Translation of the Short Story 'Wife's Holiday' by R. K Narayan
කන්නන් තම පැල්පතේ දොරකඩ හිඳ තමන්ට ඉදිරියෙන් ඇති පාරේ ගම්වැසියන් එදිනෙදා කටයුතු සඳහා යන එන අයුරු බලා සිටියේය. තෙල් වෙළෙන්දා වන සාමි තම ගොනා දක්කාගෙන ඈත සිට ඒ දෙසට එනු පෙනුණි.
“ආ අද උඹ කම්මැලිකමට ඉන්න දවස වගේ නේද? හවස් අතේ මන්තාපම් පැත්තේ වරෙන් එහෙනම්,” ඔහු එතැනින් යද්දී කීවේය.
ඉන් පසුවත් කීපදෙනෙක්ම එතැනින් ගියත් කන්නන් ඒ වගක් දුටුවේ වත් නැත. තෙල් වෙළෙන්දාගේ වචන ඔහුව සිහිනයකට අතහැර තිබුණි. මන්තාපම් යනු බොහෝ පැරණි, කුළුණු සහිත ගොඩනැගිල්ලකි. බදාම ගැලවෙමින්, ගරා වැටෙමින් තිබුණු එය පිහිටා තිබුණේ වැව අද්දරයි. කන්නන් සහ ඔහුගේ මිතුරු පිරිසට මෙය සමාජ ශාලාවක් වැනි විය. ඇතැම් හවස් වරු වලදී ඔවුහු එතැනට එක් රැස් වී මහත් උද්යෝගයෙන් සහ උන්මාදයෙන් දාදු සෙල්ලම් කළහ. කන්නන් මේ සෙල්ලමට පමණක් නොව ඒ ස්ථානයේ දැනෙන මඩ පුසුඹටත්, ගරා වැටුණු ආරුක්කු අතරින් අහසත් දුර ඈත කඳු ගැට පෙනෙන ආකාරයටත් ඉතා ප්‍රිය කළේය.
තම දොරකඩ හිඳ අව්ව තපිමින් සිටින තමන් කම්මැලියෙක් යැයි මිනිසුන් චෝදනා කරනු ඇති බව කන්නන් දැන සිටි නමුත් ඔහු ඒ ගැන තැකීමක් නොකළේ ය. රැකියාවට යාමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණේ නැත - බිරිඳ තවමත් නිවසින් පිටව සිටි නිසා එසේ යන්නට ඔහුට බල කරන්නට කෙනෙක් සිටියේ නැත. දින කිහිපයකට පෙර ඔහු විසින් සිය බිරිඳව ඒ ගමන යන්නට කරත්තයකට නග්ගනු ලැබුවේ නිහඬ සතුටකිනි. අඩුම තරමේ තව දින දහයක්වත් එහි නවතින්නට ඇගේ දෙමව්පියන් ඇයට බලකරනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කළේය. තම පුතුගෙන් වෙන්වී සිටීම දුකක් වූවත් බිරිඳ නොමැතිව කල් ගෙවන්නට ලැබීමේ වරප්‍රසාදය වෙනුවෙන් එය ගෙවන්නට සිදුවන නොවැලැක්විය හැකි මිළක් බව කන්නන් භාරගෙන සිටියේය.
“ඒ ගෑනි ගෙදර හිටියා නම් මට මේ වගේ විවේක ගන්න ඉඩ දෙයිද?” ඔහු කල්පනා කළේ ය. එසේ වූවා නම් ඔහු මේ වෙද්දී පොල් ගස් නගිමින්, ඒවායේ කුරුමිණියන් සහ වෙනත් කරදරකාරී කෘමීන් ඉවත් කරමින්, කුම්මැහි ගස් අයිතිකරුවන් සමඟ හෙට්ටු කරමින්, දවසකට රුපියලක් උපයමින් සිටිනවා ඇත. දැන් ඔහු තම බිරිඳ නිවසේ නැති ප්‍රීතිය සැමරුවේ දවසින් වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳීමෙනි. නමුත් මෙහි අවාසිය වූවේ ඔහු සන්තකයේ ආනා කාලක්වත් නොමැති වීමයි. එමෙන්ම අද දවසේ ගස් බඩගෑමක් සිදු නොකළහොත් ඔහුට කිසිම කාසියක් දක්නට ලැබෙන්නේ ද නැත.
අතපය දිගු කර ඇඟ මැලි කැඩූ කන්නන් ගස් නැගීම ගැන නොසතුටින් කල්පනා කළේය. අර විශාල නිවසේ ගෙවත්තේ තිබුණු පොල් ගස් දහයට තම සේවාව අවශ්‍ය බව සත්‍යයකි, තමන් එහි යාමට සූදානම් ඕනෑම වෙලාවක ඒ කාර්යය ඔහු වෙනුවෙන් වෙන්වී තිබුණි. එහෙත් එය කළ නොහැක්කක් බව ඔහුට හැඟුණි. තම අත පය දරදඬු වී ඇති බවත්, අද දවසේ ඒවා අවනත වන්නේ මන්තාපම් යාමට පමණක් බවත් ඔහු සිතුවේය. නමුත් හිස් අතින් එහි ගොස් ඇති පල කුමක්ද? ඔහු අතේ අඩුම තරමේ ආනා හතරක්වත් තිබුණි නම් හවස ආපිට එද්දී රුපියලක් රැගෙන ඒමට හැකිවනු ඇති බව ඔහු විශ්වාස කළේය. අර ගෑනි! තමන් මහන්සියෙන් ඉපයූ මුදලින් ආනාවක් වත් තමන් සතුව තබාගැනීමට ඉඩ නොදෙන බිරිඳ ගැන සිතද්දී පවා ඔහුට කෝපයක් දැනුණි. තමන්ගේ නමට එක ආනාවක් වත් නොමැතිවීම! තමන් වසර ගණනක් තිස්සේ දුකසේ මුදල් ඉපයූ බව කන්නන් මතක් කළේ ය. ඒ කාලය වසර කීයක්දැයි ගණන් කරන්නට උත්සාහ කළත් ඔහු ඒ සිතිවිල්ල අත්හැර දැමුවේ ඒ වෙනුවෙන් ඉලක්කම් රාජධානියට පිවිසිය යුතු නිසාය. දාදු සෙල්ලමේදී සහ මුදල් ගණන් කිරීමේදී හැර අන් හැම විටකදීම ඔහුට දැනුණේ ඉලක්කම් යනු තමන්ගේ ග්‍රහණයෙන් පිට ඇති සංකීර්ණ දේවල් බවයි.
හදිසියේම යමක් සිහි වූ බැවින් ඔහු හුන් තැනින් නැගිට නිවස තුළට ගියේය. නිවසේ එක කෙළවරක විශාල යකඩ පෙට්ටගමක් විය. වසර කීපයකට පෙර කළු තීන්ත ආලේප කර තිබුණු එය මේ නිවසටම තිබුණු එකම වැදගත් දේ විය. පෙට්ටගම ඉදිරිපස හිඳගත් කන්නන් එහි අගුල දෙස අසරණ ලෙස බලා සිටියේය. එය තියුණු දාර සහිත තනි යකඩ අගුලකි. එහෙත් ඔහු එය අල්ලා වැරෙන් අදිද්දී පුදුමයකට මෙන් එය විවර විය. “දෙවියන් මට කරුණාවයි,” තමාටම කියාගත් ඔහු පෙට්ටගමේ පියන විවර කළේය. මෙහි තිබුණේ ඔහුගේ බිරිඳගේ වටිනාම වස්තූන් කිහිපයකි. එහි හැට්ට කිහිපයක් සහ සාරි දෙකතුනක් විය. තමන් තරුණ මනමාලයෙක් ලෙස ඇයට මිළදී ගෙන දුන් සාරියත් එහි ඇති බව දුටු විට මේ තරම් කාලයක් ඇය එය ප්‍රවේසම් කර තිබීම ගැන ඔහු පුදුම විය. එදා සිට ගත වූ කාලය ගණනය කරන්නට උත්සාහ කළත් මෙවරත් ඉලක්කම් ඔහුට හරස් විය.
“මට නම් පේන්නේ එයා මේක පරෙස්සම් කරලා තියාගෙන ඉන්නේ ඒක අඳින්න තියෙන ලෝබකම නිසායි!” කී ඔහු තනිවම සිනාසුණේ මේ නපුරු නිගමනය ගැන සතුටිනි. මේ ඇඳුම් කැඩුම් නොඉවසිලිමත් ලෙස වීසි කර දැමූ ඔහු පෙට්ටගම පතුලේ ඈ මුදල් දමන කුඩා ලී පෙට්ටිය සොයන්නට විය. නමුත් එය හිස් ව පැවතුණි. එහි තිබුණේ වාසනාව උදෙසා ඉතිරි කරන ලද සුමට තඹ කාසියක් පමණි.
“සල්ලි ටික කොහේ අතුරුදහන් වුණා ද?” ඔහු කේන්තියෙන් ඇසුවේය.
“එයාගේ සහෝදරයාට හරි එහෙ ඉන්න වෙන කෙනෙකුට හරි දෙන්න ආනා ඔක්කොම අරන් යන්න ඇති! මම මෙහෙ දවස ගානේ වහල්කම් කරන්නේ එයාගේ සහෝදරයා පෝසත් කරන්නද? ඊළඟ වතාවේ ඕකාව හම්බ වුණාම මම උගේ බෙල්ල මිරිකනවා,” මෙසේ තමන්ටම කියාගනිද්දී ඔහුට යම් තෘප්තියක් දැනුණි. තවත් පෙට්ටගම අවුස්සද්දී එහි කෙළවරක වූ දුම්වැටි අසුරන වර්ගයේ බෙලෙක් භාජනයක් ඔහුගේ ඇස ගැටුණි. එය සොලවා බැලූ විට ඉන් නැඟුණේ කාසිවලින් නැඟෙන සතුටු හඬයි. එය දකිද්දී ඔහුගේ පපුව උණු විය. මේ රත් පැහැති බෙලෙක් බඳුන ඔහුගේ පුතුගේ යි. සංචාරක බංගලාව පසුපස කුණු ගොඩේ තිබී මෙය අහුලාගත් පුතු එය තම පපුවට තදකරගෙන දිව ආ හැටි ඔහුට සිහි විය. ඉනික්බිති මුළු දවසම පාරේ සිට ඊට දුහුවිලි පුරවමින් සහ හිස් කරමින් ඔහු එය සමඟ සෙල්ලම් කළේය. මෙයින් කාසි කැටයක් තනන්නට යෝජනාව ගෙන ආවේ කන්නන් ය. මුලදී කුඩා දරුවා දැඩි ලෙස මීට විරුද්ධ විය. නමුත් කන්නන් දිගටම කරුණු දැක්වූ නිසා ඔහුට මේ අදහස දරුවාට ඒත්තු ගන්වන්නට හැකි වූ අතර අවසානයේදී ඔහු උනන්දුවෙන් ඊට එකඟ විය.
“කාසි කැටය පිරුණාම මම අර ලොකු ගෙදර පිරිමි ළමයා වගේ කාර් එකක් ගන්නවා, තව හාමොනිකාවකුයි කොළ පාට පැන්සලකුයි ගන්නම ඕන.” පුතුගේ මේ සැලසුම් අසා කන්නන් හඬ නඟා සිනාසුණේය. බෙලෙක් බඳුන කම්මලට රැගෙන ගිය ඔහු කම්මල්කරු ලවා එහි පියන පාස්සා මුදුනෙහි කාසියක් දමන්නට පමණක් ඉඩ සෑහෙන විවරයක් කපාගත්තේය. කුඩා දරුවාට මෙය මහඟු වස්තුවක් වූ අතර තාත්තාට එතුළට කාසියක් දමන්නට එය ඔසවාගෙන සිටීමට ඔහු ප්‍රිය කළේය.
“තාත්තේ කැටේ පිරිලා ද? මට ඒක අරින්න පුලුවන්ද?” ඔහු රැළි කරගත් දෙබැමින් යුතුව නිරතුරුව ඇසුවේය. මවගේ පෙට්ටගමේ සාරි අතරේ සුරක්ෂිතව තම කැටය තබන්නට උත්සුක වූ දරුවාට පෙට්ටගම නිසි ලෙස අගුලුලන තුරු නිවනක් නොවිණි.
“බොහොම පරෙස්සම් ළමයා, මෙයා ලොකු දේවල් කරයි. ටවුමේ ඉස්කෝලෙකට දාන්න ඕන,” මේ දෙස බලා සිටින කන්නන් ආඩම්බරයෙන් කීවේය.
දැන් කන්නන් කාසි කැටය සොලවා එහි විවරය ආලෝකයට අල්ලා බැලුවේ එහි ඇති මුදල දැනගැනීමටයි. බිරිඳ ගැන දැනුණු ගැඹුරු නොරිස්සුම නිසා ඔහු නපුරු අදහසකට ගොදුරු විය. කාසි කැටය උඩු යටිකුරු කළ ඔහු එහි කාසි ගැටෙන හඬින් දෙකන් බිහිරි වන තුරු එය වැරෙන් සෙලවූවේය. නමුත් කම්මල්කරු තමන්ගේ රාජකාරිය මනාව ඉටු කර තිබුණි. කැටයේ විවරය කාසියක ගනකමම වූ නිසා ඊට කාසි දමනු හැකි වූ නමුත් ඒවා ඉන් පිටතට ආවේ නැත. මෙලොව කිසිම බලයකට ඒවා පිටතට ගැනීමට නොහැකි බවක් පෙනුණි.
මඳ වෙලාවකට පසු තම කාර්යය මොහොතකට නැවැත්වූ කන්නන් තමන්ගෙන්ම මෙසේ ප්‍රශ්න කළේ ය. “දරුවාගේ මේ සල්ලි මම ගන්න උත්සාහ කරන එක හරි වැඩක්ද?” “මොකද නැත්තේ?” ඔහු තුළින්ම සිත වශී කරවන සුළු කටහඬක් නැඟුණි. “තාත්තාත් පුතාත් දෙන්නාම එක්කෙනෙක්. අනික තමුන් ඔය මුදල වගේ දෙතුන් ගුණයක් හොයාගත්තාම ඒ ටික ආයෙත් කැටයට දාන්න පුළුවන්. ඒ හින්දා හරියටම බැලුවොත් නම් ඔය කැටය කඩන එකෙන් ඔයා පුතාට කරන්නේ වාසියක්.” මේ සිතිවිල්ලෙන් ඔහුගේ සිතේ වූ කුකුස සමනය විය. කැටයේ විවරය පළල් කරන්නට සුදුසු උපකරණයක් සොයමින් ඔහු වටපිට බැලුවේය. නිවස වටා ගොස් ඔහු ඒ සඳහා තේරුමක් නැති දේවල් - නූල්, පොරෝප්ප ඇබ, ඉවත දමන ලද හරක් ලාඩමක්- වැනි දේවල් එක් රැස් කළේය. එහෙත් ඔහුට එකම මුවහත් උපකරණයක් වත් සොයා ගැනීමට හැකි වූයේ නැත. මෙහි තිබුණු පිහියට කුමක් වී ද? තමන්ගේ බිරිඳගේ සෑම දෙයක්ම සඟවා තැබීමේ පුරුද්ද ගැන ඔහුට නොරිස්සුමක් දැනුණි. ඇය එය තම සහෝදරයා වෙත රැගෙන ගියා විය නොහැකිද?
කාසි කැටය අතින් ගත් කන්නන් තව ටික වෙලාවක් එය පොළොවේ ගහමින් පසුවිය. මේ නිසා එහි හැඩය වෙනස් වී අබලි වූවා මිස ඒ තුළ වූ වස්තුව නම් එළියට ආවේ නැත. වටපිට බලද්දී කන්නන් ගේ නෙත ගැටුණේ දේව රූපයක් ඇණයකින් එල්ලා ඇති අයුරු ය. රූපය ඉවත් කර ඇණය බිත්තියෙන් ගලවා ගැනීමට ඔහු සමත් විය. ඉනික්බිති බිම වැටුණු දේව රූපය දෙස බැල්මක් හෙලූ ඔහුට මඳ අපහසුතාවක් දැනෙන්නට වූ නිසා ඔහු වහා වහා එහි දෙපය වෙත තම දෑස යොමු කළේය. ගල් කුට්ටියක් ගෙන ආ කන්නන්, එක් අතකින් ඇණය කාසි කැටය මත තබා අල්ලාගෙන අනෙත් අතින් ඒ වෙතට වැරෙන් ගල් පහරක් එල්ල කළේ ය. නමුත් ඇණය ලිස්සා ගිය නිසා ගල් පහර ඔහුගේ මහපටඇඟිල්ලට වැදී එය නිල් විය. වේදනාවෙන් කෑ ගැසූ කන්නන් කාසි කැටය වීසි කර දැමුවේය. එය නිවසේ මුල්ලකට වීසි වී ගොස් තමන් දෙස නපුරු ලෙස බලා ඉන්නා බවක් ඔහුට හැඟිණි.
“උඹ මහා බල්ලෙක්!” ඔහු ඊට බැන වැදුණේ ය. තැලුණු මහපටඇඟිල්ලේ වේදනාව විඳිමින් මඳ වෙලාවක් ගත කළ ඔහු අන්තිමේදී රතු බෙලෙක් බඳුන දෙස බැල්මක් හෙලා “දෙන්නම් උඹට වැඩක්,” යැයි කියා නැගිට ගියේය. නිවසේ කුස්සිය ලෙස ගැනුණු මුල්ලට ගිය ඔහු නැවත ආවේ මිරිස් ගලේ අත් ගල හිසට ඉහළින් දෑතින්ම ඔසවාගෙනයි. ඉනික්බිති බෙලෙක් බඳුන වෙත ගොස් ඔහු සිරස් ව අත් ගල එය මතට අත හැරියේය. මෙය නම් සවිමත් බවෙන් කාසි කැටයට වඩා ඉදිරියෙන් තිබුණු බව ඔප්පු කරමින් මේ පහරින් බෙලෙක් බඳුන පැතලි වී ගොස් එක පසෙකින් විවර විය. ඉක්මණින් එතුළට අතැඟිලි යවා එහි වූ කාසි පිටතට ගත් ඔහු ඒවා ගිජු ලෙස ගණන් කරන්නට විය. එහි පයිස තුනේ තඹ කාසි වලින් ආනා හයක් විය. තම දෝතියේ ඉනේ මේ කාසි රඳවාගත් ඔහු නිවසේ දොර අගුලු ලා ඉන් පිටව ගියේය.
මන්තපාම් හිදී වාසනාව ඔහුව හැර ගියා නොව එය ඔහු අහලකටවත් ආවේ වත් නැත. ටික වෙලාවකින් ඔහුට ඔහුගේ මුදල් සියල්ල අහිමි විය. තව ටික වෙලාවක් ඔහු ණයට සෙල්ලම් කළත් ඔහුගේ වාරය ඊට වඩා ගෙවීමේ හැකියාව ඇති කෙනෙක් වෙනුවෙන් ලබාදිය යුතු බව කිසිවෙක් විසින් යෝජනා කරන ලදී. එක් වරම හුන් තැනින් නැගිටගත් ඔහු නිවෙස බලා පිටත්ව යද්දීත් හිරු දීප්තිමත්ව බැබලෙමින් තිබිණි.
කන්නන් තමන්ගේ වීදියට හැරෙද්දී එහි එහා කෙළවරේ දුටුවේ එක් අතකින් පොට්ටනියක් එල්ලාගෙන අනෙත් අතින් දරුවාගේ අත අල්ලාගෙන පැමිණෙන සිය බිරිඳයි. ඔහු විස්මයෙන් බලා සිටියේය. “මේක හීනයක් වේවා!” ඔහු තමාටම කියාගත්තේය. “මේ පැත්තට එන බස් එකක් හම්බවුණ නිසා මම ගෙදර ආවා.” ඔහු අසලට පැමිණි බිරිඳ කීවාය. ඇය නිවසේ ඉදිරිපස දොර වෙත යමින් සිටි අයුරු ඔහු බලා සිටියේ නැඟී එන නොපැහැදිලි භීතියකිනි. ඇයගේ බඩු බාහිරාදිය එළියට අදින ලද පෙට්ටගම, බිම දමන ලද දේව රූපය, තලා දමන ලද රතු බෙලෙක් කාසි කැටය- ගෙතුළට පා තැබූ සැණින් ඇය මේ හැම දෙයක්ම එක වර දකිනු ඇත. මේ අවස්ථාවෙන් ගැලවීමක් නොවිණි. ඔහු දොර විවර කළේ යාන්ත්‍රිකවයි.
“මොකද ඔය මූනේ හැටි?” ගෙතුලට පා තබද්දී ඇය ඇසුවාය. පුතු ඔහු වෙත කාසි කීපයක් පෑවේය.
“මේවා මගේ කැටයට දාන්න කියලා මාමා දුන්නා.” ඔහු කීවේය.
කන්නන් ගේ මුවින් නැඟුණේ කාලකණ්නි බවේ කෙඳිරියකි.
“ඇයි තාත්තේ?” දරුවා ඇසුවේය.
“මුකුත් නැහැ, මගේ ඇඟිල්ලක් තැලුණා,” ඔහු සිය මහපටඇඟිල්ල පෙන්වමින් මිමිණුවේය.
එළඹෙන්නට නියමිත කුණාටුවට මුහුණ දෙන්නට හිත හදා ගනිමින් ඔහු ඔවුන් පසුපසින් නිවස තුළට පිවිසුණේය.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
From the book Malgudi Days by R. K Narayan, first published Viking Press USA (1982)
Photo- Udit Saptarshi on Unsplash