දීර්ඝ ලිවීමේ කටයුත්තක නිරතවෙලා හිටිය නිසා පහුගිය ටිකේ බ්ලොග් එක වෙනුවෙන් අලුත් දෙයක් ලියන්න ලැබුණේ නැහැ. කොහොමත් මට තදබල deadline භීතිකාවක් තියෙන නිසා ඉවරකරන්න යමක් නියමිත වෙලා තියෙද්දී චිත්‍රයක් වත් අඳින්න හිතෙන්නේ නැහැ. අන්තිමට අතක අමාරුවකුත් හදාගෙන deadline එකට ටිකක් කලින්ම වැඩ ඉවරකළ බව දැනුම් දෙන්නේ සතුටින්!
මේ සතුට නිමිත්තෙන් අද ගේන්නේ කවි පොත් පෝස්ට් එකක්.
කවි පොත් වලට මගේ හිතේ තෙතමනයක් තියෙන බව මගේ සමීපතමයෝ දන්නවා. ඒ මම කවි පොතක් ලියන්න නියමිතව තිබිලා මඟින් හැරිලා ආව කෙනෙක් නිසා වෙන්න පුළුවන්. perhaps in another life.
අපේ council පුස්තකාලයේ සිංහල පොත් ලොකු එකතුවක් තියෙනවානේ. ඒ අතර කවි පොතුත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඉඳහිට නිවාඩු පාඩු වෙලාවට මම එතැනින් කවි පොත් කීපයක්ම උස්සාගෙන එනවා. දැන් දැන් දකින්න ලැබෙන මේ පොත් වල කවරවල ලස්සන වෙනම මාතෘකාවකට කාරණාවක්. කවරත් කවි වගේ!
මේ මම රස වින්ද කවි පොත් කීපයක්. හිතේ රැඳුණු කවි දෙකකුත් උපුටා ගත්තා. තව රස කවි සෑහෙන්න තිබුණා. මීට අමතරව ගෙත්තම්පාණ පොතේ ඒ නමම තියෙන කවි පන්තියත් සිත කම්පා කරන සුළුයි. ටිකක් දිග නිසා උපුටා දැක්වූවේ නැහැ.
මාත් කවි ලියන (ලීව තමයි වඩාත්ම හරි) කෙනෙක් වුණත් දිග කතාවක් කෙටියෙන් කියන්න කවියට තියෙන සමත්කම හැමදාම මගේ හිතේ විස්මයක් ඇති කරනවා.
පුංචි
(ගෙත්තම්පාණ- රත්න ශ්‍රී විජේසිංහ)පුංචි අම්මෙක් සිටියා ය මට
පුංචි එකියක් වගේ ලස්සන
කන්ද බැස දෙණි නිම්න පසුකර
වළ ගොඩැලි පිරි පාර දිගට ම
අතින් අල්ලාගෙන නොවැටෙන්න
උදේ මා පාසල් එක්ක ගිය
පුංචි අම්මෙක් සිටියා ය මට
පුංචි වූවත් අම්ම වාගේ ම
පය රිදී වෙහෙසුණ වෙලාවට
පයින් යන්නට බෑ කියූ විට
අනේ මා උකුලට වඩාගෙන
පාසලට පන්සලට ගෙන ගිය
පුංචි අම්මෙක් සිටියා ය මට
විවා වී ඇද හෙවණැල්ලකට
වදා දරුවන් දෙතුන් දෙනෙකු ම
පිටුවහල් වී කුලගෙයින් පිට
සිහි මඳ ව මෙන් ගමේ ඇවිදින
පුංචි අම්මෙක් සිටියා ය මට
වැදී බැට කැට මුගුරු අපමණ
විසන්ධි ව ගොස් සන්ධි අතපය
තවත් යන්නට බෑ කියූ ඇය
මට වඩාගෙන යන්න බැරි විය
ඇය අතින් ගෙන එක්ක යන්නට
මගේ සිහිකල්පනා මඳ විය
මහලු ඈ තව තවත් පුංචි ව
තවත් පුංචි ව
තවත් පුංචි ව
පෙනෙනීය මට
චක්‍රවාටය
මහා පෘථිවිය
මහා මේරුව
මහා දිවයින්
මේ විසල් විශ්වයේ කෙසේ නම්
ඇය ම පමණක්
පුංචි වූයේ ද?
ගෙත්තම්පාණ- පිටුව 38-39
- - - - - - - - - - - - - - - - - - - -
ගෑනුන්ට පුළුවන්
(බිමට වට සිත - එරන්දි ඉරේකා තිරාණගම)
ගිගුරුම් සහිත වැසි වැටෙන හවසක
ඉපැරණි පෙම්වතුන්ගේ මතක
කඩදහි බෝට්ටුවල පා කර යවන්නත්
වැහිපොදේ තෙමෙමින් නැවුම් වෙන්නත්
ගෑනුන්ට පුළුවන්
දුක් විඳලා කෑ ගහලා රැකගත්තු ස්නේහයක්
අත්හැරිය පසු නැවත නොහැරෙමින්
ජීවිතය දෙපස පිරි වල් පැළ මඩින්නත්
ඒ දෙපසේ මල් වැටක් තනන්නත්
ගෑනුන්ට පුළුවන්
මහා අකුණකින් මළ පොල් ගහක මුදුන සේ
ආත්මය මිය ගිහින් තිබෙනා වූ මොහොතක
උට්ඨාන වීරියෙන් යළි නැගිට ගන්නත්
සන්තුෂ්ටියට යන්න මාවතක් තනන්නත්
ගෑනුන්ට පුළුවන්
බිමට වට සිත- 55 පිටුව
මගේ බ්ලොගයට ගොඩ වැදී බලන්න!
ReplyDelete++++++
ReplyDeleteහරි අගෙයි !
ReplyDelete