July 04, 2025

ආදරණීය සීයේ



නව හැවිරිදි වන්කා ශුකොව් මීට තෙමසකට පෙර සපතේරුවකු වන අල්යාකින් වෙත වැඩ පුහුණුවීමට යොදවන ලදී. නත්තලට පෙර දින රාත්‍රියේ ඔහු නින්දට නොගොස්  හාම්පුතා ත් ඔහුගේ බිරිඳත් අනෙත් සේවකයන් සමඟ දේව මෙහෙයට යනතුරු බලා සිටියේය. ඉනික්බිති ඔහු තම හාම්පුතාගේ අල්මාරියෙන් තීන්ත කූඩුවක් සහ මළ කෑ තුඩක් සහිත තීන්ත පෑනක් පිටතට ගෙන, පොඩි වුණු කඩදාසි කැබැල්ලක් තමන් ඉදිරියේ දිග හැරීය. ලිවීම ඇරඹීමට පෙර, වන්කා කුටියේ දොර සහ කවුළු වෙතත් පාවහන් තැනීමට ගන්නා අච්චු සහිත අඳුරු රාක්ක වෙතත් කිහිප වරක් බිය මුසු බැලුම් හෙලා සොවින් බර සුසුමක් හෙලුවේය. ඉනික්බිති බංකුව මත කඩදාසිය ඇතිරූ ඔහු, ඒ අසලින් දණ ගසාගෙන ලියන්නට විය.

“ආදරණීය සීයා, කොන්ස්ටන්ටින් මාකරිච්,” ඔහු ලිවීය. “ඔබට ලියුමක් ලියන්නට මට සිතුණා. ඔබට සුබ නත්තලක් වේවා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ම ලැබේවා. අම්මාත් තාත්තාත් නැති මට ඉන්නේ ඔබ විතරයි.”

තම ඉටිපන්දමේ ආලෝකය වැටී කුටියේ කෙළවරක වූ ප්‍රතිමාව දිලිසෙන අයුරු බලා සිටි වන්කා තම සීයා ගැන කල්පනා කරන්නට විය. තම සීයා වන කොන්ස්ටන්ටින් මාකරිච්, ශිවාරෙව් නම් ප්‍රභූ පවුලකට අයත් වත්තක රාත්‍රී මුරකරු ලෙස සේවය කළේය. කුඩා සිරුරකින් හෙබි හැටපස් හැවිරිදි මහල්ලෙකු වූවත් සීයා අපූරු කාර්යශූර අයෙකු විය. ඔහුට තිබුණේ මත් දෑසක් සහ නිරතුරු සිනාවෙන් පිරුණු මුවකි. දිවා කාලයට ඔහු එක්කෝ මෙහෙකරුවන් වෙනුවෙන් වෙන් වූ මුළුතැන්ගෙහි නිදා ගත්තේය. නොඑසේ නම් එහි කෝකියන් සමඟ විහිලු තහළු කරමින් පසු වූයේය. රාත්‍රී කාලයේදී බැටළු සමින් තැනූ කබා කිහිපයක් පොරොවාගෙන ඔහු ගෙඋයන වටා ඇවිද්දේ තම අත වූ කුඩා ලී මිටියෙන් ඒ මේ අතට තට්ටු දමමිනි. ‘කෂ්ටන්කා’ නම් මහලු බල්ලාත්, මුගටියකු වැනි දිගටි හැඩරුව නිසා ‘ඊල්’ නම ලද බල්ලාත් තම හිස් පහත් කරගෙන ඔහු පසුපස ඇවිද ගියහ. ඊල්, අනවශ්‍ය තරමට ආචාරශීලී බවක් සහ සුරතලයක් දැක්වූ සතෙකු විය. ඔහු ආගන්තුකයන්ටද තම ස්වාමියාටද දැක්වූයේ එක සමාන කරුණාවන්ත බවකි. නමුත් ඌ තරමක අපකීර්තියකට ලක් වූවෙකි. උගේ යටහත්පහත් බවට යටින් තිබුණේ අතිශය කපටිකමකි. ඉඳහිට රහසින් රිංගා විත් කාගේ හෝ විලුඹ සපා කන්නට, ගබඩා කාමරයකට රිංගන්නට නොඑසේ නම් ගැමි ගෙවත්තකින් කිකිළියක් සොරා කන්නට ඌට වඩා වෙනත් හපනෙකු නොවීය. කිහිප වතාවක්ම උගේ පසුපස ගාත් ගැලවී යන්නට තරම් අනතුරු සිදු වී,  දෙවතාවක් පමණ ඌ ව එල්ලනු ලැබී තිබිණි. මීට අමතරව හැම සතියකම පාහේ සිරුර අඩපණ වනතුරු ඌ ගුටිකා ද තිබුණු නමුත් මේ කිනම් ව්‍යසනය වූවත් ඌ ඊළඟ දවසේත් නැවත උද්යෝගීමත්ව පෙනී සිටීමට සමත් විය.

තේ තම සීයා ගේට්ටුව අසල සිටගෙන, දෑස් කුඩා කරමින්, පල්ලියේ රතු පැහැති කවුළු දෙස බලමින්, තම ෆෙල්ට් බූට් සපත්තු වල අඩි හප්පමින්, මෙහෙකරුවන් සමඟ විහිලු තහළු කරමින් පසුවන අයුරු වන්කාට මැවී පෙනුණි. ඔහුගේ කුඩා ලී මිටිය බඳ පටියෙන් එල්ලෙමිනි. සීතල නිසා තම දෑත් අතුල්ලමින්, වරෙක මෙහෙකාර කෙල්ලද, තවත් වරෙක කෝකි කාන්තාව ද කොනිත්තමින් ඔහු සිනාසේ. 

“දුම්කුඩු ටිකක් ඕන ද?” කාන්තාවන්ට ඔහු තම දුම්කුඩු පෙට්ටිය පායි. 

කාන්තාවන් දුම්කුඩු උරා කිඹුහුම් හරිද්දී සීයා මහත් සේ විනෝදයට පත් ව සිනාසෙමින් කෑ ගසයි. 

“ඔය නහයවල් හීතලට ගල් ගැහිලා තියෙන්නේ, ඒවා ගලවලා අරිමු!”

ඔහු බල්ලන්ටද දුම්කුඩු පායි. කෂ්ටන්කා කිඹුහුම් ඇර, තම හිස ගස්සා උරණ වී ඉවතට යයි. ඊල් නම් තම ආචාරශීලී බව නිසා කිඹුහුම් නොඇරියත්, තම වලිගය වනන්නේ ය. කාලගුණයෙහි සුන්දර බවට අමතර ව වාතය නැවුම් ව, පාරදෘශ්‍ය ව පවතින බවක් දැනේ. රාත්‍රිය අඳුරු වුවත් නිවෙස්වල සුදු පැහැති පියසි, දුම් කවුළු වලින් පිටවෙන දුම් කැරළි, තුහින වැටීමෙන් රිදී පැහැ ගැන්වුණු ගස්, හිම කණ්ඩි ආදියෙන් යුතු මුළු ගම්මානයම ඒ උස් බිමට දිස් වේ. මුළු අහසම ප්‍රීතියෙන් දිදුලන තරු වලින් පිරී ඇති අතර ක්ෂීරපථය, හිමෙන් ඔප දමන ලද කලක මෙන් පැහැදිලිව දිස් වේ.  

වන්කා සුසුමක් හෙලා, පෑන තීන්තයේ ඔබා නැවතත් ලියන්නට ගත්තේය. 

“ඊයේ මම හොඳ බැනුමක් ඇහුවා. මෙයාලගේ පොඩි එකාව තොටිල්ලේ පද්දමින් ඉන්දැද්දී මට නින්ද ගිය නිසා ලොකු මහත්තයා මගේ කොණ්ඩයෙන් ඇදලා අරගෙන, බූට්ස් දිග අරින්න ගන්න පොල්ලකින් මට ගැහුවා. ඒ වගේම ගිය සතියේ ලොකු නෝනා මට හෙරින්ග් මාලුවෙක් සුද්ද කරන්න කිව්වාම මම උගේ වලිගෙ පැත්තෙන් සුද්ද කරන්න පටන් ගත්තා කියලා නෝනා මාළුවා මගේ මූණේ ඇතිල්ලුවා. මෙතැන වැඩකරන මිනිස්සු මාව විහිලුවකට අරන් තියෙන්නේ. එයාලා මාව වොඩ්කා ගේන්න තැබෑරුමට යවනවා. ලොකු මහත්තයාගේ පිපිඤ්ඤා හොරකම් කරන්න යවනවා. ඉතින් ඊටපස්සේ ලොකු මහත්තයා මට අතට අහුවුණු දෙයින් ගහනවා. ඒ වගේම සීයේ මෙහෙ කන්න කිසි දෙයක් නැහැ. උදේට එයාලා මට පාන් දෙනවා, දවල්ට කැඳ, රෑට ආයෙත් පාන්. තේ, සුප් එහෙම තිබුණොත් නෝනා යි මහත්තයයි ඒවා ඔක්කොම ගිලලා දානවා. මම නිදාගන්නේ කොරිඩෝවේ, මේ කාලකණ්නි පොඩි එකා අඬන සැරයක් ගානේ මම තොටිල්ල පද්දන්න ඕන නිසා මට නින්දක් නැහැ. අනේ සීයා මට අනුකම්පා කරලා මාව මෙහෙන් ගමට අරගෙන යන්න. මට මේක ඉවසන්න බැහැ. මම සීයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්, සීයා වෙනුවෙන් මම සදාකාලිකව දෙවියන්ට යාඥා කරන්නම්, මාව මෙහෙන් අරගෙන ගියේ නැත්නම් මාව මැරිලා යාවි.”

වන්කාගේ දෙතොල් වෙව්ලන්නට විය. දැලි වැකුණු සුරතින් තම දෑස පිස දැමූ ඔහු ඉකියක් මැඩ ගත්තේය. 

“මම සීයාගේ දුම්කුඩු කොටලා දෙන්නම්,” ඔහු තවදුරටත් ලියන්නට විය. “මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. මම වැරද්දක් කළොත් සීයාට පුළුවන් සීඩෝර් ගේ එළුවාට වගේ මට තලන්න. මට රස්සාවක් නැතිව හරියන්නේ නැහැ කියලා සීයාට හිතෙනවා නම් මම ගබඩා කාරයාගෙන්  බැගෑපත් වෙලා ඉල්ලන්නම් එයාගේ බූට්ස් සපත්තු පිරිසිදු කරන්න මට ඉඩ දෙන්න කියලා. එහෙම නැත්නම් මම ෆෙද්කා වෙනුවට එඬේර රස්සාවට යන්නම්. අනේ සීයේ, මෙහෙ කිසිම ජීවිතයක් නැහැ, මට මේක ඉවසන්න බැහැ. මට මෙහෙන් පැනලා ගමට එන්න උවමනා උනත් මට ඒ ගමනට දාන්න බූට්ස් නැහැ, මාව මඟදී සීතලට ගල් වෙයි කියලා මට බයයි. මම ලොකු වුණාම සීයාව බලාගන්න පොරොන්දු වෙනවා, කිසි කෙනෙකුට සීයාට කරදර කරන්න ඉඩ දෙන්නේ නැහැ. සීයා ස්වර්ගස්ථ වුණාම මම දැන් අම්මාගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනවා වගේම සීයා වෙනුවෙනුත් යාඥා කරන්නම්. 

මොස්කව් කියන්නේ ලොකු නගරයක්. බැලූ බැලූ අත තියෙන්නේ ලොකු මහත්තුරුන්ගේ ගෙවල්. ඒ වගේම හැමතැනම අශ්වයෝ ඉන්නවා, හැබැයි බැටළුවෝ නම් නැහැ. මෙහෙ ඉන්න බල්ලෝ නපුරුත් නැහැ. මෙහෙ කොල්ලෝ රංචුව කිසි කෙනෙකුට පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ පළාතේ කඩවල ඕන මාලුවෙක් අල්ලන්න ගැලපෙන බිලී කොකු විකුණන්න තියෙනවා. ඒවා බොහොම හොඳ මට්ටමේ ඒවා, රාත්තල් හතලිහක මාලුවෙක් උනත් ඒවායින් අල්ලන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කඩවල තුවක්කු පවා විකුණන්න තියෙනවා. ඒවා මෙහෙ ලොකු මහත්තයාගේ ළඟ තියෙන තුවක්කු වගෙයි, ඒ නිසා ඒවා එකක් රූබල් සීයක් තරම් මිළ වුණත් මම පුදුම වෙන්නේ නැහැ. මෙහෙ මස් කඩ වල කැලෑ කුකුළෝ, හාවෝ, මාළු එහෙම විකුණන්න තියෙනවා, ඒත් ඒ සත්තු දඩයම් කළේ කොහෙන්ද කියලා කවුරුවත් කියන්නේ නැහැ.

අනේ සීයේ, මහා මන්දිරයේ නත්තල් ගහ සැරසුවාම මට රත්තරන් පාට ගෑව වෝල්නට් එකක් අරන් තියාගන්නවාද? ඒක මගේ කොළ පාට පෙට්ටගමට දාලා තියන්න. ඔල්ගා ඉන්ත්යවේනා පුංචි නෝනාට කියන්න ඒක වන්කා ට කියලා.”

හැඬුම්බර සුසුමක් හෙලූ වන්කා නැවතත් කවුළුවෙන් එපිටට නෙත් යොමු කළේය. හැම වසරකම සීයා තම හාම්පුතා වෙනුවෙන් නත්තල් ගසක් සොයන්නට කැළයට යන අයුරුත් ඒ ගමනට තමන් එකතු වන අයුරුත් ඔහුට සිහි විය. එය කෙතරම් සුන්දර කාලයක්ද! ඒ ගමන් වලදී වනය හිම පතනයෙන් ගුම් දුන් අයුරු, සීයා උගුර පෑදු අයුරු සහ තමන්ගේ සිනා හඬ පවා වන්කා ට ඇසෙනවා සේ විය. තෝරාගත් නත්තල් ගස කපා බිම හෙලීමට පෙර සීයා තම දුම් පයිප්පය උරා, දුම්කුඩු බිඳක් ආශ්වාස කර සීතලෙන් ගල් ව සිටි වන්කා ට  සිනාසෙන්නේය. තුහිනයෙන් වැසුණු තරුණ දේවදාර ගස් සීරුවෙන් සිටින්නේ කපා දැමීමට තෝරාගනු ලබන්නේ තමන්ගේ කවරෙකුදැයි සිතමින් මෙනි. බැලූ බැලූ අත හාවුන් හිම කණ්ඩිවලට ඉහළින් පැන දුවනු පෙනුණේ  ඊතල මෙනි. “ඕකාව අල්ලපන්.. අල්ලපන්.. ආ වලිග කොට යක්ෂ පැටව්!” ඒ වෙලාවට සීයාට මෙසේ කෑ නොගසා සිටින්නට නොහැකි විය. 

නත්තල් ගස කපා ගත් පසු සීයා එය බිම දිගේ ඇදගෙන මන්දිරය වෙතට ගෙනගොස් ඉනික්බිති එය සැරසුවේය.ඒ නිවැසියන් අතරින් වන්කා ගේ ප්‍රියතම සාමාජිකාව වූ ඔල්ගා ඉන්ත්යවේනා ට වසරේ කලබලම කාලය එයයි. වන්කා ගේ මව වන පෙලගේයා මිය යන්නට පෙර, ඈ මන්දිරයේ මෙහෙකාරියක්ව රැකියාව කරද්දී ඔල්ගා වන්කාට නෙක රසකැවිලි දුන්නාය. එමෙන්ම ඈ අලස කම මකාගන්නට ඔහුට ලියන්නට, කියවන්නටත්, සියයට ගණන් කරන්නටත්, නටන්නටත් ඉගැන්වූවාය. පෙලගේයා අන්ත්‍රා වූ පසු වන්කා තම සීයා සමඟ ජීවත් වීමට මෙහෙකරුවන්ගේ මුළුතැන්ගෙය වෙතත් ඉන් ටික කලකට පසු මොස්කව් හි සපතේරුවාගේ නිවසටත් මාරු කෙරිණි.

අනේ සීයේ කොහොම හරි එන්න,” වන්කා දිගටම ලිපිය ලියන්නට විය. “දෙවියන්ගේ නාමෙට මාව මෙතැනින් ගලවා ගන්න. මම වගේ අසරණ අනාථ දරුවෙකුට අනුකම්පා කරන්න. මෙහෙ හැම කෙනෙක්ම මට කරදර කරනවා, මම හැම තිස්සෙම බඩගින්නේ ඉන්නේ, මට පුදුම දුකක් දැනෙන්නේ, මට නිතරම ඇඬෙනවා. ලඟදි දවසක් ලොකු මහත්තයා ගහද්දි මාව බිම ඇදගෙන වැටුණා. මගේ ජීවිතය බල්ලෙකුගේ ජීවිතේටත් අන්තයි… 

සීයේ අල්යෝනාවත්, එකැස් යෙගෝකාවත්, අශ්ව කරත්තකාරයාත් මම මතක් කළා කියන්න. සීයේ මගේ සර්පිනාව කාටවත් දෙන්න එපා. මම නවතිනවා, ඔබේ මුණුබුරා ඉවාන් ශුකොව්. අනේ සීයේ ඉක්මණින් එන්න.”

වන්කා තම ලිපිය ලියූ කඩදාසිය දෙවරක් නවා, පෙර දිනයේදී කොපෙක් එකක් දී මිළදී ගත් ලියුම් කවරයට බහාලූයේය. මඳක් කල්පනා කළ ඔහු පෑන තීන්ත කූඩුවේ ඔබා ලිපිනය ලියන්නට විය. 

ගමේ ඉන්න සීයාට

ඉනික්බිති ඔහු හිස කසමින් මඳක් කල්පනා කර ඊට මෙලෙස එකතු කළේය. 

කොන්ස්ටන්ටින් මාකරිච්

බාධාවකින් තොරව තම ලිපිය ලියාගැනීමට හැකි වීම ගැන සතුටු වූ වන්කා, තම තොප්පිය හිස ලාගෙන, කබාය පළඳින්නට වත් තාවර නොවී, කමිසය පිටින්ම වීදියට දිව ගියේය. 

පෙර දිනයේදී ඔහු මස් වෙළඳ සැලේ සේවකයන්ගෙන් තැපෑල ක්‍රියාත්මක වන ආකාරය විමසා තිබිණි. ලියුම් පෙට්ටි වලට දමන ලද ලියුම්, බේබදු අසරුවන් එළවනු ලබන, සීනු සවිකරන ලද තැපැල් අස් රිය මඟින් ලෝකය පුරාවට රැගෙන යන බව ඔවුහු කීහ. වන්කා කිට්ටුවෙන්ම තිබුණු ලියුම් පෙට්ටිය වෙතට ගොස් එහි විවරය තුළින් තම වටිනා ලියමන ඇතුල් කළේය. 

ඉන් පැයක් ගතවෙද්දී, මිහිරි බලාපොරොත්තු හද පොදි බැඳගෙන ඔහු නිදන්නට විය. ඔහු සිහිනෙන් දුටුවේ ඔහුගේ සීයාවයි. සීයා ගිනි උදුන අසල හිඳගෙන දෙපා පද්දමින් තමන්ගේ ලියමන කියවනවා ඔහු දුටුවේය. සීයාගේ දෙපා අසල, තම වලිගය වනමින් ඊල් වැතිර සිටියේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Vanka’ by Anton Chekov

සිසිල සඟරාව - ජූලි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Image generated by Meta AI


5 comments:

  1. ඒකට නම් හිත පත්තු වුනා

    ReplyDelete
    Replies
    1. දුක සතුට දෙකම දැණුන කතාවක්. හ්ම්..... වැඩවසම්වාදයේ අඳුරු ප්‍රතිඵල.☹️

      Delete
  2. මගේ කතන්දර පිපාසයට වැටිච්ච දිය බිඳක්. Nice x2 .💐

    ReplyDelete
  3. දුකයි , කොර්චගින් කෙනෙක්

    ReplyDelete