ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය ගැන සොඳුරු මතක සටහන් ගොන්නක්ම මට තියෙනවා. බෝඩිම් වල නැවතිලා, හරියට කෑමක් බීමක් නැතිව, පාඩම් කරමින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඒ සොඳුරු මතක නිසා අමතක කරලා දාන්න පුළුවන්. මගේ ලියවිලි කීපයකටම ජ' පුරේ අත්දැකීම් මුහු කරලා තියෙනවා. සිරිදාස අයියාත් නයිස් නම් බල්ලා ත් ඉන්න 'කළු සුදු' කතාව ඉන් එකක්. ඒ කතාව මගේ 'සහස් පියවර' කෙටිකතා පොතෙත් පළවූණා. ඒත් දැන් ඒ කතාවට අලුතින් හුස්ම පිඹලා රේඩියෝ නාට්‍යයක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට. මේ වෙනුවෙන් මගේ කෙටිකතා තෝරාගන්න ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට මගේ හද පිරි ස්තූතිය. ඉනෝකාගේ හඬින් මේ කතාව අහන එක අපූරුම අත්දැකීමක්.
May 31, 2023
May 30, 2023
'සුසුමකින් සුළි සුළඟ' - ලක්ශාන්ත අතුකෝරල
මේ එයින් කවි කීපයක්.
May 28, 2023
දරුවන්
ආදරය නොලැබෙන දේ ට
ආදරය කරන්නට හැකි දරුවන්
තනන්නට අපට හැකි වේවායැයි පතමි
ඩැන්ඩිලයන් මල්වලට,
පනුවන්ට, මකුළු පැටවුන්ට
ආදරේ දරුවන්
රෝස මලට කටු අවැසි ඇයි දැයි
තේරුම් ගතහැකි දරුවන්
හිරු රැසින් පිරි දවස් වෙත මෙන්ම
වැසි වැටෙන දවස් වෙතත්
එක ලෙසටම දිව යා හැකි දරුවන්
ඔවුන් වැඩුණු විට
පෙර කලෙක
මට සිලුටු දේ රැක බලාගෙන
ලද අත්දැකීම් නිසා ම
හඬක් නොමැති වූවන් වෙනුවෙන්
හඬක් වීමට ඔවුන්ට හැකි වනු ඇත
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Pencil sketch
May 24, 2023
දේව දූතයන්
Translation of the prose poem 'Angels' by Lang Leav
එය සිදුවන්නේ මෙසේ යි.
කවදා හෝ දවසක ඔබට මුණගැසෙන යම් කෙනෙක් ගැන ඔබට විස්තර කළ නොහැකි තරමේ දැඩි බැඳීමක් දැනෙනු හැක. මෙය ඔබ මින් පෙර කිසිදිනක අත් දකින ලද්දක් නොවේ.
මේ තැනැත්තා ඔබේ ජීවිතයට එන්නේ එක්කෝ කරදර කාලයක ඔබව සුරැකිව තබාගැනීමට යි, නැතිනම් ඔබට ජීවිතයේ වැදගත් පාඩමක් ඉගැන්වීමට යි.
සමහරවිට මේ තැනැත්තා තුළ දේව දූතයෙක් සිටිනවා විය හැක, ඒ අදිසි බලයක් විසින් එවන ලද කෙනෙක් වන්නට ඉඩ ඇත.
ඔබ කළ යුත්තේ ඔවුන් ව විශ්වාස කිරීමයි- ඔවුන් ඔබ ව සුවපත් කරන චාරිකාවේදී ඔබ වෙත වේදනාවන් සහ දෝමනස්සයන් ගෙන ආවත් නොකඩවා ඔවුන්ව ව විශ්වාස කිරීමයි. ඔවුන් ඔබ වෙත පැමිණි හේතුව කාලයක් ගත වූ පසු පැහැදිලි වනු ඇත.
නමුත් එක් අනතුරු ඇඟවීමක් කළ යුතුමය- ඔබ මේ තැනැත්තාට කෙමෙන් ආදරය කරන්නට පටන් ගන්නට ඉඩ තිබේ.
මතක තබා ගන්න, ඔවුන් ඔබට හිමි වන්නේ නැත. ඔවුන්ගේ අරමුණ ඔබව ගලවාගැනීම නොව ඔබට ඔබවම ගලවාගැනීමට මඟ පෙන්වීමයි.
මේ කාර්යය සම්පූර්ණ වූ විට රැස් වළල්ල ගිලිහී එහි වූ දේව දූතයා නික්ම යනු ඇත. ඔවුන් ඔබගේ ජීවිතයෙන් ඉවත් වන්නේ එවිටයි.
ඉනික්බිති ඔබ දෙදෙනා පෙර සේම නැවතත් නාඳුනන්නන් බවට පත්වනු ඇත.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Digital painting
May 21, 2023
බිපින් චෞද්රිගේ අමතක වීම
Translation of the Short Story ‘Bipin Chowdhury’s Lapse of Memory’ by Sathyajit Rai
හැම සඳුදාවක ම වැඩ ඇරී එන අතරතුර පොත් මිළදී ගැනීම සඳහා වෙළඳපොළේ කලිචරන්ගේ පොත් සාප්පුවට ගොඩ වැදීම බිපින් චෞද්රිගේ පුරුද්දක් විය. ඔහු සාමාන්‍යයෙන් මිළදී ගත්තේ අපරාධ ගැන ලියවුණු කතා, හොල්මන් කතා සහ ත්‍රාසජනක කතා යි. සතිය ගෙවාගනීම සඳහා ඔහුට එක් වරකට පොත් පහක්වත් මිළට ගැනීමට සිදු විය. තනියම ජීවත් වූ ඔහු, සමාජ ආශ්‍රයට අදක්ෂ, වැඩි යහළුවන් නොමැති අයෙක් වූ අතර ඔහු අල්ලාප සල්ලාපයටද ප්‍රිය නොකළේ ය. ඔහුව මුණගැසීමට හවස් වරුවේ පැමිණෙන අය තමන්ගේ අවශ්‍යතාවය ඉක්මණින් සම්පූර්ණ කරගෙන පිටව ගියහ. එසේ නොගිය අයට, දොස්තර විසින් තමන්ට රාත්‍රී අටහමාරට රාත්‍රී කෑම ගන්නට නියම කර ඇති බව බිපින් බාබු විසින් රාත්‍රී අටට පමණ දැනුම් දෙනු ලැබේ. රාත්‍රී අහාරයෙන් පසු පැය භාගයක් විවේක ගන්නා ඔහු ඉනික්බිති පොතක් සමඟ ඇඳට යයි. වසර ගණනාවක් තිස්සේ ඔහු මේ පිළිවෙත නොකඩවා සිදු කර ඇත.
අද පොත් සාප්පුවේදී කවුරුන් හෝ තමන් දෙස පරීක්ෂාකාරී ලෙස බලා සිටින බව බිපින් බාබු ට දැනුණි. ඔහු ආපිට හැරෙද්දී ඔහු ඉදිරිපස සිටියේ තරමක් නිවට පෙනුමක් ඇති රවුම් මුහුණකින් යුතු වූ මිනිසෙකි.
“මහත්තයා මාව අඳුනාගත්තේ නැහැ මගේ හිතේ” ඒ මිනිසා පුළුල් සිනාවක් පෑවේය.
බිපින් බාබු ට අපහසුවක් දැනුණි. ඔහුට මේ මිනිසාව කිසි දිනක හමු වූ බවක මතකයක් නොවූ අතර ඒ මුහුණ ඉතා නුපුරුදු එකක් විය.
“මහත්තයා ඉතින් බොහොම වැඩ අධික කෙනෙක්නෙ. වයිවාරන මිනිස්සුන්ව නිතර හම්බවෙනවා ඇති.’
“අපි මීට කලින් මුණගැහිලා තියෙනවාද?” බිපින් බාබු විමසුවේය.
ඒ මිනිසා මහත් සේ පුදුම වූ බවක් පෙන්වූයේය. “ඇයි මහත්තයා අපි සතියක් තිස්සේ දවස ගානේ හම්බවුණානේ. එක්දාස් නමසිය පනස් අට අවුරුද්දේ මහත්තයාට රාන්චි වල හද්රු ඇල්ල බලන්න යන්න මමනේ කාර් එකක් ලෑස්ති කළේ. මගේ නම පරිමාල් ගෝස්.”
“රාන්චි?”
වැරදීම සිදුව ඇත්තේ තමන්ට නොව මේ මිනිසාට බව බිපින් බාබු ට වැටහිණි. ඔහු කිසි දවසක රාන්චි වෙත ගොස් තිබුණේ නැත. කිහිප වතාවක් එහි යාමට සිතා සිටියත් ඊට අවස්ථාව ලැබුණේ නැත. මඳ සිනාවක් පෑ ඔහු මෙසේ ඇසුවේය.
“මම කවුද කියලා ඔහේ දන්නවාද?”
ඒ මිනිසා දෙබැම ඔසවා, දිව සපා ගත්තේය. “මම මහත්තයාව දන්නවාද අහන්නේ? බිපින් චෞද්රිව නොදන්නේ කවුද?”
එවිට බිපින් බාබු නැවතත් පොත් රාක්ක වෙත හැරී මෙසේ කීවේය.
“කොහොම වුණත් තමුන්ට වැරදිලා. එහෙම දේවල් වෙනවා. මම කවදාවත් රාන්චි ගිහින් නැහැ.”
මෙය අසා මිනිසා හඬ නඟා සිනාසුණේය.
“චෞද්රි මහත්තයා මොනවද මේ කියන්නේ? ඔබතුමා හද්රු වලදී වැටිලා දකුණු දණහිසත් තුවාල කරගත්තානේ. මමනේ ඒකට අයඩින් ගෙනාවේ. ඊළඟ දවසේ නෙතර්හත් යන්න මම කාර් එකක් ලැස්ති කරලා තිබ්බත් මහත්තයාට යන්න බැරි වුණා දණහිසේ වේදනාව නිසා. ඒ මුකුත්ම මතක නැද්ද? ඒ දවස්වල මහත්තයා දන්නා තව කෙනෙක් රාන්චි වල හිටියා. අර දිනේෂ් මුකර්ජි මහත්තයා. චෞද්රි මහත්තයා හෝටල් කෑම කන්න කැමති නැහැ කියලා බංගලාවක හිටියේ. මහත්තයාගේ කෑම ඉව්වේ කෝකියෙක්. මුකර්ජි මහත්තයා හිටියේ එයාගේ සහෝදරිය එක්ක. ඇයි මතක නැද්ද මහත්තුරු දෙන්නා සඳ ගමනය ගැන ලොකු බහින්බස් වීමක් වුණේ? මට තව විස්තර කියන්න පුළුවන්. මහත්තයා සිරි නරඹන්න ගිය හැම ගමනකදීම පොත් මල්ලක් අරගෙන ගියා. මම හරිද වැරදිද?”
බිපින් බාබු තම දෑස පොත් රාක්කය වෙත රඳවාගෙනම සෙමෙන් පිළිතුරු දුන්නේය.
“ඔහේ කියන්නේ පනස් අටේ මොන මාසේ ගැනද?”
“පූජාවන් පටන් ගන්න ටිකකට කළින්, ඔක්තෝම්බර් මාසේ.” මිනිසා කීවේය.
“නැහැ ඔහේට වැරදිලා,” බිපින් බාබු කීවේය. “මම පනස් අටේ පූජා කාලේ ගතකළේ කාන්පුර් වල යාලුවෙක්ගේ ගෙදර. ඔබට සුබ දවසක්”
එහෙත් ඒ මිනිසා එතැනින් ඉවත් වූයේවත් කතාකිරීම නැවත්වූයේ වත් නැත.
“හරිම පුදුමයි. එක දවසක් මම මහත්තයා එක්ක බංගලාවේ වැරන්ඩාවේ හවස තේ බිව්වා. මහත්තයා ඒ වෙලාවේ පවුලේ විස්තර මට කිව්වා. මහත්තයාට දරුවෝ නැති බවත් නෝනා මීට අවුරුදු දහයකට කලින් අන්තරා වුණ බවත් කිව්වා. මහත්තයාගේ එකම සහෝදරයා සිහි විකල් වෙලා මැරුණු නිසා රාන්චි වල මානසික රෝහලට යන්න තමන් අකමැති බවත් කිව්වා.”
බිපින් බාබු පොත් වල මිළ ගෙවා සාප්පුවෙන් පිට වෙද්දීත් ඒ මිනිසා අදහාගත නොහැකි ලෙස තමන් දෙස බලාගෙන සිටිනු ඔහු දුටුවේය.
බිපින් බාබු ගේ මෝටර් රථය බර්ට්‍රම් පාරේ ලයිට්හවුස් සිනමා ශාලාව අසල ප්‍රවේශම් ලෙස නවතා තිබිණි.
“සීතාරාම් ගංගා ගඟ අද්දරින් යමු” ඔහු රථයට ගොඩ වෙද්දී රියදුරුට කීවේය.
ස්ට්‍රෑන්ඩ් මාවත ඔස්සේ යද්දී, ඒ කරදරකාරී මිනිසාට තමන් අවධානය දුන්නා වැඩි යැයි ඔහුට සිතිණි. තමන් කිසි දිනක රාන්චි නොගොස් තිබීම ගැන තර්කයක් තිබුණේ නැත. මීට අවුරුදු හය හතකට කලින් සිදු වූ එවැනි සිද්ධියක් තමන්ට අමතක වීම කිසිසේත්ම සිදුවිය නොහැක. ඔහු සතුව විශිෂ්ඨ මතකයක් තිබිණි. එහෙත්… බිපින් බාබු ට තම හිස බමන බවක් දැනිණි.
තමන්ගේ සිහි කල්පනාව නැතිවෙමින් පවතිනවා විය හැකි බව ඔහුට හදිසියේ සිතුණි.
එහෙත් එය සිදු විය හැක්කේ කෙසේද? වැදගත් ආයතනයක වගකීම් සහිත රැකියාවක් ඉසිලූ ඔහු දිනපතා තම කාර්යාලයට ගියේය. රැකියාව සම්බන්ධව මෙතක් කාලයක් කිසිම මහා පරිමාණ අඩුපාඩුවක් සිදුවූ බවක් ඔහුගේ මතකයේ නැත. අදත් ඔහු වැදගත් රැස්වීමක පැය භාගයක කතාවක් කළේ ය. එහෙත්…
පොත් සාප්පුවෙදී මුනගැසුනු මිනිසා තමන් ගැන බොහෝ දේ දැන සිටියේය. එසේ විය හැක්කේ කෙසේද? ඔහු තමන්ගේ සමහර අතිශයින් පෞද්ගලික කාරණා පවා දැන සිටියේය. තමන් යන තැන පොත් මල්ලක් ගෙන යන හැටි, බිරිඳ ගේ මරණය, සොහොයුරාගේ උමතු බව…. ඔහුට වැරදුනු එකම තැන තමන්ගේ රාන්චි ගමනයි. එය වැරද්දක් නොව හිතා මතාම කියූ බොරුවකි. පනස් අට වසරේ පූජා මාසයේදී ඔහු සිටියේ තම මිතුරු හරිදාස් බග්චි ගේ කාන්පූර් නිවසේ ය. හරිදාස් ට ලිපියක් ලීවා නම්- එහෙත් හරිදාස් ට ලිපියක් ලිවිය නොහැකි බව බිපින් බාබු ට හදිසියේම සිහි විය. ඔහුගේ අලුත් ලිපිනය ඔහු දැන සිටියේ නැත.
එහෙත් මෙවැනි සාක්ෂි අවශ්‍ය වන්නේ කුමකටද? කුමක් හෝ හේතුවකට පනස් අට වසරේදී රාන්චි වල සිදු වූ අපරාධයකට පොලිසිය තමන්ව හසු කර ගැනීමට උත්සාහ කරනු ලැබුවේ නම් තමන් එහි නොසිටි බව ඔප්පු කිරීමට සිදුවනු අත. තමන් රාන්චි හි ගොස් නැති බව තමන් දන්නේ නම් එය ප්‍රමාණවත් බව ඔහු කල්පනා කළේ ය.
ගඟ දෙසින් හමා ආ සුළඟ සුවදායක වූවත්, බිපින් බාබු ගේ සිතේ තරමක නොසන්සුන් බවක් දැවටෙමින් තිබිණි.
මෝටර් රථය හේස්ටින්ග්ස් ප්‍රදේශය පසු කරද්දී බිපින් බාබු හදිසියේම කලිසමේ කකුල නවා තම දකුණු දණහිස දෙස බැලුවේය. එතැන අඟලක් පමණ දිග කැළලක් විය. මෙය සිදු වූයේ කෙසේදැයි සිහියට නඟා ගැනීම ඔහුට දුෂ්කර විය. තමන් කුඩා කල වැටී මේ තුවාලය සිදුවූවා විය නොහැකිද? එවැනි සිද්ධියක් සිහියට නඟා ගැනීමට උත්සාහ කළත් ඔහු ඊට අපොහොසත් විය.
හදිසියේම ඔහුට දිනේෂ් මුකර්ජිව සිහි විය. ඔහුත් තමන් සමඟ එකම කාලයේදී රාන්චිහි සිටි බව කඩේදී හමුවූ මිනිසා කීවේය. කළ හැකි හොඳම දේ ඔහුගෙන් මේ ගැන ඇසීමයි. ඔහු විසූ බෙනිනාදන් වීදිය තමන්ගේ වීදිය ට කිට්ටුවෙන් තිබුණු අතර මේ දැන්ම වුව ඒ ගමන යා හැක. එහෙත් ඔහු පවා කිසි දිනක රාන්චි වෙත ගොස් තිබුණේ නැත්නම් මේ විමසීම ගැන ඔහු කුමක් සිතනු ඇතිද? බිපින් බාබු උමතු වෙමින් පවතින බවක් ඔහු අනුමාන කරනු අත. දිනේෂ් ගේ දරුණු උපහාස ගැන දැන සිටි බිපින් බාබුට දැනුණේ මෙසේ ඇසීම මහත් විකාරයක් වනු ඇති බවයි.
වායු සමනය කරන ලද තමන්ගේ කාමරයේ ශීත බීමක් තොලගාමින් සිටිද්දී බිපින් බාබුට නැවත සැනසිල්ලක් දැනුණි. පොත් සාප්පුවේ මුනගැසුනු මිනිසාගෙන් තිබුණු කරදරයක්! අනෙත් අයට කරදර කරමින් තැන තැන යාමට වඩා වෙනත් රාජකාරියක් ඒ මිනිසාට නොමැති බව ඔහු අනුමාන කළේය.
රෑ කෑමෙන් පසු, අලුතින් මිලදී ගත් ත්‍රාසජනක කතා පොතක් සමඟ උණුසුමට ඇඳේ පොරෝනා අතරට වැදුණු බිපින් බාබුට වෙළඳපොළේදී හමුවූ මිනිසා ගැන සම්පූර්ණයෙන්ම අමතක විය.
නමුත් ඊට පසු දින, ගතවෙන හැම හෝරාවකදීම පෙර දවසේ සිදු වූ ඒ අමුතු හමුවීම තමන්ගේ සිත අරක් ගන්නා බව ඔහුට වැටහිණි. ඒ මිනිසා දෑස් විදහා පුදුම වූ හැටි, තමන් කී දේ අවිශ්වාස කර අවඥාවෙන් සිනාසුණු හැටි…! ඔහු බිපින් බාබුගේ පෞද්ගලික ජීවිතය ගැන මේ තරම් විස්තර දැන සිටියේ නම් ඔහුගේ රාන්චි ගමන ගැන වැරදීමක් සිදුවන්නේ කෙසේද?
දිවා ආහාර වේලාවට ප්‍රථම- දවල් එකට විනාඩි පහක් පමණ තිබියදී- බිපින් බාබුට තවදුරටත් මෙය ඉවසා සිටිය නොහැකි විය. දුරකථන නාමාවලිය අතට ගත් ඔහු දිනේෂ් මුකර්ජි ට ඇමතුමක් දෙන්නට සූදානම් වූයේය.
දුරකථනය ඔස්සේ මේ දැන්ම මෙය විසඳාගත යුතු බව ඔහු සිතුවේ මේ ප්‍රශ්නය නිසා ලැජ්ජාවක් ඇතිවූවත් එවිට තමන්ගේ මුහුණ මිතුරාට නොපෙනෙන බැවිණි.
දෙකයි-තුනයි-පහයි-හයයි-එකයි-හය
බිපින් බාබු දුරකතනයෙන් නොම්මරය කරකැවූයේය.
“හෙලෝ”
“දිනේෂ් ද? මේ බිපින්.”
“කොහොමද, කොහොමද? මොනවාද අලුත් තොරතුරු?”
“මම කතා කළේ එක්දාස් නමසිය පනස් අටේ වුණු සිද්ධියක් මතකද අහන්න.”
“පනස් අටේ? මොන සිද්ධියද?”
“මට මුලින්ම දැනගන්න ඕන අපි ඒ මුළු අවුරුද්ද පුරාවටම කල්කටාවේමද හිටියේ කියලා.”
“විනාඩියක් ඉන්න… පනස් අටේ නේද? ඉන්න මගේ දිනපොත බලනකම්”
විනාඩියක් ගතවෙන තුරු නිහැඬියාවක් පැතිරිණි. තම හද ගැස්ම වේගවත් වූ බවක් බිපින් බාබු ට දැනුණි. ඔහු තරමක් දහදිය දමමින් සිටියේය.
“හෙලෝ”
“ඔව්”
“හරි හම්බ වුණා. මම දෙවතාවක් කල්කටාවෙන් පිට ගිහින් තියෙනවා.”
“කොහෙද?”
“එක වතාවක් ළඟට ගිහින්…පෙබරවාරි මාසේ. ඥාති පුතෙක්ගේ මංගල්ලයක්ට ක්‍රිෂ්ණානගර් වලට. ඊළඟට.. මේක නම් ඔයාත් දන්නා ගමනක්, රාන්චි ගිය ගමන. ඔයාත් එහෙදි හම්බ වුණානේ. එච්චරයි. මොකද මේ රහස් පරීක්ෂක වැඩ කරන්නේ?”
“නැහැ මට නිකම් හිතුණා- කමක් නැහැ, බොහොම ස්තූතියි.”
බිපින් බාබු දුරකථනය වේගයෙන් අතහැර දෑතින්ම හිස බදාගත්තේය. ඔහුගේ හිස බමන බවක් ඔහුට දැනුණු අතර සීතලක් මුළු ඇඟ පුරාම පැතිරිණි. ඔහුගේ කෑම පෙට්ටියේ සැන්ඩ්විච් පෙති කිහිපයක් තිබුණත් ඔහුට ඒවා කෑමට සිතක් ඇතිවූයේ නැත. ඔහුගේ කෑම රුචිය සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී තිබිණි.
දිවා ආහාර වේලාවෙන් පසු තවදුරටත් තම මේසයේ වාඩි වී රාජකාරියේ යෙදීම කළ නොහැකි බව බිපින් බාබුට වැටහිණි. ඔහු මේ ආයතනයේ සේවය කළ විසිපස් වසරටම මෙවැනි දෙයක් සිදු වූ පළමු වතාව මෙය විය. මහන්සි වී වැඩකරන අවංක සේවකයෙක් ලෙස ඔහු මෙහි නමක් දිනාගෙන සිටියේය. ඔහු යටතේ වැඩකළ සේවකයන් ඔහුට සැලකුවේ බොහෝ ගරුසරුවෙනි. මෙතෙක් කාලයක් බරපතලම ගැටළු හමුවේදීත්, නරකම අවස්ථාවන්හිදීත් බිපින් බාබු සන්සුන්ව ඒවාට මුහුණ දුන්නේය. නමුත් අද නම් ඔහුගේ මනස අවුල් වී තිබිණි.
හවස දෙකහමාර වෙද්දී නිවසට ගිය ඔහු, තම නිදන කාමරයට ගොස් දොරගුළු ලාගෙන, ඇඳේ වැතිරී තම මනස සන්සුන් කරගැනීමට උත්සාහ කළේය. හිසට සිදුවූ අනතුරක් නිසා මතකය අහිමි විය හැකි බව ඔහු දැන සිටියේය. නමුත් එක් සිද්ධියක්- මෑතක වූ වැදගත් සිද්ධියක්- හැර අනෙත් සියලුම දේ මතකයට නැඟෙන මෙවැනි කිසිම අවස්ථාවක් ඔහු මින් පෙර අසා තිබුණේ නැත. රාන්චි පෙදෙසේ සංචාරය කිරීමට ඔහුට බොහෝ කල් සිට කැමැත්තක් තිබිණි. එබැවින් එහි ගොස්, විවිධ දේ කර තිබී ඒ කිසිවක් මතක නැති වීම සිදුවිය නොහැකි දෙයක් විය.
රාත්‍රී හතට බිපින් බාබු ගේ මෙහෙකරු පැමිණ සෙත් ගිර්ධාරිප්‍රසාද් පැමිණ ඇති බව කියා සිටියේය. මේ ගිර්ධාරිප්‍රසාද් පොහොසත් ව්‍යාපාරිකයෙකු වූ අතර ප්‍රදේශයේ වැදගත් අයෙකු ද විය. ඔහු පැමිණ තිබුනේ කළින් වෙලාව වෙන් කරගැනීමෙනි. නමුත් බිපින් බාබු කෙතරම් වියවුලෙන් පසු වූයේද යත් තමන්ට ඇඳෙන් බැසීමට නොහැකි බව අමුත්තාට කියන මෙන් ඔහු මෙහෙකරුට කීවේය. වැදගත් අය යකාට ගියාවේ!
රාත්‍රී හතහමාරට මෙහෙකරු නැවත පැමිණියේය. ඒ වෙද්දී යන්තමින් නින්දට වැටී තිබුණු බිපින් බාබු මෙහෙකරු දොරට තට්ටු කරද්දී අප්‍රසන්න සිහිනයක් දකිමින් සිටියේය. ඒ පාර කවුද?
“චුනි බාබු ඇවිත් සර්, ලොකු හදිසියක් කියලා කියනවා.”
ඒ හදිසිය කුමක්දැයි බිපින් බාබු දැන සිටියේය. චුනිලාල් ඔහුගේ ළමා කාලයේ සිට මිතුරෙකි. මෑතක කරදර කිහිපයකට මුහුණ දී තිබුණු ඔහු රැකියාවක් ලබාදෙන්න යැයි බිපින් බාබු ට කරදර කරමින් සිටියේය. ඔහුව මගහැරීමට කෙතරම් උත්සාහ කළත් ඔහු නිරන්තරයෙන් ආපසු පැමිණෙමින් සිටියේය. මොන කරදකාරයෙක්ද!
අද තමන්ව මුනගැසීමට ඉඩකඩ නැති අතර ඉදිරි සති කීපයේදීත් ඊට ඉඩකඩ නොමැති බව ඔහු චුනිලාල් වෙත පණිවිඩයක් යැවීය.
නමුත් මෙහෙකරු කාමරයෙන් ඉවත් වූ මොහොතේම තමන් පනස් අටේ දී ගිය බව කියවෙන ගමන ගැන චුනිලාල්ට යමක් මතක තිබිය හැකි බව බිපින් බාබුට සිහි විය. ඔහුගෙන් ඒ ගැන විමසීමේ හානියක් නැත.
ඔහු වේගයෙන් පහත මහලට දිව ගියේය. ඒ වෙද්දී චුනි ඉවත්ව යාමට සැරසෙමින් සිටියේය. බිපින් බාබු දැකීමෙන් ඔහු නතර වූයේ දෑසේ බලාපොරොත්තුවේ එළි දල්වා ගනිමිනි.
නමුත් බිපින් බාබු අනවශ්‍යව කාලය නාස්ති කළේ නැත.
“මේ අහන්න චුනි, මට දෙයක් අහන්න තියෙනවා. තමුසෙට හොඳ මතකයක් තියෙනවානේ, අනික දැන් අවුරුදු ගාණක් තිස්සේ මාව වරින් වර මුණගැහෙනවානේ. පොඩ්ඩක් ආපස්සට කල්පනා කරලා මට කියනවා- පනස් අට අවුරුද්දේදී මම රාන්චි ගියාද?”
“පනස් අටේද? පනස් අට වෙන්න ඕන. නැත්නම් ඒ පනස් නමයේ ද?”
“තමුසෙට විශ්වාසයිද මම රාන්චි ගියා කියාලා?”
චුනිගේ මුහුණේ ඇඳී ගිය පුදුමයට ඔහුගේ සිතේ ඇතිවූ කරදරකාරී බවත් මුසු වී තිබිණි.
“ඒ කියන්නේ උඹ ගිය බවට සැකයක් තියනවා කියන එකද?”
“ඇත්තටම මම ගියාද? තමුසෙට හොඳටම මතකයි ද?”
ඒ වෙද්දී සිටගෙන සිටි චුනි නැවතත් සෝපාවේ වාඩි වී, බිපින් බාබු වෙත දිගු, දැඩි බැල්මක් හෙලුවේය.
“බිපින්, උඹ මොනවා හරි මත්වෙන ජාතියක් අරගෙනද? පහුගිය කාලේ නම් එහෙම කිසි දෙයක් නොගත්ත බව මම දන්නවා. මම දන්නවා උඹට පරණ යාළුකම් වලින් වැඩක් නැහැ කියලා ඒත් මෙච්චර කාලෙකට උඹට හොඳ මතකයක් තිබුණානේ. උඹට රාන්චි ගිය ගමන අමතක වෙලා කියලද ඔය කියන්නේ?”
චුනි තමන් වෙත හෙලූ සැක සහිත බැල්ම දරාගනු නොහැකිව බිපින් බාබු ට ඉවත හැරීමට සිදුවිය.
“මගේ කළින් රස්සාව මොකක්ද කියලා මතකද?” චුනිලාල් ඇසුවේය.
“නැතුව, ට්‍රැවල් ඒජන්සියක නේ”
“උඹට ඒක මතකයි, ඒත් රාන්චි ගමනට ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ මම කියලා මතක නැහැ? මම ස්ටේෂන් එකටත් ආවා උඹව බස්සන්න. උඹ හිටිය මැදිරියේ විදුලි පංකාවක් වැඩ කළේ නැති නිසා මම ඒවා හදන කෙනෙක් ගෙන්නලා ඒක හැදෙව්වා. උඹට හැමදේම අමතක වෙලාද? මොකද වෙලා තියෙන්නේ? උඹ ටිකක් ලෙඩ පාටයිත් එක්ක.”
බිපින් බාබු සුසුමක් හෙළා හිස සැලුවේය.
“මම හිතන්නේ මම රස්සාවට මහන්සි වෙනවා වැඩියි,” ඔහු අවසානයේදී කීවේය. “ඒක වෙන්න ඕන හේතුව. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බවෙන්න බලන්න ඕන”
චුනිලාල් තමන්ගේ රැකියා අවස්ථාව ගැන සිහි කිරීමක් නොකරම යන්නට ගියේ බිපින් බාබුගේ මේ අසනීප තත්ත්වය නිසා විය යුතුය.
පරේෂ් චන්ඩා නම් දීප්තිමත් දෑසක් සහ උල් නාසයකින් යුතු වූ තරුණ වෛද්‍යවරයා බිපින් බාබු ගේ රෝග ලක්ෂණ අසා තරමක් කල්පනාබර විය.
“මේ අහන්න ඩොක්ටර් චන්ඩා,” බිපින් බාබු බැගෑපත් ස්වරයෙන් කීවේය. “මේ දරුණු ලෙඩේ කොහොම හරි හොඳ කරන්න ඕන. මේකෙන් මගේ රස්සාවට වෙන බලපෑම විස්තර කරන්න මට වචන නැහැ. දැන් කාලේ එක එක ජාතියේ බෙහෙත් තියෙනවනේ, මේ වගේ ලෙඩකට ගැලපෙන දෙයක් නැද්ද? මෙහෙ හොයාගන්න නැත්නම් මට පිටරටින් උනත් ගෙන්නා ගන්න පුළුවන්. මට කොහොමහරි මේ ලෙඩෙන් මිදෙන්නයි ඕන.”
වෛද්‍යවරයා හිස සැලීය.
“මම මීට කලින් කවදාවත් මේ වගේ ලෙඩක් දැකලා නැහැ චෞද්රි මහත්තයා. ඇත්තම කියනවා නම් මේක මගේ පළපුරුද්දෙන් එපිට දෙයක්. හැබැයි මට එක යෝජනාවක් කරන්න පුළුවන්. හරියයිද නම් දන්නේ නැහැ, ඒත් උත්සාහ කරලා බලන්න වටිනවා. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ.”
බිපින් බාබු උනන්දුවෙන් පුටුවේ ඉදිරියට බර විය.
“මට තේරෙන විදිහට- මම හිතන්නේ ඔබටත් මෙහෙම හිතෙනවා- ඔබ රාන්චි වලට ගිහින් තියෙනවා, ඒත් මොකක් නමුත් නොදන්නා හේතුවක් නිසා ඒ මුළු ගමනම ඔබේ මනසින් ගිලිහිලා. මම යෝජනා කරනවා ඔබට ආයෙමත් රාන්චි යන්න කියලා. එහෙ ගිහින් ඇවිදිද්දී ඔබට කළින් ගමන ආයෙත් මතක් වෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊට වැඩිය දෙයක් නම් මට මේ වෙලාවේ කියන්න බැහැ. මම ඔබේ මනස සන්සුන් වෙන්න බෙහෙතකුත් නින්ද යන බෙහෙතකුත් ලියලා දෙන්නම්. නින්ද අත්‍යවශ්‍යයි, නැත්නම් ඔය රෝග ලක්ෂණ වැඩි වෙනවා.”
එක්කෝ නිදි පෙත්ත නිසා, නැත්නම් වෛද්‍යවරයා දුන් උපදෙස් නිසා පසුවදා උදෑසන වෙද්දී බිපින් බාබුට මඳ සහනයක් දැනුණි.
උදෑසන ආහාරයෙන් පසුව කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත් ඔහු, උපදෙස් කීපයක් දී, එදිනම හවස් වරුවට රාන්චි වෙත යාමට පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශ පතක් වෙන් කර ගත්තේය.
පසුදින උදෑසන රාන්චි දුම්රියපළින් දුම්රියෙන් බසිද්දීම තමන් මින් පෙර කිසිදිනක එහි පැමිණ නැති බව ඔහුට වැටහිණි.
දුම්රියපළින් පිටවී කුලී රියකට නැඟුණු ඔහු, ටික වේලාවක් නගරය වටා සංචාරය කළේය. එහි ගොඩනැගිලි, හෝටල්, කඩ මණ්ඩි, මොරබාදී කන්ද ආදී හැම දෙයක්ම නුපුරුදු බව ඔහුට පැහැදිලි වූ අතර ඒ එකක් ගැන වත් ඔහුට කිසිම මතකයක් නොවිණි. හද්රු ඇල්ලට ගියහොත් යම් වෙනසක් විය හැකිද? එසේ නොවන බව ඔහුට හැඟුනත් සියලු අවස්ථා අත්හදා නොබලා ආපසු යාමට අකමැති වූ ඔහු හවස් වරුවේ හද්රු යාමට කුලී රථයක් සුදානම් කරගත්තේය.
එදිනම හවස පහට පමණ හද්රුහි සතුටු සවාරියක යෙදී සිටි ගුජරාටි මහත්වරු දෙදෙනෙකුට ගල් කුළක් අසල සිහි නැතිව වැටී සිටි බිපින් බාබුව දක්නට ලැබිණි. ඔවුන්ගේ සහයෙන් පියවි සිහියට එළඹී බිපින් බාබුගේ මුවින් පිටවුණු පළමු වැකිය නම්, “මම ඉවරයි, තව දුරටත් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නැහැ” යන්නයි.
මීට පසු දින බිපින් බාබු නැවත කල්කටාවට පැමිණ සිටියේය. තමන්ට ගොඩ ඒමක් නොමැති බව ඔහු වටහාගෙන තිබිණි. නොබෝ කලකින් ඔහුට රැකියාවට ඇති කැමැත්ත, ආත්ම විශ්වාසය, ඔහුගේ සමත්කම්, මානසික ඒකාග්‍රතාව ආදී සියලු දේ අහිමි වනු ඇත. ඔහුටත් රාන්චි හි මානසික රෝහලටම යන්නට සිදුවේද? බිපින් බාබු තව දුරටත් කල්පනා කිරීමට අපොහොසත් විය.
නිවසට ආ පසු ඔහු දොස්තර චන්ඩා වෙත දුරකථන ඇමතුමක් දී හවස් වරුවේ පැමිණෙන ලෙස දැනුම් දුන් අතර, නෑමෙන් පසු අයිස් සහිත මල්ලක් හිසට තබාගෙන ඇඳට වී සිටියේය. ලියුම් පෙට්ටියට දමන ලද ලියුමක් මෙහෙකරු විසින් ඔහු වෙත ගෙන එනු ලැබුවේ එවිටයි. කොළ පැහැති ලියුම් කවරයක් වූ එහි ඔහුගේ නම රතු තීන්තයෙන් ලියා තිබිණි. නමට ඉහළින් ‘පුද්ගලිකයි රහසිගතයි’ යනුවෙන්ද ලියා තිබිණි. තමන්ගේ අසනීප තත්ත්වයද නොතකා මෙය කියවිය යුතුම බව බිපින් බාබු ට හැඟිණි. කවරය ඉරා ලියුම පිටතට ගත ඔහු එය කියවන්නට විය. එහි සඳහන් වූයේ මෙලෙසයි.
“හිතවත් බිපින්,
පොහොසත් වෙද්දී ඔබ මේ ලෙසම වෙනස් වනු ඇති මා කිසි විටක සිතුවේ නැත. කරදරයට පත්ව සිටින පැරණි මිතුරෙකුට උපකාර කිරීම ඔබට මෙතරම් දුෂ්කර ද? මා හට මුදල් නොමැති නිසා මා ළඟ සම්පත් ඇත්තේ සීමිත ප්‍රමාණයකයි.. නමුත් මා සතුව පරිකල්පනය ඇත. ඔබගේ හිතක් පපුවක් නොමැති හැසිරීම වෙනුවෙන් පලි ගැනීමට මා පාවිච්චි කළේ ඉන් බිඳකි.
ඔබට පොත් සාප්පුවේදී මුණගැසුණු මිනිසා මගේ හිතවත් අසල්වැසියෙකි. දක්ෂ නළුවෙකු වන ඔහු, මා ඔහුට ලියා දුන් චරිතය මනා සේ රඟපා ඇත. දිනේෂ් මුකර්ජි කිසි දිනක ඔබ ගැන වැඩි කැමැත්තකින් පසු නොවුණු නිසා ඔහුත් මීට සහාය වීමට බොහෝ කැමති විය. ඔබේ දණහිසේ ඇති කැළැල, 1939 දී චන්ද්පාල් ඝාත් හිදී ඔබ ලණුවක පටලැවී වැටුණු අවස්ථාවක සිදුවූ තුවාලයක් බව ඔබට මතක්වනු ඇත..
දැන් ඔබට සුවවන බවට සැකයක් නැත. පොත් ප්‍රකාශකයෙකු විසින් මා ලියූ නවකතාවක් සලකා බලමින් පවතී. ඔහු එයට කැමති වුවහොත් මට ඉන් ඉදිරි මාස කීපය ගෙවා ගනු හැකි වනු ඇත.”
මීට
චුනිලාල්”
වෛද්‍ය චන්ඩා පැමිණි විට “මට දැන් හොඳයි, රාන්චි වල කෝච්චියෙන් බැස්ස ගමන් හැමදේම මතක් වුණා,” යැයි බිපින් බාබු කීවේය.
“බොහොම දුර්ලභ සිදුවීමක්,” වෛද්‍යවරයා කීවේය. “මේ ගැන මම අනිවාර්යයෙන්ම වෛද්‍ය සඟරාවට ලියනවා.”
“මම ඔබට එන්න කීවේ,” බිපින් බාබු කීවේය. “රාන්චි වලදී වැටිලා මගේ කකුලේ වේදනාවක් තියෙනවා, මට වේදනා නාශකයක් ලියලා දෙන්න පුලුවන්ද ඩොක්ටර්?”
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
From the book One Dozen Stories by Sathyajit Rai - Penguin Books India (2008)
Photo by Vni Vinay on Unsplash
May 15, 2023
වියපත් ගැහැනිය
වියැකෙන ආලෝකයේ
පැහැය ගෙන
මගේ ශෝකයන්
එකින් එක මා වෙතම පැමිණේ.
වැළපෙන පරෙවියන් මෙන්
මා දෙවුර මත වසා
අමතක කරන්නට මා පතන සියල්ලම
යළි මටම පවසයි
දහවලේදී
වෙස්වලාගෙන සැඟව
ශෝකය යළිත් පැමිණේ.
ත්‍රෂ් කුරුල්ලන්ගේ
දිලිසෙන මියුරු හඬින්
මගේ ශෝකයන් මට ගයද්දී
හිරු රැසෙහි උණුසුමෙන්
විස්මෘතිව පැද්දෙමින්
මමත් එය යළි ගයමි
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Old Woman' by Linda Pastan
From the book 'Five Stages of Grief' (1978)
Sketch- Ink on paper
May 11, 2023
මුහුදු ඉස්කෝලේ නිවාඩු- අසම්පූර්ණ සුරංගනා කතා
මිලා අද දවසම ගත කළේ හැංගිලා. උසට උසේ ඒ මේ අත වැනෙන මුහුදු තණකොළ අතරේ ඉඳන් එයා සැරෙන් සැරේ එළිය බැලුවා. ඊයේ උදේ ඇතිවුණ තිගැස්ම නිසා හැමතිස්සෙම තමන්ගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එයාට දැනුණා. කොහොමහරි මේ කොළ පාට මුහුදු තණකොළ අතරේ එයාගේ දිස්නේ දෙන කහ පාට පැහැදිලිවම පේන නිසා ඒ හැංගිල්ලෙන් වැඩක් නැති බවවත් එයාට මතක් වුණේ නැහැ.
මුහුදු ඉස්කෝලේ නිවාඩු දුන්නු දවසේ ඉඳන්ම මිලා එයාගේ කකුළු යාලුවා මිකීයි, පසැඟිලි යාලුවා ඩේලියායි එක්ක ඔට්ටු තියමින්, හැංගිමුත්තන් කරමින් ගත කළා. උදේ ඉර නැඟෙන වෙලාවට කොරල් පර අතරේ හරිම ලස්සනයි. පැහැදිලි මුහුදු වතර අතරින් පෙරිලා එන ඉර එළිය තීරු නිසා කොරල් පඳුරු තැඹිලි පාටට, රතු පාටට, රත්තරන් පාටට දිලිසුණා.
ඒත් ඊයේ උදේ නම් හැංගිමුත්තන් කරන වෙලාවේ ගල් පර දෙකක් අතර හැංගෙද්දී මිලා හොඳටම බයවෙන දෙයක් වුණා. හදිසියෙම ගැඹුරු මුහුදේ අඳුර අතරින් හොල්මනක් මතු වුණා!
මිලා හොල්මන් ගැන අහලා තිබුණේ පරණ කතන්දර කියන කැස්බෑ ආච්චිගෙන්. මුහුදේ ලෝකයට එහා අහස් ලෝකයේත් ගොඩබිම් ලෝකයේත් අමුතු ලස්සන කතන්දර ගොඩාක් කැස්බෑ ආච්චි දැනගෙන හිටියා. කම්මැලි හවස් වරු වලට පොඩි පොඩි මාළු පැටව්, කකුළු පැටව් මේ කතන්දර අහන්න කැස්බෑ ගෙදරට රොක් වුණා. කැස්බෑ ආච්චි කීව කතා අතරින් හොල්මන් කතා මිලාගේ හිතේ තදින්ම සටහන් වෙලා තිබුණා.
ඉතින් ඊයේ ඒ අඳුර මැද්දෙන් දැක්කේ හොල්මනක් කියලා මිලාට හොඳටම විස්වාසයි. කැස්බෑ ආච්චි කීව විදිහටම ඒ හොල්මන විනිවිද පේන දිග ගවුමක් ඇඳගෙන තමන්ගේ ඉස්සරහින් බොහොම හිමින් පාවෙලා ගියා. මිලා බය වුණු පාරට උන්නු තැනත් අමතක වුණා. ගල් පර අස්සේ සෑහෙන්න වෙලාවක් හැංගිලා ඉඳලා හොරෙන් එබිලා බලද්දී හොල්මන පේන්න හිටියේ නැහැ.
“මොකද, අද සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? අන්න මිකී කතාකරනවා” තාත්තා ළඟටම ඇවිත් කියද්දී මිලා තිගැස්සුණා.
“නෑ මේ, මං මේ..” එයාට වචන පැටලුණා.
“ඒ පාර මොකක්ද කරගත්තේ?”
තාත්තා මිලා දිහා බැලුවේ ඇස් පුංචි කරලා. කලින් වතාවක සෙල්ලම් කරන අතරේ අම්මලාට හොරෙන් ගැඹුරු මුහුදට ගිහින්, මිකීව පරණ මාළු දැලක පැටලුණු අකරතැබ්බය තාත්තට මතක් වුණු බව මිලාට තේරුණා. එදා මිකීව බේරගන්න තාත්තා මහන්සි වුණත් පස්සේ යාළුවො තුන්දෙනාවම පේළියට තියලා හොඳ දේශනයක් දුන්නා.
“නෑ නෑ එහෙම මුකුත් නෙමෙයි” මිලා ඉක්මණින් කිව්වා. “මේ ඊයේ, අපි සෙල්ලම් කරද්දී….”
මේ කතාව අහලා තාත්තා හිනාවෙයි කියලා හිතිලා මිලා කතාව අතරමඟ නැවැත්තුවා. කැස්බෑ ආච්චිගේ කතන්දරවල තමන්ට දැනෙන හුස්ම හිරවෙන ජාතියේ පුදුමය වැඩිහිටියන්ට නොදැනෙන බව යාළුවො ටික ළඟදීත් කතා වෙලා තිබුණේ.
“ඔව් ඔව්, මොකද වුණේ?”
තාත්තා ඇහුවා.
ඔන්න ඔහේ කියලා දානවා කියලා මිලාට හිතුණා.
“මම අර ගල්පර අතරේ හැංගිලා ඉන්දැද්දී හොල්මනක් දැක්කා!” මිලා කීවේ ඇස් දෙක ලොකු කරන්.
මේක අහලා තාත්තා හිනාවුණේ නැහැ. මිලා දැක්ක හොල්මන ගැන විස්තර ගොඩාක් ඇහුවා. ඊටපස්සේ ටිකක් කල්පනා කළා.
“තාත්තාත් හොල්මන ගැන අහලා බය වෙලාද?” මිලා තමන්ටම කියාගත්තා.
“මම ඉක්මණින් එන්නම්.” තාත්තා හදිසියේම ඈතට පීනාගෙන ගියා.
තමන් තවදුරටත් බය වෙන්න ඕනද නැද්ද කල්පනා කරමින් ඉන්න අතරේ මිලාට නින්ද ගියා.
“මිලා, මිලා! මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා!”
තාත්තාගේ කටහඬ ඇහිලා මිලා ගැස්සිලා ඇහැරුණා. එයා හිමින් සැරේ මුහුදු තණකොළ තීරු අතරින් එබිලා බැලුවා. මෙන්න එතැන අර හොල්මන! ඊට එහාපැත්තෙ තාත්තා හිනාවීගෙන ඉන්නවා. මිලාට පොඩි බයකුත් ලොකු කුතුහලයකුත් දැනුණා.
“මෙන්න මිලා ඔයාගේ හොල්මන, අපේ ජෙලිෆිෂ් මහත්තයා!” තාත්තා හයියෙන් හිනාවුණා.
ඇත්ත නේන්නම්, හොඳට එලිය තියෙන තැනක ඉන්දැද්දී ඒ ජෙලිෆිෂ් මහත්තයෙක් බව පේනවා! ජෙලිෆිෂ් මහත්තයා මිලා ට ලොකු හිනාවක් දුන්නා.
හැංගිලා හිටිය තැනින් එලියට එද්දී මිලාට පොඩි ලැජ්ජාවක් දැනුණා තමයි, ඒත් ඉතින් ඒ හිටියේ හොල්මනක් නෙමෙයි නිසා දැනුණේ ලොකු සැනසිල්ලක්.
“ජෙලිෆිෂ් මහත්තයාගෙන් අහන්න ඕන මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවාද කියලා,” මිලා තමන්ටම කියා ගනිද්දී එයාගේ මූනේ කපටි හිනාවක් ඇඳුනා.
-හෙල්මලී ගුණතිලක-
digital painting
අසම්පූර්ණ සුරංගනා කතා #3
May 05, 2023
පෙම් කවි ලියන්නෙක් නොවේ
Translation of the poem ‘Not a love poet’ by Rudy Francisco
පෙම් කවි ලියන්නෙක් නොවේ මා, අවංකවම
එහෙත්
හෙට උදෑසනම අවදිව
ප්‍රේමය ගැන ලියන්නට සිතුනොතින්
මගේ පළමු කව
ඔබ ගැන වනු ඇත
පෙම් කවි ලියන්නෙක් නොවේ මා
එහෙත් ලියමි මම
ඔබේ වත දකින’යුරු හැම වළාවකම
ඔබේ පිළිබිඹුව, හැම කවුළුවකම
ලියා ඇත මා දස දහසක් කවි
කෙසේ හෝ
මිදී ඒ අකුරු අතරින්, පිටු මතින්
ඔබ මා ළඟට එනු ඇතැයි සිතමින්
පෙම් කවි ලියන්නෙක් වී නම්
ලියමි මම
ඔබ වටා ඇති හැම දේම අසුන්දර විට
සුන්දර ව පැවතීමට
ඔබ තුළ ඇති නිර්භීතකම ගැන
ඔබ ඇසිපිය ලන හැම මොහොතකම
ඔබේ ඇසි පිය, වෙණ තත් වී
මහද සංධ්වනි මවන’යුරු ගැන
එහෙත් ඉඳහිට
දෙවියන්ගෙන් යදිමි
ඔබ නැවත මගේ ඉළ ඇටයක් කරන ලෙස
එවිට ඔබ නොමැතිව
එක් දිනක් වත් ගත නොවෙනු ඇත.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක