December 29, 2022

ස්තූතියි කාංචනා!

මේ මිතුරියක් වෙනුවෙන් ප්‍රණාම සටහනක්. අන්තර්ජාලයේ ඇගේ නම සොයද්දී මතුවීම පිණිස තබන සටහනක් 
ඈ කාංචනා අමිලානි කරුණාමුනි

දහනව වසරක් ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ විශේෂාංග කතුවරියක් හැටියට සේවය කළ කාංචනා මේ වසර අගදී ඉන් නික්මෙනවා. මම නිරතුරුව කවි කතා එකතු කළ 'වසත් සුළඟ' කවි පිටුවත් ඒ එක්කම නිමා වෙනවා.

කාංචනා ලේක් හවුස් ආයතනයෙන්න් නික්මෙන බවට පණිවිඩයක් ලැබුණාම මට අර අසිත තවුසාට වගේ හිනාවෙන්නත් අඬන්නත් හිතුණා. සතුට දැනුණේ කාංචනා ඊට වඩා බොහෝ දුර පියාඹන්න නියමිත නිසා එයා දැන්වත් ඒ ගමන පටන්ගැනීම ගැන. දුක දැනුණේ අලුතින් නිර්මාණකරණයට එළඹුණු අයට මින්පස්සේ අත දෙන්න 'කාංචනා කෙනෙක්' නැති එක ගැන.

මීට අවුරුදු දහයකට දොළහකට එපිට අපි මිතුරු මිතුරියන් පිරිසක් fb සමූහ කීපයකට කවි කෙටි කතා ලිව්වා. කාංචනා ත් මේවායේ යාව ජීව සාමාජිකාවක් වෙලා හිටියා. "ඔයාගේ කෙටිකතාව දිනමිණ පත්තරේ පළ කරන්න ගන්නද?" කියලා අහලා කාංචනා මට පණිවිඩයක් එව්ව දවස මට අද වගේ මතකයි. එහෙම පත්තරේක වැඩ කරන කෙනෙක් අපෙන් අහලා නිර්මාණ හොයාගන්න බව මම කවදාවත් අහලා තිබුණේ නැහැ. ඊට කලින් කිසිම දවසක මගේ නිර්මාණයක් පත්තරේක පල වෙලා තිබුණේත් නැහැ. මෙහෙම ඉස්ඉස්සෙල්ලාම පළ වුණේ මගේ 'පුංචි යකා' කියන කෙටිකතාව. දවස 2011 නොවැම්බර් 4.

මේ කාලේ දිනමිණ පත්තරේ 'කව් සිලිලාර' (පස්සේ වසත් සුළඟ) විශේෂාංග පිටුවේ 'කෙටිම කෙටි කතා' අංගයට ගැලපෙන වචන ගානට කෙටි කතා ලියන්න අපි හුරු වුණා. මේකත් එක්තරා අභියෝගයක්, සීමිත වචන ගානකින් කටි කතාවක් ලියන එක අමාරු වැඩක්. මේ සතියේ කාගේ කෙටිකතාව පත්තරේ පළ වෙයිද කියන කුතුහලයෙන් අපි නිරතුරුව දවස් ගතකළා. මීට අමතරව වසත් සුළඟ පිටුවේ විදෙස් කවියට පරිවර්තන කවියක් සතිපතා එවන රාජකාරියත් කාංචනාගෙන් මට ලැබුණා. ඒ වෙනුවෙන් සිංහලට ගැලපෙන, විවිධත්වයෙන් යුතු කවි තෝරලා පරිවර්තනය කරන කටයුත්ත මම අවුරුදු හයක් විතර කළා. ඒ වගේම කාලයක් දිනමිණ පත්තරේ 'පුදුමයි ඒත් ඇත්තයි' විශේෂාංග පිටුවට ලොව වටා පුදුම සහගත දේ ගැන පුංචි පුංචි තොරතුරු හොයලා පරිවර්තනය කරන්නත් මාව යොමු කළේ කාංචනා ම තමයි.

මේ විදිහට බලද්දී අපි දන්නෙවත් නැති අපේ හැකියාවල් මතු කරලා, ඒවාට කරලියක් හදලා දුන්න කෙනෙක්, කාංචනා. එයා ඒ ආරම්භ කරලා දුන්නු ගමන මම දැන් සෑහෙන්න දුර ඇවිත්. මීට අවුරුදු කීපයකට කළින් කාලයක් තිස්සේ දිනමිණ පත්තරේ වෙනුවෙන් මම ලියූ කෙටි කතාත් එකතු කරලා කෙටිම කෙටි කතා එකතුවක් එළි දැක්වූවා . ඒ ගමනට මුල්ම අඩිතාලම දැම්මේ මගේ පළවෙනිම කතාව පත්තරේ පළ කළ කාංචනා කිව්වොත් හරි. මේවාට ක්‍රෙඩිට් ගන්න අකමැති නිසා මේවා කිව්වාම එයා කියන්නේ 'මම මේ හැම දෙයක්ම කළේ රස්සාවේ කොටසක් හැටියට' කියලායි. ඒත් රස්සාවේ කොටසක් හැටියටවත් එහෙම නොකරන අය ඉන්න රටක කාංචනා වගේ අය අපිට මඟ පෙන්නුවාට අපි ණය ගැතියි.

කාංචනා අමිලානි කරුණාමුනි කියන ලේඛිකාව, කිවිඳියගේ දස්කම් තවත් එළිදක්වන්න මේ ඉසිඹුව පාවිච්චි කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඇගෙන් තව තවත් මායාමය ලියවිලි කියවන්න ඇඟිලි ගනිමින්.

මිතුරුකමටත් මඟ පෙන්වීමටත් ස්තූතියි,
Kanchana Amilani Karunamuni

පින්තූර - අවුරුදු එකොළහක් පරණ දිනමිණ පත්තර පිටුවකින්



 


December 28, 2022

ගබඩාව



Translation of the poem 'Storage' by Mary Oliver

නිවසකින් නිවසකට මාරු වෙද්දී
මා සතුව වූ බොහෝ දේ වෙනුවෙන්
අලුත් නිවසේ ඉඩකඩ නොමැති විය
එබැවින් ගබඩාවක් කුළියට ගෙන
ඒ හැම දේ ගබඩා කළෙමි.
වසර ගණනක් ගත විය
ඉඳහිට මා ඒ ගබඩාවට ගොස්
කර පොවා බැලුවත්
ඒ කිසිවක් ගැන
හදේ කුඩා රිදුමක් හෝ
ඇති නොවිණි

වයස්ගත වෙද්දී
මා උනන්දු වන දේවල්
කෙමෙන් අඩු වූවත්
ඉතිරි වූ දේහි වැදගත්කම
කෙමෙන් වැඩි විය
එබැවින් දිනක්
ගබඩාවේ අගුලු ඇර
කසලකරු ට ඇමතුවෙමි
ඔහු ඒ සියලු දේ ගෙන ගියේය

පිටෙහි වූ බර ඉවත් කරනු ලද
කොටලුවාගේ ප්‍රීතිය මට දැනුණි
නුවුමනා දේ!
පුළුස්සන්න, පුළුස්සන්න
ඉන් අලංකාර ගිනි මැලයක් තනන්න
ආදරය වෙනුවෙන්
ගහ කොළ වෙනුවෙන්
සියොතුන් වෙනුවෙන්
හදේ ඉඩකඩ වැඩි කරගන්න

සියොතුන් සතුව කිසිවක් නැත
ඔවුන් ඉගිලෙන්නේ එබැවිනි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ වසත් සුළඟ, 28.12.2022

Sketch- watercolours and ink on paper

December 25, 2022

නත්තල්!

 සුබ නත්තලක්!

මම නත්තල් සමරන කෙනෙක් නොවුණත් පුංචිම කාලේ නත්තල් සමරන රටක කාලයක් හිටිය නිසා ඒ සැමරුම මගේ ඇඟට කාවැදිලා ද කොහෙද. ඒ කාලේ ඉස්කෝලෙන් පල්ලියේ පූජාවට එක්කගෙන ගිය නිසා කට පාඩම් වුණු ගීතිකා එහෙම තාමත් මතකයි. ලංකාවේදීත් සෑහෙන්න කාලයක් යනකම් මම නත්තල් ගස් හැදුවා. අපේ ගෙදර කට්ටිය මගේ ඒ ආසාවල් සම සිතින් ඉවසුවා!

ඕස්ට්‍රේලියාවේදීත් පුතා පුංචි කාලේ ඉඳන් මෑතක් වෙනකම් නත්තලට නත්තල් ගහ සරසන එක අපි දෙන්නාගේ ලොකු රාජකාරියක් වුණා. ඉස්සරම නම් පුතා kindergarten එකේදී, ඉස්කෝලෙදි එහෙම හදපු නත්තල් සැරසිලි වලට මුල් තැනක් ලැබුණා. පස්සේ පස්සේ කඩෙන් ගත්ත සැරසිලි වලින් තමයි ගහ හැඩ වුණේ. පුතාට වඩා පුතාගේ අම්මාට තමයි මේ ප්‍රොජෙක්ට් එකේ වැඩි වුවමනාව කියලා තාත්තයි පුතායි ඒ කාලේ හිනා වුණා. දැන් ඉලන්දාරි වයසේ ඉන්න කොල්ලාට නත්තල් ගස් ගැන උනන්දුවක් නැහැ. අලුත් ගෙදරට පදිංචියට එද්දී පරණ නත්තල් ගහ දන් දුන්න නිසා මේ අවුරුද්දේ තමයි සෑහෙන්න කාලෙකට පස්සේ මම නත්තල් ගහක් හැදුවේ නැත්තේ. ඒ යුගයත් ඉවරයි.


ඒ වෙනුවට මම මේ සැරේ වෙන ප්‍රොජෙක්ට් එකකට අත ගැහුවා. ඒ තමයි hand painted christmas cards. කොහොමත් දෙසැම්බර් නිවාඩු කාලේ කියන්නේ මම බොහොම නිදහසේ ගෙවන කාලයක්. ඒ නිසා මේ වැඩේට ඕනෑතරම් කාල වේලාවත් ලැබුණා. තැපෑලෙන් ලියුම් යවනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන මේ කාලේ, මට පුරුද්දක් හැටියට තැපෑලෙන් christmas cards එවන කීප දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මම කළින් වැඩ කළ ඉස්කෝලවල යාළුවො. (මේක පුස්තකාලවල වැඩකරන අයගේ විශේෂත්වයක්ද මන්දා!) ඉතින් මේ සැරේ එයාලාට කඩෙන් ගත්ත cards යවනවා වෙනුවට දිය සායම් වලින් හැඩ වුණු සුබපැතුම් යවන්න මට හදිසියේ හිතුණා. මේ තමයි ඒවා. (මෙතැන කීපයක් අඩුයි, පින්තූරේ ගත්තාට පස්සෙත් තව කීපයක් ඇන්දා) දැනටමත් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. තමන් වෙනුවෙන් වැඩිපුර වෙලාවක් ගත කරලා චිත්‍රයක් ඇන්ද එකේ personal touch එක ගැන හැමෝටම සතුටුයි වගේ. ඒත් ඇත්තටම නම් ඒවා අඳිද්දී මට දැනුණු සතුට තමයි එතැන වටින්නෙම. the joy of little things!

මේ පින්තූරේ මම රැකියාව කරන ඉස්කෝලේ පුස්තකාලේ නත්තල් සැරසිලි. පොත් රාක්ක ටිකත් පසුබිමේ තියෙන නත්තල් සිරිය ගේන්නේ අමුතුම සතුටක්. 


දකුණු අර්ධ ගෝලයේ ඉන්න අපිට නම් හිම වැටෙන නත්තල් නැහැ. ඒ වෙනුවට මේ සැරේ තද රස්නයක් ලැබෙන්න නියමිතයි. ඒත් හිත ඇතුළේ ඉන්න පුංචි ළමයාට නත්තල් සමරන්න ඒවා බාධක නෙමෙයි!


December 21, 2022

මට ඔබේ මව මුනගැසුණු අයුරු



Translation of the poem 'How I Met Your Mother' by George Bilgere

සාදයකදී ඇය ව දැක
ඈ වෙත ගොස් මෙසේ ඇසුවෙමි
"කැමතිද මා හා විවාහ වෙන්න,
එක්ව නිවසක් මිළට ගන්න
වරක් දෙවරක්
දරු ප්‍රසූතියේ කටුක වේදනාව විඳින්න
එක්ව ඇතිතරම් නෙට්ෆ්ලික්ස් බලන්න
අවන්හල් වලින් කෑම කන්න
(විශේෂයෙන්ම රුගේරි අවන්හලේ කෑම)
සුරතල් බල්ලෙක් හදන්න
නිවාස ණය ගැන තර්ක කරන්න
අන්තිමේදී මගේ අවසාන දවස් වල
මගේ ළඟ සිටින්න
මගේ මළගම සුදානම් කරන්න
සියලු දේ පිළිවෙල කරන්න
ඉනික්බිති මා නොමැති
ඒ අමුතු අලුත් දිවිය
තනියම අරඹන්න
මේ ඉල්ලීම බරපතල වැඩිද?"

තම මොජිටෝ පානය තොල ගාමින් සිටි ඈ
මෙසේ කීවාය
"කැමතියි! අපි මොකටද තව බලාගෙන ඉන්නේ?"

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දිනමිණ - වසත් සුළඟ 21.12.2022 


sketch- felt pens on paper