March 30, 2023

'පාවේ'- කාංචනා අනුරාධි

මම කාංචනා අනුරාධි ගේ සින්දු අහන්න ගත්තේ බොහොම මෑතක. ඇය ලොකු ප්‍රතිභාවක් වගේම දිගු ගමනක් තියෙන ගායිකාවක්. මම ටිකක් පරණ තාලේ නිසා high pitch සහ වේග රිද්ම සින්දු වලට වැඩි කැමැත්තක් නැහැ. ඒත් කාංචනා ගේ මේ අලුත් සින්දුවට නම් මගේ හිත ගියා. 

සුපුරුදු විදිහට සින්දුවක වචන තමයි මාව ඒකට ඇද බැඳ ගන්නවාද කියලා තීරණය කරන්නේ. මේ සින්දුවේ ගායනය වගේම පද රචනයත් කාංචනා අනුරාධි ගේ බව දැක්කාම මට පුදුම හිතුණා. ඒ කියන්නේ ඈ පද රචනයටත් දක්ෂයි. මේ ගීතේ සංගීතය සහ හඬ මුසුව තිලිණ බොරලැස්ස. ඒ සංගීතය හරහාත් අපට නැවුම් අත්දැකීමක් දෙන්න තිලිණ සමත් වෙලා තියෙනවා. 



Melody and Lyrics by Kanchana Anuradhi
Music composed, produced and arranged by Thilina Boralessa


සින්දුවේ මගේ හිත නැවතුණේ මේ කොටසේ

"සකිසඳේ ප්‍රේමේ 
නුඹයි මා ප්‍රාණේ 
පැටලිලා සුළඟේ.... 
එන්නෙපා ආයේ..."

හොඳ යාළුකමක් නැති කරගන්න හොඳම ක්‍රමය ඒ යාළුකම ආදරයක් බවට පෙරලෙන්න ඉඩ අරින එක කියන කියමන ඒක අහද්දී මට මතක් වුණා. 

March 28, 2023

කඳු මුදුනක



 
Translation of the poem 'Afternoon On A Hill' by Edna St. Vincent Millay

මේ විසල් අහසක් යට
වඩා සතුටුම මම වෙමි
සියගණන් මල් පිරිමැද
එකක් වත් නොනෙලා යමි

වළාකුළු හා කඳුහෙල
නිහඬ දෑසින් නරඹමි
සුළඟ හා රඟදෙන්නට
ඉල්පෙන පතන දැකගමි

දුර ඈත නගරයේ එළි
දිස් වෙද්දී නික්මී යමි
මගේ දේ මේ යැයි දැන
කඳු මඬල අතහැර යමි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

March 24, 2023

අභය දානය

(පෙර සටහන)

මම රැකියාව කරන පුස්තකාලයේ වැඩියෙන්ම තියෙන්නේ වීදුරු බිත්ති. දවසක් හවසක මම දැක්කා මේ බිත්තියක් ළඟ බිම තටු ගහන ලස්සන තැඹිලි පාට මොනාක් සමනලයෙක් . sliding doors වලින් ඇතුලට ඇවිත් තිබුණ මෙයා ආයෙත් යන්න පාර හොයාගන්න බැරිව අසරණ වෙලා හිටියා. ඒ වෙලාවේ මට එයාට උදව්වක් කරන්න ඉඩක් ලැබුනේ නැහැ.

ඊට පස්සේ දවසේ පුස්තකාලේ පොත් රාක්කයක මේ සමනලයා වහලා ඉන්නවා මම ආයෙත් දැක්කා. ඒ වෙද්දී එයා හොඳටම හෙම්බත් වෙලා හිටිය බවක් පෙනුණා. මම ළඟට යද්දී එහාට මෙහාට වුණේත් අමාරුවෙන්. සමහරවිට රෑ තිස්සෙම මේ වීදුරු ගොඩනැගිල්ලේ ඒ අතට මේ අතට පියාඹන්න ඇති. ඉතින් මම බොහොම පරෙස්සමට ඒ සමනලයාව භාජනයකට අරගෙන එළියට ගිහින් මල් පඳුරකින් තිබ්බා. එයා තවත් සෑහෙන්න වෙලාවක් යනකම් නිසොල්මන්ව ඉඳලා පැයක් හමාරක් ගිහින් පියාඹලා ගිහින් තිබුණා. 

ඒ වෙලාවේ මට Nikki Giovaniගේ Mercy නම් කවිය මතක් වුණා. එක්තරා විදිහකට මේ නිමිති දෙක වෙනස්. ඒත් එක්තරා විදිහකට සමානයි. පහතින් තියෙන්නේ ඒ කවියේ පරිවර්තනයක්. 

--------------


මකුළුවා මරා දමන ලෙස
ඈ මගෙන් ඉල්ලා සිටියාය
එහෙත් ඒ සඳහා
මා අතට ගත්තේ
මට සොයාගතහැකි
සාමකාමීම ආයුධයි

කෝප්පයක් සහ අත පිස්නාවක් ගෙන
මකුළුවා අල්ලා එළියට දමා
ඌට නිදහසේ ඇවිද යන්නට ඉඩ දෙමි

කවදා හෝ දිනක, මා ද
කිසිවෙකුට හානි නොකර
ජීවත්ව සිටිමින් පමණක්
කොහේ හෝ වැරදි තැනක සිටියොත්

මටත්, මෙවැනිම
අභය දානයක්
ලැබෙනු ඇතැයි පතමි


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem Mercy by Nikki Giovanni

Digital Sketch





March 21, 2023

The Father (2020) - Movie Review


වියපත් වෙද්දී සිරුරේත් මනසේත් ඇතිවන වෙනස්කම් අපේ පාලනයෙන් තොරයි. සිරුර දුර්වල වෙද්දී ඒ බව පැහැදිලිව පෙනෙන නිසා ඒ හා ගනුදෙනු කරන්න ලේසියි. ඒත් මනස දුර්වල වෙද්දී? 

The Father කියන්නේ දුර්වල වෙමින් යන මනසක් ඇති ඇන්තනි නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන නිර්මාණය වුනු චිත්‍රපටියක්. Dementia කියන රෝගය ගැන අපි අහලා තිබුණත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඇන්තනි ගේ විශ්ෂ්ඨ රඟපෑම හරහා අපටත් එය අත්විඳින්නට මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලබා දෙනවා.

වයස්ගත වෙද්දී මුරණ්ඩු ගති පෙන්වන ඇන්තනි තමන්ගේ එදිනෙදා කටයුතු වලට දියණියගේ සහාය ප්‍රතික්ෂේප කරනවා. ඒත් dementia රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් කම්පාව, වේදනාව, පැටලිලි සහගත බව, කෝපය වැනි ආවේග ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ නරඹන අපවත් වියවුලට පත් කරමින්. නිරන්තරයෙන්ම සැබෑවත් මායාවත් ආතර තැනක දෝලනය වීම කෙතරම් වෙහෙසකාරීද යන බව මේ චිත්‍රපටය අපට පසක් කර දෙන අතර dementia රෝගීන් පිළිබඳව අප තුළ අලුත්  සහකම්පනයක් ඇති කරවනවා. සමස්තයක් හැටියට ගත් කල මෙය විශිෂ්ඨ චිත්‍රපටියක් හැටියට නම් කළ හැකියි.

The Father චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන්නේ Anthony Hopkins සහ Olivia Colman. මේ චිත්‍රපටිය නිර්දේශ වූ/ ලබාගත් සම්මාන ගැන විස්තර පහතින්. 

At the 93rd Academy Awards, Hopkins won Best Actor and Zeller and Hampton won Best Adapted Screenplay; the film received six nominations in total, including Best Picture and Best Supporting Actress (Colman). At the 78th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama, and it received six nominations at the 74th British Academy Film Awards, winning Best Actor (Hopkins) and Best Adapted Screenplay. In addition, Hopkins and Colman were nominated for Outstanding Leading Actor and Outstanding Supporting Actress respectively at the 27th Screen Actors Guild Awards.


Directed by Florian Zeller

Screenplay by Florian Zeller, Christopher Hampton

Based on Le Père by Florian Zeller