June 14, 2026

සුබ ගමන් රවී අයියා

හදිසියේම යන්න ගිය රවී අයියා වෙනුවෙන් කොහේ මොනවා ලිව්වත් බ්ලොග් අවකාශේ ඒ ගැන සටහනක් නොලීවොත් අඩුපාඩුවක් කියලා මට හිතුණා. මොකද අපි හරියටම මුණගැහුණේ, එකිනෙකා ලීව දේවල් කියෙව්වේ, කමෙන්ට් කරගත්තේ මේ බ්ලොග් අතරේම නිසා. මෑත කාලයේ රවී අයියා බ්ලොග් වලින් ටිකක් මෑත් වෙලා හිටියාත් ඊට කලින් බොහොම කාලයක් මේකේ පදිංචි වෙලා හිටිය බව මටත් වඩා හොඳට දන්නවා අපේ අනිත් බ්ලොග් සගයෝ ටික. 

ඊයේ පෙරේදා වෙනකම්මත් ෆේස්බුක් සටහන් ලියමින්, දේශපාලන විහිලු බෙදාගනිමින් හිටිය රවී අයියා හදිසියේම යන්න ගිහින් බව දැක්කාම මට නම් මුලින්ම අදහාගන්නත් බැරිවුණා. එහෙම වෙන්නේ කොහොමද කියලාමයි මට හිතුණේ. ඒත් ඉතින් ඒක එහෙම වෙලා, මේ වෙද්දී අවසන් කටයුතුත් ඉවරයි. අපි තාම අදහා ගන්න බැරිව ගල් ගැහිලා!

රවී අයියාත් රන්දිකාත් එකතුවෙලා ලීව නිදහස් සිතුවිලි බ්ලොග් එකේ වැඩි හරියක්ම ලීවේ රවී අයියානේ. ඒ රස මතක ලියවිලි වලට කිට්ටුවෙන්වත් ලියන්න වෙන කෙනෙක් හිටියේ නම් නැහැ. කියාගෙන යන කතාවට අමතරව තවත් වැල් වටාරම් අතුරු කතා කියන්නත්, ඒවායෙන් මුල් කතාව දිග්ගස්සා ගන්නත් උන්නැහේ හරි හපනා. ඒකෙන් මේකෙන් එක එක මාතෘකා වල කතා සීරිස් කීපයක්ම එයා එක සැරේ ලියමින් හිටියා. හැබැයි ආපිට ලංකාවට ගියාම රවී අයියා බ්ලොග් ලියවිල්ල අඩු කළා. නොලීව කතා ගැන අපේ නෝක්කාඩු, බැනුම් ඉවසගෙන විහිළුවක් කරගෙන හිටියත් ඒවා ආයෙත් සම්පූර්ණ කළේ ම නැහැ. 

රවී අයියාගේ තිබුණේ එයාගෙම බ්‍රෑන්ඩ් එකක sarcasm සහ humour එකක්. ඒ නිසා එයාගේ කමෙන්ට් එකක් පවා සමහර වෙලාවට හිනා සාගරයක්. ඒත් ඒ හැම දෙයක්ම අතරේ හිටියා හොඳ රසවතෙක්. මගේ පරිවර්තන එකක් නෑර කියවලා, ඒවායේ වචන ගැන මාත් එක්ක වාද කරලා, විහිළුවක් දෙකකුත් කරලා යන්න එයා හැමදාම ආවා. 

අපේ තාත්තාගේ බ්ලොග් සහ fb සටහන් වල තාත්තාට 'දයා මහත්තයා' කීවාම තාත්තා රවී අයියාට කියලා තිබුණා තමන්ට 'මහත්තයා' කියන්න එපා එතකොට බොහොම දුරස් හැටියටයි දැනෙන්නේ කියලා. 'එහෙම කොහොමද, ගෞරවයට තමයි එහෙම කියවෙන්නේ' කියලා රවී අයියා විස්සෝප වෙද්දී මම කිව්වා එහෙනම් නළු නිලියෝ වගේ අපේ තාත්තාට අයියා කියලා මට නංගි කියන්න කියලා. අන්තිමට එයා සුපුරුදු 'හෙහ් හෙහ්' හිනාවෙන් ඒකට ප්‍රතිචාර දැක්වූවත් තාත්තාට 'දයා මහත්තයා' කියන එක නැවැත්තුවේ නම් නැහැ. 

රවී අයියා මහවැලියේ වැඩකරන කාලේ කතන්දර, සින්දුත් එක්ක පටලවලා ලීව පෙම් කතන්දර, ගුරුවරියක් එක්ක ගෙවන ජීවිතේ ගැන කතන්දර ආදී අටෝරාසියක් කතා කියවන අයට පණ පිහිටුවලා දැනුණේ එයාගේ බොහොම රසවත් ලිවීමේ ශෛල්‍යය නිසායි. හැබැයි මේ දැන් බ්ලොග් එකට ගිහින් බලද්දී මීට අවුරුදු කීපෙකට කළින් එයාගේ හැට වෙනි උපන්දිනය දවසේ අවුරුදු පහෙන් පහට තමන්ගේ ජීවිතයේ රසවත් සිද්ධි ගැන ලියන්න ගත්ත මේ පෝස්ට් එකත් තිහෙන් නවත්තලා ඉතුරු ටික පස්සේ ලියන්නම් කියලා ලියලා, කවදාවත් සම්පූර්ණ නොකළ බව දැක්කාම මට මේ දුක අතරේත් හිනාවක් ආවා. ටිපිකල් රවී වීරසිංහ ඉතින්!  

ඉතින් රවී අයියා කතන්දර මහා හුඟාක් බාගෙට ලියලා, ජීවිත කතාවත් අතරමඟ නවත්තලා යන්න ගියා එහෙනම් නේද? මොනවා කරන්නද ඉතින්, බාගෙට ලීව, කීව කතා සම්පූර්ණ කරන්න අපි කවදා හරි, කොහේ හරි ආයෙත් හම්බවෙමු. 

සුබ ගමන් ලොකු අයියා! 

3 comments:

  1. සමහර මිනිස්සු අපේ ජීවිතවල අත්පත් කරගෙන ඉන්න ඉඩ ඒ මිනිස්සු අපෙන් සමුගන්නකම් අපිට තේරෙන්නෙ නෑ. මම රවීගෙ බොහොම මූලික තොරතුරු ඇරෙන්න වෙන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඕනෙම දෙයක් විහිළුවක් කරගෙන වගේ හිටියට රවී ඇතුලේ සීරියස් හෘදයාංගම මනුස්සයෙක් ඉන්න බව තේරුම්ගන්න වැඩිකලක් ගියේ නෑ. මට හැමදාම වගේ උදේම දකින්නේ රවීගෙ ෆේස්බුක් පෝස්ට් එකක්. රවී නැතිවෙලත් දින කීපයක් තිස්සේ ඒක තවම එහෙමයි. මේ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා කියල අපිට දැනෙන එක එක්තරා විදිහක සහනදායී සිතුවිල්ලක් අපිට ගෙන එනවා. සමීප සම්බන්ධකම් පැවැත්වූවේ නැති වුණත් ඔවුන් ඉන්නවා කියන හැඟීම අපිට අපි ජීවත්වෙල ලෝකය ගැන යම් ධනාත්මක හැඟීමක් ඇති කරනවා. ඔවුන්ගේ නික්ම යාමත් ඒ වගේම හිස් තැනක්, අහිමිවීමක් යන හැඟීම් ඇතිකරනවා. ඉතින් මිත්‍රයා, ආගමික අර්ථයෙන් උඹ කවදාවත් නැවත ඉපදීමක් විශ්වාස නොකරන බව මම දන්නවා. ඒත් සාහිත්‍යමය හැඟීමක් විදිහට අපි ආයෙත් හමුවෙයි කියලා මම කිව්වොත් උඹ ඒක්ව සතුටින් බාරගන්නා බවත් මම දන්නවා. එතෙක්, සුව නින්දක්!

    ReplyDelete
  2. සුවිසාල හිස්තැනක් දැනෙනවා - යළි කිසිදාක නොපිරවෙන - නොපිරවිය හැකි!

    ReplyDelete
    Replies
    1. https://wehimandarama.blogspot.com/2026/06/149-bidding-adieu-to-stardust-soul.html

      Delete