June 29, 2020

ජෙරමි ෆිෂර් මහත්මයාගේ කතාව

Translation of ‘The Tale of Mr. Jeremy Fisher’ by Beatrix Potter


එකමත් එක රටක ජෙරමි ෆිෂර් මහත්මයා නමින් ගෙම්බෙක් වාසය කළා. ඔහු ජීවත් වුණේ පොකුණේ කෙළවර බටර්කප් මල් ගාලේ තිබුණු තෙතබරිත පුංචි ගෙදරක. ඒ ගෙදර ගබඩා කාමරයේත් පසුපස කොරිඩෝවේත් නිතරම වතුර පිරී තිබුණා. ඒත් ජෙරමි මහත්මයා තමන්ගේ දෙපා තෙමාගන්න බොහොම කැමැත්තක් දැක්වූවා, අනෙක ඔහුට කවදාවත් හෙම්බිරිස්සාවක් හැදුණේ නැහැ.

දවසක් පොකුණට ලොකු වැහි බින්දු වැටෙන හැටි ඔහු බලා උන්නේ සතුටින්. 

"අද මම ඇමට පනුවෝ ටිකක් අරගෙන ගිහින් රෑ කෑමට තිත්තයෝ අල්ලන්න ඕන" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මම මාළු පහකට වඩා ඇල්ලුවොතින් මගේ යාළුවො වන ඇල්ඩර්මන් ටොලමි ඉබි මහත්මයාටයි සර් අයිසැක් නිව්ටන් දිය හූනු මහත්මයාටයි කෑමට ආරාධනා කරන්න පුළුවන්. හැබැයි ඇල්ඩර්මන් නම් කන්නේ සලාද විතරයි"

ජෙරමි මහත්මයා වැහි කබායක් ඇඳගෙන තමන්ගේ දිස්නේ ගහන බූට්ස් සපත්තු දෙකත් දාගෙන, බිලී පිත්තත් කූඩයත් අරගෙන ලොකු පිමි දෙක තුනක් පැනලා තමන්ගේ ඔරුව නතර කර තිබුණු තැනට ගියා. ඒ ඔරුව අනෙත් නෙලුම් කොළ වගේම කොල පාටට, දිලිසෙමින් තිබුණා. ඒක ගැට ගසා තිබුණේ පොකුණ මැද තිබුණු පන් ගසක. ජෙරමි මහත්මයා රිටක් හැටියට තවත් පන් ගසක් අරගෙන ඔරුව වතුරට තල්ලු කළා. "තිත්තයෝ ඉන්න හොඳ තැනක් මම දන්නවා" ඔහු කීවා. ඉන්පස්සේ ඔහු රිට මඩේ සවිකර, ඔරුව එහි ගැට ගසා, එරමිණියා ගොතාගෙන බිලී බාන ආම්පන්න සුදානම් කළා. බොහොම ලස්සන රතු පැහැති ඉපිල්ලක් ඔහුගේ බිලී පිත්ත කෙළවර තිබුණා. ඔහුගේ බිලී පිත්ත සවිමත් තණකොළ නටුවක්, එහි නූල සිහින් දිග අශ්ව කෙන්දක්, එහි කෙළවරට ඔහු දඟලන පණුවෙක් සවිකළා.

පැය බාගයක් පමණ ඔහු ඉපිල්ල දෙස දෑස් දල්වාගෙන බලා සිටියා. වැහි වතුර ඔහුගේ පිට දිගේ බේරුණා.

"මේක මහා කරදරකාරී වැඩක්, මම හිතන්නේ මම දැන් දවල් කෑම ගත්තොත් හොඳයි." ජෙරමි ෆිෂර් මහත්මයා කීවා.

ඔහු යළි වතාවක් පන් ගාල් අතරින් ඔරුව පැදගෙන ගිහින්, කූඩයෙන් දවල් කෑම එළියට ගත්තා.

"සමනල්ලු මැදට දාපු සැන්ඩ්විච් එකක් කාලා වැස්ස තුරල් වෙනකම් ඉන්න ඕන" ඔහු කීවා

විශාල දිය කුරුමිනියෙක් නෙලුම් කොලයට යටින් ඇවිත් ඔහුගේ බූට්ස් සපත්තුවක් කොනහන්නට වුණා. කුරුමිණියාට ලං වෙන්නට බැරි විදිහට තම දෙපා සකසාගෙන ජෙරමි මහත්මයා දිගටම ආහාර ගන්නට වුණා. පොකුණ අද්දර පන් ගාලේ කිසිවෙක් සෙලවෙන හඬක් වරක් දෙවරක් ඇසුණා.

"ඒ මීයෙක් නෙමෙයි කියලා මම ප්‍රර්ථනා කරනවා" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මං හිතන්නේ මම මෙතැනින් ගියොත් හොඳයි" ඔහු නැවත වතාවක් ටික දුරක් ඔරුව පැදගෙන ගොස් ඇම වතුරට දැම්මා. ඒ මොහොතේම වගේ ඉපිල්ල දරුණු විදිහට හෙලවුනේ සතෙක් ඇම ගිල්ල බව දැනුම්දෙමින්.

"තිත්තයෙක්! තිත්තයෙක්! මම ඌව හොම්බෙන් අල්ලගත්තා!" ජෙරමි ෆිෂර් මහත්මයා බිලී පිත්ත ඔසවමින් කෑ ගැසුවා. ඒත් සිදුවුණේ මහා භයංකාර පුදුම සහගත දෙයක්. ජෙරමි මහත්මයා අල්ලාගෙන තිබුණේ ජැක් ශාප් නමැති කටු පිරුණු මාළුවාව! කටු මාළුවා ඔරුවේ ඒ අතට මේ අතට දඟලමින්, කටු අනිමින්, සපාකන්නට උත්සාහ කරමින් හිඳ නැවතත් වතුරට පැන්නා. ඒ එක්කම වෙනත් පොඩි මාළු කණ්ඩායමක් ම වතුරෙන් පිටට එබිකම් කර ජෙරමි ෆිෂර් මහත්මයාට සමච්චලයට හිනාවුණා. ජෙරමි මහතා තම රිදුණු ඇඟිලි තුඩු කටේ දමා උරමින් බොහොම දුක්බරව ඔරුවේ ගැට්ටේ වාඩිවී වතුර දෙස එබී බලා සිටියා. හදිසියේම කළින් සිද්ධියටත් වඩා අති භයානක දෙයක් සිද්ධ වුණා. ඇත්තටම ඒ වෙලාවේ ජෙරමි මහත්මයා වැහි කබාය පැළඳගෙන නොහිටියානම් මහා විනාසයක් වෙන්න තිබුණා.

මහා සද්දයක් එක්ක ට්‍රවුට් මාලුවෙක් දියෙන් මතුවී ජෙරමි මහත්මයාව එක කටට අල්ලා ගත්තා. 'ඕ.. ඕ .. ඕ" කියා ඔහු කෑගසද්දීම මාළුවා ආපිට හැරී නැවත පොකුණු පතුලටම කිමිදුණා. ඒත් විනාඩි බාගයක් ගතවෙන්නටත් කලින් වැහි කබායේ රස අප්‍රසන්න වූ නිසා මාළුවා ඔහුව කටින් පිටට දැම්මා. ඌ ගිල දැමුවේ ජෙරමි මහත්මයාගේ බූට්ස් සපත්තු ජෝඩුව විතරයි.

සෝඩා බෝතලයක පොරෝප්පයක් මෙන් දිය මතුපිටට ඉල්පී ආ ජෙරමි මහත්මයා, හැකි තරම් වෙර යොදා ඉවුර අතට පීනුවා. මුලින්ම මුණගැසුණු ඉවුරට ගොඩවැදුණු ඔහු ඉරුණු වැහි කබාය පිටින්ම තණ පිට්ටනිය ඔස්සේ ගෙදර වෙත පැන පැන යන්නට වුණා.

"ඒ පයික් මාලුවෙක් නොවුණේ මගේ වාසනාවකට!" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මගේ බිලී පිත්තත් කූඩේත් නැතිවුණා, ඒත් ඒකට කමක් නැහැ මං හිතන්නේ නැහැ මම ආයෙත් කවදාවත් මාළු බාන්න යයි කියලා."

ඔහු තම තුවාල වුණු ඇඟිලි වෙළුම්පටි වලින් වෙලුවා. ඔහුගේ මිතුරන් දෙදෙනාම රෑ කෑමට ආවා. ඔවුන්ට දෙන්නට ඔහු ළඟ මාළු නොතිබුණත් ඔහුගේ ගබඩා කාමරයේ වෙනත් දෙයක් තිබුණා.

සර් අයිසැක් නිව්ටන් දිය හූනු මහත්මයා තමන්ගේ කලු සහ රන් පැහැති මෝස්තරයෙන් යුත් කෙටි කබාය හැඳ සිටියා. ඇල්ඩර්මන් ටොලමි ඉබි මහත්මයා දැල් මල්ලක තමන්ගේ සලාදය ගෙනාවා.

තිත්තයන් වෙනුවට ඔවුන් රෝසට් කළ තණකොළපෙත්තන් කුරුමිණි සෝස් සමඟ කෑවා. ඒක බොහොම රස කෑමක් වෙන්න ඇති කියලා මම නම් විශ්වාස කරනවා!


Illustration by Beatrix Potter for the story The Tale of Jeremy Fisher from wikimedia commons

The Tale of Mr. Jeremy Fisher written and illustrated by Beatrix Potter published by Frederick Warne & Co. in 1906

June 19, 2020

පොත් කියවන්න කම්මැලි ළමයි


"මගේ ළමයා පොත් කියවන්න ආසාම නැහැ අනේ, ඔයා librarian කෙනෙක් නේ, මේකට පිළියමක් කියන්නකෝ"

මට මෙහෙම කියන අය නිතර හම්බවෙනවා. එක අතකට දෙමව්පියෝ මෙහෙම අහනවා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙන බව තේරුම් අරගෙන, ඒකට විසඳුමක් හොයන්න ඒ අයගේ උනන්දුවක් තියෙනවා කියන එක. ඒත් සමහරු එහෙම අහන්නේ තමන් කිසිම මහන්සියක් නොවී ක්ෂණික විසඳුමක් හොයාගන්න.

ළමයි පොත් කියවන්නේ නැත්තේ ඇයි?

මගෙන් ඔය ප්‍රශ්නය අහන අයගෙන් මමත් ප්‍රශ්නයක් දෙකක් අහනවා. ගෙදර ළමයාට කියවන්න ගැලපෙන පොත් තියෙනවාද? ගොඩාක් ගෙවල් වල තියෙන්නේ ළමයි පුංචිම කාලේ කොහෙන් හරි හම්බවුන පින්තූර පොත්, ඒවායේත් පිටු ගැලවිලා, ළමයි බලි කුරුටු ඇඳලා. එහෙම නැත්නම් අල්මාරියක දාලා අරන් තියපු තාත්තාගේ නීති පොත්, අම්මාගේ විශ්ව විද්‍යාල සටහන්. ඉතින් ළමයෙක් කොහොමද ගෙදරදී පොත් කියවන පුරුද්දක් ඇති කරගන්නේ?

ඊළඟට ප්‍රශ්නය දෙමව්පියන් ඒ දරුවාව පුස්තකාලෙකට, පොත් සාප්පුවකට එක්කගෙන යනවද, එහෙම ගිහින් කැමති පොතක් තෝරාගන්න ඉඩ අරිනවද කියන එක. සාමාන්‍යයෙන් ළමා රූප පොත් එහෙම සාපේක්ෂව මිළ අඩුයි. ඒත් ළමයින්ගේ කියවීමේ මට්ටම් ඉක්මනින් වෙනස්වෙන නිසා ලාබ ම, පලදායීම තෝරාගැනීම පුස්තකාලයකට යන එක. ලංකාවේනම් හැම පළාතේම එක වගේ පුස්තකාල පහසුකම් නැති බව ඇත්ත. ඒත් ළමයි කියවන්න උනන්දු නැහැ කියලා චෝදනා කරන දෙමව්පියන් බොහෝ වේලාවට ලංකාවේ නගරබදව එහෙම නැත්නම් ලංකාවෙන් පිට ඉන්න, පුස්තකාල පහසුකම් තියෙන, ඒවා පාවිච්චි නොකරන අය. ළමයින්ව පුස්තකාලයකට අරගෙන ගියත් බහුතරයක් දෙමව්පියන් ළමයින්ට කැමති පොතක් තොරාගන්න නිදහසක් දෙන්නේ නැහැ.

තුන්වෙනි ප්‍රශ්නේ තමයි ළමයින්ට පුංචි කාලේ ඉඳන් කියවීම හුරු කළා ද කියන එක. බොහෝ වේලාවට මේකට උත්තරයත් නැහැ කියන එක තමයි. පොත්වලට ආදරය කරන්න ළමයින්ට හුරු කරන්න ඕන බිළිඳු කාලෙදිමයි. දරුවන්ට මාස තුන හතරේදී පාට, හැඩතල පේන්න ගනිද්දී ඒගොල්ලන්ට පොත් පෙන්නුවාම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාවේදී දරුවෝ ඉපදුන අලුත වැඩීම බලන්න අරගෙන යන හෙද සායන වලදී ඒ බිළිඳු වයසට ගැලපෙන පාට තියෙන පොත් නොමිළේ දෙන බව මම දැනගත්තේ ඉස්සර පුතාව ඒවාට අරගෙන යද්දී. අම්මලා තාත්තලා හඬ නඟලා කියන කතන්දර අහගෙන ඉන්නත් දරුවෝ වයසෙන් වැඩෙද්දීආසයි. දරුවෝ පුංචි කාලේ ඒගොල්ලෝ නිදාගන්න කලින් ඒ අයත් එක්ක පොතක් දෙකක් කියවන්න මේ රටවල දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා. පොතේ මාතෘකාව ගැන අම්මලා තාත්තලාගේ අත්දැකීම් අදහස් බෙදාගන්නත් කතාන්දරය දරුවාට තේරුණු හැටි ගැන තමන්ගේ අදහස් කියන්නත්, සරලවම කියනවානම් දෙමව්පියන්ට දරුවන්ට ආදරයෙන් ලංවෙලා ඉන්නත් ඒ වෙලාව හරි වටිනවා. අකුරු නොදන්නා අවුරුදු දෙකේ තුනේ ළමයි පින්තුර පොත් පිටින් කටපාඩම් කරගෙන පිටු පෙරලමින් බොරුවට කියවනවා වගේ රඟපාන්නේ පුංචි කාලේ ඉඳන්ම මෙහෙම කියවීමේ ආසාව ඇති කළාමයි. දරුවන්ට නැකතට අකුරු කියවන්න කලින් පොත් පෙන්නන්න හොඳ නැහැ කියලා ලංකාවේ සමහරු කියනවා මම අහලා තියෙනවා. ඒ වගේ යල් පැන ගිය අදහස් වලින් අවාසියක් වෙන්නේ දරුවාටමයි. පුංචි කාලේ ඉඳන් පොත් ඇසුරේ හැදෙන දරුවෝ පොත්වලට ආදරේ කරන්න පටන් ගන්නවා. පොත්වල බලි කුරුටු අඳින්නේ නැතිව, පිටු ඉරන්නේ නැතිව කියවන්න ඉගෙන ගන්නවා.

ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලවල 1, 2, 3 වසරවල දරුවන්ට හැමදාම කතන්දර පොතක් ගෙදර ගෙනියන්න දෙන වැඩසටහනක් තියෙනවා. දරුවාගේ කියවීමේ මට්ටමට ගැලපෙන පොතක් තෝරලා දෙන්නේ ගුරුතුමිය. ඒ පොත දෙමව්පියන් එක්ක එකතුවෙලා කියවලා ඊළඟ දවසට ආයෙත් පාසැලට ගේනවා. කියවීමේ හැකියාව ඉක්මණින් දියුණු වෙන්නයි, වචන මාලා වැඩි දියුණු වෙන්නයි මේක හරිම සාර්ථක ක්‍රමයක්. ඉස්කෝලේදී අඩිතාලම් දාලා දෙන මේ හැකියාව තවත් දියුණු කරන්න දෙමව්පියන්ට ලේසියෙන්ම පුළුවන්.

සමහර දෙමව්පියන්ගේ හිතේ තියෙනවා මගේ දරුවා මෙන්න මේ ජාතියේ පොත් කියවිය යුතුයි කියන අදහස. තමන්ගේ අවුරුදු දහයේ පුතා කැමති fantasy & adventure පොත්වලට බවත් තමන් කැමති පුතා මීට වඩා සාහිත්‍යමය පොත් කියවනවාට බවත් මගේ යෙහෙළියක් මට කීවා. අවුරුදු දහය වගේ කාලයේදී අපිත් මායා බල ගැන, වීර ක්‍රියා ගැන තිබුණු පොත්පත්වලට, රූපවාහිනී වැඩසටහන් වලට කොයිතරම් ආසා කළා ද! ළමයා තමන් ආසා දෙයක් වෙනුවට අපි තීරණය කරන දෙයක් කියවන්න ඕන ඇයි? ළමයින්ට කියවීම එපා වෙන්නේ අපි එහෙම බලකරන්න ගියාම නෙමෙයිද? දූලා තරම් පුතාලා පොත් කියවන්න නැඹුරු නැති බවත් තවත් එක චෝදනාවක්. එහෙම නැති බව ඔප්පු කරන්න අපේ ගෙදරම අවුරුදු දොළහක පොත් ගුල්ලෙක් ඉන්නවා. බොහෝ වේලාවට පිරිමි ළමයි කැමති පොත් ශානර (genre) ගැහැණු ළමයි කැමති ඒවා නෙමෙයි. පිරිමි ළමයි කැමති චරිතාපදාන, වීර කතා, පරිසරය එහෙම නැත්නම් අභ්‍යවකාශය ගැන කරුණු තියෙන non-fiction පොත් වගේ ඒවාට. පිරිමි ළමයෙක් සම වයසේ ගැහැණු ළමයින් බොහොම ආසා Anne of Green Gables පොතට ආසා නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට බොහොම උනන්දුවෙන් The Boy who Harnessed the Wind පොත කියවලා ගෙදරදී සුළං පෙත්තක් හදන්න උත්සාහ ගන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි කැමති ebooks කියවන්න, වාහන ගැන, පරිසරය ගැන සඟරා, එහෙම නැත්නම්ළමා පත්තර කියවන්න. manga චිත්‍රකතා පොත් එකක් ඉවරවෙනකොට තව එකක් කියවන ගැහැණු ළමයිනුත් පිරිමි ළමයිනුත් මම දැකලා තියෙනවා . මගේ පුතා මේ දවස්වල war fictionකියවන්න කැමතියි. එයාගේ ඉස්කෝලේ පුස්තකාලේ war fiction වෙනම එකතුවක්ම තියෙනවලු. මේ හැම කියවීමක්ම කියවීමක්. 'අපි කැමති දේ' කියන කෝවේ දාලා ළමයින්ව මකන්නේ නැතිව අපි ඒ ළමයින් තමන්ගේම රුචි අරුචිකම් ඇති අය විදිහට දකින්න ගත්තා නම් මේ හැම දෙයක්ම තේරුම් ගන්න හරි ලේසියි.

මෙහෙම පැහැදිලි කළාම ගොඩක් අම්මලා අන්තිමේදී කියන එක දෙයක් තියෙනවා. ඒ තමයි 'අනේ ඕවා කරන්න වෙලාවක් නැහැ' කියන එක. එහෙම කියන අය බොහෝ වෙලාවට තමන්ගේ ලේසියට ළමයින්ගේ අවධානය රූපවාහිනිය හරි ඒ වගේ වෙන උපකරණයකට සින්න වෙන්න ඇරලා ඉන්න අය. එහෙම නැත්නම් ගෙදර වැඩට ඉන්න අයට පඩි ගෙවන නිසා දරුවෝ එක්ක කාලය ගත කළ යුත්තේ ඒගොල්ලෝ කියලා හිතන අය. තමන්ගේ දරුවෝ පුංචි කාලේ ඒගොල්ලන්ට කතා පොතක් කියලා දෙන්න දවසකට පැය බාගයක් වෙන් කරන්න බැරි නම්, මාසෙකට සැරයක් වත් පොත් සාප්පුවකට නෙමෙයි නම් අඩුම ගානේ පුස්තකාලයකටවත් ළමයාව එක්කගෙන් ගිහින් නිදහසේ පොත් අතර සැරිසරන්න, කැමති පොතක් තෝරාගන්න ළමයාට ඉඩක් දෙන්න බැරිනම් ඊට එහාට ළමයින්ගේ කියවීමේ පුරුද්ද ගැන කතාකරන්න ඒ අයට අයිතියක් නැහැ කියලා මම හිතනවා. ඒවගේම කියවීමේ පුරුද්ද එක්ක බැඳුනු භාෂා ඥානය, ව්‍යක්ත බව, නිර්මාණශීලී බව ඒ ළමයින්ගේ ජීවිත වලින් ගිලිහුනාම ඒ වගකීමත් ඒ දෙමව්පියන්ටම ගන්න වෙනවා.

මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන බාලිකාවේ පුස්තකාලයේ ප්‍රබන්ධ පොත් එකතුවේ පොත් විසිදාහක් විතර තියෙනවා. ඒ නිසාම අපි එක ළමයෙකුට ගන්න පුළුවන් පොත් ප්‍රමාණය ගැන සීමා පනවලා නැහැ. නිවාඩු කාලයක් කිට්ටු වෙද්දී මේ ඉස්කෝලේ සිසුවියෝ බොහොම ආසාවෙන් පොත් මිටි ගණන් අරගෙන යන හැටි, පොත් රාක්ක ක්‍රමක්‍රමයෙන් හිස් වෙන හැටි බලාගෙන ඉන්න එක මගේ ප්‍රියතම වැඩක්. ඒ කියවීමේ පිපාසය දකිද්දී මමත් ඔය වයසේදී නිදි මරාගෙන කතන්දර පොත් කියෙව්ව හැටි මතක් වෙනවා. අදටත් පොත් කියවීමට මගේ ජීවිතයේ නම් තියෙන්නේ බොහොම ලොකු ඉඩක්.

පුංචි ළමයින්ට අපි ඇතිකරලා දෙන්න ඕන කියවීමේ ආසාව විතරයි. ඒ ගිනි දැල්ල නිවෙන්නේ නැතිව ජීවිත කාලයක්ම තියාගන්න ඊටපස්සේ ඒගොල්ලෝම මහන්සි වෙනවා. පොත් කියවනවා කියන එක පුංචි ළමයින්ට දඬුවමක් නොවිය යුතුයි. ප්‍රසිද්ධ කතුවරයෙක් වන Neil Gaiman මේ කියලා තියෙන විදිහට ඒක තමන්ට සතුටක් ගේන දෙයක් විය යුතුයි. ඒ සතුට හොයාගන්න ඉඩ සලසලා දෙන එක දෙමව්පියන් විසින් දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.



June 16, 2020

අසල්වැසියෝ

Translation of the short story ‘Neighbours’ by Tim Winton




තරුණ යුවළ ඒ පළාතේ පදිංචි වුණු අලුත, වටපිටාව ගැන ඔවුන් පසුවුණේ තරමක කල්පනාවෙන්. ඒ මුළු වීදියේම වාසය කළේ යුරෝපයෙන් සංක්‍රමණය වුණු උදවිය. මේ නිසා අලුත බැන්ද ජෝඩුවට තමන් පිටරටක තාවකාලිකව පදිංචි වුණා වගේ හැඟීමක් ඇතිවුණා. එහා ගෙදර උන්නේ මැසිඩෝනියානු පවුලක්. දකුණු පැත්තේ නිවසේ වාසය කළේ පෝලන්තයෙන් ආව වැන්දඹු පුරුෂයෙක්. 

අලුත් යුවළ පදිංචි වුණු නිවස කුඩා එකක්. ඒත් එහි උස් වහල නිසාත්, වීදුරු ජනෙල් නිසාත් එය කදිම බංගලාවක් වගේ දැනුණා. තරුණයා නිවසේ තමන්ගේ අධ්‍යයන කටයුතු කළ කාමරයේ ජනේලයෙන් බලද්දී ඔහුට සෙසු නිවාසවල පියැසි වලටත්, අවට තිබුණු පරණ මෝටර් රථ වෙළඳසැල් වලටත් ඉහළින් ඈත පෙනුණා. ඔවුන්ගේ සුරතල් බල්ලාව ඇවිදින්නට රැගෙන යන උද්‍යානයේ මෝර්ටන් බේ වර්ගයේ අත්තික්කා ගස් පවා එතැනට ඔහුට හොඳින් පෙනුණා. ඔවුන්ගේ කීකරු, ලොම් හැලෙන කොලී බල්ලා ගැන අසල්වැසියන් දැක්වූයේ පරෙස්සම් සහගත බවක්. 

අසල්වැසියන් යහපත් නම් ඒ අය ගැන නිතර අසන්නට දකින්නට නොලැබෙන බවයි ඔවුන් මින් පෙර විසූ පෙදෙස්වල අත්දැක තිබුණේ. ඒත් මෙහිදී පාන්දරම වටපිටින් ඇසෙන්නට ලැබෙන කාරන, නාන හඬවල් මුලදී ඔවුන්ට තිගැස්මක් ඇතිකළා. මැසිඩෝනියානු පවුල නම් නිරන්තරයෙන්ම එකිනෙකාට කෑ ගැසුවා, බැණ වැදුණා, දෙස් දෙවොල් තිබ්බා. තම අසල්වැසියන් එකිනෙකා මරානොගන්නා බවත්, මේ ඔවුන් කතාබහ කරන හැටි බවත් තේරුම්ගන්නට අලුත් පදිංචිකරුවන්ට හය මසක් ගතවුණා. වයසක පෝලන්ත මිනිසා ලෑලි වලට ඇන ගසමින් නැවතත් ඒවා ගලවමින් දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කළා. ඔහුගේ ගෙවත්ත පරණ ලී දඬු වලින් පිරී තිබුණත් ඔහු ඒවා එකතුකරනවා මිස ඉන් යමක් තනන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

මාස කිහිපයක් ගතවෙන තුරුම අසල්වැසි සබඳතා අපහසු වුණා. අලුත් පදිංචිකරුවන් උදෑසන අවදිවෙන වෙලාව ගැන මැසිඩෝනියානුවන් එසවුණු දෙබැමින් අප්‍රසාදය පෙන්වූවා. බිරිඳ රැකියාවකට යද්දී තමන් පර්යේෂණ නිබන්ධනය ලිවීමට ගෙදර නැවතී සිටීම ඔවුන් අනුමත නොකළ බව ඔහුට වැටහුණා. අසල්වැසි නිවසේ කුඩා පිරිමි දරුවා පාරට මුත්‍රා කරන අයුරු ඔහු පිළිකුලෙන් බලා සිටියා. වරක් කොලුවා නිවස පසුපස පඩිය උඩ සිට බළලාගේ ඇඟටත් මුත්‍රා කරනු තරුණයා දුටුවා. කොලුවාගේ කොණ්ඩය නිතර බූ ගා තිබුණේ එය ඝනව වැඩීම සඳහා විය යුතු යැයි ඔහු උපකල්පනය කළා. තම නිල් දෑස පමණක් දිස්වෙන ලෙස වැට අද්දර සිට මෙපිට බලා සිටි කොලුවා නිසා තරුණයා අපහසුතාවයට පත් වුණා. 

සරත් කාලයේදී තරුණ යුවළ නිවස පසුපස ගෙවත්තේ කසළ ඉවත් කර, පිරිසිදු කර, බිම් කොටා, පොහොර යොදද්දී අසල්වැසියන් වුවමනාවෙන් ඒ දෙස බලා සිටියා. ඔවුන් ලීක්ස්, ළූනු, ගෝවා, බ්‍රසල් ස්ප්‍රවුට් සහ බෝංචි සිටවද්දී අසල්වැසියන් වැටට උඩින් ඔවුන්ට පැල අතර දුර පිළිබඳව, බිම් සැකසීම පිළිබඳව, පොහොර වර්ග පිළිබඳව උපදෙස් දුන්නා. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් ගැන මනාපයක් නොතිබුණත් තරුණයා ඔවුන්ගේ උපදෙස්වලට ප්‍රවේශමෙන් ඇහුම්කන් දුන්නා. ඔහුගේ බිරිඳ නම් අසල්වැසි කොලුවාගේ වැඩීගෙන එන කෙස් කොට සහිත හිස අතගාන්නට තරම් නිර්භීත වුණා. කළු දෑසක් සහ මස් වෙළෙන්දෙක්ගේ වැනි බාහු තිබුණු හැඩි දැඩි කාන්තාවක් ඔවුන්ට පැලකරන්නට සුදු ළූනු බික් මල්ලක් දුන්නා. 

වැඩි කලක් ගතවෙන්නට පෙර තරුණයාත් තරුණියත් කුකුල් කොටුවක් තැනුවා. එය කඩාවැටෙන අයුරු අසල්වැසියන් බලා සිටියා. පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා ආරාධනා නොලබා ම වැටෙන් රිංගා ඇවිත් එය ඔවුන්ට යළි තනා දුන්නා. ඔහු කී කිසි දෙයක් ඔවුන්ට වැටහුණේ නැහැ. 

සරත් කාලය ගෙවී ශීත කාලය පැමිණෙද්දී රත්පැහැ හවස්වරුවලට අනතුරුව හදිසි අඳුරු රාත්‍රී කාල එළඹුණා. දර දැවෙන දුම් සුවඳ පැතිරෙද්දී, දවසේ නිමාව සටහන් කරමින් කුකුළන් හඬලද්දී තමන් අසල්වැසියන් හා මඳහස නඟන බව තරුණ යුවලට දැනුණා. ඔවුන් දුන් ගෝවා ගෙඩි හුවමාරුවට අසල්වැසියන්ගෙන් වයින් සහ දර ලැබුණා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන වූ ඔහුගේ පර්යේෂණ නිබන්ධනය සම්පූර්ණ කරන්නට සීරුවට වෙහෙසුණා. ඔහු බිරිඳ වෙනුවෙන් රෑ කෑම පිස, ඇය රෝහලේ අකාර්යක්ෂම බව ගැන, කරදරකාරී රෝගීන් ගැන කියන කතන්දර අසා සිටියා. පාරේ ඇවිදින්නට යද්දී ඔවුන් තවදුරටත් මුහුණු බිමට නැඹුරුකරගෙන ගියේ නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ව බලන්නට පැමිණි විට තිගැස්මෙන් යුතුව වැටවල් එපිට බලද්දී ඔවුන්ට උඩඟු, ආඩම්බරයක් දැනුණා. 

ශීත කාලයේදී ඔවුන් විශාල නිහඬ මස්කොවි තාරාවන් ඇති කළා. උන් වැස්සේ තෙමෙමින් තැන තැන හිටගෙන, ඉබේ බර වැඩිවෙමින් පසුවුනා. වසන්ත කාලයේදී මැසිඩෝනියානු පවුල තාරාවන් මරණ අයුරු, උන්ගේ පිහාටු ගලවා සකසන අයුරු ඔවුන්ට ඉගැන්වූවා. සම්ප්‍රදායක ලෙස පිරිමින් මස් කපමින්, ගැහැනුන් පිහාටු ගලවමින් ගෙවත්තේ තැන තැන ලී කොටන් උඩ, මුණින් හැරවූ බාල්දි උඩ වාඩිවී එකිනෙකාට යන්තමින් වැටහෙන කතන්දර කියාගත්තා. පාන්දර මීදුමත්, අවට පැතිරුණු හුමාලයත්, කැඩුණු කතාබහත් අතරේ තරුණයාටත් තරුණියටත් මත් බවක් දැනුණා. තැන තැන විසිරුණු තාරාවන්ගේ කඳින් වෙන් වූ හිස් සමඟ බළලා සෙල්ලම් කරමින් සිටියා. කොලුවා බළලාගේ වල්ගයෙන් ඇද්දා. තමනුත් කෑගසමින් පසුවන බව අලුත් පදිංචිකරුවන්ට වැටහුණා. 

එහෙත් ඔවුන් ගැබ් ගැනීමක් නම් සැලසුම් කර තිබුණේම නැහැ. මේ තරම් ඉක්මනින් දෙමව්පියන් වීමට සිදුවීම ගැන ඔවුන්ට මහත් කම්පනයක් දැනුණා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට එක්කෝ දරුවන් සිටියේම නැහැ. නැත්නම් එය සිදුවුණේ විවාහ වී වසර ගණනක් ගතවුණු පසුව. තරුණිය මාතෘ නිවාඩු ගන්නට කටයුතු සූදානම් කළා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන ඔහුගේ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් වෙහෙසුණා.

පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා කුමක්දෝ තනන්නට පටන්ගෙන තිබුණා. වසන්තයේ අග භාගයේ පාන්දර ජාමවල, මෙතෙක් කල් එක්රැස් කර තිබුණු දැව දඬු යොදාගෙන ඔහු කණු සිටවමින්, සිමෙන්ති දමමින් සිටියා. තරුණ යුවළ ඇඳේ ඒ මේ අත පෙරළෙමින්, ඔහුට නොඇසෙන්නට ඔහුට ශාප කළා. වැන්දඹු මිනිසා වුවමනාවෙන්ම ඔවුන්ට එදිරිවාදිකම් කරනවාදැයි තරුණ සැමියාට ඇතැම් විට සැක හිතුණා. තරුණ බිරිඳ උදෑසනට වමනය කළා. තරුණයා පීනසෙන් පීඩා වින්දා.

වැඩිකල් ගතවෙන්නට පෙර ගැබ් ගැනීම ගැන අහල පහළ හැම කෙනෙක්ම දැනසිටින බව තරුණ යුවලට වැටහුණා. කිසිම වෙහෙසක් නැතිව මිනිසුන් ඔවුන් හා නිරතුරුව හිනැහුනා. විදෙස් කෑම වර්ග විකුණන කඩයේ හිමිකරු පුංචි තෑගී ලෙස ඇයට චොකලට් සහ ඔහුට දුම්වැටි පැකට්ටු දුන්නා. ඔහු දුම් පානය නොකළ නිසා ඒවා නිවසේ අරන් තැබුවා. ගිම්හානයේදී ඉතාලි ගැහැණු බිළිඳාට නම් යෝජනා කරන්නට වුණා. තරුණිය පාරේදී මුණගැහුණු විට ග්‍රීක ගැහැනුන් ඇගේ සාය මතුපිටින් කුස අතගා ඇයට ලැබෙන්නට ඉන්නේ පිරිමි දරුවකු බවට අනාවැකි කීවා. ගිම්හානයේ අග භාගය වෙද්දී අසල්වැසි කාන්තාව බිළිඳා ට හිස්වැසුම් සහ පාවහන් සහිත සම්පූර්ණ ඇඳුම් කට්ට්ලයක්ම ගොතා අවසන් කර තිබුණා. තරුණියට සතුටක්, සිරවුණු බවක්, කෘතඥ බවක් මෙන්ම නොරිස්සීමක් දැනුණා.

ගිම්හානය අවසන් වෙද්දී අසල්වැසි පෝලන්ත වැන්දඹු මිනිසා තනමින් උන් මෝටර් රථ දෙකකට ඉඩ ඇති ගරාජයේ වැඩ අවසන් කර තිබුණා. එක් මෝටර් රථයක්වත් නැති කෙනෙකුට මෙවැනි දෙයක් කළ හැකිදැයි තරුණයාට විශ්වාස කරන්නත් අපහසු වුණා. ශබ්දය ගැන පැමිණිල්ලක් කිරීම ගැන ඔහු කල්පනා කරමින් සිටිද්දී පෝලන්ත මිනිසා ඔවුන්ගේ ගිනි උදුන සඳහා වීල්බැරැක්කයක් පිරෙන්නට ලී කැබලි ගෙන ආවා. 

ප්‍රසව වේදනාව එළඹුණේ අනපේක්ෂිත වේලාවක. තරුණයා විසිවෙනි සියවසේ නවකතාව අත්හැර දුරකථනය ළංකරගත්තා. ඔහුගේ බිරිඳ කාලය ගෙවාගන්නට ගිනි උදුනේ තීන්ත ගාන්නට පටන් ගත්තා. වින්නඹු කාන්තාව පැමිණ ඇයට එම කාර්යය නිමකරන්නට උපකාර කරද්දී ඔහු ප්‍රශ්නාකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් නිවසේ එහෙ මෙහෙ දිව්වා. ඔහුගේ බිරිඳ කුසත් ඔසවාගෙන ඔහුගේ හැසිරීම් පරීක්ෂාකරමින් නිවසේ ඇවිද්දා. තව දර ගෙන එන්නට නිවසින් පිටතට ගිය විට වැටවල් අද්දර මුහුණු රැසක් පෙළගැසී ඇති අයුරු මැකීගෙන යන හිරුඑළියෙන් ඔහු දුටුවා. ඔහු මුහුණු දොළහක් ගණන් කළා. මැසිඩෝනියානු පවුල අත් වනා සුබපැතුම් වැනි කුමක්දෝ කියා කෑ ගැසුවා.

රාත්‍රිය ගෙවෙද්දී තරුණිය ප්‍රසව වේදනා අතරතුර කාලයේ වරින්වර නිදාගනිමින්, ඇවිදිමින්, කෑ ගසමින් ගතකළා. ඇය උණුසුම් දිය ස්නානය කර, අයිස් හපමින්, කන්නට සොසේජස් ඉල්ලමින් සිටියා. ඇගේ ගර්භාෂය පහත් වෙද්දී කුස උඩු අතට තෙරපුණා. ඇගේ චලනයත්, ගිනි උදුනේ එළියත් නිසා ඇගේ දහදිය සිනිඳු මකුළුදැල් මෙන් දිලිසුණා. රැය ගෙවී ගියා. වින්නඹු කාන්තාව කොඳුරමින් සිටියා. තරුණයා බිරිඳගේ පිට අතගාමින්, ඇයට අයිස් කැට කවමින්, ඇගේ දෙතොලේ තෙල් ආලේප කරමින් සිටියා. 

ඉන්පසු එළඹුණේ තල්ලු කිරීමේ අදියර. ඔහු ඇයව පිරිමදිමින්, සිදුවන දේ ගැන දෑස් විදා බලමින් කෑ නොගසා ඉන්නට උත්සාහ කරමින් සිටියා. තරුණිය ඇණතියා වාඩිවෙද්දී ගෙබිම සසල වුණා. ඈ සතුව තිබුණු ශක්තියත් දැනුවත්බවත් ඔහුට දැනුණා. ඇය තව තවත් වෙහෙසුණා. ඇගේ මුහුණ රත් පැහැව තිබුණා. අදිසි බාධකය හා ගැටෙමින් ඇය නොනවත්වා තල්ලු කරමින් සිටියා. හදිසියේම බාධකය බිඳී ගොස් ඇය ඒ කඩඉමෙන් එතෙර වුණා. බිළිඳා ඇගේ ළයට ලං කරද්දී ඔහුගේ මුහුණේ පෙනුම දැක තරුණයා විස්මයට පත්වුණා. බිළිඳා එක් ඇසක් විවර කර පියා දෙස බලා තනපුඩුවක් අල්ලා ගත්තා. බිළිඳාගේ ඇඟේ පෙකනිවැල එතී උපත් දියරත්, මවගේ දහදියත් තැවරී තිබුණා. තරුණිය වැරෙන් හුස්ම ගෙන දරුවාගේ පුංචි තට්ටම් එක් අතකින් අල්ලාගත්තා. කොල්ලෙක්, ඈ කීවා. තත්පරයකට තන පුඩුව අතහැරුණු බිළිඳා හඬන්නට වුණා. නිවසේ පිටතින් කෑගසන හඬක් තරුණයාට ඇසුණා. ඔහු පසුපස දොරටුව අද්දරට ගියා. වැටේ මැසිඩෝනියානු පැත්තේ නිදිමත මුහණු පෝලිම ඔහු දැක ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත් විට තරුණයා වැලපෙන්නට වුණා. මේ අවස්ථාවට මුහුණ දෙන්නට ඔහුගේ විසිවෙනි සියවසේ නවකතාවවත් ඔහුව සුදානම් කර තිබුණේ නැහැ. 


Neighbours by Tim Winton

from the book ‘Cousins- Across the seas, a selection of short stories from the countries of the Commonwealth (2008)

Copyright free photo by Bonny Kittle- from Unsplash