October 01, 2020

ඉතින් නැගිටින්නකෝ!

 


ඔන්න දවල් වෙනකම් නිදාගන්න හිතාගෙන ඉන්න දවසක උදේම එක පාරට කණ ළඟින්ම බුරන සද්දයක් නිසා ඇහැරෙනවා. ඇඳේ අනෙත් පැත්තට හැරිලා බලද්දී මෙන්න එතැනම ඇස් දෙකක්! එකසිය ගාණට වැනෙන වලිගයක්! 

"ඉතින් නැගිටින්නකෝ!"

මේ චිත්‍රය ඇන්දේ ජීවිත කාලයක් තිස්සෙම වලිග වනමින් පස්සෙන් ආව, එක එක කාලවල අපි එක්ක හිටිය බලු සුරතලුන් ගැන සොඳුරු මතක අතරේ ගැවසෙමින්.

~ අපේ ගෙදර කෙල්ලෝ තුන්දෙනා පරෙස්සම් කරන එක තමන්ගේ ප්‍රධාන රාජකාරිය කරගත්ත, ඒ කාලේ අපිව බස් වලට ඇරලවන්න ගිහින් වැඩි හොඳට ඒ බස් වලටත් නැග්ග බල්ලෙක්.. 

~'නාවන්න ඕන', 'බාල්දිය', 'දම්වැල ගේන්න' වගේ වචන කටින් පිටවෙන්නත් කළින් අඩි පහක් හයක් උස තාප්පයෙන් පැනලා එක මොහොතින් අතුරුදහන් වුණ, ආයෙත් රෑ වෙනකම් missing වුණ බල්ලෙක්... 

~ vet දොස්තර මහත්තයා බෙහෙත් විදින්න කිට්ටු වෙද්දී දොස්තර මහත්තයාව මතක් වෙන්න තියාගන්න කියලා කමිසේ සාක්කුව ඉරාගත්ත බල්ලෙක්... 

~ තමන් ඇර වෙන කිසිම සතෙක් වත්තේ මායිමට එන්න තහනම් බව තදින් විශ්වාස කළ- පූසෝ, තලගොයි, ඌරු මීයෝ, ලේන්නු එක මොහොතින්, එක හිතින් දඩයම් කළ බල්ලෙක්...

~ එකම පවුලේ උනත් පාටිනුත් ගතිගුණ වලිනුත් අහසට පොළොව වගේ වුණු එකිනෙකා ඇතුවත් බැරි නැතුවත් බැරි වුණු බලු අක්කා- නඟාලා දෙන්නෙක්...

~ ගෙදර කාමර ඇතුලට බල්ලන්ට එන්න තහනම් කියලා දාලා තිබුණු නීතිය, තමන් බඩගාගෙන ආවොත් අහෝසි බව හිතාගෙන හිටිය බල්ලෙක්...

~ බයිසිකල් වල යන කොල්ලෝ සහ රෝද හතරට වැඩි වාහන ගේ ඉස්සරහින් යෑම පේන්න බැරි බල්ලෙක්..

~ වතුර/ලයිට් මීටර් කියවන අයට, ලියුම් කාරයන්ට දාපු පාට් නිසා ඒ අය විසින් අපේ ගෙදර blacklist කරලා අන්තිමේදී Inquiry පවා තියන්න හේතු වුණු බල්ලෙක්.

~ ගෙදර කෙනෙක් ගමනක් යද්දී තමන්ට නොකියා ගියොත් ගෙදර ඇඳ, පුටු, මේස යට පවා ඒ නැති කෙනාව හෙව්ව බල්ලෙක්...

තව මතක සටහන් නම් අනන්තයි... මේ බලු සුරතල්ලු ඔක්කොම යන්නම යන්න ගිහින් දැන් හුඟ කල්. ඒත් මේ මොහොතේත් හිත ඇතුලේ මේ වගේ හිනා වෙමින් වල්ග වනමින් ඉන්නවා!

-digital painting with oil brush

September 27, 2020

විවෘත කවුළුව

Translation of the short story The Open Window’ by H. H Munro




"නැන්දා ඉක්මනින්ම ඒවි නටෙල් මහත්මයා" පහළොස් හැවිරිදි දැරිය බොහොම සන්සුන්ව පැවසුවා. "නැන්දා එනකම් මාත් එක්ක තමයි කතාකර කර ඉන්න වෙන්නේ."

මේ දැරියගේ සිත සතුටු වෙන්නත්, තවම නොපැමිණි නැන්දාට අපහාස නොවෙන්නත් කිව යුතු යමක් සිතන්න ෆ්රම්ටන් නටෙල් මහන්සි වුණා. නන්නාඳුනන මිනිසුන් හමුවීමට තමා නොකඩවා යන මේ චාරිත්‍රානුකූල ගමන් තමන්ගේ ස්නායු ආබාධයට පිළියමක් වන්නේ කෙලෙසකදැයි වටහාගන්නට ඔහු අපොහොසත් වුණා. 

"මම දන්නවනේ ඔයා ගැන," ඔහු මේ පිටිසර පළාතට පදිංචියට එන බව ආරංචි වූ විට ඔහුගේ සොයුරිය කීවා. "එහෙ ගිහිල්ලත් ඔයා ගේ ඇතුළටම වෙලා හැංගිලා කිසිකෙනෙක් එක්ක කතා නොකර ඉඳීවි. ඉන්පස්සේ එහෙම තනියම කල්පනා කර කර ඉඳලා ස්නායු ආබාධය වැඩිවෙයි. මම ඔයාව හඳුන්වලා දෙන ලියුම් දෙන්නම්කො ඒ පළාතේ ඉන්න මම දන්නා අයට ගිහින් දෙන්න. මට මතක හැටියට එහේ හිටිය සමහර මිනිස්සු හරි හොඳයි.”

සොයුරියගේ 'හඳුන්වාදීමේ ලිපියක්' සමඟ තමන් මේ මුණගැහෙන්නට ආ සැප්ල්ටන් මහත්මිය ඒ හොඳ වර්ගීකරණයට අයිතිදැයි ෆ්රම්ටන් කල්පනා කරමින් සිටියා. 

"මේ පළාතේ අයව ඔබ අඳුනනවාද?" දෙදෙනාම නිහඬව උන් වේලාව ඇති යැයි සිතුණු නිසාදෝ දැරිය ඇසුවා. 

"කිසිම කෙනෙක්ව අඳුනන්නේ නැති තරම්," ෆ්රම්ටන් කීවා. "මීට අවුරුදු හතරකට කලින් මගේ අක්කා මෙහෙ පූජක නිවසේ නවාතැන්ගෙන හිටියා. මේ පළාතේ අයට මාව හඳුන්වලා දෙන්න ලියුම් කීපයක් දුන්නේ ඈ තමයි" ඔහු ඒ අවසාන වාක්‍යය කීවේ මඳ පසුතැවීමක් සමඟ. 

"ඒ කියන්නේ ඔබ මගේ නැන්දා ගැන කිසි දෙයක් නොදන්නාම තරම්?" දැරිය සන්සුන්ව ඇසුවා. 

"ඇගේ නමයි ලිපිනයයි විතරයි" ඔහු පිළිගත්තා. සැප්ල්ටන් මහත්මිය විවාහක කාන්තාවක් ද වැන්දඹුවක්ද යැයි ෆ්රම්ටන් කල්පනා කරමින් සිටියා. ඒ විසිත්ත කාමරයේ පිරිමි ගැවසුණු බවට මොකක්දෝ ලක්ෂණයක් තිබුණා. 

"නැන්දාගේ මහා ඛේදවාචකය සිද්ධ වුණේ මීට අවුරුදු තුනකට කලින්." දැරිය කීවා. "ඒ කියන්නේ ඔයාගේ අක්කා මෙහෙන් ගියාට පස්සේ" 

"ඛේදවාචකය?" ෆ්රම්ටන් ඇසුවා. මේ ගම්බද පළාතේ නිස්කලංක බවේ හැටියට ඊට ඛේදවාචක ගැලපුණේ නැහැ. 

"ඔබ කල්පනා කරනවා ඇති නේද මේ ඔක්තෝම්බර් මාසේ හවසක් වෙලාත් අපි අර ජනේලය ඇරගෙන ඉන්නේ ඇයි කියලා?" ගෙවත්තේ තණ පලසට විවර වුණු විශාල ප්‍රංශ ජනේලයක් පෙන්වමින් දැරිය විමසුවා.

"අනෙත් අවුරුදුවලට වැඩියෙන් මේ දවස් නම් රස්නෙයි තමයි" ෆ්රම්ටන් කීවා. "ඒත් ජනේලයත් අර ඛේදවාචකයත් අතර සම්බන්ධයක් තියෙනවද?"

"හරියටම අදට අවුරුදු තුනකට කළින් නැන්දාගේ සැමියාත්, තරුණ සොහොයුරන් දෙන්නාත් දඩයමේ යන්න පිටත් වුණේ ඔන්න ඔය ජනේලෙන්. ඒ අය කවදාවත් ආපිට ආවේ නැහැ. ඒ අයගේ ප්‍රියතම දඩබිමට ළඟා වෙන්න දෙනිය හරහා යද්දී මහා භයානක මඩ වළක එරිලා. ඊට කලින් තිබුණු ගිම්හාන කාලේ හොඳටම වැස්සානේ. ඉතින් කලින් කිසිම හානියක් නොතිබුණු තැන් පවා හදිසියේම, කිසිම් දැනුම් දීමක් නැතිවම මහා අනතුරුදායක තැන් බවට පත්වෙලා. මේ සිද්ධියේ දරුණු ම කොටස තමයි ඒ අයගේ සිරුරු කවදාවත් හම්බනොවුණු එක." මේ විස්තරය කියද්දී දැරියගේ හඬේ ශාන්තබව ගිලිහී එය වෙවුලුම්කන්නට වුණා. 

"අනේ අසරණ නැන්දා හිතාගෙන ඉන්නේ ඒ අය කවදාහරි ආයෙත් එයි කියලා. ඒ තුන්දෙනායි ඒ අය එක්ක අතුරුදහන් වුණු පුංචි දුඹුරු ස්පැනියෙල් බල්ලායි කොයි වෙලාවක හරි අර ජනේලයෙන් ඇතුලට ඇවිදගෙන එයි කියලයි නැන්දා හිතාගෙන ඉන්නේ. ඉතින් හැමදාම ගොම්මන් වෙලාව වෙනකම් ඔය ජනේලය ඇරලා තියනවා. පව්, නැන්දා මට නිතර කියනවා ඒ අය ගිය විදිහ, ඇගේ සැමියා තමන්ගේ සුදු පාට වැහි කබාය අතේ දවටාගෙනලු ගියේ. නැන්දාගේ මල්ලි රොනී- යන ගමන් ඈව කේන්ති ගස්වන්න සින්දුවක් කියමින් ඔච්චම් කළා ලු. දන්නවද වැඩක්? සමහරවෙලාවට මේ වගේ නිහඬ හවස් වරු වලට මට ඇඟ හිරිවැටෙන හැඟීමක් දැනෙනවා ඇත්තටම ඒ අය ඔය ජනේලයෙන් ආපිට ඒවි කියලා-"

ඈ කතාව නතර කළේ වෙවුලා යමින්. ඒ එක්කම ඇගේ නැන්දා කඩිසරව විසිත්ත කාමරයට ආ නිසා ෆ්රම්ටන්ට සහනයක් දැනුණා. නැන්දා තමන්ගේ පමාව ගැන සමාව අයැදුවා. 

"වේරා ඔබේ පාළු කපන්න ඇති කියලා මම හිතනවා" ඈ කීවා.

"ඔව්, ඈ සිත්ගන්නාසුළු දේවල් ටිකක් කීවා." ෆ්රම්ටන් කීවා. 

"මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ අමනාපයක් නැතිව ඇති කියා මම හිතනවා." සැප්ල්ටන් මහත්මිය බොහොම උනන්දුවෙන් කීවා. "මගේ සැමියාත් සහෝදරයෝ දෙන්නාත් දඩයමේ ගිහින් එන්නේ මේ පැත්තෙන්. අද ඒ අය දඩයමට ගියේ අර වගුර පැත්තේ, ඒ නිසා දැන් අවාම හැම තැනම මඩ තවරාවි. පිරිමි හැම කෙනෙක්ම ඉතින් ඔහොමයිනේ.. නේද?"

ඈ මේ විදිහට බොහොම සතුටින් කියවන්නට වුණා. දඩයම් ගැන, දඩයම් කරන්නට කුරුල්ලන් හිඟ වීම ගැන, ශීත කාලයේ තාරාවන් සිටිනු ඇතිද යන්න ගැන ඇය දිගටම කතා කළා. ෆ්රම්ටන් ට මෙය මහත් පීඩාවක් වුණා. මේ බිය දනවන මාතෘකාවෙන් මිදී වෙන දෙයක් ගැන කතාකරන්නට ඔහු නොයෙක් වර උත්සාහ ගත්තත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. ගෙහිමි කාන්තාවගේ අවධානය ඔහු වෙත යොමු වුණේ මඳ වශයෙන් බවත්, ඇගේ දෑස ඔහු අසල ඇති ජනේලයටත් ඉන් ඔබ්බෙහි ඇති තණ බිස්ස වෙතටත් නිරතුරුව යොමුවෙන බවත් ඔහුට වැටහුණා. ඒ ඛේදවාචකය සිදුවී හරියටම අවුරුදු තුනක් පිරෙන දවසේ අහම්බෙන්ම මේ ගමන ආ එක අවාසනාවක් බව ඔහුට සිතුණා. 

"දොස්තරලා මට කියලා තියෙන්නේ කිසිම මානසික උත්තේජනයක්වත්, දරුණු ශාරීරික ව්‍යායාමයක්වත් නැතිව සම්පූර්ණ විවේකයෙන් කාලය ගතකරන්න කියලා." ෆ්රම්ටන් බැරෑරුම් හඬකින් කීවා. තම තමන්ගේ අසනීප වල හැම පුංචි විස්තරයක්ම ගැන දැනගන්නට සම්පූර්ණයෙන්ම නන්නාඳුනන අය පවා ඉතාමත් උනන්දු බවට මිනිසුන් අතර තියෙන විශ්වාසය ෆ්රම්ටන්ටත් පොදු වුණා. "මම ආහාරයට ගත යුතු දේවල් ගැන නම් දොස්තරලාට එකඟතාවයකට එන්න බැරි වුණා."

"හැබෑද?" සැප්ල්ටන් මහත්මිය ඈනුමක් සඟවාගනිමින් ඇසුවා. එක් වරම ඇගේ නෙත ඈත යමක් වෙත යොමු වී ඈ ප්‍රබෝධමත් වන බවක් පෙනුණා. ඈ බොහොම අවධානයෙන් සිටියත් ඒ අවධානය යොමුවුණේ ෆ්රම්ටන් කියන දේට නම් නෙමෙයි.

"ඇති යන්තම් මෙන්න කට්ටිය එනවා!" ඈ සතුටින් කෑගැසුවා. "හරියටම තේ බොන වෙලාවට! හැමෝම හොඳහැටි මඩ නාලා වගේ!" 

ෆ්රම්ටන් යන්තම් වෙව්ලමින් දැරිය දෙස හැරී බැලුවේ තමන් මේ සිද්ධිය තේරුම් ගත් බව පෙන්වා ඒ ගැන තමන්ගේ අනුකම්පාව බැල්මකින් ප්‍රකාශ කරන අටියෙන්. එහෙත් ඈ බියපත් දෑසින් එක එල්ලේ ජනේලයෙන් එපිට බලාගෙන සිටින අයුරු ඔහුට පෙනුණා. තමන්ගේ සිරුර පුරා සීතල කම්පනයක් සහ අධික බියක් පැතිරී යද්දී ෆ්රම්ටන් එකවරම වාඩිවී උන් පුටුවේ ආපිට හැරී ඈ නෙත් යොමාගෙන උන් පැත්ත බැලුවා. 

පැතිරෙමින් තිබුණු අඳුර අතරින් තිදෙනෙක් තණ බිස්ස හරහා නිවස වෙත ඇවිදගෙන එමින් සිටියා. ඒ තිදෙනාම අත තුවක්කු තිබුණු අතර ඊට අමතරව එක් අයෙකුගේ උරහිස මත සුදු පැහැති කබායක් දවටා තිබුණා. හෙම්බත් වූ දුඹුරු පැහැති ස්පැනියෙල් බල්ලෙක් ඔවුන් පසුපසින් ආවා. නිහඬව නිවස වෙතට ළඟාවූ මේ අය අතරින් හදිසියේම බැරෑඬි තරුණ කටහඬකින් ගැයෙන ගීයක් ඇසෙන්නට වුණා. 

ෆ්රම්ටන් වහා වහා ඔහුගේ තොප්පියත් සැරයටියත් අතට ගත්තා. කඩා බිඳගෙන දිව ගිය ගමනේදී ඒ නිවසේ ඉදිරිපස දොරත්, නිවසට පිවිසෙන අඩි පාරත්, එහි කෙළවර ගේට්ටුවත් පසුකරනවා ඔහුට මතක තිබුණේ යන්තමින්. ඒ මොහොතේම පාරේ යමින් උන් බයිසිකල්කරුවෙක් ෆ්රම්ටන්ගේ සිරුරේ නොවැදී අනූ නමයෙන් බේරුණේ ඔහු සැණෙකින් අකුලකට බයිසිකලය හැරවූ නිසායි. 

"ඔන්න එහෙනම් අපි ආපිට ආවා," සුදු පැහැති කබාය අතින් ගත් තැනැත්තා ප්‍රංශ ජනේලයෙන් ඇතුල් වෙමින් කීවා. "වගුරේ ටිකක් මඩ තිබුණා තමයි, ඒත් සෑහෙන්න දුරට වේලිලා. කවුද අර අපි එද්දී පණ කඩාගෙන දිව්වේ?"

"නටෙල් කියලා මහා පුදුම මිනිහෙක්" සැප්ල්ටන් මහත්මිය කීවා. "ඉන්නකම් කතා කළේම තමන්ගේ ලෙඩ දුක් ගැන විතරයි. ඉන්පස්සේ එකපාරට ඔයා එනවා දැක්ක ගමන් තමන් යන බවක් වත් නොකියා හරියට හොල්මනක් දැක්කා වගේ පැනලා දිව්වා."

"මම හිතන්නේ ඒකට හේතුව මේ බල්ලා" දැරිය සන්සුන් ව කීවා. "එයා මට කීවා එයා බල්ලන්ට පණ බයයි කියලා. ඉස්සර දවසක් එයාව වල් බල්ලෝ රංචුවක් ගංගා කියන ගඟේ ඉවුරක තිබුණු කනත්තකට එළවාගෙන ගියාලු. ඒ බලු රංචුව දත් විලිස්සමින් ගොරවන හැටි බල බලා එයාට මුළු රැයක්ම අලුත හාරපු මිනී වළක ගතකරන්න සිද්ධ උණාලු. ඔහොම දෙයක් වුණොත් ඕන කෙනෙකුට මර බයක් දැනෙනවානේ."

ඇගේ විශේෂ දක්ෂකම එක මොහොතින් ප්‍රබන්ධ ගෙතීමයි. 



‘The Open Window’ by H. H Munro (Saki) From the book ‘Beasts and Super- Beasts’(1914)

Photo- public domain 

August 05, 2020

Words




once, I wrote a thousand words in poems
to say that I love you
but, my love, I have no words for poems now
to say that I miss you

හුදකලා හෝරාව පිටුවේ කවියක පරිවර්තනයක් 
photo- red flowering gum

August 01, 2020

රතු කොරල්

Translation of the short story Red Coral by Sangeetha Bhaskaran


හට්ටියේ වූ කිරි ටික උතුරද්දී එහි මැද තිබුණු තේ කොළ ඉහළට එසවෙන දෙස බලා උන් මා ලිප නිවා දැමුවා. තේ පෙරාගැනීමට මා ගත්තේ තැඹිලි පාට මිටක් ඇති අවපැහැ ගැනුණු තේ පෙරනය. අම්මා කිසි දවසක කිසිම දෙයක් ඉවත දැම්මේ නැහැ. එළවළුවලත් මස්වලත් කහට උරාගත් කපන ලෑල්ල, හැඩය ඇද වී ගිය ඇලුමිනියම් කෝප්ප, කාලයක් තිස්සේ එකතුවුණු දැලි කුණු නිසා නියම පාටත් අමතකව ගිය ප්ලාස්ටික් පිඟන් රඳවනය- කුස්සිය හාත්පස දෑස් යොමුකරද්දී මීට දෙවසරකට කලින් මා නිවසින් යාමට පෙර තිබුණු අයුරින්ම මේ සියලු දේ දකින්නට මට පුළුවන් වුණා. දැන් අම්මා නැති නිසා තවත් මේ බඩු පාවිච්චි කරන්න පුළුවන් කියා ඇගෙන් බැණුම් නොඅහාම මට ඒවා ඉවතලන්නට පුළුවන්.

තාත්තා වාඩිවී සිටියේ අබලන් ඇඳ උඩයි. ඇඳේ ගෙවී ගිය කොහු මෙට්ටය තිබුණේ කොයි මොහොතක හෝ කඩා වැටෙන්නට ළංවෙමින්. තාත්තාගේත් වැඩි වෙනසක් පෙනෙන්නට තිබුණේ නැහැ. සෙමෙන් බීඩියක් උරමින් සිටි ඔහුගේ රැළි වැටුණු සම එල්ලා හැලුණේ ඔහුට අඩක් පිරවූ මල්ලක පෙනුමක් දෙමින්. ඔහු මා දිහා නොබලා යාන්ත්‍රිකව මගේ අතින් තේ වීදුරුව ගත්තා. අපේ අතැඟිලි යන්තමින් ගෑවෙද්දී ඔහුගේ රත් පැහැ දෑස දෙස මා බැලුවේ එහි යම් හඳුනාගැනීමක්, පිළිගැනීමක් සොයමින්. එසේ බලද්දීත් කිසි දවසක නොලැබෙන දෙයක් සෙවීම ගැන මට මා ගැනම අනුකම්පාවක් දැනුණා.

අම්මා අන්ත්‍රා වුණා. මට දුරකථන ඇමතුම ලැබුණේ ඊයේ රාත්‍රියේ. අම්මාගේ මරණය ගැන අසල්වැසියෙක්ගෙන් දැනගන්නට ලැබීමත්, ඈ මැරුණේ කවර හේතුවක් නිසාදැයි නොදැනීමත් අතරින් වඩාත්ම නරක දේ කුමක්දැයි සිතාගන්නට මා අපොහොසත් වුණා. රජයේ රෝහලේ මරණ පරීක්ෂකවරයා අම්මාගේ මළ සිරුර කපා පරීක්ෂා කරන්නට රුපියල් දාහක් ඉල්ලා තිබුණු නිසා එය නොගෙවාම ඇය මියගියේ හෘදයාබාධයකින් කියා තාත්තා නිගමනයකට ඇවිත් තිබුණා.

අම්මාගේ මළගමට මා ගමට යායුතු බව මා රැකියාව කළ නිවසේ කාන්තාවට කී විට ඇගේ මුහුණ අනුකම්පාවෙන් රැළි නැඟුණත්, මා නැති අතරේ නිවසේ ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් ආදිය කරමින් ඇගේ දරුවා ව බලාගන්නේ කෙසේද කියා ඇය සිතමින් සිටියා. දින කිහිපයකින් ආපිට එන්නට මා පොරොන්දු වුණා. මා ඇගෙන් මුදල් අත්තිකාරමක් ඉල්ලුවත් තම සැමියා ඊට අකමැති වනු ඇති බව ඈ කීවා. "සල්ලි ටික පරෙස්සම් කරගන්න මාලා. ඔයාගේ පවුලේ උදවිය ඒ සල්ලි අරගත්තොත් ඔයාට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ" මා හා කතා කරද්දී නිතර පාවිච්චි කරන වඩාත් හොඳ දේ හඳුනන ආරක්ෂකයෙකුගේ මවුවත් කටහඬින් ඈ කීවා.

ආරංචිය ලැබී පැයක් යද්දී මම නගරයෙන් බස් රථයකට ගොඩවුණා. එය පිරී තිබුණත් අන්තිම පේළියේ ඉඩක් ලබාගන්නට මා සමත් වුණා. නින්දෙන් නිරතුරුව තම ඔළුව මගේ උරහිසට බර කළ වයසක කාන්තාවකුත්, බොහොම සතුටින් මගේ කලවට තමන්ගේ කලව තදකරගෙන උන් මැදිවියේ පිරිමියෙකුත් අතරමැද මා සිරවී හිටියා. අප අබලන් අධිවේගී මාර්ග මතින් පැද්දී පැද්දී යන අතරතුර බස් රියේ විවර කවුළු අතරින් උණුසුම් වාතයත් දූවිලිත් ගසාගෙන ආවා. මගේ සිරුර සිරවී තිබීමත්, මහන්සියත් නිසා ශෝකයේ අහුමුලු වලට මගේ මනසට ඇවිදගෙන යන්නට අවසර දෙන්නට ලැබුණේ නැහැ. අම්මා නැතිව කිසිම වටිනාකමක් නැති නිවසකට මා යමින් සිටියා.

තාත්තා තේ බීවේ කල්පනාවේ ගැලෙමින්. ඔහු මොනවා සිතමින් ඇත්ද? දිනපතා ඔහු දත් මැද්ද පසු ඔහු අතට දුම් දමන තේ වීදුරුව දෙමින්, එය නිවෙන්නට පෙර බොන්නැයි නිරතුරුව මතක් කරමින් අවුරුදු හතළිහක් තිස්සේ වතාවත් කළ ගැහැනිය ගැන ඔහු සිතමින්ද? ඔහු කාලයක් ගොවියෙක් වී සිටියා. පුපුරු ගසන අව්වේ වැඩ කිරීමෙන් පිරිමින්ගේ සමටත් සිහිකල්පනාවටත් කුමක්දෝ සිදුවෙන

බව සත්‍යයක්. ඔහු මා හා කතා කළේ අත්‍යවශ්‍ය දෙකට පමණයි. ඔහුගේ අවධානය දිනාගැනීමේ ගෞරවය හිමිවුණේ මගේ සහෝදරයාටයි. අප ඒ කුඩා නිවසේ සිරවී සිටි මුළු කාලය පුරාවටම ඔහු අම්මාගේ සැමියා ව සිටියා පමණයි. දැන් ඔහු දවස පුරාම කිසි දෙයක් කළේ නැහැ. ආණ්ඩුවේ සහන වැඩසටහනකට සම්බන්ධ වීම නිසා මසකට යම් මුදලක් ඔහුගේ ගිණුමේ තැන්පත් වුණා, එය ඔහුගේ දෛනික අරක්කු වියදමට ප්‍රමාණවත්. අම්මා ගේ දොර වියදම් පිරිමසාගත්තේ මා එවූ මුදලින්.

මගේ සොයුරා, බිකූ ගැන මට පළමු වරට සිහිවුනේ මා නැවත ආ පසුවයි. අම්මාගේ මරණය ඔහුගේ රස්තියාදුකාර ජීවිතයට වැඩි බලපෑමක් නොකරන බවට මට සහතික වුණත් ඔහුව දකින්නට මට වුවමනාවක් ඇතිවුණා.

"තාත්තේ මම මළගෙදරට වුවමනා දේවල් අරගෙන එන්නම්. කවුරුවත් ආවොත් කතාකරන්න තාත්තා ඉන්න"

ඔහුට මා කී දේ ඇසුනත් නෑසුණු ලෙසින් ඇසිපිය ගසමින් පසුවුනා. කාලයත් සමඟ වැඩි දෙයක් වෙනස් ව තිබුණේ නැහැ.

"මම හෙට ආපිට යන්න ඕන, ඒ නිසා හැමදේම ඉක්මනට කළොත් හොඳයි."

ඒ මගේ කටහඬ ද? මා ඒ වචන කීවාද? මා අම්මාගේ මරණය බොහොම කාර්යක්ෂමව, ශීඝ්‍ර ව පරිපාලන කරන හැටි! තාත්තා යමක් කියන්නට සූදානම් ව නැවත නිහඬවුණා.

පසුම්බිය විවර කර, එන්නට කලින් යන්තම් සූරා එකතු කරගත් ගත් මුදල ගණන් කළ මා මළගෙදරට අවශ්‍ය දේ මිලදීගැනීමට වෙළඳපළ වෙත ගියා. මඩ පිරුණු කාණු ඔස්සේ ඇවිදිද්දී ගමේ අලුත් දේත් පරණ දේත් මට පැහැදිලිව පෙනුණා. මගේ ගමේ මිනිස්සු ඉතාමත් ප්‍රිය කළ දම් පාට සහ ලා කොළ පාට තීන්ත ආලේපිත තාප්ප, තැන තැන විකිණීම සඳහා ගොඩ ගසා තිබුණු පුන්නක්කු මිටි, ඉස්සර කෝලා විකිණූ එකම කඩය දැන් ඊට වඩා ලොකු, ණයට බඩු දෙන කඩ නිසා සැඟව ඇති හැටි, මාළු වෙළෙන්දියගේ බුලත් කහට බැඳුණු දත් දෙපෙළ, ඇගේ රැළි වැටුණු සම, පළල් උකුල වැනි මේ හැම දෙයක්ම මගේ ඇස ගැටුණා. මගේ ගම පුළුල් වී තිබුණත් දියුණු වීමට බලකිරීම හමුවේ එහි ඇතිව තිබුණු ව්‍යාකූල බව මට පැහැදිලිව පෙනුණා.

මා යන මඟ දිගට විවිධ අය මා නැවත්වූවා. සමහරු තමන්ගේ ශෝකය පළ කළ අතර සමහරු මා දෙස දෑස් විදහා බලා සිටියා. ඒ බැල්මවල් මට කොයිතරම් හුරුපුරුදුද නම් ඒවා දුම් කැරලි මෙන් වාෂ්ප වී වාතයට එක් වී යන බවක් මට හැඟුනා.

මම මල්කරුවන් වෙත ගොස් පිච්ච මල් සහ තුල්සි මිලදී ගත්තා. අම්මා වෙනුවෙන් නැවුම් මලින් අලුතින් ගෙතූ මල් මාලා සෙවූවත් මට දක්නට ලැබුණේ පරවී දුර්වර්ණ වූ මල් වැල්. මාව හඳුනාගත් කාන්තාවක් පාරේ අනෙත් පස ඇගේ මල් කරත්තය වෙතට එන්නට කියා මා හට අඬගැසුවා. ඇය ඇගේ පසුපස තිබුණු මල්ලකින් නැවුම් මල් වැල් අහුරක් ගෙන මා හට දුන්නා. මා පසුම්බිය පිටතට ගනිද්දී ඈ කරුණාවෙන් මගේ මුහුණ අතගා මුදල් ප්‍රතික්ෂේප කළා. පැය දොළහකටත් අඩු කාලයකදී ඇයට මරණය ගැන ආරංචි වී මෙවැනි අනුකම්පාවක් ඇතිවීම මට පුදුමයක් ගෙන දුන්නා. ඈ මට වඩා බොහෝ දේවල් දන්නා බව මට ඇගේ දෑසින් පෙනුණා. මා නිවසේ නොසිටි අවුරුදු කීපය තුළ අප පවුලේ සිදුවූ දේවල් ගැන දැන සිටීමේ උඩඟු බවක සේයාවක් ඒ දෑසේ තිබුණා.

මා ඇයට ස්තූති කර ඉතිරි බඩු මුට්ටු මිලදීගැනීමට කඩපළට ගියා. සඳුන් ආලේප, කපුරු, හාල්, කිරි, එළඟි තෙල්...එළඟිතෙල් බඳුන අතට ගනිද්දී අම්මා විස්මයෙන් මුව අයාගෙන, ඈ වෙනුවෙන් මා මේ තරම් වියදමක් නොකරනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් මා දෙස බලා සිටින අයුරු මට මැවී පෙනුණා.

මා නැවත නිවසට ගිය විට අසුභ හැඟීමක් මගේ සිරුර වෙලාගත්තා. බිකූ නැවත පැමිණ සිටියා. ඔහු තාත්තා ඉදිරියෙන් සිටගෙන මහා හඬින් යමක් අසමින් සිටියා. ඔහුගේ කුමක්දෝ අඩුපාඩුවක් තිබුණු බව පසුපසින් වුව පැහැදිලිව පෙනුණා.

බිකූට වයස දහතුනේදී ඔහු හොඳ පෙළපතක බැල්ලියක් ගෙදර ගෙනාවා. ඌට සිනිඳු දුඹුරු ලොම් සහ සිනාසෙන දෑසක් තිබුණා. ඌව ලැබුණේ කොහෙන්දැයි කිසිකෙනෙක් බිකූගෙන් ඇසුවේ නැහැ. රානි මගේ සගයා බවට පත්වුණා. මගේ කෑම වේල්වලින් හොඳම කොටස් මා ඈ වෙනුවෙන් ඉතිරි කළා. දිනක් ඔහු තවත් දඩෝරියෙක් ගෙනවිත් අපගේ දූවිලි පිරුණු පටු මිදුලට අතහැරියා. ඒ බල්ලා බියපත්ව උන් රානි මතට නැඟගත්තා. දෙමසකට පසු ඉපදුණු පළමු පැටවුන් රොත්ත සාමාන්‍ය ඉන්දියානු වල් බල්ලන්ට වඩා පෙනුමට සිටියා. සතියක් යද්දී, කිරි උරමින් සිටි ඒ පැටවුන් පෙට්ටියක් දමාගෙන අතුරුදන් වූ බිකූ පැය කීපයකට පසු යළිත් ආවේ පුළුල් සිනහවක් ඇතිවයි. මෙය දිගින් දිගටම සිදුවුණා. හැම මාස කීපයකටම වරක් බලු පැටවුන් වැහි වහින්නට වුණා. නිරතුරුව පැටවුන් වැදීමත් හරියාකාරව ආහාරයක් නොලැබීමත් නිසා රානිගේ පෙනුමේ දීප්තිය සම්පූර්ණයෙන්ම නැතිව ගියා. වලිගය වනන්නටවත් ශක්තියක් නොමැතිව ඈ දුර්මුඛව මිදුලේ වැතිර සිටියා. දිනක් නිවස පසුපස ගේට්ටුවෙන් පැන යන තුරුම ඈ බිඳෙන් බිඳ මියයමින් සිටියා.

මගේ පා සළඹ හඬ ඇසී බිකූ හැරී බැලුවා. ඔහුගේ මුහුණ දුටු විට මට කම්පනයක් ඇතිවුණා. ඉස්සර උක් යායවල අඳුරු කෙළවර වලට කෙල්ලන්ව රවටා ගෙන්වා ගන්නට සමත් වූ ඔහුගේ කඩවසම් මුහුණ දැන් විරූපව ගොස් තිබුණා. ඔහුගේ නාසය කැඩී, වම් ඇස තැලී දම් පැහැ වී තිබුණු අතර නළලේ තුවාල සලකුණු පෙනුණා. බිකූ සටන්කරුවෙක් ලෙසට ගමේ ප්‍රසිද්ධියක් උසුලා තිබුණු අතර ඔහු මුදලට, බලයට හෝ කිසි හේතුවක් රහිතවම වුවත් සටන් කළා.

"ආ අමුත්තී, කොහොමද? ඒ ගෑනි උඹට ඉතුරු කරලා ගියේ මොනවද බලන්නද ආවේ?" ඔහු ද්වේෂයෙන් ඇසුවා. ඔහුගේ ඇනුම්පද ගණන් නොගෙන මා ඔහුව පසුකර යන්නට උත්සාහ කරද්දීම ඔහු මගේ මැණික්කටුවෙන් අල්ලා තද කර බලා සිටියේ අප කුඩා කලදී මෙන් මා වේදනාවෙන් කෑ ගසන තෙක් . මගේ ඇඟිලි නිල් පැහැ වෙද්දී මා ඔහුගේ තර්ජනාත්මක බැල්ම දෙස හිස් බැල්මෙන් බලා සිටියා. මේ ලෝකේ ගැහැනියක් ලෙස පැවැත්මක් වුවමනා නම් උපේක්ෂාසහගත විය යුතු බව මා උගෙන තිබුණා. ඔහු බොරුවට සිනාසී මගේ අත අතහැර දැමුවා. බිකූ මා දෙස බලන ආකාරයේ යම් හිරිහැර සහගත බවක් ගැබ්ව තිබුණා. ඔහු ආයාසයෙන් ඔහුගේ බැල්මේ සැර බාල කරන්නට උත්සාහ දරද්දී තාත්තා බිම තිබුණු පැල්ලමක් වැනි දෙයක් දෙස තදින් නෙත් යොමා සිටියා.

"ඉතින් කියපන් බලන්න, උඹේ නගරයේ රස්සාව කොහොමද?" බිකූ මගේ උරහිසෙන් අල්ලා වැරෙන් තල්ලු කර මාව බලෙන් ඉන්දවූවා.

"හොඳයි"

"උඹ තාම ඉන්නේ කලින් පවුල එක්කම ද? උඹ උන්ට මොනවාද කරලා දෙන්නේ?" ඔහු තාත්තාගේ සාක්කුවෙන් බීඩියක් ගෙන එය දල්වා ගනිමින් ඇසුවා.

"මම උයනවා, ගේ දොර පිරිසිදු කරනවා"

"එච්චරයි?"

"ඔව්"

"ඇයි උන්ට ළමයෙකුත් ඉන්නවා නේද?" ඔහු ක්‍රමක්‍රමයෙන් මා වෙත ළංවෙමින් ඇසුවා. ඔහුගේ දත් වැඩි ප්‍රමාණයක් දිරා ඇති බව දැකීම මට සතුටක් ඇති කළා.

"ඔව් මම එයාවත් බලාගන්නවා"

බිකූ තාත්තාගේ උරයට ගසමින් සිනාසුණා. සාමාන්‍යයෙන් ඔහු තමාගේ සිනාවට අන් අයවද හවුල් කරගෙන ඔහු කරන අපහාසයට කුඩා බල සේනා එක්කාසු කරගන්නට හපනෙක්. ඒත් අද තාත්තා ඔහුව නොදුටුවා සේ සිටියා.

"උඹ නැතිව උන් වැඩ කරගන්නේ කොහොමද?"

ඔහු ඒ ප්‍රශ්නය අසමින් කියාපාන දේ මට වැටහුණා. බස් රථයේ ආපසු එන ගමනේදීත්, අම්මා මිය යාමෙන් මා මත පැටවුණු වගකීමේ බර පිළිබඳව මා කල්පනා කළා. පිරිමි දෙදෙනෙක්ව රැකබලාගන්න ගැහැනියෙක් අවශ්‍ය බව මා නොදැන සිටියා නොවේ. මා එවෙලේ රණ්ඩුවකට සූදානම් නැති බව දැනගෙන ඔහු කපටි බැල්මෙන් මා දෙස බලා සිටියා.

තාත්තා මා දෙසට හැරුණා. මට ඔහුගේ කටහඬ ඇසුණේ අවුරුදු දෙකකට පසු ප්‍රථම වරට. ඔහුගේ පැලුණු දෙතොලින් දුර්වල වාක්‍යක කොටසක් පිටවුණා.

"මාලා අපිට උඹව ඕනෑ"

ඔහු එසේ කියද්දී මට ඔහුගේ මුහුණ බලන්නට අපහසු වුණා. වයස විසිහතරක් වන මට පිරිමියෙකුගේ ආදරය දැනුණේ නැහැ. මට අවුරුදු හයේදී බෝනික්කෙක් ඉල්ලද්දී එය සල්ලි නාස්තියක් බව කී ඔහු බිකූට ක්‍රිකට් පිත්තක් ගෙනැවිත් දුන්නා. මා පාසැල් යන්නට කොයිතරම් ආසාදැයි දැනගෙන ඔහු මා ඉන් අස්කරගත්තේ ඒ වෙද්දී මා සිතන්නට පටන්ගෙන තිබීම ඔහුට ඉවසන්නට බැරි වුණු නිසායි. අවුරුදු දහතුනේදී මා මල්වර වූ කාලයේදී මා හා යහන්ගත වන්නට තරම් වටිනාකමක් ඇතැයි කිසිම කොල්ලෙක් නොසිතන නිසා මා සමඟ තමතමන්ගේ වාසනාව උරගා බලන්නැයි ඔහු බීමත්ව ඔහුගේ මිතුරන් හා විහිළු කළා.

දැන් ඔහු මට නවතින්නැයි කියන අපූරුව! මගේ හිස තුළින් පොතක් පිටතට ගෙන එහි පිටු ගලවමින් ඔහු වෙත විසිකරන්නට ඇත්නම් කියා මට සිතුණා. 'මේ බලන්න මේ තමයි තමුන් මං වෙනුවෙන් කවදාවත් නොකීව, නොකළ දේවල්. තමුසේ කොහොමද දැන් මේ ලැජ්ජා නැති ඌරෙක් වගේ හැසිරෙන්නේ?' වෙහෙස වී වැඩ කර හැම මාසයකම මා එවූ මුදල ගැන ඔහුට යළිත් මතක් කර දෙන්නට මට වුවමනා වුණා. නගරයේදී මට යහන්ගත වෙන්නට පිරිමි මුණගැහුණු බව, උන් හා ලැගුම්හලක ගත කළ පැය කිහිපයකදී වුව මගේ මුහුණටත් සිරුරටත් උන් පෙම් කළ බව මට කියන්නට වුවමනා වුණා.

එහෙත් අම්මාට මෙන්ම මටත් වුවමනාවට වඩා අනුන් රැකබලාගැනීමට නැඹුරු, ඉතා ලේසියෙන් රිදවුම් වලට සමාව දෙන ගතිගුණ තිබුණා. මීට හේතුව තමන්ගේකමක් දැනීමට තිබෙන වුවමනාව සියලු අපහාස සහ අතපසු කිරීම් වලට වඩා බලවත් වීමයි. තාත්තාගේ රැළි ගැසුණු බුරුල් සමත් ඉරි තැළුණු දෑතත් මාව මහත් දුකකින් පුරවද්දී මගේ සිත අවුල් වී ගියා.

එක දිනක් පමණක් මෙහි ගතකරන්නට මගේ තිබුණු අදිටන නිවසට අඩිය තැබූ පමණින්ම දියවී ගියේ මතකයන් නැගී ආ නිසායි. නගරයේ නිවසේදී මා සේවිකාවක් පමණයි. එහි කිරිගරුඬ පොළොවේ කෙළවරක මා වෙනුවෙන් පැදුරක් එලා තිබෙනවා. ගෙහිමි කාන්තාව ඉතා කරුණාවෙන් මට නිවසේ ඉතුරු වූ කෑම බෙදා දෙනවා. අගේ සැමියා අහල පහළ සිටිනා විට මා දෙස සැකයෙන් බලනවා. දරුවාත් හැමවිටම මට අසම්පූර්ණ ආදරයක් දෙන්නේ මා හරියටම කවුදැයි ඇයට නිතර සිහිපත් කෙරෙන නිසායි. එහිදී මා පඩියක් ගෙන සේවාවක් කරන කෙනෙක් පමණයි. කිසිම කෘතඥ බවක් නැති මේ මිනිසුන් දෙදෙනා සමඟ මේ බිත්ති හතර අතරේ හැරෙන්නට මට වෙනත් නිවහනක් තිබුණේ නැහැ.

ඒ වෙලාවේ තීරණයක් ගන්නට මම සුදානම්ව සිටියේ නැහැ. අවමංගල්‍යයට මගේ මුළු අවධානයම යොමු කළ යුතුව තිබුණා.

ටික වෙලාවකින් ගමේ මිනිසුන් අප නිවසට පැමිණෙන්නට පටන්ගන්නා නිසා අම්මාව සූදානම් කළ යුතුව තිබුණා. අපගේ නිවසේ තිබුණු එකම කාමරයේ පරණ පොරෝණයක එතූ පොට්ටනියක ඇගේ සිරුර සතපා තිබුණා. පොරෝනයේ දුර්වර්ණ වූ මල් මෝස්තරය දෑස් විදා මා දෙස බලා සිටියේ එය ඉවත් කරන්නයැයි ආයාචනා කරන්නාක් මෙන්. ගැඹුරු හුස්මක් ගත් මා පොරෝනයේ කෙළවර ඇඟිලි තුඩින් අල්ලා එය සෙමෙන් ඉවත් කළා. ඇගේ උදාසීන මුහුණේ දෑස වැසී තිබුණා. ඒ වෙද්දී පැය දොළහක් ගත වී ගිහින්. කලක් උණුසුම් ව තිබුණු ඇගේ කොපුල අධික ලෙස සීතල ව දැනුණා. ඉස්සර ඇය මා තුරුලට ගෙන ඇගේ කොපුලෙන් මගේ කොපුල පිරිමදිද්දී සම හරහා දැනුණු ආදරයේ උණුසුමින් අප නැහැවී ගිය අයුරු මට මතක් වුණා. මරණය විසින් ඇගේ දෑත දරදඬු කර තිබුණා. මා ඇගේ අතක් ගෙන මගේ දෙඅත්ල මැද තබා වේගයෙන් පිරිමදින්නට ගත්තේ සොහොනේ ගිනි ලා ඇය අළු ගොඩක් වන්නට කලින් හැකි තරම් ඇයව මට කාවද්දා ගන්නයි.

මට දැනුණේ අමුතු අසම්පූර්ණ දුකක් ඇයගේ නිදහස් වීම ගැන රහස් සතුටකින් ඒ දුක පලුදු වී තිබුණා. ඇය අවසානයේදී මේ ලෝකයෙන් යන්නට ගොස් තිබුණා. දුගී බවේ කිමිදුණු, තමන්ගේ වුවමනා එපාකම් ගැන නොසලකා සැමියාගේත් දරුවන්ගේත් වුවමනාවන් ගැන සැලකූ ජීවිතයකින් මිදී ඇය අන්තිමේදී නික්ම ගොසින්. සල්ලි, සල්ලි, සල්ලි... අපේ දෛවය තීරණය කළ අච්චු ගැසූ කඩදාසි! යාබද නගරයේ බැංකුවක පිරිසිදු කරන්නියක් ලෙස ඇය අලුයම සිට හවස් කාලය දක්වා වෙහෙස වූයේ සල්ලිවල කුමන මායා බලයක් නිසාදැයි කල්පනා කරමින්, මා වැඩුණේ. ඇය එහි පොළොව සහ පඩිපෙළවල් අතුගාමින් පිරිසිදු කරමින් ගත් මුදල අතුරුදහන් වූයේ විදුලි වේගයෙන්.

මා ඇයව නාවා ඇඳුම් මාරු කළ යුතුව තිබුණා. ඔව්, යන තැනකට සම්පූර්ණයෙන්ම පිරිසිදු වී යන්නට ඇය බලාපොරොත්තු වේවි. ඇයගේ සේසතම තැන්පත් කර තිබුණු මළ කෑ ට්‍රන්ක පෙට්ටිය අවුස්සද්දී

මා රැකියාවට ගිය පසු ඇයට මිල දී ගෙන දුන් පළමු සාරිය ඇගේ ඇඳුම් අතර තිබී හමුවුණා. සියුම් ලෙස ලෝකඩින් වැඩ දැමු වාටියක් සහිත එය තද කොළ පැහැති ක්‍රේප් සේද සාරියක්. වෙනදාට ඇය අඳින මල් වැටුණු බාල පොලියෙස්ටර් සාරිවලට වඩා එය බෙහෙවින්ම වෙනස්. ඇයගේ සියලුම ආභරණ බහාලූ පෙට්ටියක්ද එතැන තිබුණා. එහි විවිධ වර්ණවලින් යුත් ප්ලාස්ටික් වළලු, තඹ නාස් තෝඩු කිහිපයක්, විශේෂ අවස්ථාවකට ඇය පළඳින බාල මුතු මාලයක් සහ රතු කොරල් කරාබු ජෝඩුවක් තිබුණා. ඉන් එක් කොරල් කරාබුවක් අතට ගත් මා පළමු වරට ඒ දෙස සුපරීක්ෂාවෙන් බැලුවා.

ඈත අතීතයේ දවසක නැකත්කරුවෙක් අපේ ගමට ආවා. අම්මා එවැනි දේ ගැන අන්ධ විශ්වාසයෙන් සිටි නිසා ඇගේ හැඹිලියත් සොයාගෙන මාත් ඇදගෙන ඔහුව මුණගැහෙන්නට දිව ගියා. ඒ වෙද්දී මට වයස කීයක් තරම්දැයි මට මතක නැහැ. ඒත් ඒ මහලු මිනිසා ඇගේ රළු අතේ මැකුණු රේඛා අතගා කී නැණවත් අනාවැකි අසා ඇගේ දෑස් දැල්වුණු හැටි මට හොඳහැටි මතකයි. ඔහුගේ බලවත් බව මතුකර පෙන්වීම සඳහා ඒවා කියවුණේ තරමක් නොපැහැදිලි ලෙසට. රතු කොරල් පාවිච්චි කිරීමෙන් ඇගේ පවුලට සෞභාග්‍යය උදාවන බව ඔහු එදා කීවා. මේ අපගේ එකම ගැලවුම බව සිතා සති ගණනක් තිස්සේ ඇය මේ ගල් ලබාගන්න ක්‍රමයක් කල්පනා කළා. එක් ඉරිදා දිනයක ඇය මා කැටුව උගස් බඩු කඩයකට ගියා. එහි සිටි රැවුල්කාර මිනිසා තමන්ට මේ ගනුදෙනුව පාඩුවක් වුවත් එය දරාගන්නට සුදානම් බව කියූ විට ඇය ඇගේ රන් මාලය දී කොරල් කරාබු දෙකක් ගත්තේ ඉතා සතුටින්. ඒ රාත්‍රියේ බිකූ මාව අල්ලාගෙන සිටිද්දී තාත්තා අම්මාට පහර දුන් තරමට ඇය මිය යනු ඇතැයි මට සිතුණා. ඇගේ මඟුල් මාලය විකුණා දමන්නට ඇය කොයිතරම් මෝඩදැයි ඒ හැම පහරක් පාසාම නැවත නැවතත් කීම ඔහුට මහත් සතුටක් ගෙන දුන්නා. ඇගේ තැළුණු දෑතට මා තුරුල් කරගෙන, සෙමින් අඬමින් "මාලා උඹ කවදාහරි මෙතැනින් යන්න ඕන. මොනවා කළත් කමක් නැහැ, ගිහින් ආයෙත් එන්න විතරක් එපා" යැයි ඈ මට කීවේ ඒ රාත්‍රීයේමයි.

මා කොළ පැහැති සාරියත්, වළලු කිහිපයකුත් මුතු මාලයත් පිටතට ගෙන කුස්සියෙන් වතුර භාජනයකුත් තුවායකුත් ගෙන ආවා. සෙමෙන් ඇගේ ඇඳුම් ඉවත් කළ මා ඇයව පිසදමන්නට පටන් ගත්තා. ඈ ව පිසදමන වාරයක් පාසා මගේ පපුවේ යමක් හිරවෙන බවක් මට දැනුණා. කඳුළු ඒවි යැයි මා ප්‍රාර්ථනා කළත් ඒවා ළංවිය නොහැකි දුරක තිබුණා.

ළමා කාලයේදී මා වරින්වර අම්මාගේ නිරුවතේ කොටස් දැක තිබුණා. ඇය මා ඉදිරියේ හැට්ටය මාරු කරද්දී ඇගේ එල්ලා හැලෙන පියයුරුද, රාත්‍රියේ හෙවණැලි අතරේ තාත්තා ඇයව පෙරළා ගනිද්දී ඇගේ කලවාද, ඇගේ කොන්දේ බාම් ගාන්නයැයි ඈ මගෙන් ඉල්ලූ දිනවල ඇගේ තට්ටම්ද මා යන්තමින් දැක තිබුණා. එහෙත් එදා ඒ හැම කොටසකම එකතුවක් දුටු විට මගේ ඇතුළාන්තයෙන්ම අනුකම්පාවක් නැඟ එන අයුරු මට දැනුණා.

ඇයව පිසදා, ඇය පුරුද්දක් ලෙස කොතැනක ගියත් තවරාගන්නා ටැල්කම් පුයර ගා, ඇගේ දෑත හැට්ටය තුළින් රිංගවා එහි පලු දෙක පියවූ මා, ඇයට සාරිය අන්දවන්නට සූදානම් වුණා. ඇගේ සිරුර දරදඬුව තිබුණු නිසා මෙය අභියෝගයක් වූවත් ඒ සිනිඳු ලිස්සනසුලු සාරිය ඇගේ ඉණ වටා දවටා පපුව හරහා සාරි පොට දමන්නට මා සමත් වුණා. ඈ අසලින් තැබීම සඳහා පිඟානක් මත හාල්, එළඟිතෙල් සහ සීනි සෑහෙන තරමක පංගු මා බෙදා සූදානම් කළා. මේවා ඇයගේ ආත්මය සඳහාද, නොඑසේ නම් දෙවියන් සඳහාදැයි මා හරියටම දැන නොසිටියත් ඒ චාරිත්‍ර ඉටු කළේ ඇගේ ආත්මය අතෘප්තිමත් වේයැයි බියෙන්.

මා කාමරයෙන් පිටවෙද්දී බිම තබා ඇති උණ ලී මැස්සක් දුටුවා. අවසානය ළඟ බව දැනෙද්දී මගේ පපුවේ වූ සිරවුම උගුර වෙත මාරු වූවා.

නිවසට මිනිසුන් පැමිණෙන්නට වුණා. තාත්තාත් බිකූත් කිසිම හැඟීමකින් තොරව ඔවුන් වෙත යොමු වූ අතර මා කෙළවරකට වී සිටියා. ශෝකවන්නන් අතරින් සමහරෙක් අම්මාගේ දේහයට ආචාර කළේ එක්කෝ කඳුළු පිසිමින්, අතකින් මුව වසාගනිමින්, පපුවට ගසාගෙන කෑ ගසමින් එසේත් නැත්නම් නිහඬ ව. ඔවුන්ගෙන් සමහර අය අවුරුදු ගණනක් තිස්සේ ඇය ගැන එක් රැස් කරගත් කතන්දර කීවේ ඔවුන් ඇයව කොයිතරම් හොඳින් දැන සිටියාදැයි පෙන්වන්නටයි. දෙවියන්ගෙන් තමන්ගේ සොයුරිය ගෙන ගියේ ඇයිදැයි විමසමින්, වැඩිම ශබ්දයකින් වැලපෙමින් සිටියේ අම්මා තරුණ මනාලියක්ව සිටිද්දී ඇයට විහිළු කළ බව ඇය කී එක් මාමා කෙනෙක් බව මට පෙනුණා.

මට තේ හදන්නට උදවු කරන්නට ආ නැන්දා කෙනෙක් මා දිගටම නතරවන්නට බලාපොරොත්තුවේදැයි විමසුවා. මා ඒ ගැන නොදන්නා බව කී විට "ඔව් සල්ලි වැදගත් තමයි. ඒත් උඹේ තාත්තා දැන් වයසයි. උඹට දැන් කසාද බඳින්න වෙන්නේත් නැහැනේ. මේ ගෙදරත් උඹේ නමට ලියාගෙන තාත්තාවත් බලාගෙන ඉන්නයි තියෙන්නේ. බිකූ කොයි වෙලාවකවත් ගෙදරක නැහැ."

තාත්තා වයසයි. ඔහු අම්මාට වඩා වැඩුමල්. ඔහු ඒ වෙද්දීත් බාල මත්පැන් පානය කළා, දෙවරක් ඔහුගේ කැඩුණු දණහිස සකසා තිබුණා, ඔහු බීඩි උරා රෑ තිස්සේ කැස්සා. මුදල් තිබුණා නම් දෙවෙනි මනමාලියක් ගැන පවා ඔහු සිතන්නට ඉඩ තිබුණා. ඔහු ඇවිදින සුන්බුන් ගොඩක් වුවත් ඔහු ජීවත්ව සිටියා, නමුත් ඇය යන්න ගිහින්. ජීවිතය තරම්ම මරණයත් අසාධාරණ බව මට හැඟුණා.

රාහු කාල ආදී දේ ගැන දන්නා බව පෙනුණු අමුත්තෙක් තාත්තාගේ කනට කොඳුරා යමක් කියන තෙක්ම කොයිතරම් වෙලා ගතව තිබුණිදැයි මට වගක් දැනුණේ නැහැ. සැමියාත් පුතාත් ඇගේ සිරුර උණ ලීයෙන් සැකසුණු මැස්ස උඩින් ඔසවා තැබුවා. ඇගේ සිරුර සෙලවුණ තරමට මැස්ස බර දරාගන්නට සවිමත්දැයි සිතමින්, එහි දිග මිටවල් අතරින් සිරුර කඩා වැටේදැයි සිතමින් මා වද වූවා. ඇගේ සිරුර වෙත මා අත දිගු කළ විට බිකූ එය ගසා දැමුවා.

කිසිම කලාවක් රහිතව පිරිමින් ඇගේ සිරුර ඔසවා අපගේ නිවසේ පටු දොරකඩින් පිටතට ගත්තා. තවත් ගැහැනුන් රැසක් හඬමින් සිටියා. ඇගේ දෙපතුල් අතුරුදන් වන අයුරු මා බලා සිටියා.

හිස් වූ නිවසේ වටපිට බලද්දී පළමු වරට මට හැඬුම් ආවා. මගේ අම්මා යන්න ගිහින්. ඈව අන්තිම වරට දුටු මොහොත මා සිහිපත් කළා. ඒ මා නැවතත් රැකියාවට යන්නට සුදානම් වෙද්දී, ඇය වංගෙඩියේ කොටා සැකසූ පොල් අච්චාරු බෝතලයකට අසුරමින් සිටි මොහොතයි. තාත්තාගේ ණය සියල්ල ගෙවා අවසන් නිසා ගෙදරට අඩුවෙන් මුදල් එවන්නැයි ඇය මට කියමින් සිටියා. නගරයෙන්ම හොඳ තරුණයෙක් සොයාගෙන කසාද බඳින්නයැයි මට කියද්දී ඇගේ කටහඬ වෙවුලුම් කෑවා. මා ලස්සන ගැහැනියක් බවට පත්වෙමින් සිටි නිසා මා රැකියාව කළ නිවසට ආ ගිය පිරිමින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ඈ කීවා. මා ඊට සිනාසුණු විට ඇගේ වදන්වල බරපතලකම තේරුම් ගන්නයැයි ඈ කෝපයෙන් කීවා. "උඹ පිරිමි ගැන දන්නේ නැහැ මාලා, තමන්ගේ අවසරය නැතිව පිරිමියෙක් තමන්ව අයිති කරගන්න ක්‍රමයක් හොයාගන්න එකට වඩා වෙන කරුමයක් නැහැ." මගේ මල්ලට තෙල් පෙඟුණු රසකැවිලි ඔබමින් ඈ කීවා. පසුව, මා ඒ මල්ලේ ඇඳුම් ඉවත් කරද්දී ඒ රසකැවිලි තිබුණු පෙට්ටියෙන් කාන්දු වූ එළඟිතෙල් මගේ ඇඳුම්වල පැල්ලම් ඇතිකර තිබීම ගැන මා ඈ ට ශාප කළා.

බිකූත් තාත්තාත් නැවත එන්නට කලින් මා බඩු මුට්ටු සූදානම් කරගෙන නිවසින් පිටවූවා. යන්නට පෙර මොහොතක් නිවස මැද හිඳ සිටි මට, අම්මා කුස්සියේ දහදිය පිසිමින් සිටගෙන සිටින අයුරුත්, මා පාසැලේදී උගත් වචන හඬ නඟා කියවමින් සිටින අයුරුත් මැවී පෙනුණා. ඉනික්බිති අම්මාගේ සාරි කිහිපයකුත්, ආභරණ කිහිපයකුත් ගත් මා ආපසු නොබලාම පිටවී යන්නට ගියා.

බිකූ කේන්තියෙන් දිව ඇවිත් මා නැවත නිවස වෙත ඇදගෙන යයිද බලමින් මා බස් නැවතුමේ සිටියා. එසේ වේ යැයි මා ප්‍රර්ථනා කරමින් පවා සිටියා. අවාසානයෙදී බස් රථය පැමිණි විට මා එයට නැඟ ගත්තා. කුඩා කඩමණ්ඩිත්, කොළ පැහැති සහ දුඹුරු පැහැති කුඹුරුත් පසු කරමින් එය අධිවේගී මාර්ගයට එළඹුණා. මෙවර නම් මට බසයේ අසුන් පේලියක්ම තනි භුක්තියට ලැබී තිබුණා.

සමහරවිට තාත්තා කී දේ හරි වන්නට ඇති. සමහරවිට කිසිදාක නොලැබෙන ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ හදවත අවසානයේදී වෙහෙසවී නවතින්නට ඇති.

ඇගේ කොරල් කරාබු දෙක මගේ අත්බෑගයේ සුරක්ෂිතව තිබුණා. ඒවා කීයකට විකිණිය හැකිදැයි සොයාබලන්නට මා බලාපොරොත්තු වුණා.


Shortlisted in the Himal Short Story Competition 2019