May 31, 2024

මනමාලයා

 


ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයෙකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැලීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.

හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැලෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුනහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ල වලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.

“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”

“අද?”

“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”

“කවුද?”

“මගේ මාමා…”

“කවුද උඹේ මාමා?”

“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”

මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනෙකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.

ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”

“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”

“එයා කොයි වගේද?”

“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.

“එයාගේ හම මොන පාට ද?”

“සුදු ම සුදුයි.”

“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”

දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.

“එයා ලස්සන ද?”

“ඔව්, ඔව්, එයා ලස්සනයි.”

දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.

“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවාද?”

“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.

“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.”අසල සිටින කෙනෙක් මෙය පැහැදිලි කරති.

ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.

ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවෙකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිලුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනෙකුටම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.

මතක ඇති කාලයක පටන් තුන්වන වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.

වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයෙකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.

දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.

“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”

“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.

“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”

“ඔව්, ඔව්”

“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”

දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවනකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වේලී ගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැළඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.

හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.

“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”

“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.

ඊළඟ හවස් වරුවේ ත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු ව පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම් කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුලු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු ව දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.

දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.

“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.

බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.

ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශණ හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.

“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”

“මොකක්ද උඹ කියන්නේ?”

“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.

ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවෙකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි ව පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත් හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.

“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.

නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.

“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.

නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි ව වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුලින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.

“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු ව කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනෙකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහුව පරක් කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනෙකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියෙකු ලෙසිනි, ගම පුරා සැනෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.

වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනෙකු දාසි ව හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි.වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීන් පැමිණ දාසි ව යටත් කරගන්නා ලදී.

ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහුව මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහුව පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු ව කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුනොත් ඊට අවස්තාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිලිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිට තිබිණි.

Translation of the short story Dasi the Bridegroom by R. K Narayan

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව- ජුනි 2024 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Picture generated by Canva AI

May 29, 2024

පොත්, කවර සහ සටහන්

අභ්‍යාස පොත් සහ ඒ පොත්වල ලීව සටහන් ගැන ලියවුණු විස්තරයක් දැකලා ඇවිස්සුණු මතකයක් මේක. 

පුංචිම කාලේ නම් අපේ අභ්‍යාස පොත් වලට පිටකවර දැම්මෙත් අපේ නම් ලිව්වේත් තාත්තා. තාත්තාගේ ලස්සන රවුම් අකුරු වලින් අපේ පොත් හැඩ වුණා. ටිකක් ලොකු වෙද්දී මගේ පොත් වලට පිටකවරත් ඉටි කොළත් දාන එක මම ම කරන්න ගත්තේ ඒක මම හරිම කැමති වැඩක් නිසා. ඒ කාලේ පොත් වලට දැම්මේ බ්‍රවුන් පේපර්. මේවා එන්නේ රෝල්වල. ඉටි කොළත් එහෙමයි. පොත් වලට බ්‍රවුන් පේපර් කවරයක් දාලා කවරේ මැද්දේ ලස්සන පින්තූරයකුත් අලවනවා. ගොඩාක් ළමයි මෙහෙම ඇලෙව්වේ වෙසක් කාඩ්. වෙසක් එකට වෙසක් කාඩ් තොග ගණන් හුවමාරු වුන නිසා හැමෝටම ඒවා තිබුණා. ඒ කාලේ අපේ තාත්තා රැකියාව කළේ සේෂෙල්ස් වල. ඊට කලින් අවුරුදු කීපයක්ම අපිත් එහෙ ඉඳලා ඒ වෙද්දී අක්කලාත් අම්මාත් මාත් ලංකාවට ඇවිත් හිටියේ. ඒ වගේම අපි නිවාඩු කාලවලට නිතර එහෙ ගියා. ඒ නිසා මගේ ළඟ 'පිටරට දේවල්' තිබුණා. ඒ කාලේ Mr Men and Little Miss කියලා cartoon එකක් තිබුණා. ඒකෙ පාට පාට චරිත ඉන්න ලොකු පෝස්ටර් එකක් මට හම්බවෙන්න ඇත්තේ මේ ගමනකදී වෙන්න ඕන. ඉන් පස්සේ කාලයක්ම මගේ පොත් වල කවරේ අලවන පින්තූරය අනිවාර්යෙන් Mr Men නැත්නම් Little Miss කෙනෙක් වුණේ ඒ පෝස්ටරේ එයාලා සිය දෙනෙක් විතර හිටිය නිසා! මේ වයසට අනිත් ළමයි නොකරන දේවල් කරන්න පොඩි ආසාවක් තියෙනවනේ කොහොමත්.

තව කාලයක් ගත වෙද්දී පොත් වලට කවර, ඉටිකොළ දැම්මත් ඉස්සරහ කවරේ නම නොලියා ඇතුල්පිටේ නම ලියන්න අපි පටන් ගත්තා. එක තමයි ඒ කාලේ 'ලොකු ළමයි කරන විදිහ.' ඒ වගේම රුවන් වැකියක්, සින්දුවක කෑල්ලක් එහෙමත් ඒ පිටුවේ ලිව්වා. ඒ කාලෙම තීන්ත පෑනෙන් සටහන් ලියන්නත් ලස්සනට පිළිවෙලට මාතෘකා වෙන්කරලා ඡේද බෙදලා ලියන්නත් පටන් ගත්තා මතකයි. තීන්ත පෑනෙන් ලියද්දි වේගයෙන් ලියන්න අමාරු වුණත් එහෙමයි කියලා අපි ඒ ට්‍රෙන්ඩ් එක අත් ඇරියේ නැහැ. මට මතක හැටියට පරණ National Geographic වගේ සඟරා වල ලස්සනම ලස්සන භූමි දර්ශන වලින් මම මේ කාලේ පොත් වලට කවර දැම්මා. මේ සඟරා වල පිටු පාවිච්චි කරන්න නම් පිටු දෙකක් සඟරාවෙන් පරෙස්සමෙන් ඉරලා මැදින් අලවාගන්න ඕන. මූට්ටු නොපෙනෙන්න මෙහෙම අලවාගන්න එකත් එක්තරා කලාවක්!

තවත් කාලයක් ගතවෙලා උසස් පෙළ කාලේ එළඹුණා. මම වාණිජ විෂයන් කළ නිසා ගිණුම්කරණයට ලොකු CR පොතක් ගෙනියන එක අනිවාර්ය වුණා. මේ කාලේ තමයි අපේ පොත් වල කවර දැමීමේ peak එක කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙද්දී බස් වල ටියුෂන් එහෙම ගිය නිසා පොත් වලට කවර දැම්මේ පොතේ ආරක්ෂාවටත් වඩා අනිත් අයට පේන්නත් එක්ක! මේකට හොඳම උදාහරණය තමයි අර ලොකු CR පොත් වලට තනි සුදු පිටකවරයක් දාලා පිටිපස්සේ කවරේට ලස්සන කලාත්මක කළු සුදු පින්තුරයක් වගේ අලවන එක. මෙහෙම කළේ බස් වල පොත් අතේ අරගෙන යද්දී පිටට පේන්නේ පිටිපස්සේ කවරේ නිසා යි. අනේ ඉතින් අපි මේ තරම් මහන්සි වෙලා කවර දැම්ම පොත් දිහා කවුරුවත් බැලුවද දන්නෙත් නැහැ, අපි හිතුවේ බැලුවාම කියලා තමයි!

කැම්පස් යද්දිත් මම නම් සටහන් ලිව්වේ පොත් වලමයි. කොළ වල ලියන එක මට හරි ගියේම නැහැ. සම්පූර්ණ සටහනම එක ළඟ පෙරළලා බලන්න පුලුවන් විදිහට තියෙන්න ඕන එක මගේ පිස්සුවක් වුණා. පාට පාට පෑන් වලින් ඉරි ඇඳලා, ඊතල ගහලා වැඩ දාලා තමයි මම සටහන් ලිව්වේ. මීට අමතරව මට වේගයෙන් ලියන්න පුළුවන් නිසා මගේ සටහන් බොහෝ වෙලාවට සම්පූර්ණ මට්ටමේ තිබුණා. ඒ නිසා මගේ සටහන් පොත් වලට මගේ බැච් එකේ සගයන්ගෙන් හරි ඉල්ලුමක් තිබුණා. අපි එකතුවෙලා ජපුර කැම්පස් එක ඉස්සරහා ෆොටෝ කොපි කඩ කීපයකටම අඛණ්ඩ බිස්නස් දුන්නා!

ඉතින් මෙහෙම කිව්වට ආසාවට, සිහිවටනයක් හැටියට මේ එක සටහන් පොතක්වත් ළඟ නැහැ. ඉස්කෝලේ කාලේ සටහන් පොත් වලට නම් වෙච්ච දෙයක් මතක නැහැ. ඒ ලෙවල් කාලේ පොත් නම් නෝට්ස් හොයපු වෙන ළමයින්ට දුන්නා වගෙත් මතකයි. කැම්පස් එකේ සටහන් ටික නම් අවුට් වෙලා ගෙදර අරගෙන ගියාට මම මුලින්ම ගිය රස්සාවේදී අහම්බෙන් හම්බවුණ ජුනියර් බැච් එකේ මිතුරෙකුට ඒ ඔක්කොම අනෙත් පැත්තට ගිහින් දුන්නා. ඒ නිසා ඒවාත් නැහැ. කොහොමත් ඉතින් රටකින් රටකට සංක්‍රමණය වෙද්දී ඉස්සර ලීව පොත් වගේ සිහිවටන අරගෙන යන එක කෙරෙන්නේ නැහැනේ.

දැන් මම දකින්නේ පුතා සටහන් ලියන හැටි. එයාලාගේ සටහන් නම් පොත්වලත් ඩිජිටලිත් තියෙනවා. මම කියලාවත් නැතිව පුතා මම ඉස්සර කළ විදිහට පාට පාටින් මාතෘකා ලියලා, සාරාංශ වෙනම හයිලයිට් කරලා පිළිවෙලට රූපසටහන් ඇඳලා ලියන සටහන් දකිද්දී ඉබේම හිත අතීතෙට දුවනවා. ඉතින් සිහිවටන හැටියට මගේ සටහන් පොත් නැතත් කමක් නැහැ කියලා ඒවා දැක්කාම හිතෙනවා.

පින්තූරය - මගේ ළඟ පොත් නැහැ කියලා හිතුවට පොත් දෙකක් තිබුණා. මම කලින් විස්තර කළ විදිහට ලස්සනට කවර දාලා සටහන් ලීව ඒවා නෙමෙයි. එකක් මම බාලාංශේ වගේ කාලේ ගෙදරදී අකුරු පුරුදු වෙන්න අම්මා ලියෙව්ව පොතක් වෙන්න ඕන. මේක අම්මලා මහගෙදර අස්කරලා ඕස්ට්‍රේලියාවට එද්දී ගෙනාව බඩු අතරේ තිබුණේ. අනිත් එක අපි ශිෂ්‍ය නායිකා තනතුරු දැරුව අවුරුද්දේ දේවි බාලිකාවේ ශිෂ්‍ය නායිකා රැස්වීම් වල වාර්තා මම ලීව පොත. ඒ පොතටත් කවරයක් දාලා පින්තූරයක් එහෙම අලවලා! කොහොමින් කොහොමින් හරි මගේ සටහන් පොත් නැතත්, දශක කීපයක් පරණ මේ පොත් දෙක තාම මගේ ළඟ තියෙනවා. 
දෙවෙනි පින්තූරේ ලොකු අක්කාගේ. ඒ පොත්වල කවරේ තියෙන්නේ තාත්තාගේ අකුරු.

               





May 23, 2024

AI සින්දු - ඉතින් නාඬන්න

 කවුද හිතුවේ අපි ලියන කවි, සින්දු කරන්න පුළුවන් දවසක් ඒවි කියලා! මේ suno ai හාස්කම්!





May 20, 2024

පත්‍ර

ගිලිහුණු පත්‍රයක අත බලා
අනාවැකිකරු සාස්තරයක් කියයි

‘එන්න මා ඔබ සැම එක් රැස් කරන්නම්,
අප සැම එක්ව ගිනි ගොඩකින් දුමක් මවමු’ රේක්කය කියයි

මූට්ටු ගෙත්තමක් වැනි මේ වනයේ
සර සර හඬැති පත්‍ර පොරෝණය මත අපි වැතිර හිඳිමු

ගිලිහෙන පත්‍රයක නටුව
මාලිමාවක තියුණු කටුව සේ කැරකී
උතුර සොයයි

දරුවා දැක දෙමව්පියන් හැඳිනීම-
පොප්ලර් කහ පැහැතිය, ඩෝග්වුඩ් රත් පැහැතිය

‘පසුතැවිල්ලේ පැහැය කුමක්ද?’
විලෝ ගස විමසයි

අප ද කෙදිනක හෝ පොහොර වන්නට නියමිතයි
එන්න, මේ ෂෙරී පැහැති කාලගුණයෙන් මත් වන්න

‘මම දෙවියන්ගේ නාස් පුඩු කිතිකවමි’
ගිනි ගොඩින් නැගෙන දුම කියයි.

‘අනාගතයේදී
සුදු පැහැති, පත්‍ර හැඩති යමක්
වෙව්ලමින් ඇදහැලෙනු ඇත,
නමුත් ඉන් ඔබ්බෙහි ඇත්තේ හරිත පැහැයයි’
අනාවැකිකරු කියයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Leaves' by Linda Pastan

Photo- Autumn beauty of a Chinese Pistache tree in Burwood, Vic


May 17, 2024

අත් හැරීම

අප ප්‍රතිරෝධය පාන දේ අප ව හඹා එයි. 
අප හඹා යන දේ අප ට ප්‍රතිරෝධය පායි. 
නිදහස ඇත්තේ අත් හැරීමෙහි ය.

translation of a quote by unknown author

Digital art




May 10, 2024

Mohsin Hamidගේ පොත්



මම Mohsin Hamid ගේ පොත් කියවන්න පටන් ගත්තේ බොහොම අහම්බෙන්.  මීට අවුරුදු දහයකටත් වැඩිය කලින් මම වැඩ කරපු ඉස්කෝලෙක උසස්පෙළ පන්තියේ ඉංග්‍රීසි විෂයට නිර්දේශ කරලා තිබුණේ  Mohsin Hamid ගේ The Reluctant Fundamentalist කියන පොත. (ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලවල එක එක ශ්‍රේණි වල මේ විදිහට පාවිච්චි කරන්නේ කොයි පොත් ද කියන එක තීරණය කරන්නේ ඉස්කෝලවලින්) දවසක් ඉංග්‍රීසි උගන්නන ගුරුවරියක් එක්ක කතාවක් දාගෙන ඉන්දැද්දී ඈ මේ පොත ඉහළින් වර්ණනා කරලා ඒක කියවන්න මට උනන්දු කළා. ඒත් මම කියවන්න ගත්තාම ඒක බොහොම heavy කියවීමක් කියලා මට දැනුණා. කතාව හොඳ වුණාට කියවීම වෙහෙසකරයි. ඒත් අර ගුරුවරියගේ රෙකමදාරුව අහක දාන්නත් බැරි නිසා මම මේ ගැටලුවට පිළියමක් හොයාගත්තා. ඒ තමයි ඒ පොතේ audio book එක අහපු එක. ඒ කාලේ මට වැඩට යන්න පැයකට ටිකක් අඩු කාලයක් ගත වුණු නිසා වාහනේදී අහලා දවස් කීපයකින් ඒ පොත ඉවර කරන්න මට පුළුවන් වුණා. ඇත්තටම ඒක බොහොම රසවත් පොතක්. කෝපි හලක දෙන්නෙක් අතර ඇතිවෙන කතාබහකට මුළු කතාවම කැටි කර ගත්ත, ඒත් දේශපාලනය, ආදරය, විප්ලව මිශ්‍ර වුණු අමුතුම ආරේ කතාවක්. 

මෙහෙම Mohsin Hamid ව අඳුනාගත්තට පස්සේ මම එයාගේ පොත් හොයන්න පටන් ගත්තා. ඊළඟට මම හම්බවුණේ එයා ලීව පලවෙනි පොත, Moth Smoke. මේක නම් කලින් පොත ට වඩා ලේසියෙන් රස විඳින්න පුළුවන් වර්ගයේ එකක් වුණා. ඉන්පස්සේ  Mohsin Hamid ගේ Exit West පොතත් මෑත කාලෙකThe Last White Man පොතත් මට කියවන්න ලැබුණා. මේ හැම එකම අතරින් මගේ වැඩියෙන්ම හිත ගත්තේ Moth Smoke පොත  කියලා කියන්න පුළුවන්.

Mohsin Hamid ගේ විශේෂත්වය තමයි එයාගේ ලියවිලි වලට නිමිති වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අත්දැකීම් පරාසයෙන් පිට ඒවා වීම. උදාහරණ හැටියට ගත්තොත් Exit West පොත තරමක ෆැන්ටසි වර්ගයේ එකක්. ඒකෙ සිවිල් යුද්ධයක් නිසා පීඩාවට පත් දෙන්නෙක් ඉන් මිදෙන්න මායාමය දොරවල් පාවිච්චි කරලා ලෝකයේ වෙනත් තැනකට යන හැටිත්, එහෙම යද්දී ඇතිවෙන විවිධ හැල හැප්පිලි ගැන ලියවුණු එකක්. The Last White Man පොතේ ප්‍රධාන චරිතය තමන්ගේ හම එකපාරටම දුඹුරු වීම නිසා ඇතිවන සමාජමය ගැටළු වලට මුහුණ දීම ගැන කියවෙනවා.  ඉතාම අසාමාන්‍ය සිදුවීමක් සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරන්න Mohsin Hamid දක්ෂයෙක්. මුලදී එයාගේ පොත් කියවද්දී මට අපහසුවක් දැනුණේ ඇයි කියලා මට තේරුණේ මෑත කාලෙක. ඒ Mohsin Hamid වාක්‍ය බෙදිල්ලට වැඩි උනන්දුවක් නැති කෙනෙක් නිසා වෙන්න ඕන. එයා ලියන සමහර වාක්‍ය ඡේදයක් තරම් දිගයි! 

Mohsin Hamid (1971) ඉංග්‍රීසි- පකිස්තානි සම්භවයක් ඇති ලේඛකයෙක්. පකිස්තානයේත් ඇමෙරිකාවෙත් අධ්‍යාපනය ලැබුව ඔහු වෘත්තියෙන් නීතිඥයෙක් වගේම ව්‍යවසාය උපදේශකවරයෙක්. 


“The poets say some moths will do anything out of love for a flame

The moth takes off again, and we both step back, because he's circling at eye level now and seems to have lost rudder control, smacking into the wall on each round. He circles lower and lower, spinning around the candle in tighter revolutions, like a soap sud over an open drain. A few times he seems to touch the flame, but dances off unhurt.

Then he ignites like a ball of hair, curling into an oily puff of fumes with a hiss. The candle flame flickers and dims for a moment, then burns as bright as before.

Moth Smoke Lingers.”

― Mohsin Hamid, Moth Smoke



May 07, 2024

පෙම් කරද්දී

පෙම් කරද්දී
මා කාලයට අධිපති යැයි හැඟෙයි මට
මුළු ලොවම මගේ වී ඇත
මගේ අසු පිට නැඟී
හිරු තුළට වුව යා හැකි බව දැනේ

පෙම් කරද්දී
පියවි දෑසට නොපෙනෙන
ද්‍රව ආලෝකයකි මා
පිටු මත ලියැවෙන මගේ කවි
යායට පිපුණු පොපී හා මිමෝසා මල් මෙනි

පෙම් කරද්දී
සිහිල් දිය ගලයි මා අතැඟිලි අගින්
දිව’ග තණ පලසකි
මා කාලයේ රීතියෙන් පිටත ය

පෙම් කරද්දී මා
තුරු පෙළ දිව එයි මා වෙත
නිරුවත් දෙපයින් යුතුව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘When I love’ by Nizar Qabbani


සිරියානු ජාතික කවියෙකු වන Nizar Qabbani වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර රටවල් කිහිපයකම රාජ්‍ය දූතයෙකු ලෙසද සේවය කර තිබේ. ශෘංගාරාත්මක පෙම් කවි ලිවීමට ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

ලන්ඩන් කවි 2024 මැයි කලාපය 

Digital painting



May 01, 2024

ශ්‍රෙඩ්නි වෂ්තාර්




දස වියැති කොන්රඩින් තව පස් වසරක් වත් ජීවත් නොවන බවට දොස්තර මහතා විසින් තම වෘත්තීමය අනාවැකිය පළ කර තිබිණි. ඒ දොස්තරවරයා නෝන්ජල්, දුර්වලයෙකු වූ නිසා ඒ අදහස එතරම් වැදගත් ලෙස ගණන් ගැනුණේ නැතත් ද රොප් මහත්මිය විසින් එය අනුමත කළ නිසා ඊට වැදගත්කමක් ලැබුණි. ද රොප් මහත්මිය කොන්රඩින්ගේ ඥාතිවරියකු මෙන්ම භාරකාරිය ද වූවා ය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ සමස්තයෙන් පහෙන් තුනක පංගුවක් වූ කරදරකාරී එහෙත් අත්‍යවශ්‍ය යතාර්ථය ඈ විසින් නියෝජනය කරන බවයි. මීට සම්පූර්ණයෙන්ම පටහැනි වූ ඉතිරි පහෙන් දෙකට අයත් වූයේ ඔහුත්, ඔහුගේ විචිත්‍රවත් පරිකල්පනයත් ය. කවදා හෝ දිනක ලෙඩරෝග, අනවශ්‍ය ප්‍රවේසම් කිරීම් සහ උදාසීන ඒකාකාරී බව ආදී කරදරයන්ට තමන්ට නතු වීමට සිදුවනු ඇති බව කොන්රඩින් කල්පනා කළේ ය. නමුත් තනිකම විසින් බොහෝ විචිත්‍රවත් කර තිබුණු ඔහුගේ පරිකල්පනය නොවිණි නම් මේ වෙද්දීත් මේවාට ඔහු යටත් වී බොහෝ කල් වනු ඇත. 

තමන් කොන්රඩින්ට අකමැති බව ද රොප් මහත්මිය විසින් තමන්ගේ අවංකම මොහොතක පවා පාපොච්චාරණය නොකරන්නට ඉඩ තිබිණි. නමුත් ‘ඔහුගේම හොඳට’ ඔහුගේ ක්‍රියාවන්ට බාධා පැමිණවීම තමන්ට කරදරයක් සේ නොදැනුණු බව නම් ඇයට යන්තමින් තේරුණා විය හැක. කොන්රඩින් නම් ඇයට ඍජුවම ද්වේෂ කළ අතර ඒ හැඟීම ඉතා සාර්ථක ලෙස වසන් කරගැනීමට ද ඔහුට හැකියාව තිබිණි. තමන් වෙනුවෙන් වෙන් කර ගෙන තිබුණු කුඩා සතුටු ක්‍රියාකාරකම් වලින් ඔහුට දැනුණු ප්‍රීතිය දෙගුණ වූයේ ඒවා තම භාරකාරිය අනුමත නොකරන ඒවා වීමට ඉඩ ඇති බව දත් බැවිණි. ඔහුගේ පරිකල්පිත ලෝකයට නම් ඇතුළු වීමට ඇයට තහනම් ව තිබුණේ ඈ කිල්ලකට අසුවූ කෙනෙකු ලෙසින් ය. 

කිසිම අලංකාරයක් නොමැති ගෙවත්ත වෙත ඒ නිවසේ කවුළු බොහෝ ප්‍රමාණයක් විවර විය. නිතරම මේ කවුළු වෙතින් විවධ දේවල් නොකරන ලෙසත්, බෙහෙත් වෙලාව එළඹී ඇති බවත් කියමින් පණිවිඩ නිකුත් වූ නිසා ඔහුට ඒ ගෙවත්තේ කිසිම ආකර්ෂණයක් තිබුණේ නැත. එහි වූ පලතුරු ගස් කීපයත් ඉරිසියාකාර ලෙසින් ඔහුට තහනම් කර තිබුණේ ඒවා කතරක කලාතුරකින් පැලවන දුර්ලභ වර්ගවල ගස් වූ ලෙසිණි. නමුත් ඒ ගස්වල වසරක හට ගත් සම්පූර්ණ පලදාව ම සිලින් දහයකට මිළදී ගැන්මට කැමති භෝග වෙළෙන්දෙක් සොයාගැනීම දුෂ්කර වන්නටත් ඉඩ තිබිණි. මේ ගෙවත්තේ අමතක කර දමනු ලැබූ කෙළවරක, අඳුරු ගහකොළින් වසන් වී, පාවිච්චියට නොගත්, තරමක ඉඩ ඇති මෙවලම් මඩුවක් විය. මෙහි බිත්ති හතර ඇතුළත කොන්රඩින් පුංචි කෙම්බිමක් සොයා ගෙන තිබුණු අතර එය ඔහුට ඇතැම්විට සෙල්ලම්පිටියක්ද ඇතැම්විට දේවස්ථානයක් ද වැනි විය. ඔහුගේ මේ රජදහන ඔහු විසින් ජනාවාස කරගෙන තිබුණේ සුපුරුදු භූතයන් පිරිසකගේ සහයෙනි. මොවුහු ඉතිහාස කතාවලින් සහ කොන්රඩින්ගේ මනසින් උපන්නන් වූහ. 

මොවුන්ට අමතරව මෙහි ජීවමාන පදිංචිකරුවන් දෙදෙනෙකු ද විය. මඩුවේ එක් කෙළවරක තරමක් අවුල් වී වැරහැලි වූ පිහාටු සහිත හුඩාන් වර්ගයේ කිකිලියකු වාසය කළ අතර කොලුවා විසින් ඌට තදින්ම ආදරය පෑවේ ඔහුට ආදරය දෙන්නට වෙන කිසිවෙකු නොසිටි බැවිණි. මීට අමතරව මඩුවේ අඳුරු කොටසේ විශාල කූඩුවක් විය. කොටස් දෙකකට බෙදුණු මෙහි ඉදිරිපස කොටසේ ලං ලං ව යකඩ කූරු තිබිණි. මෙහි විසුවේ උගුඩුවෙකුගේ පෙනුමැති විශාල මුගටියෙකි. කාලයක් තිස්සේ රහසේ සොරකම් කරගත් රිදී බඩු තොගයක හුවමාරුවට මේ සත්ත්වයාව කිසිවෙක්ට නොදැනෙන සේ කූඩුව පිටින්ම මෙහි ගෙන එනු ලැබුවේ කොන්රඩින්ගේ මිතුරෙකු වන මස් කඩයේ කොලුවා ය. නම්‍යශීලී සිරුරක් සහ උල් දත් සහිත මේ සත්ත්වයාට කොන්රඩින් බෙහෙවින්ම බිය වූවත් ඌ ඔහු සතු වටිනාම වස්තුව විය. ඌ මේ ආම්පන්න මඩුවේ වාසය කිරීමම බියකරු, සතුට දනවන රහසක් වූ අතර ‘අර ගෑනි’ නමින් ඔහු හැඳින්වූ තම ඥාතිවරියගෙන් ඉතා ප්‍රවේසමෙන් සඟවාගත යුතු කාරණාවක් ද විය. කුමක් හෝ මායාමය මනෝ මුලාශ්‍රයකින් කොන්රඩින් මේ සත්ත්වයාට නමක් නිර්මාණය කර තිබුණි. ඒ නම ලැබූ දිනෙන් පසු ඌ දෙවියෙකු සහ ආගමක් බවට පත්වීය. ‘අර ගෑනි’ නම් සතියකට වතාවක් ආගමික වතාවත් සඳහා අසල වූ පල්ලියකට යද්දී ඈ සමඟ කොන්රඩින්වද ගෙන යාමට අමතක කළේ නැත. නමුත් ඔහුට නම් එය බයිබලයේ සඳහන් රීමන් මන්දිරයේ කළ නොවැටහෙන යාඥාවක් වැනි විය. ඔහු නම්, හැම බ්‍රහස්පතින්දාවකම ආම්පන්න මඩුවේ පුස් ගඳ සහ නිහඬ බව මැද, ශ්‍රෙඩ්නි වෂ්තාර්යැයි නම් තබා තිබුණු ශ්‍රේෂ්ඨ මුගටියාට ගුප්ත සහ සංකීර්ණ වතාවතක් සිදු කළේ ය. උණුසුම් කාලවලදී රතු මල් සහ සීත කාලවලදී රත් පැහැති කුඩා ගෙඩි වර්ග මේ දෙවොලේදී පූජා කෙරිණි. මේ දෙවියා දරුණු මෙන්ම නොඉවසිලිමත් දේ ගැන වැඩි අවධානයක් යොමු කළ අයෙකු වූ අතර මෙය ඥාතිවරියගේ ආගමේ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන් පටහැනි බව කොන්රඩින්ට වැටහුණි. මීට අමතරව මේ ආගමේ විශේෂ උත්සව දිනවලදී කූඩුව ඉදිරිපස සාදික්කා කුඩු ඉසීම වැදගත් අංගයක් වූයේ ඒ සාදික්කා මුළුතැන්ගෙයින් සොරකම් කළ යුතු වූ බැවිනි. කලාතුරකින් සිදු කළ මේ උත්සව යෙදුණේ යම්කිසි සිද්ධියක් සැමරීම සඳහායි. එක් වරක් ද රොප් මහත්මිය තුන් දිනක් තිස්සේ තදබල දත් කැක්කුමකින් පීඩා වින්දා ය. කොන්රඩින් මේ තෙදින පුරාවටම තම දෙවොලේ උත්සවය පැවැත්වූ අතර ඒ දත් කැක්කුම ඇති කළේ ශ්‍රෙඩ්නි වෂ්තාර් බව පිළිගැනීමට පවා සූදානමින් සිටියේ ය. එහෙත් ඒ අමාරුව තව දිනක් පැවතුණා නම් සාදික්කා කුඩු අවසන් වන්නට ඉඩ තිබිණි. 

හුඩාන් කිකිළිය ශ්‍රෙඩ්නි වෂ්තාර්ගේ ලබ්ධියට කිසිදිනක ඇතුල් කරගත්තේ නැත. කිකිළිය ඇනබැප්ටිස්ට් වර්ගයේ බව බොහෝ කලකට පෙර කොන්රඩින් තීරණය කර තිබිණි. මෙහි තේරුම කුමක්දැයි ඔහුටද කිසිම අදහසක් නොවූ නමුත් එය එතරම් වැදගත්කමක් නැති දෙයක් විය යුතු යැයි ඔහු සිත යටින් ප්‍රාර්ථනා කළේ ය. වැදගත්කම ඔහුට අප්‍රසන්නම දෙයක් වූ අතර එහි මිනුම් දඬුව වූයේ ද රොප් මහත්මියයි. . 

ටික කලක් ගතවෙද්දී මෙවලම් මඩුව වෙත කොන්රඩින් පාන ඇල්ම බැල්ම ඔහුගේ භාරකාරියගේ අවධානයට ලක්වන්නට පටන් ගත්තේ ය. ‘සීතල කාලෙටයි රස්නේ කාලෙටයි හැමතිස්සෙම ඔය මඩුවක් අස්සට රිංගන එක හොඳ වැඩක් නෙමෙයි’ කියා වහාම තීරණය කළ ඈ හුඩාන් කිකිළිය විකුණා දැමූ බවත් පෙරදින රාත්‍රියේදීම ඌ ව රැගෙන යන ලද බවත් දිනක් උදෑසන කෑම මේසයේදී ප්‍රකාශ කළා ය. දුර නොපෙනෙන දෑසින් ඈ කොන්රඩින් දෙස එබී බැලුවේ මේ පුවත අසා ඔහු වෙතින් කෝපයක් හෝ ශෝකාලාපයක් බලාපොරොත්තුවෙනි. ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස මනා සේ සැලසුම් කළ තර්ක සහ තරවටු ඈ සුදානම් කරගෙන සිටියාය. නමුත් කොන්රඩින් කිසිවක් කීවේ නැත: ඔහුට කීමට කිසිවක් තිබුණේ නැත. ඔහුගේ හැඟීම් විරහිත සුදුමැලි මුහුණ ඇය තුළ තරමක නොසන්සුන්කමක් ඇති කර තිබුණු අතර හවස් වරුවේ තේ පානය සඳහා ඔහු ප්‍රිය කළ ටෝස්ට් කළ පාන් පෙති මේසය මත දක්නට විය. සාමාන්‍යයෙන් මේවා ඔහුට අගුණ බව කියා ඈ විසින් තහනම් කර තිබුණේ මෙලෙස පාන් සැකසීම මධ්‍යම පන්තික කාන්තාවන් විසින් මාරාන්තික ලෙස සලකන ‘කරදරකාරී බව’ නිසායි. 

“මම හිතුවා ඔයා පාන් ටෝස්ට් කරලා කන්න කැමතියි කියලා,” ඈ රිදුණු හඬකින් කීවේ ඔහු පාන් පෙති වෙත අත වත් නොතැබූ බැවිනි. 

“සමහරවෙලාවට,’ කොන්රඩින් පිළිතුරු දුන්නේය.

එදින හවස්වරුවේ මෙවලම් මඩුවේ දෙවියන් යැදීමේ පිළිවෙතේ අලුත් වෙනස් කමක් සිදුවිය. දෙවියන් වෙත ප්‍රශස්ති යාතිකා ගැයීම කොන්රඩින්ගේ සාමාන්‍ය සිරිත වූවත් එදා ඔහු වරමක් ඉල්ලා සිටියේ ය. 

“ශ්‍රේද්නි වශ්තාර්, මං වෙනුවෙන් එක දෙයක් කරන්න.”

කළ යුතු වූ දේ මෙයැයි සඳහන් නොවුණත් දෙවියෙකු වශයෙන් ශ්‍රෙඩ්නි වෂ්තාර් ඒ කුමක්දැයි දත යුතුව තිබිණි. මඩුවේ කෙළවර, කිකිළිය විසූ තැන දෙස බලා ආයාසයෙන් ඉකියක් යටපත් කරගත් කොන්රඩින්, ඉන් පිටවී තමන් වෛර කළ ලෝකය වෙත පෙරලා ගමන් කළේ ය. 

ඉනික්බිති හැම රාත්‍රීයකදීම තමන්ගේ නිදන කුටියේ සුවපහසු කළුවර තුළදීත්, හැම හවසකම මෙවලම් මඩුවේ අඩ අඳුර තුළදීත් කොන්රඩින් එක් කටුක යාතිකාවක ම නියැලුණේ ය. “ශ්‍රේද්නි වශ්තාර්, මං වෙනුවෙන් එක දෙයක් කරන්න.”

කිකිළිය ඉවත් කළ පසුත් මෙවලම් මඩුව වෙත කොන්රඩින්ගේ ගමන් අඩු නොවූ බව දුටු ද රොප් මහත්මිය තවත් නිරීක්ෂණ චාරිකාවක නියැලුණා ය. 

“මොනවද අර මඩුවේ කෙළවරේ කූඩුවක අගුලු දාලා තියාගෙන ඉන්නේ? ගිනිපිග් ලා නේද? ඉන්නවාකෝ මම අස් කරලා දාන්න.”

කොන්රඩින් තම දෙතොල් තරයේ පියාගෙන සිටියත් ‘ඒ ගෑනි’ ඔහුගේ කාමරය පෙරළා එහි සඟවා තිබුණු යතුර සොයාගත්තාය. ඉනික්බිති ඈ එයද රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් මෙවලම් මඩුව වෙත ගියේ තම සොයාගැනීම සම්පූර්ණ කිරීමටයි. එය සීතල සන්ධ්‍යාවරුවක් වූ අතර කොන්රඩින්ට නිවසට වී සිටින්නට අණ ලැබී තිබිණි. කෑම කාමරයේ කෙළවරේ ම කවුළුවෙන් බැලූ විට පඳුරු පෙළට ඔබ්බෙන් වූ මෙවලම් මඩුවේ දොර යන්තමින් පෙනුණි. කොන්රඩින් මෙතැන සිට ගල් ගැසී ඒ දෙස බලාසිටින්නට විය. ඇය මඩුවට ඇතුල් වනු ඔහුට පෙනුණි. ඉන් අනතුරුව ඈ පූජනීය කූඩුවේ අගුලු හැර, දුර නොපෙනෙන දෑසින් එහි තුළ ඇති පිදුරු ඇතිරිල්ල තුළ සැඟවී සිටින දෙවියන් දෙස එබී බලන අයුරු ඔහු සිතින් මවා ගත්තේය. සමහරවිට ඇගේ අශෝභන නොඉවසිල්ල නිසා පිදුරු ගොඩට ඇන බලන්නට පවා ඉඩ ඇත. කොන්රඩින් අවසන් වතාවට ඉතා උනන්දුවෙන් තම යාඥාව මිමිණුවේය. එසේ මුමුණද්දීත් තමන් එය විශ්වාස නොකරන බව ඔහුට වැටහිණි. තව ටික වෙලාවකින් ‘ඒ ගෑනි’ ඔහුට අප්‍රසන්නම ඇගේ සිනාවෙන් මුව සරසාගෙන මඩුවෙන් පිටතට ඒමට නියමිත බවත්, තව පැයකින් හෝ දෙකකින් උයන්පල්ලකු විසින් තම අපූරු දෙවියන් ව පිටතට ඔසවා ගෙන යන බවත්, එවිට ඒ දෙවියන් කූඩුවක සිටින වැදගත්කමක් රහිත දුඹුරු පැහැති මුගටියෙකු බව දිස්වන බවත් ඔහු දැන සිටියේය. ඥාතිවරිය හැම විටම ජයග්‍රහණය කරන පරිද්දෙන්ම මෙවරත් ජයගන්නා බවත් ඇගේ වද කිරීම්, රොස් පරොස් සහ උද්ධච්ච, සියල්ල දත් ගතිය නිසා ඔහු ක්‍රම ක්‍රමයෙන් රෝගී වන බවත් අන්තිමේදී කෙදිනක හෝ ඔහුට කිසි දෙයක් ගැන වුවමනාවක් නැති වී දොස්තරගේ අනාවැකිය සැබෑවන බවත් ඔහු දැන සිටියේය. තම පරාජයේ අවමානය සහ කනස්සල්ල මැද ඔහු තර්ජනයට ලක් වූ තම දෙවියන් වෙනුවෙන් උස් හඬින්, නිර් භයව යාතිකාවක් ගයන්නට විය.


ඉදිරියටම යන ශ්‍රෙඩ්නි වෂ්තාර්
දත් සුදු පැහැ වූවත් 
සිතිවිලි රත් පැහැයෙන් ගිනියම් 
සාමය ඉල්ලයි ඔහුගේ සතුරන් 
ඒත් ඔහු ගෙනෙන්නේ මරණයමයි 
අලංකාර ශ්‍රෙඩ්නි වෂ්තාර්

හදිසියේම යාතිකාව නතර කළ කොන්රඩින් කවුළුවේ වීදුරුවට කිට්ටු වූයේ ය. මෙවලම් මඩුවේ දොර තවමත් පෙර සේම අඩවන් ව තිබිණු අතර කාලය ගෙවෙමින් පැවතිණි. ඒවා බොහෝ දිගු විනාඩි වූවත් කෙසේ හෝ ගතවෙමින් තිබිණි. ගෙවත්තේ තණ බිස්සේ ස්ටාලින්ග් කුරුල්ලන් රංචු ගැසී ඔබ මොබ යන අයුරු ඔහු බලා සිටියේය. නැවත නැවතත් ඔහු උන්ව ගණන් කළේ මඩුවේ දොර වෙත ද අවධානය තබාගනිමිනි. ටික වෙලාවකින් පුළුටු මුහුණක් ඇති සේවිකාවක් තේ පානය සඳහා මේසය සූදානම් කරන්නට කෑම කාමරයට පැමිණියා ය. කොන්රඩින් තවමත් නොඉවසිල්ලෙන් කවුළුවෙන් එපිට බලාගත්වනම පසුවීය. ඔහුගේ හදට ක්‍රම ක්‍රමයෙන් බලාපොරොත්තුවක් රිංගමින් තිබුණු අතර පෙරදී පරාජයේ දුක්ඛිත ඉවසිලිවත්බව දිස් වූ ඔහුගේ දෑසේ දැන් දිලිසුණේ විශිෂ්ඨ දිනුමක් ලද අයෙකුගේ බැල්මකි. ඔහු සෙමෙන් ජයග්‍රහණයේ සහ විනාශයේ ප්‍රශස්තිය මතුරමින් සිටියේය. නොබෝ වෙලාවකින් ඔහුගේ දෑස සොයමින් සිටි දසුන දිස් විය. මඩුවේ අඩවන් වූ දොරින් කහ-දුඹුරු මිශ්‍ර ලොම් ඇති දිගු සිරුරකින් යුතු සත්ත්වයෙක් පිටතට පැමිණියේය. බැස යන හිරුගේ එළිය දෙස බලා ඇස් පිල්ලම් ගසමින් සිටි උගේ මුඛයත් ගෙලත් අවට තද රත් පැහැති පැල්ලම් දක්නට විය. මේ දසුන දැක කොන්රඩින් පහත් වී කවුළුව අද්දර දණ ගසා ගත්තේය. මුගටියා ගෙවත්තේ කෙළවර තිබුණු කුඩා දොළ පාර වෙත ගොස් දිය බී, ඒ හරහා වූ කුඩා ලී පාලම මතින් ගොස් ඉන් ඔබ්බෙහි වූ පඳුරු අතරේ අතුරුදන් විය. ඉතින් ශ්‍රෙඩ්නි වෂ්තාර් එලෙසින් නික්ම ගියේය. 

“තේ ලෑස්තියි,” පුළුටු මුහුණැති සේවිකාව කීවාය; “නෝනා කෝ?”
“එයා දැන් ටික වෙලාවකට කලින් අර මඩුව පැත්තට ගියා,” කොන්රඩින් පිළිතුරු දුන්නේය.
සේවිකාව විසින් තම පාලිකාව සොයන්නට ගිය අතරේදී කොන්රඩින් අසල ලාච්චුවකින් යකඩ අඬුවක් ගෙන තමන්ට පාන් පෙත්තක් ටෝස්ට් කර ගන්නට විය. මෙලෙස සකසා ගත් පාන් පෙත්තේ ඇති තරම් බටර් තවරාගෙන ඉතා සතුටින් ආහාරයට ගනිමින් සිටින අතරේදීම ඔහු කෑම කාමරයේ දොරට ඔබ්බෙන් වේගවත් සහ කලබල ලෙසින් ඇසෙමින් තිබුණු ශබ්ද වලට සවන් දුන්නේය. සේවිකාව ශබ්ද නඟා කළ මෝඩ කෑ ගැසීම්, ඊට පිළිතුරු ලෙස මුළුතැන්ගෙය පෙදෙසින් ඇසුණු තවත් කෑ ගැසීම්, පිටත කව්රුන්ගෙන් හෝ උදවු ඉල්ලමින් දිව ගිය අඩි ශබ්ද සහ මඳ නිහැඬියාවකින් පසු බියපත් ඉකිබිඳීම් සහ දරාගැනීමට දුෂ්කර පුවතක් නිවස වෙත රැගෙන එන්නෙකුගේ බර අඩි හඬ ඇසෙන්නට විය. 

“අනේ ඒ අසරණ දරුවාට මේ විස්තරේ කියන්නේ කවුද? දෙවියනේ මට නම් ඒක කරන්න බැහැ!” උස් හඬින් කාගේදෝ කටහඬක් ඇසුණි. ඔවුන් ඒ කාරණාව ගැන විවාද කරගන්නා අතරතුරේදී කොන්රඩින් තවත් පාන් පෙත්තක් ටෝස්ට් කර ගත්තේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story 'Sredni Vashtar' by Saki

සිසිල සඟරාව- මැයි 2024 කලාපය

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Picture generated by Canva AI