October 24, 2025

කුරුළු කතා


සමහර වෙලාවට පොඩ්ඩක් උවමනාවෙන් බැලුවාම වටපිටාවේ හරි අපූරු දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට වසන්ත කාලේනේ. මේ දවස්වල අපේ ගේ වටේට කුරුළු කූඩු කීපයක්ම හදලා බව මම දැක්කේ අහම්බෙන්. මේවා ගෙදරටම සම්බන්ධ කරලා හදපු ඇනෙක්ස් වර්ගයේ ඒවා මිසක් ගස් වැල් වල හදපු ඒවා නෙමෙයි. ඒ වගේම මේවායේ ඉන්නේ එක කුරුළු ජාතියකුත් නෙමෙයි, විවිධ ජාතීන් කීපයක්. ඒ spotted dove, blackbird, mud lark කියන කුරුළු වර්ග බව ටිකක් පරීක්ෂාවෙන් බලද්දී මට පෙනුණා. මේ කූඩු වලින් දෙකක්ම අපිට අත දිග ඇරලා අල්ලන්න තරම් කිට්ටුයි, ඒ අතරින් blackbirds ලා නම් බොහොම එඩිතරව එයාලගේ ගේ හදලා තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා දොරකඩම!  හැබැයි Mud lark කූඩුව තියෙන්නේ ගෙදර වහලෙයි වැහි පීල්ලයි අතරේ. ඒ කූඩුව පේන්නේ නැහැ, එයාලා එතැනට යනවා එනවා විතරයි පේන්නේ. කොහොමහරි මෙයාලා හරියට කතා වෙලා වගේ කලින් කවදාවත් නොවුණු විදිහට, එක සැරේ අපේ ගෙදර පදිංචි වෙලා.

කොච්චර වුණත් එයාලා අපේ ගෙදර නවාතැන් ගත්ත අමුත්තො නිසා මම මේ පවුල් කීපය ගැන හොයලා බලන වැඩේ බාර ගත්තා. එයාලාගේ කූඩු පැත්තේ වැඩිය ගැවසෙන්නේ නැතිව, bird bath එකේ නිතරම පිරිසිදු වතුර පුරවලා තියමින් මම මේ ටිකේ එයාලට සහයෝගය දෙනවා. එහෙම කල්පනාවෙන් ඉන්දැද්දී තමයි දවසක් වැහි පීල්ල අස්සේ කූඩු හදපු mud lark ජෝඩුවගේ බිත්තරයක් එයින් එළියට වැටිලා කියලා මම දැක්කේ. උඩ ඉඳන් වැටෙද්දී මගේ මල් පෝච්චියක් උඩට වැටුණු නිසා ඒක නොබිඳී බේරිලා. ඒක ලස්සන නිල් පාට පොඩි බිත්තරයක්. වහලෙට නගින්න බැරි නිසා බිත්තරය ආයෙත් කූඩුවෙන් තියන්නත් බැරිව, ඒකට මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට තමයි මම ඊළඟට මූන දුන්නේ. අන්තිමේදී ටිකක් කල්පනා කරලා  spotted dove ජෝඩුව අහල පහල නැති වෙලාවක් බලලා මම බිත්තරය එයාලගේ කූඩුව ඇතුලෙන් තිබ්බා. පුතා නම් මේ වැඩේට එකහෙලාම විරුද්ධ වුණා. එයා කීවේ මම කළේ unethical වැඩක්, dovesලා ඒ බිත්තරේ වෙනස් බව දැනිලා කූඩුවෙන් බිමට දායි කියලා. ඒත් ජීවත් වෙන්න වාසනාව තියෙනවා නම් වෙන කුරුළු පවුලක හරි ඒ mud lark කුරුළු පැටියා ලොකු වෙයි කියලා තමයි මම හිතුවේ. තාම නම් බිත්තරේ බිම දාලා නැහැ, spotted dove කිරිල්ලී මේ වෙද්දීත් ඔක්කොම බිත්තර ටික රකිමින් ඉන්නවා! තව ඉස්සරහට පියාඹන්න පුරුදු වෙන්න ගිහින් කූඩු වලින් වැටෙන කුරුළු පැටව් ගැන බලාගන්නත් මට රාජකාරි තියෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මගේ කාර්යාලයේ මිතුරියක් එක්ක මම හිනාවෙමින් කිව්වා මේ දවස්වල මට තියෙන අලුත් රාජකාරිය ගැන. ඈ නම් ඒක මට වැඩිය බැරෑරුම්ව අරගෙන ඊට වෙනස් අර්ථකථනයක් දුන්නා. "Birds nesting around your house represent new beginnings and the cycle of life. The universe is giving you a message!" ඈ කිව්වේ එහෙමයි. එහෙම හිතුවොත් එක අතකට ඒකත් හරි. අපේ පුතාත් එයාගේ ඉස්කෝලේ කාලේ ඉවර කරමින්, පියාඹන්න ලෑස්තිවෙන කාලයක් මේ ගෙවෙන්නේ. අපිත් ඉස්සර ඒ වගේම කූඩුවලින් පිටවෙන්න බලන් ඉන්න කාලයක් ගෙව්වා. අද ඊයේ වගේ දැනුණත් ඒ කාලේ පහුවෙලා දශකම කීපයක් ගෙවිලා. එහෙම බැලුවොත් ඇත්තටම මේ new beginnings, growth, cycle of life ගැන පුංචි පාඩමක් තමයි. අපිට එක සැරේ කුරුළු ගුරුවරු තුන්දෙනෙක්ම කියලා දෙන පාඩමක්! 


පින්තූරේ ඉන්නෙ අනුන්ගෙ බිත්තරයකුත් රකින dove කිරිල්ලිත්, දොරකඩම පදිංචි blackbird මහත්මියත්.


4 comments:

  1. "තව ඉස්සරහට පියාඹන්න පුරුදු වෙන්න ගිහින් කූඩු වලින් වැටෙන කුරුළු පැටව් ගැන බලාගන්නත් මට රාජකාරි තියෙයි.." මලීටත් තියෙන වැඩ 😊

    පුතා කිව්වා වගේ ඒක ටිකක් unethicalද කියලා මටත් හිතෙනවා. නමුත් ඉතින් තිබුනු හොඳම option එක එච්චරනේ 👍

    new beginnings කතාව නම් ශෝක් නේද. අපි mindfully බැලුවොත් ඇත්තටම හැම දේම new beginnings තමයි. It depends on our perspective.

    ReplyDelete
    Replies
    1. Lotus -වැඩේ නම් සෑහෙන්න unethical බව ඇත්ත. මගේ යාලුවෙක් කිව්වා දැන් ඒ බිත්තරෙන් වෙනස් පැටියෙක් එළියට ආවාම එතැන පවුල් ප්‍රශ්නත් ඇතිවේවි, මට ඒවාට වගකියන්නත් වෙයි කියලා! :D
      ඒත් අනිත් ඔප්ෂන් එක මුකුත් නොකර ඒ පැටියාට මැරෙන්න අරින එක නිසා නිසා ඔන්නොහෙ වැරදි වැඩේ කළා.
      Lotus කියවලා තියෙනවද මන්දා මම ඉස්සර ලීව පැණි කුරුළු කූඩුව කතාව. ඒ කාලේ ඉඳන්ම පියාඹන්න ඉගෙනගන්න කුරුළු පැටවුන්ට මං සහයෝගේ දෙනවා. ගෙදර pets ලා නැත්නම් තමයි ඒක හරියට කරන්න පුළුවන්. නැත්නම් එක mouthful එකයි!
      Yes I like the idea of new beginnings. I think if we pay attention, there are patterns, and energies around us, and we attract those similar to what we give.

      Delete
  2. //අපේ පුතාත් එයාගේ ඉස්කෝලේ කාලේ ඉවර කරමින්, පියාඹන්න ලෑස්තිවෙන කාලයක් මේ ගෙවෙන්නේ//
    "The universe is giving you a message!"
    හ්ම්.....එහෙම වෙන්නත් ඇති. 🤔

    ReplyDelete
    Replies
    1. බස්සා - මෙච්චර කල් කිසි දවසක නොතිබිලා එකපාරටම මෙහෙම දේවල් වෙද්දී ටිකක් ඉතින් නැවතිලා හේතු හිතන්න වෙනවා ඇත්තටම. වැඩියත්ම ගේ දොරකඩ කියන්නේ high traffic area එකක්නේ. එතැනට කුරුල්ලෝ බය නැතිව පදිංචි වෙන්න එනවා කියන්නේ මට නම් honour එකක්! :D
      පියාඹන්න බලන් ඉන්න පුත්‍රයාට නම් මේවා බලන්න වෙලාවක් නැහැ, මම තමයි මේවා මොනිටර් කරන්නේ.

      Delete