් ලැබුණු බැවින් අප කාලය ගතකළේ මහත් ප්‍රීතියෙනි. කාර්යබහුල වැඩිහිටියන්ට අප ගැන සොයාබලන්නට ඉඩකඩ නොතිබුණු බැවින් අපි නිදහස උපරිමයෙන් භුක්ති වින්දෙමු. දිනක් දෙකක් එහි නවතින්නට සූදානම් ව ගිය මම අන්තිමේදී සතියක්ම එහි නැවතී සිටියෙමි.

මා නැවතත් නිවසට පැමිණි විට අත්තම්මා කඳුළු පිරි දෑසින් සිටිනු පෙනුණි. මින් පෙර ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා ඈ කිසි විටෙක හඬනු නොදැක තිබූ නිසා එය දැක මම පුදුමයට පත් වුණෙමි.

“ඇයි අව්වා? මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඇසුවෙමි.

මා ඇයට ‘අව්වා’ කී අතර උතුරු කර්ණාටකයේ භාවිත වුනු කන්නඩ බසට අනුව එහි තේරුම ‘අම්මා’ විය. ඈ හිස වැනුවත් පිළිතුරු දුන්නේ නැත. ඇගේ කනස්සල්ලට හේතුව මට නොවැටහුණු අතර ටික වෙලාවකින් මට එය අමතක විය. එදින රාත්‍රී අහාරයෙන් පසු අප නිදාගත්තේ ඇගේ නිවසේ විවෘත බරාඳයේ යි. එය ගිම්හාන රාත්‍රියක් වූ අතර අහසේ පුන් සඳක් පායා තිබුණි. අත්තම්මා මගේ හිස පිරිමදිමින් සිටියා ය. ඈට මා හට යමක් කීමට අවශ්‍ය බව මට දැනුණි.

“ඇයි අව්වා?”මම නැවතත් ඇසුවෙමි.

“මම පුංචි කාලේ මගේ අම්මා නැතිවුණා. ඒ නිසා මාව බලාගන්නවත් මට මඟ කියන්නවත් කවුරුවත් හිටියේ නැහැ. මගේ තාත්තා හරියට වැඩ රාජකාරි තිබ්බ කෙනෙක්. එයා වැඩි කලක් යන්න කළින් ආයෙත් විවාහ වුණා. ඒ කාලේ ගෑනු ළමයි ඉගෙන ගන්න වුවමනායි කියලා කවුරුත් සැලකුවේ නැහැ, ඒ නිසා මම කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. බොහොම අඩු වයසකින් මම කසාද බැන්දා, දරුවෝ ලැබුණා. ජීවිතේ බොහොම කලබල වුණා. තව කාලයක් යද්දී මට මුනුපුරු මිනිපිරියොත් ලැබුණා. ඔයාලා හැමෝටම කන්න උයලා දෙන එක මට ලොකු සතුටක් වුණා. ඉස්කෝලේ යන්න බැරි වුණ එක ගැන මට දුකක් දැනුණා තමයි, ඒත් මගේ ළමයින්ටත් එයාලගේ ළමයින්ටත් හොඳින් ඉගෙන ගන්න ඉඩ දෙන්න මම හැමදාම මහන්සි වුණා.”

ඒ රැයේ මැදියමේදී මගේ හැට දෙහැවිරිදි අත්තම්මා, දොළොස් හැවිරිදි මට තම ජීවිත කතාව කියන්නේ ඇයිදැයි මට වැටහුණේ නැත. එහෙත් මා ඈට බෙහෙවින්ම ආදරය කළ අතර ඈ මේ විස්තර කීමට හේතුවක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. ඇගේ මුහුණ බලද්දී එහි කනස්සලු පෙනුමත් ඇගේ දෑසේ පිරුණු කඳුලුත් මට පෙනුණි. ඈ සාමාන්‍යයෙන් නිතරම සිනා මුසු ව සිටි සුන්දර කාන්තාවකි. එදා ඇගේ මුහුණේ වූ දුක්මුසු පෙනුම අදටත් පැහැදිලි ව මගේ මතකයේ රැඳී ඇත. ඉදිරියට නැඹුරු වූ මම ඇගේ අත ගත්තෙමි.

“අව්වා, අඬන්න එපා, මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්නකෝ. මට උදව්වක් කරන්න පුළුවන් දෙයක් ද?”

“ඔව් මට දුවගේ උදවු ඕන. ඔයා ගෙදර නොහිටි අතරේ වෙනදා වගේම කර්මවීර සඟරාව ආවා. මම ඒක පෙරළලා බැලුවා, කාශි යාත්‍ර කතාව එක්ක තියෙන පින්තූරේත් මම දැක්කා. ඒත් මට ඒ කිසි දෙයක් කියවාගන්න බැරි වුණා. ඒ කියලා තියෙන දේ තේරුම් යයි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ අකුරු කීප පාරක් අතගෑවා. ඒත් ඒක එහෙම නොවෙන බව මම දැනගෙන හිටියා. අනේ මම අකුරු ඉගෙන ගත්තා නම් කියලා මට හිතුණා. දුව එනකම් මම මඟ බලාගෙන හිටියා. මට හිතුණා ඔයා වේලාසන ඇවිත් මට කතාව කියවයි කියලා. මට වෙලාවකට හිතුණා ඒ ගමට ඔයාව හොයාගෙන ඇවිත් ඔයාට සඟරාව දීලා කතාව කියවගන්න. මට ඒක මේ ගමේ වෙන කෙනෙකුට වුණත් කියලා කරගන්න තිබුණා, ඒත් මට එහෙම කරන්න ලැජ්ජා හිතුණා. මට දැනුණේ මහා අසරණ, ගැති බවක්. අපිට හොඳින් සල්ලි බාගේ තියෙනවා, ඒත් ස්වාධීන වෙන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙනවද?”

කීමට කිසිත් සිතාගනු නොහැකිව මම නිරුත්තර වූයෙමි. අව්වා තව දුරටත් කතා කළා ය.

“මම තීරණය කළා මම හෙට ඉඳන් කන්නඩ අකුරු ලියන්න කියන්න ඉගෙන ගන්නවා කියලා. ඒකට මම බොහොම මහන්සි වෙන්න ලෑස්තියි. දශේරා උත්සව කාලේ සරස්වතී පූජාව තියන දවස වෙද්දී ඒක කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එදාට මට තනියම නවකතාවක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මට ස්වාධීන වෙන්න ඕන.”

ඇගේ මුහුණෙහි වූ අධිෂ්ඨානය දුටුවත් මට සිනා පහල විය.

“අව්වා, වයස අවුරුදු හැට දෙකක් වෙලා ඔයාට අකුරු ඉගෙන ගන්න හිතුණා? ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලා, අත් දෙකත් රැළි වැටිලා, ඔයා කණ්ණාඩි දානවා, කුස්සියේ වැඩත් සෑහෙන්න තියෙනවා…”

බොළඳ දැරියක ලෙසින් මම ඇයට විහිළු කළෙමි. එහෙත් ඈ සිනාසුණා පමණයි.

“හොඳ දෙයක් වෙනුවෙන් මහන්සි වෙද්දී බාධක ජය ගන්න පුළුවන්. කාටත් වැඩියෙන් මහන්සිවෙලා මම කොහොම හරි ඒක කරගන්නවා. ඉගෙනීමට වයස් සීමාවක් නැහැ.”

ඊට පසු දින සිට මගේ ඉගැන්වීම ඇරඹිණි. අව්වා අපූරු සිසුවියක් විය. ඈ සම්පූර්ණ කළ ගෙදර වැඩ ප්‍රමාණය මා මවිත කළේ ය. ඉගැන්නූ දේ කිහිප වතාවක් කියවමින්, ලියමින්, වර නඟමින් ඈ උගත්තා ය. මා ඇගේ එකම ගුරුවරිය වූ අතර ඈ මගේ පළමු ශිෂ්‍යාව වූවා ය. මා පසු කලෙක පරිගණක විද්‍යාව විෂයේ ගුරුවරියක් වී සිසුන් දහස් ගණනකට උගන්වනු ඇතැයි එකල මා දැන සිටියේ නැත.

දශේරා උත්සව සමය එළඹිණි. ඒ වෙද්දී කාශි යාත්‍ර කතාව නවකතාවක් ලෙස පළවී තිබුණු අතර මා එය රහසින් මිළදී ගෙන තිබිණි. දිනක් පූජා මණ්ඩපය වෙත මා කැඳවූ අත්තම්මා, මා නූස් අසුනක හිඳුවා, මට ගවුම් රෙද්දක් තෑගි කළා ය. ඉනික්බිති අමුතු දෙයක් කරමින් බිමට නැඹුරු වූ ඈ මගේ දෙපා අල්ලා නමස්කාර කළා ය. මහත් පුදුමයට පත්වූ මම මඳක් පසුබෑවෙමි. වැඩිහිටියන් කිසි විටෙක දරුවන්ට නමස්කාර කරන්නේ නැත. සාමාන්‍යයෙන් මෙලෙස නමස්කාර ලබන්නේ දෙවියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් පමණක් වූ අතර එය ගෞරව දැක්වීමේ ක්‍රමයක් විය. එහෙත් එදින සිදු වූයේ මේ විශිෂ්ඨ චාරිත්‍රයේ අනෙත් පැත්තයි. එහි නොගැලපෙන බවක් මට දැනුණි.

“මම මේ පාද නමස්කාර කරන්නේ මගේ මිනිපිරියගේ නෙමෙයි, මගේ ගුරුවරියගේ. දුව මට බොහොම ආදරයෙන්, කෙටි කාලයක් ඇතුලත හරිම සාර්ථක ව අකුරු ඉගැන්නුව නිසා මට දැන් බය නැතිව ඕන කතා පොතක් කියවන්න පුළුවන්. දැන් මම ස්වාධීනයි. ගුරුවරයෙකුට ගෞරව දක්වන එක මගේ යුතුකමක්. අපේ පුරාණ පොත පතේ කියලා තියෙනවා නේද වයසවත්, ගෑනු පිරිමි කම වත් නොසලකා ගුරුවරුන්ට ගෞරව කරන්න කියලා?” අත්තම්මා කීවා ය.

ආපිට අත්තම්මාගේ දෙපා නමස්කාර කළ මම මගේ පළමු සිසුවියට ගෙන ආ ත්‍යාගය දුන්නෙමි. එය විවර කළ වහාම ඈ ‘ත්‍රිවේණි ලියූ කාශි යාත්‍ර’ යනුවෙන් එහි නමත් කතෘගේ නමත් කියවූවා ය.

මගේ සිසුවිය ඉහළින්ම සමත් ව ඇති බව එයින් මට වැටහිණි.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘How I Taught My Grandmother to Read’ (2004) by Sudha Murthy

සිසිල සඟරාව - 2024, ජූලි කලාපය. 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

-මේ කෙටිකතාව හොයාගන්න ඔත්තුව දුන්නේ මගේ බ්ලොග් මිතුරියක් වන කුමුදු. ඉතින් ඒ වෙනුවෙන් මේ  ස්තූතිය ඇයටයි. මේ වගේ translatable කතා දැක්කොත් මට කියන්න අමතක කරන්න එපා, ඒ ඔත්තු මට හරි වටිනවා!

Picture generated by Canva AI

June 28, 2024

පිස්සුවෙන් පොත් කියවීම

මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ  දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.

ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා. 

Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger

අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ  ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා. 

කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා. 

"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට. 

පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්. 

Keeper of the Lost Cities Series bu Shannon Messenger

"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා. 

ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!

මේ පුංචි  සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.

වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා. 

උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය source refresh.lk


රැයක් නිදිමරාගෙන පොතක් කියවන්න urge එකක් වැඩිහිටි අපිට එන්නේ නැත්තේ පස්සෙන්දාට තියෙන වැඩ ගැන, නිදි මැරුවාම හැදෙන ඔලුව කැක්කුම් ගැන එහෙම මතක් වෙලා අර සිතිවිල්ල යටපත් වෙන නිසා වෙන්න ඕන. ඒත් යෞවන කාලේදී මේ කිසි දෙයක් වැදගත් නැහැ, එකම එක නැවුම් බලාපොරොත්තුවකින් කිසි මහන්සියක් නැතිව motivate වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට මේ වගේ ඇතිවෙන ඇබ්බැහිවීම් ජීවිතේට පාට එකතු කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ කාලේ නිදි මරාගෙන වස්සාන සිහිනය කියපු මං වගේ අයත්, මේ කාලේ නිදි මරාගෙන Keeper of the Lost Cities පොත් කියවන අදීති ලා වගේ අයත් හැමදාටම ඉඳීවි!