November 19, 2023

අවසානය

ඉතින් මෙලෙසයි අවසානය
ඍතු වෙනසක් ලෙසින්
ඉතාමත්ම සෙමෙන්

පත්‍රවල පැහැ වෙනස් වී
බෙහෙවින්ම මෘදු ලෙස
පොළොවටත්, ගසටත් නොදැනෙන්න
එකින් එක ගිලිහෙන සේ

ඉතින් මෙලෙසයි අපගේ වෙන්වීම
වදන් රහිතව
බරපතල ඉඟි රහිතව

හිඩැසක් පමණි
තව තවත් විශාල වන
හිඩැසක් පමණි

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

Translation of the poem 'End' by Green Tea Diaries

Digital painting




November 13, 2023

'කන්දක් සේමා' චිත්‍රපටිය



පහුගිය සති අන්තයේදී මෙල්බර්න් නගරයට සේන්දු වුණු 'කන්දක් සේමා' චිත්‍රපටිය නරඹන්නට මට ඉඩ ලැබුණා. මේ කතාවට පාදක වුණු සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව බොහොම ඉස්සර කාලෙක මම කියවලා තිබුණාට මේ වෙද්දී මට ඒකෙ ප්‍රධාන තේමාව මිසක් විස්තර මතක තිබුණේ නැහැ.

කන්දක් සේමා චිත්‍රපටිය වැඩියත්ම රූපගත කරලා තියෙන්නේ ජපානයේ. ශ්‍රී ලාංකික නළු නිළියන් හැටියට නිරෝෂා පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, කෞශල්‍යා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, දසුන් පතිරණ වගේ ප්‍රවීණ නලු නිලි පිරිසක් මෙහි චරිතවලට පණ පොවනවා. මීට අමතරව ජුන් එටෝ, අයාකො කොබයාශි කියන බොහොම දක්ෂ ජපන් ජාතික නලු නිලි දායකත්යවකුත් තියෙනවා. මෙහි සම අධ්‍යක්ෂණය අසෝක අතාවුදහෙට්ටි සහ ටාඕ නශිමොතෝ. තිර පිටපතත් සුමිත්‍රා රාහුබද්ධගෙන්.

කන්දක් සේමා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නූපා. ඈ මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. පවුල ඇතුළෙත්, ආදර සම්බන්ධයකිනුත් ඇතිවෙන හැල හැප්පිලි නිසා ඈ ඒජන්සියක් හරහා කෙරෙන විවාහයකින් වයස්ගත ජපන් ජාතිකයෙක් විවාහ කරගෙන ජපානයට යනවා. මේ කතාවට පාදක වෙන්නේ නූපා ත් ඇගේ සැමියා මසයා සන් ගේත් ඇති නොගැලපීම. නාඳුනන රටක, ඒ භාෂාවේ වචනයක් වත් නොදැන, සැමියාගෙනුත් ආදරයක් නොලබා තනිවෙන නූපා ඒ තනිකමට පාලුවට මුහුණ දෙද්දී තවත් විවිධ කරදරවල පැටලෙනවා. නූපා ජීවිතය පුරාවට පරමාදර්ශී ආදරයක් හොයන්නේ ඇගේ ජීවිතයේ මුල ඉඳන්ම තිබුණු හිඩැස් නිසා වෙන්න පුළුවන්. ඒත් ඒ 'පෙම්බරා' ඇගේ මනෝ චිත්‍රයක් විතරයි. අප අවට හැම කෙනෙක්ම තුවාල සහිත, ජීවිතයේ වැරදි තීරණ ගන්න, බිඳුණු මිනිස්සු බව සියුම් විදිහට මේ කතාවෙන් පෙන්නලා දෙනවා.

'කන්දක් සේමා' චිත්‍රපටිය ජපානයේ රූගත කිරීම නිසා ඊට වැඩි සෞන්දර්යාත්මක අගයක් එකතු වෙලා තියෙනවා. ඒ රටේ සකුරා මල්, හිම කඳු ආදී දර්ශන සම්ප්‍රදායික ශ්‍රී ලංකික සිනමාවට නැවුම් රසයක් එකතු කරන්න සමත්. ඒ වගේම රටවල් දෙකක් හරහා සිනමා නිර්මාණයක් බිහි කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න එමට තියෙන්න ඇති. මේ නිසා මේ ව්‍යායාමය අගය කළ යුත්තක්. මීට අමතරව නරඹන්නාට කතාව තේරුම් ගැනීම සඳහා උප සිරැසි අවමයෙන් උවමනා වෙන විදිහට ජපන් භාෂාවේ දෙබස් එක්කම සිංහල දෙබස් යොදා තියෙන හැටිත් හොඳ උපක්‍රමයක්.

චිත්‍රපටිය ගැන කතා කරද්දී නූපා ගේ චරිතය රඟපාන නිරෝෂා පෙරේරා ගැන විශේෂ සඳහනක් නොකරම බැහැ. මේ නිරෝෂා දෙදාස් ගණන් වල මුලදී ලංකාවේ රූපවාහිනී නාලිකාවක මුඛරි ලෙස කතාකරමින් වැඩසටහන් ඉදිරිපත් කළ නිරෝෂා පෙරේරා ම බව මට නම් අඳුනාගන්න බැරි වුණා. නූපා ගේ චරිතයට විශිෂ්ඨ ව පණ දුන්නු නිරෝෂාට ලංකාවේ මීට කලින් මතක හිටින විදිහේ රංගන අවස්ථා නොලැබුණු එක ගැන මට පුදුම හිතුණා. මීට අමතරව චිත්‍රපටියේ සොරා සන් ගේ චරිතයට පණ පොවන අයාකො කොබයාශි ඉස්සර ජාතික රුපවාහිනියේ තිරගත වුණු ඔෂින් මාලා නාටකයේ පොඩි ඔෂින් බව චිත්‍රපටිය ගැන ලියවුණු සටහනක මම දැක්කා.

මේ චිත්‍රපටියේ එක තැනක ජපානයේ සිය දිවි නසාගැනීම් වලට ප්‍රසිද්ධ අඔකිගහරා වනාන්තරයට නූපා පිවිසෙන දර්ශනයක් තියෙනවා. හාත්පස හිම ඉහිරුණු ඒ පරිසරයට ප්‍රශ්න වලින් හෙම්බත් වුණු නූපා යන්නේ ආපිට එන්න නෙමෙයි. ඒත් වනාන්තරය මැද එක තැනක තියෙන දැන්වීම් පුවරුවක් ඇගේ ඇස ගැටෙනවා. "ඔබට ආදරය කරන අයව හඬවන්න එපා" ඒ පුවරුවේ තියෙන්නේ ඒ වගේ අදහසක්. ඇයට ඇගේ දියණියගේ හඬ සිහිනයෙන් වගේ ඇහෙනවා. ඉතින් ඈ ආපිට යනවා. මේ රූප රාමු පෙළ නරඹන්නා ව බෙහෙවින්ම කම්පනය කිරීමට සමත්.

'කන්දක් සේමා' චිත්‍රපටිය මෑත කාලයේදී මම නැරඹු සිංහල චිත්‍රපටි අතරින් ඉදිරියෙන් තියෙන බව කියන්න පුළුවන්. 

- හෙල්මලී 

November 12, 2023

කුරුළු ගීතය

"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිණිවිත්තෙක්* බොහොම ඉවසීමෙන් ඇගේ හිසට හරියටම ඉහළින් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට මෙනි. ඇය තමන්ගේ ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වෙමින් සිටියාය. සීත ඍතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා ව පෙනුණේ දීප්තිමත් ලෙසිනි.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණි. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියේය .

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක අතු අතර රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියාය. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමිනි. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියටම රාමුවට හසු කරගන්නට තැත් කළාය.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනෙන්නට විය.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවේය. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත් අතර අතුපතරේ සැඟවී සිටි කුරුල්ලා හඬක් නොනඟා ම ඉගිල ගියේය.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" කේන්තියෙන් රළු වූ කටහඬින් ඔහු කීවේය.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී තිබිණි. නිවාඩුවක් ගත කරමින් සිටියත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද වූයේ රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීමයි. එහෙත් ඇයටත් ඔහු නිසා බොහෝ විට කුරුල්ලන් නිරීක්ෂණය කරන්නට අවස්ථාවත් අහිමි වූ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවිය. මීට පෙරත් විවිධ අවස්ථාවල -ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී- ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි විය.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් එය තරණය කළාය. ඔහු ද අවලාද කියමින්, හති අරිමින් සෙමෙන් ඇය පසුපස පැමිණියේය.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදකි. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබිණි. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ කවාකාර තරබාරු පෙනුම දැක ඇයට සිනා නැඟුණි. මේ ගමන පැමිණීම ගැන ඇයට හදිසියේම සතුටක් දැනෙන්නට විය. මේ සති අන්තයේ මෙහි පැමිණ යන්නැයි යෝජනාව යොමු කෙරුණේ ඇගේ අම්මාගෙනි.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයකි. මුලදී ඇයටත් ඒ බය දැනුණු බව සත්‍යයයි. තාත්තෙක් නොමැති දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමිනි.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බිය අඩු වී තිබිණි. කාලයක් තිස්සේ ඈ යන යන තැන ඒ වදනත් ඈ හා පැමිණි බැවින් දැන් එය ඈ ට පුරුදු වී තිබුණු අතර ඉන් තර්ජනයක් දැනුණේ නැත.

ඇය තව තවත් වනය තුළට ගමන් කළාය. දිවා කාලයේ පවා මෙහි තිබුණේ අඳුරකි. අඩිපාර පටු නිසාත්, ගල් බොරළු සහිත නිසාත් ඈ ප්‍රවේසම් විය යුතු ව තිබිණි. වනයේ ඇත්තේ රැවටිලිකාර නිහඬබවකි. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැත.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින් සිටියේය. ඇයට හදිසියේ කෝපයක් දැනෙන්නට විය.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවාය. නරක නොවීමෙන් හොඳ බව අදහස් නොවේ.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවාය. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බවයි. එහෙත් කුරිරු බවට විවිධ හැඩතල ඇති බව ඇය දැනගෙන සිටියාය. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරනු ලබන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන අයුරු ඇය සිහි කළාය.

තම පුතුට පියෙක් වුවමනා බව ඇය දැන සිටියාය. දික්කසාදය සත්‍ය වශයෙන්ම විසඳුමක් නොවේ. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දෙනු ඇසිණි. ඈ සතුටින් එදෙස බැලුවාය. කොවුලා ගසක අතු අතර අඩක් මුවා වී සිටියේය. ඒ එක්කම ඈ රත් පැහැති පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවාය. මිණිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම පැමිණ තිබිණි. මේ වතාවේදී ඔහු නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළාය.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවාය. රත් මිණිවිත්තා ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින් ඉවසිල්ලේ බලා සිටිනු පෙනුණි. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් ඇගේ නෙත ගැටිණි. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවූවාය. ඒ මිණිවිත් කිරිල්ලියක්! කුරුල්ලා නැඹුරු වෙද්දී කිරිල්ලිය තවත් ඔහු වෙත් තුරුළු වනු පෙනුණි.

නොසිතූ ලෙස ඇයට මහත් අසරණ බවක් දැනෙන්නට විය. ඇගේ පපුව සිරවෙන බවක් දැනුණි. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණාය. මේ තමන්ගේ සැමියා ය, තම දරුවාගේ පියා ය.

"හරි එහෙනම්" ඈ කීවාය. "දික්කසාද වෙමු."

* Scarlet Minivet

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story Birdsong by Jahnavi Barua
Picture created by Canva AI

සිසිල මාසික ඊ- සඟරාව - නොවැම්බර් 2023 කලාපය

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)




November 05, 2023

ඉසබෙල් ආච්චිගේ හීනය

ඉසබෙල් ආච්චිව මට මුණගැහුණේ බොහොම අහම්බෙන්. අඩි හතරහමාරක් වගේ උස එයා ටිකක් කුදු වෙලා හිටියේ. බැලූ බැල්මට වයස නම් අවුරුදු එකසියපනහක් තරම් විතර පෙනුණා- ඇත්තටම නම් අනූ පහක් විතර ඇති. එයාගේ සුදුම සුදු බොකුටු කොන්ඩේ කොටට කපලා තිබුණා, ඇස් දෙක හිනාවෙන් දිලිසුණා.

ඔය වගේ අතරමඟ දි මුණගැහෙන අහඹු චරිත එක්ක කතාවක් දාගෙන ඉන්න මම කැමතියි. කතා අතරේ මම ඉන්දියාවෙන්ද කියලා ඉසබෙල් ආච්චි ඇහුවා. දැන් යුගේ නම් මෙහෙ කවුරුවත් කාගෙන්වත් ආව රට අහන්නේ නැහැ හිත රිදෙයි කියලා. ඒත් ඉසබෙල් ආච්චි ඊට කලින් යුගේ මගේ හිතේ! මම ලංකාවෙන් බව කිව්වාම  එයා ආවේ ඔස්ට්‍රියාවෙන් බව එයා කිව්වා. ඒ වෙද්දීත් එයාට තිබුණු තද accent එක කොහේ එකක්ද කියලා මම කල්පනා කරමින් හිටියේ. ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු බර ගානක් ගත වුනත් එයාගේ accent එක නැතිවුණේ නැති බව එයා කිව්වා.

I've lost everything else from Austria, but not my accent! එයා එහෙම කිව්වේ හිනාවෙමින් උනත් ඒක ටිකක් දුක කතාවක් බව මට තේරුණා.

ඔහොම සාමීචි කතා කර කර ඉන්දැද්දී ඉසබෙල් ආච්චි මගේ රස්සාව ඇහුවා. ඉන්පස්සේ එයා අවුරුදු හතළිස්පහක් නර්ස් කෙනෙක් හැටියට මේ රටේ වැඩ කළා කිව්වා.

"Then you must have been very busy" මම කිව්වා

"Yes, but I never loved nursing. My passion was always in embalming" ඉසබෙල් ආච්චි උත්තර දුන්නා.

මගේ සාමීචි mode එක එකපාරටම නැවතුණා. ඒ මොකක්ද ඒ පැෂන් එක?? මම හිතුවා එකත් එකටම මට ඉසබෙල් ආච්චි කීව දේ ඇහුනේ වැරදියට කියලා.

මම පොඩ්ඩක් අවුල් වුණා කියලා ඉසබෙල් ආච්චි දැක්කා.

"Do you know what embalming is?"එයා ඇහුවා.

"I do know about embalming, but I am not sure if we are talking about the same thing" මම සැකෙන් වගේ කිව්වා.

"dead people, dead people!"එයා බොහොම උනන්දුවෙන් කිව්වා. ඒක කියද්දී එයාගේ ඇස් තව ටිකක් දිලිසුණා.

මේ අපබ්‍රංසේ අහලා ඉබේ ඇරුණු මගේ කට වහගන්නත් මට අමතක වුණා.

තමන් මතක ඇති කාලෙක ඉඳන් embalming ගැන බොහොම උනන්දුවෙන් හිටිය බව ඉසබෙල් ආච්චි මට විස්තර කළා. එයා ඉස්සර හීන මැව්වේ රස්සාවක් හැටියට embalming කරන්නලු. ඒත් ඒ කාලේ ඒ රස්සාව ඉගෙන ගන්න නම් මාස හයක් embalmer කෙනෙක් යටතේ පඩි නැතිව වැඩ කරන්න නියමිත වෙලා තිබුණා ලු. ඒක මාස හයක් පඩි නොලබා ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා අකමැත්තෙන් උනත් ඉසබෙල් ආච්චි හෙදි වෘත්තිය තෝරාගත්ත බව මට කීවේ හිතේ අමාරුවෙන්. එතකොට නම් ඉගෙන ගන්න අතෙරේම පඩි ලබන හෙද රස්සාවක් කරන්න ඉඩ ලැබුණා ලු.

මේ විස්තරය අහගෙන හිටියාට පස්සෙත් මම හිටියේ shock වෙලා. embalming වගේ දෙයක් කරන්න හීන මවන, එහෙම රස්සාවක් තමන්ගේ dream job එක වුණු ගෑනු කෙනෙක් තියා පිරිමි කෙනෙක් ගැනවත් මම කවදාවත් අහලා තිබුණේ නැහැ. අනික දැන් කාලේ වගේ නෙමෙයි, ඉසබෙල් ආච්චිට ඒ හීනේ තිබිලා තියෙන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර!

මගේ පුදුමේ ගැන වගක් නැතිව ඉසබෙල් ආච්චි දිගටම විස්තර කියමින් හිටියා.

එයා නර්ස් කෙනෙක් හැටියට වැඩ කළේ වැඩිහිටි සාත්තු නිවාසයකලු. ඒවායේ ඉතින් නිතරම වයසක උදවිය මැරෙනවානේ. එහෙම මැරුනාම "අනේ මට මෙයාව embalm කරන්න තිබුණා නම්!" කියලා එයාට හැමතිස්සෙම හිතුනා කියලා ඉසබෙල් ආච්චි කිව්වේ කැකිරි පලමින්. ඒක අහලා මටත් හොඳටම හිනා.

තාම උනත් තමන්ගේ හීනේට යන්න පරක්කු නැහැ කියලා මම ඉසබෙල් ආච්චිට කිව්වේ විහිලුවට වගේ. 

"Well at this rate I could do my own embalm soon!" කියලා එයාත් ඒ හිනාවට එකතු වුණා.

ඉතින් මිනිස්සුන්ගේ හීන කියන ජාති ගැන අපට කවදාවත් පිටින් බලලා තක්සේරු කරන්න බැරි බව ඉසබෙල් ආච්චි නිසා මම අද මුල ඉඳන් ඉගෙන ගත්තා!


 ඉසබෙල් ආච්චිගේ පින්තූරේ අන්දවා ගත්තේ Canva AI tool එකෙන්.