'Moonlight floods the whole sky from horizon to horizon; How much it can fill your room depends on its windows.'- Rumi

June 16, 2016

කිසිවෙක් මා හට ගී ගයයි| දයාන් විතාරණ


කිසිවෙක් මා හට ගී ගයයි
මම නිදමි, මම නිදමි
සසර සයුර මත සිහින නැවක් තුළ
දුක සැප රැළි මත නගිමින්, බසිමින් ගලා බසී

නොමියෙන සෙනෙහස දෙනෙත පුරාගෙන
ආසිරි පැතුමෙන් අත්ල පුරාගෙන 
කිසිවෙක් මගේ හිස ඇකයේ හොවාගෙන
හිස පිරිමැද සනහයි
මම නිදමි, මම නිදමි

මගේ ජීවිතය කරදිය දහරක්
මගේ ජීවිතය රුදු විස බඳුනක්
කිසිවෙක් එය සිය මධුරස්වරයෙන්
මධුමය කර ​වස්වයි 
මම නිදමි, මම නිදමි

දයාන් විතාරණ | යශෝධා විමලධර්ම| රෝහණ වීරසිංහ



ඇසූ පමණින් පෙමින් බැඳෙන ගීත ජීවිතයට ලැබෙන්නේ කළාතුරකිනි. මේ ගීතය ඇසෙද්දී සිත පහුරු ගාන්නේ ශෝකයත් සතුටත් මුසු වූ තනිකමකි. දයාන් ගේ ලබැඳි කටහඬ නිසා ඒ සීරුම තවත් රිදුම් දේ. නින්දත් සුව නින්දත් වෙනස් බව කවුදෝ කියනු මතක ය. නින්දකට සුවයක් එක් කරන්නා සේ දිවියකට මධුර බවක් එක් කරන්නට කිසිවෙකුට නොහැකි ද? ඉතින්... මම නිදමි.

නින්ද බොහෝ දුර විට
එන්න සුසුමක් මිටි කර
නිමා කරලනු බැරිවූ 
දහසක් කතා කීමට

මුදුව හිස පිරිමැද
දැවටෙන්න ගීයක් ලෙස
විසැති දිවි බඳුනට
මිහිරි රසයක් මුහු කර









2 comments:

  1. යශෝධාගේ රඟපෑම් වලට වඩා ගීත රචන හැකියාව හොඳයි වගේ. දයාන් විතාරණ ම කියන තව හොඳ ගීත කීපයක් තියනවා යශෝධා ලියපු. දයාන්ගේ ගායන විලාශය මේකට හොඳටම ගැලපෙනවා. පසුබිම් කාන්තා හඬත් ගීතයට ලොකු එළියක් එකතු කරනවා. මට හිතෙන්නේ නෙලු අධිකාරි වගේ. සංගීතය රෝහණ වීරසිංහ. දයාන්ගේ වැඩිය ජනප්‍රිය නොවුණු ලස්සන ගීතයක්.

    ReplyDelete
    Replies
    1. මේ ගීතයේ ගී පද වත්, තනු නිර්මාණය ගැන විස්තර වත් කොහෙවත් හොයාගන්න තිබුණේ නැහැ. සංගීතය රෝහණ වීරසිංහ ගේ බව හොයලා දුන්නාට ස්තූතියි. ඔන්න මම පෝස්ට් එකට ඒකත් එකතු කළා.මට නම් මේක දවස ගානේ ඇහුවත් එපාවෙන්නේ නැති ගීතයක්.

      /යශෝධාගේ රඟපෑම් වලට වඩා ගීත රචන හැකියාව හොඳයි වගේ/- මමත් එකඟයි. දයාන් ඇර වෙන කවුරුවත් ගායනා කරලා නැහැ නේද යශෝධා ගේ ගී පද?

      Delete