Yiyun Li නම් ලේඛිකාව ගැන මම මීට කළින් සටහන් කීපයක් ලියලා තියෙනවා. ඒ ඇගේ නිර්මාණ වල ප්‍රබල බව නිසා දැනුණු කම්පනයෙන්. ඉතින් ඈ TIME’s The 100 Most Influential People of 2026 කියන ලැයිස්තුවට ඇතුල් කරලා කියලා දැක්කාම මට දැනුණේ ඒක මගේ සමීප කෙනෙකුගේ ජයග්‍රහණයක් වගේ.
මීට හේතු පාඨය හැටියට ප්‍රවීණ ලේඛක Salman Rushdie ලියලා තියෙන සටහනේ පරිවර්තනයක් මේ-
"මීට වසර විස්සකට පෙර Yiyun Li ගේ පලවෙනි කෙටිකතා එකතුව වන A Thousand Years of Good Prayers එළිදැක්වුණේ විශිෂ්ඨ හැකියාවන් ඇති ලේඛිකාවක් ලෝකයට හඳුන්වා දෙමිනි. මෑත කාලයේදී අමෙරිකානු සාහිත්‍යය ලොව වටා ලේඛකයන්ගේ නිර්මාණ නිසා වඩාත් පොහොසත් වී ඇති බව නිරීක්ෂණය කළ හැක. නයිජීරියානු ලේඛිකා Chimamanda Ngozi Adichie, වියෙට්නාම් ලේඛක Viet Thanh Nguyen මීට උදාහරණ වන අතර දැන් චීන ජාතික Yiyun Li මේ දීප්තිමත් ලේඛක කවයේ පෙරමුණ ගෙන ඇත. තම පුතුන් දෙදෙනාම සිය දිවි තොර ගැනීම නිසා Li ගේ ජීවිතය බරපතල ඛේදවාචක වලින් කැළැල් වූවකි. බොහෝ මවුවරුන්ට මේ ශෝකය දරාගනු නොහැකි වනු ඇති නමුත් Li කෙසේ හෝ මේ සිදුවීම් 'විප්ලවකාරී භාර ගැනීමක්' කර ඇත. මේ ඔස්සේ ඈ උසුලාගනු නොහැකි දුකක මතක සනිටුහන් කරමින්, National Book Award සම්මානය සඳහා අවසන් වටයට ද තේරුණු Things in Nature Merely Grow යන කෘතිය රචනා කර ඇත. මේ කෘතිය ලේඛිකාවගේ උසස් බුද්ධියත්, මනා සේ ආවේග හසුරවා ගැනීමත් පෙන්නුම් කරන අතර මියගිය අයට උපහාර පුදමින්ම ජීවිතය උත්කර්ෂයට නඟයි. ඈ මෙය කෙසේ කළාදැයි නොදන්නා නමුත් මා ඈ පිළිබඳව විස්මයෙනි"
ඕනෑම කෙනෙකුට TIME’s The 100 Most Influential People අතරට එක්වීම මහත් කීර්තියක් බවට විවාදයක් නැහැ. ඒත් අවුරුදු කීපයක් ඇතුළත තම දරුවන් දෙදෙනාම අහිමි වීම නිසා ශෝකයේ අගාධ පතුලට වැටුණු අම්මා කෙනෙකුට ඒ කීර්තිය දැනෙන්නේ කොහොමද කියලා අපට හිතාගන්නවත් බැරි වෙයි. කොහොම වෙතත් ලිවීම ඇයට ඒ ශෝකයෙන් තාවකාලිකව හෝ මිදෙන්නට මාවතක් වූ බව ස්ථිරයි, සමහර වෙලාවට අකුරු වලට ඒ මායාකාරී බලය තියෙනවා. ඉතින් Rushdie කිවූ විදිහට මේ ගැන කියන්න පුළුවන් හොඳම දේ තමයි "ඈ මෙය කෙසේ කළාදැයි නොදන්නා නමුත් මා ඈ පිළිබඳව විස්මයෙනි"
Photo and summary from Time

No comments:
Post a Comment