මගේ ඥාති සොයුරු ජෝජ්, නැවත වතාවක් අසල්වැසි නගරයේ මානසික රෝහලින් පැන ගොස් ඇතැයි මට ආරංචි වූ විට වැඩි කල් නොගොස් ඔහු මගේ දොරකඩ පෙනී සිටිනු ඇති බව මම දැන සිටියෙමි. සාමාන්‍යයෙන් මෙය සිදු වූයේ ක්‍රිකට් සමය ඇරඹීමත් සමඟ ය. ‘ප්‍රශ්නයක් නැහැ,’ මම කල්පනා කළෙමි. ‘මිනිහා ආවාම මම කෝච්චියේ දාගෙන ආයෙත් ඉස්පිරිතාලෙට අරගෙන යනවා’
ජෝජ් පහුගිය වසර කීපය පුරාවට කීප වතාවක්ම මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඔහු දරුණු පුද්ගලයෙකු නොවුණු නිසා ඔහුට එහි යම් තරමක නිදහසක් ලැබී තිබුණි. මේ නිසාම ඔහු ඉඳහිට ‘ටෙස්ට් තරඟයක’ ක්‍රීඩා කිරීමට රෝහලින් බැහැරට ගියේය. ජෝජ් සිතා සිටියේ තමන් නැපෝලියන් බව වත් ගෙන්ගිස් කාන් බව වත් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ රංජි නම් ක්‍රීඩා තරුව බවයි. මින් නොනැවතී තමන් ඉන්දියානු ක්‍රිකට් පිළේ නායකයා බවද ඔහු ඇදහුවේ සැබවින්ම රංජි ක්‍රීඩා කළේ එංගලන්ත පිළ වෙනුවෙන් බව වත් නොසලකමිනි.
ඉතින් ජෝජ් මගේ දොරකඩ පෙනී සිටි විට ඔහු එක අතකින් ක්‍රිකට් පිත්තක් ද අනෙත් අතින් බෝල් ගාඩ් පැළඳුමක් ද රැගෙන සිටීම ගැන මා පුදුම වූයේ නැත.
“ඔයා ලෑස්ති නැද්ද?” ඔහු ඇසුවේය. “මැච් එක එකොළහට පටන්ගන්නවා”
දුම්රිය පිටත් වන්නේ එකොළහ පසු වී විනාඩි පහළවක් ගෙවුණු තැන බව සිහි වී මම මෙසේ කීවෙමි.
“තව ඕනෑ තරම් වෙලාව තියෙනවා, මම ලෑස්ති වෙනකම් ඇවිත් මොනවා හරි බොමු”
ජෝජ් අසුන් ගෙන බියර් වීදුරුවක් ඉල්ලුවේය. මා ඔහුට එය ගෙනැවිත් දුන් විට ඔහු නොපමාව එය අසල වූ මීවන පැළයක් සහිත පෝච්චියට වත්කෙරුවේ “ඒකට තිබහ පාටයි” යැයි පවසමිනි.
මා ඉක්මණින් සූදානම් වූයේ ඔහු මීළඟට වීදුරු ඩිකැන්ටරය සමඟ පිති හරඹ කරතැයි බියෙනි. ඉනික්බිති ඔහුගේ අත ගෙන නිවසින් පිටවූ මම රික්ෂෝවකට හඬ ගැසුවෙමි.
“ස්ටේෂමට යමු,” මම රික්ෂෝ රියදුරුට රහසින් කීවෙමි.
“ෆෙරෝස්ශා කොට්ලා,” ජෝජ් දිල්ලියේ ප්‍රසිද්ධ ක්‍රිකට් පිටියේ නම හඬ නඟා කීවේය.
යා යුතු තැන මඟදී හෝ රියදුරු ට පැහැදිලි කිරීමේ අදහසින් මම ජෝජ් ව රික්ෂෝවට නංවා ගත්තෙමි.
“ස්ටේෂමටයි යන්න ඕන” මඟදී මම තරමක් හඬ නඟා කීවෙමි.
“කොට්ලා” මගේ ඥාති සොයුරු එවැනිම තානයකින් ස්ථිරව පැවසීය.
රික්ෂෝ රියදුරු ක්‍රිකට් පිටිය වෙත එක එල්ලේම ධාවනය කරන්නට විය. බැලූ බැල්මට මා කී දේට වඩා ජෝජ් කී දේ ඔහු වෙත වැඩි බලපෑමක් කර ඇති බවක් පෙනුණි.
“මේ බලනවා,” මම ඔහුගේ උරහිසට තට්ටු කරමින් පැවසීය. “මේ මගේ නෑදෑ වෙන කෙනෙක්, එයාගේ ඔලුව හොඳ නැහැ. එයා මේ එහෙම අයට බෙහෙත් කරන ඉස්පිරිතාලයකින් පැනලා ඇවිත් තියෙන්නේ. අද දවස ඇතුළත මම මිනිහාව ආයෙත් එතනට බාර දෙන්න නම් අපි එකොළහයි කාලේ කෝච්චිය අල්ලා ගන්න ඕන.”
රික්ෂෝ රියදුරු ධාවනය බාල කර ජෝජ් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. ජෝජ් ඔහු වෙත උද්යෝගීමත් සිනාවක් පා, මා පෙන්වා තම නළලට ඇඟිල්ලෙන් තට්ටු කළේය. රියදුරු අනුකම්පාවෙන් හිස වනා, ක්‍රිකට් පිටිය වෙත නොකඩවා රික්ෂෝව ධාවනය කරන්නට විය.
උමතු බවත් ප්‍රකෘති සිහියත් අතර වෙනස සියුම් බව මා කවදත් විශ්වාස කළ නමුත් එය මෙතරම් සියුම් යැයි කෙදිනකවත් සිතා තිබුණේ නැත. අන්තිමේදී කරදරේ වැටුණේ මායි! සැබවින්ම උමතුවෙන් පසුවූයේ ජෝජ් ද, මා ද, රියදුරු ද?
මේ වෙද්දී අපි ක්‍රීඩා පිටිය වෙත එළඹෙමින් සිටියෙමු. දවසක් පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ජෝජ් ව බලාගැනීමට මගේ කිසිම අදහසක් තිබුණේ නැත. ඒ තරඟ කෙතරම් ඒකාකාරී වූවත් ඔහු ඒවා අතරේදී බෙහෙවින් උනන්දුවටත්, කලබලයටත් පත් වෙයි. වරක් ඔහු පිටිය වටා වූ බාධක මතින් පැන තම පිත්ත ද රැගෙන විකට්ටුව වෙත ගොස් තිබුණේ තුන් වන පිතිකරු ලෙස (මෙය රංජි ගේ ප්‍රියතම ප්‍රවේශය ලු) තරඟ කිරීමේ අදහසිනි. මෙදින ජෝජ්ව පිටියෙන් ඉවතට කැඳවාගෙන යන්නට උත්සාහ කළ තරඟ විනිසුරුට ඔහු පහරදී තිබිණි. තවත් අවස්ථාවක ඔහු පිටිය හරහා දිව ගොස් තිබුනේ බෝල් ගාඩ් පැළඳුමෙන් පමණක් සැරසීගෙනයි.
එදින නම් රික්ෂෝවේ ගමන බාල වෙද්දී ඉන් බිමට පැන ඉවතට දිවගොස්, රියදුරුට නියම ත්‍රාසයක් දුන්නේ මායි. ජෝජ් සතුව මුදල් තිබුණේද, එදින රියදුරු ට ගෙවීමක් සිදුවුණි ද යන වග මට කිසි දිනක දැන ගන්නට ලැබුණේ නැත. සාමාන්‍යයෙන් රික්ෂෝ රියදුරන් දරුණු ජන කොටසක් බවට ප්‍රචලිත නමුත් මානසික රෝගීන් ද එවැනිම අය බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන පසු කලෙක ජෝජ් ට මතක තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත.
මීට දින තුනකට පසු මට මානසික රෝහලින් පණිවිඩයක් ලැබුණේ ජෝජ් විසින්ම නැවත එහි පැමිණ ඇති බව කියමිනි. එසේ පැමිණෙද්දී තමන් ශතකයක් ගැසූ බවට ඔහු පාරම්බාමින් සිටි නිසා ඔහු යම් ආකාරයකට ඒ ක්‍රිකට් තරඟයට සම්බන්ධ වූවා ද විය හැක.
ජෝජ් දරුණු මිනිසකු නොවූවත්, අදටත් මට ඒ රික්ෂෝ රියදුරු ගැන නම් යම් සැකයක් පවතින්නේ මා නැවත කිසි දිනක ඔහු ව දිල්ලියේදී නොදුටු බැවිණි. ඔහු වෙනත් ප්‍රදේශයකට පදිංචියට නොගියේ නම් ඔහුගේ මේ අතුරුදන්වීම ජෝජ් ගේ රික්ෂෝ ගමන සමඟ සම්බන්ධයක් ඇති බව මගේ අදහසයි. කොහොමත් කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ යමුනා ගංගාව ආසන්නයේම ය.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the story George and Ranji by Ruskin Bond
කෙටි වුනත් නියමයි. බාගදා ජෝර්ජ් ගෙදරට ආවෙත්, ආයෙ මානසික රෝහලට ගියෙත් පිත්තෙන් ගාස්තු ගෙවලද මන්දා?
ReplyDeletethank you බස්සා! ඉක්මනට පරිවර්තනය කරන්න කෙටි කතාවක් ඕන උනාම මම යන්නේ රස්කින් බොන්ඩ් ව හොයාගෙන!
Deleteකතාවේ කොහොම කිව්වත් මම හිතන්නේ නැහැ ජෝජ් එහෙම දරුණු වැඩක් කරයි කියලා. පිස්සෝ වුනත් ඉන්නවනේ අපි හිතන තරම් පිස්සු නැති
“සැබවින්ම උමතුවෙන් පසුවූයේ ජෝජ් ද, මා ද, රියදුරු ද?“ හී හී... කියවලා මමත් පොඩ්ඩක් කල්පනා කරා මම උමතුවෙන්ද කියලා 😊
ReplyDeleteඒ රටේ මිනිස්සුන්ගෙ ක්‍රිකට් පිස්සුවෙ විදිහට, ජෝජ්ගෙ තව පිස්සු වැඩ ටිකක් මේකට ඇතුල් වුණා නම් හොඳයි වගේ.
“අදටත් මට ඒ රික්ෂෝ රියදුරු ගැන නම් යම් සැකයක් පවතින්නේ මා නැවත කිසි දිනක ඔහු ව දිල්ලියේදී නොදුටු බැවිණි ..... කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ යමුනා ගංගාව ආසන්නයේම ය" කතාවෙන් ඉඟි කරලා තියෙන දේ වුනාද; රික්ශෝ රියදුරු සහ ජෝජ් දෙන්නම එකට මැච් එකේදි පිස්සු කෙළලා, රික්ශෝ මෑන්ස්ටත් මානසික රෝහලකට යන්න වුනාද දන්නෙත් නෑ 🤔😜
කතානායකයාත් ජොලි චරිතයක් නේද? නැත්නම් අරම පිස්සෙක්ව දාලා රික්ශෝවෙන් පනී ද! :D මම නම් හිතන්නේ ජෝජ් රික්ෂෝ කාරයාව පොලිසියට අහුවෙන විදිහේ මගඩි වැඩක් කරන්න ඇති
Deleteදෙන්නම එකටම බුලක් කෙලියද දන්නේ නැහැ 🤔
ReplyDeleteඒවා ෂුවර් නෑ! :D
Deletehttps://en.wikipedia.org/wiki/Ranjitsinhji
ReplyDeleteThank you Pra!
Deleteබලාගෙන ගියාම ඈත අතීතයේදී රංජි කියලා ඇත්තටම ක්‍රිකටර් කෙනෙක් ඉඳලානේ
මේ අනූ ගණන් වල වුන දෙයක්, අපේ මහප්පගේ පුතා සුමනෙ අයිය. එයා ගෙ යාළුවෙක් ඒ දවස් වල නවත්තල හිටිය නෙප්චුන් කියල හොස්පිටල් එකක. බම්බලපිටියෙ වගේ මතක (දැන්නම් එහෙම එකක් නැහැ) එයාටත් මානසික ලෙඩක් තිබුනෙ, සුමනෙ බලන්න ගිය වෙලාවක මිනිහ පැනල ගිහින්. බොහොම අමාරුවෙන් හොයාගෙන ත්‍රී වීල් එකකට දාගෙන යද්දී (ඩ්‍රයිවර්ටත් කතාව කියල තමයි දාගෙන තියෙන්නේ) සුමනෙ කලබලේට කියල තියෙන්නේ යුරේනස් හොස්පිටල් කියල. යාලුව ඩ්‍රයිවර්ට කියල සුමනෙටයි පිස්සු කියල. ඩ්‍රයිවර් අන්ද මන්ද වෙලා පොලිසියේ කෙනෙක් ළඟ නවත්තල දෙන්නම බස්සවලා ගිහින්. පොලිසියට දෙන්නම විස්තර කරනකොට ඔක්කොම අන්ද මන්ද වෙලා. පස්සේ සුමනෙ කතා කිරිල්ල නවත්තල යාලුවට කතා කරන්න ඉඩ ඇරියම තමයි පොලිසිය දැනගෙන තිබුනේ.
ReplyDeleteඒක ජෝජ් ගේ කතාවටත් වැඩිය මරු!
Deleteනේප්චුන් වෙනුවට යුරේනස් කිව්ව එක නම් ක්ලැසික් අප්පා 😂
හෙහ්, හෙහ් ++++++++++++🤣👌
Delete