June 17, 2025

"ඉතින් මම ඉන්නවා..."




මෑතක ජනප්‍රිය වුණු සනුක වික්‍රමසිංහ ගේ 'ඉතින් මම ඉන්නවා' ගීතය අහන්නත් දකින්නත් ලැබුණු නිසා ඒ ගැන පුංචි සටහනක් හිතුණා. 

සනුකගේ සින්දුවක් මම 'හරියට' ඇහුව පළවෙනි වතාව මේක. මේ සින්දුවේ පද, තනු සහ ගායනය තුනම සනුකගෙන්. ඒක සුවිශේෂී දක්ෂකමක්. මොකද ඒ වචන බොහොම හැඟීම්බරයි, ඒ වගේම ලගන්නාසුළුයි. තනුවත්, හඬත් ඊටම ගැලපෙනවා.

අලුතෙන් නිකුත් වෙන සින්දුවලට අරුත්බර visual එකක් එකතු කරන එක මෑත කාලේදී ඇතිවෙලා තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක්. පහුගිය කාලේ ජනප්‍රිය වුණු සින්දු කීපයක්ම මේ ක්‍රමය අනුගමනය කරලා තිබුණා. සමහර වෙලාවට සින්දුවේ පද යටපත් වෙන තරමට රූප රාමු ප්‍රබල වුණු අවස්ථා නැත්තෙත් නැහැ. අද කාලේ visual එකක් නැතිව සින්දුවක් මාකට් කරගන්න බැරිවත් ඇති. 

මේ සින්දුවටත් බොහොම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු කරගෙන කළ visual එකක් තියෙන්නේ. පාසල් දැරියක් තරුණ ගුරුවරයෙක් ගැන හිතේ ඇතිවුණු අහිංසක crush එකක් සහ නොහිතූ විදිහට ඒක නිසා ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් මේ සින්දුවේ පුංචි ඉඩේ දී පෙන්නනවා. ඒ වගේම ඒ තරුණ ගුරුවරයා ඒ ප්‍රශ්නය ඇතිවෙන්න කළින් ඉඳන්ම anxiety, panic attacks වගේ දේවල් වලට ලක් වෙන කෙනෙක් බවත් බොහොම සියුම් ව පෙන්නනවා. පුංචි සිද්ධියක් නිසා මහා විනාසයක් වෙන්න පුළුවන් හැටි, ජීවිත පවා විනාස වෙන්න පුළුවන් හැටි හැබෑම දක්ෂයෝ ටිකක් එකතු වෙලා අපූරු නිර්මාණයකට එකතු කරලා. ධනුෂ්ක ඩයස්, කුෂන්‍යා ෆොන්සේකා, චන්ද්‍රලේඛා පෙරේරා රංගනයෙන් දායක වෙන මේ visual එක උසස් මට්ටමක වැඩක් බවට විවාදයක් නැහැ.

දැන් මේ ටික තමයි ඒ සින්දුව ගැන unpopular opinion වර්ගයට වැටෙන මගේ අදහස. මට නම් සින්දුවක වචන- තනුව- හඬ තමයි වැදගත්ම. visuals ඕනෑම නැහැ. සින්දුවේ පද වලට visual එකකින් බලෙන් අර්ථකථනයක් ඔබ්බනවට මගේ නම් වැඩි මනාපයක් නැහැ. මේ සින්දුවේ පද බොහොම හිත කම්පනය කරන සුළුයි, ඒ වගේම අනන්‍යයි. ඒවාට පවතින්න, ප්‍රසිද්ධ වෙන්න රූප රාමු අත්‍යවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස.

තමන් ආදරෙන් ඇදහූ රුවත්, හිතේ රැව් දුන්නු හඬත් නොඇසෙන නොපෙනෙන මානෙක ඉන්න වීම කෙනෙකුට කරන්න වෙන අමාරුම දෙයක් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වගේ දුෂ්කර දේවල් වලින් අපිට ගැලවීමක් නැහැ. 

අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ

අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ



//සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ// මේකත් මේ පද අතරේ තියෙන බොහොම සිත රිදවනසුළු කාරණාවක්. ලෝකයේ තියෙන සදාකාලික පෙම් කතා අතරේ සමහර අයගේ කතන්දර වටිනාකමක් නොලබාම මැකිලා යනවා. ඒත් ඊට සම්බන්ධ අයගේ රිදුම නොවෙනස් ව පවතිනවා. //නුඹේ සුවඳින් පිරී හසරේ හඹා එමි හැම භවේ සසරේ// අන්තිමට ඉතුරුවෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් විතරයි.

visual එක කොයිතරම් ලස්සන වුනත් මම නම් මේ සින්දුව අහන්න කැමති රූප රාමු නැතිව. සනුක ගේ පද, තනු වගේම හඬ හොඳටම හිතට දැනෙන්නේ එතකොටයි. මේ සින්දුවේ තරමක 'රූකාන්තමය' ලක්ෂණ තියෙන බවට සනුකට පොඩි චෝදනාවක් කරලා තියෙනවාත් මම කොහේ හරි දැක්කා. එහෙම බවක් නම් ගීතය අහද්දී දැනෙනවා තමයි. ඒත් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ. එකිනෙකා ඇසුරේ ඉන්දැද්දී නිර්මාණකරුවෝ එකිනෙකාගේ ආභාෂය ලබන එක සාමාන්‍ය දෙයක්. කොහොම කළත් සනුකත්, රූකාන්ත ත් දෙන්නෙක් මිසක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ, ඒ වගේම මේකට සනුකට රූකාන්තගේ ආශිර්වාදය ලැබුණු බව පැහැදිලියි.

හිත කම්පනය කරන්න පුළුවන් සින්දු වලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මේ සින්දුවත් අනිවාර්යයෙන් ඒ වර්ගයට අයිති වෙනවා.
.
.
.

සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නෑසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
.
.
.

ඉතින් මම ඉන්නවා
Lyrics - Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production - Sanuka Wickramasinghe
Mix & Master - Sanuka Wickramasinghe
Music Video Created by Chamil Pathirana

15 comments:

  1. සිංදුව වගේම වීඩියෝවත් බොහොම ඉහලයි. සම්පූර්ණ කතාවක් එතන තියනවා. විචාරය හොඳ නිසයි බැලුවෙ, ඒක ගැන සතුටුයි.👌

    ReplyDelete
    Replies
    1. බස්සා, ඇත්තටම ඒක රස විඳින්න පුළුවන් නිර්මාණයක් නේද?

      Delete
  2. හොඳ උත්සහයක් අරන් තියෙනව... ලස්සන වැඩක් කරන්න. වීඩියෝවත් මරු!

    ReplyDelete
    Replies
    1. නමි- ඔව් දැන් කාලේ අලුතින් එන හැම සින්දුවකටම ආසා හිතෙන්නේ නැහැ, මේකට නම් කැමැත්තක් දැනුණා.

      Delete
  3. කමෙන්ට් එක දාන්න කලින් සිංදුව බලලා එන්න ගියා. අන්තිමට තුන් පාරක්ම බැලුවා. සනුක අති දක්ශයෙක්! ඒ වගේම විඩියෝ එක ඉතාම සියුම් නිර්මාණයක්.

    සිංදුවෙ මම කැමතිම කොටස "අනේ මං ආදරෙන් නැහැවූ-හදින් රුහිරේ ගලා වැගිරූ".

    "සින්දුවේ පද වලට visual එකකින් බලෙන් අර්ථකථනයක් ඔබ්බනවට මගේ නම් වැඩි මනාපයක් නැහැ" ඔව්, මලී එක්ක එකඟයි. උදාහරණයක් විදිහට මගෙත් එක අත්දැකීමක් තියෙනවා; කාන්චනා අනුරාධි සහ දිනේශ් ගමගේ කියන "දැනෙනා තුරු මා" සිංදුව මුලින්ම visual එකත් එක්ක බැලුවට මට නම් කිසිම හැඟීමක් ඇති වුනේ නෑ. (එතකොට ඒ විඩියෝ එක මිලියන ගාණක් views). ටික කාලෙකට පස්සෙ ඒ සිංදුව සාමාන්‍ය චැට් ෂෝ එකක කාංචනා හා දිනේශ් කියන විඩියෝ එකක් අහම්බෙන් බලලා, කාංචනා ඒ සිංදුවට දෙන හැඟීම දැකලා මට පුදුම විදිහට සිංදුවට ආසා හිතුණා. ඒ වගේම කාංචනා සහ කසුන් ප්‍රසංගයක කියපු "සීතල පින්නේ" (මුල් ගායනය මාලිනි බුලත්සිංහල සහ ෂර්ලි වෛජයන්ත්) සිංදුවට මිලියන හයකටත් වඩා වීව්ස් තියෙනවා මම දැක්කා. චන්දන ලියනාරච්චි, එඩ්වඩ් ජයකොඩිගෙ නිහඬ කල්පනා සිංදුව කියන විඩියෝ එකට මිලියනයකට වඩා වීව්ස් තියෙනවා. සමහර ගායක ගායිකාවන්ට visuals ඕනෙ නෑ; they themselves are art.

    ReplyDelete
  4. කලින් කමෙන්ට් එක දිග වැඩි වුන නිසා තව එකක් දාන්නෙ, මලී visuals ගැන කතා කරපු නිසා මම ලඟදි දැකපු visuals නිසා සිංදුවට ලොකු හානියක් වෙලා නෑ කියලා හිතුනු විඩියෝ දෙකක් ගැන කියන්න. එකක් සුපුන් පෙරේරා කියන "මුලු ලොවම නැති වුණත්" (ටී එම් ජයරත්න මුල් ගායනය) සහ තිවංක මිහිරාන් ගායනා කරන "පිපුනු මලක හැඩ" (ශාලිත අබේවික්‍රමගෙ මුල් ගායනය).

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් සමහර නිර්මාණ කරුවන්ට, නිර්මාණ වලට visuals ඕන නැති එක හරි. සමහර වේලාවට පොතක් ඇසුරෙන් හදපු ෆිල්ම් එකක් බලද්දී අපි disappoint වෙන්නේ අපේ හිතේ ඇඳෙන දේට ඒ බලෙන් පෙන්වන දේවල් සමපාත නොවෙන නිසා වෙන්න ඇති.
      මේ ළඟදී මම දැක්කා visual එකෙන් over power වුණු සින්දුවක්. සශිකා නිසංසලා ගේ 'හිතක් පපුවක් නැද්ද' කියන සින්දුව. රූප රාමු දිහා බලාගෙන හිටියා මිසක් සින්දුවේ මොනවද කිව්වේ කියලවත් මතක නැහැ :D

      Delete
  5. හෙල්මලී ඔත්තුවට ස්තූතියි. ලස්සන සිංදුවක්. වීඩියෝ එකත් ගැලපෙනවා වගේ. සංජීව ගේ අමු සිංදු ඇහුවෙත් ඔබේ සටහනක් නිසා තමයි.

    ReplyDelete
    Replies
    1. පිටරට ඉන්න අපිට අලුත් සිංහල සින්දු මිස් වෙනවා නේද අනුරුද්ධ? සමහර ඒවා අපි දන්නේ අවුරුදු ගානක් ගියාම! මේකත් මම අහම්බෙන් දැක්කේ. ඊටපස්සේ සෑහෙන්න වාරයක් ඇහුවා. :)

      Delete
  6. දැන් මේ ගීතයේ ජනප්‍රිය වීම බොහෝ දුරට visual එක මතයි වෙන්නේ. ඔයා කියනවා වගේ මමත් ඇත්තෙන්ම පුරුදු වෙලා ඉන්නේ ගීතය අනුව පුද්ගල බද්ධ චිත්ත රූප වලට.

    ReplyDelete
    Replies
    1. ඔව්, ලස්සන, අරුත්බර, සිදුවට ගැලපෙන visuals එකක් නම් කමක් නැහැ, සමහර සින්දු වලට තියෙන්නේ මෙලෝ රහක් නැති රූප රාමු. සින්දුවත් අපරාදේ එතකොට. :\

      Delete