Translation of the short story The Open Window’ by H. H Munro
"නැන්දා ඉක්මනින්ම ඒවි නටෙල් මහත්මයා" පහළොස් හැවිරිදි දැරිය බොහොම සන්සුන්ව පැවසුවා. "නැන්දා එනකම් මාත් එක්ක තමයි කතාකර කර ඉන්න වෙන්නේ."
මේ දැරියගේ සිත සතුටු වෙන්නත්, තවම නොපැමිණි නැන්දාට අපහාස නොවෙන්නත් කිව යුතු යමක් සිතන්න ෆ්රම්ටන් නටෙල් මහන්සි වුණා. නන්නාඳුනන මිනිසුන් හමුවීමට තමා නොකඩවා යන මේ චාරිත්‍රානුකූල ගමන් තමන්ගේ ස්නායු ආබාධයට පිළියමක් වන්නේ කෙලෙසකදැයි වටහාගන්නට ඔහු අපොහොසත් වුණා.
"මම දන්නවනේ ඔයා ගැන," ඔහු මේ පිටිසර පළාතට පදිංචියට එන බව ආරංචි වූ විට ඔහුගේ සොයුරිය කීවා. "එහෙ ගිහිල්ලත් ඔයා ගේ ඇතුළටම වෙලා හැංගිලා කිසිකෙනෙක් එක්ක කතා නොකර ඉඳීවි. ඉන්පස්සේ එහෙම තනියම කල්පනා කර කර ඉඳලා ස්නායු ආබාධය වැඩිවෙයි. මම ඔයාව හඳුන්වලා දෙන ලියුම් දෙන්නම්කො ඒ පළාතේ ඉන්න මම දන්නා අයට ගිහින් දෙන්න. මට මතක හැටියට එහේ හිටිය සමහර මිනිස්සු හරි හොඳයි.”
සොයුරියගේ 'හඳුන්වාදීමේ ලිපියක්' සමඟ තමන් මේ මුණගැහෙන්නට ආ සැප්ල්ටන් මහත්මිය ඒ හොඳ වර්ගීකරණයට අයිතිදැයි ෆ්රම්ටන් කල්පනා කරමින් සිටියා.
"මේ පළාතේ අයව ඔබ අඳුනනවාද?" දෙදෙනාම නිහඬව උන් වේලාව ඇති යැයි සිතුණු නිසාදෝ දැරිය ඇසුවා.
"කිසිම කෙනෙක්ව අඳුනන්නේ නැති තරම්," ෆ්රම්ටන් කීවා. "මීට අවුරුදු හතරකට කලින් මගේ අක්කා මෙහෙ පූජක නිවසේ නවාතැන්ගෙන හිටියා. මේ පළාතේ අයට මාව හඳුන්වලා දෙන්න ලියුම් කීපයක් දුන්නේ ඈ තමයි" ඔහු ඒ අවසාන වාක්‍යය කීවේ මඳ පසුතැවීමක් සමඟ.
"ඒ කියන්නේ ඔබ මගේ නැන්දා ගැන කිසි දෙයක් නොදන්නාම තරම්?" දැරිය සන්සුන්ව ඇසුවා.
"ඇගේ නමයි ලිපිනයයි විතරයි" ඔහු පිළිගත්තා. සැප්ල්ටන් මහත්මිය විවාහක කාන්තාවක් ද වැන්දඹුවක්ද යැයි ෆ්රම්ටන් කල්පනා කරමින් සිටියා. ඒ විසිත්ත කාමරයේ පිරිමි ගැවසුණු බවට මොකක්දෝ ලක්ෂණයක් තිබුණා.
"නැන්දාගේ මහා ඛේදවාචකය සිද්ධ වුණේ මීට අවුරුදු තුනකට කලින්." දැරිය කීවා. "ඒ කියන්නේ ඔයාගේ අක්කා මෙහෙන් ගියාට පස්සේ"
"ඛේදවාචකය?" ෆ්රම්ටන් ඇසුවා. මේ ගම්බද පළාතේ නිස්කලංක බවේ හැටියට ඊට ඛේදවාචක ගැලපුණේ නැහැ.
"ඔබ කල්පනා කරනවා ඇති නේද මේ ඔක්තෝම්බර් මාසේ හවසක් වෙලාත් අපි අර ජනේලය ඇරගෙන ඉන්නේ ඇයි කියලා?" ගෙවත්තේ තණ පලසට විවර වුණු විශාල ප්‍රංශ ජනේලයක් පෙන්වමින් දැරිය විමසුවා.
"අනෙත් අවුරුදුවලට වැඩියෙන් මේ දවස් නම් රස්නෙයි තමයි" ෆ්රම්ටන් කීවා. "ඒත් ජනේලයත් අර ඛේදවාචකයත් අතර සම්බන්ධයක් තියෙනවද?"
"හරියටම අදට අවුරුදු තුනකට කළින් නැන්දාගේ සැමියාත්, තරුණ සොහොයුරන් දෙන්නාත් දඩයමේ යන්න පිටත් වුණේ ඔන්න ඔය ජනේලෙන්. ඒ අය කවදාවත් ආපිට ආවේ නැහැ. ඒ අයගේ ප්‍රියතම දඩබිමට ළඟා වෙන්න දෙනිය හරහා යද්දී මහා භයානක මඩ වළක එරිලා. ඊට කලින් තිබුණු ගිම්හාන කාලේ හොඳටම වැස්සානේ. ඉතින් කලින් කිසිම හානියක් නොතිබුණු තැන් පවා හදිසියේම, කිසිම් දැනුම් දීමක් නැතිවම මහා අනතුරුදායක තැන් බවට පත්වෙලා. මේ සිද්ධියේ දරුණු ම කොටස තමයි ඒ අයගේ සිරුරු කවදාවත් හම්බනොවුණු එක." මේ විස්තරය කියද්දී දැරියගේ හඬේ ශාන්තබව ගිලිහී එය වෙවුලුම්කන්නට වුණා.
"අනේ අසරණ නැන්දා හිතාගෙන ඉන්නේ ඒ අය කවදාහරි ආයෙත් එයි කියලා. ඒ තුන්දෙනායි ඒ අය එක්ක අතුරුදහන් වුණු පුංචි දුඹුරු ස්පැනියෙල් බල්ලායි කොයි වෙලාවක හරි අර ජනේලයෙන් ඇතුලට ඇවිදගෙන එයි කියලයි නැන්දා හිතාගෙන ඉන්නේ. ඉතින් හැමදාම ගොම්මන් වෙලාව වෙනකම් ඔය ජනේලය ඇරලා තියනවා. පව්, නැන්දා මට නිතර කියනවා ඒ අය ගිය විදිහ, ඇගේ සැමියා තමන්ගේ සුදු පාට වැහි කබාය අතේ දවටාගෙනලු ගියේ. නැන්දාගේ මල්ලි රොනී- යන ගමන් ඈව කේන්ති ගස්වන්න සින්දුවක් කියමින් ඔච්චම් කළා ලු. දන්නවද වැඩක්? සමහරවෙලාවට මේ වගේ නිහඬ හවස් වරු වලට මට ඇඟ හිරිවැටෙන හැඟීමක් දැනෙනවා ඇත්තටම ඒ අය ඔය ජනේලයෙන් ආපිට ඒවි කියලා-"
ඈ කතාව නතර කළේ වෙවුලා යමින්. ඒ එක්කම ඇගේ නැන්දා කඩිසරව විසිත්ත කාමරයට ආ නිසා ෆ්රම්ටන්ට සහනයක් දැනුණා. නැන්දා තමන්ගේ පමාව ගැන සමාව අයැදුවා.
"වේරා ඔබේ පාළු කපන්න ඇති කියලා මම හිතනවා" ඈ කීවා.
"ඔව්, ඈ සිත්ගන්නාසුළු දේවල් ටිකක් කීවා." ෆ්රම්ටන් කීවා.
"මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ අමනාපයක් නැතිව ඇති කියා මම හිතනවා." සැප්ල්ටන් මහත්මිය බොහොම උනන්දුවෙන් කීවා. "මගේ සැමියාත් සහෝදරයෝ දෙන්නාත් දඩයමේ ගිහින් එන්නේ මේ පැත්තෙන්. අද ඒ අය දඩයමට ගියේ අර වගුර පැත්තේ, ඒ නිසා දැන් අවාම හැම තැනම මඩ තවරාවි. පිරිමි හැම කෙනෙක්ම ඉතින් ඔහොමයිනේ.. නේද?"
ඈ මේ විදිහට බොහොම සතුටින් කියවන්නට වුණා. දඩයම් ගැන, දඩයම් කරන්නට කුරුල්ලන් හිඟ වීම ගැන, ශීත කාලයේ තාරාවන් සිටිනු ඇතිද යන්න ගැන ඇය දිගටම කතා කළා. ෆ්රම්ටන් ට මෙය මහත් පීඩාවක් වුණා. මේ බිය දනවන මාතෘකාවෙන් මිදී වෙන දෙයක් ගැන කතාකරන්නට ඔහු නොයෙක් වර උත්සාහ ගත්තත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. ගෙහිමි කාන්තාවගේ අවධානය ඔහු වෙත යොමු වුණේ මඳ වශයෙන් බවත්, ඇගේ දෑස ඔහු අසල ඇති ජනේලයටත් ඉන් ඔබ්බෙහි ඇති තණ බිස්ස වෙතටත් නිරතුරුව යොමුවෙන බවත් ඔහුට වැටහුණා. ඒ ඛේදවාචකය සිදුවී හරියටම අවුරුදු තුනක් පිරෙන දවසේ අහම්බෙන්ම මේ ගමන ආ එක අවාසනාවක් බව ඔහුට සිතුණා.
"දොස්තරලා මට කියලා තියෙන්නේ කිසිම මානසික උත්තේජනයක්වත්, දරුණු ශාරීරික ව්‍යායාමයක්වත් නැතිව සම්පූර්ණ විවේකයෙන් කාලය ගතකරන්න කියලා." ෆ්රම්ටන් බැරෑරුම් හඬකින් කීවා. තම තමන්ගේ අසනීප වල හැම පුංචි විස්තරයක්ම ගැන දැනගන්නට සම්පූර්ණයෙන්ම නන්නාඳුනන අය පවා ඉතාමත් උනන්දු බවට මිනිසුන් අතර තියෙන විශ්වාසය ෆ්රම්ටන්ටත් පොදු වුණා. "මම ආහාරයට ගත යුතු දේවල් ගැන නම් දොස්තරලාට එකඟතාවයකට එන්න බැරි වුණා."
"හැබෑද?" සැප්ල්ටන් මහත්මිය ඈනුමක් සඟවාගනිමින් ඇසුවා. එක් වරම ඇගේ නෙත ඈත යමක් වෙත යොමු වී ඈ ප්‍රබෝධමත් වන බවක් පෙනුණා. ඈ බොහොම අවධානයෙන් සිටියත් ඒ අවධානය යොමුවුණේ ෆ්රම්ටන් කියන දේට නම් නෙමෙයි.
"ඇති යන්තම් මෙන්න කට්ටිය එනවා!" ඈ සතුටින් කෑගැසුවා. "හරියටම තේ බොන වෙලාවට! හැමෝම හොඳහැටි මඩ නාලා වගේ!"
ෆ්රම්ටන් යන්තම් වෙව්ලමින් දැරිය දෙස හැරී බැලුවේ තමන් මේ සිද්ධිය තේරුම් ගත් බව පෙන්වා ඒ ගැන තමන්ගේ අනුකම්පාව බැල්මකින් ප්‍රකාශ කරන අටියෙන්. එහෙත් ඈ බියපත් දෑසින් එක එල්ලේ ජනේලයෙන් එපිට බලාගෙන සිටින අයුරු ඔහුට පෙනුණා. තමන්ගේ සිරුර පුරා සීතල කම්පනයක් සහ අධික බියක් පැතිරී යද්දී ෆ්රම්ටන් එකවරම වාඩිවී උන් පුටුවේ ආපිට හැරී ඈ නෙත් යොමාගෙන උන් පැත්ත බැලුවා.
පැතිරෙමින් තිබුණු අඳුර අතරින් තිදෙනෙක් තණ බිස්ස හරහා නිවස වෙත ඇවිදගෙන එමින් සිටියා. ඒ තිදෙනාම අත තුවක්කු තිබුණු අතර ඊට අමතරව එක් අයෙකුගේ උරහිස මත සුදු පැහැති කබායක් දවටා තිබුණා. හෙම්බත් වූ දුඹුරු පැහැති ස්පැනියෙල් බල්ලෙක් ඔවුන් පසුපසින් ආවා. නිහඬව නිවස වෙතට ළඟාවූ මේ අය අතරින් හදිසියේම බැරෑඬි තරුණ කටහඬකින් ගැයෙන ගීයක් ඇසෙන්නට වුණා.
ෆ්රම්ටන් වහා වහා ඔහුගේ තොප්පියත් සැරයටියත් අතට ගත්තා. කඩා බිඳගෙන දිව ගිය ගමනේදී ඒ නිවසේ ඉදිරිපස දොරත්, නිවසට පිවිසෙන අඩි පාරත්, එහි කෙළවර ගේට්ටුවත් පසුකරනවා ඔහුට මතක තිබුණේ යන්තමින්. ඒ මොහොතේම පාරේ යමින් උන් බයිසිකල්කරුවෙක් ෆ්රම්ටන්ගේ සිරුරේ නොවැදී අනූ නමයෙන් බේරුණේ ඔහු සැණෙකින් අකුලකට බයිසිකලය හැරවූ නිසායි.
"ඔන්න එහෙනම් අපි ආපිට ආවා," සුදු පැහැති කබාය අතින් ගත් තැනැත්තා ප්‍රංශ ජනේලයෙන් ඇතුල් වෙමින් කීවා. "වගුරේ ටිකක් මඩ තිබුණා තමයි, ඒත් සෑහෙන්න දුරට වේලිලා. කවුද අර අපි එද්දී පණ කඩාගෙන දිව්වේ?"
"නටෙල් කියලා මහා පුදුම මිනිහෙක්" සැප්ල්ටන් මහත්මිය කීවා. "ඉන්නකම් කතා කළේම තමන්ගේ ලෙඩ දුක් ගැන විතරයි. ඉන්පස්සේ එකපාරට ඔයා එනවා දැක්ක ගමන් තමන් යන බවක් වත් නොකියා හරියට හොල්මනක් දැක්කා වගේ පැනලා දිව්වා."
"මම හිතන්නේ ඒකට හේතුව මේ බල්ලා" දැරිය සන්සුන් ව කීවා. "එයා මට කීවා එයා බල්ලන්ට පණ බයයි කියලා. ඉස්සර දවසක් එයාව වල් බල්ලෝ රංචුවක් ගංගා කියන ගඟේ ඉවුරක තිබුණු කනත්තකට එළවාගෙන ගියාලු. ඒ බලු රංචුව දත් විලිස්සමින් ගොරවන හැටි බල බලා එයාට මුළු රැයක්ම අලුත හාරපු මිනී වළක ගතකරන්න සිද්ධ උණාලු. ඔහොම දෙයක් වුණොත් ඕන කෙනෙකුට මර බයක් දැනෙනවානේ."
ඇගේ විශේෂ දක්ෂකම එක මොහොතින් ප්‍රබන්ධ ගෙතීමයි.
‘The Open Window’ by H. H Munro (Saki) From the book ‘Beasts and Super- Beasts’(1914)
Photo- public domain
නියමයි!
ReplyDeleteThank you Sudheera!
Deleteතවත් බොහෝ දේ ගැන සිතීමට තිබෙන ප්‍රබන්ධ කතාවක්!
ReplyDeleteඔව්, කියවලා ඉවර වෙලා හරියට තේරුම් ගන්න ආයෙත් ගිහින් කියවන්න හිතෙන වර්ගයේ කතාවක්!
Deleteඉතාම දක්ශ ලෙස කල පරිවර්තනයක්. generally මල වදයක් වුනත්, මේ වගේ එක මොහොතින් ප්‍රබන්ධ ගොතන පොඩි වුන් නම් මරු.
ReplyDeleteThank you Lotus!
Deleteඒකනම් ඇත්ත. එක්කෝ එහෙම බොරු කියන එක ටැලන්ට් එකක්, එහෙම නැත්නම් පොඩි අනාගත psychopathic ලක්ෂණයක්! :D
****
ReplyDeletethank you :)
Delete