June 16, 2020

අසල්වැසියෝ

Translation of the short story ‘Neighbours’ by Tim Winton




තරුණ යුවළ ඒ පළාතේ පදිංචි වුණු අලුත, වටපිටාව ගැන ඔවුන් පසුවුණේ තරමක කල්පනාවෙන්. ඒ මුළු වීදියේම වාසය කළේ යුරෝපයෙන් සංක්‍රමණය වුණු උදවිය. මේ නිසා අලුත බැන්ද ජෝඩුවට තමන් පිටරටක තාවකාලිකව පදිංචි වුණා වගේ හැඟීමක් ඇතිවුණා. එහා ගෙදර උන්නේ මැසිඩෝනියානු පවුලක්. දකුණු පැත්තේ නිවසේ වාසය කළේ පෝලන්තයෙන් ආව වැන්දඹු පුරුෂයෙක්. 

අලුත් යුවළ පදිංචි වුණු නිවස කුඩා එකක්. ඒත් එහි උස් වහල නිසාත්, වීදුරු ජනෙල් නිසාත් එය කදිම බංගලාවක් වගේ දැනුණා. තරුණයා නිවසේ තමන්ගේ අධ්‍යයන කටයුතු කළ කාමරයේ ජනේලයෙන් බලද්දී ඔහුට සෙසු නිවාසවල පියැසි වලටත්, අවට තිබුණු පරණ මෝටර් රථ වෙළඳසැල් වලටත් ඉහළින් ඈත පෙනුණා. ඔවුන්ගේ සුරතල් බල්ලාව ඇවිදින්නට රැගෙන යන උද්‍යානයේ මෝර්ටන් බේ වර්ගයේ අත්තික්කා ගස් පවා එතැනට ඔහුට හොඳින් පෙනුණා. ඔවුන්ගේ කීකරු, ලොම් හැලෙන කොලී බල්ලා ගැන අසල්වැසියන් දැක්වූයේ පරෙස්සම් සහගත බවක්. 

අසල්වැසියන් යහපත් නම් ඒ අය ගැන නිතර අසන්නට දකින්නට නොලැබෙන බවයි ඔවුන් මින් පෙර විසූ පෙදෙස්වල අත්දැක තිබුණේ. ඒත් මෙහිදී පාන්දරම වටපිටින් ඇසෙන්නට ලැබෙන කාරන, නාන හඬවල් මුලදී ඔවුන්ට තිගැස්මක් ඇතිකළා. මැසිඩෝනියානු පවුල නම් නිරන්තරයෙන්ම එකිනෙකාට කෑ ගැසුවා, බැණ වැදුණා, දෙස් දෙවොල් තිබ්බා. තම අසල්වැසියන් එකිනෙකා මරානොගන්නා බවත්, මේ ඔවුන් කතාබහ කරන හැටි බවත් තේරුම්ගන්නට අලුත් පදිංචිකරුවන්ට හය මසක් ගතවුණා. වයසක පෝලන්ත මිනිසා ලෑලි වලට ඇන ගසමින් නැවතත් ඒවා ගලවමින් දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කළා. ඔහුගේ ගෙවත්ත පරණ ලී දඬු වලින් පිරී තිබුණත් ඔහු ඒවා එකතුකරනවා මිස ඉන් යමක් තනන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

මාස කිහිපයක් ගතවෙන තුරුම අසල්වැසි සබඳතා අපහසු වුණා. අලුත් පදිංචිකරුවන් උදෑසන අවදිවෙන වෙලාව ගැන මැසිඩෝනියානුවන් එසවුණු දෙබැමින් අප්‍රසාදය පෙන්වූවා. බිරිඳ රැකියාවකට යද්දී තමන් පර්යේෂණ නිබන්ධනය ලිවීමට ගෙදර නැවතී සිටීම ඔවුන් අනුමත නොකළ බව ඔහුට වැටහුණා. අසල්වැසි නිවසේ කුඩා පිරිමි දරුවා පාරට මුත්‍රා කරන අයුරු ඔහු පිළිකුලෙන් බලා සිටියා. වරක් කොලුවා නිවස පසුපස පඩිය උඩ සිට බළලාගේ ඇඟටත් මුත්‍රා කරනු තරුණයා දුටුවා. කොලුවාගේ කොණ්ඩය නිතර බූ ගා තිබුණේ එය ඝනව වැඩීම සඳහා විය යුතු යැයි ඔහු උපකල්පනය කළා. තම නිල් දෑස පමණක් දිස්වෙන ලෙස වැට අද්දර සිට මෙපිට බලා සිටි කොලුවා නිසා තරුණයා අපහසුතාවයට පත් වුණා. 

සරත් කාලයේදී තරුණ යුවළ නිවස පසුපස ගෙවත්තේ කසළ ඉවත් කර, පිරිසිදු කර, බිම් කොටා, පොහොර යොදද්දී අසල්වැසියන් වුවමනාවෙන් ඒ දෙස බලා සිටියා. ඔවුන් ලීක්ස්, ළූනු, ගෝවා, බ්‍රසල් ස්ප්‍රවුට් සහ බෝංචි සිටවද්දී අසල්වැසියන් වැටට උඩින් ඔවුන්ට පැල අතර දුර පිළිබඳව, බිම් සැකසීම පිළිබඳව, පොහොර වර්ග පිළිබඳව උපදෙස් දුන්නා. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් ගැන මනාපයක් නොතිබුණත් තරුණයා ඔවුන්ගේ උපදෙස්වලට ප්‍රවේශමෙන් ඇහුම්කන් දුන්නා. ඔහුගේ බිරිඳ නම් අසල්වැසි කොලුවාගේ වැඩීගෙන එන කෙස් කොට සහිත හිස අතගාන්නට තරම් නිර්භීත වුණා. කළු දෑසක් සහ මස් වෙළෙන්දෙක්ගේ වැනි බාහු තිබුණු හැඩි දැඩි කාන්තාවක් ඔවුන්ට පැලකරන්නට සුදු ළූනු බික් මල්ලක් දුන්නා. 

වැඩි කලක් ගතවෙන්නට පෙර තරුණයාත් තරුණියත් කුකුල් කොටුවක් තැනුවා. එය කඩාවැටෙන අයුරු අසල්වැසියන් බලා සිටියා. පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා ආරාධනා නොලබා ම වැටෙන් රිංගා ඇවිත් එය ඔවුන්ට යළි තනා දුන්නා. ඔහු කී කිසි දෙයක් ඔවුන්ට වැටහුණේ නැහැ. 

සරත් කාලය ගෙවී ශීත කාලය පැමිණෙද්දී රත්පැහැ හවස්වරුවලට අනතුරුව හදිසි අඳුරු රාත්‍රී කාල එළඹුණා. දර දැවෙන දුම් සුවඳ පැතිරෙද්දී, දවසේ නිමාව සටහන් කරමින් කුකුළන් හඬලද්දී තමන් අසල්වැසියන් හා මඳහස නඟන බව තරුණ යුවලට දැනුණා. ඔවුන් දුන් ගෝවා ගෙඩි හුවමාරුවට අසල්වැසියන්ගෙන් වයින් සහ දර ලැබුණා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන වූ ඔහුගේ පර්යේෂණ නිබන්ධනය සම්පූර්ණ කරන්නට සීරුවට වෙහෙසුණා. ඔහු බිරිඳ වෙනුවෙන් රෑ කෑම පිස, ඇය රෝහලේ අකාර්යක්ෂම බව ගැන, කරදරකාරී රෝගීන් ගැන කියන කතන්දර අසා සිටියා. පාරේ ඇවිදින්නට යද්දී ඔවුන් තවදුරටත් මුහුණු බිමට නැඹුරුකරගෙන ගියේ නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ව බලන්නට පැමිණි විට තිගැස්මෙන් යුතුව වැටවල් එපිට බලද්දී ඔවුන්ට උඩඟු, ආඩම්බරයක් දැනුණා. 

ශීත කාලයේදී ඔවුන් විශාල නිහඬ මස්කොවි තාරාවන් ඇති කළා. උන් වැස්සේ තෙමෙමින් තැන තැන හිටගෙන, ඉබේ බර වැඩිවෙමින් පසුවුනා. වසන්ත කාලයේදී මැසිඩෝනියානු පවුල තාරාවන් මරණ අයුරු, උන්ගේ පිහාටු ගලවා සකසන අයුරු ඔවුන්ට ඉගැන්වූවා. සම්ප්‍රදායක ලෙස පිරිමින් මස් කපමින්, ගැහැනුන් පිහාටු ගලවමින් ගෙවත්තේ තැන තැන ලී කොටන් උඩ, මුණින් හැරවූ බාල්දි උඩ වාඩිවී එකිනෙකාට යන්තමින් වැටහෙන කතන්දර කියාගත්තා. පාන්දර මීදුමත්, අවට පැතිරුණු හුමාලයත්, කැඩුණු කතාබහත් අතරේ තරුණයාටත් තරුණියටත් මත් බවක් දැනුණා. තැන තැන විසිරුණු තාරාවන්ගේ කඳින් වෙන් වූ හිස් සමඟ බළලා සෙල්ලම් කරමින් සිටියා. කොලුවා බළලාගේ වල්ගයෙන් ඇද්දා. තමනුත් කෑගසමින් පසුවන බව අලුත් පදිංචිකරුවන්ට වැටහුණා. 

එහෙත් ඔවුන් ගැබ් ගැනීමක් නම් සැලසුම් කර තිබුණේම නැහැ. මේ තරම් ඉක්මනින් දෙමව්පියන් වීමට සිදුවීම ගැන ඔවුන්ට මහත් කම්පනයක් දැනුණා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට එක්කෝ දරුවන් සිටියේම නැහැ. නැත්නම් එය සිදුවුණේ විවාහ වී වසර ගණනක් ගතවුණු පසුව. තරුණිය මාතෘ නිවාඩු ගන්නට කටයුතු සූදානම් කළා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන ඔහුගේ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් වෙහෙසුණා.

පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා කුමක්දෝ තනන්නට පටන්ගෙන තිබුණා. වසන්තයේ අග භාගයේ පාන්දර ජාමවල, මෙතෙක් කල් එක්රැස් කර තිබුණු දැව දඬු යොදාගෙන ඔහු කණු සිටවමින්, සිමෙන්ති දමමින් සිටියා. තරුණ යුවළ ඇඳේ ඒ මේ අත පෙරළෙමින්, ඔහුට නොඇසෙන්නට ඔහුට ශාප කළා. වැන්දඹු මිනිසා වුවමනාවෙන්ම ඔවුන්ට එදිරිවාදිකම් කරනවාදැයි තරුණ සැමියාට ඇතැම් විට සැක හිතුණා. තරුණ බිරිඳ උදෑසනට වමනය කළා. තරුණයා පීනසෙන් පීඩා වින්දා.

වැඩිකල් ගතවෙන්නට පෙර ගැබ් ගැනීම ගැන අහල පහළ හැම කෙනෙක්ම දැනසිටින බව තරුණ යුවලට වැටහුණා. කිසිම වෙහෙසක් නැතිව මිනිසුන් ඔවුන් හා නිරතුරුව හිනැහුනා. විදෙස් කෑම වර්ග විකුණන කඩයේ හිමිකරු පුංචි තෑගී ලෙස ඇයට චොකලට් සහ ඔහුට දුම්වැටි පැකට්ටු දුන්නා. ඔහු දුම් පානය නොකළ නිසා ඒවා නිවසේ අරන් තැබුවා. ගිම්හානයේදී ඉතාලි ගැහැණු බිළිඳාට නම් යෝජනා කරන්නට වුණා. තරුණිය පාරේදී මුණගැහුණු විට ග්‍රීක ගැහැනුන් ඇගේ සාය මතුපිටින් කුස අතගා ඇයට ලැබෙන්නට ඉන්නේ පිරිමි දරුවකු බවට අනාවැකි කීවා. ගිම්හානයේ අග භාගය වෙද්දී අසල්වැසි කාන්තාව බිළිඳා ට හිස්වැසුම් සහ පාවහන් සහිත සම්පූර්ණ ඇඳුම් කට්ට්ලයක්ම ගොතා අවසන් කර තිබුණා. තරුණියට සතුටක්, සිරවුණු බවක්, කෘතඥ බවක් මෙන්ම නොරිස්සීමක් දැනුණා.

ගිම්හානය අවසන් වෙද්දී අසල්වැසි පෝලන්ත වැන්දඹු මිනිසා තනමින් උන් මෝටර් රථ දෙකකට ඉඩ ඇති ගරාජයේ වැඩ අවසන් කර තිබුණා. එක් මෝටර් රථයක්වත් නැති කෙනෙකුට මෙවැනි දෙයක් කළ හැකිදැයි තරුණයාට විශ්වාස කරන්නත් අපහසු වුණා. ශබ්දය ගැන පැමිණිල්ලක් කිරීම ගැන ඔහු කල්පනා කරමින් සිටිද්දී පෝලන්ත මිනිසා ඔවුන්ගේ ගිනි උදුන සඳහා වීල්බැරැක්කයක් පිරෙන්නට ලී කැබලි ගෙන ආවා. 

ප්‍රසව වේදනාව එළඹුණේ අනපේක්ෂිත වේලාවක. තරුණයා විසිවෙනි සියවසේ නවකතාව අත්හැර දුරකථනය ළංකරගත්තා. ඔහුගේ බිරිඳ කාලය ගෙවාගන්නට ගිනි උදුනේ තීන්ත ගාන්නට පටන් ගත්තා. වින්නඹු කාන්තාව පැමිණ ඇයට එම කාර්යය නිමකරන්නට උපකාර කරද්දී ඔහු ප්‍රශ්නාකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් නිවසේ එහෙ මෙහෙ දිව්වා. ඔහුගේ බිරිඳ කුසත් ඔසවාගෙන ඔහුගේ හැසිරීම් පරීක්ෂාකරමින් නිවසේ ඇවිද්දා. තව දර ගෙන එන්නට නිවසින් පිටතට ගිය විට වැටවල් අද්දර මුහුණු රැසක් පෙළගැසී ඇති අයුරු මැකීගෙන යන හිරුඑළියෙන් ඔහු දුටුවා. ඔහු මුහුණු දොළහක් ගණන් කළා. මැසිඩෝනියානු පවුල අත් වනා සුබපැතුම් වැනි කුමක්දෝ කියා කෑ ගැසුවා.

රාත්‍රිය ගෙවෙද්දී තරුණිය ප්‍රසව වේදනා අතරතුර කාලයේ වරින්වර නිදාගනිමින්, ඇවිදිමින්, කෑ ගසමින් ගතකළා. ඇය උණුසුම් දිය ස්නානය කර, අයිස් හපමින්, කන්නට සොසේජස් ඉල්ලමින් සිටියා. ඇගේ ගර්භාෂය පහත් වෙද්දී කුස උඩු අතට තෙරපුණා. ඇගේ චලනයත්, ගිනි උදුනේ එළියත් නිසා ඇගේ දහදිය සිනිඳු මකුළුදැල් මෙන් දිලිසුණා. රැය ගෙවී ගියා. වින්නඹු කාන්තාව කොඳුරමින් සිටියා. තරුණයා බිරිඳගේ පිට අතගාමින්, ඇයට අයිස් කැට කවමින්, ඇගේ දෙතොලේ තෙල් ආලේප කරමින් සිටියා. 

ඉන්පසු එළඹුණේ තල්ලු කිරීමේ අදියර. ඔහු ඇයව පිරිමදිමින්, සිදුවන දේ ගැන දෑස් විදා බලමින් කෑ නොගසා ඉන්නට උත්සාහ කරමින් සිටියා. තරුණිය ඇණතියා වාඩිවෙද්දී ගෙබිම සසල වුණා. ඈ සතුව තිබුණු ශක්තියත් දැනුවත්බවත් ඔහුට දැනුණා. ඇය තව තවත් වෙහෙසුණා. ඇගේ මුහුණ රත් පැහැව තිබුණා. අදිසි බාධකය හා ගැටෙමින් ඇය නොනවත්වා තල්ලු කරමින් සිටියා. හදිසියේම බාධකය බිඳී ගොස් ඇය ඒ කඩඉමෙන් එතෙර වුණා. බිළිඳා ඇගේ ළයට ලං කරද්දී ඔහුගේ මුහුණේ පෙනුම දැක තරුණයා විස්මයට පත්වුණා. බිළිඳා එක් ඇසක් විවර කර පියා දෙස බලා තනපුඩුවක් අල්ලා ගත්තා. බිළිඳාගේ ඇඟේ පෙකනිවැල එතී උපත් දියරත්, මවගේ දහදියත් තැවරී තිබුණා. තරුණිය වැරෙන් හුස්ම ගෙන දරුවාගේ පුංචි තට්ටම් එක් අතකින් අල්ලාගත්තා. කොල්ලෙක්, ඈ කීවා. තත්පරයකට තන පුඩුව අතහැරුණු බිළිඳා හඬන්නට වුණා. නිවසේ පිටතින් කෑගසන හඬක් තරුණයාට ඇසුණා. ඔහු පසුපස දොරටුව අද්දරට ගියා. වැටේ මැසිඩෝනියානු පැත්තේ නිදිමත මුහණු පෝලිම ඔහු දැක ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත් විට තරුණයා වැලපෙන්නට වුණා. මේ අවස්ථාවට මුහුණ දෙන්නට ඔහුගේ විසිවෙනි සියවසේ නවකතාවවත් ඔහුව සුදානම් කර තිබුණේ නැහැ. 


Neighbours by Tim Winton

from the book ‘Cousins- Across the seas, a selection of short stories from the countries of the Commonwealth (2008)

Copyright free photo by Bonny Kittle- from Unsplash


5 comments:

  1. අමුතුයි.ඒත් ලස්සන කතාව.

    ReplyDelete
    Replies
    1. Thank you!
      බස්සා Tim Wintonගේ පොත් කියවලා තියනවද? මම බොහොම කැමති ලේඛකයෙක්. පරිවර්තනය කරන්න නම් ලේසි නැහැ හැබැයි එතුමාගේ කතන්දර. ඒවාට වෙනම personality එකක් තියෙනවා

      Delete
    2. කියවල නෑ. හොයල බලන්න සටහන් කර ගත්තා. ස්තූතියි

      Delete
  2. ඒක මාර පරිවර්තනයක්නෙ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඩ්‍රැකී! :)

      Delete