මේ මිතුරියක් වෙනුවෙන් ප්‍රණාම සටහනක්. අන්තර්ජාලයේ ඇගේ නම සොයද්දී මතුවීම පිණිස තබන සටහනක්
ඈ කාංචනා අමිලානි කරුණාමුනි
දහනව වසරක් ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ විශේෂාංග කතුවරියක් හැටියට සේවය කළ කාංචනා මේ වසර අගදී ඉන් නික්මෙනවා. මම නිරතුරුව කවි කතා එකතු කළ 'වසත් සුළඟ' කවි පිටුවත් ඒ එක්කම නිමා වෙනවා.
කාංචනා ලේක් හවුස් ආයතනයෙන්න් නික්මෙන බවට පණිවිඩයක් ලැබුණාම මට අර අසිත තවුසාට වගේ හිනාවෙන්නත් අඬන්නත් හිතුණා. සතුට දැනුණේ කාංචනා ඊට වඩා බොහෝ දුර පියාඹන්න නියමිත නිසා එයා දැන්වත් ඒ ගමන පටන්ගැනීම ගැන. දුක දැනුණේ අලුතින් නිර්මාණකරණයට එළඹුණු අයට මින්පස්සේ අත දෙන්න 'කාංචනා කෙනෙක්' නැති එක ගැන.
මීට අවුරුදු දහයකට දොළහකට එපිට අපි මිතුරු මිතුරියන් පිරිසක් fb සමූහ කීපයකට කවි කෙටි කතා ලිව්වා. කාංචනා ත් මේවායේ යාව ජීව සාමාජිකාවක් වෙලා හිටියා. "ඔයාගේ කෙටිකතාව දිනමිණ පත්තරේ පළ කරන්න ගන්නද?" කියලා අහලා කාංචනා මට පණිවිඩයක් එව්ව දවස මට අද වගේ මතකයි. එහෙම පත්තරේක වැඩ කරන කෙනෙක් අපෙන් අහලා නිර්මාණ හොයාගන්න බව මම කවදාවත් අහලා තිබුණේ නැහැ. ඊට කලින් කිසිම දවසක මගේ නිර්මාණයක් පත්තරේක පල වෙලා තිබුණේත් නැහැ. මෙහෙම ඉස්ඉස්සෙල්ලාම පළ වුණේ මගේ 'පුංචි යකා' කියන කෙටිකතාව. දවස 2011 නොවැම්බර් 4.
මේ කාලේ දිනමිණ පත්තරේ 'කව් සිලිලාර' (පස්සේ වසත් සුළඟ) විශේෂාංග පිටුවේ 'කෙටිම කෙටි කතා' අංගයට ගැලපෙන වචන ගානට කෙටි කතා ලියන්න අපි හුරු වුණා. මේකත් එක්තරා අභියෝගයක්, සීමිත වචන ගානකින් කටි කතාවක් ලියන එක අමාරු වැඩක්. මේ සතියේ කාගේ කෙටිකතාව පත්තරේ පළ වෙයිද කියන කුතුහලයෙන් අපි නිරතුරුව දවස් ගතකළා. මීට අමතරව වසත් සුළඟ පිටුවේ විදෙස් කවියට පරිවර්තන කවියක් සතිපතා එවන රාජකාරියත් කාංචනාගෙන් මට ලැබුණා. ඒ වෙනුවෙන් සිංහලට ගැලපෙන, විවිධත්වයෙන් යුතු කවි තෝරලා පරිවර්තනය කරන කටයුත්ත මම අවුරුදු හයක් විතර කළා. ඒ වගේම කාලයක් දිනමිණ පත්තරේ 'පුදුමයි ඒත් ඇත්තයි' විශේෂාංග පිටුවට ලොව වටා පුදුම සහගත දේ ගැන පුංචි පුංචි තොරතුරු හොයලා පරිවර්තනය කරන්නත් මාව යොමු කළේ කාංචනා ම තමයි.
මේ විදිහට බලද්දී අපි දන්නෙවත් නැති අපේ හැකියාවල් මතු කරලා, ඒවාට කරලියක් හදලා දුන්න කෙනෙක්, කාංචනා. එයා ඒ ආරම්භ කරලා දුන්නු ගමන මම දැන් සෑහෙන්න දුර ඇවිත්. මීට අවුරුදු කීපයකට කළින් කාලයක් තිස්සේ දිනමිණ පත්තරේ වෙනුවෙන් මම ලියූ කෙටි කතාත් එකතු කරලා කෙටිම කෙටි කතා එකතුවක් එළි දැක්වූවා . ඒ ගමනට මුල්ම අඩිතාලම දැම්මේ මගේ පළවෙනිම කතාව පත්තරේ පළ කළ කාංචනා කිව්වොත් හරි. මේවාට ක්‍රෙඩිට් ගන්න අකමැති නිසා මේවා කිව්වාම එයා කියන්නේ 'මම මේ හැම දෙයක්ම කළේ රස්සාවේ කොටසක් හැටියට' කියලායි. ඒත් රස්සාවේ කොටසක් හැටියටවත් එහෙම නොකරන අය ඉන්න රටක කාංචනා වගේ අය අපිට මඟ පෙන්නුවාට අපි ණය ගැතියි.
කාංචනා අමිලානි කරුණාමුනි කියන ලේඛිකාව, කිවිඳියගේ දස්කම් තවත් එළිදක්වන්න මේ ඉසිඹුව පාවිච්චි කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඇගෙන් තව තවත් මායාමය ලියවිලි කියවන්න ඇඟිලි ගනිමින්.
මිතුරුකමටත් මඟ පෙන්වීමටත් ස්තූතියි,
Kanchana Amilani Karunamuni
love a lot
ReplyDelete++++++++
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ReplyDeleteසුබ නව වසරක් කට්ටියටම.
ReplyDeleteබස්සා හයිබර්නේෂන් ඉවරයිද? :D
ඤැහ්! :)
Delete- බකුස් -
Great motivation for all
ReplyDelete