July 26, 2023

තෝරාගැනීම්



Translation of the poem 'Choices' by Nikki Giovanni

මා කැමති දේ
කළ නොහැකි නම්
මා කළ යුත්තේ
අකමැති දේ නොකර සිටීමයි
ඒ තෝරාගැනීම් දෙක
අසමාන වූවත්
ඒ මට කළ හැකි හොඳම දෙයයි

මට රිසි දේ
ලබාගනු නොහැකි නම්
මා කළ යුතු වන්නේ
මා සතු දේ ට
රිසි වීමයි
අඩුම තරමේ
රිසි වීමට තව දේවල් තිබීම ගැන
සතුටු වීමයි

මට වුවමනා තැනට යා නොහැකි විට
මඟ සලකුණු පෙන්වන තැනට
මා යා යුතුයි
එසේ යන්නේ
ඒ සමාන්තර ගමන
අවශ්‍ය තැනට එක එල්ලේ යන ගමනට
අසමාන බව
හැමවිටම තේරුම් ගනිමිනි

මා හඟින දේ
කියාගනු නොහැකි විට
කියාගත හැකි දේ පමණක්
හඟින්නට හුරු වෙමි

මේ සියල්ල, අනිකෙහි
පර්යාය නොවන බව දනිමි

එහෙත්
අන් සතුන් අතරින්
මිනිසා පමණක්
හඬන්නට උගත්තේ එබැවිනි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Choices' by Nikki Giovanni
Digital Painting


14 comments:

  1. 🦉🙏👌👈(⌒▽⌒)👉(❁´◡`❁)

    ReplyDelete
    Replies
    1. බස්සා ගේ වැටේ බස්සෙකුත් ඉන්න බව දැක්කේ පස්සේ :D

      Delete
  2. ඉතින් මේ කවි..................
    සුනේත්‍රා රාජකරුණානායක කියන විදියට හැම කවියකම හීනි ගින්දරක් තියෙනවා
    (වියට්නාමයට සෙනෙහසිනි -2017)
    සමහර කවි වල මහා ගින්දර
    පැට්‍රල් බෝම්බ වගේ කවිත් තියනවා (මස් ඉඹුලගේ කවි)
    මගේ කරුමෙට ඔය ගින්දර ඔක්කොම මගේ හිතේ පත්තු වෙනවා
    ඉතිං මං කවි කියවන්නේ හරි අඩුවෙන්
    හොයාගෙන නම් කියවන්නෙම නැතිතරම්
    හැබැයි ඔයා ලියන කවි නම් ඔක්කොම කියවනවා

    ReplyDelete
    Replies
    1. කුමුදු, ඇත්ත - කවි වල ගින්දර, ගිනි කඳු, පැට්‍රල් බෝම්බ නිතර මුණගැහෙනවා. ඒ නිසාම ද කොහෙද මම ඒවා හොයා හොයා කියවන්නේ/පරිවර්තනය කරන්නේ :) කාලයක් මමත් බෝම්බ නිෂ්පාදනය කළා, දැන් ෆැක්ටරිය වහලා!

      Delete
  3. පටන් ගන්නෙම 'bouncer' එකකින් නිසා දෙතුන් පාරක් කියවන්න වුනා තේරුම් ගන්න.

    "මා හඟින දේ කියාගනු නොහැකි විට, කියාගත හැකි දේ පමණක් හඟින්නට හුරු වෙමි" කියාගත නොහැකි දේ ලියලා තියන්න (journaling) පුරුදු වෙන එකත් හොඳ බෙහෙතක්නෙ.

    පර්යාය කියන වචනයෙ අදහස එකපාරට ඔලුවට එන්නෙ නැතුව විනාඩියක් විතර කල්පනා කරලා, ඊට පස්සෙ ඔරිජිනල් කවිය කියෙව්වා. equal කියන එකනෙ. මලී එතෙන්ට වඩා ලේසි වචනයක් යොදාගන්නෙ නැතුව පර්යාය කියලම දැම්මෙ කවියෙ තියෙන දාර්ශණික බව රැක ගන්නද, (most likely, subconsciously).

    ReplyDelete
    Replies
    1. Lotus- මේක බැලූ බැල්මට ලැබෙන දෙයක් බාරගෙන ජීවත් වෙන කෙනෙක් ගේ සිතිවිලි වගේ, ඒත් twist එක තියෙන්නේ අන්තිමට. ඒකයි මට ආසා හිතුණේ.

      ඇත්තම කියනවා නම් පර්යාය මගේ vocabulary එකේ වචනයක් නෙමෙයි. :) ටිකක් සංකීර්ණ පරිවර්තනයක් කළාම මුල් කවියට සාධාරණයක් වෙලා ද බලන්න මගේ අතිජාත මිතුරියකට යවනවා. එයා තමයි ඒ වචනේ යෝජනා කරලා තිබුණේ. මම ඒ තේරුම ගන්න වචන හතරක් විතර දාලා තිබුණා. ඉතින් කෙටි බව සලකලා 'පර්යාය' මම කවියට ගත්තා. එතකොට භාෂාවේ වෙනසක් වෙන බව තේරුණේ ඔයා කිව්වාම තමයි!

      //(journaling) පුරුදු වෙන එකත් හොඳ බෙහෙතක්නෙ// journaling, or any kind of writing for that matter, really works wonders.

      Delete
    2. journaling කරන එක කම්මැලි වැඩක් නෙමේද?
      එපා වෙනවනෙහ් ලියන්න ගියාම....

      Delete
    3. නවීන්: මටත් කම්මැලි වැඩක් තමයි, නමුත් මම හිතන්නෙ ඒකෙන් ලැබෙන benefits වැඩි නිසා ටික ටික හරි පටන්ගත්තොත් හොඳයි කියලා. උදාහරණයක් විදිහට අපේ හිතේ තියෙන ප්‍රශ්ණයක් කොලයක ලියනකොට හිත නිදහස් වෙලා, declutter වීමක් වගේ වෙනවනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා එයාගෙ ප්‍රශ්ණ විතරක් නෙවෙයි, ප්‍රශ්ණ වලට මුහුන දෙන/දුන්න විදිහ, ප්‍රශ්ණය විසඳෙන කොට දැනුනු විදිහ පවා ලියන.

      මලීට අපිට වඩා ලිවීමේ එක්ස්පීරියන්ස් තියෙන නිසා මට වඩා හොඳට explain කරයි.

      Delete
    4. නවීන් මෙහෙමයිනේ, එක එක්කෙනාට හිතේ පීඩනයක් තියෙනකොට ඒක පිටකරගන්න එක එක ක්‍රම තියෙනවනේ. මල්, වවන, සින්දු අහන, චිත්‍ර අඳින, ෆිල්ම් බලන වගේ දේවල්. ලියන එකත් ඒ වගේ එකක් විතරයි. ඒ නිසා කොහොමත් ලියන්න කැමති කෙනෙකුට තමයි journaling වගේ දෙයකින් හිතට සහනයක් දැනෙන්නේ. ඔයාට ඒක කම්මැලි වැඩක් කියලා දැනෙනවා කියන්නෙම ඒක ඔයාට රිලැක්ස් වෙන ක්‍රමයක් නෙමෙයි. මම කොහොමත් ලියන්න කැමති කෙනෙක්. නිර්මානාත්මක ලියවිල්ලක්, පරිවර්තනයක් වගේ දෙයකින් මට ලොකු තෘප්තියක් දැනෙනවා. ඒ වගේම Lotus කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙන කොට ලියද්දි හිත declutter වෙන බවක් මට දැනෙනවා.

      Delete
    5. ම්ම්ම් හරී තේරුනා🤓🤗...

      මම නම් කැමති කාවහරි අල්ලගෙන කයියක් ගහන්න ඒ වගේ වෙලාවට... නැත්නම් සිංදු අහනව.

      මට හැබැයි එච්චර ප්‍රශ්න ඇවිල්ල නෑ නෙ...
      හොඳ ප්‍රශ්නයක් ආවම තමයි බලන්න ඕනි😁

      Delete
  4. ඔබේ කවි සහ චිත්‍ර ආසාවෙන් රසවිදිනවා. පරිවර්තන කවි පොතක් සහ චිත්‍ර ප්‍රදර්ශනයකට කාලෙ හරි වගේ. එහෙම නැත්නම් වෙබ් අඩවියක් වගෙත් හොදයි. හිතල බලන්න.

    ReplyDelete
    Replies
    1. නිරතුරුව කරන දිරිමත් කිරීම් වලට ස්තූතියි අනුරුද්ධ.අලුත් නිර්මාණ ඉසව් කරා යන්න ඒවා ලොකු හයියක්!

      Delete