දැවෙන උදුනින්
තෝරාගනිමි
ගිනි පුළිඟු’
ගිනි පුළිඟු යන නම ලද, ගිනි පුළිඟු වැනි කෙටි කවි එකතුවක පිවිසුම ලෙස මේ කවිය කොයිතරම් උචිත ද! මේ අගනා කෘතිය ගැන දිගු විස්තරයක් වදන් කීපයකට ලඝු කිරීමට ඒ කෙටි කවියම සමත් වේ.
ගිනි පුළිඟු -කෙටි කවි එකතුව පෝලන්ත ජාතික ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා කුඩා කවි 166කින් සමන්විත මේ කෘතිය සිංහල කියවන්නන්ට රස විඳින්නට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකික සහෘදයන් කිහිප දෙනෙකුගේ සාමූහික පරිවර්තන ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙසිනි. අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න යන අය විසින් මේ කවි රැස පරිවර්තනය කර ඇති අතර එය අපූරු පොතක් බවට සංස්කරණය වී ඇත්තේ මොහාන් ධර්මරත්න ගේ දායකත්වයෙනි.
කවියකු, කතුවරයකු, සමාජ ක්‍රියාකාරියෙකු, ගුරුවරයකු සහ නළුවකු වශයෙන් විවිධ භූමිකා වලට පණ පොවන ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කි, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරන අයෙකි. ෆයර්වර්ඩ්ස් කෘතියේ පිවිසුමේ තම මවට ලියූ ලිපියක කවියා ඇයට ස්තූති කරන්නේ තමන්ට සොබාදහමට අතපොත් තැබීම පිළිබඳවයි. මේ කුඩා කවි වලින් බහුතරයක්ම ස්වභාව ධර්මයේ සුන්දර නිමේෂයන් හා බැඳී පැවතීම සුවිශේෂී කාරණාවකි.
මිහිදුම් හාදුවෙහි
වෙළුණු පොකුණත
නිහඬවම අසුන්ගෙන
අප දෙදෙන
---
හේමන්ත මැහැල්ල
පත් රහිත
සිය නගන සිරුරෙහි
දවටා ගනී ආලෝකය
---
ලෝකය රඟදෙයි
වැහි ගිනි දලු මැද
ඔබ කුඩයක් අතැතිව
කවියක සාන්ද්‍ර බව වැඩිවන්නේ එය කෙටි වූ තරමටය යන්න චයිෂෙව්ස්කිගේ කෙටි කවි වලින් මනාව පිළිබිඹු වේ. මෙවැනි කවියක් කියවීමට ගතවන්නේ කුඩා මොහොතක් වූවත් ඒ ගැන තව බොහෝ වෙලාවක් නැවතී කල්පනා කිරීමට හැකිවීම මෙහි අගය වැඩි කරයි. මනුෂ්‍ය පැවැත්ම ගැනත්, මරණය ගැනත් වචන කීපයකින් කියවන්නාගේ සිතේ ගිනි ඇවිලවීම මේ කෙටි කවි වල සුවිශේෂත්වයයි.
දයාවෙන් ජීවත් වන්න
කැදලි තනන්න, සිහින දකින්න
මුවන්ට කැළැල් ඇති නොවන සේ
----
අප රැස් කරන ලද
ආලෝකය පමණක්
ශේෂ ව
අන් සියල්ල වියැකෙමින්
---
හිඳී කිසිවකු මා තුළ
මගේ කැමැත්තට එරෙහිව
මගෙම තර්කයට එරෙහිව
හැම කවියකටම ගැලපෙන සේ චයිෂෙව්ස්කි කවියා විසින් සිය කැමරාවට හසු කරගන්නා ලද කළු සුදු සේයාරුවක් ඇතුළත් කර තිබීම මේ ‘ගිනි පුළිඟු’ කෘතියට තවත් මානයක් එක් කරයි. කවි වලින් කියවන්නාගේ සිතේ ජනනය කරනු ලබන මායාමය බව මේ සේයා රූ වලින් තවත් තීව්ර කෙරේ.
මුලින් පෝලන්ත භාෂාවෙන් ලියවුණු මේ කවි ඉනික්බිති කතුවරයා සහ පෝලන්ත ජාතික කතුවරුන් කිහිපදෙනෙකු විසින් ඉංග්‍රීසි බසට හරවා කෘතියකට ගොනු කර ඇති අතර ඉහත කී ශ්‍රී ලාංකික පර්වර්තක කණ්ඩායමේ කැපවීම නිසා ඒවා දැන් සිංහල පාඨකයන්ට ද රස විඳීමට ඉඩ හසර සැලසී තිබේ. ඔවුන් විසින් මේ කවිවල රසයත්, ඒවායේ සාන්ද්‍ර ගුණයත් නොනසා සිදුකරන ලද මේ අපූරු පරිවර්තන කාර්යය අගය කළ යුතුය. ‘ගිනි පුළිඟු - කෙටි කවි’ කෘතිය එක් වරක් කියවා අවසන් කරනු ලබන පොතක් නොව, ළඟ තබාගෙන, වරින් වර කියවමින් රස විඳිය යුත්තක් බව එය කියවද්දී ඔබට පසක් වනු ඇත.
හෙල්මලී ගුණතිලක
ගිනි පුළිඟු- කෙටි කවි (2025)
ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ හි පරිවර්තනයක්
පරිවර්තනය අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න
සංස්කරණය මොහාන් ධර්මරත්න
සුභාවි ප්‍රකාශනයක්
ඇත්තටම ඒ කවි ගිනි පුලිඟු වගේ ❤️🔥.
ReplyDeleteමම කැමතිම "ලෝකය රඟදෙයි.. වැහි ගිනි දලු මැද... ඔබ කුඩයක් අතැතිව". මට මතක් වුණේ 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' සිංදුවෙ "නිවාලන්න මා... ඔබේ සිසිලසින්" කොටස. (ඊට පස්සෙ මතක් වුනා Girl of fire සිංදුව 😍😂).
* Girl on fire
DeleteLotus- මම නම් කෙටි කවි වල තදබල ෆෑන් කෙනෙක්! මේ කවි භාෂා දෙකක් හරහා ආවත් ඇත්තටම ඉහළ මට්ටමක තියෙනවා. Try it if you get a chance, you will like it
Deleteමට නම් කවිගැන ලොකු අදහසක් නැ
ReplyDeleteඒ්ත් චාල්ස් බුකෝවිස්කි හා නෙරුඩගේ ඒවට කැමතියි
ඒ කවියෝ දෙන්නා ගැන දන්නවා නම් කවි ගැන සෑහෙන්න දන්නවා කියන්න පුළුවන් :)
Deleteතුති ඔත්තුවට! කියැවිය යුතුයි!
ReplyDeleteඔයා ආසා වෙයි වර්ෂා :)
Delete// කවියක සාන්ද්‍ර බව වැඩිවන්නේ එය කෙටි වූ තරමටය// ඒක නම් හරියටම හරි. නැත්නම් මං වගේ කම්මැලි කවි කියවන්නියන් ඒවා නොකියවා අත හරිනවා. මගේ යාළුවෙක් call කළා අද ඔයාගේ කෙටි කතාවක් යනවලු ස්වදේශීය සේවයේ හවස 7.00 ට. එයාත් ඔයාගේ fan කෙනෙක්.
ReplyDeleteකුමුදු - thank you ඔත්තුවට, යාළුවාටත් මම thank කළා කියන්න. මම නම් දැනගෙන හිටියෙවත් නැහැ :D
Deleteකවි පොතක් කියවපු දවසක් මතක නෑ. ඉස්සර නම් පළවෙන පළවෙන හැම කවි පොතම පන්න පන්න වගේ ගත්තා. කියෙව්වා. සමහර එවුවා රිවිව්ත් කරා දැන් නං කවි පොතක් දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන්නේ නෑ. අන්තිමට ගත්තේ මාලන් බණ්ඩාර කපුවත්ත ගෙ නටු. ඒකෙත් සමහර කවි මට හරි ගියේ නෑ.
ReplyDeleteකෙටි කවි වලට කැමති නිසා අක්ක මේ වෙද්දි නටු කියවල ඇති කියල හිතනව.
සාමාන්‍යයෙන් මංජුල වෙඩිවර්ධන, ලක්ෂාන්ත අතුකෝරළ, නදුන් යසිත දසනායක, නුවන් තොටවත්ත, වගේ තව කීපදෙනෙක් ඉන්නවා කවි පොත් හරි කෙටි කතා පොත් හරි ආවහම මිස් නොකර ගන්න නමුත් ඇත්තටම කවි පොතක් ගත්ත දවසක් මතක නෑ. බලමු මේ පොතත් පොත් සාප්පුවක තිබිලා හම්බුනොත් තවත් කවියක් දෙකක්කියවලා බලලා හිත ඇදුනොත් ගමු. ඒ වුණත් අනේ මන්දා තමයි.
මහේෂ්- හිතේ නිස්කලංකය අඩු නම් කවි රසවිඳින්න හිතෙන්නේ නැහැ, ආයෙත් කවි පොත් ගන්න, කියවන කාලයක් ඒවි කියලා ප්‍රර්ථනා කරනවා, මේකත් ලැබුනොත් කියවන්න, ගිනි පුළිඟු ම තමයි!
Deleteලක්ශාන්ත, නදුන් යසිත එහෙම මම කැමතිම කවියෝ දෙන්නෙක්. ලක්ශාන්ත ගේ භාෂාව හැසිරවීම විශිෂ්ඨයි නේ?