January 29, 2021

සංකල්පනා



අනූව දශකයේ මුල් හරියේදී ඉරිදා දවස එනකම් මම මඟ බලාගෙන උන්නු කාලයක් තිබුණා. ඒ ඉරිදා දිවයින පත්තරේ ලැබෙනකම්. (ඒ කාලේ ඉරිදා පත්තරේ සෙනසුරාදා ලැබුණේ නැහැ. පත්තරේ ගෙදරටම ගෙනාවේ බයිසිකලයක ආව හොඳටම වයසක පත්තර සීයා කෙනෙක්) මගේ මේ උනන්දුව තිබුණේ ඉරිදා දිවයිනේ නොවරදවා පළවුණු 'සංකල්පනා' විශේෂාංගය කියවන්න. මේවා ලියුවේ 'කසුරි' නමින් ප්‍රකට කරුණාදාස සුරියආරච්චි මහත්මයා. ලස්සන සේයාරුවකට ලියවුණු කෙටි නිසඳැස් පෙළක් තමයි මේ 'සංකල්පනා'. ඒ කාලේ නව යොවුන් වයසේ උන්නු මට මේ සංකල්පනා නැවුම් අත්දැකීමක් වුණා. මේ නිසඳැස් වල කෙටි වචන කිහිපයකින් දිග කතාවක් කියවෙන හැටි මම ආසාවෙන් කියෙව්වා. ඒ කාලේ මම මේ සංකල්පනා වලට කොයිතරම් ආසා කළා ද කියනවානම් ඒවා පත්තරෙන් කපලා අරගෙන ෆයිල් එකක දාලා තියාගත්තා. ගෙදර කට්ටිය පත්තරේ කියවලා ඉවරවෙනකම් ඉවසලා ඊටපස්සේ ඒ කවි පෙළ අරන් තියාගන්න එක ඒ දවස්වල මට තිබුණු ලොකු රාජකාරියක්. මේ විදිහට අවුරුදු ගණනක් තිස්සේ මම එකතු කළ සංකල්පනා මහා තොගය වරින් වර කියවමින් මම නැවත නැවතත් රස වින්දා විතරක් නෙමෙයි ඒ ආරට කවියක් දෙකක් ගලපන්නත් උත්සාහ කළා.

ඉන්පස්සේ එළඹුණු අවුරුදු වල විභාග, සරසවිය, රස්සාව වගේ දේවල් නිසා මට මේ නිසඳැස් එකතුව ගැන අමතක වෙලා ගියා. කසාද බැඳලා ගෙදරින් යද්දීත්, ඊට අවුරුදු දෙකකට පස්සේ ලංකාවෙන් පිට වෙද්දීත් මට ඒ ගැන මතක් වුණේ නැහැ.

මේ සංකල්පනා එකතුව මට ආයෙත් අතට ලැබුණේ අවුරුදු තිහකට විතර පස්සේ, අම්මාගේ පොත් පත් ටිකක් අස්පස් කරද්දී. මම ඒ කාලේ බොහොම ආදරයෙන් අරන් තියාගත්ත සංකල්පනා ටික අම්මා පස්සේ කාලෙක එක තැනකට එකතු කරලා. මේ පත්තර පිටු දැන් කහ ගැහිලා, පරණ වෙලා. ආයෙත් මුල ඉඳන් එයින් එක එක කියවද්දී ඒ සමහර කවි තාමත් කටපාඩම් බව මට තේරුණා.

අවුරුදු දොළහක දහතුනක කෙල්ලෙක් හැටියට දිවයින පත්තරේ සංකල්පනාව කියවන්න දැනුණු උනන්දුව, ආසාව අදටත් සයිබරයේ එහෙම නැත්නම් පොතක පත්තරයක දකින කවියක් කියවද්දී මට දැනෙනවා. පස්සේ කාලෙකත් තව තවත් මේ වගේ නිර්මාණ හොයන්න, කියවන්න, රස විඳින්න වගේම වර්තමානයේ මමත් නිර්මාණකරණයේ නියැලෙන්න ඒ මුල්ම කාලේ කියවපු කසුරි ගේ මේ සංකල්පනාත් හේතු වුණා කියලා මට හිතෙනවා.

ඒ වෙනුවෙන් දිවයින පත්තරයටත් කසුරිටත් ස්තූතියි!



No comments:

Post a Comment