January 31, 2021

කුඩා දැරිය


Translation of the short story ‘The Little Girl’ by Katherine Mansfield



කුඩා දැරියට නම් ඔහුව පෙනුණේ බිය විය යුතු, මඟහැරිය යුතු කෙනෙක් හැටියට. හැම උදෑසනකම රාජකාරියට පිටත් වන්නට පෙර ඔහු ඇයගේ කාමරයට විත් යුතුකමට මෙන් දුන් හාදුවට ඈ “බායි, තාත්තා” කියා ප්‍රතිචාර දැක්වූවත් නිවස ඉදිරිපස දිගු පාරේ ඔහු යන අශ්ව කරත්තයේ හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු වන විට ඇයට දැනුණේ සැනසිලිදායක සහනයක්.

හවස්වරුවේදී, ඔහු නිවසට පැමිණෙන වේලාවට පඩිපෙළේ අත් වැටෙන් එබී සිටින ඇයට ඔහු ආලින්දයේ ශබ්ද නඟා කතා කරනු ඇසෙනවා. “මගේ තේ එක දුම් බොන කාමරයට ගේන්න. තාම පත්තරේ ආවේ නැද්ද? මේ ගෙදර කට්ටිය ඒක ආයෙමත් කුස්සියට අරගෙන ගිහින්ද? අම්මා, ගිහින් බලන්න මගේ පත්තරේ එහේද කියලා- ආ මගේ සෙරෙප්පු දෙකත් ගේන්න.”

“කේසියා,” එවන් අවස්ථාවලදී අම්මා ඈට අඬගසනවා. “ඔයා හොඳ ළමයෙක් නම් පහළට ඇවිත් තාත්තාගේ බූට්ස් ගලවන්න පුළුවන්” දැරිය හෙමින් සීරුවේ පඩිපෙළ බසින්නේ එක් අතකින් අත් වැට තදින් අල්ලාගෙන. ඉන්පසු ඇය තවත් සෙමෙන් ආලින්දය හරහා ගොස් දුම් බොන කාමරයේ දොර තල්ලු කරනවා.

ඒ වෙද්දී ඔහු උපැස් යුවළ පැළඳගෙන සිටිනවා. ඔහු ඊට ඉහළින් දැරිය දෙස බලන්නේ ඈ මහත් බියගැන්වෙන ආකාරයට.

“ඉතින් කේසියා ඉක්මන් කරලා මේ බූට්ස් ගලවලා එළියට ගෙනියන්න. අද ඔයා හොඳ ළමයෙක් වෙලා හිටියද?”

“මම ද-ද-දන්නේ නැහැ තාත්තා”

“ඔයා ද-ද-දන්නේ නැහැ? ඔහොම ගොත ගහන්න ගියොත් අම්මාට සිද්ධ වෙනවා ඔයාව දොස්තර කෙනෙක් ළඟට අරගෙන යන්න.”

ඈ වෙන කිසිවෙක් හා කතාකරද්දී ගොත ගැසුවේ නැහැ- ඇගේ ඒ ගතිය මඟහැරිලා තිබුණේ. එහෙත් තාත්තා හා කතාකරද්දී ඈ වචන හරියට කියන්නට මහත් උත්සාහයක් ගත් නිසා ඉබේ ගොත ගැසුණා.

“මොකද වෙලා තියෙන්නේ? මේ මොකද මහා අසරණ පෙනුමකින් ඉන්නේ? අම්මා, මේ ළමයාට නිකම් දිවිනසාගන්න ඔන්න මෙන්න වගේ නොඉන්න උගන්නවා නම් හොඳයි. ආ… කේසියා මගේ තේ කෝප්පේ ගිහින් මේසේ උඩින් තියන්න- පරෙස්සමින්; ඔය අත් දෙක වයසක ගෑනියෙක්ගේ වගේ වෙව්ලනවානේ. තව එකක්, ලේන්සුව ගවුමේ අත අස්සේ නෙමෙයි, සාක්කුවේ තියාගන්න උත්සාහ කරන්න.”

“ඔ-ඔ-ඔව් තාත්තා”

ඉරිදාට පල්ලියේදී ඈ ඔහු හා එකම බංකුවේ අසුන්ගෙන ඔහු පැහැදිලිව, හඬ නඟා ගීතිකා කියන අයුරුත් පල්ලියේ දේශනාව අතරතුරේදී දෑස සිහින් කර බලමින් ලියුම් කවරයක පසුපස නිල් පැන්සලකින් සටහන් ලියන අයුරුත්, එක් අතකින් නොකඩවා බංකුවේ ගැට්ටට නිහඬව තට්ටු කරන අයුරුත් බලා සිටියා. ඔහු කොයිතරම් ශබ්ද නඟා යාඥා කළාද යත් දෙවියන් වහන්සේට පූජකවරයාගේ හඬ පරයා ඔහුගේ හඬ නිසැකවම ඇසෙන බව ඇයට සිතුණා.

ඔහු ඉතා හැඩි දැඩියි- ඔහුගේ දෑත්, බෙල්ල, ඈනුම් යවද්දී ඔහුගේ කට- මේ හැම එකක්ම විශාලයි. ඈ කාමරයේ තනියම හිඳින විට ඔහු ගැන සිතද්දී ඇයට දැනුණේ ඔහු යෝධයෙක් බවයි.

ඉරිදා හවස්වරුවල ආච්චි අම්මා ඈට දුඹුරු වෙල්වට් ගවුමක් අන්දවා විසිත්ත කාමරයට යවන්නේ අම්මා හා තාත්තා එක්ක 'හොඳ කතාබහක' යෙදෙන්න. ඒත් ඒ හැම වෙලාවකම අම්මා පුවත්පත කියවමින් සිටි අතර තාත්තා ලේන්සුවකින් මුහුණ වසාගෙන සොපාවේ ඇල වී නිදියමින් සිටියා. ඔහුගේ දෙපා රැඳවී තිබුණේ හොඳම සෝපා කොට්ට මත. ඔහු කොයිතරම් තද නින්දේ පසුවීද යත් ඔහු ගොරවමින් සිටියා.

ඈ පියානොවේ බංකුව මත හිඳගෙන ඔහු අවදි වන තුරු බොහොම බැරෑරුම් මුහුණින් ඔහු දෙස බලා සිටියා. ඔහු අවදි වූ විට නිදිගැට කඩා, වෙලාව බලා ඇය දෙස බැලුවා.

"ඔහොම එක එල්ලේ බලාගෙන ඉන්න එපා කේසියා. ඔයා නිකම් පොඩි දුඹුරු බකමූණෙක් වගේ."

එක දවසක්, ඈ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නිවස තුළටම වී උන් වෙලාවක ඊළඟ සතියේ එළඹෙන තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් හැටියට ලස්සන කහ පාට සේද රෙදි කැබැල්ලකින් අල්පෙනිති රඳවන කොට්ටයක් මසන්නැයි ආච්චි අම්මා යෝජනා කළා.

ඈ බොහෝ වෙහෙස වී කපු නූල් දෙපටකින් කොට්ටයේ තුන් පැත්තක් මසාගත්තා. එහෙත් ඊට පුරවන්නේ මොනවාද? ප්‍රශ්නය වුණේ එයයි. ආච්චි අම්මා ගෙවත්තට ගොස් සිටි නිසා ඈ කොට්ටයට පුරවන්නට අහක දමන දෙයක් සොයන්නට අම්මාගේ කාමරයට ගියා. එහි මේසය මත තුනී කඩදාසි රැසක් විසිර තිබෙනු දුටු ඈ, ඒවා එකතුකරගෙන කුඩා කැබලිවලට ඉරා අල්පෙනිති කොට්ටයට පුරවා එහි හතරවෙනි පැත්ත මසා දැමුවා.

එදින රාත්‍රියේ නිවසේ මහා කලබලයක් සිද්ධ වුණා. තාත්තා වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කරන්නට ලියාගත් කතාව නැති වී තිබුණා. නිවසේ කාමර උඩ යට පෙරලනු ලැබුණු අතර සේවකයන්වද ප්‍රශ්න කෙරුණා. අවසානයේදී අම්මා සෙල්ලම් කාමරයට ආවා.

"කේසියා, අපේ කාමරේ මේසේ උඩ කඩදාසි ටිකක් එහෙම ඔයා දැක්කේ නැහැ නේද?"

"ආ ඔව්, දැක්කා," ඈ කීවා. "තාත්තාව පුදුම කරවන්න මම දෙන්න ඉන්න තෑග්ගට ගන්න මම ඒ ටික ඉරුවා"

"මොකක්!" අම්මා කෑ ගැසුවා. "මේ දැන්, වහාම පහළ කෑම කාමරයට එනවා."

ඉන්පස්සේ ඈ ව තාත්තා වෙතට ඇදගෙන යනු ලැබුවා. ඔහු සිටියේ දෑත් පසුපසට බැඳගෙන ඔබ මොබ සක්මන් කරමින්.

"මොකද?" ඔහු කේන්තියෙන් ඇසුවා.

අම්මා සිදු වූ දේ පැහැදිලි කළා.

ඔහු නැවතී අසිහියෙන් මෙන් ඈ දෙස බලා සිටියා.

"මේක ඇත්තක්ද?"

"නැ-නැ-නැහැ" ඈ මිමිණුවා.

"අම්මා, සෙල්ලම් කාමරයට ගිහින් මෙයාගේ ඔයා විකාර බඩුව අරගෙන එන්න- මේ ළමයාව වහාම ඇඳට දාන්න කියන්න."

නිදහසට කරුණු දක්වන්නට බැරි තරමට හඬමින් සිටි දැරිය ඇඳේ වැතිර සවස ආලෝකය ජනෙල් තිර අතරින් පෙරී විත් කාමරයේ බිම දුක්මුසු රටාවක් මවන අයුරු බලා සිටියා.

ටික වේලාවකින් තාත්තා කාමරයට ආවේ අඩි රූලක් අතැතිව.

" ඔයා මේ කරපු වැඩේට මම ඔයාට පාරක් ගහනවා," ඔහු කීවා.

"අනේ එපා, එපා!" ඈ පොරෝනාව අතරේ සැඟවෙමින් කෑ ගැසුවා.

තාත්තා පොරෝනාව ඉවත් කළා.

"වාඩිවෙන්න" ඔහු අණ කළා, "දැන් අත් දෙක අල්ලන්න. තමන්ට අයිති නැති දේවල් අල්ලන්නේ නැතිව ඉන්න ඔයාට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන."

"ඒත් ඒක ඔයාගේ උ-උ-උපන්දිනයටනේ."

අඩි රූල ඇගේ පුංචි රෝස පැහැ අත්ල මත පතිත වුණා.

ඊට පැය ගණනකට පසුව ආච්චි අම්මා පැද්දෙන පුටුවේ හිඳගෙන දැරියව සාළුවකින් ඔතාගෙන, උකුලේ තබාගෙන පද්දමින් සිටියා.

"ජේසු තුමා තාත්තාලාව හැදුවේ මොකටද?" දැරිය වැළපුනා.

"මෙන්න කෙල්ලේ මගේ සුවඳ ලැවැන්ඩර් වතුර දැම්ම පිරිසිදු ලේන්සුවක්. දැන් නිදාගන්න පැටියෝ, ඔයාට උදේ වෙද්දී මේ හැම දෙයක්ම අමතක වේවි. මම ඔයාගේ තාත්තාට මේක පැහැදිලි කරන්න හැදුවා, ඒත් අද එයාගේ හිත අවුල් වෙලා වැඩියි ඒක අහගෙන ඉන්න."

එහෙත් දැරියට ආයෙත් කිසි දවසක ඒ සිද්ධිය අමතක වුණේ නැහැ. ඉන්පසු ඔහු ව දුටු තැන ඈ රතු වූ දෙකොපුලින් යුතුව වහා වහා දෑත පසුපසට කරගත්තා.

එහා ගෙදර ජීවත් වුණේ මැක්ඩොනල්ඩ් පවුල. එහි ළමුන් පස් දෙනෙක් සිටියා. එළවලු පාත්තියට යාබදව තිබුණු වැටේ සිදුරකින් ඒ දෙස බැලූ දැරියට ඔවුන් හවස් වරුවලදී ගෙවත්තේ ඔට්ටු තියන අයුරු පෙනුණා. ඒ ගෙදර තාත්තා පුංචිම දරුවාව උර මත රඳවාගෙන, දියණියන් දෙදෙනා තම කබායේ එල්ලෙද්දී වත්තේ මල් පාත්ති වටා දිව්වේ මහා හඬින් සිනාසෙමින්. දිනක් පිරිමි දරුවන් දෙදෙනා වත්තට වතුර යොදන වතුර බටය ඔහු වෙතට - ඔව් ඔහු වෙතට- එල්ල කරනු ඈ දුටුවා. එවිට ඒ තාත්තා ඔවුන් අල්ලාගෙන ඔවුන්ට ඉක්කා වැටෙන තුරු කිති කැව්වා.

මේ ලෝකයේ විවිධ වර්ගයේ තාත්තලා ඇති බව ඇයට වැටහුණේ එදිනයි.

දිනක් අම්මා අසනීප වුණු අතර ආච්චි අම්මාත් අම්මාත් අශ්ව කරත්තයකින් නගරයට ගියා.

දැරිය නිවසේ සේවිකාව වූ ඇලිස් සමඟ නිවසේ තනිවූවා. දවල් වරුවේ ගැටළුවක් ඇති නොවුණු නමුත් ඇලිස් දැරියව නිදි ඇඳට දමද්දී ඇයට හදිසියේ මහත් බියක් දැනුණා.

"මට බය හිතෙන හීනයක් පෙනුණොත් මොකද කරන්නේ?" ඈ ඇසුවා. “මට නිතරම එහෙම හීන පේනවා. ඒ වෙලාවට ආච්චි අම්මා මව එයාගේ ඇඳට ගන්නවා. මට කළුවරේ ඉන්න බැහැ- එක එක සද්ද ඇහෙන්න ගන්නවා... මම මොකද කරන්නේ?"

"නිදාගන්න බේබි" දැරියගේ මේස් ගලවා ඒවා ඇඳ වතේ ගසමින් උන් ඇලිස් කීවා. "ඔන්න කෑගහලා

ඔයාගේ අසරණ තාත්තාව නම් ඇහැරවන්න එපා"

ඒත් ඇයට සුපුරුදු නපුරු හීනය එදාත් පෙනුණා. පිහියක් සහ ලණුවක් අතින් ගත් මස් කපන්නෙක්, භයංකාර හිනාවක් එක්ක ලං ලංව එමින් සිටියා. සෙලවෙන්නවත් බැරිව ගල්ගැසී උන් ඈ "ආච්චි අම්මා, ආච්චි අම්මා!" කියා කෑ ගැසුවා. වෙව්ලමින් අවදි වූ ඈ තම ඇඳ අසල ඉටිපන්දමක් අතැතිව උන් තාත්තා දුටුවා.

"මොකක්ද ප්‍රශ්නේ?" ඔහු ඇසුවා.

"අනේ -මස් කපන මිනිහෙක් - ලොකු පිහියක්- මට ආච්චි අම්මාව ඕන"

ඔහු ඉටිපන්දමට පිඹ එය නිවා දමා, නැඹුරු වී දැරියව දෑතට ගෙන කොරිඩෝව ඔස්සේ ඇයව විශාල කාමරය වෙත ගෙන ගියා. ඇඳ මත පුවත්පතක් තිබුණා- බාගෙට දැවුණු සුරුට්ටුවක් ඔහුගේ මේස ලාම්පුව අසල රඳවා තිබුණා. ඔහු පුවත්පත බිමට දමා, සුරුට්ටුව උදුන වෙත වීසි කර දැරියව ප්‍රවේසමෙන් ඇඳ මත තබා පොරෝනාව පෙරෙව්වා. ඉන්පසු ඔහු ඇය අසලින්ම වැතිරුණා. අඩ නින්දේ සිටි දැරියගේ සිතේ ඒ වෙද්දීත් සැරිසරමින් තිබුණේ මස් කපන්නාගේ වියරු සිනහව. ඈ තාත්තාට තුරුළු වී, ඇකයේ හිස හොවාගෙන ඔහුගේ පිජාමා කමිසය වැරෙන් අල්ලාගත්තා.

අඳුර ගැන ඇයට තවදුරටත් බියක් දැනුණේ නැති නිසා ඈ නිසොල්මන්ව සිටියා. “ඔයාගේ කකුල් දෙක මගේ කකුල් උඩින් තියන්න, එතකොට උණුහුමක් දැනේවි." තාත්තා කීවා.

ඉතා වෙහෙස වී සිටි ඔහු දැරියට පළමුව නින්දට වැටුණා. ඇයට ඔහු ගැන පෙර නොදැනුණු අනුකම්පාවක් දැනෙන්නට වුණා. ඔහු ඈ කළින් සිතුවා තරම් විශාල නැහැ - ඔහු ගැන බලන්න කිසි කෙනෙක් නැහැ... ඔහු ආච්චි අම්මාට වඩා දැඩියි, ඒත් ඒ දැඩි බව ප්‍රියයි. දිනපතාම රැකියාවට යන්නට සිද්ධ වෙන නිසා ඔහුට මැක්ඩොනල්ඩ් මහත්තයාගේ වර්ගයේ තාත්තෙක් වෙන්න මහන්සි වැඩියි. අනේ... ඈ ඔහුගේ ලස්සන ලියවිල්ල ඉරා දැමුවා... ඈ අඩ නින්දෙන්ම සුසුමක් හෙලුවා.

"ඇයි?" තාත්තා ඇසුවා. "තවත් හීනයක්ද?"

"මගේ ඔලුව තියෙන්නේ තාත්තාගේ හදවත උඩ. මට ඇහෙනවා ඒකෙ හඬ. තාත්තාට හරිම ලොකු හදවතක් තියෙන්නේ."

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
digital sketch with stylus


From the Short Story Collection ‘Something Childish and Other Stories’ (1999) by Katherine Mansfield





7 comments:

  1. බොහෝ විට ලියැවෙන පොදු සිදුවීම් වලින් ඔබ්බට ගිය සංවේදී කතාවක්. කාර්ය බහුල වී තම පවුල දූ දරුවන් සහ සමාජ පරිසරයේ අදාළ සිදුවීම් හරියාකාර කළමනාකරණය කර නොගත් විට කෙනෙකුගේ හැසිරීම් රටා මෙසේ ව්‍යාකූල විය හැකියි. පරිවර්තනය හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. තාත්තා, ඔව් මේක බොහොම පුංචි සිදුවීමක් වටා ගෙතුණු කතාවක් වුණත් ඒකෙ දැනෙන ගතිය වැඩි නිසා පරිවර්තනය කරන්න හිතුණා

      Delete
  2. A very heart touching story...

    ReplyDelete
    Replies
    1. Thank you Ravi, I enjoyed translating it!

      Delete
  3. බුද්ධිමත් බබෙක්. එක සිදුවීමෙන්ම තේරුම් ගත්තා තාත්තව අනිත් තාත්තලා එක්ක සන්සන්දනය කරන්න ඕනෙ නැහැ කියලා.

    මම අහලා තියෙනවා our parents do their best for us; it may not be 'the best', but it's 'their best' කියලා. (අකුරු දෙකක වෙනසක් විතරයි ඇත්තටම බැලුවොත්).

    ReplyDelete
  4. ආදරනීය තාත්තා

    ReplyDelete
  5. ela

    syndi ekk https://sithuvili.net/

    ReplyDelete