June 16, 2026

'වසඟ' - කීර්ති වැලිසරගේ

 


'වසඟ' කීර්ති වැලිසරගේ ගේ එකොළොස්වෙනි නවකතාවයි. මෑත කාලයේදී කතුවරයා අතින් ලියවුණු ආරයෙන් වෙනස් කතාවක් වන මෙය අතීතයත්, වර්තමානයත් එක් රේඛාවකින් යා කරමින් දිගහැරේ. මේ සිනිඳිගේත් සඳුනිගේත් කතාවයි. මීට ශතවර්ෂයකටත් වඩා එපිට කාලයකදී පිරිමියෙකුට වසඟ වීම නිසා අනේක දුක් කම්කටොලු විඳි සිනිඳිත්, වර්තමානයේදීත් එවැනිම වසඟයක් නිසා අත්මිදීමක් නැති බැඳීමක සිරවූ සඳුනිත් වටා මෙය පෙළ ගැස්වේ. මනුෂ්‍යයන්ට ඇතැම් ඇබ්බැහිවීම් ලේ උරුමයෙන් හිමි වේදැයි සිතන්නට මේ කතාව පාඨකයා පොළඹවයි. 

මෙහි වර්තමානය ගැන කියවෙන පරිච්ඡේද වලට වඩා මගේ නම් සිත් ගත්තේ අතීත විස්තර බව නොකියාම බැරිය. රයිගම් කෝරළයේ දුෂ්කර ගම් පෙදෙසක, විවිධ දුක් ගැහැට, අඩන්තේට්ටම්, නොපනත්කම් ඉවසමින් ගලායන සිනිඳිගේ කතාව අප්‍රතිහත ධෛර්යය පිළිබඳ උදාහරණයකි. එළඹෙන හැම බාධකයක්ම මැඩගන්නා ඒ නූගත් ගැමි ගැහැනිය නුහුරු ලෝකයක් ගැන දකින හීන එක එක ඉටු කරගන්නා අයුරු කියවීම බෙහෙවින් රසවත් ය. ඒ විස්තර හා බලද්දී වර්තමානයේ සඳුනිගේ ජීවිතයේ හේතු විත්ති ඇල්මැරුණු බවක් දැනීම නිරායාස ව සිදුවේ. 

"උදේ දහය පමණ වෙද්දී, මුලින් කරත්තයක් දෙකක් පමණක් නවත්වා හරකුන් ලිහා පූනක්කු දිය කොට දීමෙන් ඇරඹුණු සිරිත පසුව කරත්ත හත අට දක්වා දික් ගැසිණි. සිනිඳි සවස පිටි වනක් කොටා, පසුදා සෑදීමට නියමිත ගොටු පිට්ටු හෝ හැලප සඳහා සූදානම් කර තැබීමට පුරුදු වූවා ය. ඇගේ ගොටු පිට්ටු රස කරත්තකරුවන් අතර පැතිරගොස් තිබූ අතර එකතුවන කාසිය දෙක ද දවසින් දවස වැඩි වන්නට විය. අල්ලා හිට ගන්නා දරුවා ගැන සෝදිසියෙන් සිනිඳි වෙළඳාම් කළා ය."  205 පිටුව 

එමෙන්ම මේ කතාව පුරාම දිව යන අනෙත් සුවිශේෂී කරුණ නම් 'හොඳ සහ නරක' යන සංකල්ප විවිධ පුද්ගලයන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ වෙනසයි. ඇතැම් සබඳතා තුළ එකිනෙකාගෙන් පලි ගැනීමට හෝ හැර යාමට තරම් කාරණා තිබුණත් හැමවිටම එයාකාරයෙන් වෙන්වීම් සිදු නොවෙන බව සිනිඳි ත් සඳුනි ත් අපට පෙන්වා දෙති. වරදේ බැඳෙන්නාට නොකඩවා සමාව දීම දේව ගතියක් ද අනුවණකමක්දැයි විමසීමට 'වසඟ' සමත් වේ. 

"දැන් කොයි වෙලේ හරි ඔය ගෑනි දරු පොව්වොත් අරං මෙහෙට කඩා වැදුනහම තමයි බොට තේරෙන්නේ මිනිහ කොළ අලුගුත්තේරු වැඩේ සහ සුද්දෙන්- අන්තිමේ උඹ දැන ගනිං උඹේ හුස්ම ටිකත් නැහැ- උඹ පලයං උඹේ අම්මෙක් තාත්තෙක් නෑයෙක් ඉන්න අහක -  මූ උඹටත් දරු හතර පහක් හදලා අතරමං කරන්න කලියෙන්-" 68 පිටුව 

'වසඟ' කාලයකින් කියවූ, මතක හිටින රසවත් නවකතාවක් වන අතර කතුවරයාගේ සෙසු පොත් මෙන්ම මෙයත් එක හුස්මට කියවා අවසන් කළ හැකි බව කිව යුතු මය. 

-හෙල්මලී 


වසඟ (2025) කීර්ති වැලිසරගේ
සරසවි ප්‍රකාශනයක්

No comments:

Post a Comment